සංවර උනාමලු ශීලය
ශීලය ගෙනෙනවාලු සිතේ එකඟකම
ඒ සමාධිය තුළ පෙනෙනවාලු ඇත්ත...
අත පය ඉස්සීම ගාණට තියාගෙන
හිත සන්සුන් කරගෙන
බැලුවම තේරුම් ගන්න පුළුවන් ඇත්ත
සමාජ සංවර්ධනයට මහමෙරක්
ධනාත්මක
සංවර්ධනාත්මක
ගුණාත්මක
පෞර්ෂ වර්ධන පන්තියක්
*ඔබ .. වඩාත් කැමති චරිතය හෝ භූමිකාව?
ජාතිවාදී /ජාතිකවාදී /ජනතාවාදී /ජනහිතවාදී /මානවවාදී /මානවහිතවාදී
*ඒ කුමන අධ්‍යක්ෂකවරයා යටතේද?
සහස් අදහස් වැස්ස වැහැලා
අනෝරා මුරුගසන් වී දැන්
ගඟත් පිටාර ගිහින් යන්තම්
පාරුවක එමි ම'දිවි බේරන්
සුළඟ දියවන්නාව උඩහින්
හමන සැරයට කුණාටුවකින්
මෙපිට නොනැවත ඇදෙන සුළියෙන්
ගුහාගත වෙමි ම'දිවි බේරන්
විරිය අධික වු අයෝමය සෙන්
මාර සේනා ලෙසට යුධයෙන්
රට රකින්නට පෙරට බටුයෙන්
පසුපසට යමි ම'දිවි බේරන්
ආදරය කම් රාග සැපයෙන්
උදම් වී ලා විලිය සිඳිමින්
අනවරත රා ගින්න බුරමින්
අරණකට යමි ම'දිවි බේරන්
කොතැනකට ගිය පසුත් පස්සෙන්
ඒ පසින් පස්සෙනුත් පස්සෙන්
කර්මයේ කරු මතින් ගැස්සෙන්
නිවනටම යමි ම'දිවි නිස්සෙන්
ප්රතිඵල ගැන කප්පරක් විරෝධතා දක්වන්නෝම හේතු සාධක පැළ කරමින් ඒවා අලෙවි කරමින් ව්‍යාපාර කරති.(හේතුඵල දහම අදහති. මැද මග ගැන බණ දෙසති)
වස්ත්‍රය උස්සා බැලීම මෝස්තරයක් වූ තැන් පටන් ලාංකීය ජාතිය කලාව, ක්‍රීඩාව, දේශපාලනය තුළ සිදුකර ඇත්තේ තම නිරුවත පිටපත් කිරීම පමණකි.
කලාව, දේශපාලනය තුළ ගම් විගඩම් විකිණීම ප්රෝඩාවකි. අතීතය වත්මන තුළින් අනාගතය දකිනවා වෙනුවට අතීතයම හඹන්නේ ඉන් එහා දෙයක් බැරි හෙයිනි.
ටෙලි නාටක විකටයා, නාටකය ඇදගෙන යාම පිණිස විය. රටක ජනතාව ජෝකර්ට ඇඳ ගැනීම..රට ඇදගෙන යාම පිණිසමය. ඉතිං විකටයාට හෝ කවටයාට අඳිමු තදකොට
අපි දුවමු - අපි පනිමු
ගී කියමු - අපි නටමු
බල පොරයට අපි ඇහැ නොදෙමු
බාල වියට ගොස් ඉදිමු
නැකතේ ප්රශ්න නිසා අවුලට යන රට.. අනේ මෙහෙම වංචාවක්.. අනේ මෙහෙම ලංකාවක්.. මිනිසුනි ලැබේලු ඉන් සම්මානත්
පිං තකා අපමණ හරක් නිදහස් කරන රටේ විධායක ව්‍යවස්ථාදායක පළාත් පාලන ඇතුළු රාජ්‍ය ආයතන තුළ සිටින හරක් නිදහස් නොකිරීම මහා පාපකර්මයක්මය.
දේව භාෂිතය යැයි කියූවත් මිනිස් මුවින් පරිබාහිරව එළිදුටු දහමක් ලෝකයේ නැත. වැදගත් දේ දහමක ඇති ප්‍රඥාගෝචර සත්‍යයන් හා එහි භාවිතාවය.
රටේ විධායක, ව්‍යවස්ථාදායක බලය යනු කොලුගැටැවුන්ගේ ජිල්බෝල සෙල්ලමක් නොවේ. ඒ බැව් සනාථ වීමට තව මිනිස් මාංශය කොපමණ උවමනා වේද?
මහින්ද, රනිල්, මෙෙත්රී, ගෝඨාභය, සහ ඔය ගොන් නටම බැඳෙන 225 ට අමතරව රටේ තවත් හත් අට දහක්ද සතියේ වැඩි දවස් ගණනක් සුදු ජාතික බැනියම් අඳිති. ලක්ෂ ගණනාවක් බෞද්ධ කිතුනු ඉස්ලාම් හින්දූන්, බුදුන්ට දෙවියන්ට ගුරුන්ට දෙගුරුන්ට වදින දෑතින්ම උන්ට වඳිති. රටට වැදගත් ඒ කිසිවෙක් නොවේ. එබන්දන්ට අමතරව තවත් ලක්ෂ ගණනක් මිනිසුන් රට තුළ ජීවත් වීමයි. එයිනුත් කාළගුණයෙන් දේශගුණයෙන් හෝ මුදල නිසා මිනිසාගේ වටිනාකම පාවා නොදෙන ලක්ෂ ගණනක් රට තුළ තවමත් ජීවත් වීමයි. තුට්ටු දෙකට තම වටිනාකම හෑල්ලු කරගත් මහා ප්‍රතිරූපධාරියෝ ඉදිරියේ වචනයකින් හෝ ඇත්ත කතා කරන වඩුවා තනන්නේ පුටුවක් මේසයක් පමණක් නොවේ. එබඳු ගුරුවරයා සිසුන්ට ලබාදෙන්නේ දැනුම පමණක් ද නොවේ. එවැන්නන්ට නිසි සමාජ වටිනාකමක්, කරළියක් ලබා නොදී බල පොරයේ සිටිනා උන් පතුරුගසා අප සතුටු වූවාට සැබවින්ම එයින් අපට අද දක්වා වැඩක් වී ඇත්නම් ඒ දශමයකි. සිදුවිය යුත්තෙන් හරියට දශමයකි. අපේ රටේ කලාවෙන් වන සමාජ බලපෑම වාගේය ඒ දේත්. අපි හදා ගන්නා පොඩි ඉඩකඩෙන් පහළ මට්ටමේ ජවපොදි ඉහළට ඔසවනවා තබා අපි කරන්නේ අපේම උන්ගේ විඥානය පුළුල් කරමින් එකතැන හිඳීමයි. එක් පාර්ශ්වයක් කොතරම් පුළුල් කරගෙන හිටියත් ගණිකා මඬමේ ලැග එන ස්වාමියා මර නින්දේ නම් එතැන සුජාත දරුවෙක් බිහි වන්නට පසුබිමක් නැත. පාලිතයන් සේම පාලකයන්ද නින්දෙන් අවදි විය යුතුය. රටේ පරම්පරා ගණනාවක් තුළ සුජාත භාවයෙන් තබා සහජාත භාවයෙන් වත් යහගුණය නූපදින්නේ එහෙයිනි. ඒ බීජ කිසිදා ගර්භගත වී නැත. සැබවින්ම වඳභාවය තිබෙන්නේ එතැනය. මෙහි සැබෑව නම් මේ රටේ ජන විඥානයේ දුප්පත්කම නොවේ. හීන වීර්ය යි. ඇත්තට නිදන එකා අවදි කළ හැකි වුවත් බොරුවට නිදන මහ උන්, උන්ගේ අපහසුවට මිස රටේ අපේ අපහසුවට නැගිටින්නේම නැත. පහසුවට ලේසියි ජීවිකාව පවත්වන්නට වැල යන අතට මැස්ස ගහන්නේ ඊට එකඟ නිසා නොව විරුද්ධ වී ජීවිතය අපහසු කර ගැනීමට ඇති අකමැත්ත නිසයි. එතකොට මේ සමාජ ප්‍රගමන මල් වට්ටියට අතගහන්නේ කව්ද? ඒවායේ නායකත්වය ගන්නේ කව්ද? සහ ඔවුන් එසේ කරන්නේ ඇයි? පැරණි ක්‍රමයේ ගම්බිම් පදනමේ රාශිගත වීම් ස්වභාවයක් නැති අද ඔය සේරම කෘතිම නායකත්වයන් වෙයි. එවිට නැවත ගමේ දේශපාලුවා ගමේ ස්වභාවික නායකයා වෙයි. පූජ්‍ය හෝ පූජක පක්ෂය ගමේ ස්වභාවික නායකයන් වීම බොහෝ කොට නාමිකත්වයටම වැටී ඇත. රාජ්‍යයේ බලය පාලකයාගේ පැවැත්ම පිණිස පමණක් සක්‍රීය වෙද්දී අප බල්ලාගේ කිනිතුල්ලා මෙන් පරපෝෂී වන්නට හදන්නේ පාලකයාගේ ඇඟේ එල්ලී හදා ගන්නා සබඳයකින් මිස අප වෙනුවෙන් පවතින රාජ්‍යයේ බලය සක්‍රීය කර ගැනීමෙන් නොවේ. අපි අහවලාගේ කට්ටිය කියා අහවලාගේ බලයේ කොටස්කරුවන් ලෙසින් රැකෙන්නට හදන්නේ එහෙයිනි. එසේ නැතිව රටේ පුරවැසියන් ලෙස පෙනී සිටීමෙන් පමණක් අපට රැකවරණය ලැබීමට නම් අපට හුදෙකලාවේ සටන් කරන්නට සිදුවේ. ඒ සටනට තවත් පුරවැසියන් එක් වෙද්දී එතැනත් උගත් පණ්ඩිතයෝ ගුරුකුල ප්‍රශ්න හදති. පිරිසක් ඉන්දියාවෙන් පැමිණ මිශ්‍ර වූ නිසාමදෝ බමුණන්ටත් වැඩි බමුණෝ මෙහේ සිටින බව කියන්නට සිදුවන්නේ එවිටය.
සාමාන්‍ය ජන විඥානයෙන් කළහැකි දේ එය පුළුල් වූවා කියා නොකෙරෙන්නේ එහෙයිනි. ඇත්තේ පහසු ජීවිතයේ රුචිකත්වය පමණි. අද බහුතර සිංහල බෞද්ධයා කොහොමත් සරල ජීවිතය පතන්නෙක් නොවේ. එබැවින් ඔය ජන විඥානය පුළුල් කිරීමට වඩා බෙල්ලට පිහියක් තැබීම, කඩුවක්, තුවක්කුවක්, බෝම්බයක් බොහෝ තැන්වලදී සාර්ථක වී ඇත්තේ මරණයට වඩා අපහසුව තුළ ජීවිතය හෝ ඉතිරිවන වාසිය පහසු ජීවිකාවේ රුචිය විසින් එහිදී මතු කරන බැවිනි.
එබැවින් අපහසු ජීවිත පහසුවෙන් ජීවත් කරවීම සඳහා හැදෙන ව්‍යාපෘතිත්, පහසු ජීවිත අපහසුවෙන් ජීවත් කරවීම සඳහා හැදෙන ව්‍යාපෘතිත් යන සංකීර්ණ බල සමීකරණ අතරේ සාධාරණ සරල සමීකරණයක් වන සාමාන්‍ය විඥානය යුක්ති සහගත බලසම්පන්න අවියක් කර ගැනීම අප වැනි මිනිස්සුන්ට මෙවැනි සමාජයක ජීවත්වීම උදෙසා එකම පිහිට 'වේ යනුවෙන් අවබෝධයට ගන්නට අපට සිදුවේ.
ජන විඥානය සමඟ රටේ පාලකයන්ගේ විඥානය පුළුල් නොවන්නේ නම් ඔවුන් උල හිඳුවිය යුතුය. එවිට ඔවුන්ගේ ඥාන මණ්ඩල විනිවිද විඥානයට මග කියනු ඇත.
අවස්ථා, තත්ව කළමණාකරනය
පන්තිය, පැළැන්තිය, ගුරුකුලය
මමත්වය, අධ්‍යාත්මය
විනිද්‍රාව නොවේ මිහිමත නිවන...
උඩ දමා වඳිමිනුත් පිහිටුවා පසඟ
රසකතා කියන්නේ හැම සභා මැදක
ගෙඩි පිටින් රහින්නට අවැසිතැන නියන
කිමද මේ වඩුබාස් වහන්නේ මඬුව
සැමට නීතිය පොත් පිටු අතර තෙරපේ
බල්ලෝ බුදිති තැන තැන පිනට ලද දේ
දරු මල්ලෝ අතරමං වංකගිරි නගරේ
අලියා පවා සුදු වූ ශුද්ධ කතරේ
තම නිල වගකීම අතහැර එය මහජනයාගේ කර්ම විපාකයක් බවට පත් කරන්නෝ එසේ කරන්නේ සැබවින්ම තමන් අදහන නිඝන්ට දහම රකිනු පිණිසමය.
දේශපාලකයන් සේ ජාතික වගකීම ගන්නා ක්‍රීඩකයෝත් ක්‍රීඩකයන් සේ පිති පන්දු හරඹ කරන දේශපාලකයෝත් සිටීම අප ලද භාග්‍යකි.
දුක කියා හඬා වැටීමෙන් නොනැවතී
දුක දරා විසඳුම් සොයමු ලක් මිණී
වැපිරුවත් කඳු ගණන් බොල් නැළි
පීදෙන්නෙ එක මිට යි මල් පිපී
මේ අපායේ අවනඩු විසඳීමට සිහසුනට පැමිණෙන්න.. නඩු විසඳන තුරු මා හට යමපල්ලෙකු ලෙස ස්වේඡචා සේවයේ යෙදීමට අවසර දෙන්න.
බිම තට්ටම
බිම් මට්ටම
බංකු මට්ටම
පුටු මට්ටම
ඇඳ විට්ටම
මේස ගැට්ටටත්
උඩින් ගියාම
වතුර මට්ටම
නහයටත් උඩින් ගියාම
මැරෙන මට්ටම
ඉන් එහා තමයි
තියෙන්නෙ බබෝ
ජාතික මට්ටම
ඒක තමයි අපේ...
අයුක්තිය ඉදිරියේ ඇඹරීම හා ඊට ලිහිසි තෙල් දැමීම යනු රාජ්‍යක පහළ මට්ටමේ වුව බලධාරීන් නිලධාරීන් විසින් තරයේම නොකළ යුත්තකි.
නිදහස් අධ්‍යාපනය පෙන්වා අපට ගිල්ලවූ නිවහල් චින්තන වන්ද්‍යකරණ පෙත්තේ අරුමය, වහල් ජන මනස ගැන තවදුරටත් විය යුත්තේ මන්ද පුදුමය!??
පැපොල් නාළ කෙළවර සියුම් දිගැති සැත්කම් කැපුම් යොදා නළා සෑදු කාලයක් මතක් විය.
සීසර්ට ස්තූතියි ජුලියස්.
රටක මහජනයා උදෙසා ඵලදායී නැති සියළු රාජ්‍ය ආයතන, දෙපාර්තමේන්තු ඉටුකරන්නේද රටක යහගුණය වඳ කරන්නට රට පුරා වඳ පෙති බෙදන ඒ කොන්ත්‍රාත්තුවමය.
සැබෑ හේතු මත පිළියම් නොකොට දේශපාලනය ඇතුළු සමාජ සංස්කෘතියට පණ පිහිටුවන්නන් විසින් හදන ඇතුළත තමන්ට පැවැත්මක් පමණක් ඇති හුඹස් මත සමාජ දේහය ස්ථාවර නොවන බවත් මේ කඩා වැටෙන්නේ ඒ හිස් බව මත පණ පිහිට වූ ප්රජාතන්ත්රවාදී සමාජ වාදී ධර්ම රාජ්‍ය බව මේ මොහොතේ දෙකෝටියකින් බහුතරයකට නොවැටහෙනවා යනු සැබවින්ම බොහෝ දෙනා මතු බුදුන් දැක මිස නිවන් නොදකින බවට කදිම සාක්ෂියකි. ☺ ස්තුතියි.
අන්තවාදයේ ගර්භාෂය සහ ගර්භාෂයේ අන්තවාදය
කාමසුඛල්ලිකානු යෝගය හා අත්තකිලමථානු යෝගය
දෙකෝටියක ප්‍රශ්න හා උභතෝකෝටික ප්රශ්න
නොදන්නාකම නිසා බය ඇතිවේ, ඒ බය දේශපාලකයා රජ කරවීමට හේතුවේ. එබැවින් දේශපාලකයා ඇතුළු බලය ආධිපත්‍යය රැක ගැනීමට කැමැති අය නොදන්නා කම අගයති. ගම්වල වෙසෙන අහිංසක දුප්පත් මිනිහාට වලව්වේ හාමුගේ සිට ජනාධිපති තාත්තා දක්වා අයගේ කැමැත්ත නිරායාසයෙන් උරුම වන්නේ එහෙයිනි.
මිටිකරගත් සවි මනසින් ගසා මිස
රට කරනවුන් ගේ කෙනෙහෙළි නොයයි මැඩ
අල්ලා හොල්ලලා පොළවේ ගසා මම
මඬිනෙමි ඉදිරියේ අවකෙළි පටන් අද
ඔව් ඒක සහතික ඇත්ත, මේකෙ මිනිස්සුන්ට ඉඩක් නෑ.. යක්ෂයෝ, ප්‍රේතයෝ, භූතයෝ, කුම්භාණ්ඩයෝ..පිසාචයෝ හැම තැනම
තරුණ කැරළි භීෂණ, තිස් අවුරුදු යුද්ධ ත්‍රස්තවාද, ලෝක ත්‍රස්තවාද අන්තවාද....නිතරම පිරිහීම, විනාශය..
මේක සිංහල බෞද්ධ රටක්!? මේක සිංහල බෞද්ධ රටක් නොවේ!
මේක දේශපාලයන්ගේ සර්කස් කූඩාරමක්.
නිවරැදි කොතැනද? වරද එතැනද?
ධජ පතාක වටිනවා
චක්‍ර සළකුණු රකිනවා
ප්‍රදර්ශනයට වටිනවා
සුදර්ශන අපි රකිනවා
පාලකයන්ගේ මුග්ධද්ත්වය නුගුණද්වය බලලෝභය උදෙසා ජීවිතය පූජාවක් කොට අකලට පරවගිය ලක් දෙරණේ මල් කැළට අපගේ වෙසක් පුණ්‍යානුමෝදනාව
පොඩි කාලේ
අපේ බාලේ
මතක සුවඳයි
මලක් වාගේ
පල්ලි පන්සල්
කෝවිල්ද පාසැල්
දැනුනෙ එක වාගේ
එකම මල වාගේ
ඒ කාලෙ සින්දූ
වගෙයි මී බින්දු
වැස්ස හුළඟ ගඟ
ළඟ නැවතුනේ හදවත
පොත් කියෙව්වා
අපි කවිත් කිව්වා
කතා ලිව්වා
තව ගීත කිව්වා
සෙල්ලම්ද කෙරුවා
හිතේ හැටියට
ඇඟේ මැළි බිඳ
අපි හොඳට නැටුවා
විලිබියෙන් හැංගිලා
හිටි තැනදි ඔසවලා
හදවතට දිරිදුන්නු
ගුරුවරුත් හිටියා
දෑතින්ම වඳින්නට
දෝතින්ම පුදන්නට
හිතුනු තව බොහෝ දේ
ඒ කාලෙ තිබුණා
හිතවතුන් හිටියා
පින්වතුන් වැඩියා
කට ඇරන් බලන්නට
කෙළි කෙරුම් තිබුණා
දෙමාපියන් හොඳින් හැදූ දරුවන් නම් බොහෝකොට හොඳ දරුවෝය. සුදු, කලු හෝ වෙෙවර්ණයෙන් සැරසී මුහුණු වසා හෝ නොවසා නිර්ලජ්ජිතව ජඩකම් කරන්නෝ නොවේ. වගකීමෙන් පලා යන්නෝද නොවේ. ඒ එසේ පළායාම නිර්භීත කම නොව නිවට කම බව ඔවුන් දන්නා නිසාය. අනිත් අතට දෙමාපියන්ගේ හොඳ රැකවරණයක් නොලැබුණ හේතුවෙන්ම වගකීම යනු කවරක්දැයි හඳුනා එහි වටිනාකමට අරුතක් දෙන දුක ජයගත් පුරවැසි දරුවෝද වෙති. නමුත් ඒ රටෙන් කොතරම් නම් ප්‍රමාණයක්ද?
සාමාන්‍ය සමාජය පසෙක තිබේවා, ඔවුන්ගේ නියෝජනය පවතින ව්‍යවස්ථාදායක සභාවේ කී දෙනෙක් නම් වගකීම යනු කුමක්දැයි දන්නේද? වගකීම තබා සිහිනුවණින් කතාවක්, අදහස් ප්‍රකාශ කරන්නට සමත් කී දෙනෙකු ඒතැන ඇද්ද? ඒ පමණක් නොවේ ප්‍රාදේශිය, පළාත් පාලන ආයතන වල දේශපාලනය යනු ගමේ පිල් මාරුවකින් එහා දෙයක්ද? නැත. ඉන් එහා ගමේ වැඩ වෙන්නේ ගමෙන් බාගයකටය. සුදුසුකමට වඩා කටින්, බලයෙන් පැවැත්ම රඳවා ගන්නට සමතුන්ට පමණද මෙරටේ දේශපාලනය? අපේ වටපිටාවේ ඉන්නා ශක්තිය බුද්ධිය ඇති මිනිසුන් අපේ නියෝජිතයන් බවට පත් කරගන්නට අපට ඇති බාධා කවරේද?
සිහිබුද්ධිය ඇති නමුත් දේශපාලන දැක්ම අනුව විවිධ මත දරණ මිනිසුන්ගේ මහා භේදය මේ අතරින් ප්‍රධානය. කුඩා කුඩා කණ්ඩායම් වශයෙන් බෙදුන තරමටම ඒ මිනිසුන්ගේ බලයද හීන වී ඇත. එනමුත් පසුගිය කාලයේ මේ පිරිස් තමන්ගේ භේද පසෙකලා පොදු අරමුණු වෙනුවෙන් එක්වී ඇත්තේ වරක් දෙවරක් ද නොවේ. එහිදී ලද ප්‍රතිඵල සහ ඒ අනුව පෙනෙන්නේ අපේ මිනිසුන්ගේ පිරිහීමද, දේශපාලනයේ පිරිහීමද, ඒ දෙකම ඇතුළු සමාජ දේහයේ අධ්‍යාත්මික බිඳ වැටුමද? ගැඹුරින් හිතන්නටත් දෙයක් ඇත. ඒ පිළිතුර සංකීර්ණ විය හැකිය. නමුත් එය මෙසේ සරලව දැක්වීමට ද හැකිය. තරඟකාරී අතිධාවනකාරී ජීවිත සහ කාලාන්තරයක් තිස්සේ මජර ක්‍රමයකින් මුදලට බලයට සියල්ල නතුකළ සමාජයක පතුළේ ඇති සත්‍ය බොහෝ විට මතුපිටට පෙනෙන්නේ නැත. එතරමට මෙහි දිය බොරය. දූෂිතය. කැළතුණු විට සත්‍ය උඩට මතුව ආවත් ඇසිල්ලකින් යළි නොපෙනී යන්නේ එබඳු විටෙක නන්දොඩවන මිනිසුන්ට සත්‍ය හසුකර ගැනීම පිළිබඳ වූ හසරක් නැති කමිනි. එතැනදී කෙනෙක් ඇතැම්විට අන්න අන්න කියා මතුවන සත්‍ය පෙන්නුවද ඇසිල්ලකින් සැඟව ගන්නා සත්‍ය නොදකින පිරිස් ඒ ඇඟිල්ල දෙස බලා ඔහුටද දොස් නගත්. අද සිදුවන්නේ කුමක්ද? එයමයි. සිහිය පෑදුණු මිනිසුන් සිහිය එළවා ගන්නට හදන විට දිය බොර කරන්නේය. වතුරට ගල් ගසන ඔය මිනිසුන් පිටුපස තිබෙන්නේ සැබෑ ත්‍රස්තවාදී අන්තවාදී විරෝධයක්ද? ජාතික ආලයක්ද? දේශප්‍රේමයක්ද? නැත්නම් ද්වේශ ප්‍රේමයක්ද? හැමදාම හෙළය කෙලෙසුවේ නිර්ලජ්ජිත හෙළුවැලි කෙළතොලු දේශපාලනයයි. එහි අතකොළුයි. ජන මාධ්‍යට මූණ ඔබා මේ මොහොත හෙට තමන්ගේ දේශපාලන මාර්ගය කරගන්නට හදන්නෝ ආලය කරන්නේ රටටද, ජනතාවටද, බලයේ වරප්‍රසාදවලටද, ඒ ආත්මාර්ථකාමීන් සියල්ලෝ පැරදවිය යුත්තේ අප විසිනි. සබ්බ සකල මනාව වෙනස් කරන බවට මුසා දෙසූවන් දෙස බලා අපට උගන්නට ඇති එක් කාරණයක් නම්, පළමුව සිදුකළ යුත්තේ මේ පාදඩ දේශපාලනය ජන බලයෙන් සපුරා වෙනස් කිරීම නොව යම් පමණකට හැරවීම බවයි. වම දකුණ පසෙක තබා සුදුසු ආනතියකින් සුදුසු දිශාවකට හැරවිය යුතු බවයි.
ඒ හැරවීම පිණිස සුදුසු නියෝජිතයන් අපි හදමු. ඒ හැදීම නොවී ඇති නිසා නොවෙද හැමදා අපි එකම තැන. නීතිය, යුක්තිය, සාධාරණය දන්නා, තමා ගැන හොඳ විශ්වාසයක් ඇති, තමන්ටත් සමාජයටත් වගකියනා මිනිසුන් අපි මතුකොට ගනිමු. අවශ්‍යව ඇත්තේ ඒ සමාජ වටිනාකම් රටේ සැබෑ වටිනාකම බවට පත් කිරීමයි. රට හැදෙන්නේ එබඳු සැලසුමකින්, හැරවුමකින් පමණම යි.
-ඉතිරිය පසුවට-
ගොවියා පුතු කතාවට මිස ක්‍රියාවට සෘජු නැත්තේ ඇයි.. හදවත රැඩිකල් ඔළුව වැඩවසම් තමා කඩවසම් නිසාද?
පූජ්‍ය, පූජක, දේශපාලක, නිලධාරීන්, බලධාරීන්ගේ සිට සමස්ථ ලාංකිකයාම වැඩවසම් හාමු චින්තනයෙන් මිදී නොඑනතාක් ලෝකයේ ඉස්තරම්ම නීති මෙහි හැදුණත් ඵලක් නැත. ඉන් අදහස් වන්නේ නූතනයේ ජීවත් වුවත් අප මනසින් වසන්නේ වැඩවසම් යුගයේ නම් අපට අවශ්‍ය තවත් වංගෙඩි වාහේ කෙනෙක් වීම මිස දෙපයින් සිටීමට මිනිසාට ඇති නිදහස් අයිතිය රැකගැනීම නොවන බවයි.
සත්‍ය ගරුක වී යුක්ති ගරුක වන්නා සැබවින්ම නිර්භීතය, නීතියේ සාධාරණය අපේක්ෂා කරන එබඳු සද් ලාංකිකයන්ට ජය-වේ
මහජන නියෝජිතයාගේ බලය වර ප්‍රසාද සහිතය. ඒවා ජනතා සේවය උදෙසා භාවිත වෙන්නේ අල්පවය. නමුත් තම සුඛ විහරණය, පවුල් පද්ධතිය ශක්තිමත් කිරීම, තම වර්ගයා ලෙසින් තමන්ගේ විවිධ වූ අරමුණු සඳහා උදව් වන පරම ඥාතියාගේ සිට මැරයා දක්වා නෑයෝ නොනෑයෝ වෙත සැලකීම ආදියට නොඅලස්ව ඒ වරප්‍රසාදිත බලය භාවිත වෙයි. රටක් උදෙසා පත්වන ජනපතිවරු බොහෝකොට පළාතක මහ ඇමතිගේ භූමිකාවට යන්නේ ඒ අනුවය. ඒ අනුව වයඹ සංවර්ධන කරගන්නට නම් අප ජනපතිව වයඹින් පත් කර ගත යුතුය. මෙලෙස පවතින යථාර්ථය හමුවේ තම තමන් ගොඩයාම උදෙසා මිනිසුන් තම ඡන්දය නොහොත් පරමාධිපත්‍යය භාවිත කරන විට ඒ නියෝජනය ලබන්නාද අල්ලස් ගන්නෙකු බවට පත්වන්නේ ඡන්දය තමන්ගේ වැඩය කරගැනීමට දෙන පගාවක් බවට පත්වෙමිනි. එවිට පගාව වෙනුවෙන් කටයුතු කිරීම මිස ගම රට හෝ ප්‍රජාවේ සුභසිද්ධිය නියෝජිතයාට අදාළ වන්නේ නැත. මේ ක්‍රමය අසාධාරණය වැපිරවීමක් වන අතර ගැට පිට ගැට ඇතිවන මගක්වේ. බලය අයුතු ලෙස භාවිත වීම පමණක් නොව ප්‍රචණ්ඩත්වය හිස ඔසවන්නේත් මෙවිටය. පාට පක්ෂ යනු දේශපාලන මති මතාන්තර වෙනස්කමකට වඩා මැර කණ්ඩායම් පාතලයන් දූෂිතයන් අතර ගනුදෙනුවක් ලෙස කරළියට එන්නේ පරමාධිපත්‍යය පගාවක් කොට භාවිතයට ගන්නා ජනතාවගේ පිහිට මතය. එහිදී සාධාරණ යුක්ති ගරුක මිනිහා යම් සටනක් මීට එරෙහිව දියත් නොකරනතාක් විධායක වේවා ව්‍යවස්ථාදායක වේවා ඇති බලතල මත, බලය බෙදී ඇති ප්‍රබලතාව මත අධිකරණය දක්වාද බලය පැතිරවූ අවස්ථා වෙයි. 5/6 කද 2/3කද යන්න පමණක් සළකා බලය දිනා ගැනීමෙන් අනතුරුව මහජනයා නොසළකා හරිත් නම්, සමස්ථය දේශපාලකයන් ලෙස ආණ්ඩුව විපක්ෂය හා අනෙකුත් නියෝජිත පක්ෂ විවිධ ඩීල් තුළ උනුන් මත යැපෙත් නම් පසුගිය ඉතිහාසයේ අප දුටු ලෙස අධිකරණය වෙත දෑස් දල්වා බලා සිටින්නට සිදුවේවි. තත්වය එතැනිනුත් ඔබ්බට ගිය අවස්ථාවලදී වන්නේ මිනිසුන්ගේ ජීවිත අහිමිවීමය. ජනයා බෙදෙන තරමට පාලනය පහසුය. එබැවින් භේදකාරී සාධක සමාජයේ වැඩෙන්නට හැරීම ලොකු ඡන්ද කුට්ටියකි. ඒ මත තමන්ගේ වගකීම් විරහිත දේශපාලනය නඩත්තු කළ හැකිය. දේශපාලනයේ දෑඟිලි බෙහෙවින් දිගුය. සියළු අතුරු සිදුරු අතරින් රිංගා යන තරම අප්රමාණය.
-ඉතිරිය පසුවට-
ත්‍රස්තවාදය රුදුරුය. උදා කළේ අඳුරය. නමුත් ත්‍රස්තයා අප අපට අවංක නැති තරමට තමාගේ ත්‍රස්තවාදයට අවංකය. අපේ සමාජයේ හෙළුව පෙනෙන්නට බෝම්බ වලට ජීවිත පිදිය යුතු තරමට අප වංකය. රටේ දකුණේ කලකදිත් උතුරේ කලකදිත් නැගෙනහිර තවත් ලෙසකිනුත් පැමිණ ඇත්තේ නමින් ගමින් අර්ථයෙන් වෙනස් මුත් එකම ත්රස්තවාදයකි. ජාතියේ ආගමේ පන්තියේ ගමේ වෙනසත් සමඟ අමුණාලන අපේ ගැඹුරු සන්තානයේ ඇති අනෙකා පිළිබඳ නොපහන් හැඟීම ස්වර්ගයේ උසස්කම දක්වා ගෙන යන්නට කරනු ගොතන්නේ කෙසේද? කලින් කලට ලෝකයේ සත්‍ය සැඟවෙමින්, සඟවමින් මතු කරන්නා වූ සමාජ අසාධාරණකම් විවිධ චින්තකයන් විසින් අපායේ සිට ස්වර්ගයත් දෙෙවයේ සිට කර්මයත් දක්වා අමුණා ඇත. ඉන් මෙහා අධි භෞතිකතත්වයක මේ අසාධාරණය ඇමිණූ චින්තකයෝද වෙති. තම තම නැණ පමණට හෝ රුචි පමණට මේ චින්තන පැකේජ ගෙල ලා සැරසී සැනසෙන බොහොමයක් දෙනා අතරේ ඒ ගෙල වැල තවත් බහුතරයකගේ ගෙල වට බලෙන්ම පටලා සියළුදෙනා තම රුචිය වෙත ඇදීම කවර හෝ ආගමික, ජාතික හෝ ආර්ථික අන්තවාදයයි. මේ සමාජ අසාධාරණකම් භේද තුනී කිරීමට අවශ්‍ය සමාජ වටපිටාව සැකසීම කවරෙකුගේ වගකීමක්ද?
පළමුව හැම මිනිස්සෙකුටම තමාගේ සමාජය තුළ යුතුකමක් හා වගකීමක් ඇත. එය තේරුම් ගැනීම ස්වයං කටුත්තක් වන අතරම තේරුම් කරවීම සහ ඒ ඔස්සේ සැමට සාධාරණ නීති සැකසීම අදාළ බලධාරීන්ගේ නිළධාරීන්ගේ වගකීම වේ. එහිදී ඒ නීති හදන තැන ජනතා නියෝජිතයෝ සැබෑ ලෙස මහ ජනතාව නියෝජනය නොකරයි නම් ජනතා ප්රශ්න වගා වීමේ ආරම්භයයි. මෙහිදී සැළකිය යුතු වැදගත් කරුණ නම් ජනතාව උදෙසා ජනතා කැමැත්තෙන්ම අවැඩදායකයෝ බලයට පත්වෙන්නේ කෙසේද යන්නයි. හොර ඡන්ද, වංචාවෙන් රැවටීමෙන් අත් කරගන්නා ඡන්ද(බොරු පොරොන්දු), කාලයක් අපට ඡන්දයට පසු ඇඳිරිනීතිය ගෙනෙන තරමට ප්රබල විය.
-ඉතිරිය පසුවට-
තුන්කල් අනවර්ථයෙන් අනර්ථයෙන් හා අධර්මයෙන් අනුශාසනා කරන පිරිසක් හිඳීම අප ලද භාග්‍යයක්. වසර දහයකට පහළොවකට වතාවක් අපිට එහි ඵල භුක්ති විඳින්ට ලැබෙනවා. මේකත් ඒ වගේ කාලයක්. ඇඳිරි නිතීය කියන්නෙ ඒ කාලෙට ආණ්ඩුවෙන් ජනතාවට ලැබෙන බෝනස් එකක්. ඒක තේරුම් ගත්ත ඒ පිළිබඳව බොහෝ සෙයින් සතුටුවන ජනතාවක් සිටීම රටේ වාසනාවක්. මේ දිනවල උද්ගත වී ඇති උත්කර්ශය ඔවුන් උපරිමයෙන් භුක්ති විඳින්නේ රටේ පිරිසකට පහර දෙමින්. දේපළ හානි කරමින්. ඒක තමයි නිදහස කියන්නේ. මේ රටේ අවජාතික ආලය සමරන අවජාතක ක්‍රමය ඕක තමයි. අපි ඉස්කෝලේ ගිය කාලය, ආගමට දැක්වූ ආලය වාගේම කුණුහරුප සාක්ෂරතාවයේ වටිනාකමත් මෙහිදී කැපී පෙනෙනවා. අද වන විට මහබැංකු වාර්තා අනුවත් පුවත්පත් හා ජන මාධ්‍ය වාර්තා අනුවත් පුරාණයේ ලෙසම තව දුරටත් අප සීඝ්රයෙන් සංවර්ධනය වන රටවල් අතර අමු හෙළුවෙන්ම ඉන්නවා. සංචාරක කර්මාන්තය ගත්තම මේ දවස්වල බලන්න දෙයක් නෑ, එච්චරට තත්වය හොඳයි. පාසල් වල කරන්න දෙයක් නෑ. එදා ඉඳන් අපේ අධ්‍යාපනේ කරන්න කිසිම දෙයක් තිබුණෙ නෑ. හැම වෙලාවෙම ආණ්ඩු හිතුවෙ දරුවො ගැන. කන බොන දේ ඉඳල නොදුන් දෙයක් නෑ පාසල් වලට අධ්‍යාපනයේ සැබෑම අර්ථය හැරෙන්න. අනාගතයේ රටේ දරුපරපුර ගැන හිතා තම දරුවන්ට පිටරට ජීවිතය දායාද කොට දෙන්නට පවා අපේ නායකයන් කටයුතු කොට ඇති හැටි. ගෙලේ මාලා පළඳවා බුහුමන් දිය යුතුයි දේශය පාලනය කරපු අයට සහ ඒ ටියුෂන් දුන්නු ඈයින්ට . දැනටමත් ඒක හොඳටම සිද්ධවෙනවා අපි බලු හුරතලයට සළකන නිසා. ඒ හුරතලය කොච්චරද කීවොත් මතකය නැති වෙන තරමට හුරතලේට ඉන්න පින්වතුන් මෙහේ ඉන්නවා. රට මරු තැනකට ඇදදමා ජනයාට හිතේ හැටියට ජීවිත්වීමේ අවධානමට ඉඩ හදා දෙන්නේ පින්වත් දේශපාලකයින්. පිනට කැමති අපට කියන්නට තිබෙන්නේ තමන් කරගන්නා ඒ කරුමයන් පන්න පන්නා ජාති ජාතිත් උනුන් වෙත ඵල්ල වෙනවා කියායි. මේ දියුණුව රටකට ලේසියෙන් ලබාගන්නට නම් බෑ.
-ඉතිරිය ඉදිරියට-