Friday, May 17, 2013
Sunday, May 12, 2013
අනුකම්පං උපාදාය :)
අනුකම්පාව ලොක්කන්ගෙන් පොඩ්ඩන්ට ලැබෙන සිගමනක්ද?
සමහරුන්ගේ ක්‍රියාකලාප දකින විට තවත් සමහරෙකුට හිතෙන්නේ එහෙමයි. ඒත් අනුකම්පාවට ලොකු පොඩි බේදයක් ඇති බව ඔබට සිතෙනවාද? හිතෙනවානම් එය ඔබේ ප්‍රශ්නයකි.
අපි කාටත් අනුකම්පාව අවැසිමයි. ඔබ මට අනුකම්පා කරන්නේ යම් විටෙක දීද මටද විටෙක ඔබට අනුකම්පා කිරීමට සිදුවනු ඇති. ඉහළ පහළ යාම් ඊම් සහිත දිවියක් උරුම කරගත් 'මිනිසා' සකළ බාධක කම්කටොළු ජයගත් අපරාජිත සත්වයෙක් වන්නේ යම් දිනෙකද එදින දක්වා අපට එකිනෙකා කෙරෙහි අනුකම්පා කිරීමට සිදුවන්නේමය.
අසනීපවී ලෙඩ ඇදේ හිදිනා මා හට ඔබ අනුකම්පා කරන්නේ යම්සේද ඔබ ලෙඩ ඇදේ හිදිනා විට මමද එලෙසින්ම ඔබට අනුකම්පා කරමි. එවිට එතැන සිගමන් දීමක් හෝ ගැනීමක් ඇත්තේම නැත. ඇත්තේ හුදු වටහා ගැනීමක් මෙන්ම කම්පාවකි. 'මම' ගැන මා හිතන ආකාරයටම 'ඔබ' ගැනද සිතීමකි. 'ඔබ' 'මම' ගැන සිතීමකි.
දිනපතා පොදු ප්‍රවාහනයේ යන එන ජනයා දකින පුද්ගලික වාහනයේ ගමන් යන්නාට විටෙක ඒ ජනයා ගැන ඇතිවන්නේ අනුකම්පාවකි. එලෙසින්ම දිනපතා පුද්ගලික වාහනයේ යන කෙනෙකුට එක් දිනෙක හදිසියේ හෝ පොදු ප්‍රවාහනයේ යන්නට සිදුවීමේදී මේ පොදු ජනයාද ඔහුගේ දුක සැහැල්ලුවට ගත යුතු නොවේ. ඔහුට හෝ ඇයට ඇතිවන දුක හාස්‍යට ගත යුතුද නොවේ. අනුකම්පා කළ යුතුය.
එබැවින් අනුකම්පාවට තරාතිරමක් නැත. නමුත් ඔබ වෙත කෙනෙකු අනුකම්පා සහගත ලෙස බැලීම ඔබ අසරණයෙකු බවට පත් කිරීමක් ලෙස ඔබ සිතනවාද? ප්‍රශ්නය ඔබේ සිතිවිල්ලයි. නැතිනම් ඔබ තවත් අනුකම්පාව යදින්නට සිතනවාද? ප්‍රශ්නය ඔබේ සිතිවිල්ලයි. ඔබ ගුණවත් වන තරමට අන්‍යන්ගේ අනුකම්පාව ඉවසා දරා ගැනීමටත් අන්‍යන් වෙත වඩ වඩාත් අනුකම්පා උපදවා කටයුතු කිරීමටත් ඔබට හැකියාව ලැබෙනු ඇත. ව්‍යාජ මාන්නයෙන් එවිට ඔබ මිදෙනු ඇත. අප හැම අතර කිසිදා දුකට පත්නොවන ජනයා ඇත්නම් ඔවුන්ට අනුකම්පා කිරීමට අපට ඇවැසි නැත.
එබැවින් සැම සැමට අනුකම්පා කරත්වා!
කාරුණිකත්වය දෝරෙ ගලත්වා . .
Tuesday, May 7, 2013
ප්‍රභවය ඔබමයි
හිත බලය වේ නම්
හිතම ශක්තිය වේ නම්
එ'හිතම දමනය වේ නම්
ප්‍රභවය ඔබමයි තාමත්
ඔබයි ඒ වැඩකරුවා
ඔබයි ඒ හිමිකරුවා
ඔබයි ඒ බාරකරු
එ ප්‍රභවය ඔබ නම්
දැවීමද ඒ ඔබ අතය
නිවීමද ඒ ඔබ අතය
පිළිස්සෙන්නේ ඔබ හිතය
රැකෙන්නෙත් ඒ හිතමය
උතුරු මග පෙරදිග තියා
දකුණු මග අපරට ගියා
දෙමග දැන මැන ගත් නිසා
අතරමගකට හිත නොයා
හිත
උඩු කීවාට
උඩිනුත් නොපෙනෙන
යටි කීවාට
යටිනුත් නොපෙනෙන
නිදි කීවාට
හීනෙනුත් පෙන්වන
හිතුනමුත්
තුන්හිතකින් නොහිතන
දෙතැනකම නතරවෙන
දුකෙදීත් සැපෙදීත්
ලගින් සිටින
අරුම පුදුම
අපූරුම
හිතවතා
මම සහ මම
පුංචි කාලෙ නිදහස් නිවහල් මනසත් එක්ක කොයි කවුරුත් වගේ මමත් ටිකෙන් ටික ලොකු වුනා. පහ දහය පහළොව විස්ස විසිපහ කිය කියා එක එක කඩුලු පැනගෙන ඉස්සරහට එනකොට වයස විතරක් නොවෙයි දැනුම කුසලතා වගේම ඒවට ලැබුණු සහතික සම්මානත් එකින් දෙකින් වැඩිවුනා. ප්‍රමාණාත්මකව එකිනෙකාට සාපේක්‍ෂව වෙනස් වෙන්න පුළුවන් වුනත් අපි බොහෝ දෙනාගේ ජීවිත කතාව මේ වගේ. පුංචිම කාලෙ හිස්ව තිබුණු ජීවිත දැනුම ගවේෂණය අත්දැකීම් අත්විදීම් තුළින් ලොකුම ලොකු රස්තියාදුවක. පුංචි කාලෙ තිබුණු හිස් ලාච්චුවේ දැන් එක එක දේ පිරිලා. සුන්දර සතුටුදායක දේ වගේම අසුන්දර අසතුටුදායක දේත් ඔය අතරේ. ඉතිං 'මම' කියලා කිසිවක් නැතිව පටන් ගත්තු ජීවිතේට දැන් 'මගේ' කියා කොච්චර දේ ගොඩගැහිලාද? ලාච්චුවේ පිරිලා තියන දේ ගැන දන්නේ ඔබම තමා. සමහර විට 'මම' ගැන තිබුණු සුන්දර මතකය සංකල්ප අමතක වෙලා මැකී ගිහින්. දැන් මගේ කියලා වෙනම ලෝකයක් තැනිලා. කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි ඒ ලොකේම ජීවත්වෙනවා හැර ඒ ලොකේ මගේ තැන- මං හිරකාරයෙක්ද බාරකාරයෙක්ද කියන එකත් තීරණය කරන්න සමහර විට මට හැකියාවක් නෑ. 'මම' මට අයිතීද කියන එකත් ප්‍රශ්නයක් වෙන්නෙ මගේ ජීවිතේ මට තීරණය කරන්න පුළුවන්ද කියල හිතෙන ප්‍රශ්න මතුවෙනකොට. ඔන්න මටම 'මම' ප්‍රශ්නයක් වෙන්න ගත්තා. මගේ ඇතුළෙ තවත් මම කෙනෙක් ඉන්නෙ කොහොමද? මම කැමති දේ මම කරන දේම නොවෙයිද? ඒ මට කරන්න සිද්ධ වෙන දේද? ඒ ඇයි? මං ජීවිතයේ අතන මෙතන ගත වුනු හැම දෙයක්ම ආපහු ආවර්ජනය කරන්න ගත්තා. ඇයි? එහෙම වෙන්නෙ ඇයි? මෙහෙම වුනේ ඇයි? එතකොටයි ජීවිතයෙ පොඩිකාලෙ ඉදන්ම ගත්තම රස්තියාදුවක්ය කියන සංකල්පය පටන් ගත්තෙ. හැමදාම අපි අතන මෙතන කොතනත් කරන්නෙ මේ සංකල්පය තුළ තියෙන රස්තියාදු වීමක්ම තමා. ඒක දැනුම තුළ කුසලතා තුළ විතරක් නොවෙයි පාරෙ තොටේ වුනත් අන්තර් ජාලයේ වුනත් වෙන්න පුළුවන්. එහෙම හිතෙනකොටයි තේරුනේ. මේ රස්තියාදුව පටන් ගන්නේ හිතෙන් අපි ඉපදෙන මොහොතේ සිට කියන එක. දැනුම බුද්ධිය මෝරන්න මෝරන්න අපි විවිධ ඉසව් වල විවිධ තර්ක මාන තුළ රට රාජ්ජය වල හුදෙකලාවේ සමහර විට පිරිස් පිටින් රස්තියාදු වෙනවා. මොනවද අපි හොයන්නේ? එතකොටයි තේරුනේ. 'මම' මා ගැනම හොයා ගත යුතුයි කියන එක. ශුද්ධ කරන්න ගත්තෙ රස්තියාදුව එතන ඉදන්. එතකොටයි තේරුනේ 'මම' සහ 'මම' තවත් එක සිතිවිල්ලක් කියන එක. 'මම' කියන්නෙ. මගේ හිස, කද, ගාත්‍රා එකතුවටද? එතකොට ගාත්‍රා නැතිව ජීවිතේ පවතිනවා නම් කද මෙන්ම හිසත් අත්‍යවශ්‍ය අවම තත්වයන්ගේ පවතිමිනුත් ජීවත් වන මිනිසුන් සිටිනවා නම් ඒ මිනිසුන්ගේ හිස, කද, ගාත්‍රා එකතුව කෙලෙසද? එවිට පැහැදිලි වන්නේ මම ඉන්නේ හිතේ කියන එක. ඒකයි අතපය නැති වුනත් හිත හයිය මිනිස්සු ලොව දිනන්නෙත්. හිතේ කුණු පුරවාගත් රස්තියාදුවෝ හිස, කද, ගාත්‍රා සියල්ල ඇතිව ජීවිතයෙන් පැරදෙන්නෙත්. ශුද්ධ රස්තියාදුවෙන් 'මම' සහ 'මම' හදුනා ගත්තොත් ජීවිතය ගැන වෙනස් විදිහකට හිතන්න මං පෑදේවි නිසැකවම.
හැබැයි හැම දෙයක්ම හොදින් හදුනාගත්තත් ඵලයට මුල හේතුව යැයි කීවාසේ ඔබ සියල්ල වටහා ගෙනත් තනන්නේ බෝම්බ නම් ප්‍රතිඵලය පිපිරුමම පමණයි. එය තරයේ මතක තබාගන්න.
Saturday, May 4, 2013
ශුද්ධ රස්තියාදුවා
රස්තියාදු හිත එහේ මෙහේ දුවයි. එතකොට සමාධියක් නැතිය. හිතේ එකගකමක් නැති නිසාම බුද්ධියෙන් වැඩ ගැනීමක්ද නැත. බුද්ධියත් නිශ්ඵලය.
ඉතිං කොහොම මේ හිත හදා ගන්නද? අල්ලා ගන්නද? රස්තියාදු වෙන්නට ඕනෑ තරම් අලුත් අලුත් හිතිවිලි දෙන ලෝකයක් තුළ නන්තාර වුවහොත් ඉන් ගොඩ ඒමක් නම් නැත. ගොඩ එන්නට ඕනෑ නම් සටනක් අවශ්‍යමය. කවුරැත් සමග නොව තමන් සමගමය. රස්තියාදුව ශුද්ධ වන්නට ගන්නේ එතැනින්ය. එකම ස්වර සප්තකයේ උච්ච, මධ්‍ය, මන්ද්‍ර වැයුම් එවිට වෙන් වෙන්ව කණට ශ්‍රවණය කළ හැක. ස්වර අට එන්නේ උච්ච ස' අගට නිතර යෙදීමෙනි. පරණ දේ අලුත් වන බවත් අනුපාත ගැලපීම් වෙනස් වූ විට ඉපදෙන අලුත් හිතිවිලි දැනීමෙන් වෙනස් වූවාට එකම හරයකින් බිහිවන බවත් එවිට වැටහේවි.
එබැවින් රස්තියාදු හිත අල්ලා දමනය කරගන්නට සමත් වීරියක් නැත්තේ නම් සමාධියකින් වත් බුද්ධියකින් වත් වැඩක් වන්නේම නැත. එහි අදහස නිවැරදි දිශාවක් වෙත වීරීය කිරීමක් තිබිය යුතු බවයි.
ඉතිං මේ රස්තියාදු හිත අල්ලා සමාධියෙන් යතුව බුද්ධිය මෙහෙය වුව හොත් ජීවිතය යනු කවර කජ්ජක්ද?
වැඩි කතා උවමනා නැත. නීර්භීත වීරයන්ට තමන් සමගම සටන් කර ශුද්ධ රස්තියාදුවකින් ජීවිතය දිනන්නට අවසරයි! රස්තියාදුවාට පටන් ගන්නට තැනක් ඕනෑ නැත. හිත ඇත්නම් ඕනෑම තැනක් පොර පිටියක් කරන්නට වීරයාට හැකිය.
සමාධී භාවනා
සිත ගැන කියන හැම විට භාවනාව යන්න යුගලපදයක ගණනට අපට ඇසේ. භාවනා යනු කුමක්ද? කෙනෙකු කියන්නේ යමකට හිත යොමා දෑස් පියා නිශ්චල ඉරියව්වකින් සිටීම යන්නයි. ඉතිං එක දෙයක් ගැන හිතා දෑස් පියාගෙන හිදීම භාවනාවක්ද? මම භාවනා ගැන විශාරද හෝ විශේෂ හෝ දැනුමක් නැති බැවින් සමාජයේ එකිනෙකා කියන කතා අනුව මෙවැනි දේවල් අසා ඇත්තෙමි.
එහෙත් භාවනාව සමගින් ඇසෙන සමාධිය යන වදන ගැන මට ඇති වන්නේ පැහැදීමකි. කැළතුණු දිය ඇති බදුනක ජලය නිශ්චල වීමක් ලෙසින් එය මට හැගේ. පැටලුනු නූල් බෝලයක ගැට එකිනෙක ලිහන බවක් එයින් මට හැගේ. අපිළිවෙල කට තිබූ නිවෙස පවිත්‍ර කොට පිළිවෙල කරනු මට එයින් දැනේ.
ඉතිං මෙයින් ඇති ප්‍රයෝජනයත් එයම බව මට මේ අනුව වැටහේ.
පිළිවෙලට තැබූ බඩුමුට්ටු පරිහණය පහසු බව මම දනිමි. නිශ්චල දිය ඇති බදුනේ පතුල පැහැදිලිව මම දකිමි. ගැට නැති නූල් බෝලය පහසුවෙන් පරිහරණය කිරීමට මම අපේක්ෂා කරමි.
එහෙත් මේ සියලු දෙය බුද්ධියෙන් මෙහෙය විය යුතු බව මට වැටහේ. බඩුමුට්ටු පිළිවෙලට තබා ගත්තත් ඒ බඩුමුට්ටු නිසිව ප්‍රයෝජනය ගන්නට නොදනිතොත්! මහන්නට දන්නේ නැතිනම් නූල් බෝලයෙන් කවර ඵල! පතුලේ මැණික වටිනා බව නොදන්නා මෝඩයාට බදුනේ නිසල ජලයෙන් ඇති වැඩක් නැත.
එනිසා යමෙක් සිතේ එකගකමෙන් දැලි පිහිය අතට ගන්නේ නම් එය තැනුවේ රැවුළ කැපීමට මිස කිරි කෑමට නොවන බව දැනෙන බුද්ධියෙන් යුක්ත විය යුතුය.
නැතිනම් සමාධියේ ශක්තිය අපතේ යනු ඇත.
මේ කොයි ආකාරයෙන් විග්‍රහ කොට ගත්විටත් බුද්ධියෙන් තොර සමාධිය අර්ථ ශුන්‍ය බව මම දකිමි.
බුද්ධි වන්දනා
මිනිසා විසින් කෙරෙන නිර්මාණ පුදුමාකාරය. එය කිසිසේත් අමුතුවෙන් කිව යුතු දෙයක් නොවේ. මිනිසාගේ මේ සියළු නිර්මාණ වල රහස ඔහුගේ මොළයද? බුද්ධියද? පුදුමාකාරය. මිනිස් මොළයේ, බුද්ධියේ තරම! එය වන්දනය කරනු වටී.
ඉතිං මිනිසාගේ අනේක විධ වූ නිර්මාණ ඔපමණ අගනේ නම්, ඒවා බිහිකළ මිනිස් මොළය අති අගනේ නම් මිනිස් මොළයත් අනේක විධ නිර්මාණයන්ගේ මුල ද්‍රව්‍ය මෙන්ම මූල බීජත් නිර්මාණය කළෝ කොතරම් නම් ඉස්රතම්ද? වන්දනීයද?
හැබෑට කව්ද ඒ? ස්වභාව ධර්මයාද? මහා නිර්මාණකරු හෙවත් විශ්වීය නිර්මාපකයාද? කව්රු වුනත් අපට මොකට කියා හිතෙනවාද?
බුද්ධි වන්දනාවේ යෙදෙන අපිට ඒ මහත් වූ බුද්ධියේ නිර්මාණකරු පියෙක් නොවන්නේද? ඒ පියා වන්දනීය නොවන්නේද?
විවිධ දහම් වල පීතෘ ආකාරයෙන් ගෙනෙන මෙහි ස්වභාවය සැබවින්ම හේතු ඵල දහමෙන් විග්‍රහ කොට ගත නොහැකිද? හැකිය.
තම තම නැණ පමණින් අපි මේ ගැන විවිධ අර්ථකතනයන් දෙන්නෙමු. වටහා ගන්නෙමු. නමුත් සත්‍ය නම් දෙකක් විය නොහැකියි. නමුත් අපේ බුද්ධියේ ස්වභාවයට අනුව අපේ වටහා ගැනීමුත් විවිධාකාර වන හෙයින්ම අපි එතැන නතරවෙමු. ඒ අපේ පමණයි. අපේ පමණ කොතැන වුවත් සත්‍ය එය තිබෙන තැනමය. එහෙයින් සත්‍ය වෙත අප යනු විනා සත්‍ය අප දන්නා තැනට ලඝු කරීම නොදන්නාකමයි.
ඉතිං එපමණ දැන ගෙනම බුද්ධිය වන්දනා කිරීම යෝග්‍යය. එතැනින් පසු ඇත්තේ මේ බුද්ධියෙන් වැඩ ගැනීමය.
බුද්ධිය හිස පිරෙන්නට තිබුණත් එයින් ඵල ගන්නට කම්මැලියා නොසිතයි. නිවටයා හැකිලෙයි. බියසුල්ලා පැකිලෙයි. ඒ තුන්දොස් යන්නට නම් සමාධිය යන බලිය ඇවසිම වෙයි. හිතේ එකගකම ඇත්නම් බුද්ධිය මළකා නොදී විවිධ ප්‍රයෝජනයන් වෙත හැරවනු හැකි වෙයි. එහෙත් ඒ සදහා සිතේ සමාධියක් නොතිබේ නම් මේ බුද්ධිය කිසි ලෙසකින් ඵල නොදරයි.
මෙහි ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය හෙවත් අධිවේගී බුද්ධියේත් ඔළමොළ ගති මතුවන්නේ සමාධියක් නොමැති කමෙන්මය.
එබැවින් සමාධී භාවනාවෙන් තොර බුද්ධි වන්දනාව නිශ්ඵල බව මම කියමි.
Friday, May 3, 2013
ස රි ග ම ... ... ... ස'
මම දහම් කවි ලියමි
අක්කාගේ අලුත උපන් පොඩ්ඩා
ලෙඩ ඇදේය
නැත අතේ සත පහක්
?
උච්ච 'ස' ද සමගින්
හොදින් හැදිනූ
ස්වර අටකි
ජීවිතය
Wednesday, May 1, 2013
සතුට සදහා මුදල් හෙවත් යපහත් කාසි
එකටම බැදෙන අදහස් කීපයක් ලියල බලනකොට තවත් පොඩි අඩුවක් පෙනුනා. ඒ 'යපහත් කාසි' ගැන ලියවුනේ නැති එක.
මුදල් උපයලා විතරක් සතුටු වෙන්න හිතන්නේ නැතිව 'සතුට' සදහා ආයෝජනය කළ යුතු 'සතුට' හොයා ගන්නෙ කොහොමද කියල හිතනකොටයි 'යහපත් කාසි' ගැන මතකයට ආවෙ. 'යපහත් කාසි' වෙන මොනවත් නොවෙයි ඔබ කරන කියන ඔබට වගේම අන්‍යන්ටත් යපහතම ගෙන දෙන වැඩ තමයි. ඒ ගැන සිහිපත් කරන කොට වගේම ඒ වැඩ කරන කොටත් සතුටු සිත් ඇතිවෙනවා. ඉතින් ඒ සතුටු සිත් 'සතුට' ඉපයීම සදහා ආයෝජනය කරන 'යහපත් කාසි' බවට පත්වෙනවා. එකතොට විකල් සිහියෙන් බදාගන්නා සතුටු සාද ඕන නෑ සතුට උපයන්න කියලා, 'සතුට' ආයෝජනය කරන්න. ඒ විකල් සිහියේ ක්ෂණික සතුට සිහිය එනකම් විතරයි. එතැන් සිට හිතටයි ගතටයි දෙකටම අප්සෙට්.
ජීවිත රස්තියාදුව ශුද්ධ වෙනකොට 'යහපත් කාසි' මතුවෙනව නම් ඒ කියන්නෙ ආයෝජනය වෙන්නෙ සතුටක් මයි. මෙහෙම කිව්වට අෂ්ටලෝක ධර්මයක් තියෙන ලෝකෙක සදාකාලිකවම සතුටක් නැති නිසා කණගාටුදායක හා වෙනත් සිතිවිලිත් උපදින්නෙ නැතිව නොවෙයි. ඒත් ඒ හැම දෙයක්ම ශුද්ධ කරගෙන හරි වැරැද්ද තේරුම් ගත්තම, නිවැරදි වුනාම ආයෙත් උපදින්නෙ සතුටක්ම තමයි. යහපත් කාසි හම්බවෙනවා. සතුට ආයෝජනය වෙනවා. ශුද්ධ ලාබයකුත් ලැබෙනවා.
ඒ නිසා හම්බකරල සතුටුවෙන්න නම් කරන්න යහපත් වැඩ හොයා ගන්න. මූල්‍ය ධනය ඒකට ඕනම නෑ. මුදල් හම්බ කරලත් සතුටු වෙන්න පුළුවන්. හැබැයි ඒක උපයා ගත්තය කියන හැගීම නිසා ඇතිවන සතුට කියනවනේ. ඒ නිසා මූල්‍ය වගේම හෝ ඊටත් වැඩියෙන් අනිවාර්ය ශුද්ධ ලාබය සහිත ආයෝජනය සදහා යහපත් කාසි හොයාගන්න. ලාබය ගැන නොහිතා මහන්සිවෙන්න ඒ සදහා. නොදැනීම සතුට ආයෝජනය වේවි. නොදැනීම ලැබෙන දේ ලැබේවි. එතකොට ඔබට ඇත්ත වැටහේවි. ඔබ පොහොසත් වේවි, තවත් විදිහකින්.
හම්බකරලම සතුටුවෙන්න ඉන්න එපා. හම්බකරන අතරේ යහපත් කාසිත් හොයන්න.
මෙයට බැදෙන ලිපි පහතින්
http://hallowrusta.blogspot.com/2013/05/blog-post_1.html
http://hallowrusta.blogspot.com/2013/05/blog-post_2690.htm
අනිවාර්ය ශුද්ධ ලාබය
සතුට ආයෝජනය කළාම ලැබෙන ලාබයත් සතුටයි. ඒත් එයින් ලැබෙන ශුද්ධ ලාබයකුත් තියෙනව. ඒකත් අනිවාර්යයම දෙයක්. වටිනාම දේ අනිවාර්ය වීම.
ඒ නිරෝගිකම හෙවත්, ආරෝග්‍යය.
ආරෝග්‍යා පරමා ලාභා කියා ඇත්තේ නිකම්ම නොවෙයිනේ. සතුටින් ඉන්න මිනිසාගේ ගතත් සිතත් ප්‍රබෝධමත් වීම නිරන්තරයෙන් සිදුවන නිසා ඔහුට මේ අනිවාර්යය ශුද්ධ ලාබය ලැබීම කිසිවිටකත් නොලැබී යන්න බැහැ. එදිනෙදා අනේක විධි වැඩකටයුතු අතරේ අවිවේකී වුනත් සතුටෙන් ඉන්න පුළුවන් නම් ලැබෙන අනිවාර්යය ශුද්ධ ලාබය සහතිකවම නවත්වන්න කාටවත් බැහැ.
ඉතිං අපි සතුට නිර්ලෝභීව බෙදා ගන්න පුළුවන් අය නම්, ලාබය ගැන නොසිතා කරන අයෝජනයක් නම් ශුද්ධ ලාබයත් එපමණකටම වැඩිවේවි. ඒ නිසා ශුද්ධ ලාබය ගැන හිතන්න එපා. හොද දේ කරල හොද විදිහට සතුටු වෙන්න. අනිත් අයත් එක්ක හොදින් සතුට බෙදා ගන්න ඔබ අනිවාර්යය ශුද්ධ ලාබයේ හිමිකරුවෙකු හෝ හිමිකාරියක වේවි. ආරෝග්‍ය පිරුණු කෙනෙකු වේවි. රෝගී වී හිටියා නම් ඉක්මන් සුවයකටත්, යහපත් වෙනසකටත් හේතු වේවි.
ඒ නිසා විශ්වාසයෙන් යුතුව ලාබ ගැන නොසිතා හොද සතුටක් ජීවිතයේ යහ පැවැත්ම උදෙසා ආයෝජනය කරන්න. ශුද්ධ ලාබය ඔබට නිසැකයි.
මගේ උත්සාහයත් පුළුවන් තරම් කාලයක් ශුද්ධ ලාබය අත්විදින්න. ඒක ලෝභී සිතිවිල්ලක් නෙවෙයි නේද? :)
මෙයට සබැදි ලිපිය
http://hallowrusta.blogspot.com/2013/05/blog-post_1.html
පරම ඥාතියා
දහමෙන් අපට ඉගැන්වූ සේම පරම ඥාතියා 'විශ්වාසය' යන්න මම තරයේ අදහමි. මගේ අයිතිය භාවිත කරමින් මම ඔබට මේ පිළිබද යෝජනා කරමි. ඔබේ අයිතිය භාවිත කරමින් ප්‍රතික්ෂේප කිරීම ඔබ සතුය.
හොද විශ්වාසයෙන් සිදුවන්නේ හොදක්මය. නරක විශ්වාසයෙන් සිදුවන්නේ නරකක්මය. එක් අතකින් හොද විශ්වාසය යනු විශ්වාසය මත පදනම් වීමත් නරක විශ්වාසය යනු විශ්වාසය මත පදනම් නොවීමත් ලෙසින් ද ගත හැක.
කෙනෙකු යම් විශ්වාසයකට එළැඹෙන්නේ ඉන්ද්‍රිය ගෝචර තත්වයන්ගෙන් ම බොහෝ දුරට තහවුරු වන කරුණු මත වීම සාමාන්‍ය ස්වභාවයයි. එසේ නොමැතිනම් බොහෝ කොට බොහෝ දෙනා හෝ බොහෝ කාලයක් සමාජයේ පවතින දේ හෙවත් සම්මත හා සම්මුති මත පදනම් වෙමිනි. අනිත් අතින් ඥානනය උදෙසා රස්තියාදු ගසන්නන් ආදීන් විශ්වාසය පිණිස බොහෝ දෑ තැන නොතැන නොබලමින් අවුස්සමින් යන්නේ විශ්වාස භංග සමාජයක නිසි චින්තනයක් සොයාය. එහෙත් විශ්වාසය යනු මේ කිසිවක් නිසාවත් දැඩිවම අල්ලා රදවා පැවැත්වෙන්නක්ද නොවේ. එය බලහත්කාරයෙන් රදවා ගැනීම අපහසුය. එය යම් යම් බාහිර සාධක මෙන්ම අභ්‍යන්තර සාධක මතද රැදෙනු ඇත. සමහර විට අප විශ්වාස කරන පුද්ගලයෙකු සම්බන්දයෙන් අප බිද වැටෙන්නේ ඔහු හෝ ඇය සම්බන්දයෙන් වැරදි ආරංචි අසමිනි. විශ්වාසයේ ශක්තිමත් භාවය අනුව ආරංචිය ලොකු හෝ පොඩි විය හැකි සේම ආරංචියේ විශ්වාසනීයත්වය අනුව විශ්වාසයේ ශක්තිමත් භාවය තීරණය වීමටත් හැකිය. කෙසේ නමුත් වැදගත්ම දේ අනුන් වෙත පළමුව තමන් වෙත විශ්වාසය ජනිත වීමය. තමන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබද විශ්වාසය ජනිත වීමය. එවිට තමාගේ පරම ඥාතියා තමා අසළම සිටී. එවිට තනි වීමක් බියක් නොවේ. ශක්තිය, ජවය, පිබිදීම ඇතිවෙයි.
කෙසේ නමුත් මෙසේ තමාට තමා ගේ විශ්වාසය තහවුරු වීමට නම් තමා පිළිබද හොදින්ම දන්නා තමාට තමා අවංක විය යුතු නොවේද? ඉතිං එසේ අවංකත්වය තුළ ඇතිවන නිවැරදි වටහා ගැනීම අපේ විශ්වාසය තහවුරු කරන්නක්ම වෙන්නේය. එවිට අපි අපේ ආත්ම විශ්වාසය ඉහළ යැයි කියන්නෙමු. ආත්මය කෙසේ වේවා, විශ්වාසය වැදගත්ය. නිවැරදි විශ්වාසය වැරදි විශ්වාසය මෙන් විනාශය කරා අපව නොමගෙන යන්නේය. එබැවින් වැරදි විශ්වාසය වටහා ගනිමු. එයින් ඉවත්ව නිවැරදි විශ්වාසයක් ඇතිකරගත හැකි දේ සොයමු. පරම ඥාතීන් හදුනා ගනිමු.
නිර්ලෝභීව බෙදිය හැකි ධනය හා ලාබය
බොහෝ දෙනාට ඉපයීම මෙන්ම ලාබයත් එය බෙදාහදා ගැනීමත් ප්‍රශ්නයක් බව වටින් විට කරන සමාජ නිරීක්ෂනයන්ගෙන් මට හෙළිවිය. මම මෙසේ කල්පනා කළෙමි. දෙවනුව මා මෙසේ ඔබට යෝජනා කරන්නේ මගේ ඒ කල්පනාවයි.
ධනය ඉපයීම අපහසු නම් එහි ලාබය කුමන ආකාරයෙන් අර්ථදක්වා නමුත් බෙදා හදා ගැනීමේ ක්‍රමය ආත්මාර්ථය පදනම් කොට ගෙන සිදුවීම ස්වභාවික නම්, පරම ධනයක් උපයන්නට මම ඔබට යෝජනා කරමි. ඒ යෝජනාව කිරීම මගේ අයිතියයි. ප්‍රතික්ෂේප කිරීම ඔබේ අයිතියයි.
පරම ධනය කුමක්දැයි ඔබ කවුරුත් දන්නේය. දහමෙන් අපට කියාදෙන පරම ධනය නම් 'සතුට' යි. ඉතිං මේ පරම ධනය යනු සතුට නම් ඒ සදහා වන ආයෝජනයත් සතුටම විය යුතුය. ඉන් උපයන ආදායම සතුටයි, ලාබයත් සතුටයි.(සතුට සදහා යැයි කියා විකල් සිහියෙන් බදා ගන්න සතුටක් ගැන නොවේ මේ කතාව)
එවිට එය බෙදා හදා ගැනීම ප්‍රශ්නයක් නොවනු ඇත. එය බෙදා හදා ගැනීමට ඔබ නිර්ලෝභී වන්නේ කොතෙක්ද එපමණකටම ඔබගේ මූල්‍ය ධනය ඉපයීමේදී ඇති වන බාධාත් මගහැරෙනු නැත්තේද? සත්‍ය වශයෙන්ම මමද අත්හදා බලන්නට ගන්නේ මේ ක්‍රමයයි. පරම ධනය උපයන්නට හැකිනම් මූල්‍ය ධනය ඉපයීම එතරම් අපහසු නොවේය, එහි ලාබය අඩු වැඩි වීමත් ප්‍රශ්නයක් නොවේය යනු මගේ විශ්වාසයයි.
වැඩකරන ජනතාවට ජයවේවා!
මෙයට බැදෙන ලිපි පහතින්
http://hallowrusta.blogspot.com/2013/05/blog-post_2690.html
http://hallowrusta.blogspot.com/2013/05/blog-post_9735.html
වැඩනොකරන ජනතා දිනය
කාලෙ කකා
පුරාජේරු කතා
බත් පැකට් වතුර බෝතල්
ගමනාගමනය නොමිලේ
එක දවසකට
වැඩි කළ සීයයට 150%
සීයට දහයකින් 10%
අඩුවේවිද?
අපි නොදන්නා
කවුරුත් උන්දන්නා
අන්දන්නා
අන්දගන්නා
එකී මෙකී නොකී ..අර කී
හැම දිනයකටම වඩා
උද්වේගකර
ලොකුම බොරුව
ඉතිහාසයට වටී
අනගතයට දිනයක් පමණි
නිවාඩු ?
වැඩකරන ජනතාවට ජයවේවා!
වැඩකරන ජනතාවට ජයවේවා!
වැඩකරන ජනතාවට ජයවේවා!
Monday, April 29, 2013
සැලියුට්
අපේ තාත්තලා
නීතියත් යුක්තියත් රැක්කෝය
අල්ලස දූෂණයට පයින් ගැසුවෝය
අහවල් තාත්තලා
නීතියත් යුක්තියත් අතට ගත්තෝය
අල්ලස දූෂණය ඔඩොක්කුවට ගත්තෝය
අපේ තාත්තලා සැලියුට් නොලබා
විශ්‍රාම ගත්තෝය
අහවල් තාත්තලා විශ්‍රාම නොලබාම
සැලියුට් ගත්තෝය
පොලීසිය සීරුවෙන්
ගහපන් ඩබල් සැලියුට්
දෙකට නැමී
පිසාචයෝත්
කුම්භාණ්ඩයෝත්
වැජඹේවා
ලැජ්ජා නැත
හිරිකිතයක් නැත
ආයුබෝ බඩවඩා
එකසිය විස්සට
සෘණ දෙසිය විස්සක්
දඩ දඩ දඩස්....
සැලියුට්!
Saturday, April 27, 2013
කුම්භකර්ණලා(සිහිනයත් යථාර්තයත් අතර අවදානමේ අපි)
එහෙන් මෙහෙන් ගොඩක් පැති වලට එබිල බලල දකින්න ලැබෙන දේත් ගැඹුරින් හිතන්න වෙන දේත් සැලකිල්ලට ගත්තම එන්න වෙන අවසන් නිගමනයක් තමයි ලාංකීය අපි කුම්භකරණ වංශිකයෝ කියන එක. රාවණ ගැන කියවෙන ඉතිහාසයේ සහෝදර සමාගමේ හිටි විභීෂණ වගේම කුම්භකරණත් අපට අමතක කරන්න බෑ. මේ කතාවේ නායකයා ඒ කුම්භකරණ.
මාස හයක් එක දිගට නිදාගෙන ඉන්න මේ මනුස්සයව ශබ්ද පූජා පවත්වල ඇහැරව ගත්තම තවත් මාස හයක් නිදා නොගෙන වැඩ කරනවලු. ලු යන්නෙන් ඉවර කලා සේම මේ ප්‍රවාදයේ ඇත්ත නැත්ත කෙබදු වේවා. එහි ගැබ්වුනු හරයක් ඇති බව නම් අපේ ජනයා දිහා බලනකොට හිතෙනවා.
අසීමිත පීඩනයකින් මිරිකෙන කොට ඒක දරාගෙන නොසැළී යන්න පුළුවන් තරමේ හයිය මනසක් අපේ මිනිස්සුන්ට තියෙනවා. නමුත් කවදකවත් මේ මනසෙන් ප්‍රයෝජන ගැනීම් තිබුණා නම් අපට මෙහෙම වෙනවාද? හේතුව, ඔය මනස අවදිවෙන්නත් අසීමිත පීඩනයක්ම ලැබෙන්න අවශ්‍යවීම. ඒ කියන්නෙ ශබ්ද පූජාව. තවත් සරලව කීවොත් නිදාගෙන හීන දකින මිනිස්සු නිදාගෙන හිටි බව තේරුම් ගන්නෙ ඇහැරෙන කොට වීමයි. ඒත් අපේ ඇහැ ඇරෙන කොට අපි ඉන්නෙ කොතනද කියන්න කවුරුත් දන්නෙ නෑ? සමහර විටක ලොකු අවදානම් තැනක වෙන්නත් පුළුවන්. අපේ සමහර ප්‍රශ්න වලට විසදුම් හෙවිල්ලත් ඔය වගේ.
මුහුණ දෙන්න තියෙන ප්‍රශ්න දන්නවා, ඒවට උත්තරත් දන්නවා, ඒත් සූදානමක් නෑ. දැක්මක් නෑ. ප්‍රශ්නයක් ආවම වටේ යන්න වෙන්නෙ ඒ නිසා. නිදාගෙන ඇහැරියා වගේ වෙන්නෙ එතකොට.
කරන්න ඕන දේ දන්නවා, කරන්න ඕන විදිහත් තේරෙනවා, ඒත් කරන්න ඕන වෙලාවෙ ඒක කරන්නෙ නැහැ. කරන්න ගන්නෙ අශ්වයා පැනගත්තට පස්සෙ ඉස්තාලෙ වහන ක්‍රමේට. ප්‍රතිඵලයක් නෑ. නින්දෙන් ඇහැරිලා වගේ.
රස්තියාදු වෙනවා. කාලෙ ගත වෙනවා. ඒත් අපි තවමත් සිහිනයත් යථාර්තයත් අතර හිරවෙලා.
අපි සිහින රාජ්ජය තුළ හිරකරලා වගකිවයුත්තෝ කව්ද කියල අපි ම දන්නෙ නෑ. ඉතිං තේරුම් ගන්න ඕන පළවෙනි දේ පළමු වගකිවයුත්තා තමන් බව.
අපි මොනවද අපේ රට වෙනුවෙන් කරලා තියෙන්නේ. ලොකු දේවල් නොවෙයි. අපි සමහර විට හිතන්නෙ ලොකු ප්‍රමාණයෙන්මනේ. නමුත් ඔය ගොඩක් ලොකු දේවල් වලට වඩා පොඩිවට පෙනෙන හෝ නොපෙනෙන ගනනේ දේවල් තියෙනවා අගයෙන් බෙහෙවින් වැඩි. හිතන්න රටක සංවර්ධනයට ඔබේ නිවැරදි චින්තනයකින්, නිවැරදි ප්‍රතිපදාවකින් දෙන්න පුළුවන් දායකත්වය ගැන. ඔය ගොඩක් මාතෘකා අරගෙන කෙස් පැළෙන තර්ක ගෙනෙන අපේ බොහෝ දෙනා රටේ යහපත වෙනුවෙන් කළ වැලි කැටයක තරම් දෙයක් තිබෙනවද? නැතිවා විය නොහැකියි. හැබැයි එක වැලිකැටයක් යහපත වෙනුවෙන් තබද්දී වැලි ටොන් ගණනින් හලන්නේ අයහපත වෙනුවෙන් නොවේද? බොහෝ දෙනා මෙබන්දන්. හිතන්න හැබෑ දියුණුව කියන්නෙ, සංවර්ධනය කියන්නෙ පොකට් එකේ විතරක් සල්ලි පුරවල අපේ තියෙන මනුස්ස ගති හින්දන එකකටද?
එක් එක් පුද්ගලයා එකතුවීමෙන් සමාජයක් තැනෙන්නේය යන සරල සංකල්පයෙන් බැලූවිටමත් පෙනෙන්නේ සමාජය යහපත් කර ගැනීම උදෙසාත් එක් එක් පුද්ගලයා වෙහෙස විය යුතු බවයි. එනමුත් අද බොහෝ දෙනාට යහපත අයහපත සොයා ගැනීමට තරම්වත් නිස්කාංසු මනසක් තිබෙනවාද?
අල්ලස ගන්න මිනිහා වැරදියැයි කියන අපි ඇයිද අල්ලස දෙන මිනිහා ගැන එතරම් හිතන්නැත්තේ, යහපත අයහපත අපේ වාසිය අනුව හදා ගනිමින් නොවේද ඒ? දැන් හොද නරක, පින් පව් වාසිය අනුව බොහෝ විට හැදෙන්නේ එහෙම තමා. මගේ වැඩේ කරගන්න කාට හෝ පන්දම් ඇල්ලීම නරක නොවේ. නමුත් රස්සා දේශපාලන පත්වීම් බවට විටෙක අපි චෝදනා කරමු. අවසන දෙකම හරිය, ඒ මෙහේ ක්‍රමේ හැටිය කියා හිස කසා හෝ නොකසා නිවට ගතිය පාමු. අපේ කුම්භකර්ණ නිදි වැදීම මෙහෙව් ආකාරය. මර නින්දේ ඉද්දී අපිට මේ කිසිත් වෙනස් විය යුතු යැයි හිතෙන්නේම නැත. එතරමකටම නිදි මතයි.
එක අතකින් සිහිනයත් යථාර්තයත් අතර දෝලනය වෙලා හරි යම් නිවැරදි තේරුම් ගැනීමකට එනවා නම් එක හරි වැදගත්, ඒත් ප්‍රශ්නය ගොඩක් දෙනාගෙ මේ රස්තියාදුව ඉහත කී ලෙසින් ශුද්ධ නොවෙන එක. වැරදිම කර කර ඉදන් තමන්ට පාඩුවක් වෙනතැන විතරක් එකවර නින්දෙන් ඇහැරියා වගේ හරි වැරැද්ද කතා කරන්න ගන්නවා. මේ ඵලය ඇති වුනේ අපිම හදාගත්ත හේතු දාහකින් කියල තේරුම් ගන්නේ නැහැ. අපි හිටියෙ මර නින්දේ නොවේද කියල තේරුම් ගන්නේ නැහැ. පට්ට පතුරු යනකන් කතා කරනවා, සාකච්ඡා කරනවා. ප්‍රශ්න ආවහම එහෙමයි. ඒත් ඒවයින් ලබාගන්න දිගු කාලීන ප්‍රයෝජන නැහැ. ඉතිං හැමදාම එක තැන පල් නොවී ඉස්සරහට යන්නෙ කොහොමද? ආසයි බයයි වගේ ප්‍රතිපත්තියක්ද මේක? නැත්නම්, අද නොවේ හෙට! කියන බාලගිරි දෝෂයක්ද? නැතිනම් පැහැදිලිවම කියන්න වෙන්නෙ කුම්භකර්ණ දෝෂය. කොහොම වුනත් මේ දෝෂය භංග කරන්න කාලෙ දැන් හරි.
නිරන්තරවම ශබ්ද පූජා පවත්වලා තමන් තුළ සිටින කුම්භකර්ණයා නිරන්තර අවදියෙන් තබා ගතහොත් පමණයි සිහිනයත් යථාර්තයත් අතරින් යම් ගමනකට අප වැටෙනු ඇත්තේ. මර නින්දේ සිටියොත් අපව නින්දේදීම මෙහෙයවා වැඩ ගන්නන්ගේ හස්තයේ අප නැටවීම පමණක්මැයි සිදුවනු ඇත්තේ.
ජීවිතය යනු මුදල් නොවේ. මුදල් යනු සිහිනය සුන්දර කරන මාධ්‍යක් පමණකි. සිහිනය යනු සැබෑව නොවේ. සුන්දර සිහිනයෙන් දිනෙක අපට අවදිවන්නට සිදුවේ. ඒ යථාර්තයේදී මුදලින් අපට දිනීමටවත් ස්ථාවර වීමටවත් නොහැකියි.
එබැවින් කුම්භකර්ණලාගේ සිහිනයට මුදලුත් යථාර්තයට මානසික හයියත් අවැසිමයි. ඒ මානසික හයිය මිත්‍යා පදනමකින් ලැබිය නොහැකියි. සත්‍ය පදනමක් ජීවිතයකට අවැසි බව දැනෙන්නේ එවිටයි. ඉදින් ඒ සත්‍ය පදනම සොයා වන රස්තියාදුවත් ශුද්ධ විය යුතුමයි. හීනයත් යථාර්තයත් අතර අපේ කුම්භකර්ණ ගමන නිවැරදි දිශාවක් ඔස්සේ දමා ගැනීම අප කාගෙ කාගේත් වගකීමයි. ඒ දිශාව නිවැරදි නූනෝතින් අපේ මර නින්ද සිතුවාට වඩා බරපතළ කාරණයක් බව දැනෙනු ඇත්තේ මත්තටයි.
මාස හයක් එක දිගට නින්දේ හරි සැප ඇති. ඒත් නැගිට්ටම තියනවා කරන්න මාස හයක වැඩ එක දිගට, මේක ලේසි වැඩක් නොවෙයි. ඒ නිසා හිතන්න කුම්භකර්ණ දෝෂයෙන් මිදෙන මග දැන් දැන්ම.
Tuesday, April 23, 2013
Friday, April 19, 2013
දුප්පතාගේ නින්ද ට බෝනස් (හිගන්නාගේ පොකට් එකට තට්ටු කොට අලාබය පියවීම)
බලව විසදුම්
හදන විසදුම්
හිසේ රුදාවට කොට්ටය මාරුකර
ඒ කොට්ටය කකුල් අස්සේ ගසා
හිසට සුව සෙවීමක්
සොච්චම් විදුලියට ගැහූ බිල
හිගන්නාගේ පොකට් එකට ගැසූ
පට්ට පල් හොරෙක්
Subscribe to:
Posts (Atom)