Thursday, August 28, 2014
වන්දනාවේ යමු පේ වීලා
ඉස්සර අපි ගියේ වෙහෙර වදින්නට. සුදුවතින් සැරසී පොහොයට පන්සල් යාම අපට රටට අරුමයක් නොවේ. එතැනදී අපට පන්සල යනු හුදු ගොඩනැගිල්ලක් නොවේ. අධ්‍යාත්මික ස්මාරයක්. කොහොම ඇදන් ගියත් පල්ලියත් එහෙමමයි.
ඊයේ රෑ සුළු මොහොතක් කොටුව පිට පුද්ගල බස් නැවතුම පසෙක පාවෙන - නමකින් හැදින්වුනු වෙළද හල් සංකීරණය මතින් මදක් ගොස් ආව. මට හිතුනේ දැන් අර කලින් වන්දනාවට වඩා අප මේ වන්දනාවට රුචි වෙමින් ඇති බව. මිතුරකු සමග මෙතන ගැසූ රස්තියාදු මිනිත්තු කීපයේ දුටු සේම, මීට පෙර ද විවිධ තැන්වල දී ගොඩනැගිලි වට කොට බොහෝ දෙනෙක් වන්දනාවේ යෙදුනා මතකයි.
පන්සල්ද පල්ලිද අධ්‍යාත්මික මුහුණකින් තොරව පෙනෙන්නට පටන් ගෙන ඇති නිසාදෝ ගොඩනැගිලි වන්දනාව දැන් ජනප්‍රිය වෙමින් යනු පෙනෙන්නේ, පල්ලි පන්සලුත් ලස්සන ගොඩනැගිලි, කඩ සාප්පුත් ලස්සන ගොඩනැගිලි. හරි අපූරු සාප්පු වන්දනා.
රට සංවර්ධනයට මේ වන්දනාව වැදගත්ලු, වන්දනාව වැඩි වූ තරමට මඩි තරවේලු. අධ්‍යාත්මික සුවය සොයා පල්ලි පන්සල් ගිය අයට දැන් මානසික අවපීඩනයෙන් මිදෙන්න ගොඩනැගිලි වන්දනාවත් අපූරු දෙයක්. සාධු සාධු නොකියන නිසාම දැන් ගොඩක් දෙනා ගොඩනැගිලි වදින්න යන්නේ කන්න බොන්න හොදට පේ වෙලා. හරිම අපූරුයි. තව හොද හොද සෙල්ලං ඉස්සරහට තියේවි. ඒව එළිවෙන ජාමෙට කියනවනේ.
ඔය අස්සෙ බැදිවල, ගම්මාන වල එහෙමත් කරක් ගහල ඒ පැතිවලට පුරුදු පුහුණු කරන්න ඕන දේවලුත් මොනවද කියල හොයල බලන්න පුළුවන් වුනානම්, කාට කාටත් පේවිලා ම වට වන්දනාවේ යන්න හැකි වෙයි, කොයි කොයි ප්‍ර දේසෙත්.
දේසේ හැටියට බාසේ කියනවනේ. දැන් අලුත්වෙන දේසෙට සිංහලත් නොගැලපෙන තරම් ද කියලත් හිතෙනවා. අපි දැන් හදන්නෙ රෑටත් ඇහැ ඇරලම ඉන්ඩලුනේ. බලන්ඩ ඒකෙත් හැටි, ගස් ගල් වලට වැද වැද ඉදල, අර්ථයක් ඇතිව වදින්න පුදන්න පුරුදු වුනු අපි දැන් ගොඩනැගිලි වන්දනාවට පුරුදු වෙලා. ලොකු ලොකු ගොඩනැගිලි, පාරවල් දැක්කම ඇතිවන සද්දාව හරිම වැඩී. භක්තියත් හරිම වැඩී. සමහරුන්ගෙ ඇගේ මවිල් කෙළින් වෙනව සද්දාවට, හරියට රජතුමා ගමට වැඩිය වගේ ඇහැට පේන කොන්ක්‍රීට් කදු සජීවීකරණය.
ඉතින් මෙහෙම යනකොට මං වැඩකරන ගොඩනැගිල්ල වගේම විවිධ අවශ්‍යතා සදහා යන එන හැම ගොඩනැගිල්ලක්මත් එ් වගේම, අහස උසට නැතත් හිතේ භක්තිය ඇති කරන හැම ගොඩනැගිල්ලක් ගැනමත් හිතල ඒව සරණං ගච්ඡාමී කියමින්ම ජීවිතේ ගෙවන්නත් වැඩි ඈතක් නැතිවම අපි පුරුදු වේවි. එදාට වට වන්දනාවේ නෑවිත්ම හැමදාම ගොඩනැගිලි වන්දනාව කරන්න අපි පුරුදු වෙයි. එහෙම වුන රටක පල්ලි පන්සල් නිවාඩු නිකේතන වගේ ගොඩනැගිලි වේවි. ඔන්න ඔහොමලු ලෝකයේ දිහාට රට යන අත. අපි යන අත.
අපි මොන විදිහට හිතුවත් අද උපදින දරුවන්ට ඉතිරි භෞතික ලෝකයම විතරයි. එ්ක ඇතුළෙ අධ්‍යාත්මික නටඹුන්වත් නැහැ. කෑම, බීම හා ජොලිය-තව වෙන මොනවද? ජීවිතය කියන්නෙ එච්චරයිද? එහෙමනම් ඒක හිස් දෙයක් විතරයි... හිස් ලෝකෙක ගොඩනැගිලි, පාරවල්, යාන වාහනත් එක්ක පිළිවෙලකට ජීවත් වෙන සත්තු ගොඩක් විතරක් වෙයි අපි හැමෝම.
මට හිතෙන්නෙ අපි යන්නෙ එහෙම ගමනක්, ලෝකෙත් යන්නෙ එහෙම ගමනක්. කෙළින්ම ඉස්සරහට යන මහ පාර එහෙමනම් දකුණට හරි වමට හරි සිග්නල් දාල මම ගන්නව අතුරු පාරක්. සමහර විට ඒ පාරෙත් දකුණට වමට අතුරු පාරවල් තියේවි. ඉස්සරහ අනතුරක් නම් ඒ තැන්වලිනුත් හැරෙන්න වේවි. මම හැරෙනව, හැබැයි යන්නෙ ඉස්සරහටමයි.
Thursday, August 21, 2014
මගේ ඉදිරි දැක්ම - ඔබට ස්තූතියි.
හැමදේම එකය. නමුත් එකක් හැමදේ නොවන නිසා එක එක වෙන් වශයෙන් විස්තර කෙරේ. නමුත් අවසන සියල්ල එකය. ඔබත් මමත් ගණනින් දෙදෙනෙකි. ඔබ පිරිමියෙක් නම් මමත් පිරිමියෙක් නම් එතැන ගණය පිරිමිය. ඔබ ගැහැනියක් නම් මම පිරිමියෙක් වුවත් එතැන අප මිනිස් ගණයේය. ඔබද මිය යනු ඇත. මමද මිය යනු ඇත. එතෙක් අප දෙදෙනාම ආහාර ගන්නෙමු. ඒ දෙතැනක හිදය. ගන්නා ආහාර වර්ගද විවිධය. එහෙත් අප දෙදෙනාම එකලෙස ආහාර දිරවා එක ලෙස බැහැර කරන්නෙමු. ඔබේ දේශගුණය සෞම්‍ය කළාපික වනු ඇත. මා උෂ්ණ කළාපයක වනු ඇත. ඔබේ පැහැය එකක් වද්දී මගේ පැහැය තවකක් වනු ඇත. එහෙත් අප ව්‍යුහාත්මක වශයෙන් එකම විශේෂයක වන්නෙමු. ඔබ මුහුණ දෙන අද්දැකීම් විවිධය. ඔබේ වයස මට වැඩි හෝ අඩුය. මගේ අවශ්‍යතා එකක් වද්දී ඔබේ අවශ්‍යතා තවකකි. එහෙත් අප දෙදෙනාම නින්දත් නොනින්දත් දෙකම ලැබ දිවි ගෙවන්නෝය. ඔබේ පවුලේ සාමාජිකයින් ගණනින් බොහෝ වන්නට පිළිවන. නැත්නම් පවුලේ එකම දරුවා ඔබ වන්නටත් පිළිවන. මගේ තතු ඊට ඉදුරාම වෙනස් විය හැකිය. එහෙත් අප දෙදෙනාම එකම මූලයකින් බිහිවූවන්ය. ඔබට දරුවන් ද සිටිනවා විය හැකිය. මා විවාහකයෙකු නොවන්නට ද පිළිවන. එහෙත් පුද්ගල භූමිකා වලින් තොරව ගත්විට අප දෙදෙනාම ලෝක වාසී මනුෂ්‍යන්ය. අපට ලැබෙන සැලකීම් පිළිගැනීම් විවිධ වන්නට පිළිවන. එහෙත් අප දෙදෙනාම උපතත් විපතත් අතර දිවියකට හිමිකම් කියන්නන් පමණය. ඔබ මට ඔබේ අදහස් නොකීවා වන්නට පිළිවන. මා මගේ අදහස් ඔබට කීවා වන්නට පිළිවන. මම ඔබ නොදන්නවා වන්නට පිළිවන. ඔබ මා නොදන්නවා වන්නට පිළිවන. එහෙත් අප ලෝකයේ කොහේ හෝ දිවි ගෙවන්නන් බව අපට විශ්වාසය. එනම් අප ජීවින් බව අපට විශ්වාසය. එයිනුත් මනුෂ්‍යන් බව තව දුරටත් විශ්වාසය. සිංහලය දන්නා බවට ඉදුරාම පැහැදිලිය. ඒ එකම සිංහලය දන්නා නිසා ඔබත් මමත් අතර මනුස්සයා යන්න හැර සියල්ල වෙනස් වුවත් තවත් එක දෙයක් සමාන විය යුතුමය. එනම් සිංහලය දන්නා එකය. දන්නා සිංහලය අප එකි නෙකා වටහා ගන්නා අකාරය විවිධ වන්නට පුළුවන. ඔබ හරි යැයි සිතන දේ මම වැරදි යයි සිතනු ඇත. සමහරවිට එකම දේ අප දෙදෙනාම සිතනු නැත්ද? මම මා ගැන බොහෝ කොට තේරුම් ගෙන ඇත. ඔබ ඔබ ගැන බොහෝ කොට තේරුම් ගෙන තිබෙනවා විය හැකිය. ඔබෙන් මට ඵලක් නැතිද? මගෙන් ඔබට ඵලක් නැතිද? මිනිසෙකුට තවත් මිනිසෙකු ගෙන් ඵලක් තිබෙන්නේ ගනුදෙනුවකදී පමණක්ද? මම පරිගණකය ඉදිරියේ හිදින්නෙමි. ඔබත් පරිගණකය ඉදිරියේ හිදින්නෙහිය. ඒ එකම වේලාවේක නොවනු ඇත. ඔබ යමක් කියවනු ඇත. ලියනු ඇත. බලනු ඇත. මමද යමක් කියවමි ලියමි බලමි. ඒ එකක්ද නොවනු ඇත. එහෙත් දෙකක්ද නොවේ. ඔබටත් මටත් බලන්නට ඇති දේ වල එකම වෙනස රට රට වල තහනම් කොට ඇති දේ පමණි. ඔබත් ලෝකය දකින්නෙහිය. මමද ලෝකය දකින්නෙමි. ඒ එකම ලෝකයකි. නමුත් එකම ආකාරයෙන් නොවේ. කිසිසේත්ම එකම ආකාරයෙන් නොවේ. එ්ත් අප දෙදෙනාම ජීවත් වන්නේ දෙරටක වුවත් එකම රටක දෙතැනක වුවත් එකම ලෝකයේය. ඔබේ පැවැත්ම මමය, මම කියමි. මගේ පැවැත්ම ඔබය, ඔබ නොකිව්වත් මම කියමි. තවත් මිනිසෙකු නැති ලෝකයක ඔබට පැවතිය හැකිද? මට පැවතිය හැකිද? උත්තරයක් මෙතන ලිවීමට අවැසි තරම් ඔබ හෝ මා බුද්ධියෙන් මන්ද නොවෙමු. එබැවින් මට සහය දුන් ඔබට ස්තූතියි. මගේ ඉදිරි දැක්ම හැදෙන්නේ සියල්ල එකක් බව වටහා ගැනීමෙනුත් එකක් යනු සියල්ල නොවන බව තේරුම් ගැනීම තුළත්ය. ඒ අවබෝධය ලබා දෙන්නට මට පිටිවහල් වූයේ ඔබය. එබැවින් නැවතත් ඔබට ස්තූතිය. දිනෙක අප හමුවන්නටත් කෙදිනකවත් මේ අවකාශයෙන් පිට අප හමු නොවන්නටත් පිළිවන. එහෙත් යහපත පතන ඔබට පිං...සිංහලය තේරෙන අපට එකිනෙකා කෙරෙහි මෙත් සිතින් දිය හැකි එකම තුතියෙන් මම ඔබට සංග්‍රහ කරමි.
අවසන් වශයෙන් කියමි, මගේ ඉදිරි දැක්ම ඔබයි. ඔබ දෙස බලා මම ශක්තියක් ලබමි. ඒ ශක්තියෙන් මගේ ඉදිරි දැක්ම නිරන්තරයෙන් පෝෂනය වනු ඇත. ඔබට ජය.
ශුද්ධ වූ රස්තියාදුව ජීවිතය ඇතිතෙක් නිමි නොවේ. හිතට එකගව වැරද්දෙන් තොරව ජීවිතය දිනන්නට අප හැමට ශක්තිය...වේවා.
මිනිසුන් හැටියට ඉපදී යහපත් මිනිසුන් හැටියට මියයමු.
Tuesday, August 19, 2014
දැනගෙනම ඉඩ දෙනවාද? පාදඩ මර්වින් ප්‍රතිරූපකයන්ගේ කණ පළනවාද? දරුවන්ටත් තරුණයන්ටත් ආතල් ගන්නට කියා දෙන වැඩිහිටි ගොබ්බරාළලා විසින් සමාජය වනසා තමන්ද වැනසෙන හැටි
මර්වින් ප්‍රතිරූපයාගේ සිට ගත්කළ ගොබ්බ ගොමකල බදු වැඩිහිටියන්ට අතුල් පහර දෙන්නට සුදුසු පිරිසක් පහළවේවා. එ් පහළ වන පිරිසත් අපම මිස වෙන කව්ද? එසේ සිතෙන්නේ සමාජයේ යන්තමින් හෝ ඉතිරිවී ඇති වටිනාකම් එළිපිට කෙළසන මර්වින් ප්‍රතිරූපකය වැන්නන්ට එ් ජඩකම්වලට බදුන්වන තැන්වලදීම නිසි ප්‍රතිචාර දැක්වීමට නොතරම් තරමට අප මහජනයා මරණබිය ඇතිවුන් වීම සමාජයේ අද කුඩා දරුවා හෙට පාදඩයෙක් කරන්නට දෙන ලයිසමක් වීම වැනියැයි වැටහෙන නිසා. හරි හෝ වැරදි මහනායකටත් බණ දෙසන මර්වින් ප්‍රතිරූපකයන් අපට අත එසෙව්වොත් නම් හෙට මැරුවත් එතැනම කණපලනවා සත්තයි. හැකි තරම් ප්‍රසිද්ධියේම එවැනි පුහු පාදඩ ප්‍රතිරූප බිදිය යුතුය. තිරශ්චීන වැඩිහිටි ප්‍රතිරූපයන්ට එබදු ලෙසින් සැළකීමට අපට හිමිකමක් ඇත. අප යනු මා වැන්නන්ය. මා යනු ශුද්ධ රස්තියාදුවන්ය. බලපුලුවන්කාර හෝ දූ දරු ඥාතී හයිය හෝ පරම්පරාව හෝ රටේ කෙරුමෝ යන්න අපට බිය ඇතිකරන්නක් නොවේ. අප ඒවාට බිය වන්නේද නොවේ. නීර්භීත කම යනු උස මහත හෝ ප්‍රභූත්වයද නොවේ. කපටි කමෙන් තොර සද්භාවයයි. අවස්ථානෝචතියයි. නමුත් ගරු කළයුතු වැඩිහිටියන්ට අපි දොහොත් මුදුන් තබා වන්දනා මාන කරමු. ඔවුන් අපේ ශක්තිය සේම මතු පරපුරේ ආලෝකයයි.
සමාජයකට ගුරුහරුකම් ගන්නට අප සියල්ලක් නිතර හැරෙන්නේ අප වැඩිහිටියන් වෙතයි. ඒ වැඩිහිටියෝ අපට කියාදෙන්නේ ආතල් ගන්න හැටි ගැනනම් එහෙව් උන්දලාගෙන් තැනෙන සමාජයක් වින කටින්නේ උන් උන්ට පමණක් නොව තවත් බොහෝ දෙනාටයි. උදාහරණ කප්පරක් ඇතත් නුවණ ඇත්තන්ට සෑහෙන ලෙසින් එක් උදාහරණයක් පමණක් කියමි. මෙසේ කියන්නේ රටේ ධනය මෙන්ම අනාගතය වෙනුවෙන් තැනෙන දහසකුත් අවස්ථා තම පුද්ගලිකත්වය මතින් විනාශ කරන පාපතරයන්ට අප කෙළින් කටින්ම එරෙහි විය යුතු නිසාය. එ් තැන්වල බඩගෝස්තරය වෙනුවෙන් නිවට නොවිය යුතු නිසාය. එවැනි දේ මෝඩ කම් යැයි හිතනවානම් ඔබත් මොළේ පමණක් ඇති හදේ පනක් නැති නිකම් ගොබ්බ මිනිහෙක් පමණි. වහාම මෙතනින් ඉවත්වී ඔබේ මහත්මා තිරිසන් දිවියටම යන්න.
මීට අවුරුදු කීපයකට පෙර එක්තරා රාජ්‍ය ගුවන් විදුලි නාළිකාවක් අප ප්‍රදේශයේ ඇරඹුනි. එහි පාලනය භාර ගන්නට පැමිණියේ රජයේ ප්‍රධානම ගුවන් විදුලි නාළිකාවක සිංහල අංශයේ ප්‍රධානියායැයි ගර්වයෙන් කියමින් පැමිණියෙකි. තරුණයන් වූ අපද ඒ වෙත බලාපොරොත්තු සහිත වූයේ හදවත අතට ගෙන ඔහු කතා කරනු අසාය. නාළිකාව විකාශන කටයුතු ආරම්භ කරන්නට ආසන්නයේ සම්මුඛ පරීක්ෂන සදහා පැමිණි පිරිස පාරවල් දිගේ පෝලිම් තැනෙන තරමට විය. ටික දිනකින් මේ පෝලිම් නිමා වූයේය. අලුත් පිරිසක්ද එතැනට බදවා ගැනුනි. නාළිකාවේ විකාශනය පරීක්ෂනාත්මක තත්වයෙන් මිදී සාමාන්‍ය තත්වයට ආවේය. ගත වූයේ ටික කලකි. තමන්ගේ ස්ත්‍රී ධූර්ත කමත්, සුරා ලෝලීත්වයත් කර පින්නා ගත් ප්‍රධානියා සමහර අවස්ථාවලදී තමන්ගේ පුද්ගලික භාවයද ආයතනයේ කටයුතු තුළට ගෙන ආ බවට එහි මුල්ම කණ්ඩායම ඇතුළත් වූ මා මිතුරා සාක්ෂි දරනු ඇත. විටින් විට යම් අවස්ථානුකූල දායත්වයන් දැක්වීමට ගිය අපවද ඔහු සාදරයෙන් පිළිගත්තේය. මෙසේ ටික කලක් ගත විය. ලාබ හෝ පාඩු හෝ සාර්ථක හෝ අසාර්ථකත්වය තුළ රාජ්‍ය ප්‍රාදේශීය නාළිකාවක ලේබලය පමණක් සහිතව මෙම නාළිකාව ටික කාලයක් ගත කළේය.
දිනක් බොහෝ සේ රස්තියාදුකාර වූද ඒ ආයතනයෙන්ම මෙහෙයවනු ලැබූ කටයුත්තක් සදහා මමද එහි ගොස් සිටියෙමි. තතු නොදන්නා අපේ පිරිසක් හමුවේ තම ගුණ යපහත්කම පෙන්වීමට ආයතන ප්‍රධානියා එතැනදී බොරු රංගනයක් ඉදිරිපත් කරනු සෑහෙන වේලාවක් ඉවසා බලා සිටියෙමි. අප වෙතද බලපෑම් සහගත වූ එ් රංගයේ සීමාව ඔහු විසින් අතික්‍රමණය කරන්නට යෙදුන තැන ඔහුගේ අවසරය රැගෙනම මම ඔහු හමුවේ කෙළින් සත්‍ය වචන කීපයක් කතා කළෙමි. ඔහු අපහසුවට පත් විය. අනතුරුව මම එතැනින් ඉවත්ව ආවේ මගේම කැමැත්තෙනි. අප වැඩසටහන් ප්‍රධානියා නැවත පැමිණෙන ලෙස ඇමතුමක් දුන් නමුත් මම එය කාරුණිකව ප්‍රතික්ෂේප කළෙමි. ඉන් බොහෝ දවසකට පසු හදුනන්නෙකු පැවසූයේ ආයතනයේ ප්‍රධානියා එහිදී ඉතිරි වූවන්ට කියා තිබුනේ මාව සම්මුඛ පරීක්ෂනයකින් නොතේරුනු නිසා එ් හැගීමෙන් මා ඔහුට නිකරුනේ චෝදනා කළ බවක්ලු. එය ඇසූ මට ඔහුගේ නිවට ගතිය ගැන සිනා පහළ විය. අදාළ සිදුවීමේදී සම්මුඛ පරීක්ෂනය පිළිබද වගක් මට නොවීය. මා ඔහුට පැවසූයේ අපට කෙළින් කතා නොකොට වක්‍රාකාරව අපව මුළා කරන්නට ඔහු කළ තැත අපට වැටහෙන බවය. නමුත් ඔහුගේ වැඩිහිටි කමට මම කාරුණික වීමි. ඒ සිදුවීමෙන් පසු ඔහු තවත් තැනකදී මට හමුවිය. එහිදී ඔහු මා ඇගයූවේය. මගේ මිතුරාව ආදරණීය ලෙස විවේචනය කළේය. ඔහු අප මුණගැසුනු එ් සාකච්ඡාවේදී යම් ඉදිරිපත් වීමක් කරන අයෙක් වෙතොත් ඔහු හෝ ඇය තම ආයතනයට බදවා ගන්නටත් පොරොන්දු විය. කුහක වැඩිහිටියන් ගැන හදුනාගෙන සිටි මම හැකියාව තිබියදීත් ඉවසා නිහඩවූයේ වැරදි ලෙස අවස්ථා දිනා ගැනීම අපහට තරම් නොවන නිසාය. ඔහු එහිදී අපේ ඉදිරි දැක්ම විමසුවේය. මම දුන් පිළිතුර වර්තමානයේ සම්මත එකක් නොවීම පිළිබද ඔහු විචාර කළේය. මේ වැඩසටහනේ ප්‍රධානියාද ඔහුද මිතුරන් වූ නිසා ඔවුන්ගේ අන්‍යෝන්‍ය පිට කසා ගැනීම් හා දේසපාලුවන්ගේ පිට කසා ගැනීම් මේ වැඩසටහන් තුළද අන්තර්ගත විය. එ් වැඩසටහනේ තවත් තැනෙක ඔහුගේ අතින් සහතික පත්‍රයක් ලබන්නටද අවස්ථාවක් මට විය. අකමැත්තෙන් වුවත් මම ඒ අවස්ථාව ඉවසීමි. තවත් විටෙක මුණ ගැසුනු තැන අත වනා සමාචාර කිරීමටත් ඔහු ක්‍රියාකළේ අපගේ හිත පදහවන්නටය. මමත් ඔහුට එලෙසින්ම ප්‍රතිචාර පෑමි. නමුත් මේ සියල්ල තුළ මා එකක් වටහා ගතිමි. කපන්ට බැරි අත සිම්ඹත් මේ වැඩිහිටියාට අප වැනි තරුණයන් ගැටලු සහගත වූ බවයි. ගැහැනුන් ගැන නන් දොඩා, දේසපාලන මුසා පවසා, ඔහුත් සමග අඩියක් ගැසුවේ නම් අපත් ඔහුට ගැලපෙනු ඇත. නමුත් අඩි ගහන්නට ඕනෑ නම් ගහන්නට හැකි වුවත් අපට නුවමනා නිසා අපි අඩි ගහන්නේ නැත. ගැහැනුන් ගැනද එසේමය. කළ යුත්ත හා නොකළ යුත්තත් විය යුත්තත් සොයායමින් සිටි අවධියක වුව අපට හිතේ හයියත් ඇගේ හයියත් දෙකම අවුරුදු කීපයකට පෙරත් තිබුණේය. ශුද්ධ වන්තයන් නොවුනත් අපි පිරිසුදු කම අගය කළෙමු. පිරිසිදු කම හොයා ගියෙමු.
නමුත් අර විදිහට තම ජඩකම් පුද්ගලික පටිපදා ලෙස ආයතන තුළ අනුමත කරගෙන හිටි මිනිසුන්ට වූයේ කුමක්ද? ටික කලකින්ම සිදු වූයේ තමාගේ අදූරදර්ශී අහංකාර වැඩපිළිවෙල නිසා ආයතනයේ ඇතිවූ කඩාවැටීම හේතුවෙන් එතැනින් යන්නට සිදුවීමයි. ඉන් කියවෙන්නේ ඉන් පසු ආයතනයේ තත්වය යපහත් කරන්නට කිසිවෙකු සමත් වූ බවද නොවේ. තවමත් ආයතනය බංකොලොත්ය. බැහැර සබදකම් පවත්වමින් සිට වුව ඉන් පිටවූ දා පටන් තවම එ් ස්ථානයට පය නොතැබූවත් ඒ බව දකින්නට ගුවන් විදුලියක් වූ එහි යා යුතුද නැත. කෙසේ නමුත්රජයේ මහජනයාගේ මුදලට වැඩවන්නේ එලෙසින්ය.
මේ අවුරුදු පහ හයකට පෙර සිදුවීමකි. කතාවට විෂය කොටගත් ප්‍රධාන උන්දෑ සමග මගේ හිතේ කිසිදු කෝන්තරක්ද නැත. නමුත් තමන්ගේ අයපහත් දුර්ගුණ හුවා දක්වමින්, පටු මාන්නයටත්, වාසියටත් දැන නොදැන අන්‍යන් විනාශ කරන්නට මෙබන්දන්ට බලය ලබා දෙන්නේ කව්ද? එය අපට ප්‍රශ්නයකි. ජඩ දේශපාලුවෝ නොවේද එ්? උන්ට බලය ලබා දෙන්නේ කව්ද? අප නොවේද? මම නම් එලෙස ලබාදී නැති නිසා, නිර්භයව එබදු මහත්මා ප්‍රතිරූප ජඩයින් පත් කරන්නට ඡන්දය දෙන උන්දලාට අැඹුල් පොල් පිති පහර දිය යුතු බව කියනවාට විරුද්ධ නොවෙමි. තමන්ට වැඩ කළා කියා එක එකාට සළකත් නම් ජඩයින්ට ඡන්දය නොදෙන අවංක මිනිසුන්ට සළකන්නේ කව්ද? ඔවුන් මුහුදට දැමිය යුතුද? මේක ඒ ජඩයින්ටම ගිය රටද?
තරුණයන් හෝ වැඩිහිටියන් හැටියට මුල් දින කීපයේ ඒ ගුවන් විදුලිය වටා රොද බැදුනු ප්‍රාදේශීය මිනිසුන්ගෙන් ඵලක් ගන්නට එ් ප්‍රධානියාට නොහැකි වුනේ ඇයි? හදවත අතට ගෙන කතාකරත් තමන්ගේ ජඩ ගති තමන්ටම පාලනය කරගන්නට නොහැකි වූ නිසාය. එහෙව් ජඩ වැඩිහිටියන් කෙරෙහි අප දැක්විය යුත්තේ කෙබදු ආකල්පයක්ද? ඒ ඒ ප්‍රදේශයේ හැකියා දක්ෂතා ඇති මිනිසුන්ට ආණ්ඩුවෙන් ලැබෙන අවස්ථා බොහොමයක් මෙහේ කළමණාකරණය වන්නේ එබදු ලෙසකින් නොවන බවට ඔය රූප පෙට්ටිවල සද්දදාන එක ගොබ්බ කෛරාට දේසපාලුවෙකුට ඔප්පු කළ හැකිද? නොහැකිය. පොඩි කොන්ත්‍රාත්තුවේ සිට මහා පරිමාණ ව්‍යාපෘති දක්වා මේ විෂබීජය පැතිර තිබෙනු අප කොතෙකුත් දකින්නෙමු. ඒ ජඩයෝත් උන්ට ඡන්දය දෙන බුබ්බඩයෝත්ම පමණි, රටේ බහුතරයත්. ඉන් මිදීමට තරම් හිතේ වීර්යයක් ඇත්තේ කී දෙනාටද? බොහෝ දෙනා ඒවාට එරෙහි වීමට වඩා බඩ ගෝස්තරයට නිවට වීම යපහතියයි අදහති.
සමහර වැඩිහිටියෝ අපට කියා දෙන්නට හදන්නේ කෙල්ලන්ගෙන් ආශ්වාදය ගන්නා හැටිය. සුරාවෙන් ගත ප්‍රබෝධමත් කරගන්නා හැටිය. මෙහෙව් වූ ගොබ්බ නිවටයෝ සමාජයත් කා ඉන් චුත වන්නේ අපටද පව් ගොඩ ගසාය.
උන් දෙසන ආකාරයට මේ යන රැල්ලේ ආශ්වාදය ගැනීම මහලොකු දෙයක්ද? ඒ පට්ට ආතල් ගන්නා හැටි ගැනත් අපි හොදින්ම දන්නෙමු. නමුත් දැනගන්නට දැනගන්නට අප හදන්නේ සියල්ලක් විනාශ කරන එ් ගොබ්බ මාර්ග වලින් ශුද්ධව ජීවතයක සැනසුමක් දකින්නටය. ඒ ගැන කියන්නටය. එහෙත් තමන්ගේ ජීවිතවලටත් හැබෑ අරුතක් දිනා ගන්නට අසමත් වූ හැකියාවක් පමණක් ඇති වුන් සමාජයකට දැන දැන ම වල කපන්නේ නම් ඒ හුදෙක් තමන් වලට වැටුනු වෛරයෙන්ම පමණි. ඉන් මිදීමට නොහැකි මායාගත හීන වීර්යයෙන්ම පමණි.
ඔය ආකාරයෙන්ම හැමදා කතා කරන තවත් ප්‍රශ්නයක ආකාරය ත්‍රස්ත වාදයක් දක්වා ගියේද මෙතනින් යැයි සිතමි. දැන් සමහර රතු පක්ෂ වල ඉතිහාසගත කැරළි වලට දෙස් තබන වම් දකුණු ප්‍රධාන පක්ෂ, ඒ එදා රතු පක්ෂ හේතු යුක්ති ඇතිව හෝ නැතිව යම් කෙටි කාලයක වැගුරෑ ලෙය හෝ විනාශ කළ නිශ්චල චංචල දේපළ මතක් කරමින්ම ජනතාවගේ හිස අතගා අවුරුදු දහය විස්ස තිස්සේ සූරා කෑම හොදද? එබදු ලෙසකින් කොපමණ මුන් සූරා කා ඇත්ද? ගුණ මකු කම නම් දෙකම එකය. නමුත් දෙපයින් හිට යුක්තිය පිළිගැනීමට කොන්ද ඇති මිනිසුන් අද ඔතැන නැත. බහුතර වශයෙන් මහත්මා ජඩයෝ පමණක් හිදිති. අපි කළොත් හොදය. අනෙකා කළොත් නරකය.
එහෙව් මෙහෙව් වශයෙන් ගෑනුද, මත්පැනද, තවත් නොයෙකුත් වරදානද වෙනුවෙන් කෙළ හළන ගොබ්බර වැඩිහිටි ප්‍රජාවක් මේ රටේ වෙසෙති. උන්ගේ ක්‍රියා කළාප අප හොදින්ම දැක ඇත. නූතනයේ දරුවා ගේ සිට තරුණයා දක්වා වනසන මුන් වෙත අපේ අසිපත් අවදියෙනි. ඒ අයෝමය අසිපත්ම නොව බුද්ධියේ හා ප්‍රඥාවේ අසිපත්ය. අයෝමය අසිපතකට වඩා දහසකුත් වැඩ එයින් කළ හැකිය. පණ ඇති තුරු අප නවත්වන්නට සමත් ජගතෙකුද නැත. අවසන් පණ කෙන්දෙදීද වැලිකැටය හෝ අප විසි කරන්නේ සාධාරණය හා යුක්තිය සදහාම පමණි.
කුඩා කළ සිට මෙහෙව් ජනයාගේ පර වැඩ දකිමින්ම විටෙක එ්වා තුළ වැටෙමින් වුව දෙපයින් හිද ජීවිත රස්තියාදුව ශුද්ධ කරගත්තවුන්ය අප. එ් ලෙහෙසි පහසු ලෙස දෙමාපිය උරුමයක් ලෙසින් නොවේ. දෙමාපියන්ගේ මෙන්ම අපේද අසීමිත කැපවීමකිනි. එබැවින් පරයින්ගේ දෙපා මුලින් අල්ලා උන් පර සක්වල ගැසීමට අප ගතත් සිතත් ශක්තිමත්ය. නියමින් හෝ අනියමින් අප කරන්නේ එයයි. කළ යුත්ත එයයි. එසේ නැතිව දුර්වල මනසින් ගණිකා වෘත්තියේ යෙදෙමින් හිතට හදට දැනෙන ඇත්ත යුක්තිය අනාගත පරපුරට නොදී සමාජ විග්‍රහ කර කර හිදීමම නොවේ. එ්ක එක විෂයක් මේක තව විෂයක් ලෙසින් අප දැනුමෙන් පොහොසත් වෙද්දී හදවතටත් හිතටත් ගතු කියන අර ජඩයින් කී ගුණයකින් නම් ළමා තරුණ පිරිස් ඩැහැ ගන්නේද? මුළාවේ හෙළන්නේද? නියමින් හෝ අනියමින් විරුද්ධ විය හැකි කොපමණ ජඩ කම් ප්‍රමාණයක් හමුවේ අප නිවට වී ඇතිද?
එහෙව් වූ පාපතර වැඩිහිටි ගොබ්බයින්ට එරෙහිව හිස එසවිය යුතු කාලයයි මේ.
එබැවින් මතක තබා ගන්න, තමන්ගේ හිත දුර්වල හෝ රස්තියාදු වූ පමණට හැමකාම එ් රස්තියාදුවේම විනාශය දක්වා කලතන්නට කිසිවෙකුට අයිතියක් නැති බව. විය යුත්තේ, කළ යුත්තේ ඒ රස්තියාදුවෙන් මිදීමට උන්ට අතහිත දීමය. දෙපයින් නැගී හිදින්නට දිරි දීමය. නැතිව මේ සමාජයේ හෙට විකසිත වන්නට පිපෙන කැකුළු වලට ආතල් ගන්න හැටි කියා දීම නොවේ. එ් අති ගොබ්බ විනාශකාරී ආතල් කඩා ගන්නා හැටිත් දෙපයින් කොදු කෙළින් කොට ජීවත්වන්නටත් කියා දීමය. අපට වඩා වැඩිහිටියනි, මේ සදහා මං හෙවීමට තොපට යුතුකමක් නැතිද?
ගොබ්බ මොළ වලට වධදී මේ ලෝකයේ විනෝදය අතර හිතේ සැනසුමත් ගතේ සැනසුමත් දෙන සද්ධර්මය හොයන්නටත් යහමග යන්නටත් හැමට වීරිය වේවා. ප්‍රඥාව පහළ වේවා. මෛත්‍රිය වැඩෙත්වා.
Monday, August 11, 2014
යහමගට ඇරඹුමක් - මෛත්‍රියෙන් යුත් ශුද්ධ වූ යුද්ධයක්
අනෙකාගේ බෙල්ලට පිහිය තබා "උඹේ ජීවිතය මෙපරිද්දෙන් ගෙවිය යුතුය" තර්ජනයට, ගර්ජනයට හෝ අත්අඩංගුවට ගැන්මට අපට අයිතියක් නැත. එබැවින් අපි අනෙකා වෙත යපහත පතුරවන්නේ ඒ පිළිබද අප වටහා ගන්නා දෑ ප්‍රකාශ කිරීමෙනි. ඒ ප්‍රකාශ කිරීමද සිදුවන්නේ අයහපතට එරෙහිව මිස තවත් යහපත් මතයකට එදිරිව නොවේ. වාණිජවාදී සංකල්ප තුළ හැමදේම මුල්‍ය වටිනාකමින් තක්සේරු කරද්දී යහපත අපට ඒ වටිනාකමින් මැනීමට ඉඩදිය හැකි නොවේ. මිනිසාත් මානව සමාජයේත් විනාශය ඇරඹෙන්නේ එතැනිනි. කොතැන කොයි ලෙසකින් ඒ තත්වය ඇරඹී තිබුනත් අප සමාජයේ ඒ මත පතුරවන්නන් සිටියත් මේ සමාජය ඒ වෙත ගොදුරුවීමට එරෙහිව අපට විසි කළ හැකි වැලිකැටය පවා නිවැරදි ලෙස විසිකරන්නට අප උනන්දු විය යුතුය. තීරණාත්මක පනහට පනහ බල තුලනයේදී වැලි කැටයටත් දශමයකින් වුව මහ විශාල බලයකට දායක විය හැකිය.
ත්‍රස්තයන් සමග යුධයකදී අපේ මානුෂවාදී බවේ වගපල හේවූ අය තවත් මහ යුධයකදී දත කට පූට්ටු කර ගෙන සිටිති. ලෝකයාගේ හැටි එහෙමය. බලවතාට ලැබෙන තැන දුබලයාට නොලැබෙයි. බලවතා පැහැරුවත් සුවද යැයි කියන මිනිස්සු දුබලයා පැහැරූ තැන දුබලයාට අසූචි කවන්නට හදන්නේ "කැත කළා" යයි කියමිනි. ඒ ලෝකයාට ලොකුකම් පෑවත් අභ්‍යන්තරයෙන් දුබල මිනිසුන්ගේ හැටිය. සමාජ, දේශපාලනික ලොකු කතා අස්සේ යටිතල පහසුකමක් බදු යහමගක් හැම ගමක් ගමක් පසා හැදෙන්නේ නැතිතාක්, ගෙයක් ගෙයක් ගානේ හැදෙන්නේ නැතිතාක් මිනිසා කොච්චර උගත්තත් රටක් පොහොසත් වන්නේ නැත. මහා විශාල ඉතිහාසයක් අනන්‍ය සංස්කෘතියක් ගැන කතා කරන හිතන අප වැනි රටවලට එහි බලපෑම විශාලය. බුද්ධියත්, ශරීරයත් වෙහෙසීම සමග බැදුනු මිනිසුන්ට වඩා හදවතත් හිතත් වෙහෙසෙන මිනිසුන් අප රටවල සිටීම එයට හේතුව නොවේද? එය ප්‍රධාන හේතුවකි. බුද්ධියත් තර්කයත් සමග ගැටලු විසදීම පහසු වුව හදවතත් හිතත් සමග ගැටලු විසදීම පහසු නොවේ. නමුත් මෙහදී අපට උගන්වන පහසු ක්‍රමය නම් හදවත පොම්පයක් බවත් හිතේ හිතලු බොහෝ බවත් බුද්ධියෙන් තේරුම් ගෙන සංස්කෘතික හා ආගමික බැදීමෙන් පහසුවෙන් මිදී පොෂ් ලෝකයට පියමැනිය යුතු බවයි. " අද යන ක්‍රමය ඕකයි " බොහෝ දෙනා යන අතට බෝට්ටු පදින්නයැයි අපට කියන්නේ ඔය සම්මතයට අනුවයි. එහි බලපු ගමන් ඇත්තේ බුද්ධියට ගෝචර හොද ඇත්තකි. ඒ නිසාම බොහෝ දෙනා ඒ අනුව යති. නමුත් ගැඹුරේ ඇති ගැටළු නොදැක යන නිසාම ඒ ගැටලු සමාජ දේශපාලනික ප්‍රශ්න ලෙස මතුවන තැන්වලදී තවත් ප්‍රයෝග තෝරා ගන්නා අතර සියල්ල වාණිජත්වයට යටපත් කරන විසදුම් වලට පිවිස සමාජයම විනාශ කර ගනිති.
අපට අපේ ජාන වලින් උරුම හැකියා දක්ෂතා බාහිර පරිසරයේ ලබා දෙන සම්මත අධ්‍යාපනයෙන් ඔප නගන ක්‍රමයක් අප රටේ වෙත්ද? බහුවිධ බුද්ධියක් ගැන කියන අතර අපි අපේ ජාන අනන්‍යතාවයන්වත් හදුනා ගෙන ඇතිද? අපේ දෙයක් ලෝකයාට දෙන්නට බැරි තරම් අපි අනාථද? තරගකාරීත්වයට අපේ මනස සකස් කළ යුත්තේ අර පෙර කියූ ලෙසින් හදවතත් හිතත් අයාලේ යවමින්ද? එය දහමකට අනූකූල කළ යුතු නැතිද? එසේ නොකොට ඔලුවත් ඇගත් පමණක් හැදූ පසු ඒ අඩුව නිසාම නිර්මාණය වන ප්‍රශ්න වලට විසදුම් හොයන්නේ තව දුරටත් විනාශ වෙමින්ද?
දේශපාලුවෝ බොරු කියති. මහජනයාගෙන් බහුතරය ඔවුන්ගේ පිට කසති. ඒ පවතින ක්‍රමයෙන් ඔවුන්ට හරි හෝ වැරදි ලෙසින් ලබා දෙන වරදාන නිසාය. ඉතින් මේ අන්‍යෝන්‍ය පිට කසා ගැනීම එක් පාර්ශ්වයකට ප්‍රමාණවත් නොවන තැනදී ඔවුහු සමාජයේ විරෝධතා ඇති කරති. බලය ඇති දේශපාලකයෝ තමන්ගේ බලය එවිට පෙන්වති. බලය නැති මහජනයා එය ලබාගත හැකි තවත් පිරිසකට හිතවත් වෙති. සමාජයේ රටේ ගමන ගැන හෝ සමස්ථය ඉදිරිය බලනවා වෙනුවට එක එකාගේ බඩ වියත හෝ බඩ ගෙඩිය තරවීමක් පමණක් සිදුවේ. බඩ ගෙඩි වැඩි ප්‍රමාණයක් තර කළ පමණින් රටක් නිවැරදි ගමනකට අවතීරණ වෙත්ද? අප ජීවිතය යනු බඩ පමණක්ද? ඉතිහාසය භූගෝලය ගැන නන් දොඩවමින් අප කොහේ ගාටාවිද? තවත් රටකට කොකු ගසා ඇදෙන්නේ නැතිව තමන්ගේ රුවලක් නංවාගෙන හුලං සැරේ යොදා ගෙන තමන්ට අවැසි දිශාවට අප දැක්කෙන්නේ කවදාද?
එතැන දී අපේ පළමු අනන්‍යතාවය සිහියයි. බුද්ධියෙන් තර්කයෙන් තම වාසියට කල්පනා කරන රටවලට වඩා හොද සිහියෙන් කල්පනා කරන්නට හැකිනම් අපේ රටේ ශක්තිය අවදිවන්නේ එතැනයි. අපේ ජාන අනන්‍යතාව අවදි වන්නේ එතැනයි. කලක් තිස්සේ ගැඹුරු දහමක රසයෙන් මත්වුනු අපේ හිත් වල හදවත් වල ශක්තිය අවදිවන්නේ එතැනයි. ඉතින් ඒ දහමත් සිහියත් හැරපියා අප යන ගමනේ නිවට ගතියක් මිස අපේ ගතියක් එන්නේ නැත. ඒ ගතිය ගන්නට කලිසමෙන් සරමට බහින්නටම ඕනෑ නැත. ඕනෑ නම් බැස්සත් කමක් නැත. නමුත් ඔය ගතිය ගත යුත්තේ හොද පිළිවෙතකින් මිස සරමෙන්ම හෝ කලිසමෙන් ඔය ගතිය සපුරා එන්නේ නැත. එබැවින් සරම ඇන්ද පමණින් අපේ ගතිය ඇගට ආවට ක්‍රියාවට එන්නේ නැත. ඒත් අදින්නට පුලුවන් නම් සරම හොදය. ඒත් සමග ගැටුමට නැති සිහිය අවැසිය. කලිසම වුව කම් නැත. ඇති කර ගත යුත්තේ නිවැරදි අවබෝධයය. මේ කියන්නට යන්නේ ශුද්ධ වූ ජාතියක් ගැන නොවේ. යහපත් ජාතියක් ගැනය. රටක් ගැනය. සුද්දෝ හෝ කලු සුද්දෝ හෝ ලක්ෂ ගණනින් ගෙන්වා රටට ආදයම ගැනීම එකකි. ඒ ඔස්සේම හීන බැලීම නිවට කමකි. එතැනින් මිදීමට මේ කාලයයි. හැබැයි එතනදී වැඩි කැපවීමත් යහපිළිවෙතත් එක්කරන යහමගක් මිස අන් මගක් ගත්තොත් අපට නැගිටීමක් නම් ඇත කියා හිතෙන්නේ නැත. නැගිටීමක් වෙතොත් අශුද්ධ කිළිටි පාපබර විලසකින් මිස ශුද්ධ ලෙසකින් නම් නොවේ.
එබැවින් ඒ යහමග සරි කිරීම සදහා අපට ඇති යුතුකම තනි තනි අප යහමගට එළැඹුමයි. එය ශුද්ධ වූ යුද්ධයක්මයි. බෙල්ලට පිහිය තියන්නැති, අපේ හිත් ශක්තිමත් කරගෙන හරි විදිහට වැඩ කරන්නට ගැනීමයි ඒ ශුද්ධ වූ යුද්ධය. අනිවාරතේ රස්තියාදු හිතිවිලි වලටත් ගමන්වලටත් හුරු අපේ රස්තියාදු ශුද්ධ කරන්නට පටන් ගැනීමයි ඒ ශුද්ධ වූ යුද්දේ. ඒ යහමගට අැරඹුමක් හදා ගත්තොත් දිනක අපත් රටත් ගොඩ යාවි. ලෝක විනාශ දිනකදි තවත් දහමක පුරාණයේ කියවෙන පරදි මෙන් කදු ඉස්මත්තක නැවක ඉතිරිවන ජාතියක් වන්නට අපට හැකිවේවි. අලුත් ලොවක් ගොඩ නැගීමට යහපිරිසක් අපෙන් ඉතිරිවේවි. ඒ මනස්කාර උපකල්පිත කෙසේ වෙතත්... මේ දිවියේ කෙළවරකවත් අපි සැනසුමක් ලබාවි.
අයහපතට උඩගෙඩි හැදෙන ලෝකයක රගමින් හෝ යහපත උදෙසා ම ක්‍රියා කරමු. ඒ වෙනුවෙන් ශුද්ධ වූ යුද්ධයක් කරමු. අපි තුළ නොමිනිසා මරා මිනිසා රැක ගමු. තමාට මෛත්‍රිය වඩමු, අන්‍යනටත් එතැනින් උපදෙන මෛත්‍රියෙන් සංග්‍රහ කරමු.
ලේබල් කළා:
යහමග
Sri Lanka
Sri Lanka
Thursday, August 7, 2014
සද්ධර්මය ම පමණයි පිළිසරණ
ඔබ මගේ පිට කසන තාක් මට කාංසියක් නොදැනේ. ඔබේ පිට මා කසන තාක් ඔබට කාන්සියක් නොදැනේ. එහෙත් දිනෙක ඔබත් මාත් සදාකාලිකව තනි වන්නෙමු. ඒ අන්‍යෝන්‍ය පිට කසා ගැනීම් නොමැති දිනයේ අප පිළිසරණට හිදින්නේ කව්ද? සද්ධර්මය නොදන්නා එතැන අසරණය. ලෝකය දිනූ අධිරාජ්‍යන් වේවා, මහ මග යදින සිගන්නෙකු වේවා එදිනට වෙනසක් නැත. කුඩා කල කාගෙවත් පිට නොකසන අපගේ පිට කසන්නට බොහෝ දෙනා සිටිති. එහෙත් ක්‍රමයෙන් වැඩෙන විට ඒ උදවිට අපෙන් ඈත් වෙති. ඒ මිනිසාගේ සොබා සංස්කෘතියේ හැටියකි. ඒ ඈත්වීම රටින් රටට ගමින් ගමට වෙනස් වූවාට ඔය කොයි පෙදෙසෙත් එදාට වඩා අද වැඩිය. එය කාලයේ හැටිය. ඉතින් මහ මිනිසුන් වූවාට පසු යාළුවෙකු, සොහොයුරෙකු හැර දෙමාපියන්ගෙන් තොරව නම් බොහෝ දෙනා අපේ පිට කසන්නට එන්නේ නැත. යාළුවා හෝ සොහොයුරා හෝ බොහෝවිට එන්නේත් අප ඔහුගේ හෝ ඇයගේ පිට කසන තරමටය. ස්වාමි භාර්යා සබදතාව ගැන මා කතාකරන්නට යන්නේ නැත. සමහරවිට එය සොදුරු අන්‍යොන්‍ය පිට කසා ගැනීමක් වන්නට පුළුවන. කෙසේ හෝ ලෝකයේ ඇත්තේ මේ පිට කසාගැනීම්ම පමණකි. මේ පිට කසා ගැනීම් නොවන්නේ සද් ධර්මයක් ඇති තැනක පමණකි. තමන්ගේත් අනුන්ගේත් පිට කැසීමෙන් තොර නිරාමිස සතුටක් භුක්ති විදිය හැක්කේ, සැනසුමක් අත්විදිය හැක්කේ එතැන පමණකි. එබැනින් තතු දන්නෝ තමන් වටා ඇති කුණු කසළ මඩිමින් ඉදිරියට එන්නේ එබදු වූ සද්ධර්මය සොයාය.
මේ සත්ධර්මය යනු සමාජ සම්මතයක් නොවේ. එලෙසින්ම අසම්මතයක්ද නොවේ. සම්මතය කලකින් කලකට වෙනස් වනවා සේම ඊට විරුද්ධාභාස ඇති අසම්මතයද සම්මතයේ තරමට වෙනස්වේ. ඒ අන්ත දෙකක් පමණි. විටෙක සම්මතයේ පැත්තක සිටිනා සද්ධර්මය විටෙක අසම්මතයේ පැත්තක ද සිටී. එවිට සම්මතයින්ද අසම්මතයින්ද ඒ කොන් අල්වා ගෙන තර්ක මවති. නමුත් සද්ධර්මය යනු එබදු අන්ත දෙකක් නොවේ. සම්මතයෙන් පහර කෑවෝ අසම්මතයට නැඹුරු වෙති. අසම්මතය පිළිකුල් කරන්නෝ සම්මතය වැළදගනිති. එහෙත් මේ දෙකම හුදු මත පමණකි. සද්ධර්මය යනු හුදු මතයක් නොවේ. එය ජීවනය තුළ යථාර්තයයි. ජීවිතය තුළ යථාර්තයයි. ලෝකය හා විශ්වය තුළද අපට ගෝචර කර ගත හැකි එකම සත්‍ය සද්ධර්මය පමණි.
දාඩිය පිළිකුල් කර සුවදවිලවුන් තවරා ගත් පමණින්. සැපදායක ඇදුම් පැළදුම් ඇගට දා ගත් පමණින් අපට මැඩිය හැක්කේ කවර ධර්මයක්ද? එයින් අදහස් කරන්නේ දාඩිය පෙරමින් ගද ගසමින් සිටිය යුතු බවද? නැත. යථාර්තය නම් සත්වයා සම්බන්ධ කිසිදු ධර්මතාවක් අපට මැඩිය නොහැකි බවය. එබැවින් සුවද විලවුන් තවරා ගෙන දාඩිය පිළිකුල් කිරීමවත් නැත්නම් දාඩිය පෙරාගෙන ගද ගසමින් හිදීමවත් සැනසීමට මගක් නොවේ. දහදියට එහා ගිය මරණයක්ද අප ශරීරයට ඇති බව වටහා ගනිමින් දහදියෙන් ආතතිය ගැනීමත් ගලා යන දහදිය පිස නොදැමීම යන අන්ත දෙකෙන්ම මිදී එ් මොහොතේ දහදිය පිස දමා ගැනීමෙන් එ් මොහොතේ සැනසීමය. වටහා ගත යුතු සත්‍ය නම් සත්ව ශරීරය සම්බන්ධ සමහර දේ කල් දමා ගැනීමට අපට හැකත් සදාකාලික ජීවනය මේ ශරීරයේ අපට ලැබිය නොහැකි බවය.
යථාර්තය සගවා සතුටුවෙන්නට ජීවිතය අරඹන අවදියේ සිට අපි උගනිමු. අපට උගන්වන්නේද එය හරියට කරගන්නා හැටිය. නමුත් යම් දිනක අපි කව්රුත් වටහා ගන්නා දෙයක් නම් මේ යථාර්තය ජීවිතයේ යම් යම් තැන එලිබහින බවය. කදුළු තද කොට හිනැහුනාට අපට හිත විදවන දුකෙන් මිදිය හැකිද? ඉන් මිදිය හැකි එක මගක් ඇත. ඒ සද්ධර්මය දැන ගැනීමයි. ජීවිතය යනු සැපය පමණක් ලැබෙන දෙයක් නොවන බව අප වටහා ගතහොත් පමණක් නොවේද අපට දුකෙහිදී සැනසීමක් ලැබිය හැක්කේ. පහසුවෙන්ම ජීවිතයේ යථාර්තය පසක් වෙන පරිසරයක, එය කියාදෙන සද්ධර්මයත් දැක දැකම අපි අපේ රටක ඒ හරය ඉවත ලමින් සිටින්නෙමු. අපරදිග ක්‍රමයට ජීවිතය විචාරමින් රස්තියාදු ගසන්නෙමු. බුද්ධිය ම මුල් කොට එහි අක්මුල් තුළ පමණක් සත්‍ය සොයන්නෙමු. එය හරියට ලොව දියුණුම පරිගණක වලින් විදුලිය නැතිව වැඩ ගැනීමකට සමානය. එසේ කියන්නේ පද්ධතිය කොතරම් දියුණු වුවත් ඊට ශක්තිය සැපයෙන හිත හෝ පද්ධතිය නිසා හට ගන්නා චිත්තය පද්ධති සමාන වූ පමණින් ක්ලෝන නොවන බව අපට තේරුම් යන නිසාය. එබැවින් භෞතිකව ඒකාකාර පදනමක යන සත්ත්ව ශරීරයම වුව ජානමය වශයෙන් කොතරම් සු විශේෂී වෙත්ද, නොපෙනෙන චිත්තය ඒ පදනමෙන් වුව මැනීම කොපමණ අයුරකින් ප්‍රමාණවත් වෙත්ද? එය ඵලදායී නැති නිශ්ඵල ක්‍රියාවකි. ශරීර සුවය හැදුනත් එදිනෙදා දිවිය බෙහෙත් සමග කොපමණ අවුල්වේද, චිත්ත හෝ හිත කම්පන සංඛ්‍යාත හෝ තරංග ආයාම අතරින් නිරවුල් කිරීම පිස්සු නැත්නම් පමණක් හොදය.
එබැවින් සද්ධර්මය හමුවේ ගණිතය හෝ විද්‍යාව තවත් එක් විෂයන්ම පමණි. එබැවින් පැවැත්ම උදෙසා ගණිතය විද්‍යාව උගත්තත් වටහාගත යුත්තේ සද්ධර්මයි. එබැවින් පැවැත්ම උදෙසා රංගනය කළත් සැනසුම ඇත්තේ සද්ධර්මයේ බව ස්ථිරයි. එබැවින් හොයාගත යුත්තේත් උඩගු කමින් අප රැස් කරන කුණු කසළින් අප තුළම වැළලෙන සද්ධර්මයයි.
Wednesday, July 30, 2014
නීතිය නොදැන සිටීම නිදහසට කාරණයක් නොවේ, ධර්මය නොදැන සිටීම නිදහසට කාරණයක්ද?
අපෙ අප්පා හොද පොලිස් කාරයෙක් අප්පා. අතටම ගෙනත් පගාව දෙද්දී ජරාව නොකෑ නිසා ඒ ලේවල හයිය අපට තියෙනවා. දෙකයි පනහේ පොලීසියට ගහන පයින් පාරවල් එ් නිසා අපට වදින්නේ නෑ , අපි ඉන්නෙ ඒවාට ගොඩක් ඉහළින්. අප්පා දැන් විශ්‍රාම නිසාම දැන් ඔය පණත් නැති පව් කියා හිතෙන පොලිසියා දිහා බල බලා අනේ පව් කියන ගමන් වැරදි වැරදි හරි හොද අරමුණෙන් බණ කියන අය දිහාත් සානුකම්පිතව නීති අධිකරණයත් ධර්ම අධිකරණයත් සංසන්දනේ කරන්න හිතෙනවා.
නීතිය නොදැන සිටීම නිදහසට කාරණයක් නොවේලු කියා මා අසා තිබෙනවා. නමුත් කවුරුත් ධර්මය නොදැන සිටීම නිදහසට කාරණයක් නොවෙනවා කියා කියනවා මා අසා නෑ.
ඇත්තටම දඩුවම් ලැබෙන නීතිය ඉදිරියේ සීරුවෙන් ඉන්නා අප මොහොතක් පසා නීතියද ඇතුළු සබ්බ සකළ මනාවම යටත් ධර්මය ඉදිරියේ සීරුවෙන්ද? නීතියෙන් රිංගා ගියත් ධර්මයෙන් අපට රිංගා ගිය හැකිද?
නීතිය නිර්මාණයක්, ධර්මය නිර්මාණයක්ද? නිර්මාණවාදී කතා ආශ්‍රයෙන් ඉගැන්වෙන දහම් තිබුනත් ඒවායේ කියන්නෙත් කවුරු විසින් හරි නිර්මාණය කරන ලද ධර්මයට හෝ අපි අඩංගු බව. හැබැයි නිදහස හොයා ගෙන යන අති උත්තම බුද්ධි පරපුර කිසිම දේකට යටත් වෙන්නට සූදානම් නැති හැඩයි.
විදුලිය හොයාගත්තා, විදුලිය නිර්මාණය කරන විදිය හොයාගත්තා, ඒකෙන් කරන්න පුළුවන් වැඩ හදුනා ගත්තා මිස ඇත්තෙන්ම විදුලිය ස්වභාවයේ නොතිබූ දෙයක්ද? සරල උත්තරය අකුණ, නැත්නම් හෙණේ, තව විදුලි කෙටීම.
ගුරුත්වාකර්ෂනය කියන්නේ නිව්ටන්ගේ නියමයට අනුකූල දෙයක්ද, නැත්නම් ස්වභාව ධර්මයේ ඒ ආකාර්ශනය නිව්ටන් නියමයකින් පෙන්නුවාද? අර අපේ රටේ ඇතැම්මු ගරහන මුත් ඇත්ත ඇද නැතිව කෙළින්ම කියන නිසාම වැඩියකට නොතේරෙන බුද්ධිමතා කියනවා වගේ මේ සේරම කතන්දර. ගොඩක් දේ සුද්දා හැදුවාලු. කවුරු හැදුවත් කොයි තියරියත් ස්වභාව ධර්මයේ තියරියට වලංගුයි.
හැබැයි ඔය සුද්දා දන්නවාට වඩා ස්වභාව ධර්මයේ හැමදේ විනිවිද ගිය ධර්මයක් අපට කාලයකට ඉහත ලැබුනා. අපි තවත් මහිමය කිය කියා ඉන්නවා මිස එයින් වැඩ ගන්නේ දශම ගණනකට. අර නීතිය නොදැන සිටීම නිදහසට කාරණයක් නොවේ කියල ඒක දැනගන්න දතකන නීතිගරුක පොෂ් මිනිස්සු කී දෙනෙක් ඔය නීතිය කිසි ලෙසකින් කඩ නොවෙන ඊට එහා ගිය ධර්මය එය දැන නොසිටීම නිදහසට කරුණක් නොවේ කියල දැනකියාගන්න හදනවද? ධර්මාධිකරණයට ඔය අපි කාටත් යන්න වෙනව ජීවිත කාලෙටම උසාවියකට පය නොතිබ්බත්.
කර්මය කියන්නෙ ක්‍රියාවටයි කියනවනේ. එතකොට පූර්ව කර්ම කියන්නේ පෙර කරන ලද ක්‍රියා, වර්තමාන විද්‍යාවෙ කියන හැටියටත් අපේ සාමාන්‍ය දැනීමේ හැටියටත් ඕනෑම ක්‍රියාවකට ප්‍රතික්‍රියාවක් තියනව. අඩු තරමෙ දූවිල්ලට, මිරිස් සැරට අහුවුනාම කිඹුහුමක්වත් යනවනේ. අනික් අතට කව්රු හරි ඉස්සරහින් තල්ලු කළොත් අපේ පස්ස බිම ඇනෙන්න පුළුවන් වගේම පිටිපස්සෙන් තල්ලු කරොත් මූන බිම ඇනෙන්නත් පුළුවන්. ප්‍රතික්‍රියාවෙ විදිය ඒ විදිහයි. නමුත් ප්‍රතික්‍රියාව සිද්ද වෙන්නෙ ක්‍රියාවට ප්‍රතිචාර වශයෙන් නම් වඩා වැදගත් බලපෑම් කළ හැකිදේ ක්‍රියාව නේද? යාළුවෙක්ව විහිළුවකට හරි තල්ලු කරන්න කලින් පොඩ්ඩක් හිතුවොත් නේද වටපිටාව යාළුව ඉන්න ඉරියව්ව හරියට පෙනෙන්නෙ. නැතුව අර සමහරු විහිළුකරන විදිහට එක පාරට ඉස්සරහින් හරි පස්සෙන් හරි තල්ලු කරොත් එයා ඉන්න විදිහට වැටෙන්නත් පුළුවන්, නොවැටෙන්නත් පුළුවන්. නමුත් තල්ලු කරාට පස්සෙ ඒ ගැන හිතල වැඩක් නෑ. නමුත් කරන්න කලින් හිතුවොත් විහිළුවක් කරන අතරම අඩු නොකඩා ගන්නත් පුළුවන්. සරල තැනින් හිතන්න පුළුවන් ක්‍රියාව මයික්‍රො හෝ නැනෝ නැත්නම් ඊටත් එහා නොපෙනෙන සුළු මට්ටමට යනවා. ඒ හිතත් එක්ක. හිත අපිට පේන්නෙ නෑ, නමුත් ඒ නොපෙනෙන හිතේ ඇති වන දේවල් වලට ශක්තියක් නැද්ද? ඒක ඔබත් මමත් හොදටම අත්විදල තියෙනව. හිරකාරයො සියල්ලෝ මනුෂ්‍යයෝය කියල ගහල තියෙන තාප්ප ඉස්සරහින් යද්දි ඔය හිතේ ශක්තිය එක විදිහටක මුදා හැරපු අයගැනත් අපිට සිහිපත් වෙනව. කොහොම වුනත් ඔය ධර්මාධිකරණයේදි වඩාත්ම තැනක් ලැබෙන්නෙ ඔය හිතත් එක්ක බැදුනු දේට කියනවනේ.. ඉතින් ඒක නිසා ධර්මය ගැන ටිකක් හොයන්න වෙයි, හිතන්න වෙයි. අනූකූලව ඉන්නත් වෙයි. මොකද එ්කෙන් බේරෙන්න බැරි නිසා. ඊට පස්සෙ බේරෙන විදිහක් හිතන්නත් පුලුවන් අර නීතිය දැනගෙන ඒකෙන් බේරෙන්න කරන වැරදි දේට වඩා හරි විදිහට, මොකද නීතියට කරන බොරු ධර්මයට කරන්න බැරි නිසා.
කොහොම වුනත් මේ දේවල් එක්ක කියන්න තියෙන්නෙ ධර්මය නොදැන සිටීම නිදහසට කාරණාවක් නොවේ කියන දේ පමණයි. ඒ නිසා වහ වහා උගනින්න ධර්මය. සද්ධර්මය.
ශුද්ධ සිංහලයෙන් ගැයෙන අපේ උන්ගේ ගුණය නොහොත් කෙළගනිල්ලා
අපේ උන් බර උස්සන්න හරිම දස්සයෝ
හැබැයි පල්ම පල් ගොබ්බයෝ
එක එකා රවට්ටගෙන යන රගේ කෙළවර
දොස්තරලාත් කෙළගන්නවා, වින්නඹුවොත් හෙදියොත් මරා ගන්නවා
පොලීසිය මිදිලා අයිස් වගේ, එතකොට හමුදාවට අපේ උත්තමාචාරය
ගොටු අැල්ලීමේ වෘත්තීය කාරයෝ හැමතැනම
වැඩ නොකර පඩි ගන්න මෙහේ ඇවිත් උගනින්න
හොට් නිවුස්, හොටු නිවුල්, උස්සපුවා, ගල්කරපුවා සහ ගොන්පාට් ප්‍රවෘත්ති වල
පින් කරනවා ඡන්දෙට, සේල් දානවා ඡන්දෙට
මුන්ට රට ජාතිය වගේම
තව බොහොම ටික කාලයකට අම්මා තාත්තා මතක තියේවි...
මගුලකුත් නෑ බෙරේ පලුවකුත් නෑ
ආඩිහතේ කතන්දරෙන් හැමදාම ජයට මගුල්
කෙළගනිල්ලා එක එකා
රවට්ට ගනිල්ලා එක එකා
අනික් උන් දිනන තැන හූල්ලපල්ලා
කරුමයම කියපල්ලා
බණම දෙසපල්ලා
බොරුම කියාපල්ලා
අවසිහියෙන් ජීවත් වෙයල්ලා
අතීතයත් ජාතකයත් කියවමින් අනාගතයත් අවජාතක කර ගනිල්ලා
උඹලා දන්නේ ත් උඹලාට හැක්කේත් ඔපමණයි
මාලෙ දූපත් වලට පසු අපි ගිලෙන කාලෙක
ඔක්කොම පනිමු රට
එතකන් ගමු
පට්ට ආතල්
ඔපරිම ෆන්....
මොනව හරි කර කර කිය කිය
ඔහේ ඉමු බං
Tuesday, July 29, 2014
සියල්ල කර්මය අනුව සිදුවන දහම කුමක්ද? එය අප පිළිගන්නා දහම නම් නොවේ.
උදෑසණට කියන බණක හරි අපූරු කතාවක් කියවුණි. ඉන් කියවුනේ ළමයෙකු ගණිත විෂය අසමත් වූ කාරණයක් පිළිබදවයි. එම අසමත්කම පෙර අකුසලයක් නිසා සිදුවන්නට ඇති බව උපකල්පනය කොට ඒ අකුසලය මැකෙන්නට කියා දිළිදු දරුවන්ට පත පොත ලබා දීම ආදී ක්‍රියා සිදුකරමින් පාසැල්ද පංතිද ගිය අතර දෙවන වතාවේ දරුවා විභාගය සමත් වූ බව ඉන් කියවිණි. ඒ අනුව අර අකුසලය නිසා ගණිතය අසමත් බවට කළ උපකල්පනය නිවැරදි යන්න එහි අදහස විය. තවදුරටත් එහි කියවුනේ මෙවැනි බොහෝ දේ සිදු වන්නේ හා නොවන්නේ අපේ පූර්ව කර්මයට අනුව බවයි. එය ඇත්තක්ද?
පොත පත ලබා දීම හොදය. දිළිදු දරුවන්ට නම් වඩාත් වටින්නේ ඔවුන්ට පත පොත මිලදී ගැනීමට හැකියාව අඩු නිසාය. එය වෙනම කරුණකි. මගේ විෂය අවබෝධය නිසි ලෙස නොවුනේ පූර්ව අකුසලය නිසාමද? සියල්ල දන්නා නුවණක් නැති අප කර්මයද තවරා ගෙන එවැනි කරුණු පිළිබද විග්‍රයන්ට යා යුතුද? ගණිතය අසමත් වීම, විභාග අසමත් වීම පූර්ව කර්මයක් පළදීමක්මද? උණ හෙම්බිරිස්සාව හැදෙන්නේ පෙර කරුමයක් නිසා නොවන බව දහය පන්තියේ දහම් පොතේත් තිබුනා මතකය. එය අපේ සරලම නුවණින් තේරුම් ගැනීමට තරම් සරල මදිද? අප දන්නා දහමේ නම් කියවෙන්නේ කර්මය යනු උතු , බීජ , කම්ම , ධම්ම , චිත්ත යන පංච නියාම දහම් වලින් එකක් හැටියටයි.
අප දහම ගැන දන්නේ අල්පයකි. එනිසා අප දහම ගැන ගැඹුරින් දේශනාවට යන්නේ නැත. නමුත් දන්නා දේ මේ දේශනාවල ළාමක බව තේරුම් ගැනීමට තරම් ප්‍රමාණවත්ය. මෙබදු ළාමක දේශනාවන් ප්‍රචලිත වන්නට පටන් ගන්නා තැන අමූලික ශ්‍රද්ධාවන්තයන් තුළ ජනිත වන්නේ මුළාවයි.
විවිධ කරුණු ගැන අපේ උපකල්පන කීම එකකි. මෝඩකමට හෝ වේවා එය අපේය. නමුත් ඒ උපකල්පන දේශනාවක් මිස ධර්ම දේශනාවක් නොවේ. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය - කියා බණ ගැන වුවද කියන්නට සිදුවීම එක්තරා ඛේදයක් වුවත් යුගයේ සත්‍ය නම් එයයි. මේ කිසිවකු හෙළා තලා දැකීමක් නොව අපේ රස්තියාදුව තවත් මුළාවකින් ශුද්ධ කර ගැනීමක්මය.
එනිසා අපට කියන්නට ඇත්තේ අප පිළිගන්නා දහමේ නම් සියල්ල සිදුවන්නේ පෙර කරන ලද කර්මය මතම පමණක් නොවේ යන්නයි.
Thursday, July 24, 2014
හදේ හාවා හා සත්‍ය සෙවීම * සිහියෙන් ජීවත් වීම.
හදේ හාවා සිටිත්ද
තරු ගැනීම මගේ ජීවිතයේ සතුටය!
සත්‍ය අවබෝධ කරගන්න
සතුට හොයාගන්න!
ගණිතය +_ = විද්‍යාව -_
0
සිහියෙන් ජීවත් වන්න.Sunday, July 20, 2014
පුරුද්ද, ඇබ්බැහිය සමග ඉදිරිය
බස්රථයේ කොන්දොස්තර ගමන් ගාස්තුවක ඉතිරි රුපියල දෙක තමා සන්තකයට ගැනීම හරි අපූරු පුරුද්දකි. හේතුව මාරු නොමැති කමය. ඒ පුරුද්ද වර්ධනය වූවාට පසු මාරු සල්ලි තිබුණද මගියාගේ පරීක්ෂාවක් නොමැති නම් කොන්දොස්තරගේ අර පුරුද්ද ඇබ්බැහියකටම යන්නේය. සමහර තැන ඉතිරි රුපියල දෙක නොව සම්පූර්ණම ඉතිරිය වුව නොදී යා හැකි තරමට ඇබ්බැහිකම බලවත් වන්නේය. බස්රථයේ පමණක් නොව මෙහේ බොහෝ තැන් වල අගතියට යන පුරුදු අපමණකට වැඩෙන්නට අපමණ නිදහස ඇත්තේය.
අපටද පුරුදු තිබුණි. හොද හා නරක වශයෙන් මේ පුරුදු වැඩිදියුණු කිරීමට සමාජයෙන් අසීමිත පිටුබලයක් සැපයුණි. ඛේදය හොදට මෙන්ම නරකටත් වැඩෙන්නට අපූරු නිදහසක් අපට ලැබී තිබීමය. නරකයට වඩා වැඩි නිදහසක් ලැබී තිබීමය. තනිවම නන්නත්තාරවෙමින් හෝ හදාගත් හයියෙන් අයහපතේ දොරට තට්ටු දමන්නට යෙදුනත් ඉන් ඇතුළු නොවී එන්නට අපට ශක්තියක් තිබුණි. කල්පනාවක් තිබුණි. එ් රැලි අස්සේ පීනූ ලොකු රස්තියාදුවක් ශුද්ධ කරමින් ලබා ගත් පන්නරයකිනි. නමුත් බොහෝ දෙනාට සිදු වූයේ මෙහි අනෙක් පැත්තය. අයහපතට ලැජ්ජාවෙන් හෝ බියෙන් හැංගී සිටි මිනිස්සු ඒ දෙක නැසුනු තැන කරළියට විත් අලුත්ම පෙරළි නොහොත් සමාජයකටම වල කපන්නවුන් බවට පත්වීමය. වැරද්ද ඔවුන්ගේ පමණක් නොවේ. දුටු තැන වැරැද්ද ලොප් කළ හැකි යුරු පෙන්වා දෙන්නාක් මෙන්ම හොද වීමට දිරිදෙන ප්‍රායෝගික සමාජ සංසිද්දීන්ගෙන් බැහැර වන අපේ වටපිටාවයි. නරකයෙන් බැහැර වීමට හදුන්වාදෙන හොද විකල්පයන්ගේ හිග කමයි.
සමාජයකට හොද පුරුදු අවැසිය. ඒ හොද පුරුදු තුළ නිර්මාණය වන ජනයාගෙන් සමාජයට යහපතක්ම වන්නේය. වැරදි පුරුදු වලින් මිදීම සමාජයකට අවැසිය. එතුළින් වඩා යහපත් දිශාවක් වෙත ජනසමාජයට ගමන් කළ හැකිය. නමුත් හොද ගැන කියමින් නරක පූර්වාදර්ශ සැපයීම අපේ සමාජයේ කාලීන ස්වභාවයයි. කටින් කෙසේ කීවත් ක්‍රියාවෙන් යමක් පෙන්වන්නට අසමත් කොට එතැන ඇත්තේ අඩුවකි. ඉන් ඔබ්බට ගොස් කටින් හොද යමක් කියා ක්‍රියාවෙන් නරක යමක් කරයි නම්... එතැන ඇත්තේ නරක පූර්වාදර්ශයකි. මෙවැනි දෙනෝදාහක් අාටක නාටක මැද්දේ හැදෙන පරපුරට අපි යහපත ගැන දෙසන්නෙමු.
සමහරුන්ට අනුව හොද නරක පිළිබද කතිකාව යනු සරල තත්වයන් ඉක්මවා ගිය පුද්ගලානුබද්ධ ස්වභාවයක් ඇති ගැඹුරු සංකීර්ණ මාතෘකාය. මා කතා කරන්නේ එවැනි ගැඹුරු තත්වයකට මෙපිටින්ය. ලොකු සංකීර්ණතා තුළ හිරවෙන අයගෙන් මගහැරෙන ඇස් කණ්නාඩිය හිසේ රදවාගෙන එය සොයමින් ගේ පුරා දිවීමේ කතාවක් ගැනය.
හැගීම් දැනීම් හා බුද්ධිය පිනවීම ගැන බොහෝ ලෙස කතා කරන අප සමාජයේ ඒවායේ ගැඹුරක්, පිළිවෙලක් මෙන්ම දිශානතියක් පිළිබද කතාකරනවා බොහෝ දුලබය. ඇතොත් එක් ධාරාවක්ම පමණය. ඉන් ඔබ්බට සමාජයක ඉදිරි ගමන හා මේ හැගීමේ දැනීමේ මෙන්ම බුද්ධියේ අැති බද්ධතාව තඹකට ගණන් ගන්නේ නැත. ගණන් ගන්නවා ලෙසින් පෙන්වන වැඩි අවස්ථා ගණනක ඇත්තේ බොරුව හා මුළාවය. දැන් බොහෝ තැන කලාවක් වී ඇත්තේ ඒ මුළාවය.
වෙලාවකට වැඩ කිරීම, කලාවකට වැඩ කිරීම, විශ්වාසවන්ත බව, ගනුදෙනුවලට අවංක වීම, කෙළෙහි ගුණය , ඇහුම්කන් දීම, පොදු කටයුතු වලදී බොරු නොකිරීම ආදිය සරල තැනක ඇති සමාජයකට ශක්තියක් සපයන කාරණාය. නමුත් ඉන් විරුද්ධාභාසය ඇති පුරුදු හා ඇබ්බැහි ගණනාවක් අපේ සාමාන්‍ය භාවිතාවේ එයි. එනම් වෙලාවට වැඩ නොකිරීම, කිසි පිළිවෙලක් නැතිකම, විශ්වාසවන්ත වචනයක් නොමැතිව බොරු කීම, ගනුදෙනුවලදී වංචාව, කෙළෙහිගුණයක් නැති කපටිකම, ඇහුම්කන් නොදීමේ උද්දච්ඡභාවය, පොදු කටයුතුවලදී බොරුකිරීම නොහොත් අයිස් ගැහීම අාදී දේයි. පිටත පෙනුමට නම් අපි හැම දෙනාම බොහෝ සද්ගුණවත්ය. නමුත් භාවිතාව බලාගැනීමට නම් තරමක් විමසිලිමත් විය යුතුය. එවිට මේ මගඩි හා ජඩ ගති එලියට පනින්නේය. හැම දෙනාම මෙසේ නැත. නමුත් සමාජයේ කරළියේ නිතර රගන බොහෝ දෙනාගෙන් සමාජය වෙත ගලන්නේ දුගද පුරුදු වල ඕජාවේ අවාදර්ශයයි. එය බාල පරපුරට කරනා බලවත් හානියකි. ඒ නිසා සුගන්ධවත් සමාජයක් ගැන කතාව නිකන් අපි අපිම වරද්දාගෙන, රවට්ටාගෙන රගපාන නාටකයක් ගානට යන්නේය. හෑල්ලුවට ඇද වැටෙන්නේය.
පළමුව තමන්ගේ සද්භාවය උදෙසා කැපවීම පෙන්වන පුරුද්දක් ආවොත් ඒ පුරුද්ද ඇබ්බැහියක් වූවොත් සමාජයක් ගොඩ නැගෙන්නට පටන් ගනීවී යහපත්ව, නැතිනම් බොරුවම තමා. ඉතිරි වන්නේ ලෙඩට පෙති ගැනීමේ සංස්කෘතියක් පමණයි. දැන් අපි අත් පොත් තබා සිටින්නේත් ලෙඩ රෝග වළක්වම සංස්කෘතියකට වඩා ලෙඩට පෙත්ත සංස්කෘතියට නොවේද! ඉන් මිදෙන්නට අප පටන් ගත යුත්තේ කළ වැරදි වුණු වැරදි සාධාරණීකරනයෙන්ම නොව එ්වා නිවැරදි කරගන්නට අවංකව වෙහෙසෙන තැනකිනි. මේ නිවැරදි අවංකභාවය හදුනා ගැනීමට නොහැකි වීමෙනුත් සමාජයක්ම පීඩාවේ හිදින්නේය. ඇතුළත් ගැට පිටත් ගැට , ගැට පිට ගැට වැටෙන සමයක හැබෑවට හොද දේ පුරුදු වීමත් ඒ පුරුදු ඇබ්බැහියකට ගැනීමත් දැලි පිහියෙන් කිරිකෑමකට සමව ඇත. නමුත් සුලබ ලාබ සංස්කෘතියේ ගැඹුරට අක් මුල් නොඅදින පොෂ් පුරුදු වලින් පොෂ් වීමනම් එතරම් අපහසු නැත. නමුත් සමාජයකට ඉන් පොෂ් බවක් මිස ශක්තියක් ලැබෙන්නේ නම් නැත. ඒ නිසා අප හදා ගත යුත්තේ හැබෑ ශක්තිමත් සමාජයක්ද, මතුපිටට පිම්බුනු සෝබමාන සමාජයක්ද යන්න හැමදෙන සිතිය යුතුය. එය ඔබේ මෙන්ම මගේද වගකීමකි. යුතුකමකි.
එබැවින් පුරුදු විය යුතු දේත් ඇබ්බැහි විය යුතු දේත් පිළිබද අප නැවත නැවතත් සිතා බැලිය යුතුය. ඒ උත්සාහයේදී වැරදි දිශාවට හැරී සිටින්නන් නිවැරදි තැනට දක්කන්නේ කෙලෙසද යන්න ගැනත් ඒ උදෙසා කටයුතු කිරීමටත් හැමටම සාමාජීය වගකීමක්ද ඇත. වගකීම් යුතුකම් හරියාකාරව වටහාගෙන හැකි පමණ ඒවා ඉටු කිරීම මතු භවයට පිං තකා දෙන සකළ දාන මාන සියල්ලට වඩා වටිනා පිං කමක් බව නම් අප හැගීමයි. එසේ කරන්නාවූ ගුණවන්තයින් කිහිප දෙනා බැගින් හෝ මෙරටේ සිටිත්.. ඔවුන්ට දිරි වේවා. තවත් බොහෝ දෙනා ඒ පුරුද්දටත් එ් ඇබ්බැහිටයත් පත් වේවා. අපටද හැකි පමණ ඒ පුරුද්දට යොමු වන්නට හැකි වේවා...
Friday, July 11, 2014
වෙස්වලාගෙන රිංගන්න රජතුමනි හද්දා බැදිවල
හැබෑම ප්‍රශ්න ගැටලු හොයාගන්නට වෙස්වලාගෙන බැදි වල රිංගූ ඉස්සර රජවරු ගැන අසා ඇත්තෙමි. මාධ්‍ය සාකච්ඡා තියා සජීවීව මහජනයා හා කතා කිරීමට වඩා හැබෑවටම මහජනයා ගැන සිතන මහ රජවරු කළ යුතුදෑ ඒවාය. රාජ තේජසින් ඔද වැඩෙන අප ජනයාට මහරජතුමා හමුවේ දෙපයින් හිටගෙන තම අවංක අදහස කියන්නට පෙර අමූළික ශ්‍රද්ධාවෙන් පිරීයන හදවතින් මතුවන දේ කටට එන්නේය. එවිට මහ රජවරු මුළාවේ වැටෙන තරමේ දෑ කටින් පිටවන්නේය. එය හැබෑවක් කොට සිතූ කළට රටත් රජත් දෙකම මුළාවේය. ඊලගට මැති ඇමති හා වන්දිභට්ටයින්ය. ඔවුන් ඒ මුළාව වගාවක් කොට ඉන් අස්වැන්න නෙළන්නේය. අනේ අපොයි.. අපි වලක වැටෙන තුරුම දන්නේ නැත.
මිනිසුන් ගේ මනසට චරිතයක් ලෙස කිදා බැස්ස පමණින් රජා මරු වුවත් රටට මරේ මරු වෙන්නේ නැත. රජා වෙස්වලාගෙන මහජනයා අතරට ගොස් ජනයාගේත් රටේත් හැබෑම පොළොවේ පය ගහන්නේ නම් එදාට රජා රටකට රටක් වටීවි. මහරජවරු පොළොවේ පය ගසා මිනිසුන් හා දෑත් බැද වැඩට බහින්නේ නම් ක්‍රමය මොකක් වුව මහ පොළොවේ යමක් ගොඩනැගෙනවා සත්තයි. රජා වැඩට බහින්නේ නම් මැති ඇමතිවරුන්ටත් බිමට බහින්නටම වන්නේය. නැතුව නිකං මහා වප් මගුල සමරන්නට වාගේ අමුඩය ගසා අලි පිටින් ආවත් , එදාට පමණක් හී හෑවත් වැඩක් නැත. අපේ රටේ අද මිනිහාට හැබෑවට මහ පොළොවත් , කරුමාන්තත් සමග හැප්පෙන්නට බැරි ඇයි? මොනයම් ක්‍රමේකට හරි, වැඩි ලේසි ඊසි පිළිවෙත් වල පිහිට පතා ගොස් මහරජාත් මැති ඇමති සේම අනෙකුත් බත්බැලයනුත් ඇතුළු සියල්ලෝ මහ පත කම්මැළියන් වී ඇති නිසාද? එක්කෝ ඒසී නැතුව වැඩ බැරිය. නැත්නම් වැඩ නැතුවම හරි බිසීය. දැන් මෙහේ මීටර් සියය යන්නටත් ටැක්සියක් නැතුවම බැරිය. පාපැදියට වඩා තිබේ නම් මීටර් එක හමාරටත් කාර්කටුවක සරණය. අනේ ඉල්ලං කකා පම්පෝරි ගහන රටකට ගිය කලක්... විලිලජ්ජාවම හුරු වී දැන් අපි හැමෝම කම්මලේ බල්ලන් ගානය.
රට තොටේ ගොස් එහෙන් මෙහෙන් පොලිෂ් වූ බොහෝ දෙනා පාරම් බාන්නේ රට රටවල් හා සංසන්දනය කරමිනි. සාපේක්ෂතාවාදය පසෙක තිබේවා හැබෑවට දියුණුවක් ගැන තේරුම්ගන්නට සංසන්දනද උවමනා නැත. තමන්ගේ මගක හරියට යන්නට අනුන්ගේ පාරවල්වල දිග පළල මැන බැලිය යුතු නැත. තමන්ගේ වැඩේ ඉටියෙන් හරි මැටියෙන් හරි කොරගෙන බණ දෙසන බණ අහන උදේ හවා සම්මාදන් වෙන්නේ කුමක්දැයි නොදන සම්මාදන් වෙන අපහට ගිය කලක්....
නාස්තිකාර කමේ ඉමක් නැත. පරිසරය ගැන හැගීමක් නැත. හදාගත්තු දේ දිගටම පවත්වන්නට වැඩ පිළිවෙලවල් බොහෝ තැන්වල නැත. හැබැයි පම්පෝරිය නම් තියෙනවාය. ඉතිං ගැඹුරෙන් හිතුවොත් මේ පම්පෝරි වන්දිභට්ටකම් නවතා කටවල් වසාගෙන වැඩකළ යුතු කාලයකි. වැඩ ඇරඹිය යුතු කාලයකි. ඒත් වැඩේ නම් එක එකට වැඩ දෙනවා මිසක එක එකා කළ යුතු වැඩ තවම හරිහැටි හදුනාගෙන නැති කමය. තෝරාගෙන නැති කමය. වට රවුමේ දිවුවා වාගේ එකම තැන ඉන්නේ එකෙක්වත් රවුම කඩාගන්නට කැමති නැති හෙයිනි. එක එක දේවල් කඩාගත යුතු විදි ඇත. පෙට්ටියක් කැඩිය යුත්තේ පියන ඇරීමෙනි. ලියුම් කවරයක් විවර කළ යුතු පිළිවෙලක් ඇත. හැමදා එකම තැන කැරකෙන සංවර්ධන චක්කරේ රජයේ සූදුව මෙන් ජනයා රවටන ලොතරැයියක් නොවී එකෙකුට දෙන්නෙකුට පමණක් හෝ සුළු දෙනෙකුට පමණක් ජයක් ගෙනන එකක් නොවී හැමදෙනාට දිනුම ගෙනෙන තැනකින් වටරවුමෙන් පාරකට අවතීරණ විය යුතුය. මිනිසුන්ට හැගීම් තිබේ. යුද්ධය දිනුවේ ඒ හැබෑ හැගීමෙන් යුද්ධ කිරීමෙනි. ඒ හැගීම් වලට නිසි වටිනාකම් අවස්ථා නොලැබ අයාලේ යන්නට හැරි කල හැගීම් අපතේ යන්නේය. සංවර්ධනය කළ යුත්තේ හැබෑවට නිසිලෙස නිසිවිට හැමදෙන වෙහෙසීමෙනි. එය ජනයාගේ රැවටෙන මනසට නොව ගැඹුරේ විඥානයටම දැනිය යුතුය. කතාවට විඥානයක් නෑ යයි කීවාට හැබෑවට සවිඥානික ජනයා කොතෙකුත් වෙත්. අහේතුව ඔවුන්ට හැමදෙන තමන් රවටන බව දැනීමයි. ඇත්ත ඇති හැටියට ගැනෙන තැනදී ඔවුන් කරළියට එන්නේය. උරය නොව දෙවුරම දෙන්නේය. නැතුව බොරුවට නැති වෙහෙසක් මවා පෙන්වන සංවර්ධන රැළි වලින් ඔවුන් මුළා කළ හැකි නොවේ. හැමදෙන ටයිල් නැති හැබෑ පොළොවට හරි අරමුණකින් බැසීමෙන් පමණකි මෙහේ ජනයා කවදා හෝ නැගී සිටින්නේ නම්... මා කීවත් කවරකු කීවත් කතාව නම් එයමය. අපට හරියන්නේ අපේ ඇගේ ඇති දැනෙන හැගෙන පිළිවෙලය. එය රවටා ගෙන බොරු පොෂ් ගති පෙන්නන්නට ගියහොත් කවදා හරි අපට ඉතිරිවන්නේ ඇට පෑදුණු පස්සක් පමණකි.
Thursday, July 10, 2014
මහරජ මමයි
මහරජ මමයි මහරජ මමමයි කියලා
ඉන්නට හැකියාව ඇත්නම් කල් බලලා
රටටම හොදයි හැමදෙන වේ රජගොල්ලා
ඉහළින් ඉන්න හැකි වේ දසතම හොල්ලා
සෝදා ගත් කලට මඩ ගොවි රජ වේලු
එහෙව් ගොවි පුතුන් අද දින නැති වීලු
රාජ සබේ වට පිට නම් මඩ වීලු
මෝඩ කමේ දුගදක් ඉන් හැමුවාලු
අහවල් රටේ අච්චර ධනපති සිටියේ
තවත් රටක මහාරාජා වරු සිටියේ
අපි හැමදෙනයි මහරජ නම්බුව ගත්තේ
වැඩකට අතගසන්නට නොම බිම බැස්සේ
ඉන්නට කැමතිනම් මහරජ සේ සුද්දෙන්
කාටත් හිස නොදී දන්ගෙඩියට සද්දෙන්
පිදුවොත් සවිය හැම විදිහට නිසි පැත්තෙන්
උඹ මෙන් මටත් ගමනක් ඇත රජ වංසෙන්
යන්නට තිබේ හදලා ගෙන බැදි පාර
හයිවේ නොවේ යන්නට ඇති එක පාර
සුදුස්සාට නියමිත තැන දෙන පාර
හැමෙකා වේය මහරජ දිරියෙන් සාර
Monday, June 30, 2014
දෙපයින් නැගී සිටීමේ සිහිනය යථාර්තයක් බවට - (පස්ස පැත්තෙන් යාම හා සබැදේ)
දෑස් පෙනෙන්නට ගැනීම නිසා මහත් ආශ්වාදයක් ලද හැක්කේ අන්ධව සිටි තැනැත්තාටය. සාමය සතුට හොදින් දැනෙන්නේ යුද්ධයෙන් භීෂණයෙන් පීඩා විදි ජනයාටය. ජලයේ ඉමිහිරි රසයක් ඇතැයි හැගෙන්නේ පීපාසයෙන් පීඩා විදි තැනැත්තවුන්ටය.
දෙපයින් නැගී සිටීමේ තෘප්තිය හොදින්ම ලබන්නේ පස්ස පැත්තෙන් ගිය උන්ය.
විඩාවකදී පස්ස බිම තබා හිදගෙන විවේක සුවයක් ලැබීම එකකි. දෙපා පණනැති කමෙන් ශක්තිය නැති කමෙන් පස්සෙන් ම ඇදි ඇදී යාම අනෙකකි. අපි පස්සෙන් ඇදි ඇදී යා යුතු මිනිසුන් කොටසක්ද? නැත්නම් ඔබ විශ්වාස කරන්නේ මේ වන විට අප දෙකකුලෙන් යන බවද? යුද්ධයක් නිමාව අද්දර මුහුණ පෑ අනේක විධ බාධක කරදර මැඩ අප දෙපයින් නැගී සිටීමට උත්සාහ ගන්නා බව අසත්‍යක්ද? නැත. මා දන්නා ආකාරයට නම් ඉතිහාසයේ ඈත මෑත හැම යුගයකම හැල හැප්පීම් බාධා තර්ජන මැද අප ඔලුව උස්සන්නට වෙර දරා ඇත. සමහර තැනක අප ඔලුව ඔස්සා දෙපයින් හිට ගෙන සිටින්නටද ඇත. නමුත් දැන් අප සිටින්නේ අද දවසේය. යා යුත්තේ හෙට දවසටය. ඉතිහාසය අමතක කර මෙන්ම ඉතිහාසය කියවමින් පමණක්මත් අපට යහපත් පැහැදිලි හෙටක් උදා කරගත හැකිද? යුද්ධයෙන් පසු අප දෙපයින් නැගිටින්නට උත්සාහ කළත් අප එය කරන්නේ හැබෑවටමද? වැටුනු මිනිසුන් නැගිටින්නට උත්සාහ කරන පුරුද්ද අනුකරණයෙන් පමණක්ද?
අද අප ලබන දියුණුව එකකි. කෙනෙකුට එයින් සතුටු විය හැකිය. මං මාවත් තැනේ. ගොඩනැගිලි තැනේ. අධිවේගී මාර්ග, වරාය, තවත් දේ කියති. පෙන්වති. ඒවා හොදය. නමුත් අදට වඩා නිවැරදි හෙටක් වෙත යන්නට ඒවා පමණක් ප්‍රමාණවත් නැත. පොඩි පොඩි වශයෙන් හිතුවත් අප හැමදා වරද්දාගෙන ඇති මේ ලොකුවී වනසන්නට අමාරු වන තෙක් වැඩෙන පොඩි වැරදි අදත් අප නොසළකාම හැර තිබේ. මේ නැගිටීමේ උත්සාහයන් හුදෙක් වැටුණු මිනිහෙකු නැගී සිටින්නට දරණ අනුකාරකවාදී තත්වයක් පමණක් ලෙසින් දකින්නට වන්නේ එහෙයිනි.
තැන තැන ඇති තමන්ගේ කුණු කිසි හැගීමක් නැතිව ඔහේ විසිකරණ, අලුතෙන් හැදෙන වැසිකිලි කැසිකිසි වල පිටපැත්තේ සුලුදිය හලන ගති අඩුවනවායයි වත් හිතමු, ඒත් වැරදි පාරෙන් වැඩ කරවා ගැනීමේ ගති, සුදුස්සාට සුදුසු තැන දෙන්නට අකමැති ගති, පොඩි පොඩි පන්දම් වලින් වැඩ කරවා ගැනීමේ ගති, පරංගියා කෝට්ටේට ගියා සේ නිකං අපේම මිනිස්සු රස්තියාදු කරන රාජකාරි ගති, අරමුණු නොහදා පෙරගමන් සංවිධානය කරන ගති, අනුනුත් රවටා තමනුත් රැවටෙන ගති, ඇත්තට වඩා වාසියට බොරු කියන හා කරන ගති, රෑ වැටුණු වලේ දවල්ටත් වැටෙන්නට යන ගති, හිත හොද කම නිසා ඇන්දෙන හා ඇදගන්නා ගති, වෙලාවකට වැඩක් කරන්නට දන්නේ නැති ගති, පුද්ගලික හෝ මුදල් නොලැබෙන වැඩක නම් වගකීම් හා යුතුකම් අමතක වෙන ගති ආදී වශයෙන් ගත් කළ තවත් නොකී අමන ගති රාශියක්ම නම් කිසිම අඩුවීමක් පෙනෙන්නට නැත. මේ අපේ ජන්ම ගති යයි සමහරු සහ විටෙක අපි අපිම කියතත්, එය එසේ විය හැකිද? සුනාමිය වැනි අතිභයංකර පෙර නොඇසූ විරූ විනාශයක් අත්දුටු අප ඒ මොහොතේ අප මිනිසුන්ගේ ජඩ ගති මතුවනවා දැක්කේ ඉතා අහම්බෙනි. බොහෝ දෙනා අපේ ජන්ම ගති වල හොද පැත්ත පමණත් ඉක්මවා දැක්වූයේ හදාගත් හැදියාවට වඩා ඒ ජන්ම උණුවීම අපට ඇති බව පෙන්වා දෙමිනි. ඒත් ඒ උණුවීම වඩා හොද විදිහකට භාවිතාවට ගෙනෙන්නට අපට නොහැකිද?
කවුරු කෙසේ කීවත් අහු මුළු වලට හොස්ස පොවා හොදින් ඉවකරන ලෝකයේ බලගතු රටවල් ගහන්නට හිතුණු තැන තණකොළ කපන්නට ගස් ගිය මිනිහාටත් වඩා හේතු සහිතව අදාළ තැනට ගහන්නේ කට උත්තර නැතිවන්නටය. නමුත් අවුරුදු ගණන් අපේම වැරදි වලින් දක්කා ගෙන ගිය යුද්ධ අපි කට උත්තර ඇති පමණට නිමා කොට ඇත. එහිදීද උණුවීම අපි දැක්කෙමු. එය ඔය සමහර රටවල හදාගත් හැදියාවට වඩා ඇත්තෙන්ම සද්භාවික විය. නමුත් ඒ සද්භාවය අන්ධභාවයක් දක්වා ගෙන යන්නට හදන ව්‍යාපාරත් සමහරු මෙහි බිහි කර ඇත. එමෙන්ම සද්භාවය කුරුවල් කරන්නට සමහරු වලිකන්නේය. දෙපයින් නැගී සිටින්නට හිතන මිනිහාගේ ශක්තිය එතැන අපතේ යන්නේය. නාස්ති වන්නේය. අමන ගති හදන්නට වඩා වවන්නට අවස්ථාවාදී දේශපාලුවෝ කරුණු කියද්දී මිනිසුන්ගේ සද්භාවය කුරුවල් කරන්නටත් ඔවුන් අන්ධ කරන්නටත් ඇතැමෙක් වලිකද්දී කවර නම් මිනිහෙකුට දෙපයින් නැගී සීටීමට හැකිවෙයිද?
අපි කුඩා කල කල්පනා කළේ රට ගැන අපට හදා දී තිබූ ප්‍රතිරූප ඔස්සේය. සැබෑවටම ඒ ප්‍රතිරූප ඉතිහාසයේ වෙහෙර විහාර ගල්කණු තුළින් අලංකාර වී තිබුණු නමුත් මෑත තිබූ සුද්දාගේ ආක්‍රමණ වලිනුත් පසුව ඇතිවූ භීෂණවලිනුත් අනතුරුව ඇතිවුණු යුද්ධ තුළිනුත් භයංකර වී තිබුණි. අප උපන් සමය භීෂණයේ කෙළවරකටත් යුද්ධයක ඇරඹුමටත් මැදිවිය. බෝම්බ යනු අප ළමා වියෙන් ගැටවර වියට එළැඹෙන විට අලුතෙන්ම ඉගෙන ගන්නා මාරකයය. රටේ ඉහළම පුද්ගලයින් ඉහළම තැන් බිමට සමතලාවනු අපි දැක්කෙමු. ඉන් අනතුරුව යුද්ධ කතා මෙන්ම සාම කතා වටයන් දැක්කෙමු. ඒ අවධියේ වැඩිහිටියන් කළ කතා අපි අසා සිටියෙමු. තරුණ අවදියට එන විට ජීවිතයේ පළමු වරට එක දිනට දෙකට දහස් ගණනින් මිනිසුන් මියගිය සුනාමිය අපි දුටුවෙමු. අනතුරුව යුද්ධයේ අවසානය අපි දුටුවෙමු. අපේ මානසිකත්වය කෙබදුද? රට ගැන ප්‍රතිරූපය කෙලෙස වෙනස්වීද? ලෝක කුසලානයක් දිනා ගැනීමේදී දැනුනු සතුටක් පමණද රටක් ගැන මිනිසුන් විදිය යුත්තේ, යුද්ධයක් නිමාවීමේ සතුට පමණක්ද මිනිසුන් තම ජන සමාජය ගැන විදිය යුත්තේ. තුවාලයන් තිබූ තැනැත්තාට සුවයේ සතුට හොදින් දැනෙනා බව ඇත්තකි. මා කතාවේ මුලින්ම එය කියූවෙමි. එහෙත් සුවයෙන් පසු දෙපයින් නැගී සිටින්නට හැබෑ වීරිය නොගන්නේ කම්මැලියන්ය. කලක් ඇදේම ලැග තුවාල සුව වුවත් දෙපා බිම නොගහන්නේ බියගුල්ලන්ය. අපි දැන් දෙපා බිම ගසා නැගිටින බව කෙනෙක් කීවත් බොහෝ දෙනා පිළිගත්තත් හරියට අපේ වැරදි හදුනාගැනීමකින් තොරව නැවත නැගිටීම අනුකරණයක් පමණකි. අනුකරණයට කියනා තවත් පදයකි රංගනය.
එක එක මිනිහාගේ එක එක වැරදි හදන්නට කාටවත් බැරිය. ඒවා තමන් විසින්ම කර ගත යුතුය. එහෙත් රටක මිනිසුන්ගේ පොදු දුර්වලතා හදන්නට නීති හෝ රීති තිබිය යුතුය. වෙලාවට වැඩ කරන්නට, හරියට වැඩ කරන්නට බැරි ඇයි. සුදුස්සෝ සුදුසු තැන්වල නොතබන්නේ ඇයි? හරි ක්‍රමවේද ඇති කිරීම තමන්ගේ ඉදිරි ගමනට වල කපා ගැනීමක් යයි හිතන්නෝ මැරයෝම නොවේද? එබදු මැරයෝද බොහෝ තැන් කරවන්නේ, සිල් රෙදි සේ රෙද්ද බැනියම අදින සමහරුන් මෙවැන්නන්ද? කෝට් කබා ඇද උගත් හදාගත් හැදියාව පෙන්වන සමහරුන් මෙබන්නන් නොවේද?
කොතැනින් හෝ කෙසේ හෝ කවරෙකු බැගින් හෝ පටන් ගත යුතුය. නොපමාව නිවරද වෙන්නට පටන් ගත යුතුය.
ලොකු ලොකු විලසින් ලොකු ලොකු දේ ගැන කතා කලාට ඒ සාකච්චා සම්මන්ත්‍රණ ඉවර කර කා බී හමාර කළ දේ පුටුව යට හලා යන ක්‍රමයන් වෙනස් කළ යුතුය. වරු ගණන් කතා කොට ඔලු ගෙඩි ඉහළටත් පහළටත් හොල්ලා හදාගත් හිනා වෙස්මූණු පෙන්වා අතීරණයෙන් ආපහු හැරෙන කාලකණ්නි ක්‍රම වෙනස් කළ යුතුය. වැරදිම දකින වැරදිම කියන තමන්ගේ මතයට බැහැරව වුව කළා වූ හරි දෙය වුව පිළි නොගන්නා අන්තවාදය හදුනා ගත යුතුමය. එකෙකුටවත් යට නොවී නිවැරදි දේට හා හරි මාර්ගයට පමණක් යට වීමේ මානසිකත්වයක් මිනිසුන් තුළ ඇතිවිය යුතුය. එතැනදි අපි අපි නිවැරදි වන්නට උත්සාහ නොකරන්නේ නම් මගේ අයිතිය ගැන මිස මගේ යුතුකම ගැන නොහිතන්නේ නම් අනේ අපිට සාධු..
නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් හෝ අකුරක් කියන්නට ලියන්නට දන්නා අපේ ඈයින්ට බඩ ගෝස්තරය ගැන පමණක් හිතන නිවට නියාලු හිතුවිලි පමණක් තිබිය නොහේ. ලෝකයේ නන් දෙස අපේ ඇසට විකාර රූපී මෙන්ම හැබෑවටත් විකාර රූපී සංස්කෘති ඒ ඒ උදවියට ඔවුන්ගේ උරුමයට තබාලා අනුන්ගේ ඇසට කෙසේ වේවා අපි දන්නා අපේ උරුමයක් අපි හදා ගමු. වැරදි හදාගන්න හදන අපේ උරුමයක් හොයා ගන්න හදන අපට පමණයි, වෙනස් වන ලෝකයක ඒ වෙනස දකිමින් අපේ ක්‍රමයක නොසැලී ඉන්නට හැක්කේ. දෙපයින් නැගී සිටීමේ තැනකදී අපේ කාර්ය එයට උරදීමේ අපේ මග හොයා ගැනීම මිස ජාතික කොඩිය ඔසවාගෙන තැන නොතැන දගර නැටුම් දැමීම නොවේ.
Saturday, June 21, 2014
ඇම්ම ගැම්ම නැම්ම හා පස්සපැත්තෙන් යාම නොහොත් මේක අපේ රට - දෙකකුලෙන් යාම පිණිසයි.
රට ගැන හැගීමක් මොටද?
ඇම්මටද, ගැම්මටද, නැම්මටද?
අපේ පරම්පරාව පැත්තක තියෙද්දි -රට ගැන හැගීමක් තියෙනවයි කියන එක- පොඩි ආතල් එකක් තියෙන කික් එකක් තියෙන පොඩි පට්ට පහේ ඇම්මක් ගැම්මක් වගේම නැම්මක් ගන්න වැඩක් ද? කියල වෙලාවකට හිතෙන්නෙ වැඩිහිටි උදවියටත් ඒක ඒ ගානට දැනිල වගේ පෙනෙන නිසා. හරියට මගුලටත් අවමගුලටත් දුකටත් සැපටත් අඩියක් ගහනව වගේ වැඩක් වෙලා තියෙන නිසා...
මේ රට පස්ස පැත්තෙන් යන‍්නෙ ඔන්න ඔය නිසා.
පට්ට දේශපාලන අදහස් නොදැරුවට, ධනවාදයේ පරතෙර අස්සෙන් සමාජවාදයේ පරතෙර නොදැක්කාට, මහා බුද්ධිමත් උගත් පණ්ඩිතයන් නොවුනට, අනුන්ගෙන් බැනුම් ඇහුවට, හිත හොද, ඔළුව ඇතුළෙ සාධාරණ බුද්ධියක් ඇති මිනිස්සු තවම මෙහේ ඉන්නවා. අච්චර බුද්ධිමතුන් ඉන්නවට වඩා අන්න ඒ අහිංසක මිනිස්සු ඉන්න රටකට මෙහෙම වීම ඛේදවාචකයක්. අනුන්ගෙ හන්දියක හරි ලයිට් කණුවක දවල්ටත් ලයිට් පත්තුවෙන එක ජාතික අපරාධයක් කියල හිතල කණුවෙම පහළ තියෙන ස්විච් එකෙන් ඒක නිවල දාන මිනිස්සුත් තවම ඉන්න රටකට පස්ස පැත්තෙන් යන්න වීම හරිම දුක හිතෙන කතාවක්. ගන්න පඩියට විතරක් නොවී රජයේ රස්සා කරන මිනිස්සු තවම ඉන්න රටක මේක විළිලජ්ජාව හදාගන්න ඕන කතාවක්. පිනට විතරක් නැතුව ඕන තරම් දන් දෙන මිනිස්සු තවමත් ඉන්න රටක මේ පොළොව පළාගෙන යන්න ඕන කතාවක්.
ඇමරිකාව වගේ ඉදිරිගාමී රටවල් ඉස්සරට බර නිසා පොඩ්ඩක් වැරදුනු ගමන් ඇනෙන්නෙ හොම්බ. අපි වගේ රටවල් පසුගාමීව පස්සට වැඩි බරක් තියෙන නිසා වැරදුනු තැන බිම ඇනෙන්නෙ පස්ස. හොම්බ බිම ඇනීම වගේම හොම්බෙන් යන්නට වුනොත් ඒක වේදනාවක්. ඉතින් ආයෙ පස්ස බිම වැදීම හා පස්සෙන් යන්නට සිදු වුනොත් ඒකෙන් ඇති වන වේදනාව ගැන පර්යේෂණ කරලම වටහා ගන්න අයට මිස අනෙත් අයට අමුතුවෙන් කිව යුතු නැහැ. ඒ වගේම හොම්බ ඇන ගන්න රටවල් පස්ස ඇනගන්න රටවල් ගැන විමර්ශනය කිරීම කියන්නෙ අමුම විහිළුවක් බව හිනා නොවෙන්න දන්න අයට මිස අනෙක් අයට කිව යුතුත් නැහැ.
තවමත් අපි මාතෘකාව වටේ ගියා මිස ඒ රස්තියාදුව ශුද්ධ කරන්ඩ ගත්තෙ නෑ. ඔන්න දැන් ඒ කතාව...
තවම අපේ මිනිස්සුන්ට තියෙන්නෙ දේශපාලකයෙක් පස්සෙ බඩගාල, හිතවතෙක්ට සළකල දුව පුතාට හොද රස්සාවක් හෙවීමේ චින්තනේ. ඒ සාමාන්‍ය ගොල්ලන්ට. අනෙක් අයට ඒ ඒ තරාතිරමෙ හැටියට ධනය, බලය, මානය රැකෙන මට්ටමේ විවිධ රැකියා. තමන් විතරක් තනිව දියුණු කරන අධ්‍යාපනේ පරතෙර. හැබැයි ඉතින් කොහොම අධ්‍යාපනේ කළත් මන්ත්‍රී ඇමති ඇදුනුම් කමත් පක්ෂ සංවිධානෙ ලැයිස්තුවේ නම තිබීමත් අතිශය වැදගත්. අනේ සාධු.. මේ රැකියා අතරේ -සුරක්ෂිතව දිවි නසා ගැනීම වගේ- අමුතු දේවලුත් තියෙනව. කමක් නෑ, මොකද මටයි ගෙදර අම්ම තාත්ත ඇතුළු පවුලෙ අයටයි මැරෙන්න තරම් ප්‍රශ්නයක් තවම නෑ, හොද පඩියක් ලැබෙනවනම් එච්චරයි. පවුලෙ නෑදෑ කෙනෙක් හෙම සේවාව ගන්න ආවොත් පොඩ්ඩක් හොරෙන් දැනුවත් කරන්න පුළුවන්නේ වැඩේ භයානක කම ගැන, මේක තවත් බිස්නස් එකක් විතරයි කියලා.
එතකොට තව සමහර රස්සා නිකං ආතල් එකට රස්තියාදු වෙනව වගේ දේවල්. බඩු විකුණල ලකුණු දා ගන්න එක, අල කියල ලූනු දෙන්න හදනව වගේ ප්‍රමෝෂන් වැඩ. අපේ රටේ සාමාන්‍ය විදිහට ජීවත් වෙන කොල්ලො කෙල්ලො වැඩි පිරිසකට මෙවැනි රස්සා ලැබෙනව. ඒ ගොල‍්ලො හරි කැමතියි ඒවට, ලස්සන ඇදුමක්, සමහරවිට පයින් ඇවිද්දත් දාඩිය දාන්නෙ නැති වෙන්න ටයි පොල්ලකුත් ඕනනම් කෝට් බෑයකුත් දාගෙනම වැදගත් කමට ගෙයින් ගෙට පයින් කට්ට අවුවෙ ගාටන්න පුළුවන්. ලස්සනට බිස්නස් එක කෙරෙනව. ඇවිදින තරමට මේ රටේ ගෙවල්වල පාරිභෝගිකයින්ගෙ වත්කම් තේරෙනව. ඩොලර් අහවල් ගාටන වැඩියිලු. දේසපාලුවන්ගෙ හයියට තමන්ගෙ හයියත් දාල කප්පන් ගන්න වගේ වැඩ කරන්න පුළුවන් නම් ඒවත් හොද රස්සා අප්පා .. ඉක්මණින්ම දියුණු වෙන්න පුළුවන් ඒවායින් මෙහේ.
ඔය අතරෙ අපේ ඇගේ වැඩකරන ඇම්ම ගැම්ම තමන්ගෙ නැම්මට හරි ලස්සනට පාවිච්චි කරන අයත් ඉන්නනව. හැම කෙනා ගාවම හොද නවීන පන්නයේ ජංගම දුකරථන, ලැප්ටොප් කීවොත් ගොඩක් දෙනා හැරිල බලනව. පල්ලෙහා ඉන්න ගොඩක් දෙනා මේවට හරියට නැමෙනවා. උඩ ඉන්න අයට නොදැනීම තවත් උඩට යන්න තමන්ගෙ කොන්ද දන් දෙනවා. පින් නැතිව උනත් ඒ දන් දීම නම් පාප උල්පතක්, ඒත් ඒක සිද්ද වෙන්නෙ නොදැනීමනේ. බස් ලගදි නොහැරෙන ඔලු කාර් ලගදි හැරෙන ගතියක් ලගදි මම පාරෙදි දැක්කා.
ඉතින් ඔහොම සවිඥානිකව පාරෙ යන අය ඉද්දි කහ ඉරෙන් පාර පනින අයටත් තමන්ගෙ සීලෙ බිද ගන්න පොලිසියත් ආරාධනා කරනවා සමහර තැන්වල. ඒකෙ අනිත් අදහස මිනිස්සුන්ට කමක් නැත්නම් එයාලටත් කමක් නෑ වගේ තත්වයක් හැදිල තියෙන්නේ, ඒකත් හරි අපූරුයි. ගුරුවරුන් හා ළමයින් අතර සම්බන්ධයත් උපයන්න පුළුවන් ආදායමත් එක්ක ඉල්ලුමට සැපයුම වගේ තත්වයකින් අපූරුවට යනවා. වැඩිහිටියො පොඩිවුන් දිහා බලලා අනේ අපේ හෙට පරපුර කියලා සන්තෝෂ වෙද්දී දරුවෝ වැඩිහිටියෝ දිහා බලලා අනේ මෙයාලට තේරෙන්නේ නෑනේ වගේ ගතියකින් බකං නිලාන ඉන්නවා.
රට රැකගන්න කතා කරනවා, අවවාද දෙනවා, බණ කියනවා. පිළිපදින මනුස්සයගෙ කකුල කොනිත්තනවා. අපි අහවල් රටක් හදමු කියනවා. කැප කරන එකෙක් නැති ගානට ලක්ස ගණන් අතරේ පේනවා. ඉන්න එකා නොපෙනී යනවා. උදව් ලැබෙන්නේ හිගමනේ යන්නාට. කොන්දක් ඇති මිනිස්සුන්ට උදව් නෑ. මේ කියන්නේ දේශපාලනේ නැම්මවල් හදාගන්න කතාන්දර රගන උදවිය ගැන නොවෙයි. එක එක තැන්වල එක එක දේට හිතුමතේ ඔලුව පාත් නොකරන මිනිස්සු. එහෙම උදවිය රටකට ඕන නැති ගානයි. දුකටයි සැපටයි අඩි පුඩි ගහන මිනිස්සු හදන්න වියදම් කරන රටකට පස්ස පැත්තෙන් යන්න වෙන එක අහන්නත් දෙයක්ද? නමුත් නොතේරෙන්නෙ ඇස් කන් වීමවත් කන් වලට නොඇස් වී යාමවත් නිසා නොවෙයි. පිළිවෙතකට නොයාම නිසයි. ඔහෙ කියවනවා විතරයි. හරි හමන් තැනකින් පටන් ගන්න හයිය ඇති කරගන්නෙ නෑ. එතනට ඔය කයිවාරුකාර බොහෝ දෙනා කැපවෙන්න සූදානම් නෑ. ළිදට වැටුණු මිනිස්සු ඒ කටෙන් හරි උමගක් කපල වෙන තැනකින් ගොඩ එන්න හරි වෙහෙසෙන්න ඕනමයි. නමුත් අපේ උන් හදන්නෙම ආඩි හතේ කැදහැලි බොහෝ තැන්වල ලක්ස ගණනින් එකතුවෙලත්.
ඒ අතරෙ ඇම්මට හදාගන්නා ජාති වාදත්, ගැම්මට හදාගන්නා අහවල් වාදත් තුළින් රටට නැම්මවල් දීමට ගොස් හදන්නේ පස්ස පැත්ත තවත් තුවාල කිරීම පමණයි. ඒ තුවාල තවත් වැඩිවූ දාට ආයේ කන දේ දිරෙව්වත් බැහැර කර ගන්නට බැරි තත්වයක් හදා ගතහොත් එදාට තේරේවි යන්නේ පස්සෙන් බව. අපේ උදවිය බොහෝ දෙනාට තේරෙන්නේ එවැනිම විටෙකයි. එතකොට කැපකිරීම එන්නේ බණක් ලෙස නොව අණක් ලෙස බලහත්කාරයෙන්. අපේ පසුගාමිත්වය එයට කැමතියි. පසුගාමිත්වයෙන් සිට හොම්බෙන් නොයන තරමේ ඉදිරිගාමිත්වයකට අප පැමිණිය යුතුයි. එතැනට නම් අවම වශයෙන් අප එකිනෙකා අවංක ව සිතන තැනකට පැමිණිය යුතුයි. පටු ආත්මාර්ථයෙන් අත්වන විනාශය විදවමින් විලාප නගමින් වෙනස් වන්නට සිද්ද කරගන්නවාට වඩා, තමා ගැන විලසින්ම අනෙකා ගැන හිතන යුගයකට කල්පනා නොකළහොත් ..... අපි අපවම රවටා ගැනීමේ ඛේදය බරපතළ අයුරින් අපේ අනාගතයට පහරදෙනු වැළැක්විය නොහැකි වේවි. අපේ ළාමක බවට දැනෙන අළාමක තත්වාකාරය නම් එයමැයි.
යා යුත්තේ දෙපයිනි, එනිසා තතු විමසිය යුතු සේම නිවරද දේ වටහා ගැනීමත් ඒ හා එක්ව යාමත් කළ යුතුමය.
Tuesday, June 10, 2014
පාට දේදුනු සේදිලා - තෝරාගන්න -
වර්ජන, ගර්ජන, උපවාස, උත්ඝෝෂණ, සමහරුන්ට හරියට අහසේ වෙලාවකට පායන දේදුනු වගේ. ජීවිතේට, ඇගට ලොකු ගැම්මක් නැම්මක් ගේනවා. බලාපොරොත්තු ගේනවා. හීන ගේනවා. ඒ අමාරු දුෂ්කර කාලෙ කාටත් වැඩත් අවැඩත් වෙමින් නිමා වුනාට පස්සෙ නිකං පාට දේදුනු හේදිලා වගේ දැනෙනවා. ආයෙ එහෙම අවස්ථාවක් එනකම් හීන, බලාපොරොත්තු වැටිලා බිමටම. වල් පල්, බයිලා ගහ ගහ ඉන්න පුළුවන් ආයෙ කාලයක් එනකම් ඒ වගේ. සමහරුන්ට එහෙම, විශේෂයෙන් දේසපාලනයට දණ්ඩ නමස්කාරයෙන්ම බඩගෝස්තරමාර්ග හදාගත් උදවියට. තවත් සමහරුන්ට අරවගේ කාල වලින් පස්සෙ හැබෑවටම වැඩ තියෙනවා. බකන්නිලං ඉන්න වෙලාවක් ඒ අයට නෑ. අනිත් අයත් එක්කම තල්ලු වෙලා දිනාගන්න කේක් කෑල්ල තිබුණට තනියම පරහට කරන්න වැඩත් තියනවා එයාලට. අපේ සමාජෙ මෙහෙමයිලු. කොයි කොයි සමාජවලත් එහෙම මෙහෙම දේවල් එහෙ මෙහෙ විදිහට තිබෙනවාලු.
කොහොම උනත් ජීවිතයකට හීන බලාපොරොත්තු උවමනායි. ඒව හදාගන්නෙත් ඒ වෙත ගමන් කරන්නට තිබෙන්නෙත් අපිටමයි. එක්කො හීන දැක දැක බල බල ඉන්නත් පුලුවන්. නැත්නම් ඒ පස්සෙ දුවන්නත් පුලුවන්. අහසේ ඈතට හුළං බලෙන් ඇදෙන සරුංගලේ පස්සෙ ඒ දිහා බලන් බිම දුවන්න බෑනේ. සරුංගලේ දිහා බලන ගමන් බිම බල බල ඒ පස්සෙ දුවන්න වෙන්නෙ. බලාපොරොත්තු පසු පස්සෙ යෑමත් ඒ වගේ නොවෙද? නෙළාගන්න ඕනකරන දේ වපුරන්න වෙනව වගේ හදාගන්න අරමුණු වල විදිහට ඒවගෙ පස්සෙ දිවිල්ලත් වෙනස් වෙනව. හැබැයි ඉතිං වපුරපු දේ නෙළාගන්නත් කාළය එනකම් වගාව සුරැකෙන්න එපැයි. ඉතිං අරමුණු වලට යන්න තියෙන මාර්ගයෙ හරියට යන්නෙ නැතිව වෙනත් වෙනත් තැන්වල රස්තියාදු වෙන්න ගත්තොත් හැමදාම වට රවුම වටේ ගියා වගේ වෙන්නත් බැරිනොවී යනව. අවසානෙට නෙළා ගන්න වෙන්නෙ පුස්සක් වෙන්නත් පුළුවන්.
ඒ නිසා අපි හදා ගන්න අරමුණු දිනාගන්න තැන, අරමුණත් මගත් දෙකත් එක්කම ගොඩක් හිතන්න වෙනවා අපිට. අද ගොඩක්ම වෙලා තියෙන්නෙ මගේ මාර්ගය මට ඕනෑ එක, මට ඕනෑ විදිහට යන්න පුළුවන් කියල හිතන එක. ඒකෙ වරදක් නෑ තමන්ගෙ ගමන තනියම යනවානම් තනියෙන් ඉපදී තනියෙන් ම මරණයට යනවා වගේ. ඒත් උපත විපත තබා හැම ගමනක්ම එක එකාගේ ඇගේ හැපෙමින් යන්නට වන විටක, අපිට අප සමග ගැටෙන අනෙකා ගැනත් හිතන්නටම සිදු නොවේද අපමණටම.
අනිකගෙ බෙල්ල උඩින් නෙවෙයි, බෙලි රොත්තක් උඩින් ගියත් කම් නෑ අපේ ගමන කියල සමහර අය හිතන්න උත්සාහ කරන එක, හිතන් ඉන්න එක පාට දේදුනු හේදිලා කියල දවසකදි කියන්න සිද්ද කරන වැඩක්. විනාශයක්, ඒක විනාශයක් වෙන්නෙ ඔබේ මාර්ගය තවත් කෙනෙක්ගෙ බෙල්ලක් උඩින් වැටෙන කොට ඒක ඔබට ප්‍රශ්නයක් නොවේ නම් තවත් කෙනෙක්ගෙ මාර්ගය ඔබේ ගෙල උඩින් වැටෙන එක ඔහුට හෝ ඇයටත් ප්‍රශ්නයක් නොවන නිසා. හැමදෙනාම එහෙම හිතුවොත්,,, එහෙම අරමුණු දිනා ගැනීමක් අවසන ඉතිරි වෙන්නෙ කව්ද? කිසි කෙනෙක් නෑ අවසන ඉතිරිවෙන, හිස් බවක් මුග්ධ කමක් විතරයි.
ඒ නිසා තෝරාගනිමු උස් අරමුණුත් නිසි මගත්. මුළු අස්වැන්න නැතත් අස්වැන්නෙන් කොටසක් හෝ ලැබේවි. හානිය අවම වේවි. කාලය ඉතිරි වේවි එවිට.
Sunday, May 18, 2014
පොතේ ගුරුන් වෙත විශේෂයෙනි, කුණු / කුණු ගැන යමක්, කුණු කර නොගනු පිණිස යමක්.
පොත් අපට ගුරුන් විය. මේ පොත බලා අපට කියන කියවන ගුරුන්ද සිටිහය. නාටකයන්හි පොතේ ගුරෝ සිටියහ. හැබැයි ගුරාගේ පොත කියවීම අනුවම නාටකය තේරුම් ගැනීම යනු නාටකය නැරඹුවා යනුද නොවන බව දන්නේ කවුරුන්ද!
එක් පොතකින් ගෙන තවත් පොත් වලට සමහරුන් ගරහති. පොත් යනුද හිත්මය. එකෙකුගේ ස්වභාවයට වඩා තවෙකෙකුගේ ස්වභාවය වෙනස්ය. එකම හිත් වුවත් ඒ ස්වභාවයේ වෙනස අපට දැනෙන්නේය. ක්‍රියාවන් හරහා පෙනෙන්නේය. පොත්ද එලෙසින්ම වටහා ගනු නොවටීද. පරම පුස්තක ලෝකයේ තිබෙනවාද! එය හරියට පරම මනුෂ්‍යත්වය පිළිබද ප්‍රශ්න කිරීමක් මෙනි. යම් ආකාරයකින් ලෝකයේ ලැබිය හැකි පරම තත්වයක් යමෙකු ලබාගත්තේනම් ඒ පරම තත්වය විචාරිය හැක්කේ කුමන මිනුම් දණ්ඩෙන්ද! ලෝකයේ හෑම සත්‍යම පොත පතේ තිබෙනවාද, පොත පත අපට යටද, අප පොත පතට යටද!
මිනිස්සු සසරක් ගැන කියති. පෙරුම් දම් පුරනවා යැයි කියති. මේ භවයේම මොන්ටිසෝරියේ සිට විශ්වවිද්‍යාලය දක්වා යති. පහ වසරේ ළමයෙකු කළ දෙය විශ්වවිද්‍යාලයෙන් බිහිවන උපාධිදරයෙකු කරත්ද! විශ්වවිද්‍යාලය දක්වා යන්නට ආසාවෙන් ඔහු කළ කී දේ උපාධිදරයෙකු වූ පසු ඔහුගේ ක්‍රියාකාරිත්මය හා සම වෙත්ද! නොපෙනෙන විදුලිය දැකිය හැකි ලෙසින් මතු වන නිසාත් වෙනත් නොයෙක් ශක්තීන් බවට පරිවර්තනය වන නිසාත් පමණක් පිළිගන්නා ලෙසින් මිනිහා තුළ දිවෙන්නා වූ ජීවය හා බැදි චිත්තය ගැන අපි කතා කරමුද! ඒ ඔස්සේ සසර නොදකිමුද!
නොදන්නා දේ බොහොමයක් යම් තර්ක ක්‍රමයක් තුළ විග්‍රහ වූ පමණින් තර්කය බලවත් අවියක්ද! පොත් පත් ගුරුවූ පමණින් පත පොත යනු අප එකම දැනුම් මාර්ගයත් අවබෝධය දෙන සන්නිවේදන මගකුත් වෙත්ද! එලෙසම තර්කය හා පොත පත මැදි කරගත් පමණින් අපේ විග්‍රහ විචාර අර්ථ සම්පන්න හෝ ප්‍රඥාගෝචර වෙත්ද?
ප්‍රඥාගෝචර කර ගැනීම උදෙසාද මාර්ග සියල්ලක්ම තිබිය යුතුය. පොත පත තර්කය, තවත් දේ...හැබැයි එපමණකින් කිසිවක් කුණු කර ගත යුතුද නොවේ. පොදු බිත්තර පුද්ගලිකව පරිහරණයට ගෙන කුණු කරන්නට කිසිවෙකුට රිසි හෝ නිසි අයිතියක්ද නොවේ. එබැවින් නන්නත්තාර සන්තෝෂයේ කරක් ගහන අප අඩුම වශයෙන් අප වෙතින් අනාගත පරපුර උදෙසා දශමයක හෝ සත්භාවයක් ඉතිරිකළ යුතුය. ඒ යුතුකමෙන් පලා යාමට පණ ඇති මිනිස් වංශයේ කිසිවෙකුටත් අයිතියක් නැත.
තැන තැන ගොඩ ගැහුණු කුණු ගැන කතා කිරීමත් ඒ කුණු වර්ගීකරණයත් හොදය. නමුත් වඩා වැදගත් වන්නේ හැකි පමණ කුණු ශුද්ධ කොට දමන්නට වෙහෙසීමය. ඒ සදහා මාර්ග සොයා ගැනීමය. හැකිතරම් දෙනා හැකිතරම් තැන්වල රිසි රිසි සේ කුණු අවුස්සන මෙකල නැතහොත් හැමතැන අහන්නට වන්නේ කුණු ගැන කුණු කුණු කතාම පමණි. එබැවින් කුණු ඇවිස්සිය යුත්තේ ශුද්ධ කර දමන්නට මිස කපුටන් කුණු අවුස්සන ලෙසින් නම් නොවේ. කපුටා කුණු අවුස්සන්නේ කුණු වුනු ආහාර කන්නටය. බුද්ධිමත් බවටත් වඩා ප්‍රඥාවට දිරි වඩන මිනිසුන් විශේෂයෙන් එලෙස නොවිය යුතුය. ඇවිස්සෙන කුණු ගොඩවල් අතර ඉන්නට සිදු වුවත් ඒ අවබෝධයෙන් ජීවත් වන්නට හැකි නම් සුදුසු මෙන්ම නුසුදුසු තැන්වල බොහෝ කොට කුණු ගොඩ නොගැසේවි.
Thursday, May 1, 2014
පුංචි කුරුල්ලෝ - ලොකුවට හිතන්න
අපේ ගෙදර විශාල මල් වත්තක් නැත. නමුත් පුංචියට සැකසුනු කුඩා මල් වත්තක ලකුණු ඇත. එය මාගේ ව්‍යායාමයක් නොව පියාගේ හා මවගේ වෙහෙසමය. නමුත් කතාව එය නොවේ.
මේ මල් ගස් අතර පියඹන පුංචි කුරුල්ලන්ය. විටෙක ජනෙල් වීදුරු තුළින් උන්ගේම රුව දැක ටක ටක නාදයෙන් පුංචි හොටින් විදුරුවට අනිමින් කරනා අරගලයේ හුරතලයය. විටෙක ජනෙල් කවුලුවක යකඩ රාමු අතර මැවෙන්නේ අපූරු රූප රාමුය. පුංචි කුරුල්ලන්ගේ පුංචි නාදය අපූරු සංගීතයකි. නමුත් පුංචි ලංකාවේ මිනිසුන්ට දැන් පුංචි රස දැනෙන්නේ නැත. මේ කියන්නේ සපුරා සමස්ථයට නොවේ. වැඩි බහුතරයකටය. ඒ බහුතරයද දැන් වැඩිවෙමින් පවතින ලකුණු පෙනේ. ගෙදර කුකුළා නිතර දකින නිසා කරමළය සුදට පෙනෙන්නා සේ වටපිටාවෙන් පරිසරයෙන් රහ සෙවූ කාලය මේ පුංචි රටෙන්ද තුරන්ව යමින් පවතී. දැන් අපිට ඕනෑ මෙගා ටයිප් දේවල්ය. පුංචි රසය සියුම් සංවේදී බව යන්න නොතේරුමෙන්දෝ විශාල තැන්වල විශාල දේවල් අතර සැරිසැරීම අපට මහා ලොකු දෙයකි. විශාල දේවල් ගැන කතාකිරීම අපට ලොකු දෙයකි. තමන්ගේ පුංචි වැරැද්ද හදා ගන්නට බැරි මිනිහා රටේ තොටේ ලොකු වැරදි හදන්නට කතා කරන්නේ එලෙසින්ය. ලජ්ජාව හා විනාශය නම් ලෝකයේ නිර්මලම දහමක් කටේ දිවේ ගාගත් අයවලුන්ගෙන් පිරි රටක මෙබදු දේ සිදුවීමය.
පුංචි පැලේ ගස වෙනා කියන්න නොදන්නා අපේ රටේ ඇත්තෝ සියලු ආටක නාටක මැද්දේ හෙට දින කුඩා වුන් කෙසේ වැඩේවිදැයි හිතන්නේද? සමහරුන්ගේ සිහිනය ඔවුනුත් පටන් ගන්නා තැනින්ම මෙගා කිරීමය. උගැන්මෙන් මෙන්ම තරු කිරීමෙන් වශයෙනි ඒ. තරු කිරීම මෝස්තරයකි. උගැන්වීමද දැන් මෝස්තරයකි. ගණිතය, විද්‍යාව ඉගෙන ගත් පමණින් ලොවම දිනාගත හැකි යැයි ඇතැමෙක් සිතන බව පෙනේ. හැබැයි එබන්දන් බොහෝ කොට ලොවම දිනා තමාගේම ගෙදර අනාගන්නා හෝ නාගන්නා අය බවට පත්වේනම්.. අපේ පුංචි මොළයට වැටහෙන ආකාරයට නම් පරපුරකින් පරපුරකට, මිනිසෙකුගෙන් මිනිසෙකුට හුවමාරු කර ගත හැකි තවත් බොහෝ දෑ ඇත. ඒ තරු උණුසුම, ගණන් පෙන්වීම හෝ විද්‍යා විජ්ජාම නොවේ. බොහෝ කොට පුංචිම වුවත් හිත හැදෙන සැනහෙන දෑය. හරිලොකු ලොකුමලොකු දේවල් වලට වඩා පුංචි කුරුල්ලා වටින්නේ ඒ සැනසුමටය. ලොවක් දිනූ දිග්විජය කළ වුන් ධර්මවිජය කරන්නට හැරෙන්නේ ඒ පුංචි සද්දයේ ඇති මහා බලවත් කමෙනි.
එනිසා ලොකු දේවල් අවැසි වන බව තේරුම් ගන්නා අතරම පුංචි දේ ඇති වටිනාකමද නොඅඩුව තේරුම් ගත යුතුය. නමුත් සමහර ලොකු රටවල ලොකු මිනිස්සු පවා තම ලොකුකම් නොසිතා තමන්ට මගහැරුණු පොඩි දේ සොයා ආපහු හැරෙද්දී පොඩි දේ අතර ඉන්න අපේ මිනිස්සු අල්ලා ගත හැකි ප්‍රමාණයටත් වඩා ලොකු දේ පස්සේ දුවන්නේ තෘෂ්ණාව නැමැති නොසන්සිදෙන හැගීමක් පසුපස දුවමිනි. ඒත් සියලු ආශාවන් ගැන ගැඹුරින් හිතන මිනිස්සු ලොකු ආසාවන් පුංචි දෙයින් සන්සිදවා ගන්නේ එබදු හඹායෑමෙන් විය හැකි ඉමහත් වැනසීමක් වළක්වා හික්මීමෙන් සැනහෙමිනි.
එනිසා දැවැන්ත බවක් තුළ ඇති කරගන්නා මහා හිස් දෝංකාරයකට වඩා පමණට පුංචිවට දැනෙනා සුමිහිරි බව විදින්නට මේ පුංචි රටේ මිනිස්සු පුරුදු වුනොත්...ඔවුන් ඇත්තටම ලොකුකම් හදාගත් ලොකු තැන්වල ලොකු මිනිසුන්ව නිරායාසයෙන් අභිබවාවි.
සැබවින්ම වටිනා බලයක් තිබෙන්නේ ලොකු තැන්වල නොව පුංචි ප්‍රතිපදා තුළ ශක්තිමත් වූ ස්ථිර ගුණ ඇති මිනිසුන් තුළයි.
පුංචි දෙයින් පාඩම් ඉගෙන ගන්න කාලය හරි කියලයි අපට හිතෙන්නේ. මිනිස්සු ලොකුවට හිතන්න ඕනෑ තමයි, හැබැයි ඒ පේන ලොකු දේවල්වලට වඩා හැංගෙන, වැළලෙන පුංචි පුංචි දේවල් ගැන. අනිත් අතින් අපි වාසිය තකා නිරායාසවම වගේ ලොකුවට හිතන්න පුරුදුවෙලා ඉන්න සමහර දේවල් ඇතුළෙ ඇත්තටම හිතන්න පුංචිම දෙයක්වත් නෑ කියල ප්‍රත්‍යක්ෂ වුන දාට පුංචිවට අපි අමකත කරපු පුංචිම පුංචි දේවල් ආපහු මතක් නොවෙනවද කියලත් තමා තුළින්ම හොයල බලන්න. පුරුද්දට වගේ ලොකු තෑගි දුන්න අය ගැනම හිතුවට වැරැද්දක් වෙනුවෙන් පුංචි ටොක්කක් දුන්න මිනිහගෙ වටිනාකමක් එදාට දැනේවි.
Saturday, April 12, 2014
ආවේගයන් හරවමු - කට් නොකළ හැකි ඇක්ෂන් ගැන අවදි සිහියෙන් ඉමු.
අපට කළ හැකි දේ අප නිවැරදි වීමයි. ලොවක් නිවැරදි වන්නට පටන් ගැනෙන්නේ එතැනිනි. අනෙකාගෙන් පටන් ගැනීමට පෙර මගෙන් පටන් ගත යුතුය. ආවේගය ගැනද එබදුමය. මගේ ආවේගය කිසිවෙකුටත් ගැටලුවක් නොවන්නේ යම් සේද එතැනින් නොවේද අප ඇරඹිය යුත්තේ!
වීරත්වය හා ආවේගය අතර අපූරු සම්බන්ධතාවක් ඇත. නමුත් ආවේගයෙන් පමණක් බිහිවන්නන්ට වීරයන් කියන්නේ නැත. වීරත්වයක් ලැබීමට නම් ආවේගය හසුරුවා තමන්ටත් අනුන්ටත් යහපතක් වන දෙයක් කළ යුතු වන්නේය. විශේෂයෙන් ප්‍රයෝගික ලෝකයේ වීරයෝ තමන්ටත් වඩා අනුන් ගැන සිතිය යුතුමය.
නමුත් රගපෑමෙන් උපදින බයිස්කෝප් ලෝකයේ නම් එය වැදගත් කරුණක් නොවේ. මන්ද ඇක්ෂන්- කට් තුළ සියල්ල නිමවන බැවිනි.
නමුත් කට් කළ නොහැකි ඇක්ෂන් පාට් බයිස්කෝප් ලෙසින් හැබෑ ලෝකයේ විනාශකාරී ලෙස අත්හදා බලන්නට කෙනෙකු පෙළඹෙනවානම් එය ඉතා බරපතළ තත්වයකි.
බොහෝ ජනයා දෑහින් බලා සිටියදී විවිධ අවදිවල සිටි විවිධ විෂම පුද්ගලයෝ තම තමන්ගේ නා නා විධ ආවේග මුදා ලූයේ ලජ්ජාව හෝ බිය තඹයකට නොතකමින් බව පතපොතේ එන ඉතිහාසයේද කියැවෙයි. දං ගෙඩියට ගෙල පෑ වීරයෝ මෙන්ම නින්දිත දූෂකයෝද ඒ අතර සිට ඇත. ලේ කදුළු අතර මහා අරගල බිහිව ඇත්තේ එතැනිනි. ලජ්ජාව හා බිය ලෝක පාලක ධර්මතා ලෙසින් දහමෙහි කියා තිබීම අරුමයක් නොවන්නේත් මෙනිසාය. මරණය මෙන්ම වරණයද අබිබවා යන මේ කාරණා සියල්ල පටන් ගැනෙනුයේ ආවේගයෙනි. හොද ආවේග ඇවැසි බව කියවෙන ලෙසම නරක ආවේග යටපත් කළ යුතු බවද කියවෙන්නේ නිකම්ම නොවේ.
රස්තියාදුකම ඉවවහා ගිය ලෝකයක මේ ගැන කතාව සමහරෙකුට විහිළුවක් වුවත් සැබෑව ඉන් යටපත් නොවන්නේය. එබැවින්ම අපි ශුද්ධ රස්තියාදුවක් ගැනද කියන්නෙමු.
කලකදී අපිද ආවේග වලට ගොදුරුවීමු. ඒවා විවිධ විය. විෂම විය.
ඒ බව වැටහුණු නිසාම රස්තියාදුවේ යෙදෙමින් ආවේග හැරවීම පිණිස විවිධ මාර්ග සොයන්නට වීමු.
මමම කියවනු පිණිස මටම ලියූවෙමි. ආවේග හරණයක් එයිද සිදු විය.
එක් ලෙසකින් සමහර ආවේග නිවස තුළම සාකච්ඡා මාර්ගයෙන් විසදිණි.
තවත් ලෙසකින් වේදිකාවක නිදහසේ රගන්නට නාටකයක් තනා ගෙන තවත් ආවේග බාගයක් මුදා හැලූයෙමි.
සමහර දේ සමහරුන්ගේ මුහුණටම කියා ආවේගය පිට කරගත්තේ කිසිවිටකත් ආවේසයකින් නම් නොවේ. පාලනයෙන් යුතු ස්ථානෝචිත කතාවකට අවතීරණ වීමෙනි.
ඒ සියල්ල පිළිබද කෙටියෙන් කියන්නේනම් සුදුසු තන්හී ස්ථානෝචිත ලෙසින් විසදුනා යැයි කිව හැකිය.
නමුත් ආවේග නොසිදෙන සුළුය. තවමත් ආවේග ඇති වන්නේ පණඇති ප්‍රාණියෙකු නිසාය. නමුත් ඒවා රටකට ජාතියකට තබා මොහොතකට හෝ මිනිහෙක්වත් අවුල් කළා නම් බිංදුවට වඩා සුළු අගයකින් දශම ගණනකින් බව වගකීමෙන්ම කියමි. කොහොමත් උපරිමය ඉලක්කම් දෙකේ සංඛ්‍යාවකට නම් ගියේම නැත.
නමුත් ඉවසීමෙන් කිසිත් නොකොට දෙනෝ දාහකට බලපාන අයුරින් තමාගේ ආවේග දසත මුදන්නට යෑමෙන් මෙලොව පමණක් නොව තවත් ලෝක කීපයකටම බලපානා අයුරින් කාරණා කටයුතු සිද්ධ වෙන බව මේ තරම් වූ ජාල ගත ලෝකයක කුරා කුහුඹුවාටත් තේරුම් යා යුතුය.
පුංචි හොදක් මහා බලයක් කරගත හැක්කේ යම් සේද නොමනා ස්ථානිය හා අස්ථානීය ආවේග මහා විනාශයන් උදා කරන්නේය. අපටද රටටද ලොවටද එවැනි ආවේග ගෙන දුන් හානිය අපමණය.
එබැවින් ආවේගය මුදා ලිය යුත්තේ නුවණට ආවැඩෙන අයුරෙනි. කාරණය පහසු නැත. නමුත් වැටි වැටී හෝ නැගිටින්නට මිනිසා උගත යුතුමය.
හරුපයේ තෙවැනි අර්ථයෙන් රස්ටාගේ ආවේගයේ සිට හලෝව්ගේ වේගය වෙත ගෙන යා යුතු ජීවිත නොහොත් නව ලොව ජීවිතය වෙනුවෙන් අවබෝධ කළ යුතු හලෝව් රස්ටාගේ යථාර්තවාදී හරුපය
Friday, March 7, 2014
විකල්ප - පීනා හෝ එගොඩ වෙමු
මෙගොඩ සිට එගොඩට යාමේදී වැදගත් වන්නේ දෙගොඩ අතර අතරමැදි ප්‍රමාණයයි. ගංගාවේ පළල, වගේම දිය ගැඹුරුද යන්නත් කිඹුලන් සැරිසරන්නේද යන්නත් වැදගත්. මේ තොරතුරු හරි හැටි නිරවුල් නම් යන්නේ පහුරෙන්ද පීනා එගොඩ වෙනවාද යන මූලික සරල තීරණයට එළැඹිය හැකිය.
අපි එගොඩ වෙන්නට විධි සොයමින් සිටින්නෙමු. දියුණුව, සංවර්ධනය ඇත්තේ එගොඩයි. තවමත් අපි මෙගොඩයි. හැබැයි ඔය දියුණුව සංවර්ධනය අපේක්ෂා කරන්නේ ආර්ථිකමය අංශයෙන්ම පමණක් නොවේ. මනුසත් කමද දියුණුව සංවර්ධනය කරා යා යුතුය. ඉදින් එහෙව් දියුණුවක් සංවර්ධනයක් නැමැති එගොඩක් කරා යාමේදී සමහරු ධනවාදී පහුරක් ගැන කියති. සමහරු සමාජවාදී පහුරක් ගැන කියති. ගගේ කිඹුල්ලු නැති නම් පීනා හෝ එගොඩ විය යුතුයි සිතනා අපට නම් ඔය ධනවාදී හෝ සමාජවාදී පහුර මත්තේ නැහෙන්නට ඕනෑ නැත. පුළුවන් නම් දෙකම කඩා හෝ වඩා හොද පහුරක්, ලොකු පහුරක් හදා ගෙන වැඩි දෙනා එගොඩට යාම තැනට සුදුසු නුවණයි. ඵලදායී නුවණයි.
ආර්ථිකයම පතා ගොහින් විහින් නැහෙනවාද? සමානාත්මතාවම පතා ගොහින් නාස්ලනුවක් දමා ගන්නවාද? යන පැනවලදී නුවණැති පිළිතුර නම් ආර්ථිකය පමණටත් සමානාත්මතාව පමණටත් ගෙන යන ගමනට පෙරමුණ දීමයි. ආර්ථිකය මත සියලු දේ තීරණය නොවන්නා සේම සමානාත්මතාව උදෙසා ක්‍රියා කළ හැකි වුවත් කප්පාදුවෙන් හෝ වාත්තුවෙන් සර්ව සම්පූර්ණ සමානාත්මතාවක් රදාපැවැත්විය හැක්කේද නැත. එබැවින් වඩා වැදගත් වන්නේ කළ හැකි දේ හා කළ යුතු දේ කිරීම විනා අන්තගාමී වීම නොවේ. පහුර කරතබා ගෙන, අප එගොඩ වීමට වඩා පහුර එගොඩ කරවීමට තැත් දැරීම මෝඩ කමකි. එමෙන්ම අනෙකාගේ කකුලින් ඇද හෝ අනෙකාගේ ඇග මතින් හෝ තමා පමණක් එතෙර වුව හොත් සෑහේ යැයි සිතීම දුෂ්ට කමකි. එබැවින් අනෙකාටද සාධාරණ ඉඩක් තබා අප ගං තොටේ රැදිය යුතුය. පහුරකින් හෝ පිහිනා හෝ එගොඩ විය යුත්තේද අනෙකාගේ ඉඩ අහුරමින් නොවේ. මේ ගංගා තරණය තරගකාරී කරගත යුතුද නොවේ. මන්ද වඩා වැදගත් වන්නේ ගගින් සෑම දෙනාටම නිරුපද්‍රිතව එතෙර වීමට හැකි වීම මිස පළමුවෙනියා දෙවැනියා තේරීම නොවන හෙයිනි. නුවණක්කාරී බව යනුද එයමයි.
එබැවින් පහුරු කර තබා ගෙන යනවාට වඩා ගංගා තරණය ගැන වෙහෙසීම මැනවි. තමාගේ ශක්තියෙන් අවස්ථානුකූලව කළ යුතුදේ තමාම තීරණය කිරීම මැනවි. එහිදී ආර්ථිකය මෙන්ම සමානාත්මතාවද සැළකීම මැනවි.
ලොව ඉදිරියට යන්නේ තරගකාරිත්වය මතම නොවේ. තරගකාරිත්වය අත්කරදෙන්නේ දියුණුවක්ම ද නොවේ. ලොව නිවැරදි දියුණුව කරා යොමුවන්නේ පුද්ගලයා වශයෙන් එකිනෙකා තමා කළ යුත්ත කිරීමෙනි. කළ හැකිදේ කිරීමෙනි. නිවැරදිව කිරීමෙනි. එබැවින් වඩාත්ම සැළකිලිමත් විය යුත්තේ කළ යුතුදේ හා නොයුතු දේ හදුනා ගැනීමටයි. එහිදී වාද භේද හිසින් හිතින් ගැනීමට වඩා හැළීම වැදගත්ය. මන්ද ඒ නිදහස් භාවයම තමන්ගේ ගමනට අවැසි අවධානය එයටම යොදන්නටත් එනිසාම එගොඩ දක්වා ගමන සුන්දරව ඒ ඒ මොහොතේදී නිසි රිසි ලෙස ක්‍රියාකරමින් යන්නටත් අවස්ථාව පෑදෙන හෙයිනි.
Subscribe to:
Posts (Atom)