Sunday, October 12, 2014

බෙල්ල

මිනිස් ඉතිහාසයේ සිටම බෙල්ලට ඇත්තේ ඉතා සුවිශේෂී ස්ථානයකි. සෘජු කයක් දරණ මිනිසා පරිණාමවාදයට අනුව යම් තාක් සෘජු වූයේද බිමට නැවුනු හිසත් ඔසවාගෙනය. එබැවින් හිස කෙළින් තබා ගැනීම මිනිසාගේ ස්වභායේ අභිමානයක් ලෙසද සළකති. විශේෂයෙන්ම එංගලන්තය මුල්කොට ගත් යුරෝපයේ අය එහෙම හිතන්නේලු යනුවෙන් අප අසා ඇති කතාවක්ද වෙයි. මේ සියල්ලෙන් කියවෙන්නේ බෙල්ලේ ඇති වටිනාකමයි. එපමණක් නොවේ. හිස තම ක්‍රියාවලියේ මෙහෙයුම් කේන්ද්‍රය කොටගත් මිනිසාගේද ආහාර මාර්ගයත් හුස්ම මාර්ගයත් වැටෙන්නේ බෙල්ල හරහාය. එබැවින්ම දඩුවම් දීම සදහාද අතීතයේ සිටම බෙල්ල අතිශයින්ම භාවිතාවට ලක් කොට තිබේ. ජීවිතය නැති කිරීමේ අවස්ථාව එහිදී සුවිශේෂීය. හුස්ම හිර කිරීමටත් එක්වරම ශ්වසන මාර්ගය ජේදනය කිරීමටත් වශයෙන් තොණ්ඩුවටත් දංගෙඩියටත් ලංකරන්නට මිනිසාට තිබූයේ තමන්ගේ මේ එකම ගෙල පමණයි.

මෙතනින් පහළට හුස්ම සේම ආහාර ද බොහෝ කොට යවා පෝෂණය කරගන්නා වූ සිරුරක්ද සහිත මිනිහාට අවසන මේ සිරුර යම් කිසි චරිතයක් මෙන්ම භූමිකා ගණනාවක් සදහා වේශ නිරූපණය කිරීමට සිදුවෙයි. අපේ රටේ ක්‍රමයට නම් සුදු කමිසයක් සහ සරමක් හෝ නැතිනම් සාමාන්‍ය ක්‍රමයට කලිසමක් හා කමිසයක් දමා ගන්නා ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු යැයි හදුන්වන සමාජයේ පවතින පාලන ක්‍රමයට අදාළව විශේෂයෙන් මහජන ඡන්දයෙන් පත්වන වගකීම් දරණ චරිත නිරූපණය කරන්නෝද ගෙලක් මත හිසක් තිබෙන අප වැනිම වූ මනුෂ්‍යයෝය. ‍

අධ්‍යාපනය පිළිබද ඇමති කම දරන්නාත් එබන්දෙක්මය. ඔහුගේ හෝ ඇයගේ ද ගෙල හිස සෘජුව තබා ගැනීමට අතිශය වැදගත්ය. තමාගේ ක්ෂේත්‍රයේ විශේෂයෙන් ඉගෙනුම ලබන තරුණ දුවා දරුවන් හා ගනුදෙනුවේදී මේ කාරණය තවත් ඉස්මතුවේය. තමාත් අධ්‍යාපනය ලැබූවෙක් නම් බෙල්ලෙහි කාර්ය භාරය තවත් වැදගත් වන්නකි. හුස්මත් අහරත් දෙකම සංසරණය වන බෙල්ල සෘජුව තබාගෙන තම අභාමානය නඩත්තු කරමින් තරුණ දුවා දරුවන් එනම් අපද ඇතුළු අයට කතා කළ යුතු වන්නේය. අපි ඔවුන්ට පසුව උපන් අය බැවින් ඉවසීමෙන් ආදර්ශය සැපයීම ඔවුන්ගේ පළමු අභිමානයය. අධ්‍යාපනයේ හොදින් යෙදුනු අය නම් සෘජු කයේ වැදගත් කමට බෙල්ලේ ඇති අගය හොදින්ම දන්නේය. එබැවින් හිස සෘජුව තබාගෙන නිවැරදිව අවංකව තමන්ද තරුණකල සිට යෙදුනා වූ දේශපාලන ක්‍රියාකාරීත්වයන්ද සිහිකර හිස භාවිත කළ යුතුය. එහිදී බෙල්ල නැවතත් වැදගත් වන්නේ හිස භාවිතාවෙන් හිතේ කල්පනාවේ ඇති‍දේ එලියට දෙන කටටත් ප්‍රධාන සැපයුම දෙන්නේ බෙල්ල හරහා වන බැවිනි. 

මේ සියල්ල සැළකීමේදී බෙල්ල අතිශයින් ආරක්ෂා කරගත යුතු ශරීර කොටසක් බව නොකියා සිටියද ඉවෙන් මෙන් අප කාටත් පැහැදිලි වන්නේය. හිසත් හිතත් කෙළින් කර ගැනීමට සෘජු විය යුතු බෙල්ල විශේෂ රෝගාබාධ තත්වයක් යටතේ නොවේ නම් කෙළින්ම තබා ගැනීමට හිසේ ඇති දේවලුත් හිතේ සහ කල්පනාවේ ඇති දේවලුත් වැදගත් වන බවද නොකිව්වාට අපට ඉවෙන් මෙන් තේරෙන්නේය. අනුන්ගේ බෙල්ල ගැන හිත්නට පළමුව අපි අපේ බෙල්ල ගැන සිතිය යුතු බව නොකිව්වාට අප හොදින්ම දන්නේය. ඒ අතර සත්‍ය වෙනුවෙන් හිස දීමට බිය නොවූ උදවිය හිස දංගෙඩියේ හෝ තොණ්ඩුවේ බෙල්ලෙන් කැපී හෝ කඩා වැටෙද්දීත් ජීවිතය නැතිවත් සමාජයේදී හිස කෙළින් කොට ගත් වූවන් වූ හැටිත් මතකයේ තබා ගැනීම වැදගත්ය‍.

එනිසා තමන්ගේ දුර්වලකම් වහගන්න අනුන්ගේ බෙලි වාචිකව හෝ කැපීම නවතමු. නින්දිත ලෙස වාචාල කමට කට භාවිත නොකට බෙල්ලෙන් හිස කෙළින් ඇති පමණට නොව පිවිතුරු සද්භාවයෙන්ම අවංක නීර්භීත කමෙන්ම හිතත් හිසත් කෙළින් කොටගෙන හැබෑ මිනිසුන්ගේ පිය  මගට  වැටෙමු.


No comments: