Monday, March 2, 2020

මේක මහ සූදුවක් (ඒ සූදුව පරදවමු)

දුක, දුකට හේතුව සෙවූ කාලය අහවරය. දැන් සැවොම සොයන්නේ සැප සොයන ලේසිම හා පහසුම මාර්ගයයි. දේශපාලන බලවතෙකු ගොඩනැගෙන මග අත්උදව්කාරයෙකු වීම ඒ ලේසි මගේ එක් ප්‍රමුඛ කාර්යයක් වෙයි. ඊට ගිහි පැවිදි බේදයක් නැත. උස් මිටි බේදයක් නැත. එහෙයියෙකු වන තරමට ලංකා දරණීතලයේ සුවිශේෂී වරප්‍රසාද හිමිකරුවන්ගේ කොටස්කරුවෙකු වීමේ ශක්‍යතාව ඔබ විසින් සපුරනු ලබයි. කාගේ එහෙයියෙකුද යන්න ඔබගේ වරප්‍රසාද වලට බෝනස් ප්‍රතිලාභ හිමිවීමට හේතුවක් වේ. 
කාලයක් තිස්සේ යටිකුරු කරගත් අපේ රටේ ක්‍රමයේ අරටුවට වැද ඇති අකුණු කුණ එයයි.
ඒ අනුව එකම කතා වෙනස් ආකාරයෙන් කියමින්, එයම නැවත කියවමින් තම දේශපාලන ව්‍යාපාරය සෞභාග්‍යමත් කරගැනීම උදෙසා දහස්වර වෙහෙසෙන අත්උදව්කරුවන්ට සැළකීම අප රට සංවර්ධනය යනුයි. එබැවින් රට වෙනුවෙන් ශ්‍රමය ලබාදීමට වඩා කාලීනව ඉල්ලුමක් ඇති දේශපාලන සංවිධානයක හොඳ අශ්වයෙකු වටා ගොනුවීම මේ සූදුවෙන් ජය ගැනීමට ඇති පහසුම මග වෙයි. එබැවින්ම තරඟය දැඩිවෙයි. මේ රට කරවන දේශපාලන සූදූවට ජීවිත පරිත්‍යාගයෙන් යුතු පැවැත්මක් ගොඩනැගී ඇත්තේ එනිසාය. සිංහල, බෞද්ධ, ජාතිකත්ව, යුද්ධය සේම සාමයද සැබවින්ම මේ තරඟය තියුණු කරන ධන උත්ප්‍රේරක වෙයි. අතකින් ඒවා මේ සූදුවේ තීම්ස් හෙවත් තේමාවන් වෙයි. අධිරාජ්‍යවාද විරෝධය, හොරු ඇල්ලීම, දූෂණය පිටුදැකීම, විධිමත් කාර්යක්ෂම රාජ්‍ය සේවාවන් ආදීයත් අයත් වන්නේ ඒ ඒ තරඟ අවස්ථා වල තේමාවන් යටතටය.  
සූදූවට ඇබ්බැහි වූ එකා විනාශය අත්දකිමින් වුව ඒ සූදුවෙන්ම ජය පතනවා විනා ඊට විරුද්ධව ඇඟිල්ලකිඳු ඔසවන්නේ නැත. එවන් එසවීමට ශක්තියක්ද ඔවුන්ට නැත. 
අද වන විට මේ දේශපාලන සරණ පතන සූදුව ඔස්සේ විනාශයෙන් විනාශයට පත්කර ඇත්තේ රටේ එක් ක්‍ෂේත්‍රයක් පමණක් නොවේ. රටේ හෑම ක්‍ෂේත්‍රයකම මූල පද්ධතිය විනාශ කොට ඇත්තේ මේ දේශපාලන සූදුව විසින්ය.
ඊට ඔට්ටු තබන ජනතාවද සපුරා මීට වගකිව යුතුය. යම් දිනෙක මේ විනාශකාරී සූදුව නැවැත්විය හැක්කේ සුළුතරයක් වන මේ සූදූ කෙළියට කිසි ලෙසකින් දායකත්වය නොදෙන ශක්තිමත් මධ්‍යස්ථ මිනිසුන්ට පමණි. 
එය දුෂ්කරය, නමුත් මේතාක් රටේ යහපතට උරදී වෙරදී ඇත්තේ ඔවුන්ය.

සූදූවෙන් දිනාගත් යමක් වේද එය සූදූව නිසාම විනාශ වී යයි. රටට සිදුවී ඇති දෑ සමස්ථයේ සාරංශය ද එයමය. 
එබැවින් සූදූව වෙනස් කරනවා වෙනුවට, අශ්වයා මාරු කරනවා වෙනුවට, සූදුව තහනම් කරන තැනට අප යා යුතුය. දේශපාලන සූදුවක් වන රට කරවීමේ වත්මන් ක්රමය වෙනස් කළ යුතුය. මිනිසුන් තිරිසන් කරවන මේ ක්‍රමය වෙනස් කිරීමෙන් මිස ට්‍රෝජන් අශ්වයෙකු වෙනුවෙන් ජනතාව තුනෙන් දෙකක ඔට්ටු තැබීමට යාම සූදුවෙන්ම විනාශයට යාමකි. බල ගැන්විය යුත්තේ දේශපාලන සූදු විරෝධී බලකායකි. දේශපාලන බල සූදුව පරදවා රටේ යහපතට තීරණ ගත හැකි බහුතරයකි.
එබැවින් ධනයට, බලයට, ලාභයට වාල් වී ඔට්ටු දමා තවදුරටත් මට්ටු නොවීම අද රටේ ජනතාවගේ පරම වගකීමකි.

Saturday, February 29, 2020

So cute-

ජන බද්දෙන් කුස පිරෙන 
එසඳ
ඒ සරා සඳ
වැඳපන් පුත නුඹ නිරින්දෝ 
රට රකින

Tuesday, February 25, 2020

හදවතේ කතාවක්!❤❤❤❤❤❤❤

රිස්සන්ට රිසි තැන් හදනවා විනා නිස්සන්ට නිසි තැන් නොලැබීම උපන්දා සිට මෙරටේ ගැටළුවකි. 
දේශපාලකයා තම බල පැවැත්ම සොයා යන ගමනක රටකට දෙන නායකත්වය එදා මෙදා හැමදා මා නම් දුටුවේ දේශපාලනයේ මුහුණුවරකින්ම මිස ජාතික මුහුණුවරකින් නොවේ. සරලවම මේ රටේ වෙනස් විය යුතු දෑ බොහොමයකි. ඒ වෙනස්කම් ආරම්භ කළ යුත්තේත් සරල තැනකිනි. (උදා-මහපාරේ නීති)
සිංහල බෞද්ධ රටක් යන අරුතට ප්රතිපදාවක් කැවීමට තරම් හික්මුණු රටක් නොවන අප ඒ අර්ථය භාවිතයට ගන්නේ හුදු දේශපාලනික අරමුණු සඳහායි. බලය, බල වර්ධනය උදෙසා පමණක් කරනා ඒ භාවිතය තව දුරටත් පවත්නා සිංහල බෞද්ධ සංස්කෘතික වටිනාකම් බොල් කොට දමනවා පමණකි, අප දකින්නේ.
බුදු දහමේ සියල්ලට ප්‍රමුඛව සළකන මිනිස් සිත අන්ත දූෂ්‍ය කරන්නා වූ සටකපට කම්, අයුක්තීන්, අසාමානාත්මතා සමාජය තුළ වපුරන පන්නයේ දේශපාලන ක්‍රමයක් තුළින් රටකට අත්පත් වන්නේ කවර සුගතියක්ද?
සැමට රට පිළිබඳ අවබෝධ කළ හැකි සරල සත්‍ය වඩා සංකීර්ණ තත්වයේ අර්බුදයන් දක්වා ගමන් කරන්නේ දේශපාලන බලය හා එතුළ පවතින වරප්‍රසාද තවමත් රටේ සාමාන්‍ය නීතිය, යුක්තිය, සාධාරණය අතික්‍රමණය කළ හැකි තැනක පවතින නිසාය. 
පාලකයා තමන්ගෙන් අරඹා මෙෙත්රී භාවනාව වඩන පරිද්දෙන් තම ඥාති මිත්‍රයා ගේ සිට සාමාන්‍ය සමාජය තෙක් සමානාත්මතාවයෙන් යුතුව ඒ ශික්ෂණය පතුරවා නොහරින තුරු "සාර සොබාවත් ජන සමාජයක්'' යනු තවත් එක් දේශපාලන සටන් පාඨයක් පමණක්ම වනු නොවැළැක්විය හැකිය.

Wednesday, February 19, 2020

ගැටමාන්න හු - (මුඛ්‍ය ජාතික චින්තනය)

වරප්‍රසාදිත සුදු කරපටි හොරු, මෘදුයි, අහිංසකයි, රටක් වටී. සුරැකිය යුතුයි, ඔවුන් මත්තේ ඔබට කළගුණ සළකාවි! උන් වෙත ලිහිල් මධ්‍යස්ථභාවයකින් හැසිරිය යුතු..

Saturday, February 15, 2020

2/3 මෑත ඉතිහාසයේ දේවානි/දේව ලාට හිමි තැන... (දුටු නොදුටු සිරිමත්හු)

වළ දැමිය නොහැකි තැන එඩිය හිත ඇතුළේම
දිගු කළ විටෙක සත්‍යයේ හස්තය දිගටෝම
සිඹගනිති බොහෝ අය කපනු බැරි තැනදීම
නමුදු සතපති සදා සයනයෙ කැමරා නොමැති තැනදීම

Thursday, February 13, 2020

ඊට විකල්ප නැත.. (වාතය, ජලය, පස)

එතුමිය හැර තවත් අය සිටී. එතුමා හැර තවත් අය සිටී. පිටිවල ගුල්ලන් සිටී. ක්‍රීඩා පිටිවල හරඹ පෑමට තවත් අය සිටී. හදන පිටිවලින් ගසා කෑමට තවත් අය සිටී. හුරේ දැමීමට තවත් අය සිටී. මුකවාඩම් දැමීමට තවත් අය සිටී. නීති දැමීමට තවත් අය සිටී. නීති රැකීමට තවත් අය සිටී. ඒවා කැඩීමට තවත් අය සිටී. විවෘත කිරීමට තවත් අය සිටී. පෙනී සිටීමට තවත් අය සිටී. නොයෙක් නොයෙක් අය සිටී. තවත් තවත් අය සිටී. එහෙත්... 

Saturday, February 8, 2020

නිකටට උඩින් නිකමට සමාධියාමී..?(මුසාවාදා වේරමණී ශික්ෂා පදං)

කටින් ගහල දිනන්න බැරි නම් පැවැත්ම දුෂ්කර සමාජයක් හැදුනෙ කොහොමද? දේශපාලකයො කටින්ම රට හදන්න පටන් ගත්තෙ කවර කාලෙක හිටන්ද? තුන්සිය හැටපස්දා සම්මාවාචා කියා බණ දෙසන රටක ඒ සම්මා සම්භාෂණයම නැවත කුණු කටේ වාදමට යට කරන්නේ කව්ද? සාර දේ කටවාචාල කමෙන් නිස්සාර කරන නායකයන්ට, පාලකයන්ට රටකට චින්තනයක් දැක්මක් ගෙන ආ හැකිද? යහපත ගැන කියන, කියන දේ කරන, සුදුස්සන්ට සුදුසු තැන් ලැබෙන්නේ හැදෙන්නේ, සාධාරණය, යුක්තිය කටින් නොව භාවිතයෙන්, සමානාත්මතාවයෙන් යුතුව වටිනාකම් සහිත හරවත් සමාජයක් හැදෙන්නේ කවදාද?

Friday, February 7, 2020

සතුටු කඳුළු.. (දොහොත් මුදුනේ.. මන්ද තිස්තුන් කෝටියක් තවම අහසේ..)

රන්ජන්ට වඩා විවෘතව කළ කී දෑ එළිපිට පිළිගත් ශුද්ධවන්තයින්ගෙන් පාර්ලිමේන්තුව පිරී තිබේ. අයහපත් බලලෝභී නිර්ලජ්ජිත මිනිසුන් විසින් වඩා යහපත් මිනිසුන් පාලනය කරනු නොලැබේ. ආගමත් ජාතියත් නීතියත් සංවර්ධනයත් ඡන්ද සේල් වල කුණු කොල්ලයට නොවිකිණේ. 

Thursday, February 6, 2020

දූසන වංචා පිට්ටු දකිමු! (ජීවිත රක්ෂණ ඩීල් දමමු)

රිය සක යුරු
මෙහි හොර බොරු
සඳ හිරු තරු
පවතින තුරු

සමතුන් නැති
බලයක් ඇති
මෝරුන් කිරි
හුරතල් හරි

සිපිරි ගෙවල්
සුපිරි ගෙ වල්
පටලැවි ලල්
ඔක්කොම lol

කොටි වලිගේ
හොරු කෙ(එ)ළියේ
කට බලියේ
උ(නු)න් සුදියේ

Tuesday, February 4, 2020

උ/අ/ම දහස

සත්තු විඳින බෝසත්තු විඳවන ධාර්මිෂ්ඨ සමාජයක72 නිදහසේ අර්ථය රසවිඳින්න, දිනය පුරා...

Friday, January 31, 2020

පාලි මින්ට් වත්මන් සංයුතිය (හුදු සමාජ සංස්කෘතිකමය කල්පිතයකි)

පාණාතිපාතා තිහක්
අදින්නාදානා හතළිහක්
කාමේසුමිච්ඡා විසිපහක්
මුසාවාදා හැටක්
සුරාමේරේ සීයක්
කවටයෙක්
විකටයෙක්
පාතාලෙ හතරක්
තුන්ප්රයාම තිස්හයක් අඩු කළවිට
දෙසිය විසිපහක්

Thursday, January 30, 2020

සටකපට

අද ලංකා පාර්ලිමේන්තුව නිවේදනය කරන්නේ මෙතුවක් අපේ නිදහස් අධ්‍යාපනයෙන්, සමාජ සංස්කෘතියෙන් හැදූ නායකත්ව පෞරෂ ස්වරූප  නම් වරද කොතැනද?

Saturday, January 25, 2020

නූගත් පාඩම් -

රට විධිමත් කිරීමට 2/3 දේශපාලන බල ව්‍යාපෘතියකට එහා ගිය විද්‍යාත්මක ක්රමවේදයක් අවශ්‍යයි.

Friday, January 24, 2020

විජය ගේ පරපුර

අප්සයිඩ් ඩවුන් වී
බැක්සයිඩ් උඩ යයි
සමහර මොළ 
වැඩ කරන්නේ එවිටයි

ශූරයින් මතුවෙයි
රේටින්ස් පෙරළෙයි
දිනෙන් දින ජාතියට
වීරයන් බිහිවෙයි

කළු චැසියට
සුදු බොඩි ඇත
සුදු කොඩි යට
සභ්‍යත්ව පිරුවට

හතේ පොත
සමඟ හැත්තෑවස
මහ බැංකුවේ සිට
පවුල් ගස් හැම තැන

රජ සහ මජර ජරමර
කවි කොළ සදිසි හඬ පට
ට්රෙන්ඩින්ය හුටපට
තුනෙන් දෙක ගෙන තනනු සුරපුර

Thursday, January 23, 2020

සද්දෙට විද්ද - පාර්ලිමන්ට් විලන් - හා සදා චාරය - නරඹමු

සද්ද විද්ද - ඔහු හඬ අනුව විද්දේය. ගෙම්බෝ ඇමිණුනි. ඉතිහාසය පුණුරුච්ඡාරණය වෙයි.

පාර්ලිමන්ට් පෝක් - සිංහල සිනමාවේ ප්‍රබල දුෂ්ටයෙකු නොමැති අවධියක ඒ භූමිකාවට පිවිසුනු ඔහු, දුෂ්ඨයා විසින් වීරයා අවදි කරන්නට වෙහෙසෙයි..

හා සදා චාරය -
ඇතැයි කියන මාහැඟි සංස්කෘතිය කාබාසිනියා කර ලාභ උපයමින් වැනසෙතැයි කියන සංස්කෘතිය රැකගැනීමට උරදෙන - ජනතාවාදී හා සුදු ජනමාධ්‍යය මහජනයා වෙනුවෙන් අනවරතව වෙහෙසෙයි..

නරඹන්න... පැතූ ප්රතිලාභ විඳගන්න. විනෝද බද්දේ පාඩුව ජනතාව වෙනුවෙන් ආණ්ඩුව විසින් දරනු ඇත.

Wednesday, January 22, 2020

සකල කලා අන්ඩරය -

යථාර්ථය ඥානනය කරණු පිණිස විකාර රූපී කළා මාධ්‍ය ඔස්සේ පැමිණි හඬනළු රංජනය - ලාංකීය සකල කලාවේ සුවිශේෂී සන්ධිස්ථානයක්.

Sunday, January 19, 2020

අරි මග..

දිට්ඨි
සංකප්ප
වාචා
කම්මන්ත
ආජීව
වායාම
සති
සමාධි
සම්මා..

Thursday, January 16, 2020

ශික්ෂා පදං..

පාණාතිපාතා
අදින්නාදානා
කාමේසුමිඡචා
මුසාවාදා
සුරාමේරේ
වෙරමණී..

Tuesday, January 14, 2020

තුවක්කු තබා උණ්ඩ දඩයම.. (රන්ජන් ගේ හඬපට තුළින් විදර්ශනාව පහළ වූ වග)

මේ විකල සමාජය නිර්මාණය කළ සම්භාව්‍ය සාතන්ලා රන්ජන්ලාට වඩා ශ්රේෂ්ඨ වේ. හේතුව ඔවුන්ට විරුද්ධ සාක්ෂි කෝටියක් ජනසතු වුනද ඊට විරුද්ධ බලයක් කිසිදා මේ සමාජයේ ක්‍රියාත්මක නොවන බැවිනි.
හඬ පට උණ්ඩ කළ හැක්කේ කවර සමාජයකද? ඒ සමාජය බිහි කළෝ කවරහුද? කුණු රහට අයිසින් තැවරුණ හඬපට  කේක් ගෙඩිය මේ සමාජයේ එක හරස්කඩකි. එය දහස්වරක් විශාලනය කර බැලුව හොත් ලාංකිකයාට පෙනෙන්නේ තමන්ගේම සමාජයේ හෙළුව මිස අනෙකක් නොවේ.