Tuesday, February 25, 2020

හදවතේ කතාවක්!❤❤❤❤❤❤❤

රිස්සන්ට රිසි තැන් හදනවා විනා නිස්සන්ට නිසි තැන් නොලැබීම උපන්දා සිට මෙරටේ ගැටළුවකි. 
දේශපාලකයා තම බල පැවැත්ම සොයා යන ගමනක රටකට දෙන නායකත්වය එදා මෙදා හැමදා මා නම් දුටුවේ දේශපාලනයේ මුහුණුවරකින්ම මිස ජාතික මුහුණුවරකින් නොවේ. සරලවම මේ රටේ වෙනස් විය යුතු දෑ බොහොමයකි. ඒ වෙනස්කම් ආරම්භ කළ යුත්තේත් සරල තැනකිනි. (උදා-මහපාරේ නීති)
සිංහල බෞද්ධ රටක් යන අරුතට ප්රතිපදාවක් කැවීමට තරම් හික්මුණු රටක් නොවන අප ඒ අර්ථය භාවිතයට ගන්නේ හුදු දේශපාලනික අරමුණු සඳහායි. බලය, බල වර්ධනය උදෙසා පමණක් කරනා ඒ භාවිතය තව දුරටත් පවත්නා සිංහල බෞද්ධ සංස්කෘතික වටිනාකම් බොල් කොට දමනවා පමණකි, අප දකින්නේ.
බුදු දහමේ සියල්ලට ප්‍රමුඛව සළකන මිනිස් සිත අන්ත දූෂ්‍ය කරන්නා වූ සටකපට කම්, අයුක්තීන්, අසාමානාත්මතා සමාජය තුළ වපුරන පන්නයේ දේශපාලන ක්‍රමයක් තුළින් රටකට අත්පත් වන්නේ කවර සුගතියක්ද?
සැමට රට පිළිබඳ අවබෝධ කළ හැකි සරල සත්‍ය වඩා සංකීර්ණ තත්වයේ අර්බුදයන් දක්වා ගමන් කරන්නේ දේශපාලන බලය හා එතුළ පවතින වරප්‍රසාද තවමත් රටේ සාමාන්‍ය නීතිය, යුක්තිය, සාධාරණය අතික්‍රමණය කළ හැකි තැනක පවතින නිසාය. 
පාලකයා තමන්ගෙන් අරඹා මෙෙත්රී භාවනාව වඩන පරිද්දෙන් තම ඥාති මිත්‍රයා ගේ සිට සාමාන්‍ය සමාජය තෙක් සමානාත්මතාවයෙන් යුතුව ඒ ශික්ෂණය පතුරවා නොහරින තුරු "සාර සොබාවත් ජන සමාජයක්'' යනු තවත් එක් දේශපාලන සටන් පාඨයක් පමණක්ම වනු නොවැළැක්විය හැකිය.

No comments: