Sunday, May 15, 2022

පිළිමල් ඇඟිල්ල 👍 (තරු පටි බදා , සුදු කර පටි හදා නොඉඳ ~ යමු අපි පටිපදා වෙතට !)

ධර්මය වැඳලා ඇවිත් රට ගිනි තැබීමේ සංස්කෘතිය රටෙන් අතුගා තමාගේ එකාට, පිට එකාට, විරුද්ධවාදියාට වශයෙන් තොරණ් පෙන්වන වෛවර්ණ නීතිය වර්ණ අන්ධ කොට සැමට යුක්ති සහගත කළ යුතුයි.  බොරු සෝබන අමූලික ශ්‍රද්ධාව පසෙකලා ප්‍රතිපත්තිමය පින්කම් වලින් රට පෝෂණය කෙරුණොත් අපිට සැනසිලිදායක හෙටක් හැදේවි !

Saturday, May 14, 2022

සුළඟිල්ල

 ( රූපය ~ අන්තර්ජාලයෙනි)

පරමාධිපත්‍ය බලය අප සතු බව දැනෙන විට / වටහා ගන්නා විට අප සතු එයම පමණක්ය.
දින සති මාස කිහිපයකට නොව ජීවිතය ඇති තුරු ඒ බලය සාධාරණව යුක්ති සහගතව සිහි නුවණින් භාවිත කරන්න.

 

Thursday, May 12, 2022

පිස්සුද හැටිද ! ~ ! ඒ අපේ ...(කට ප්‍ර බලය, හිත දු බලය)

රටේ මේ තරම් දේවල් සිදු වෙද්දී දේශපාලන නායකයින් කියා ගන්නා මිනිසුන්ට කොන්දේසි වලින් එහා එකඟතා නැතිද? 

ඉහළම පූජ්‍ය පක්‍ෂයේ සිට මහමග යාචකයා දක්වා සියළු වෘත්තිකයෝ, ශිෂ්‍යයෝ, උගත් නූගත් රට වැසියෝ කියන්නේ කුමක්ද?

අත්‍යවශ්‍ය සියල්ල සීමාකාරී වෙමින් යයි.

අවසන ගෝඨාභයගේ හිතේ ඇති දේ දන්නේ ඔහු ම පමණි. අප වැනි සාමාන්‍ය මිනිසෙකු නොවන තවමත් රටේ නායකයා වන ඔහු බොහෝ ප්‍රමාදවූවා වැඩී. 

දැන් ඒ පමා වේ එල්ලී අපි තවත් කොපමණ පමා වෙමුද?

ඔහුගේ වරදටම එක් වී අපත් වරද්දා ගන්නවා ද?

කෙටි කාලීනව ගත හැකි අත්‍යවශ්‍ය ක්‍රියා මාර්ග නොපමාව ගත යුතු නොවේද?

ඔහුගේ ඉල්ලා අස්වීමේ එල්ලී විපක්ෂයේ පක්‍ෂ වගකීම කල් දමති. 

පැවති ආණ්ඩුවේ ස්වාධීන වූවා යැයි පවසන පිරිස් විවිධ නායකත්වයන් යෝජනා කරමින් කල් මරති.

සියල්ලෝ ම කල් බලති. යෝජනා දමති. කවදා වන තුරුද ඒ?

කුමකටද ඒ?

අත්‍යවශ්‍ය සියල්ල තවදුරටත් සීමාකාරී වෙමින් යයි.

මෙහෙන් නොනවතින අරගලයකි.

සකි,

මහ බැංකු අධිපතිවරයාත් සිය තනතුර අත්හැර දමා යන තෙක් ම අපි හැම කල් බලමුද?

හිටපු අගමැති රටම ගිනි තබා ගියේය.

ජනපති තීරණයක් ගන්නට ඉන්නේ කුමකින් කුමක් වූවාට පසුව දැයි දන්නේ ඔහුම පමණි.

ඔහු නැවත සොරි කියනු ඇත.

දැනටමත් රටේ ආර්ථිකය ඔස්සේ අනාගතයට සොරි වී ඇති බව මහ බැංකු අධිපතිවරයා දැන් අවධාරණය කර ඇත්තේ වරක් දෙවරක් ද?

මේ මහජන නියෝජිතයින් කියනා මිනිසුන්ගේ සති ගණනාවක හැසිරීම කුමන නම් පිස්සුවක්ද ? ඒ ඔවුන්ගේ හැටිද? සියළු දෙනා තම වගකීම් වලින් මිදී මහජන නියෝජිත කම් අතහැර ගෙදර හිඳීම මේ කොන්දේසි මත නැහීමට වඩා හොඳය. දැන් කියා මහ වෙනසක් තිබේද? අද රාත්‍රී ජනපති විශේෂ ප්‍රකාශය මේ රටට විසඳුමක් ගෙනෙන තැනකට නතු කර නොගන්නේ නම් ~ හැම ගේ කැපවීමක් නැත්නම් මේක පිස්සුවක්ම පමණි.

නහයෙන් උඩටම වතුරේ ගිලුණාට පසු ටික වේලාවක් හුස්ම පවතිනු ඇති. ඉන් පසු සියල්ලන්ටම ඒ උමතුව තුළ සතුටින් විනාශය අත්දකින්නට හැකි. රටේ උන්ට පිස්සු හා ඒ අපේ හැටි බව අවට ලෝකයා එවිට තහවුරු කර ගනු ඇති.

Wednesday, May 11, 2022

අලුත් ක්‍රමයක් ~ විනයක් (මගේ රට කිය කියා කරන මජර කුපාඩිකම් වලට බළල් අත් වෙනු එපා)

පොදු අරමුණු තුළ තමන්ගේ පුද්ගලික වෛරයන් පිරිමසා ගැනීමත් අවස්ථාවාදී ව කඩා වඩා ගැනීමත් නිර්ලජ්ජිත කුහක දේශපාලුවන් ආ වැඩූ පරණ සංස්කෘතියේ නෂ්ඨාවශේෂයන්ය. විනාශ කළ යුතු දශක ගණනාවක් නැවත නැවත අපව විෂම චක්‍රයක ලූ ඒ අධම පන්නයයි. මගේ රට කිය කියා මජර දේශපාලකයන් සිදුකළ දේම තවත් අය දිගින් දිගටම කරයි නම් ඔඋනුත් මජර මය. 

සමාන්‍ය පුරවැසියා ප්‍රතික්ෂේප කරන්නේ ඒ මජර බලය යි. යහපත් රටකට අවැසි නිවැරදි ක්‍රමයක් හා ඊට සරිලන විනයක් ම යි. ආවේගය පළ කරමු. ඉවසීමත් පුරුදු කරමු. සාධාරණ වෙමු. ශක්තිමත් වෙමු. යුක්තිය වෙනුවෙන් පෙනී සිටිමු. 

රුධිර පිපාසිතයන් වැඩූ අරමුණු පරදවමු. කෙළවර ~ යහපත් රටක් හදා ගනිමු!

Tuesday, May 10, 2022

නූගත් පාඩම් උගන්වා ගෙන ~ හදා ගමු රට ලොව දිනා ගෙන


 

පරණ දේශපාලු මග එපා! ඒ ඔවුන් අපට පෙන්නා ගිය විනාශයේ පාර මිස අලුත් රටකට මග නෙවෙයි !

ඕනෑම දෙයක් සාමාන්‍ය තත්වයන් තුළ විසඳා ගැනීම නිවැරදි ක්‍රමයයි.  ආණ්ඩුව ඒ සීමාව ඉක්ම වූයේය. රටම නාඩගමක් වූයේ ඉන් අනතුරුවයි. ආණ්ඩුව ඒ සීමාවද ඉක්ම වූයේය. සියල්ල විගඩමක් වූයේ ඉන් පසුවයි. රට යළි ගොඩ නගන්නට නම් ~ පළමුව ආණ්ඩුව හැදූ විගඩමෙන් යළි සාමාන්‍ය තත්වය දක්වා රට ආපසු ඇදගෙන ආ යුතු ය. එය කළ යුත්තේ අප හැමය.

විනයකින්, නීතියකින් තොරව යළි ගොඩ නැගීමක් තබා ආපසු හැරීමක්වත් සිදු කළ නොහැකි වනු ඇත.

තරුණ පරම්පරාවක කැපවීමේ ප්‍රතිඵලය, සමස්ථ මහජනයාගේ සැබෑ උවමනාව අපතේ හැරීම හෝ ඒ අවස්ථාව අපතේ හැරීම කිසිසේත් කළ යුතු නොවේ. ආවේගය නිසි තැන නිසි විට මිස ආවේගයෙන් ම රටකට ගමනක් යා හැකි නොවේ. 

එබැවින් අප ආවේගයෙන් ඉදිරියට යාමට පෙර නැවත ආපසු හැරී ඉවසීමේ අරගලයට පැමිණය යුතුමය.

දේශපාලුවන් බලයෙන් මත්වී අත්දුටු විනාශය මහජනයා වශයෙන් රටක් වශයෙන් ආවේගයෙන් මත්වී අප උදා කර ගත යුතු නැත.

සුදු කලු


 

Thursday, May 5, 2022

-------------------------

 අද රටේ පාර්ලිමේන්තුවක් නැත. ඇත්තේ නාඩගම් මඩුවකි. අදත් හෙටත් එහි රටටම නාඩගම් පෙන්වනු ඇති. වගන්ති වලට වහං වී  ජනතාවගේ අටු කඩා හපුටු උන් පුටු හදා ගත්තා පමණකි.

උන්ගේ පරපුටු කඩා ජනතාවගේ අටු සකස් කර ගනු විනා දැන් අන් මගක් නැති.


Tuesday, April 26, 2022


 එදා මෙදා අවස්ථාවාදය උරෙන් උර මාරු වූවාට ඔබට මට යහපත් රටක් හැදෙන්නේ නැත ~ ජරාජීර්ණ ක්‍රමවේදය ම වළ පල්ලට යැවිය යුතුය. ක්‍ෂණික විසඳුම් වලට එහා ප්‍රතිපත්තිමය අවංක භාවයකින් තොරව රටක් ගොඩනංවනු නොහැක ෴ හැමට වගකීමක් ඇත. ඊයේ, අද, හෙට හෝ අනිද්දාට පසුවත් එය එසේමය !

Sunday, April 17, 2022

ධර්මය හා විනය ශාස්තෘන්ගේ ඇවෑමෙන් ගුරු තනතුරට පත්වන්නේ වටින්නේ අනුගාමී හිසක් නොව ප්‍රතිපදාව හෙයිනි.

රටක ට නිවැරදි ඔළුවක් ~ නායකත්වයක් යනු හුදු හිසක් මත නොවෙනස් වන ප්‍රතිපත්ති මාලාවක්, ජාතික ප්‍රතිපත්තියක් !

අපට ඕනෑ යහපත් හෙටක්, යහපත් රටක්, ජරාජීර්ණ කුණු වුණු පිළුණු ක්‍රමවේදයට විකල්පයක් මිස පරණ ඉඳුල් වලට අළුත් පිඟානක් නොවේ !

රට ජාතිය කියා බොරුවට තැටමුවා මිස පාලකයො කිසි දිනක රට සංවර්ධනයට ජනතා දායකත්වය ගත්තේ නෑ. තරුණයන් ව යුද්ධෙට දැක්කුවා මිස තරුණ ජවය රට සංවර්ධනයට දායක කර ගන්න කිසි නායකත්වයක් වැඩ පිළිවෙලක් තිබුණෙ නෑ. අලුතෙන් හිතන්න, රටේ ඉදිරිය ගැන හිතල හදපු කාලරාමුවක් තිබුණේ නෑ. තමන්ට දේසපාලන අනාගතයක් තියෙනවද කියන එක මිසක් රටට අනාගතයක් තියෙනවද කියන එක හිතුවෙ නෑ. ජීවත් වෙන්නෙ මේ පොළොවෙ කියන එක ගැන හැඟීමක් තිබුණේ නෑ. අපිව රස්තියාදු කළා. ගමේ ග්‍රාම නිලධාරිගෙ කාර්යාලයේ ඉඳන් ජනාධිපති ලේකම් කාර්යාලය දක්වාම රස්තියාදු කළා විතරයි. කරපු සොච්චම ගැන කෝටියක් කයිවාරු ගැහුවත් නොකෙරුණු කෙළ කෝටියක් කාරණා ගැන කිසිම විචාරයක් තිබුණෙ නෑ. කෙරුණ සාධාරණ සදය විචාරයක් වත් සත පහකට මායිම් කරපු ඉතිහාසයක් අපි දැකල නෑ.

බලය ඉස්සරහ උවමනාවටත් වඩා දෙකට තුනට නැමිල

අතිගරු

ගරු

කියමින් ඇත්තෙන්ම ගරුකටයුතු මිනිස්සුන්ට තිබ්බ වටිනාකමත් නැති කර ගත්ත සමාජයක් අපි. ඒ කාලෙම ආචාර්යවරු පැටව් ගැහුවා. දේශමාන්‍ය කම් වීරයො ජාති හිතෛශීන් හැම තැනම. ඒ හින්දම වෙන්න ඇති අද අපි මෙහෙම තැනක.

සුදුස්සා සුදුසු තැන ගන්න සටන් කරන්න ඕන රටක් හැදුනෙ ඔන්න ඔහොම.

තවදුරටත් අපේ මහ වුන් වැරදුණු තැන්, වරද්දාපු තැන් පිළිගන්න සූදානමක් නෑ. හිස කඳෙන් වෙන් වුණාට පස්සෙත් කෙටි වෙලාවක් පණ ගැහෙන කවන්ධයක් වගේ දැන්. මහසෝනෙක් හදාගන්නෙ නැති වෙන්න නිවැරදි ඔළුවක් ඕන වෙලාවක් දැන්. ආපස්සට ගමනක් නැති ඉදිරියට පමණක් යායුතු වෙලාවක් දැන් !

Thursday, April 14, 2022

2022 +

 යහපත් දේශයකට ආයුෂ බොහෝ වේවා ! මේ අලුත් අවුරුද්දේ 🙏🌞🇱🇰

Sunday, April 3, 2022

බියසුල්ලා ?

අපමණ බලපොරොත්තු රාශි ගත කොට අසීමිත බලයක් ජනතාව විසින් පවරා ඇති කලද, කළ යුත්ත පසෙක ලා තම පවුලේ හා පුද්ගලික අභි~මානය තකා සැබෑ මහජන මතය මඟ හරින්නා බිය සුළු නිවටයෙකි. 

සැබෑ බහුජන මතය, සැබෑ වියත් මතය විමසන්න ෴

Tuesday, February 23, 2021

දින නියමයක් නොමැතිව වසා දමනු ලැ‍‍බේ.(ණය පියවිණි, පොළියක් ඇවැසිදැයි නොදනිමි)💙💚💛👍🇱🇰

අට වසරකට වැඩි කාලයක් තිස්සේ කිසිඳු පෙළඹවීමකින් තොරව (75000 කට වැඩි වාර ගණනක්) සුළු වශයෙන් හෝ යමක් පවසා, නොපවසා මුත් ‍මෙහි ආ ගිය (සෑම රටකම වෙසෙන සිංහලෙන් කියවන) ඔබ හැමට ස්තූතියි.

💟

අයුබෝවන්!

මීට, හලෝවි රස්ටා/ ශුද්ධ වු රස්තියාදුව

Friday, January 29, 2021

ඇබෑර්තු

පරාර්ථකාමී, බුද්ධිමත්, යුක්තිගරුක නායකත්වයන් සඳහා ලංකාවේ දේශපාලනයේ ඇබෑර්තු ඇත.

මහ ජනතාව විමසන්න.

Saturday, January 16, 2021

රිපීට්!

 පුද්ගලයා සේම රටක්ද "ඡන්දයෙන්" වුව අගතියට යා යුතු නැත.

අපි - ඡන්ද, දෝෂ, භය, මෝහ - සතරෙන්ම අගතියට යමින් හිඳිමුද...