Monday, March 2, 2020

මේක මහ සූදුවක් (ඒ සූදුව පරදවමු)

දුක, දුකට හේතුව සෙවූ කාලය අහවරය. දැන් සැවොම සොයන්නේ සැප සොයන ලේසිම හා පහසුම මාර්ගයයි. දේශපාලන බලවතෙකු ගොඩනැගෙන මග අත්උදව්කාරයෙකු වීම ඒ ලේසි මගේ එක් ප්‍රමුඛ කාර්යයක් වෙයි. ඊට ගිහි පැවිදි බේදයක් නැත. උස් මිටි බේදයක් නැත. එහෙයියෙකු වන තරමට ලංකා දරණීතලයේ සුවිශේෂී වරප්‍රසාද හිමිකරුවන්ගේ කොටස්කරුවෙකු වීමේ ශක්‍යතාව ඔබ විසින් සපුරනු ලබයි. කාගේ එහෙයියෙකුද යන්න ඔබගේ වරප්‍රසාද වලට බෝනස් ප්‍රතිලාභ හිමිවීමට හේතුවක් වේ. 
කාලයක් තිස්සේ යටිකුරු කරගත් අපේ රටේ ක්‍රමයේ අරටුවට වැද ඇති අකුණු කුණ එයයි.
ඒ අනුව එකම කතා වෙනස් ආකාරයෙන් කියමින්, එයම නැවත කියවමින් තම දේශපාලන ව්‍යාපාරය සෞභාග්‍යමත් කරගැනීම උදෙසා දහස්වර වෙහෙසෙන අත්උදව්කරුවන්ට සැළකීම අප රට සංවර්ධනය යනුයි. එබැවින් රට වෙනුවෙන් ශ්‍රමය ලබාදීමට වඩා කාලීනව ඉල්ලුමක් ඇති දේශපාලන සංවිධානයක හොඳ අශ්වයෙකු වටා ගොනුවීම මේ සූදුවෙන් ජය ගැනීමට ඇති පහසුම මග වෙයි. එබැවින්ම තරඟය දැඩිවෙයි. මේ රට කරවන දේශපාලන සූදූවට ජීවිත පරිත්‍යාගයෙන් යුතු පැවැත්මක් ගොඩනැගී ඇත්තේ එනිසාය. සිංහල, බෞද්ධ, ජාතිකත්ව, යුද්ධය සේම සාමයද සැබවින්ම මේ තරඟය තියුණු කරන ධන උත්ප්‍රේරක වෙයි. අතකින් ඒවා මේ සූදුවේ තීම්ස් හෙවත් තේමාවන් වෙයි. අධිරාජ්‍යවාද විරෝධය, හොරු ඇල්ලීම, දූෂණය පිටුදැකීම, විධිමත් කාර්යක්ෂම රාජ්‍ය සේවාවන් ආදීයත් අයත් වන්නේ ඒ ඒ තරඟ අවස්ථා වල තේමාවන් යටතටය.  
සූදූවට ඇබ්බැහි වූ එකා විනාශය අත්දකිමින් වුව ඒ සූදුවෙන්ම ජය පතනවා විනා ඊට විරුද්ධව ඇඟිල්ලකිඳු ඔසවන්නේ නැත. එවන් එසවීමට ශක්තියක්ද ඔවුන්ට නැත. 
අද වන විට මේ දේශපාලන සරණ පතන සූදුව ඔස්සේ විනාශයෙන් විනාශයට පත්කර ඇත්තේ රටේ එක් ක්‍ෂේත්‍රයක් පමණක් නොවේ. රටේ හෑම ක්‍ෂේත්‍රයකම මූල පද්ධතිය විනාශ කොට ඇත්තේ මේ දේශපාලන සූදුව විසින්ය.
ඊට ඔට්ටු තබන ජනතාවද සපුරා මීට වගකිව යුතුය. යම් දිනෙක මේ විනාශකාරී සූදුව නැවැත්විය හැක්කේ සුළුතරයක් වන මේ සූදූ කෙළියට කිසි ලෙසකින් දායකත්වය නොදෙන ශක්තිමත් මධ්‍යස්ථ මිනිසුන්ට පමණි. 
එය දුෂ්කරය, නමුත් මේතාක් රටේ යහපතට උරදී වෙරදී ඇත්තේ ඔවුන්ය.

සූදූවෙන් දිනාගත් යමක් වේද එය සූදූව නිසාම විනාශ වී යයි. රටට සිදුවී ඇති දෑ සමස්ථයේ සාරංශය ද එයමය. 
එබැවින් සූදූව වෙනස් කරනවා වෙනුවට, අශ්වයා මාරු කරනවා වෙනුවට, සූදුව තහනම් කරන තැනට අප යා යුතුය. දේශපාලන සූදුවක් වන රට කරවීමේ වත්මන් ක්රමය වෙනස් කළ යුතුය. මිනිසුන් තිරිසන් කරවන මේ ක්‍රමය වෙනස් කිරීමෙන් මිස ට්‍රෝජන් අශ්වයෙකු වෙනුවෙන් ජනතාව තුනෙන් දෙකක ඔට්ටු තැබීමට යාම සූදුවෙන්ම විනාශයට යාමකි. බල ගැන්විය යුත්තේ දේශපාලන සූදු විරෝධී බලකායකි. දේශපාලන බල සූදුව පරදවා රටේ යහපතට තීරණ ගත හැකි බහුතරයකි.
එබැවින් ධනයට, බලයට, ලාභයට වාල් වී ඔට්ටු දමා තවදුරටත් මට්ටු නොවීම අද රටේ ජනතාවගේ පරම වගකීමකි.

No comments: