Monday, October 8, 2012
Sunday, October 7, 2012
ස්කෝ..
මැච් එකක ස්කෝ කරන්නත් ඕන හා ලැබෙන වෙලාවක් තියනව. ඒ වෙලාව හරියට පාවිච්චි කරන්න බැරි වුනොත් කාටත් එකම සන්තෑසිය පැරදීම තමයි. ඒකෙන් බේරුණොත් පූරුවේ වාසනාව සීයට අනූනවයක් බලපාපු අවස්ථාවක විතරයි. ඉතිං නොදන්නා පූරුවේ වාසනාව ගැන නොහිතා ජීවිතේත් හරියට මැච් එකක් වගේ කියන්නත් සුදුසු මේ වගේ වෙලාවක්ම තමයි.
අපිට මේ අත්දැකීම් ගොඩක් තිබිලත් ඒ රස්තියාදු ශුද්ධ නොකරගන්න නිසාම හැමදාම ගොඩක් සමානම දේ භුක්ති විදින්න වෙනව ජීවිතේදි වගේම.
ස්කෝ කරන්න පුළුවන් මැච් එකෙත් ජීවිතෙත් මුල් කාලෙ. ඒ මුල් කාලෙ නිකම්ම ගතවෙලා ගියොත් අවසානෙ පීඩනෙ වැඩි වෙන එක ගැන ආයෙ කියන්න උවමනා නැහැ. මුල් කාලෙ හොදට ස්කෝ කරන්න නම් ඉක්මණට පිටිය තුළ ස්ථාවර වෙන්න ඕන. එහෙම නැතිව නිකම්ම පිටියෙ රැදිල හිටියට විතරක් වැඩක් වෙන්නෙ නැහැ. අනික එහෙම රැදිල ඉන්නවනම් අවසාන මොහොතෙ, උචිතම වෙලාවට හොදට ස්කෝ කරන්න පුළුවන් වෙන්න ඕන. නැත්නම් මැච් එක වගේම ජීවිතෙත් පරදින්න වෙන්නෙ අවසාන මොහොතෙ එන ලොකු පීඩනයට මුහුණ දෙන්න බැරිව.
ඒක නිසා හිතන්න අවස්ථාව මුලින් ගන්න ඕන. වැඩේ වුනාට පස්සෙ කරන්න පුළුවන් දෙයක් නැහැ. ජීවිතේ තරුණ අවදිය රස්තියාදුවේ විතරක් ගිහින් වයසට යනකොට ඒ රස්තියාදුව ශුද්ධ වෙයි කියල හිතුවොත් වෙන්නෙ අවසන් ඕවරේදි ගහල මැච් එක දිනන්න යනව වගේ අවදානමක් ගන්න එක විතරයි. හැබැයි මුලින්ම ඒ රස්තියාදුව ශුද්ධ කරගෙන ජීවිතේ හතර මායිම හොයාගෙන තිබ්බ නම් මැච් එකේ රන් රේට් එක ඇල්ලුව වගේ අවසානෙට ඊසි බැට් කරල දිනන්න පුළුවන්, සමහර විට වෙලාවටත් කලින්. ඒ කියන්නෙ නියමිත ඕවර ගානට පෙර.
හැබැයි අපි කවුරු මොනදේ කතා කලත් මෙහේ බොහෝ උදවියට (රස්ටා කලිනුත් කියා ඇති පරිදි) කියූ දේ පිළිබද සත්‍ය ඥාන, කෘත්‍ය හා කෘත ඥානය පහළ වන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 25 කට පසුව පමණ වන නිසා එබන්දන්ට මැච් එක සේම ජීවිතේද ගැන තේරුම් ගන්නට වෙන්නේ තවත් අවුරුදු විසි පහකින්. ඒ සදහාද හේතුවක් තිබේ. නිකම්ම අවබෝධ වෙන තුරු සිටිනවා මිස මෙහේ යමක් අවබෝධයට වීරිය කරන්නන් අඩුය. කෙසේ නමුත් රස්ටාගේ පැතුම මේ 25 අඩුවේවා යන්නයි. හැබැයි එය නිකම්ම නම් සිදු නොවනු ඇත. කොහොම නමුත් නැවතත් ප්පරාර්ථනය, 25 අඩුවේවා..
එතෙක්..
හමුවෙන තුරු රස්තියාදුවේ යළි,
වේවා ජයෙන් ජය..
හුරේ..
අනාවැකි කීවා ඇති දැන්.
කාලයක් තිස්සෙ අවසන් තරඟවලට වලට ආපු ක්රීඩකයින් ගැන අනාවැකි කීවා.. කණ්ඩායම් ගැන අනාවැකි කීවා..
ඇති.
තවදුරටත් අනාවැකි උවමනා නැහැ.
කාරිය,
වීරිය ඇති නම් රට පෙරටුවේ තබා දිනන්න. ජය ඔබටයි. සුභ පැතුම්..
එක බැගින් දෙක බැගින් අවසන්ම හතරක්ලු
අවසානෙ ජය ගන්න බැරි කමක් නැති වීලු
ඒත් එක පුරුද්දක් අනාවැකි වැඩිවීලු
ජය පතමු වීර කම හැකිකමෙන් දිනන්නලු..
රස්තියාදුවේ හයිය පරාජයෙන් ජය වෙත යාමයි.
එතෙක්..
හමුවෙන තුරු රස්තියාදුවේ යළි,
වේවා ජයෙන් ජය..
Saturday, October 6, 2012
ලෙඩ
ලෙඩ ගැන මා දරන්නේ වෙනස්ම ආකල්පයකි. ඊට පළමුව කිව යුත්තේ ආරෝග්‍ය පරම ලාබය බව මගේ ඇදහීම යන්නයි.
කෙසේ නමුත් හෙම්බිරිස්සාව වැනි දෙයක්, වැටීමක්, තැලීමක් ජීවිතයට අවශ්‍යම බව මාගේ විශ්වාසයයි. හංදියේ ෂොප් කලාවෙන් කෙටි කෑමට වඩා මල්ලිත් මමත් පමාවී හෝ ආ වැස්සට එදා තෙමුනේ නම් යහපති. රස්තියාදුවක් නැති නොතැලි ජීවිතේ හැදි නොගා හැදූ හොද්දක් සේ පමණක් නොවේ. එය පදම් නොවූ පිත්තකි. පිත්තක් පිතිකරුවාට හොදින්ම හැසිරවිය හැක්කේ එය අතටත් බෝලයටත් හොදින් පදම් වූ පසුවයි.
වැස්සෙන් අව්වෙන් පදම් නොවී ඒසී , බිසී මැද ගතවෙන ජීවිත ඊ, ඕ සද්දෙන් ඉසෙඩ් වෙන තුරු යන්නේ ලෙඩ ගානේය. රුධිරයට පීඩනයයි, ලේ වලට සීනීයි, බඩට දාරයි කියල අපහසුව දැනෙන්න ගත්තම එක තැන කැරකෙන යන්තරයකින් ඒකට පිහිට පතන බොහෝ ලොක්කෝ රස්තියාදුවට කැමති නැත්තේ ඇයි? තරුණ ලොක්කන්ට මේක විශේෂිතය. එක තැනම වට රවුමක, චතුරස්‍රයක රවුම් දමා හැමදාම වගේ එක තැන රස්තියාදු කරගන්නා ජීවිතය ඉංග්‍රීසියෙන් බැස සිංහලයෙන් පුස් බයිසිකලයක හතර අතේ රවුමක් ගස්වනු බැරි ඇයි?, මෙහේ එයට දුප්පතාගේ වාහනය ලෙසින් ගසා ඇති නාම තහඩුව නිසාද?
...................................................
2035 ට වත් මේ පිළිබද සිත් පහළ වේවා. සත්‍ය අවුරුදු 25කින් පසු ප්රත්‍යක්ෂ කොට ගන්නා අපේ රටේ එය සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන කොට ගන්නේ එවිටයි. එතකොට පෙරහැර ගිහින් හමාර මුත් එබදු කලකට හෝ වැටහීමේ නුවණ අපේ රටේ එදා අද මෙන් හෙටටත් ඉතිරිවේවා. රස්ටා පතන්නේ, සදය ලෙස නරක සහ හොද දෙපැත්තක දකිමින්.
දුප්පත් රස්ටා ඒ අතින් වාසනාවෙකි. ආරෝග්‍ය පරමා ලාබා ..
රස්ටාගේ හිතින් ගතින් නිරන්තර ගහන රස්තියාදුවෙන් දහදිය දමා නිරන්තර පිරිසිදු වන ලේ ගනයක් තිබීම පිළිබද සතුටුවෙමි. ඔබටත් දුප්පත් වන්නට ලැබේවා.. දුප්පත් කම බොහෝ දේ පිළිබද නුවණ සපයන බැවිනි ඒ. ඉන්පසු නැවතත් පොහොසත් වේවා..
එතකොට කෑම කන සල්ලිත්, අපිව කන සල්ලිත් ඔබ හදුනා ගෙන තිබේවි.
එතෙක්..
හමුවන තුරු රස්තියාදුවේ යළි,
වේවා ජයෙන් ජය..
ෂෝ..
කලින් මෙහේ හොද දේ තිබු බව සත්තයි
දැනුත් මෙහේ හොද දේ ඇති බව ඇත්තයි
පිළිගන්නේ පිට රට තියරියි සද්දයි
ඒක නිසා ෂෝ එක දැන් මෙහෙ උස්සයි
ෂෝ පෙන්නීමට සැබවින්ම ලැජ්ජාවක් තිබුනේ සැබවින්ම ෂෝ එකක හැර ෂෝ පෙන්වීමක් ගැන මෙහේ අපි අපේ අද්දියාපනේ හෝ සදාචාරයේ ඉගෙන ගෙන නොතිබූ බැවිනි.
ෂෝ එක ගණන් ගන්නේ නැති බව කියති
එනමුත් අඩ ෂෝම උස්සා ගෙන දුවති
කටින් කියන එක වගකීමක් නොවෙතී
ඒක නිසා අපටත් දැන් ෂෝ අවැසී
එබැවින් පට්ට ෂෝ එකක් දැමීමට හොද මොළයක් මෙන්ම අහිංසක හදවතක් ඇති මුත් රස්ටා තීරණය කළේ, සාමාන්‍ය ලෝකයේ වලංගුතා මැද ජීවිතය ජය ගැනීම උදෙසාම නොව බල්ලන් අප ස්වාමියන් වනු වළක්වාගනු පිණිසමැයි.
හමුවන තුරු රස්තියාදුවේ යළි,
වේවා ජයෙන් ජය..
මානේ..
හීන වූ මානය ගෙනේ අඩමානය
අධික වූ මානය ගෙනේ අවසානය
නොදැන මේ මානය වීය අවමානය
අවසනදි දැන ගත්තේ පරම මානය කෝණ මානය
සුළු කෝණ, මහා කෝණ, සියළු කෝණ මැනීම සදහා කෝණ මානය භාවිතයට ඒ අනුව මම තීරණය කළෙමි.
දැන ගතිමි ගණිතයක්
මැන ගතිමි කෝණයක්
ඊට අහුනොවන්නට
ලොවෙත් නැත කෝණයක්
අනතුරුව සුළු කෝණ කරුවන්ගේත් මහා කෝණ කරුවන්ගේත් වෙනස හොදින්ම ගණනය කරන්නට මට හැකිවිය. බොහෝ දෙනා ලොකු කෝණ පෙන්නුවාට සැබවින්ම සුළු < , මහා < , එකම වෘත්තයක් තුළ අඩංගු බැවින් වෘත්තය ගැන ඉගෙන ගන්නට අනතුරුව මම කල්පනා කළෙමි. වෘත්තය ගැන දැන ගතිමි. දැන් මානයේ ප්‍රශ්න විසදාගැනීම මට හරිම පහසුය.
හමුවන තුරු රස්තියාදුවේ යළි,
වේවා ජයෙන් ජය..
Friday, October 5, 2012
ක්ලික්..
වෙනස් හවසක වෙනස් දවසක
පාට නැති අහස දෙස බලාගෙන මං
තරුත් නැති සදත් නැති පායයිද හිතෙන්‍නැති
බැහැල යන හිරු බිමට දමා යන රැස්
මා එදින සැදෑවේ වෙරළත ඇවිදිමින් සිටයදී දුටු දසුන වහා මගේ තෙවන ඇස මොහොතකට ක්‍රියාත්මක කළේය.
එකිනෙකා එරීගෙන එරුණු පය ඔසවගෙන
සුමුදු ලෙස අඩි තබන ගමන හතරැස්
රාමුවක දැවටුවේ තෙවැනි ඇස විවර කළ
කාචසිත උරාගත් සැදෑ අව්රැස්
එය අපූරු හතරැස් රාමුවක සිත් ගත වූයේය. මගේ හිත් කැමරාවේ වේගය හා ග්‍රහණය ගැන මට ඇති වූයේ තෘප්තියකි.
හමුවන තුරු රස්තියාදුවේ යළි,
වේවා ජයෙන් ජය..
බය
අපි බය නෑ, කාටවත්..
මෙහෙම කියන අය මෙහේ ඕන තරම්. හැබැයි ධනය, බලය, වර දාන ඉස්සරහ මෙයාල අහන්නෙ "අපි ඇත්තටම එහෙම කිව්වද?" කියල.
බය නොවෙයි මේ අපේ භක්තියයි කියල, දෙමාපියන්ටවත් ජීවිතේට නොවැදපු සමහර අය දේසපාලකයින් ඉස්සරහ ප්‍රසිද්ධියේ වැද වැටෙනවා. මේ ලගදිත් මේ වගේ බූරු නමස්කාරයක් ටීවී එකේ දැක්කම මට හිතුනේ මෙහේ මිනිස්සු සම හරක් තවමත් හාන්ට විය ගහේ බදින්න පුළුවන් නේද කියල. ඇත්තටම ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. ඉන්ධන වියදම් කරන්නෙ නැතිව පොඩි ලියද්දක් හාගන්න. ඒ අදාල දේසපාලකයන් කිව්වොත් කොහොමත් ඒ උදවිය ඕන කුඹුරක් හාන්න විය ගහට බලෙන්ම බැදෙනව. ඒක සහතිකයි.
දහමෙත් කියල තියෙන විදිහට බය කියන්නෙ මිනිස්සු අගතියට දක්කන කාරණා වලින් එකක්. ඇත්තටම මිනිස්සු බය ඇයි?
ලොකු සංවේදී කමක් තියෙන වයි කියන මිනිස්සු මෙහේ ඉන්න වයි කියන නිසාද, ඔවුන්ගේ හිත හොද කමද මේ අපි බය හැටියට දකින්නේ, එතකොට ඒකමද නිවට කම හැටියට පෙනෙන්නේ.
නෑ, ඇත්තටම බයත්, නිවට කමත් මෙහේ පිරිලා.. දවසෙන් දවස මිනිස්සු ඒකෙන් අගතියට යනවා. නැත්ත ඇත්ත හැටියටත් , ඇත්ත නැත්ත හැටියටත් ඒ උදවියට පේන්න ගන්නෙ මේ අගතියට ඇතුළු වෙන සීමාවෙ. දහමෙ කියවෙන හැටියටම එතකොට මිනිස්සුන්ට කිසිම සරු දියුණුවක් ලබන්න බැහැ.
සරු දියුණුව කියන්නෙ මිනිහෙක් ශක්තිමත් වෙමින් ඉදිරියට යන එක. නිසරු විදිහෙ දියුණුව කියන්නෙ මිනිහ ඉදිරියට යන්ඩ යන්ඩ බොඩිගාඩ්ලා වැඩි කරගන්ඩ ඕන විදිහෙ දියුණුවක්. බොහෝ විට මෙහේ දේසපාලකයින් බොහෝ දෙනාට මොනදේ නැතත් ගාඩ් හතරවටේ දාගෙන යන්‍න වෙනවනම් පුද්ගලිකව හරි මොළේ තියෙන කෙනෙකුට ඒ උදවියගෙ දියුණුව මොන විදිහෙ එකක්ද කියල තේරුම් ගන්න පුළුවන්. හැබැයි අතරින් පතර වුනත් මෙහේ වෙනස් විදිහෙ දේසපාලකයොත් හොයා ගන්න පුළුවන් කමක් නැහැයි කියන්න මට උවමනාවක් නැහැ.
හැමදේකදිම මෙහේ තවමත් දේසපාලකයො ගැන කතා නොකර මුකුත් කතා ඵලක් නොවන්නේ , ගෙබි නමස්කාරය, බූරු නමස් කාරය කියන එක මෙහේ පරම්පරාවෙන් උරුම කරල තියෙන තත්වයක් ඇති නිසා. දෙමාපියෝ ඒ වාරිත්‍ර අනුගමනය කළා නම් හොද චාරිත්‍ර වලට වඩා ජීවිතය ජය ගන්න මේ වාරිත්‍ර අනුගමනය කරන්‍න දරුවොත් පැකිළෙන්නෙ නැහැ පහුවෙලා හරි. රස්ටාගේ රස්තියාදු තුළ දැක ඇති සත්‍ය නම් එයයි. දේශපාලකයන් ගැන කියද්දී කී සේම මෙයින් වෙනස්වන දූ දරුවන්ද මෙහේ නොසිටිනවා නොවේ. නමුත් සම්ප්රදාය අරකයි.
ඉදින් , මේ බය බලියක් ඇර හෝ නැති කරගන්ට පුළුවන් නම්, මෙහේ බොහෝ දියුණුවක් දකින්නට බැරි කමක් නම් නැත. නිකම් දියුණුවක් නොව වේගවත් දියුණුවකි එය. හැබැයි අනෙකාගේ බය දැක දැක තමනුත් ඒ බය රෝගයක් සේ බෝ වන්නට ඉඩ නොදී, බයට පයින් ගසා එක එකා ලෙස නැගිටියහොත් පමණි එය කළ හැක්කේ.
බොහෝ දෙනා එදිනෙදා දිවියේ රස්තියාදුව ශුද්ධ නොකරන්නේත් බය නිසාමය. මේ ගැන ගැඹුරට ගියහොත් සැබවින්ම මේක පුස් බියක් බව ඔබටද දැනෙනු ඇත.
අවිද්‍යාව, හේතුව එයයි.
දහමේ කියවෙන පරිදිම හේතුවක් නැතිවම බියවන්නේ දකින දේ විග්‍රහ නොකර ගැනීමෙනි. රස්තියාදුව ශුද්ධ නොකරගත්තා යනු ද එයයි.
අහස කඩා වැටෙනවා යැයි කියා අර කව්රුද සතෙක් දුවන්නට ගත් විට කැලේ හැම සතාම ඒ පස්සේ වැටුනේත් ඔය බය නිසාමය. ඇත්තටම තමන් බිය වන කාරණා ගැන නුවණින් විමසිය යුතුය.
අද කාලේ හැම දේකටම බේත් තිබෙනවා යැයි සාමාන්‍ය මිනිහා විශ්වාස කරන නිසා ලෙඩ හදා ගැනීම ගැන ඔහුට බියක් නැත. මොකද රජයේ රෝහල හැම විටම තමන් සදහා විවෘත යැයි මිනිහා සිතන නිසාය. එවිට පරම ලාබය ආරෝග්‍ය යැයි කියා රෝග නොහදා ගෙන ඉන්ට හිතන හෝ ක්රියා කරන අය අඩුවේ.
එපරිද්දෙන්ම බිය ට හොද සංග්‍රහයක් සමාජයෙන් ලැබෙනවානම් බිය වීම ප්‍රශ්නයක් නොවේ. එමට බෝතල්ද, සල්ලිද, උසස්වීම්ද ඇතුළු නොයෙකුත් වරදාන බිය සදහා සංග්‍රහයක් වනවා නම් බිය යනු අගතිගාමී දෙයක් ලෙස සිතා නිර්භයව ක්රියා කරන්ට සිතන්නෝ අඩුවේ. සිදුවී ඇත්තේ එය නොවේද?
හැබැයි නැත්ත ඇත්ත හැටියට ගත්විට මතුවන බරපතළ ප්‍රශ්නය පසුවටය.
එනම් මේ බිය නිසා වගකීම් යුතුකම් හරි හැටි ඉටු නොවුනු සමාජයේ නිර්මාණය වන දහසකුත් ප්‍රශ්නයි.
ඒවාට මුහුණ දිය යුත්තේ පොලිසිය නොවේ. අපිමයි. සමාජයේ අපිමයි. ඉදින් මෙනයින් බැලූ කල විවිධ සමාජ ප්‍රශ්න උදෙසා කොතනදී කාට කොහොම බැන්නත් ඒ ප්‍රශ්න නිර්මාණයේ අප කොතරම් දුරට දායක වනවාද යන්න සිතා බැලීම වටී. බිය නොවී නිර්භයව මිනිසෙක් ක්‍රියා කරන්නට සිතන්නේ එතැනදීය. කිසිදෙයකට බිය නැති මිනිස්සු මෙලොවේ සිටියත් නැතත් බිය නිසා අගතියට යන මිනිස්සුන් ලෙස අප නම් කිසිවිටකත් නම් නොවිය යුතුය. ක්‍රියා නොකළ යුතුය. රස්ටා හැමවිටම පතන්නේ එයයි.
ඔබේ රස්තියාදුවේ මළ ශුද්ධ වේවා..
එසේම මාගේත්.
නැවතත්,
හමුවෙන තුරු රස්තියාදුවේ යළි,
වේවා ජයෙන් ජය..
Wednesday, October 3, 2012
ලෝ
ලෝ කියා කියන්නේ නීතියටයි. බල ලෝ කියා කියන්නේ අනුන්ගේ ලෝ අපට බලන්නට සිදුවීමයි.
වින් කියන්නේ දිනනවාටයි. මං වින් කියන්නේ මං දිනනවාටයි.
"මං වින් කියා කියන්නෙකුගේ ලෝ බලන්නට සිදුවීම" කාලයක් තිස්සේ මෙහේ අපට නම් මහා අමන කතාන්තරයකි. මෝඩයි කියා රටේ වගකිවයුතු බලයක් ඒ මෝඩයාට ලබාදී අමන මෝඩයාගේ ලෝ දිගින් දිගටම බලා හා රසවිදින ජනතාවක් කුමන මානසිකත්වයක සිටිනවාදැයි මා නම් දන්නේ නැත. මෙය අනාගතයට සපයන්නේ මහා ඛේදවාචක අවාදර්ශයක් බව නම් කිව යුතුමය. (අපද තිත්ත වන තරමට මෙය දැක ඇති මුත් කාරිය කරවන්නන් ගෙන් මේකට පිළියමක් නැත. ඒ නිසා අද එය මෙහේ කාටත් විහිළුවක්ව ඇත.)
අපි ලෝ දකින්නේ සමාජයේ ක්‍රියාත්මක ස්වභාවයෙනි. එය පොත් පත් වල කෙසේ සටහන් වුවත් අපට පොත් පෙරලා වැඩක් නැත. එහි වැදගත් කම ක්‍රියාකාරීත්වයයි.
මොකක් හරි කියූ විට පරණ යුගයේ උන්දලා සම හරක් කියන කතාවකි, ඉතිහාසයේත් ඕවා තිබූ බව. ඉතිහාසයේ තිබුණු නිසාම අනාගතයත් එලෙසින්ම අනාගත යුතුද?
අප දන්නා ලෝ වලින් පාඩමක් මේ අමන මානවයින්ට උගන්නන්නේ නැති නම් ඊට වෙන ක්‍රමයක් තිබිය යුතුය. පමණ ඉක්මවා අමන කම් ඉවසන්නේ නම් එවැනි ජාතියකට දේව පිහිටවත් ඉතිරි නොවනු ඇත. හැම ජඩ කමක්ම කොට අවසානයේ දේව පිහිට පතන උදවිය තවමත් මෙහේ හිඟ නොවේ.
කේතුමතියෙන් අපට පලක් නැත. දෙපා බිම ගසා නැගිටින කොන්දක් ඇති තරුණ පරපුරක් අවැසි බව මග තොට කොතනත් රස්තියාදුවේ දී පෙනෙන්නේ එහි ඌනතාවක් ඇති නිසාය.
නිවට නියාලු ලෙස හැම ජඩ ගුණයක් ඉවසීමට කියා මොනම දහමකවත් කියන්නේ නැත. දෙමාපියන් දරුවන්ගේ යහපත තකා හැම ජඩ වැඩක්ම නොදැක්කා සේ තම කාරිය පමණක් කොරගන්ට කියා තරුණ දරුවන්ට කියනවා නම්, අපේ අනාගතයට ඉතිරිවන්නේ මිනිසුන් නොව ඩමි පමණකි.
අපට ඇති සවිය කුමක්දැයි නුවණින් විමසිය යුත්තෝ තරුණ රස්තියාදුවෝය. එක එක සුලභ වර වලට ගිජු නොවී ස්වාධීන චින්තනයකින් දෙපා බිම ගසා දූවිලි මතින් නැගී සිටින්නට බැරි ඇයි?
සමාජයේ ඇත්තේ බරපතළ ප්‍රශ්න නොවේ. ඉතා සරල හැම කලකම තිබූ තිබෙන ඒවා යැයි සාමාන්‍ය පණ්ඩිතයෝ කියති. එය සැබෑවකි. නමුත් මොන සමාජයේත් සැම කලකම පෙරළි කළ ජව චින්තන තිබූ නිසා සමාජය රැකුනු බව කිසිවෙක් නොකියත්ද?
බල්ලෙකුගේ ස්වාමියෙකු විය හැක්කේ මිනිසෙකුටය. නමුත් බල්ලාගේ බලු ගෙරවුමට ඇති බිය නිසා අපි බල්ලා අපේ ස්වාමියා කර ගන්නවාද?
දස අත රස්තියාදුවන රස්ටා නම් දකින්නේ බල්ලන් ස්වාමියන් කරගන්නට දැන හෝ නොදැන පෙළ ගැහෙන බොහෝ දනාය. මෙය වෛරයෙන් කියන්නක් නොවේ. තාරුණ්‍යයේ ජවය තාක්ෂනයෙන් ලොල් කර දියාරු ක්ලේ ඩමි නිර්මාණයක් දැනෙන පෙනෙන දකින නිසා කියන්නකි.
කැලෑ කපාගෙන කැලෙන් එලියට විත් සැහැල්ලු ලෙස මද සුළගේ පහස විදි මිනිසා, ඉන් ඔබ්බෙහි වැද්දන්ටත් නිගා දෙන විදිහේ කල වැද්දෙක් ලෙස ආපහු හැරෙන්නෙක්ද? බෝනික්කා ලීලාවෙන් හිදින පඩරැල් සතෙක් වන්නේද?
නැතිනම් පිරිපුන් ජීවී ගුණයෙන් යුතු, නුවණින් හෙබි සත්වයෙක් වන්නේද? පාර දිගේ මති මතාන්තර වෙනුවෙන් සටන් ම නොකළාට තමන් ගේ හිතත් හිසත් කෙළින් තබා හැම දේ ගැන සොයා බලා එඩිතරව ආත්මාර්ථයට ලඝු නොවී කටයුතු කළ යුත්තෙක් වන්නේද? එසේ මිස කෙලෙසකවත් බියෙන් අගතියට යා යුත්තෙක්ද?
අනුන් දුවන රැළේ ඒ පස්සෙම වැටී දුවන්නේ නැතිව, හේතුවක් යුක්තියක් සිතා තීරණයක් ගන්නට බැරි නම්, තමන්ට කළ හැකිදේ ආත්මාර්ථය තකා මගහරින්නේ නම්, ඒ නිවටයෙක් ම පමණි. ඉදින් එහෙව් වූ නිවටුන්ගේ හෙට ලෝකය සදහා සැලසුම බල්ලන් තමන්ගේ ස්වාමියන් කරවීමද?
බාර් එකේ, ක්ලබ් එකේ මත් හයියෙන් පිම්බෙන් නේ නැතිව අවංක කමේ, හිතේ හයියෙන් කෙලින් කටින් ඉන්නා තරුණයන් ටික හෝ වේවා.. උන්ගේ රස්තියාදුව ශුද්ධ වී අනාගතයට මනුස්සකම් ටිකක් හෝ ඉතිරිවේවා..
දැන් අපි දන්නෙ අරගන්නයි , විකුණන්නයි විතරයි. මෙහේ අනෙක් බොහෝ හැඟීම් හංගන්නේ බල්ලන්ට බය නිසායි, වැඩිහිටි ගෞරවේ ආරස්සා කොරන්නයි.
ඇත්ත ඒ හැටියෙන් කතා කොරලා ගහගන්න ඕනෑ නෑ ආවේගෙන්. කොරන්න ඕනෑ තේරුම් ගෙන පිළියම් ලෙස වැඩ කිරීම. කාටද දෙයියනේ එහෙම ඕනෑ. මූණට හිනාවෙලා, වැස්සද ඒ පැත්තට කියලා ඇහුව පමණින් අනාගතේ නම් සුභ වෙන්නේ නෑ.
අමාරු දේ වෙනස් කිරීම නොවෙයි. වෙනසක් අවැසි බව තේරුම් ගැනීම. ලොකුම ප්‍රශ්නය ඒකයි.
දැනෙන සත්‍ය හංගංනේ ඇයි?
සදය ලෙස විචාරයට මං නොහොයන්නේ ඇයි?
කතාවෙන් ක්‍රියාවට පය නොතියන්නේ ඇයි?
සංයමයත් එඩිතරකමත් තිබූ අතීතයක් ගැන මෙහේ නන්දොඩවනවා යැයි සිතෙන්නේ එවිටයි. දැන් නම් ඒ දෙඩවීමත් නැති තරම්,. ඔහේ දෙනදේ කාගෙන වෙනදේ බලාගෙන ඉමුද තවත්?
එහෙනම් සමුගන්නට අවසරයි,
හමුවෙන තුරු රස්තියාදුවේ යළි,
වේවා ජයෙන් ජය..
සරල
ඔලුවෙ ගැඹුරටම දෙයක් වැදුනම ආපහු හොද හුස්මක් ඇරගෙන එලියට බැහැල හොද හුලඟක් වැදෙන්න හිටියොත් මිස මේ ජීවිත රස්තියාදුව හරිම නීරහ වෙන්න පුලුවන්.
මිනිස්සු සින්දු කියන්න කැමති ඒකයි. එකම හේතුව නූනත් සරල වචන ටිකකින් හිත හෑල්ලු වෙනව සංගීතයෙන් වගේම.
හුලග කොයි තරම් සැහැල්ලුද, ඇගේ වදිනකොට අපි පාවෙන්නෙ ඒ නිසා. මද සුළගට මං ආසයි ඒ නිසාම.
සිහිල් දිය ගැන වචන වලින් කියනවට වඩා දාහය ඇති වෙලාවක ඒක අත්හදා බලන්නම ඕන. බොන්න වගේම ඇගේ දා ගන්නත් අපූරුයි.
ලස්සන වචනම කතා කරන්න පුලුවන් නම් මිනිස්සුන්ට හින්දි වගේ. තේරෙන්නෙ නැති නිසාම හින්දියෙන් බැනුම් ඇහුවත් සැපයි වගේ දැනෙන්නේ.. වචන වල තියෙන මිහිරියාව නිසා නේද,
ගිහින් එන්නම්,
එහෙනම්,
හමුවෙන තුරු රස්තියාදුවේ යළි,
වේවා ජයෙන් ජය..
ටික්.
ටික්.ටික්.ටික්.ටික්.
මේ විදිහට කියූ විට සැනෙකින් ඔබේ මතකයට එන්නේ කුමක්ද, ඔර්ලෝසුව මිසක.
ඔරලෝසුව යනු කාලය පෙන්වන යන්තරයයි. කාලය රන් හා සමාන යැයි අපි කලින්ම කීවෙමු. ඔය රන් වලට වඩා ජීවිතය වටිනා බව දැන් කියන්නෙමු. ජීවිතය වටින්නේ එය සැබෑවටම ජීවිතයක් වුව හොත් පමණි. සතාගේ ද අපේද ඇති වෙනස එයයි.
සතාටද ජීවිතයක් ඇත. ඌට නැත්තේ ජීවිතය පිළිබද හැඟීම නොව දැනගැනීමය.
සතා රස්තියාදු වන්නේ කෑම හොයන්නටය. අපි රස්තියාදු වන්නේ කුමට? අන්තිමේදී බැලුවොත් අප රස්තියාදු වන්නේත් බඩ කට පුරවා ගැනීම පිණිසම, තමා. එසේ නොමැති වුව හොත් සිදුවන්නේ මැරෙන්නටයි.
හැබැයි, මිනිහා කියන සතාට කට බඩ පුරවා ගැනීම පමණක් සෑහෙනවා නම් අදත් අපි කොල අතු එල්ලා ගෙන කැලේම සිටිය යුත්තෝ නොවෙමුද? මිනිහා කැලය කපා ගෙන කැලයෙන් එලියට ආවේ ඇයි?
කැලෑ කැපීම හැම විටම හොද නැති මුත්, එතනින් එලියට ආ අපි හද වෙතද ගොස් ඉන් ඔබ්බේ චක්‍රාවාට දෙස බලා ගෙන දැන් කුමක් කරමුද?
මේ එලියට යාමේ නිමක් නැත. අප චක්‍රාවාට තරණය කර යමුද?
ඒක පැත්තකින් තියමු. ඉස්සෙල්ලම කාල බීල ඉන්න සල්ලි තියෙන්න ඕන, නිකමට හිතන්න අතේ සතයක් නැතිව මොකුත් හිතන්න පුලුවන්ද?
ඇයි? හිතන්නෙ සල්ලි වලින්ද?
කාලය, හිතන්න කාලය ඕන. කාලය කියන්නෙ මුදල්.
කාලය කියන්නෙ මුදල් නම් මුදල් වලින් කාලය ගන්න පුලුවන්ද?
තර්කය කියන්නෙ මොකක්ද? වචනවල අර්ථ නිශ්චිත කොට ගන්න බැරි වුනහම වචනත් තර්කයත් බල රහිත වෙන්නේ නැද්ද?
වචනෙට වඩා වැදගත් සමස්ථය තුළ දැනවෙන දේ නොවේද? ආපහු කාලය වැයවෙනවා..
වචන වලට එහායින් මට නම් වැදගත් හිතට දැනෙන දේ, ඒකට වචන වලින් දෙන විග්‍රහයම අවශ්‍ය නෑ.
රසවිදින්න ජීවිතේ, ඒක හොයාගන්න ඕන. හැංගිලා තියන දෙයක් හොයා ගන්න බකං නිලං ඉදල බෑ. අපි හිතනවනම් වෙලාව කියන්නෙ ඔර්ලෝසුව කියල, අපි කාලය ගැන තේරුම් අරගෙන නෑ. අපි හිතනවනම් වටිනාකම තියෙන්නෙ මුදල් වල කියල අපි වටිනාකම තේරුම් අරන් නෑ. අපි හිතනවනම් ජීවිතේ කියන්නෙ මේ ගත වෙලා යන දෙයයි කියලා අපි ජීවිතේ තේරුම් අරන් ද?
මට නම් මගේ ජීවිතේ හතර මායිම හොයා ගැනීමට තිබේ. උපත මරණය අතර රස්තියාදු වෙන ජීවිතේ ..
කාලය, මුදල්, ජීවිතේ ... වැය කළ යුත්තේ මොනවාද? ඉපයිය හැක්කේ මොනවාද? අවසන ඉතිරිය මොනවාද?
තීරණය කළ යුත්තේ ඔබයි.
එතෙක්,
හමුවෙන තුරු රස්තියාදුවේ යළි,
වේවා ජයෙන් ජය..
ක්ලච්..
හැමදාමත් වාහන වල යන හින්දා
දඩයම් යුගයේ හිටි බල්ලා සිහි කැන්දා
ඌව උසි කවා දඩයම කර ගන්නා
විලසිනි රිය අසුන මත හිද වැඩ ගන්නා
ඔටුවෙකුගෙන්, ගොනෙකුගෙන් , බූරුවෙකුගෙන් බර වැඩ ගෙන තවලම් ද ගිය මිනිසා.. තවමත් උන් අත නෑරියද, ටවුමේ රිය නැවතුම් පොළේ උඩු මහලේ සිටිනා මට පෙනෙන්නේ හතර අතින් ඇදෙනා මොටෝ වාහනම පමණි.
මොටෝ සයිකල්, මොටෝ රිය, බස් රිය, තුන් සක රිය, හැම කාරිය කෙරෙන්නේ මේ රිය මතින්ම නොවේද, මොටෝ රිය අද බොහෝ සෙයින් ඔටෝ වූවාට තවමත් වැඩියෙන්ම ඇත්තේ මැනුවෙල්ය. මේ කේතුමතිය නොවෙනා හෙයින්ම බරට සද්ද දමන බස් වෑන් අස්සෙන් මගේ සිත් ගත්තේ මැනුවෙල් ගේ මේ ක්ලච් එකය.
"දෙවියනේ, මගේ මොළයත්, හදවතත් අතර නිරන්තරයෙන් මේ යුගයේ ඇති වී ඇති ඝට්ටනයට එක්තරා විසදුමක් නොවේද මේ ක්ලච් එක." මට ටවුමේ කොතෙකුත් රස්තියාදු වෙද්දී මෙලෙස සිතුණු වාර අනන්තය.
මගේ හිත ක්ලච් එක නම්, මොළය වනු ඇත්තේ ගෑස් පෙඩලයද? හදවත ජියරය නම්, සිත නැමැති ක්ලච් එක පෙත්තටම පාගා හදවතේ එකඟකමින් දමා ගන්නා හරි ජියරය ඒ එකඟකම නිසාම නිදහස් වන ක්ලච් එක නැමැති සිත හරහා මොළය නැමැති ගෑස් පෙඩලයට ලබාදී, වාහනයට අවැසි වේගය ලබා ගත නොහැකිද? හැබැයි හැම වේගයක්ම තීරණය කරන්නේ හදවත දමන ජියරය අනුව නොවේද?
පුඃ..
හැම දෙයක්ම වේගවත් වූ ලොවේ මේ ක්‍රමවේදය මට මගේ ක්රියාවලිය හැඩ ගස්වා ගැනීමට හොද යාන්ත්‍රණයක් නොවේද?
එතකොට බ්රේක් පැඩලය? එය වීරියයි. ජීවිතේ සමහර තැනකදී සිතත් ගතත් දැඩිව මැඩෙන්නට පෙත්තටම පෑගිය යුතුය. එනිසා බ්රේක් පැඩලය වීරිය ලෙස ගැනීමේ වරදක් නැති.
ඉදින් මේ අයුරෙන් යාන්ත්රීකරණය වූ මම, අනෙකුත් ඔටෝ මොටෝ අස්සේ දැන් යන්ත්‍රයක් පරිද්දෙන් ක්‍රියාත්මක වෙමි. මගේ වේගය සුපිරිය.
දැන් රස්තියාදු වන්නේ මගේම වාහනයේය.
මම වාහනේ රස්තියාදුවේ යන්නට තෙල් වැය නොවීම වාසනාවකි. හැබැයි ඊට වඩා වටිනා දෙයක් ඒ වෙනුවෙන් වැය නොවනවාම නොවේ.
කාලය, රන් හා සමානයැයි කියනු ලැබේ.
රස්තියාදුවේ යමි, ශුද්ධ වනු පිණිස මගේ වාහනයේ මළ..
එසේ නම් නැවත වතාවක්,
හමුවෙන තුරු රස්තියාදුවේ යළි,
වේවා ජයෙන් ජය..
Tuesday, October 2, 2012
පොළේ..
රස්තියාදු වීමට අපූරු තැනකි, පොළ.
සතියේ කවර දිනයක වේවා, ලාබෙට බඩු ගන්නට මෙහේ අපි යන තැනයි පොළ. ලාබෙට ඇති නිසාම ගන්නට කියා හිතා ගෙන අමතක වේයැයි හිතා කොලයක ලියා ගෙන ගිය වට්ටෝරුව පසෙක දමා, ලාබෙට දුන්‍නු ඒ දේවල් ගෙදර ගෙන එනවාද ඔබ? හරියට ඩොක්ට කෙනෙක් වෙනවා කියා පොඩි එකෙක් පටන් ගත්තු ජීවිත ගමන හෙට වෙනදේ අපි නොදන්නා නිසාම කොන්ඩොක්ට කෙනෙක් ගෙන් අවසන් වීම වැනි දෙයක් නොවේද එය?
ඩොක්ටත්, කොන්ඩොක්ටත් සමාජයකට එකසේ වැදගත්ය. නමුත් ඩොක්ට කෙනෙක් වෙන්නට සිතා සිටි පොඩි එකා ලොකු වෙනකොට කොන්ඩොක්ට දක්වා තල්ලු වූයේ ඇයිද යන්න සිතා බැලීමට වටී.
ලාබෙට දෙන දේවල් ගන්නට ජීවිතය හුරු කරගත් නිසා ඩොක්ට වනවාට වඩා මහන්සියෙන් තොරව ලාබ ලෙස කොන්ඩොක්ට තනතුර ලබා ගැනීමට ලොකු එකා වූ කල සිතුවාද?
අපි ලොකු වෙනකොට බොහෝ විට ලාබය ගැන සිතන්නෙමු. අපි ලාබය උදෙසා ගෙබිනමස්කාරයට පවා සූදානම් වන්නේ එනිසාය. සමහරෙක් බූරු නමස්කාරය ද කරති. (සත්වයින් උදෙසා පුද පූජා කරන මිනිස් ප්‍රජාව ගැන නොවෙයි මේ කතාව.) මොළේ කළදක් හෝ ඇත්තන්ට එය වැටහෙනවා ඇත.
අමුවට කා තරවී පසුවට මැෂිමක මළ ශුද්ධ කර ඇග බස්සවා ගන්නා ජාතියක්ද? අපි. නැත්නම් එසේ වෙමින් සිටිනවාද? මැෂිමෙන් ඩයිනමෝ විදුලියක්වත් අමතර වාසි හැටියට ලැබෙනවානම්! කමක් නැත.
හැබැයි පයින් ඇවිද මග තොට රට තොට රස්තියාදු වී (පිට්ටනියකට පැන බෝල ගසා) ඒ රස්තියාදු මළ ශුද්ධ කොට ජීවිතයට එක් කර ගත්තා නම් ලැබෙන අමතර වාසිය කෝටියකි, දෙපා ශක්තිමත් වී ඇඟ පාලනය වීමට අමතරව ලොකුම වාසිය නම් මොළයේ නහර හොදින් ක්රියාත්මක වීමට පටන් ගැනීමයි.
ලාබ නිසා වට්ටක්කා වෙනුවට බණ්ඩක්කා මිලට ගෙන හරියන්නේ නැත. අතේ ඇති මුදලට ගත හැකි වට්ටක්කාව සොයා ගත යුතුය. ඒ සදහා පොළේ රස්තියාදු වීමට සිදු වනු ඇත. නමුත් එයින් පාඩුවක් සිදු වන්නේ නැත. මන්ද අවශ්‍ය තාව වට්ටක්කාවකි.
අපි අද ජීවිත පැවැත්ම උදෙසා වෙළදපොළ ලෝකයේ ජීවත් වන්නෙමු. ලාබ නිසා අනවශ්‍ය දේ ජීවිතයට මිලදී ගෙන ජීවත් වෙනවාද? අවශ්‍ය දේ රස්තියාදු වී හෝ ලබා ගෙන ජීවත් වෙනවාද?......... තීරණය ඇත්තේ අප අතේ මුත්, බොහෝ දෙනා මෙහේ නම් පෙළඹෙන්නේ ලාබ ඇඩ් අනුව තීරණ ගැනීමටයි. හොද පාරිභෝගිකයෙක් වීම හොද මිනිහෙක් වීමට වඩා අගනේ යැයි කල්පනා වක් මෙහේ පහළ වෙමින් යන්නේ ඒනිසා විය යුතුය. හැබැයි මෙහේ එහෙම වූවාට කේතුමතියේ නම් එහෙම නොවේ යැයි සමහරු කියති.
කෙසේ හෝ වේවා,
පොළේ රස්තියාදු වීමත් ඒ රස්තියාදුව ශුද්ධ එකක් කර ගැනීමත් ඔබේ වගකීමකි. ඔබ වෙනුවෙන් පොළේ යන්නට මට බැරිය. ඔබේ අවශ්‍යතා හා ඔබේ පඩිය දන්නේ ඔබයි. ගන්නා දේ වළදන්නේ ද ඔබයි. එහි අජීරණයක් වූයේ නම් අනාගතයේ විදවන්නේද ඔබයි. මෙය කියවා අද සිනහසුනේ නම් එදිනට ඔබට මා සිහිපත් වනු නොඅනුමානයි, හැබැයි එය රස්ටාගේ අනුමානයක් පමණි.
ගිහින් එන්නම්,
හමුවන තුරු රස්තියාදුවේ යළි,
වේවා ජයෙන් ජය..
ගෙම්බෝ
මෙය ගෙම්බන්ට නිගාව පිණිස ලියන්නක් නොවන බව කරුණාවෙන් සැලකිය යුතුය. විශේෂයෙන් ඒ පණිවිඩය සත්ව හිතවාදීන් වෙනුවෙනි.
රටක ජාතියක බහුතරය ගෙම්බන් වූ විට එම ගෙම්බන් හැදින්වීමට වෙනත් පදයක් නොමැති බැවින් ගෙම්බා යන්නම භාවිතා කිරීමට සිදුවන්නේ තව දුරටත් එබන්දන් හැදින්වීමට වෙනත් පදයක් තවම භාවිතයේ නොමැති බැවිනි.
ගෙම්බා..
හඬ තැලීමෙහි අතිශය සමත් සතෙකි ගෙම්බා. මේ එවැනි ගෙම්බන් පිළිබදවය. ඡන්දය විනෝදය පිණිස භාවිතා කරන, කට වල්පල් සදහා භාවිතා කරන, ධර්මය ඇඩ් සදහා පාරිභෝජනය කරන, 2500 ක් ඉතිහාසය වෙන්දේසියේ හා පොළේ විකූණන, කද මෙහේ ඔළුව කොහෝ දැයි නොදන්නා නමුත් දෙපාද ඔහේ මෙහේ ගසා ගෙන සිටින, නිවට කමේ පෙත්තටම කප් ගසා සිටින මුත් ඒ බවද නොදන්නා, පීම්බී මිය යන තෙක් හරි අපූරුවට ජීවත් වෙන, ඛේදයත් , සාපයත් තැන නොතැන සැමතැනම මම දුටුවෙමි.
රස්තියාදුව උරුමයක් වී ඇති මෙහේ එබදු ගෙම්බෝ බොහෝ වෙසෙති. වරද මේ ගෙම්බන්ට පුද සත්කාර කරන ක්‍රමයක් මෙහේ තිබීමයි. අද මෙහේ පුද සත්කාර ලබන බොහොමයක් දෙනා මේ ගෙම්බෝය. මේ ගෙම්බන්ට ගෙම්බෙකුට වඩා මොළයක් නැත. උංට පුද සත්කාර කරන්නන්ට මොළයක් ඇත. නමුත් උං තම මොළ, ඔළමොල සේ ගෙම්බන්ට විකුණා ඇත. එබැවින් උනුත් ගෙම්බන්මය.
වගකිවයුතු මිනිසුන්ගේ කාර්ය භාරය මේ ගෙම්බන්ට උන්ට සුදුසු තැන ලබාදී මිනිසුන් ලැග සිටින මඩ වගුරු වලින් එලියට ඒමයි. ගෙම්බන් පුටු රත් කරද්දී මිනිසුන් මඩ වලේ ලැග ගෙම්බන්ට කරවීමට දීම ගෙම්බන් ගේම වූ ලෝකයක් තැනීමට ඉඩදීමකි. එනිසා ගෙම්බා උගේ ලෝකයට තල්ලු කොට අපි මිනිස් ලොවක් තැනිය යුතුය. ඒ සදහා භාවිතා කිරීමට මළ කෑ මොළ ශුද්ධ කොට මළ බැදුණු සිත් ශුද්ධ කොට තෙල් දමා ග්‍රීස් දමා එහි ක්‍රියාකාරිත්වයත් යාන්ත්‍රණයත් ශක්තිමත් කර ගත යුතුය. නැත්නම්, හෙට දිනයේ මිනිස් දරුවන්ට ඉතිරි වන්නේ ගෙම්බන්ගේ ලෝකයකි. වගකීමක්, වගවීමක්, යුතුකමක් නැති උංගේ ලෝකය හෙටට උරුම කරනවාද? හෙට වෙනදේ අප නොදන්නා නමුත් අපට හෙට දිනය මිනිස් දිනයක් කිරීමට සැලසුම් කළ නොහැකිද?
අතන මෙතන කොතන රස්තියාදුවේදීත් දකින ගෙම්බා හා ගෙම්බන් පිටු දැක උංගේ ගෙබිකම් උංට දැනෙන ලෙස පා පහරක් දී අහිංසක ගෙම්බා නොව ඒ ගෙම්බන් එළවීමට තරම් ඔබේ ජීවිත රස්තියාදුව ශුද්ධ කොට ලබා ගන්න පන්නරයක්..
හමුවන තුරු රස්තියාදුවේ යළි,
වේවා ජයෙන් ජය..
Monday, October 1, 2012
හෙට
මම හෙට කුමක් කරාවිද අසනවාට වඩා මට හෙට කුමක් සිදුවේවිදැයි ඔබ ඔබෙන් ඇසුවොත්,
එය ඇත්තෙන්ම තේරුමක් නැති දෙයකි.
සිදුවෙන දේ කලින් දැන ගැනීමේ නුවණක් සාමාන්‍ය මිනිසාට නැත. එහෙත් මම හෙට කුමක් කරාවිදැයි යන්නට පිළිතුරක් සාමාන්‍ය මිනිහාට සැලසුම් කළ හැක.
හෙට ගැන අපට ඇත්තේ අනුමානයක් මිස ප්පරත්ත්‍යක්ෂයක් නොවේ. ඊයේ ගැන නම් මට ප්රත්ත්‍යක්ෂය.
එහෙනම් මිනිස්සු ලෝක විනාශයක් ගැන මෙතරම් මාතෘකා කොට ගන්නේ ඇයි. එදා මෙදා කවදත් අනාගතය ගැන අනාවැකි තිබුණි. නමුත් මේ කොයි අනාවැකියත් සත්‍ය දැයි ප්රත්ත්‍යක්ෂ කොට ගැනීමට නම් ඒවා අතීතයට එක් වන තුරු සිටිය යුතුය. අපේ විනාශයක් නම් අතීතයට එක් වූ නමුත් එහි ප්රත්ත්‍යක්ෂයෙන් ඵලක් නොවනු ඇත.
අද මෙහේට වහිනවා කියා කීවාට සමහරවිට වහින්නේම නැත. විද්‍යාත්මක අනාවැකි එබදුය. වෙනත් ශාස්ත්තර වලින් කෙස්ගහට අනාවැකි කියනවා යැයි කියනා ඇතැමුන් පිළිබදවද අපට තැබිය හැකි විශ්වාස ඉතා අල්පය.
එසේනම් අනුමාන මත හුදෙක් යැපෙමින් ලෝක විනාශයක් පිළිබද සිහින තනාගන්නේ ඇයි. එක් අතකින් එය හොද වෙළදාමක් වන නිසා විය හැකිය. අනාගතය පිළිබද අනාවැකි හොද බිස්නස් එකකි.
එහෙත් එය අන්තිම නිෂ්ඵලය. කොතනදී හෝ කවදා නමුත් විනාශ වෙන සියල්ලක් මැද ජීවත් වන අපේ විනාශය පිළිබද අනාවැකි කුමට?
අද කළ යුත්ත අදම කොට නිමවා. හෙට කළ යුත්ත ගැන සිතනවා විනා. හෙට කුමක් වේදැයි අහස පොළව ගැටලීම විහිළුවකි.
හැම දෙයක් පිළිබදවම සෙවීම බැලීම උදෙසා කොපමණ රස්තියාදු වුවත් කම් නැත. රස්තියාදුව වටින්නේ අවසන එය ශුද්ධ කොට ගත් විට පමණි. නැතිනම් වන්නේ විවිධ මති මතාන්තර සිත තුළ සිරවී වේදනා ගෙනඒමය.
හෙට කළ යුත්ත මම අද රාත්තිරියේ සිතමි. සමහර විට හෙට මම නොසිටිය හැක. එය ලෝක ස්වභාවයයැයි රස්ටා දන්නා නිසා ගැටලුවක් නැත. නොමැරී සිටින්නට හෝ මැරෙන්නට කිසි විටකත් රස්ටා සිතන්නේ නැත. එහෙත් මරණය අප කාටත් උරුම බව රස්ටා තේරුම් ගෙන සිටින්නේය.
ජීවිතය රඟ මඩලක් යැයි වියතෙකු කීවාසේ,
රංගයේ අවසානය ගැන නොසිතා අපි එහි හොදින් රැඟිය යුතුය. රංගය පිළිබද තෘප්ත සිතක් ඇතිවන්නේ එවිටය. නිසි වේලාවේදී රංගය නිමාවී යනු ඇත. අප ඒ ගැන සිතා කලබල වන්නේ කුමට. එදා මෙදා කවදා ලොව පහළ වූවන්ටත් ඒ රංගය එයාකාරමය.
අපේ භුමිකා අපි සතුටින් රඟමු.
රස්තියාදු වෙමු රඟමඩලේ, හැම විටම ...
හමුවන තුරු රස්තියාදුවේ යළි,
වේවා ජයෙන් ජය..
Friday, September 28, 2012
සරුංගලේ
පොඩි කාලේ සෙල්ලං මතකයට නැගුණු නිසා අමතක ම කරන්න බැරි දෙයක් මතකයට ආවා. ඒ ඔස්සේ පොඩි කාලෙට හිතින් ගිහින් රස්තියාදුවක් ගහන්න හිතුනා.
දහයක් වූ ක්රීඩා අතරේ තිබුණු සුන්දර මතකයක්.
ඒ සරුංගලේ.
සරුංගලයක් හදන්න නම් සෑහෙන දෙයක් ඉගෙන ගන්න වෙනව, පිසික්ස් වගේ විෂයක්. හැබැයි, අපේ ලඟ හිටි අය ඒ මොකුත් නොදැන හිටියට හරියටම සරුංගලයක් බැලන්ස් වන විදිහත්, කූරියා ගහන්නෙ නැතිව උඩ යවන්න සකසන විදිහත් දැනගෙන හිටිය.
අමාරුවෙන් අමාරුවෙන් හරි අනුන්ගෙ සරුංගල් අතර රස්තියාදු වෙමින් මටම කියල උඩ අරින්න නයෙක් හදාගත්තෙ ටිකක් වැඩ දාල.
සරුංගල් කාලෙට ගමේ ගොඩේ කවුරුත් වෙලේ නියරේ කරක් ගහනව සරුංගල් අරින්න මෙහේ ඒ දවස්වල. මමත් මේ රස්තියාදුවෙන් මිදුනේ නැහැ. එකක් උඩ අරින්න ගත්තම වරුවක් ඒක ආකාසෙ හිනි පෙත්තටම යවන්න තරම් කප්පිත්තොත් හිටිය.
දිනක් මගේ නයා සමඟින් මා වෙල් නියරේ ලත වෙමින් හිටියේ පියාද සමඟින්. අප දෙදෙනාටම උඩ යවා ගත නොහැකි පරිදි නයා සරුංගලය මොකක්දෝ ආබාධයක් කියා පෑවා. ඒ අතර මෙහේ කොලු නඩයේ කෙනෙක් අපේ උදව්වට පැමිණීම අපට සහනයක් වුනා. නයාගේ වලිගයට වෙල් නියරෙන් ගත් වල් පදුරක බර එකතුකළ විට මෙන්න මේක උඩයනවා. අදහස කොලු අයියාගේ. වැඩේ කිරිගහට ඇන්නා සේ.
නොහිතන විදිහට උඩ යන්න ගත්ත නයා සරුංගලේ බලන්න අපේ කොලු නඩේ එකිනෙකා අප සිටි තැනට එක් වුනා. කෙතේ නියරේ කොතරම් සරුංගල් සමඟින් රස්තියාදු වී තිබුනත් මෙතරම් ජයක් නොලද නිසා මා සිටියේ උද්දාමයෙන්. ඔන්න දැන් බෝලේ නූලත් දිග මදිවෙන ගානයි.
ගෙදර තියෙන අම්මගේ මැහුම් ගෙතුම් වල නූල් බෝල එක එක එලියට ඇද්දෙ තාත්තගෙත් අවසරයෙන්.
ඔන්න මේ වෙන කොට අපේ සරුංගල් කප්පිති අයියෙක් එයාගෙ සරුංගලේ උඩ අරින්න පටන් ගෙන තිබුනෙත් අපට නුදුරු තැනක ඉදන්. ඒ සිද්ධියත් දැන් ගොඩක් වෙලාවක ඉදන්. නමුත් ඒක උඩ යන්නෙ නැහැ, හුළං ප්පරශ්නයක් වගේ. ඒක හින්ද වෙනද කප්පිත්ත වටේ ඉන්න කට්ටිය අද මගේ වටේ. මොකද අහසෙ ඉන්නෙ මගේ සරුංගලේ.
සාමාන්‍යයෙන් කප්පිත්තෙක් වැඩේ අතාරින්නෙ නෑනේ. එනිසා ඔන්න අනෙත් පැත්තෙනුත් දැවැන්ත සරුංගලයක් අහසට නැගෙන්න ගත්තා ටික වෙලාවකින්ම. දැන් කට්ටියගෙ ඇහැ ඒ පැත්තටත් යනවා. ටිකකින් උඩු හුළඟට අහුවුනු ඒ සරුංගලේ ප්පරමිතියෙන් උසස් නිසා වල් ගසක් වලිගයට ගැට ගැසූ මගේ නයා සරුංගලයට වැඩියෙන් උඩ යන්න ගත්තා. මං හිතන්නේ ඒක උකුසු සරුංගයක්.
දැන් මං වටේ හිටිය නඩේ එකා දෙන්නා ඒ පැත්තට ඇදෙනවා. මගේ සරුංගලේ නූල කඩලාද කැඩිලාද එක පාරටම ඒක ගහගෙන යන්න ගත්තා ආකාසේ හුළඟට ඕනෑ විදිහට. මගේ ලග උන්නු අවසන් කොලු අයියාත් නූල අතහැර යන්න ගියා.
දැන් මමයි පියාණනුයි පමණයි.
ආපහු දැන් ඒ ගැන හිතනකොට දැනුනේ ජීවිතයත් මේ වාගේ නොවෙද කියල.
අපි තනිවෙනවා, ආකාසේ ඉන්නකම් පමණයි පිරිවර..
අවසරයි එහෙනම්, ගිහිං එන්න.
හමුවෙන තුරු රස්තියාදුවේ යළි,
වේවා ජයෙන් ජය..
Wednesday, September 26, 2012
4 සෙල්ලං
හැම දෙයක්ම එකකට එකක් බැදෙනවා. සම්මාන , සත්‍ය , ප්රශ්න , සෙල්ලං
මේවා එකකට එකක් හරි ලස්සනට ගැලපෙනවා. සම්මාන ගන්න සත්‍ය ප්රශ්න ආස්සරෙන් කොච්චර සෙල්ලං තියෙනවද සමාජයේ..
ඒක පැත්තක තියමු.
දැන් පරිගණක සෙල්ලම් වලට වඩා ඉස්සර තිබුන එළියෙ කරපු හොද සෙල්ලම්. පොඩිකාලෙ කල ඒ සෙල්ලං කාට කොහොම අමතක නූනත් ලොකු කාලෙ ඒ සෙල්ලං වලට වඩා වෙනස් ලොකු ලොකු සෙල්ලං කරන්නයි කවුරුත් කැමති.
හොද හොද සෙල්ලං එලිවෙන ජාමෙට නිසා වෙන්න ඕන හැම දෙයක් එක්කම යන හොද හොද සෙල්ලං මේ දිනවල අපි කවුරුත් දකින්නේ.
කාගෙ කාගෙත් සෙල්ලං බලල සන්තෝස වෙන මානසිකත්වයක් හැදිල තියෙන නිසා ම අපිටත් දැන් මේ සෙල්ලං නොබල ඉන්න බෑ , බොහෝ විට.
ඒත් ශරීරෙ වෙහෙසල ක්කිරීඩාශීලිත්වය මතුවෙලා අභියෝග ඇතිවෙලා කරන්න සිද්ධ වෙන ක්රීඩාවක් තරම් මොනම සෙල්ලමක්වත් වටිනවද? සැබෑ අපි බලන්න ඕන සෙල්ලම් ඒවයි.
මිනිස්සුන්ගෙ තරුණයන්ගෙ ඇස් වලට වැලි ගහල සෙල්ලං කරන උදවියගෙ සෙල්ලං බල බල රෑ ප්පවෘත්ති වලට හිනාවෙන වට වැඩිය වෙනත් හොද සෙල්ලමක් අපිට හොයාගන්න බැරිද?
මොකද හැමදේටම හිනා වෙන්නත් රවන්නත් පුරුදු වුන මිනිස්සු ඉන්න සමාජයක් ඉක්මනටම විනාශ වෙලා යන්න පුලුවන් නිසා.
මේ නොයෙක් සෙල්ලං එක්ක අපිට කරන්න තියෙන්නෙ බලා ඉන්න එක විතරද? පිළිතුර- නැත.
සෙල්ලං නොබලා ඉදීමෙන් සෙල්ලං පෙන්නන එක නතර කරන්නත් පුලුවන්. මොකද අද ගොඩක් මාකරිං රේටිං එක්ක යන සෙල්ලං වලදි ඒ සෙල්ලං අපි බලන්නෙ නැතිනම් ඒව ඉබේම නවතිනව.
තොරතුරු කියල සම්ප්පරේශනේ වන හැම දෙයක්ම ප්පරධානවම වෙළදාමට මිස අපට අදාල සෙල්ලං නොවෙයි. අදාල දේ තීරණය කරන්න අපිට හැකිවෙන්න ඕන.විශේෂයෙන් ඇගේ ලේ කකියන තරුණයන්ට මේ ගැන ගොඩක් හිතන්න වෙනව.
ජීවිතේදී මෙහේ හැමෝම රස්ටා වගේ රස්තියාදු වෙලා තියෙනවා කීප විටක් හරි. සාමාන්‍යයෙන් මිනිස්සුනම් ඒක පොදුයි.
ඒ රස්තියාදු වලින් ගත්ත දේ ඇගට දැනුනු දේ අශුද්ධ විදිහටම කුණු ගොඩක් කර ගෙන ඒ කුණු වලටම බැන බැන ඉන්නෙ නැතිව, ප්රමිතියෙන් මිදිල සැබෑ සත්‍ය අනුසාරයෙන් ඒ කුණු පෙරා ශුද්ධ කරගෙන ජීවිතේට ගන්නව නම් ප්රමිති ගත සත්‍ය තුළ පෙන්නන මේ සෙල්ලං වලදි ඒවට අහු නොවී තමන් ඉන්න ඕන හැටි, තමන්ට කරන්න පුල්වන් දේ තමන්ටම තේරුම් ගන්න ඇහැකි.
ප්රතිපත්ති ගරුක තරුණයෝ අනාගතයට ලොකු හයියක් වේවි අපේ..
එහෙනම් කියන්න හලෝව් රස්ටා කියලා,
අදට මේ ඇති
හමුවෙන තුරු රස්තියාදුවේ යළි,
වේවා ජයෙන් ජය..
?
2සත්‍ය. ට පස්සේ කුරුල්ලා ගැන රූප දෙකක් ඇමුනුවෙ යමක් දැනෙන අයට සත්‍ය ගැන දෙයක් හිතාගන්න.
http://hallowrusta.blogspot.com/2012/09/blog-post_1053.html
3?
මේක තරම් දෙයක් තවත් නෑ. ප්රශ්න.. අපි කතා කරන්නම කැමති ජාතියක්. ප්රශ්න උත්තර නැතිව හරි කමක් නෑ, කතා කරන්න තියෙනවනම්. සමහරු මේ ගැන හිතන්නෙ එහෙමයි.
ඒත් බලාපොරොත්තු වෙනව නම් හොයාගන්න හැම ප්පරශ්නයටම උත්තරයක් තියෙනවමයි.
බස් එකක දුර ගමනක් යනකොට රස්ටට කොච්චර නම් ප්පරශ්න ඇහැ ගැහෙනවද? ඇත්තටම ජීවිතේ තියෙන්නෙ අපි එක එක්කෙනාට තියෙන ප්රශ්න විසදගන්න ලැබෙන කාලයක් හැටියට නොවේද?
ප්රශ්න ඔලුවෙ තියාගෙන ඔලුව බිම තියාගෙන ජීවත් වෙන්න ඕන නෑ.
ප්රශ්න දැන ගෙන ඒව තේරුම් අරගෙන විසදගන්න මාර්ගෙක ජීවත්වෙන්න අපිට බැරිද?
ප්රශ්න ලකුණ අගට එන හැම දෙයක්ම ප්රශ්න නෙවෙයි. සමහර දේවල් අපට ඒවයෙ ස්වභාවය තේරුම් ගන්න බැරිකම නිසා අපිම ප්රශ්න ලකුණ දා ගත්තු ඒවා. අර මං කිව්ව ප්රමිති ගත සත්‍ය හා සැබෑ සත්‍ය පිළිබද තේරුම් ගන්න බැරි වුනාම රස්ටාටත් ජීවීතේ ලොකුම ප්පරශ්නයක් නොවුනා නොවේ විටෙක.
නමුත් ප්පරමිති ගත සත්‍ය හා අනුගතව පැවැත්ම තබාගන්නා අතරම සැබෑ සත්‍ය මත දෙපා තබාගෙන සිටියොත් බොහෝ දේට පිළිතුරු අපට ගලාගෙන එන්නෙ නොහිතන විදිහට.
එතකොට තව දුරටත් ප්රශ්න ලකුණක් හිතට ගේන්නෙ දුකක් නොවෙයි, සතුටකූත් නොවෙයි. අවබෝධයක්, සමහර විට ජීවිත අවබෝධයත් ඒක වෙන්න පුලුවන්.
ඕන දෙයක්,
බස් එකක පොඩ්ඩක් දුර ගමනක් යනකොට අර කීවාසේ ප්රශ්න අප ඇහේ ගැටෙද්දී ඒවා දෙස සැබෑ සත්‍ය අනුසාරයෙන් බලන්න පුලුවන් කමක් තිබුනොත් අපේ රස්තියාදුව ශුද්ධ වී ජීවිතේට තවත් දෙයක් එකතුවුනා වගේ දැනෙන්නේ නැතිද? මේක ප්රශ්නයක් නොවේ ලකුණ දැම්මාට,
අවබෝධයක්.
බස් එකේ නොවෙයි, පයින් වුනත් ගමනක් නිකං රස්තියාදු වෙන ගමනක් නොවේවි තවදුරටත්, එතකොට.
ඒක නිසා හොයාගන්න උනන්දුවෙන්න ප්රමිතිගත සත්‍යයෙන් එහා ලෝකය.. ඒක තමන්ගෙ පුංචි සරීර කූඩුවත් ඕක ඇතුළෙ තියෙන හිතේ රස්තියාදුවත් අනුසාරයෙන්ම තේරුම් ගන්න බැරි කමකුත් නෑ. දහමේ කියවෙන ආකාරයටම ශුද්ධ විය යුත්තේ හිත, සිතිවිලි.
රස්ටාගේ රස්තියාදුවත් එහෙමයි. පයින් නොපයින්..
4සෙල්ලං
2 සත්‍ය
සත්‍ය ගැන කතාකරන්න කලින් සම්මාන ගැන කතා කරේ මෙහේ බොහොමයකට වටින්නෙ සත්‍ය නොව සම්මාන නිසා. ඒක නිසාම සමහරු සම්මාන වෙනුවෙන් ඇත්ත කතාකරන්නත් පෙළ ගැහිලා ඉන්නවා.
වඩා වටින්නෙ ඇත්ත නොවේ. සම්මාන.
ඒක නිසාම මෙහේ බොහෝ දෙනාට සම්මාන ලැබෙනවා. පදවි තනාන්තර ලැබෙනවා. සත්‍ය දෙකට දානවා.
එනිසා සම්මානෙ එකට සත්‍ය දෙකට
කොහොම වුනත් ඇත්ත සත්‍ය කියන දේ මෙහි අද වලංගු නැහැ. සත්‍ය කියන එකේ සැබෑම අර්ථයෙන් අද මෙහි එය කියන්නට බැහැ. සත්‍ය ප්පරමිති ගත කළ යුතුයි. එය දේශපාලනික නම් රාජයේ ප්පරමිතියත්, ආගමික නම් සම්ප්පරදායේ ප්රමිතියත් රැකිය යුතුයි. නැත්නම් වෙළදපළ ප්පරමිතිය.
ඉතිං රස්ටා තැන නොතැන රස්තියාදුවුනේ ගොඩක්ම තාරුණ්‍යයේ ඉද්දීම මේ සැබෑ ඇත්ත හොයා ගන්න.
මොකද අපිට ඉස්කෝලෙදි වාසනාවට වගේ (අපේ කාලේ හොද නිසාමත්) ඔය ඇත්තම ඇත්ත ගැන පොඩි ඉගියක් දීල තිබුන. ඒක අපි ඉස්කෝලෙන් අවුට් වෙද්දිම හරියට අහසෙ ඇදිල තිබුන දේදුන්නක් වගේ මැකිල ගියා.
අපි බැහැපු සමාජයේ තිබුනෙ ප්පරමිති ගත කළ ඇත්ත. හැබැයි ඒ ඇත්තට පුරුදු වෙන අයට පුදුම වාසි. රස්ටගේ අහේතුවකටද වාසනාවකටද දන්නෙ නැහැ එකපාරටම මේ ප්පරමිතිය පිළිගන්න රස්ටට පුලුවන් කමක් තිබුනෙ නෑ.
නමුත් තැන නොතැන රස්තියාදු වෙද්දි මේකෙ ස්වරූපය රස්ටට අහුවුනා. මේක නිකං වතුර වගේ දාන භාජනයේ හැඩය ගන්නවා. ප්පරමිති ගත සත්‍ය එහෙමයි. නඩුවක් අහනවා වගේ පැවැත්ම නැමැති භාජනයට අදාළ විදිහට සත්‍ය නැමැති ජලය ගලපනවා. අපි ඒක පිළිගන්නවා. නමුත් පැවැත්ම විතරයි, සැබෑ ම සතුටක් හොයාගන්න අමාරුයි.
එනිසා මම මුලින්ම ඇරඹුමේ කීවාසේ නූචිතයාට අවනතිය හිමිවන නිසා රස්ටා තමන් රස්තියාදුවෙන් සොයාගත් දෑ ශුද්ධ කොට සැබෑ වූ සත්‍ය වෙනමත් ප්පරමිති ගත සත්‍ය වෙනමත් භාජන දෙකකට දමා ගත්තා සැබෑ ලෝකය තුළ නිර්මිත ලොවත් සැබෑ සත්‍ය තුළ නිර්මිත සත්‍ය ගැනත් කතිකාව එහෙමයි.
සැබෑ ලොව තුළ සැබෑ සත්‍ය නොවෙනස්, නිර්මිත ලොව තුළ නිර්මිත සත්‍ය ගතිකයි. දහමයි විද්‍යාවයි කියන්නෙත් එක්තරා විදිහකට මෙයම තමා යැයි රස්ටා ඔලුවට දමාගත්තේ රස්තියාදුව ගැඹුරටම ශුද්ධ කොට අවසානයේ.
හලෝව් රස්ටා... මට එය සතුටකී. අදතරුණ වියේම මා මේ සත්‍ය නොදුටුවා නම් මට සිදු වන්නේ මහ විපතකී. මා නිර්මිත ලොව තුළ ගතික වූ නිර්මිත සත්‍යයේ අතරමං වෙනවා නොවේද?
http://hallowrusta.blogspot.com/2012/09/blog-post_1053.html
?
1 සම්මාන
මේ සිද්ධිය වුනේ ගිය වසරේ අග බාගෙ.
කවද කොතැන වුනත් අපේ මිනිස්සුන්ගෙ සරල සාමාන්‍ය චින්තනේ තියෙන්නෙ කාණු පල්ලෙද කියල අහන්න හිතෙන එකක්. එහෙම අහන්නෙ තරහකට නොවෙයි. දැන් මිනිස්සුන්ගෙ ආර්ථ්කමය මූඩ් එක බිදිල සාමාන්‍ය මිනිස් මූඩ් එකකට එන්නෙ ඒ වගේ වචනවලට නිසා. හැබැයි තව ටික දවසකින් නම් මොන වචනෙකටවත් මාකටින් මූඩ් එක කඩන්න අමාරු වෙයි මෙහේ සාමාන්‍ය කන බොන මිනිස්සුන් ගේ, නම්.. ඒක රස්ටගේ සිතිවිල්ලක්..
හරි ඒ කතා පැත්තක තිබුනාවේ..
සම්මාන උළෙල තරුණ පරම්පරාව උදෙසා රාජ්‍ය තරුණ ආයතනක මැදිහත්වීමෙන් පළාත් මට්ටමින් පැවති එකක්. ඒ මට්ටමේ තියෙන ප්පරධානම එක කිව්වොත් හරි.
ඔන්න ඉතිං මේක පටන් ගන්න තිබුනෙ හවස් වරුවේ. නමුත් මෙහේ වෙලාවට වැඩ ගොඩක් ඔර්ලෝසු විතරයි. අනෙක් දේවලට වෙලාවක් ඇත්තෙම නෑ. ඉතිං රස්ටාත් තමන්ගෙ යාලුවොත් එක්ක මෙතැන රස්තියාදු වුනේ තමන් ඇතුළු පිරිසටත් ආරාධනාවක් තිබූ නිසා.
කොහොම හරි අවේලාවට උළෙල ඇරඹුනා. එක එක අංග විශේෂාංග මැද්දෙ සම්මාන දෙන්නත් පටන් ගත්ත. රස්ටාටත් එකක් නොව සම්මාන කීපයක්ම තිබුන. හැබැයි මීට කලින් එකක් දෙකක් හරි ලැබිල තිබුණු සම්මාන වලට වඩා මේ සම්මාන විශේෂයි. මොකද මේවගේ අපේ විස්තරය සටහන් කරල තිබුනෙ කොල කැබැල්ලකින් සම්මානයට අලවලා.
ජීවිතේට පළමු වතාවට මෙහෙම ඇගයීමක් ලැබුන නිසා රස්ටා මේ ගැන විපරම් කළේ ඇත්ත දැනගන්නා අටියෙන්.
ඒක ප්පරමාද දෝෂයක්ලු, ඒවා මෙහේ දේශපාලන මට්ටමේ සිට සුපුරුදු උත්තර නිසා ඇවිත් හිටපු පාලිමේන්තු මන්තිරිටත් ඒක ප්පරශ්නයක් නොවේ. හැබැයි රස්ටාට මේක දැනුනෙ නම් සම්මානයකටත් වඩා නිග්ගරහයක් හැටියට.
රස්ටා ලැබුනු සම්මානය අනෙක් පැත්තෙන්ම ආපහු එහෙට බාර දීල ආවෙ ඒ නිසා.
ඒව මාසයක් විතර අදාළ තැනම තිබුනා.
නමුත් මාපියන් හා තවත් පිරිසක් වෙනුවෙනුත් මෙතනටත් ඔබ්බෙන් ගිය තරගාවලියකුත් නිසා මේ සම්මානනීය නොවූ සම්මාන ගැන කතාකරන්න රස්ටට සිද්ධ වුනා. අවසානෙට සිද්ධ වුනේ සම්මාන බලෙන් ලබාගන්න සිද්ධ වීමක් වගේ දෙයක්. ඒක හරිම විහිළුවක්, ජුගුප්සාජනකයි.
විශේෂම කණගාටුව මේ සම්මාන උළෙල කලාවට සම්බන්ධ එකක් වීමයි. රාජ්‍ය අනුග්ගරහය තිබුන එකක් වීමයි.
මෙතන තමන්ගෙ රාජකාරිය වගේම ඒ ගැන වගකියන්නෙ නැති ප්පරශ්නයත් තිබෙනවා. සිදුවීම සුළුද නැතිද කියන එක හරි වැරද්ද සම්බන්ධ ප්රශ්නයක් නොවේ. වගකීමක් නැති කම මෙහේ ඉහළ සිට පහළටම දරුණු විදිහට වැළදිලා. බරපතළම දේ ඒ වගකීම් විරහිත භාවය කාටත් නොදැනෙන තරමට ගිහින් තියෙන එක. ලෙඩේ තියෙනවා කියලා රෝගියා දන්නේ නැතිකම.
සම්මාන ගැන කතා කරනවනම් මේ ලගදි චිත්තරපට සංස්ථා භූමියේ පැවති තවත් එකක පසුබිමේ කතාව හරිම ඛේදයක්, නමුත් ඒ දේවල් ගැන කතාකරන්න හෝ ඒ ගැන කතාකිරීම හෝ තවත් ඵලක් නැහැ. එනිසා ඒ ගැන කතා නොකරම ඉන්නම්.
සම්මාන ගැන රස්ටා මේ රස්තියාදු වීම් ඔස්සේ එක් දෙයක් තේරුම් ගත්තා. මගේ ජීවිත රස්තියාදුවේ තව දුරටත් සම්මාන හෝ සම්මාන වෙනුවෙන් තරග හෝ තවදුරටත් වලංගු නැහැ යන්නයි ඒ.
තරුණයන් වෙත අශ්වයා හා කැරට් අල වන මේවායින් වන්නේ පිට කොන්ද කඩා ගැනීම පමණයි. අවසානයේ වයසට ගිය දාට කොන්දක් නැති අඩුපාඩුව දරාගන්න රස්ටාට නම් බැහැ.
ජීවිතේ කියන්නෙ ඕව මේව නෙවෙයි. හොයාගන්න තියෙන දේවල් බොහොමයි. තරුණ කාලෙම ඒ දේවල් තේරුම් ගත්තෙ නැත්නම් දුකම තමයි ඇත්තට. බොරුවට නම් පට්ට සන්තෝස.. ඒවා මොකට මට,
ඒකයි තවම අත නාරින්නෙ රස්තියාදුව, ශුද්ධ සිතින්..
2 සත්‍ය
නිවාඩුවක්
අද මට නිවාඩු දවසක්.
හිතේ හැටියට රස්තියාදු හිත නිදහස් කරන්න පුළුවන් ශුද්ධ වෙන්නම.
මෙහේ ගොඩක් දෙනාටනම් රජකාරි අතර වුනත් ගොඩක් නිවාඩු බව පෙනෙන්නෙ, දකින්නෙ, දැනෙන්නෙ අපිට තැන තැන රස්තියාදු වෙන්න ඒකත් කදිම හේතුවක් ව ඇති නිසාමයි.
ඒ කොහොමද? ඒක එක කතාවකින් සරලව කියනවනම් ,
තමන් තමන්ගෙ රාජකාරි හරි හැටි ඉටු නොකරන බොහෝ තැන්වලදි අපිට රස්තියාදුවක් ගහන්න වෙනව කාලෙ කකා. ඉතින් ඒ රස්තියාදුව ශුද්ධ වූවක් කරගන්න බැරි විට අපි හිත නරක් කරගෙන දවසම මූඩ්පේන්තු කර ගන්නව. සමහරවිට දේසේ හැටියට වාසේ කියල තියන කියමන මෙහෙට වඩාත් ගැලපෙන්නෙත් ඒ නිසාම වෙන්න ඇති රස්ටාට.
කතා කරන්න වටින දේවල් කීපයක්ම තියනව මෙහේ,
රස්ටාට කියන්‍න තියෙන්නෙ මේ දේවල් හිත හොට් කරගන්න දෙන්න නෙවෙයි කාගේවත්.
නිවට නොවෙන්න, නිවට බවත් ඉවසීමත් මෙහේ පැටලිලා.. නැත්නම් පටලලා.. ඒ නිසා තරුණ සමාජෙම නිවට චින්තනයකට තල්ලු කරලා.. නැත්නම් තල්ලු වෙලා මේ ටික කියන්න හිතුනෙ ඒකයි.
මේ කතාවෙදි පෙළ ගැස්මක් ඕන කියල මට දැනෙනවා.
අද නිවාඩු නිසා මට හැමදේම එකින් එක ලියන්න පුළුවන්. කැමති කෙනෙකුට කියවන්නත් පුළුවන් අකමැති නම් ඒත් කියවන්න පුළුවන්..
එහෙනම් 1 සම්මාන ගැන කතා කරමු අපි,
Monday, September 24, 2012
මගේ ආදරේ ?
මම ඉන්නම් ඔබ එනකම්
ඔබ එනකම් මම ඉන්නම්
මෝල් ගහේ දළු ලන තුරු
කලු කපුටා සුදු වන තුරු
හරි සතුටින් මම ඉන්නම්
ඔබ එනකම් මග බලමින්
ආවෙ නැතිනම්
හරි දුකකින්
ලතැවිලෙන්
පසුතැවිල්‍ලෙන්
වේදනාවෙන්
මොරගාමින්
හිත ඇතුලෙන්
පෙම් කරමින්
යළි හඬමින්.. යළි හඬමින්.. යළි හඬමින්..
මම ඉන්නම්...
ටික කාලයකට ඉහතදී ආදරේ ගැන ඒ විදිහෙ පොඩි ගීතයක් ලීවෙ කෙටි නාට්‍ය ජවනිකාවක කියන්නයි.මේක ගැයීමත් කීමත් එකට බැදුනු පද ගැලපුමක් හැටියටයි ලීවෙ. ඒ කාලය ගැහැණු ළමයි නිසා කවදාවත් රස්තියාදු නොවුන රස්ටාට ත් එපා වෙන තරමට තැන තැන රස්තියාදු වෙලා හිටිය කාලයක්.
වෙනකක් නිසා නොවෙයි හදවත කඩා ගෙන ඇතුළටම බැස්සයි කියල හිතපු එක ආදරයක් නිසා..
දැන් රස්ටාගේ ජීවිතේ ඉදිරියට ගලා ගෙන ඇවිත් අවුරුදු කීපයකින් පෙරට.
තවමත් මට හිතෙන්‍නෙ අර කව්ද කියල තිබුන වගේ සැබෑ ආදරේ යනු ඇහැට ගියපු කොච්චර ඇඬුවත් එළියට නොඑන රොඩ්ඩක්ම තමා. ඇහැ තියෙනව කියල දැනෙන්නෙ ඇහැට රොඩ්ඩක් වැටුනම තමයි. ඒ වගේ නොවෙද ආදරේ ජීවිතයට දනවන්‍නේ...
ගොඩක්ම ගන්ධය ටත් වඩා නහය තියෙනවයි කියල දනවන්නෙත් හෙම්බිරිස්සාව තමයි.
ඒ වගේ,
ආදරේ ගැන හිතා ගෙන ඉස්‍කෝලෙන් පස්සෙ රස්තියාදු වුනා කාලයක්. හැබැයි ඒක ශුද්ධ ආදර සිතින් කළ රස්තියාදුවක් නිසා කොයි කලකවත් කාටවත් අයහපතක් වුනේ නෑ. වැටහුනා ටික කලකින්ම රස්ටට ආදර හෙම්බිරිස්සාව හදවගන්නත් බෑ අපේ උවමනාවටම, ඒක හැදෙන්‍නෙ ඇත්තටම ආදර වැස්ස වහිනදාට තෙමීමෙන් තමයි කියල. ඒත් ඉතිං තෙමුණු තරමටනෙ හෙම්බිරිස්සාව හැදෙන්‍නෙ. නිකං ආසවට වයසෙ වැරැද්දට තෙමුණ කියල ඒ සෙම්ප්පරතිශ්‍යාව හැදෙන්‍නෙ නෑ. නිකං කිවිසුම් යනව විතරයි.
රස්ටගෙ ඇහැටත් වැටුණු රොඩ්ඩක් තිබුනා. කොච්චර ඇඬුවත් එළියට නොගිය ඇහෙන්..
ඒකයි බලානෙ ඉන්‍නෙ තවමත් වහී කියල ආදර වැස්සක්.
හ්ම්..පෙනෙන මානෙක නිකං වැහිත් නැති එකේ තවම හිතන්න බෑ...
ඒත් ගොරවන්‍නෙ නැතිව වහින වැහිත් තියනවනේ,
ඒ නිසා ඉන්නෙ හරි අවධානෙන්.
තවදුරටත් ශුද්ධ සිතින් තමන් ගෙ ආදරයක් වෙනුවෙන් රස්තියාදු වෙන්න හැකියාවක් තවත් රස්ටාට නැහැ. වෙන ආදරයකට උදව්වක් දෙන්න මිස රස්ටා ආයෙ වීදි බහින්‍නෙ නෑ .............
මගේ ආදරිය හොයන්නනම්.
එනිසා බකං නිලාන ඉන්නම්
එන තුරා ආදර මල් වැස්සක ලකුණු
පනින්නට පිම්‍මේ මිදුලට
ගෙයි එලිපත්තෙන්
එතෙක්,
එහෙනම්,
අපි,
හමුවෙන තුරු රස්තියාදුවේ යළි,
වේවා ජයෙන් ජය..
Saturday, September 22, 2012
සතුට
මේක සිද්ධවුනේ මාස කීපයකට කලින්.
මම මගේ යාළුවෙක් සමඟ වාඩිලාගෙන හිටියෙ ගල් පඩියක් මත. අර දාඩියත් නිවාගෙන කලින් ආ ගමනෙ එක්තරා නැවතුමක. හිටයෙ එළිමහන් වේදිකාවක් තියන හරිම නිදහස් පරිසරයක. මෙතන අපි නිතර කතාබහට මුණගැහෙන තැනක්.
එදා උදේ බලපු සිනමාවක වගතුග මං කියමින් හිටියෙ මිත්තරයට.
මෙතනට බොහෝ දෙනා එනවා, යනවා. මෙතනින් අනෙක් පස තියෙන්නෙ පුංචි ගෘහස්ථ ක්කිරීඩාගාරයක් කියමුකෝ. ඒ නිසාම,
ක්කිරීඩක/ඩිකාවෝ මෙතනට එනවා යනවා.
අනිත් කණ්ඩායම ළා පෙම්වතුන්. ඔවුන්ට ඉතිං එළිමහනේ කියල යන්න වෙන තැන් කොහෙන් හොයන්නද? නිකන් කතාවට මේ විස්තර කිව්වේ පරිසරයෙ ස්වභාවය තේරුම් යන්න.
අර්ධ කවාකාර ආසන බැමි ඉහළට ඉහළට පේළි හත අටක් ඇති. මේ මැද්දෙයි තියෙන්නෙ එළිමහන් වේදිකාව.
ඔන්න අපේ කතාබහ බරටම ඇදී යද්දී අපිට පරිසරයෙ අලුත් දසුනක් නිර්මාණය වෙනව කියල දැනෙන්න ගත්ත. කෙනෙක් දෙන්නෙක් මෙතනට යනවට එනවට වඩා මේක වෙනස්. ආවෙ වෙඩින් කපල් එකක්. හැබැයි බලපු බැල්මටම අපිට මේකෙ පෙනුන විශේෂත්වයක්. මනමාලයයි. මානමාලියො දෙන්නයි.
දැන් මමයි මිත්තරයයි කතා කරනවා. හැබැයි අපේ හිත අර ඡායාරූප වලට පෙනී ඉන්න ජෝඩුව ගැන.
"මේ පත්තරේකට ගන්න වෙන්න ඇති නේද?" මිත්තර කට අවදිකලා සිද්ධිය වෙනුවෙන්.
"එක මනමාලියෙක් එක්ක තියලනෙ ගන්නෙ, මට හිතෙන්නෙ වෙන සිද්ධියක්." මම ආපහු ඒ පැත්තට ඇහැ දැම්මා.
එක මනමාලියක් උඩරට ක්කරමේ, අනෙක් තැනැත්තී බටහිර ක්කරමේ. බටහිර විදිහට ඇන්ද මනමාලයා පොටෝ ගන්නෙ උඩරට කෙනත් එක්ක විතරයි.
මෙතන වටපිටාව ගස්කොලන් ගැවසුන නිසංසල තැනක් නිසා. එක එක කැමරා කෝණ වලින් කැමරාමන් පොටෝ ගහනව.
අපිට මොටද අනුන්ගේ ගැටපොළොස් කියල හිතන්න ගියේ නැත්තෙ රස්ටාගෙ හිත ශුද්ධ නිසා. බැලුවෙ සිද්ධිය තේරුම් ගන්න අදහසින්මයි. මිත්තරයටයි මටයි පොඩි ප්පරශ්නයක්.
"ඇත්ත නේන්නම්, තුන්දෙනාම ආවේ පත්‍තරේක පොටෝ වැඩකට නම් එක්කෙනෙක් විතරක් මගඇරල පොටෝ ගහවියැ?"
මේ උදවිය එක්ක තව ගැහැණු ළමයෙක් හා පිරිමි ළමයෙකුත් හිටිය. නිකං හරියට යාළුවො වගේ. ඒ මදිවට තව පොඩි ඉස්කෝල දරුවෙකුත් හිටිය. ඉස්කෝලෙ ඇරිල ගෙදර එකකන් යන්න යන ගානේ. මේ උදවිය පොටෝ ගහන අතරෙ අර ළමයා මේ පරිසරයෙ ඒ මේ අත ගැවසෙමින් එයාගෙ විනෝදෙ. මේක පත්තර වැඩක් වෙන්න කොහොමත් බෑ. අර කැමරාමන්ගෙ කෝණ අනුවත් මට නම් දැනුනෙ එහෙමයි.
ඔන්න දැන් අපි දෙන්නගෙ මාතෘකාව කෙළින්ම මේ සිද්ධියට ලඝු වුනා.
"මිත්තර මේක ද්වීභාර්යා විවාහයක්ද දන්නෙ නෑ. අද එහෙම දේවලුත් වෙන්න බැරි නෑ, මට නිකමට වගේ එහෙමත් හිතුන." මං මිත්තරට එහෙම කිව්වෙ කට කොනකට පොඩි හිනාවක් දාගෙන.
"ඔබ හරි. එහෙම වෙන්නත් බැරි කමක් ම නෑ."
ඔන්න මේ අතරෙ අර ජෝඩුව පොටෝ ගහල ඉවරයි වගේ. මනමාලය කෝට් එක ගලවනව. ඒ පාර මොනවද මේ වෙන්නෙ,
මනමාලය ළඟින් හිටිය යාළුව තම සාක්කුවෙන් ඇදල ගත්තු ටයි එකක් තමන්ගෙ බෙල්ලෙ එල්ල ගන්නව. මෙන්න මනමාලය ගලවපු කෝට් එක යාළුවට අන්දනව.
අපිට සිද්ධිය තේරුම් ගන්න තව ටිකක් වෙලා ගියා. අර බටහිට පන්නෙට ගවුමකින් හිටපු මනමාලි මේ අලුතෙන් දැන් සූදානම් වුන මනමාලයගෙ හිමිකාරි නොවැ. දැන් ඒ දෙන්න පොටෝ ගහනව.
මමයි මිත්තරයි ආපහු කතාවට වැටුනා. කොහොමත් අපි මේ සිද්දිය රස වින්දේ අපේ කතාව අතරෙම තමයි. මොකද, මොනදේ කරත් විදිහක් තියනවනේ. ඒකයි.
"දැන් එතකොට මෙයාල යාලුවො වෙන්න ඇති. එකම දවසෙ කාසාදෙ. ලොකුවට ගන්නෙ නැතිව යන්තම් සූට් එකෙන් ෂේප් වෙලා ලස්සන පොටෝ ටිකක් අනාගතේට අරන් යන්න එන්න ඇති."
ඔන්න අපි යන්තම් ඒ සිද්ධිය ඒ විදිහට පැහැදිලි කරගත්තා.
"බලන්නකෝ සමාජෙ දකින්න තියන දේවල්."
ලස්සනම දර්ශනේ තිබුනෙ අවසානෙට. ඒ ෂොට් එකනම් රස්ටාගෙ මතකයෙන් ජීවිතේට අමතක වෙන එකක් නෑ.
මේ මානාල යුවල වල් තමන්ගෙ රාජකාරිය ඉවර කරගෙන ආපහු යන්න සැරසුනා. ඔන්න අපිට පසුපස හරවලා මේ පිරිස පිටත් වුනා. පිරිමි දෙන්නා මනාලයෝ එයාලත් එක්ක හිටිය අනෙක් ගැහැණු ළමයා, ළමයා හා කැමරාමන්, මනාලියෝ..
බටහිර පන්නෙ මනාලිය ආපහු යන්න තමන්ගෙ දිග ගවුම අත්දෙකෙන් අල්ලගෙන ටිකක් ඔසව ගත්තා පයට නොපෑගෙන්න.
එතැනදි මොකක්ද අපි දුටුවෙ,
යටින් පෙනුන ඩෙනිම් කකුල් දෙක
තවත් දේවල් අපිට හිතන්න ඉඩ ඉතුරු කලා.
ඔවුන්ට අයිති විවාහය විතරයි. පොටෝ ටික මතකයට. එපමණයිද?
ලොකුම වෙඩින් එකෙත්, මේ ක්කරමේත් (ටුයින් වන්) සතුට ගැන වෙනසක් නැතිව තේරුම් ගන්න මෙහේ අපිට මෙහෙම දෙයක් ඇත්තටම දකින්න ලැබුනු එක ලොකු දෙයක්, අපේ විවාහෙත් තව ඉස්සරහට තියෙන එකේ.
මිත්තරටත් මටත් හිතුනා.
මේ අපිට හිතුන දේවල්. හැබැයි නොදන්නා දේවල් තුළ අපි නොහිතනම දේවල් තියෙන්නත් බැරිකමක් නෑ. කොහොම වූ නමුත් මේක නම් පත්තර වැඩක් නොවේවා.. අප හිතුදේ මොන තරම් සුන්දරද, එය හිතලුවක් නොවේවා..
අපේ පරම පැතුම එයයි. එමගට අප විසි වෙත්වා..
එහෙනම් සමුගන්නට අවසරයි,
මා ඉතිං යන්න යනනම්..
හමුවෙන තුරු රස්තියාදුවේ යළි,
වේවා ජයෙන් ජය..
Thursday, September 20, 2012
දාඩිය ?
පාර දිගේ ඇවිදන් ඇවිදින්
පදමට තිතට රත්වූ සිරුරින්
කමිසය පිටට ඇලෙමින්
ඇලෙමින්..
යන්නට ආ ගමන එපා වෙන තරමට ගත සේම සිතද රත් වී එන නමුත් දැන් මම කුමක් කරම්ද? කළ හැකි එකම දෙය සිත දැඩි කොට පාර දිගේ ඒම පමණි. ලේන්සුව ඇද මුහුණ පිස දමා ගතිමි. මං ලේසියෙන් පසු බසින්නෙක් නොවන බව සිතීමි. මේ දුර මට යෑමට ඇත්තේ පයින්මය. දැන් ඉතිං වෙන කුමක් සිතන්නද.. නැත ආටෝ සරණක්
කොහොම හරි නොසිතා
යන්තම් එමග පසුකරා
හති වැටුනෙ නැතත්
සෑහෙන දුරක් ගෙවාගෙන ප්පරධානම මහ මගට පිවිසුණා කියමුකෝ..
පවන් වේගෙන් යමින්
එකට පසු එක බැගින් දෙක බැගින්
සාක්කුවේ අත්රුවං මං
අහෝ දැනෙනා සුවක් දැන් නම්..
ඇදෙන වාහන එක පෙළට මේ පාර දිගේ
ගමන් මග මගෙ අනෙක් අතටයි පාර දිගේ
මොටර් වේගෙ දෙන හුලගින් පාර දිගේ
වටපිට බලා යන විට දැන් මොන සැපයක් මේ පාර දිගේ..
වංගුවකින් හැරී ගත් මම දහදියෙන් තෙත්ව තිබූ කමිසය වාහන හුළගින් වේළී ඇති බව දැන සතුටු සිතින් කය කෙළින් කොට ගෙන සැහැල්ලු රිද්මයකට පිවිසියෙමි. හුළං ඒසී විත් මොටෝ යැයි මේ අතර මට නිකමට නොසිතුනාද නොවේ. මගේ ගමනට දැන් සුදුසු පසුබිමක් මට තැනී ඇත. මග හොදට තිබේ නම්, යන්ට දෑසත් පෙනේ නම්, කිම අන් දෙය..
දාඩිය ? දැන් රස්ටාට ප්පරශ්නයක් නොවේ.
මේකයි අපේ රට, අපේ විදිහ ඒකයි මේ විදිහ. මං හිතන්නෙ ඒ විදිහ ශුද්ධයි, දාඩිය ගැන කවි කතා බොහොමයි.
නියං රස්නෙ මේ දිනවල දහදිය බොහොමයි අපෙ පැත්තෙ. කොහොම වුනත් අදටත් හෙටටත් අපි කාටත් වලංගුයි මේ තත්වෙ,
දහඩිය මෙන් රස්තියාදුව ශුද්ධ කොට වාෂ්ප වෙන්නට අවසරයි.
හමුවෙන තුරු රස්තියාදුවේ යළි,
වේවා ජයෙන් ජය..
Tuesday, September 18, 2012
ඇරඹුම
ඕනම දෙයක් අරඹන්න ඕනම තැනක් තැනක් කරගන්නා රස්තියාදුවාට ඔබ අමතන්නට අවසරයි මෙතැන් සිට.
කාලයක් තිස්සෙ අතන මෙතන රස්තියාදු වෙද්දි නිතරම හිතුන දෙයක් රස්තියාදුව වචන සම්මතයෙන්ම රස්තියාදුවක් නොවේවා කියන එක. හැම තැනකදිම රටේ, කැමැත්තෙන් හරි නැතුව හරි ගහන්න සිද්ධවෙන වෙන රස්තියාදුව කාලයට දේශයට උරුම එකක් කියල දැනුනම ඒකට හැඩගැහෙන්න වෙනව කොහොමින් හරි. ඩාවින්තුමාගෙ න්‍යායට අනුවත් නූචිතයාට අවනතිය හිමිවෙන නිසා මේ රස්තියාදුව අපට උරුම වූ අපේ රටේ කරුමයක් නොවී ඒක ශුද්ධ රස්තියාදුවක් ම වේවා කියල ධනාත්මකව හිතන්න ගත්තම,
කොයිතරම් නම් අපූරුද?
කාලයක් තිස්සෙ අතන මෙතන වුනු හැම රස්තියාදුවක්ම ජීවිතයට පාඩම් කියල දෙන පොතක් බවට සිත්වුනේ එහෙමයි.
ඒ රස්තියාදුවේ පිටු එක එක පෙරළෙද්දි තාමත් තාරුණ්‍යයේ ජවය නොගිය ගතත් හිතත් කියන්නෙ ඒ රස්තියාදුවෙ සුන්දරකම නිදහස බෙදාගන්න පුලුවන් හැමදෙනා එක්කම බෙදාගන්න කියලයි. නොපිටට එපිට වචන දාගෙන කණවැල අල්ලන් යන ගමනක, අපිටම අපිට දැනෙන නොපිට වුනත් හිතට දෙයක් ගන්‍නයි දෙන්නයි මේ රස්ටා සූදානම්.
ප්රෙවේගකාරී ලොවේ ත්වරණයත් මන්දනයත් රස්ටාට දැනෙනවා. හලෝව් කියාගෙන ගමනක් යන්න හිතුවෙ ගතටත් හිතටත් තියන එකම සැහැල්ලුව ඒක නිසාමයි.
ඇරඹුමට පමණක් මෙතෙකින් තිත තබන්නම්.
හමුවන තුරු රස්තියාදුවේ යළි,
වේවා ජයෙන් ජය..
Subscribe to:
Posts (Atom)