Wednesday, July 4, 2018

මුග්ධ කාම


පී..කේ...

මිනිස්සු කියන්නෙ එක්තරා දියුණු සත්ත්ව කොට්ඨාශයක්. ජීවත් වෙන මහද්වීප අනුව රටවල් අනුව මිනිසුන්ගේ බාහිර ස්වරූපයේ සුළු සුළු වෙනස් කම් තිබෙනවා. සමේ, පැහැයේ, ඇසේ, නාසයේ, උසේ, මහතේ එනම් ශරීර ප්රමාණය මත ආදී වශයෙන්. ඒවා බොහෝකොට පරිසර සාධක හා ආවේණිය ඔස්සේ ප්‍රවේණි ගත වූ සාධක. එමෙන්ම භාවිතයන් අතින්ද ඔවුන්ගේ වෙනස්කම් තිබෙනවා. එහිදී ප්‍රධාන වන්නේ භාෂාව. ඔවුන් එකිනෙකා සමඟ සන්නිවේදනය කරගන්නේ කට හඬ මුල් කරගෙන වැඩි දියුණු වී ඇති ඒ භාෂාව නැමති මාධ්‍ය ඔස්සේ. එවැනි වූ භාෂා සුවිශාල ප්‍රමාණයක් මිනිසුන් අතර තිබෙනවා. රටින් රටට මේ භාෂා වෙනස් වනවා සේම එකම භාෂාව විවිධ රටවල ප්‍රචලිත වී ඇති අවස්ථාව තිබෙනවා. ඊට අමතරව එකම රට තුළ එකම භාෂාවේ විවිධ ප්‍රභේද සේම එකිනෙකට වෙනස්ම භාෂාවන්ද භාවිත වෙනවා. ඉන් සමහර භාෂා ඉතා දියුණු තත්වයේ පවතින අතර භාෂාව කටහඩින් තොරව භාවිත කළ හැකි ක්‍රමවේදයන් මිනිසුන් අතර තිබෙනවා. එය භාෂාව සටහන් තබන ක්‍රමයක්. ඒ සඳහා ඒ ඒ භාෂාවට අදාළ නීති රීති පද්ධති තිබෙනවා. මේ භාෂාව මිනිසාගේ දියුණුවට සේම විනාශයටද බලපා තිබෙනවා. රටක රාජ්‍ය භාෂාව ලෙස භාෂාවක් නම් කිරීමේ සිට මේ බසෙන් රට ගැන කීමට තැනූ ගායනා විලාශයක් වන 'ජාතික ගී' ගායනයේදී පවා භාෂා ප්‍රශ්න මතුවිය හැකියි. විශේෂයෙන් භාෂා කීපයක් එකම රටක භාවිත වන විට එය මේ ගැටුමට හේතුවෙනවා. තවත් හේතුවක් වන්නේ මිනිසුන්ගේ ඇදහිලි විශ්වාස දැනුම සියළු දේ මේ භාෂාව ඔස්සේ සන්නිවේදනය වීමයි. එතුළ මේ සියල්ල ඒකාබද්ධව සැකසෙන සංස්කෘතිය නැමැති සමාජ පැවැත්මේ වැදගත් සාධකය ඉස්මතු වීමයි. එනිසා භාෂාවෙන් ඇතිවන අවහිරය නවතින්නේ සංස්කෘතියෙන්. ඒ අවහිරය ගැටුම් යුද්ධ දක්වා වර්ධනය වූ අවස්ථා තිබෙනවා. නමුත් දියුණු ලෝකයේ තාක්ෂණය නැමති සාධකය මත අද වන විට මිනිසා වඩාත් ප්‍රචලිත භාෂාවන් ඔස්සේ පුළුල් සන්නිවේදනයකට ප්‍රවේශය ලබා මිශ්‍ර සංස්කෘතීන්ට ගමන් කර තිබෙනවා. එහිදී දියුණු මිනිසා වටහාගෙන ඇත්තේ අනවබෝධය අවබෝධය තුළින් ජයගන්නටයි. ඒ සඳහා වන මෙවලමක් ලෙස උහු තාක්ෂණය භාවිත කරනවා. අන්‍ය සංස්කෘතික අවබෝධය මෙන්ම ඇගැයීමටත් රසවිඳීමත් ඔස්සේ එකිනෙකා සමීප වීම මෙතුළ සිදුවනවා. තමාට සමාන මූලික අවශ්‍යතා, සමාන හැඟීම් දැනීම් පද්ධතියක් අනෙකා සතු බවත් භාෂාව හෝ සංස්කෘතිය පරිසරමය සාධකයක් බවත් අද මිනිසා හොඳින්ම දන්නවා. නමුත් තවමත් ඈත එපිට රටවල විවිධ ජනකොටස් අතර මේ භේද පවතිනවා. ලෝකයේ දියුණුයැයි කියන රටවල පවා නොදියුණු මිනිස්සු සිටිනවා. නොදියුණු රටවල දියුණු මිනිස්සු සිටිනවා. ජානමය සාධක මත මිනිසුන්ගේ බුද්ධියේ අවබෝධයේ පවතින වෙනස්කම් සේම හැඟීම් දැනීම් පද්ධතියේ ඇති අසීමිත සංස්කෘතිමය බන්ධනයක්ද මේ නොදියුණු කමට හේතුවනවා. මේ නොදියුණු කම දැනුම හරහා යම් මට්ටමක් දක්වා දියුණු කළ හැකියි. ඒ සඳහා අද සමාජයේ බොහෝවිට භාවිත වන්නේ දැනුම අවබෝධය කරා සමාජගත කිරීමේ විධිමත් ක්‍රමවේදයක් වන අධ්‍යාපනය. මෙය විධිමත් ලෙසින් මෙන්ම අවිධිමත් අංශයකින්ද යුතු වනවා. අද අධ්‍යාපනය ආපසු අකුරට යන්නට උත්සාහ කරන විට අපට අධ්‍යාපනය සඳහා මෙවැනි අවිධිමත් අංශ භාවිත කිරීමට සිදුවෙනවා. මිනිසුන් තම පාලන කටයුතු වෙනුවෙන් පත්කර ගන්නා නියෝජිතයන් ඔවුන් කරනා දේශපාලනය ඒ උදෙසා පැවැත්වෙන ඡන්ද මේ සියල්ලට අධ්‍යාපනයෙන් දෙන අවබෝධය බලපෑම් කරනවා. එම නිසා ඒ හරහා මිනිසාගේ නොදියුණු ලක්ෂණ දියුණු තැනකට එසවීම රටවල සංස්කෘතීන්ගේ නොදියුණු ලක්ෂණ වලින් දේශපාලනය කරනා නියෝජිතයන්ට ගැටලුවක්. භාෂාවෙන් සන්නිවේදනයෙන් විසඳා ගත හැකි සරල ගැටළු වර්ණවත් කර සංස්කෘතිය දක්වාත් අවසන ජාතීන් වශයෙන් වෙන් වීම් දක්වාත් ගෙන යන්නට මේ දේශපාලකයන්ගේ දේශපාලනයට හැකියාව තිබෙනවා. ඒ සියල්ලට නොදියුණු මිනිස් ලක්ෂණ, සංස්කෘතිමය බන්ධන වල සිට නොයෙක් වර දාන ලබාදීම ඔස්සේ තමන්ම ගොඩනැංවූ විවිධ සමාජ කණ්ඩායම්ද ඔවුන් භාවිතයට ගන්නවා. මිනිසාගේ දියුණුව ආපසු හැරී ලෝකය විනාශය කරා පන්නන දක්කන තත්වය නිර්මාණය වන්නේ එතැනින්. මිනිස්සු කියන්නෙ 'එක්තරා' දියුණු සත්ත්ව කොට්ඨාශයක් කියා මුලින්ම සඳහන් කෙරුණේ මේ නිසා. ඒ 'එක්තරා' කොටසේ ඇති ගෝත්‍රිකත්වය අභිබැවෙන තත්වයේ සිහියකට එනතෙක් මිනිසා යනු ලෝකයේ දියුණුම සත්වයා නොවේ.

(වො ෝ ට්)ස්


Tuesday, July 3, 2018

වි කලා


ඔය වත වසා ගන්නට උවමනා නැත


පස් මහ බැලුම් - අතිශයින්ම සරල නැත

නිව්යෝක් ටයිම්ස් අපේ ටයිම්ස් වලින් වෙනස්ය. ටයිම්ස් කියන්නේ කාල යයි. බොසතාණෝ කල් බැලුවේ මිනිසුන්ගේ මනසට නැණස පාදා ගන්නට සුදුසු විවේකය සහිත කාලයක් උදාවන තෙක් ය. නිසි කාරණයට නිසි කාලය නොලැබීම අරගලයට කාරණයකි.

කොළඹ පදිංචිය දියුණුවට පහසුකම් සපයතියි අප රට වැස්සන් අතර අදහසක් වෙයි. බෝසතාණෝ තමාට සුදුසු පෙදෙස තෝරාගත්දේත් හොඳ ඉගෙනුමක් දියුණුවක් ලබාගන්නට විය යුතුය. සුදුසු පෙදෙසක නොවීමද අරගලයට කරුණකි.

අපේ රටේ බොහෝ දක්ෂයෝ සිටියත් අඩු තරමේ ඉංග්‍රීසියේ ප්‍රාගුණ්‍යයක් නැත්නම් ජාත්‍යන්තරය යනු අන්තර්ජාලය පමණක් වන්නේය. ජාත්‍යන්තරයේ පෘථුල ඇදහීමක් තබා පෘථුල ලෙස නම රැඳවීමත් අප වැනි චූල සංස්කෘතිකයන්ට අදද පහසු නැත. නමුත් ඒ අතින් ඉන්දියාව, ගැඹුරත් උසත් දිගත් පළලත් සරල සංකීර්ණ මෙන්ම සුන්දර අසුන්දර සීමා මායිම් වලින්ම මහා සංස්කෘතියකි. ඒ පිළිබිඹුවේ සුරක්ෂිතතාවය දැවැන්තය. පැතිරීමද විහිදීමද දැවැන්තය. බෝසතාණන්ට අවශ්‍ය හරබර ස්ථාවරත්වයට එය හොඳම තෝතැන්නක් නොවේද?.. සමහරු පදිංචියට එවැනි දේශ වෙත සංක්‍රමණය වන්නෝය. දේශය නොනැංවීමද නිරන්තර අරගලයට හේතුවකි.

කුල ගෝත්රයට අදට වඩා එදා තිබූ සමාජ පදනම නොකිවමනාය. හුදෙකලාව හෝ හිස ඔසවා ගන්නට, බත් මුඛය පාදා ගන්නට, විලිය තිබුණා වුව තමාට අවැසි ලෙස එය වසා නොවසා ඉන්නට අඩු කුලයන් ලෙසින් නම් දැරූවන්ට අවසර තිබුණේ නැත. බෝසතාණෝ මේ පදනමට පහර දෙන්නට සුදුසු තැන එතැන තෝරා ගති. කුල හීන නිහීන යටපෙළ අදද අරගලයකි.

මවගේ ඒඩ්ස් දරුවෙකුට නවීන සමාජයේද හදිකළ තරම්.මව් මතක් කිරීම නින්දිත ලෙස බුකියේද කෙරෙන්නක්. ගෙදර බුදුන් නම් අපේ ගෙදර ද අනෙක් ගෙදරද වෙනස්ව සිටින්නක. ඇගේ ගුණය දරුවාගේ ගුණය නංවන්නේය. මව අප සමාජයේ ප්රමුඛ ස්ථානයේ අදටත් වන්නේ එබැවිනි. ඉතිං බෝසතාණෝ ඒ ගුණයට සුදුසු තැනම ලබා දුන්නෝය. ජීවනය ලැබීම, කළලය නොමරා ගැනීමම නූතන අරගලයයි.

මේ බොහෝ අරගල වල මූලයන්ය. සසර පුරා මේ අරගලයේ නිමාවක් නැත්තේය.

බෝසතාණෝ උපතින්ම මේ සියළු අරගල වලින් මිදුණ නිසා නිවන වෙනුවෙන් අරගල කරන්නටත් බොහෝ දෙනා මේ අනවතර සසර අරගලයෙන් ගලවන්නටත් හැකිවිය. ඒ  තමන් විසින්ම සසරේ උපයාගත් ශක්තියේම ඥානයේම අනුහසිනි.

පදාර්ථයෙන් ශක්තියෙන් සපිරි ලෝකයක එයින්ම සුසැඳි මිනිසා සියල්ල වෙනුවෙන් සොයන භෞතිකවාදයේ විසඳුම් අදටත් විග්‍රහ නොවූ පදාර්ථ හා ශක්තීන් වෙනුවෙන් අකාලිකව නම් වලංගු නැත. එබැවින් සසරේ ප්රශ්න සදාකාලික අරගල තුළමය-කියන්නට සිදුවේ.

Saturday, June 30, 2018

යථාර්තය පිරිසිඳිමි

ජීවිතය ගෙවී යයි..
හිරු නැගී බැස යන්නා සේ..
බාල වියෙන් තුරුණු වූ සිත කතර මැදින් වියපත් බවට පා නගනා සැටි..
පාට උලා සායම් පොවා වසා ගත නොහැකි ලප කැළැල්ද රැළි පෙරළිද නොමැති කිසිවෙකුත් නැත මෙ මිහිපිට..
දහස් ගණනින් අප එකිනෙකා හමුවූ ලෝකයේ දීම අප එකිනෙකාගෙන් සමුගන්නට නියමිතය..
අප කුඩා කළ ඇසු දුටු බොහෝ දේ අද වියපත්ය..
එදා සජීවී ඇත්තෝ සමහරෙක් අද මළවුන් අතරය..
අප පියවර මැන ගිය නගර මංමාවත් අද නැවුම් සළුපිළිවලින් සැරසී නව ජීවයක් ලබලාය..
එහෙත් නැවුම් පිළියෙන් සැරසී නැවුම් ජීවයෙන් පිබිදෙන්නට අපට නොහැක..
අපි වියපත් වන ජීවීන් වන්නෙමු..
බාල වියේ එකිනෙකා හා සුරතලයෙන් කෙළිදෙළෙන් හුන් කාලය යළි නොලැබෙන්නේය..
බැක් ටු ස්කූල් වූවාට ජීවිතය යළි ආපසු නොහැරෙන්නේය..
අපි ජීවිතයේ එක් පරිච්ඡේදයක් අවසන් කළ බව හැඟේ..
කවර ලෙසින් කොතැන කොයි තරාතිරමෙන් සිටියත් සමකාලීනයන්ට ඒ මානසික පෙරළිය දැනේ..
තුරුණුවියට එළඹෙන්නන් සේම එයින් නික්මෙන්නන්ද ලබන්නේ අලුත් අත්දැකීමකි..
වටහා ගන්නේ ලෝකයේ තවත් ලෝකයකි..
එය ජීවිත ආලෝකය පිණිස වන්නේ නම්, ජීවිත අවබෝධය පිණිස වන්නේ නම්,
ස්තූති වේවා....!
සකළ ලෝක වාසීන් හා මෙතෙක් අප නිර්ලෝභීව පෝෂණය කළ ස්වභාව ධර්මයාට..
තවත් ලෝකයක් දකින තෙක් අප මේ ලොව අවබෝධයෙන් පියමං කළ යුතුය..
බොහෝකොට කතා නොකරන යථා බව හඳුනා අවසරයි එසේ නම් යන්න තව ඉදිරියට..

පොල්පිති...සහ පොල්ලෙලි


Friday, June 29, 2018

නුඹ....!

අහස යනු ඇගෙ හිත නම්
හඳ යනු සිසිල වේ එහි
හිරු යනු එළිය නම්
තරු යනු වරුණ වේ එහි

වැහි වළා යනු දුක නම්
නිල් ගගන සතුටම වේ මැයි
අකුණු ත්‍රාසය වේ නම්
ගිගිරුමද බිය දේ මැයි

වැසි බිඳුව කඳුළක් වේ නම්
සිනහ පවනේ රැළිමයි
තත්පරයකුත් පාසා
එක ලෙසට ඉන්නට බැරි ඇයි

සිතින් විඳ විඳ හුන්නත්
අතින් අල්ලනු බැරිවෙයි
දිනෙක නැළැවෙන නිළඹේ
සොරා ගනු රිසි නුබමැයි

(තනිකරම කතාවක්)2

උඹ මීඩියා කාරයා.. මෙච්චරට අච්චරක් දේවල් ලියන්න තියෙද්දි උඹ කුණුගොඩවල් අයිසින් කරනවා විකුණන්ඩ.. දාහක් ඇත්ත මිනිස්සුන්ගෙ උත්සාහයන් තියෙද්දි උඹ සෙප්පඩ යාළුවන්ගෙ කුකුල් කටු වෙනුවෙන් කහිනවා.. මේකව ඇදල දාපන් අතනට..
මට කතාකරන්න දෙන්න ඒක මගේ අයිතිය...
උඹේ පැටික්කිරිය බලලයි උඹව මෙතනට ඇද්දේ..උඹේ කුපාඩිකම් වහගන්න ජනතාවාදී වෙන්ඩ හදන්ඩ එපා ටින්කිරෝ...ටිකිරි මොළේ තියාගණින් කෙල්ලන්ව රවට්ටන්න, ඒත් උඹට ආයෙ ඒවට වෙලාව දෙන්නෙ නෑ මම.
අනිකව ගණින්..
මූ කලාකාරය..කොහොමද ආයුබෝවන්ඩ.. ගෙදර දොරට නම් වැඩ කරගත්තා, තවම කලාවට යමක් කරන්න තමා බැරිවුණේ නේද..කතාකරමුද කණට පාරක් පිරිනමන්නද...
එහෙම කතා කරන්ඩ එපා. අපි තුට්ටු දෙකක් හම්බ කරන්නෙ මිනිස්සුන්ව කොච්චර සතුටු කරලද...
අම්මප. මට නම් පේන්නෙ හැම අතටම කලාවට වනල තමුන්ව සාධාරණීකරණය කරගන්න එකයි තමුසෙගෙ කලාව..
ඊර්ෂ්‍යාවෙන් කතා කරන්ඩ එපා...
ඊර්ෂ්‍යාව..ඈ.. බොල උඹල කරන්නෙ කලාවද, මුළාවද.. මිනිස්සු හිතන පතන දේවල්වල නිවැරදිකමට බලපාන්න උඹල කරපු කලාව මොකද්ද...කැපකිරීම මොකද්ද..ගලන ගඟටම අතු ඉති පාහිනව මිසක්..
එහෙම කියන්ඩ එපා කලාව කියන්නෙ සමාජෙට පණිවිඩ දෙන දෙයක් නෙවේ. අනික අපි කොච්චරනං කැපවෙනවද.. නිකං නොදැන කතා කරන්ඩ එපා.
ඔව්..මම දන්නෑ.. හැම බඩකඩත්තුවම විවේචනයේ කරන උඹලට කිසිම සමාජ වගකීමක් නෑ.. කැප වෙනව තමන් ගොඩ යන්ඩ නම් ...කොහොම හරි එල්ලිලා ඇවිත් තැනක් හදාගෙන හම්බුකරනවා..උඹල අනිත් උන්ට වැඩිය විශේෂයි වැඩිපුර මිනිස්සු අඳුනන නිසා. උඹලත් ඒ පානෙන්ම  එළිය බලනව. උඹලත් මිනිස්සුද, මහලොකුවට කියන්නෙ කලා කාරයො...
එහෙම කියන්ඩ එපා..
උඹල කලාව කරේ උඹලගෙ ගුරුවරු දෙයක් මිහිපිට ඉතුරු කරපු නිසා... දැන් උඹල මොනවද ඉතිරි කරල තියෙන්නෙ..
ලබ්බ තමයි උඹලගෙ කලාව.. උඹල දේශපාලනේටයි දොස්තරලටයි කොන්දොස්තරලටයි බැන බැන දවසෙ ගාණ කපනව, ඊළගට ප්රතිරූප, තත්වෙ මේන්ටේන් කරනව..වියදම කරන එවුන්ට රෙදි නැතුව කඩේ යනව.. නම දාගත්තු පොරවල්ගෙ වළං හෝදනවා ...ඔන්න බොලාගෙ කලාව...කෝ බොලාගෙ ඇට්ටකුණා නොවුන අලුත් වැඩ. මං අහන්නෙ බොලාගෙ සමාජේ කොළඹට එහා කෝ... කෝ දැන් කට.. පිටිසරින් ආපු වස්සො ටිකත් අවසානෙ බොලාගේ ගොබ්බ රැඩිකල් ආතල් එකට උම්බෑ කියනව. උන්ට එතනින් එහා කොන්දක් තියාගන්න ඉඩක් නෑ.. රැඩිකල් තත්වෙ මේන්ටේන් කරනව..වැදගත්කමට..ඒකද බොල අපි නොදන්න කලාව..ටෙලිවිෂන් වලට ජීවත්වෙන්න උඹල කලාව සිල්ලරට විකුණනව. වර දාන ගිලින්ඩ දේශපාලුවන්ට නොදෙවෙනියි උඹලත්..
තමුසෙ දන්නෑ අපේ ගැන. මේ අපේ කට වහන්න තමුසෙට බෑ හරි. අපේ මීඩියා එකෙන් මං තමුසෙව නැති කරලම දානවා.. කොහෙද ඕයි විදග්ධ සමාජෙකට ගැලපෙන්නෙ උඹ වගේ හරක්..
ටීඉඉඉඉඉංංංංංංංංං
ටීඉඉඉඉඉඉංංංංංංංංංං
කණටයි කටටයි බෙහෙත් දා ගන්නවා ඉස්සෙල්ලම....
තව කට්ටිය එහා පැත්තෙ, මෙතනට ගේන්ඩද...පොලිටික්කොද, කලවැද්දොද, බොරු වීර කාලකණ්ණි ඔක්කොම ඉන්නවා..
පොඩ්ඩක් ඔහොම හිටපන්කෝ..  එක එකා ගමු අපි..

-ඉදිරි කොටසින් හමුවෙමු-

(තනිකරම කතාවක්)1

මං මූට ඇත්ත කියන්න කීවා.. ඒත් ඇත්ත එළියට එන්නෙ නෑ, තත්වය නිසා උගුරෙ හිරවෙලා.. මොකද්ද තත්වෙ... මේ මහාචාර්ය කෙනෙක්.. ලංකා රත්න කියන්නෙ.. ගහපන් කන පුපුරන්න...ටීඉඉඉඉඉංංංංංංංංංං ලංකා රත්න ගේ කන් අඩියට දෙවියන්ගේම පිහිටයි. ඒත් කට ඇරුණා..
මං කියන්නම්.. අදින් පස්සෙ පාරෙ හිඟා කන්න උනත් කමක් නෑ.. මම ඇත්ත කියන්නම්.. (ප්රකාසන විකාසන ප්ලොට් අයිතිය තනිකරම මා සතුය©®)
හැමදේම නන්නත්තාරයි තමා, අපි තත්වෙ කළමණාකරනය කරනවා. ඉගෙනගත්තු හැම මිනිහට වගේ මමත් ... වතුර ටිකක්.. අ අ...මමත් කළේ ඉහළට ගිය එක. ඉහළම තැන ඉඳන් විවේචනය කරපු එක. අපි කියල වෙන මොනව කරන්නද, එක එක කාලෙට එන එන දේශපාලනයක් එක්ක වෙනසක් හොයනව ඇර මොනව කියල කරන්නද, මේක ගොඩදාන්න බෑ..
මේ මහාචාර්යතුමෝ, අපි අහන්නෙ තමුන්ගෙ දුක ගැන නෙවෙයි..අපේ දුකට හේතුව හරි...
හරි හරි මම කියන්නම්, මමත් පිටිසරින් ආපු මිනිහෙක් තමයි. අද ඉන්න ගොඩක් කොල්ලො කෙල්ලොන්ට වගේ ඒ කාලෙ මටත් ඕන වුනා ඇමරිකන් යුරෝපියන් හීන දකින්න...
උඹලත් එක්ක එකට හිටපු ගොඩක් දෙනා තමයි දැන් රට කරන් යන්නේ  දෙපැත්තෙන්ම....ඒකයි තත්ව කළමණාකරණෙ ඈ.... පොඩ්ඩක් ඔහොම හිටපං. ඔය අනිත් කෙඳිරිගාන එකා අරන් වරෙන්...
කංසා බිව්වම... ඔව් බිව්වම..ගංජා ගැහුවම.. ඔව්... අරක ප්‍රාණවත් වෙනවා කියලා අයියා කෙනෙක් කීවා..
අරක, ඈ බොල උඹට ප්‍රාණවත් නොවන ලෙඩක් තියෙනවද..කතාකරපං...නෑ.. නැත්තං තොට මංඤංද, පංඤංද ... ඉහ මොළේ කරකරගන්නේ.. ලෙඩක් තියෙනව නං මං බේත් අරන් දෙන්නං ඉස්පිරිතාලෙකින්, පොඩි කමට පිස්සෙක් නොවී ඉඳපං ඇච්චෝ...
අනිත් එකා ගෙනෙන් ..
මූ රැඩිකල් චින්තනේ වෙනුවෙන් බොන එකෙක්, සියළුම මත් බීම වර්ග, මත් ඉරීම්..මත්..
ඇති..
මහාචාර්යතුමා උඹල මේවට වගකියන්න ඕන..... මේ රැඩිකල් තුමා, බලන්න කියපං කවියක්...
මං කියන්නං..
උඹ..උඹ මීඩියා කාරය නේද, ඕන දේකින් උම්බලකඩ විජිටේරියන් සම්බෝල හදන එකා, උඹ තොත්ත බබා..
මං ගාව තියෙනවා ගංජාලංකාරගෙ කවියක්,එයා පේස් බුකි දාපු
කියවපං ..
දණ ගහන්නෙ නෑ..
මං කවි කියන්නෙ නෑ
මට ගැහුවොත් උඹෙ
කණට ගහනවා
මම ගංජ ගහනවා
මේ තිරිසන් සමාජයේ
රති කෙළි යයි දූ
කෙළිය මගේ
ඇගේ සිනිඳු කොපුල් තලේ
උඹෙ මළෙවි කරළිය ඇයි ඌට අලෙවි කළේ...
වසන්තයේ එන සති අන්තයේ
නඩුවට මට කොටුවෙ යන්ඩ තියේ...
විශිෂ්ටයි නේද, මං කීවෙ ශෘංගාරාත්මකයි නේද..
නඩුවද..උඹෙ ගෑනිද..බොගෙ මීඩියා ඇම්මද
දැන් අපි සේරම මේවායින් ගැහුවා ම චින්තනේ හැදෙයිද, කාමය රතිය සාංදෘෂ්ටිය, මොළේට ලේ උනයිද, නැත්තං ඒක කරවෙලා ගිහින් අර මහාචාර්ය ඉහළ අතින් කොරපු දේ උඹල පහළ අතින් නොකරයිද.. දාපන් මේ මළ ජරාව කුණු ගොඩට, ඒක ගිනි තියල දාපං.
ඔක්කොම කාලකණ්ණි.. කොටසක් තමුන්ගෙ තත්වෙ වෙනුවෙන් නැහෙනවා..කොටසක් තමන්ගෙ දුර්වලකම විඳවනවා..හැබැයි සේරම හිතාන ඉන්නේ තමන් තරම් ජීවිතේ විඳින සකීර්ල නෑ කියල..
...ඊලඟට...ආ උඹ

-ඉදිරි කොටසින් හමුවෙමු -

පෞද්ගලීකකරණය

ඉර යි තරුයි
විතරයි තව
නොඇල්ලුවේ අප
හඳත් පයින්
පාගාලා
ඇත්තේ අපෙ අය
සිහිල් ජලය
ගුවන් තලය
උණුහුම් කළෙ අප
රළුව වදින
පවන් දහර
හැදුවේ අපෙ අය
සොබාදහම
ඔබට බැරිය
පාඩු විඳින්නට
ඔබෙ දේපළ
අපට දෙන්න
ලාභ ලබන්නට

Tuesday, June 26, 2018

අතුරු සිදුරු

මදුරුවෝ වගේ නොවන අලි කොටි වග වලසුන් අතින් තලා විනාශ කළ හැකි හෝ පරිසරයේ පිරිසිදු කමෙන් යාමනය කළ හැකි හෝ සත්ව කොටසක් නොවේ. සතුන් මරා දමා පරිසර සමතුලිතතාව බිඳ තිරසාර විසඳුම් ලද හැක්කේද නොවේ. ඩෙංගු මැලේරියා නොහැදුවද අලියා මිනිහා අතර ඇති අරගලය, ඉඳ හිට වාර්තා වන කොටි වලස් කතාවට වඩා සමාජයේ ගැඹුරට ගිය එකකි. වරද අලියාගේද මිනිසාගේද යනුවෙන් වදවීමට වඩා වග වීම සපුරා ඇත්තේ මිනිසා සතුව බව වටහාගෙන ක්‍රියා කිරීම නොවෙද කළ යුත්තේ.
බලය සහිත වූ පමණින්ම බලධාරී හෝ නිලය දැරූ පමණින් නිළධාරී බව දරන්නන් නොව මොළය සහිත මොළධාරීන් පිරිසක් රටේ මහජනයාට නිරන්තර බලපාන ගැටළු සඳහා දිගු කාලීන දේශපාලනමය නොවන සමාජමය ප්‍රතිපත්තිමය විසඳුම් ලබාදීමට තෝරාගත නොහැක්කේ ඇයි. පත් නොකරෙන්නේ ඇයි.
අණ සහ බණ පටලවාගත් එකතැන පල්වන සමාජයක් හිට්ලර් සොයා අතීතයෙන් අනාගතය දකින්නට හදන්නේ පල්වීමෙන් කුණුවන මොළගෙඩි වලට ඉන් එහා කල්පනාවක් ඇති නොවන්නේ මෙ බැවින්මයි.
වරද පෙනෙයි, දැනෙයි. ඒත් අපි එකතැනයි. උත්තර සරලයි. අපේ අමනෝඥකම ඉහළයි. එකඟතාවයන් හීනයි, මතවාදයන් බහුලයි. අවසන් ප්‍රතිඵලය උදාසීනයි, නිෂ්ක්‍රීයයි. බොහෝ ස්ඵෝටනයන්ගේ සද්දෙයි දුමයි විතරයි. මිනිසුන් අනෙකා නසා සතා සීපාවා මරා දමා හෝ තිරශ්චීනව විසඳුම් සෙවීමේ එක්තරා හේතුවක් එතැනයි.
අප රටක් හැටියට නිවැරදි කාල රාමුවකට පිවිසෙන්නේ කවදාද.. අප්පමාදෝ අමත පදං.. මතුබුදුවන බුදුන් දැක නිවනටත් ප්‍රමාදය පතන අපි අඩු තරමින් යහ ජීවනයක් උදෙසාවත් අප්‍රමාද නොවන්නේ මන්ද.. කාලකණ්ණි කම යනු එයයි.

අත බලා, පොත බලා, මූණ බලා, අහක බලා කියම්!

👳ඔබට අවශ්‍ය අද දවස කොහොමද දැනගන්න
👷නෑ, මම දන්නවා මට අද කරන්න තියෙන දේ
👳එහෙනම් ඔබ කැමතියි ඔබේ හෙට දවස ගැන දැනගන්න
👷ජීවිතේ අනියතයි හෙටයි කියල වෙනසක් නෑ මගෙ හිතේ
👳ඔබ ආසවෙයි ඔබේ වාසනාව හොයාගෙන යන්න
👷හොයාගෙන යන්න වෙන එක අවාසනාව නේද, ඕක උත්සාහය
👳සුදුසු රැකියාව ගැන දැනගමුද
👷සුදුසු දේ මම තීරණය කරොත් ඒක ප්රශ්නයක්ද
👳විවාහය ගැන, දරුඵල ගැන..
👷ඒක මට බලාගන්න පුළුවන්, වදවෙන්න එපා ඒ ගැන
👳අපල උපද්‍රව නොසළකන එක හොඳ දෙයක් නෙවෙයි නේද
👷මම කොහොමත් සිහි කල්පනාවෙන් ජීවත් වෙන්නෙ, ඒක හොඳයි නේද
👳එහෙනම් මම යන්නද
👷ස්තූතියි මං ගැන වද වුනාට, නැකතක් නැතුවම තේ එකක් බීල යන්න..

Monday, June 25, 2018

අණද බණද(ප්‍රාඥයා අඥ්ඥාන දායකත්වයට කිසිවිට බිය නැත)

අණට බය නිසා බණවත්
බණ සැර මදි නිසා අණවත් නොවේ
අවැසි තැන අණය
අවැසි තැන බණය
පැවැත්ම එතැනය
කොන්ද කෙළින් නම්
හිට්ලර්ලාද ඇඳ යට
රිංගන තැනට වැඩ ඇත
(හිට්ලර් යනුවෙන් අදහස් කළේ ඔහුම තමා)

Saturday, June 23, 2018

සේපියන්ලාගේ සේපියන්

කොන්ද කෙළින් කරන තරමට
පපුව ඉස්සරහට දාන තරමට
කොටු කරන්න උස වැටක් ඕන නම්
සී සී ටී වී හතරත වනන්න ඕන නම්
බුලට් ප්රූෆ් අඳින්න ඕන නම්
විද්‍යාත්මක නාමය මොක වේවා
ශතවර්‍ෂය විසිඑක වේවා
සත්තයි
ඒ මිනිස්සු නම් වෙන්න බෑ

මාද්දිය හර්දයට රිපීට් නොකරනු (හාර්ට් ෆුල් හර්ට් ෆුල්)

තිරිසනා කෙළෙසුවා ඇති, උගෙ වේදනාව විකුණාගෙන කන්න එපා. ඒව හිට්ලර්ට විරුද්ධ මිනිසුන්ට තරම් නෑ. පෙන්නන්න නැවත වධය නොව වධ විඳි බව පමණක්. මිනිස්සුන්ට නම් ඒ ඇති මයෙ හිතේ...යුද්ධෙට පස්සෙ මේ මිනිස්සුන්ගෙ තිරිසන් කම් අලෙවි කර ගැනීමත් ප්රවෘත්ති කලාවක් වෙලා.. ස්ත්‍රී දූෂණයක් විතරයි තව වීඩියෝවකින් දමල නැත්තෙ ටී වී නිවුස් වල..මේවට විසඳුම් ඉල්ලන්ට සිද්ධිය ඒ ටු ඉසෙඩ් විස්තරේ පමණ නොබලා නැවත නැවත දැමීම තවත් ජන මනස කෙළෙසීමක් නොවෙන්නෙ නෑ. අවකෙළි දහයකට උඩ ගෙඩි දෙමින් එකක් බේරා ගන්න හදනව කියන්නෙ ඔළුවයි මුට්ටියයි දෙකම විනාශ කරගන්න වැඩක් කියලයි කියන්න වෙන්නෙ. එහෙම තැන්වලයි හිට්ලර්ලත් හිටගන්නෙ.(හිට්ලර් යනුවෙන් අදහස් කළේ හිට්ලර්වම තමා)

Thursday, June 21, 2018

මෙහෙමයි,

චීවරය ගලවන එක ගැන කතාකරන්න පළමුව කතා කළයුත්තේ චීවරය පොරවා ගැනීම, එහි වටිනාකම රැක ගැනීම ගැනයි. භික්ෂුත්වය රංගනයක් කරගත්තම චීවරය ඩ්‍රාමා කොස්ටියුම් එකක් ගණනට වැටෙනව..එතකොට රංගනය අවසානයේ ඒක ගලවල දමන්නම වෙනව. වටිනාකමක් තියෙන්න නම් තමන් පොරවගන්නෙ තම ශාස්තෘෘවරයාගේ නමින් එන චීවරය කියන එක හද පතුලෙ විතරක් නෙවෙයි තම ඥානය පුරාවට සාරයක් වගේ පැතිරිලා තියෙන්න ඕන. ත්‍රිවිධ හමුදා ඇඳුම, පොලිසියේ ඇඳුම අවභාවිතයට ගැනීමට වඩා දරුණුයි ආගමික පූජ්‍ය, පූජක ඇඳුම් අවභාවිතයේ ගියොත්.. කට ඉස්සර වුනු ගමන් හිට්ලර්ටත් ඒ ඇඳුම දාන්න තරම් ජන ප්‍රජාවත් තොරතුරු සන්නිවේදනය සමඟ ප්‍රබල උත්කර්ශයකට යනව. අන්තිමටම අපි අත දිග ඇරල අඩිය රත් වෙන්න ගහගෙන තියෙන්නෙ අපේම කණට.
අපි බණ අහනව මිසක් කියන්න සුදුසු නෑ.. කියන්න ඕන අය බයිලා, සිංදු, කතන්දර කියන්නෙ නැතිව අදාළම කාර්යයේ සතිය පිහිටුවා වැඩ කරනව නම් ඔය ප්‍රශ්නත් නෑ..
දැන් කියන්න වෙන්නෙ වෙච්ච දේට එන්න සෙයියදු..
රෙදි කරට ගන්න කලින්, අඩු තරමෙ සරම උස්සගෙන ගිරි ගෝරියට යන්න කලින් ඇත්තටම තියෙන ප්රශ්නෙට හරියටම උත්තර දෙන්න ඕන කියන එක හැම විටම දෙතුන් පාරක් හිතන්නට සතිපට්ඨානය ටිකක් හෝ වැඩිය යුතුයි...ගිහියෙක් හැටියට මම ගැනත් මට හිතෙනව..

හිඳුවන කවි (හීතලට)

සාර භූමිය මාර වෙස්ගෙන වනසනා
කෘෘර කල්ලිය දනන් මන ගිනි අවුලනා
වනන්නේ නැති කඩුත් අරගෙන කොස් කොටා
බත් ගසින් වත් රට නගාපන් මැතිතුමා

කටින් බතලත් අලත් මල්පැල සිටවනා
කලත් පසුවී බබත් ලොකු වී ඇත මෙදා
තවත් කාලය බලන් ඉන්නට බැරි නිසා
මැජික් මරලා රටත් නළවා ගනු සොඳා

එදා සිට ඒ පැවතෙනා ගරු නම රකිව්
රෑට රෑටම අවකෙලිය මන්තිරි පැටව්
ගැටව් සේරම නුඹලගේ මග ඇදට යව්
අනේ අම්මප කක්කුටුය මුන්ගේ අඩව්

Wednesday, June 20, 2018

සාධු...සාධූ...සාධූ!

වෙෙරය වගුරවා
ත්‍රාසය උතුරවා
භීතිය පතුරවා
කෝපයෙන් ගුගුරවා
කියව් කියව්
දියව් දියව්
අපිට
තොපිට
ඔව් අපිට
සාධු ජන සමාජයක්!
වැඩ වරා
දන පෙළා
හණ ගසා
කඩ වසා
පතමු අපි
ප්‍රගමනික සමාජයක්!
මාවතේ ඇවිද
ලේ හලා ඇවිල
කාලය නසා හනික
හෙට එළි දක්වමු
අධ්‍යාපනික සමාජයක්!
තව දුරටත් බෙදෙමු
නිල බලය බදා ගමු
තනි තනිව බෙදා ගමු
ලද හැකිය
සමානාත්ම සමාජයක්!
ඔව් ඉතිං, අපි පතමු
එහෙව්
මෙහෙව්
සීමා රහිත
පීඩා සහිත
අසාධු
සාධු ජන සමාජයක්.

කැලේ..!


Sunday, June 17, 2018

රියලිටි තුළ රියලිටිය

රාමුව හතරැස්ය වාහිනියේ රූප
කොහොමද හැමදේම හතරැස් කරන්නේ ඕක
ඔළුවත් රවුම් සැටලයිට්ය දැන් ඒක
කලාව රවුම් නැත්නම් අටපට්ටම්ද

මට්ටම් නැති නමුත් ඔපමට්ටම් දාලා
විකිණිමු අපිත් බොරුවත් අයිසින් දමලා
රස කර ලුණු මිරිස් පදමට දෙහි දාලා
අත පය නළවනමුද කොරියෝ ග්රැපි දාලා

අද්ය යාපනේ වගේය යද්දි යාපනේ
ඒ නයින්ය ගියෙ උඩින්ය ඕ ලෙ වෙල් වගේ
මඩත් කරිය බඩත් වැඩිය කලටිපොල් වගේ
නටාපන් උඹත් නටන්නෙම් මාත්
බිංකුණ්ඩො බොල බිංකුණ්ඩෝ....

තෝත් නටාපිය මාත් නටන් නම්....
රියලිටියේ බොල කුංබිංඩෝ
කීයක් එනවද කීයක් දෙනවද
නැගලම වනමුද ජිට්කුංඩෝ

Friday, June 15, 2018

ලේ සුවඳ (කුඩ මසු පිළී ගඳමය)

ලෝකයම මස් මාර්කැට්ටුවකි
විටෙක අපි පාරිභෝගිකයාය
විටෙක කඩයට මස සපයන
තැරැව්කරුවාය
විටෙක දඩයම කරන මස් වැද්දාය
නැතහොත් දඩයම අපම
එවිට විකිණෙන රස මස අපය
නැතහොත් නොවිකිණෙන කුණු මස අපය
ඔබ විජිටේරියන්?
මා බාබේරියන්?
අවසන අපි මැරෙන තුරු කිරට මිරිසට මස් මර මරා බුදින්නන්
කීයද මේකෙ ගාණ?
මේකෙ ගාණ කීයද?

මූණ - හංගන්නෙපා(ඒත් ලැජ්ජයි නම් කමක් නෑ)

මම කැමති මූණ මට නෑ කියල හිතුනම මිනිස්සු වෙනස් මූණකට තමන්ගෙ මූණ මාරු කරනවා, ඒකට තේරෙන සිංහලෙන් කියන්නෙ ප්ලාස්ටික් සැත්කම.
ඇත්තටම හදවතේ තියන දේ මූණෙන් පේනවා කියල සමහරු කීවත් ඒක අන්ලිමිඩට් ලෝකයක හංගන්න, බොරු කරන්න වෙන කතාවක්. මූණෙන් තියා වීදුරු බෝල වගේ ඇස් අස්සෙන්වත් අද හදවත් දකින්න අමාරුයි. ඒකට ස්කෑන් කරන්නම වෙනව.
එහෙම කාලෙක උනත් තාමත් පුංචි පුංචි සිඟිති තැන්වලදි, රිංගලා ගියොත් හිර වෙන්න වෙන තැන්වල දි ඇස් වලින් මූණෙන් දෙන්න වෙන අවංක කම සමහර විට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපිට දෙන්නම වෙනව..දැන් රියලිටි ෂෝ වල නැතත්.
 සාත්වික අභිනය ප්රගුණ කරයි කියල ඒක තත්පරේකට හැඟීම වහගත්තත් ඇත්ත හැඟීම මුදා ගන්න නාන කාමරේ හරි ළිඳ ළඟ හරි අඬන්නත් වෙනව.
රබර් බොලේ දිය යට ඔබල තියන්න බෑ.. ඒත් ජීවිතේ සුළඟෙ පා කරල අරින්නත් බෑ. සරුංගලේට නූලක් තියෙන්නෙ ඒකයි. මූණයි, ඇස් දෙකයි හැඩ කරන ඔළුව ඇතුළෙ මොළයක් තියෙන්නෙ අන්න අර හදවත සරුංගලේ වගේ හුළගෙ පියාඹන්න ගත්තම කූරිය ගහන්නෙ නැතිව අහසෙ ඉහළටම ඒක අරන් යන ඕන කරන නූල ඔතපු නූල් පන්දුව කර ගන්නයි.
ඒ නිසා ඒ පන්දුවෙන් සෙල්ලම් කරන්නෙ ප්රවේශමෙන්..මොකද පටල ගන්න ලේසි උනත් පැටළුණු නූල්බෝල ලෙහාගන්න එක ගොඩක් දෙනාට ලේසි වෙන්නෙ නෑ..   එතකොට ආපහු මූණ මාරු කරන්න හිතෙන්න පුළුවන්..
ඇත්තටම ලස්සන තියෙන්නෙ කොහේද? මූණෙ, හදවතේ? මොළේ? සමහරු කියන්නෙ බලන කෙනාගෙ ඇස්වල.. තේරුම් ගන්න පුළුවන්නම් හැමදෙයක්ම නිර්මාණය වෙන්නෙ ලස්සන අවලස්සන දෙකම එකට එකතුවෙලා කියල..
ගොහොරු මඩේ පිපෙන නෙළුම් වගේ දෙපතුලේ මඩ තැවරුණත් හදවත බුද්ධියෙන් ඔසවා ගනීවි මූණේ මඩ නොගෑවෙන්නට....
එතකොට ආපහු මූණ හංගන්න ඕනම වෙන්නෙ නෑ.

Wednesday, June 13, 2018

අස්සයා ඉස්තාලේ නෑ, ඌ වැසිකිළි ගිහින්..(ඉස්නානය කර ඌ එනතුරු ඉස්තානේ රැකගන්)-මරු මරේ

හැමතැනම සිංහලෙන් කීවොත් මැකැනිසම් ප්රශ්නය. ඉංග්රීසියෙන් ගත්විට කැවුමේ ප්රශ්නය. දෙමළෙන් ගත්විට පොලිටිකල් ප්රශ්නය... මේ අනුව කරුණු ප්රක්ෂේපණය කර උද්දීපනය කළ විට පෙනෙනුයේ පාර භෞතික අධෝ භෞමික තත්වයකි. සිංහලෙන් නම් ප්රශ්නයට විසඳුම් දීමට හොඳ ගරාජ් බාස් කෙනෙක් රජ කරවිය යුතුය. ඔහුට මැකැනිසම් හොඳින්ම ප්රැක්ටිකල්ය. ඉංග්රීසියෙන් ගත්විට කැවුම් තහනම් කළ යුතුය. අසවලා මෝඩයා කැවුම් කණ්ඩ යෝධයා යන්න එමඟින් වෙනස් කළ හැකිය. ඒ වෙනුවට අවැසි නම් මැන්දිස් වැනි පානයක් හඳුන්වා දිය හැකිය. දෙමළෙන් විසඳුමක් ගැනීමට නම් අදියරෙන් අදියර ෆඬරැල් පොලිටිකල් විසඳුමකට අප යා යුතුය.
මගේ යෝජනාව නම් බන්ධු-ටෙනිසන් ආරේ ප්රහසන කලාව වර්ධනය කිරීම මඟින් අපට බොහෝ ප්රශ්න වලට සරල පහසු විසදුම් කරා ලේසියෙන් ආ හැකි බවයි. රට පෙත්තටම නැංගිය හැකි බවයි. සිනාවෙන් ජොලියෙන් වදයක් නැතිව දෙපා උඩ තබාගෙනම ජනයාට සංවඩ්ඩණය විය හැකි බවයි.

Tuesday, June 12, 2018

ගුරු-මරු මරේ

(අරුත පහක් දාන්න, යටින් පෙනෙන අවස්ථාවට සම්බන්ධයක් හදන්න, මල් වඩන් ලෙඩා බලන්න යන්න, ගත හැකි ආදුරුසය ලිප තබන්න, නැතිනම් ශිශිර තරණයේ තබා පසුව ලිප්බොක්කේ පැළ කරන්න)

ගුරු මුෂ්ටිය ද
ගෝලයාට දුන් පසු
ඩබල් එකේ
ඒ ඔළමොල ගෝලා
සිතා එය යෂ්ටියක්
ඩබලක් සේ
අමුණා දෙකොන
නන්චකුවක් සේ
වනා දුහුනන් ඉදිරියේ
වෙන්නට සිතා පොරක්
වැදුනාලු සොම්බටම
ඩබල් එකේ
වැනුවාවු වේගයේ
දැන් ඌ ඉස්පිරිතාලයේ
හදිසි අනතුරු ඒ කකේ
ඌ තේරුම් නොගත් දේ
ඩබල් එකේ
වන්නා හැටිය
කූල් එකේ

Monday, June 11, 2018

ගෝඩ් එනකං! (කොමන් මෑන් නිකං හිඳීද???)

බොරු පණ පිහිටුවා ඇවිදිද්දී
සත්‍ය කනත්තේ මර නින්දේද?
බොරු වේ සදාකාලික සතුරා
සත්‍යයේ පුත්රයා හෙට උපදින්නට නියමිතය..

ගොම රිටි මිටි පිටින්
උඩ දමති හරි තුටින්
ලැජ්ජාව වැඩි කමිං
සත්‍යත් රෙදි ඇඳන්..

Saturday, June 9, 2018

මං තරම් අශුද්ධ මිනිසෙක්!

රැවුල කොණ්ඩය නිසා වූවා නොවේ
ස්නානය අකුරට කළ නිසා හෝ එක්තැන් වීමෙන් වූවාද නොවේ
යහමින් පෝෂණ සත්කාර ඇති බව නොදැනීමෙන් බිනුවාද නොවේ
ශුද්ධ වූ මිනිසුන් දැක්මෙන් ම සිතෙන්නක්ද නොවේ
මා ගැන අනුන්ට වඩා දන්නා නිසා සිතෙන්නකි
රංගනය සන්නිවේදනයට මිස ජීවිතයට ආලෝකයක් නොවන බව දැක කියන්නකි
නමුත්, ඔබට වඩා අහිංසක මිනිසෙකි මා
එලෙසම දරුණු මිනිසෙකි මා
එනිසාම එතරම් අශුද්ධ මිනිසෙකි මා
එනමුත්, තවමත් චෝදනා පත්රයක් නොමැත
යෝජනා පත්රයක්ද නො දමනු මැනවි
මා කුප්රකට ඇලෝසියස් හැර තවත් ඇලෝසියස්ලා කිහිපදෙනෙකු නම් හඳුනමි
ප්රකට මහින්ද, ගෝඨාභය තබා රනිල් මෙෙත්රීත් නොහඳුනමි
යමරජ, සාතන්, යමයන් හැර සමයන් ගැනද අසා ඇතිවා පමණය
එනමුත්, නැවත කියමි
මම අශුද්ධය
සෙම්, සොටු, කිලි, බලි, බිලි නිසා නොවේ ඔබට සාපේක්ෂවද නොවේ
නිරපේක්ෂව මිනිසෙක් ලෙස
පවිත්‍රත්වය පෙනෙන තැනක
දැනෙන තැනක
අවැසි තැනක

Wednesday, June 6, 2018

ආදරය නොහඳුනන මිනිහෙක් මා තරම්

කළ නොකළ බොහෝ දනා බොහෝ දේ ලියූ බැවින් නොලීමි, නොවේ
ආදරය නොදන්නා බැවින් නොලීමි, මෙතැන්හි
කල්තබා ලියූවක් වී නම් ඉල්ලා අස් කර ගනිමි, මෙකල්හි
නොදැන කළ වරදට සමා වුව මැනවි
බැඳීම යන්න හැර එහි දෙබෙදුම් නන්වැදෑරුම් සූචි නොදනිමි
එහෙයින්ම අහිංසක මිනිසෙකි මම
අලවංගුවකින්ම උදුරා දැමු ලෙස මුලුත් අල,
ආල මුල් හෝ අල දැන් සාර පොළොවේ නැත
තල මෙනේරි කුරහන් ටිකක් වත් වපුරන්නට දැන් හැකිය
කුරුල්ලන් අලින් නෙක වන සත්තු ඇසුරට බාධා නැතිය
හේනක් කොටා ගෙන පැලක් හදාගෙන කුඹුරක් කර ගෙන ....
හිතුවාට එසේ, හුළඟේ ගසා යන වරා මලක්  වත් දඬුවැටට උඩින් පියඹා එන්නට බැරි නැත
තරහ අවසර..
ඒවා ඉවත ඇදෙන්නේත් සුළඟින්මය
නොසිතමි එවග, පලාඵල කුමට .. ආලය නොහඳුනනම මා හට

Thursday, May 31, 2018

ඔව්...නෑ...බෑ...රජෙක් ඔටුන්න පූජාසනේ තබා නහයෙන් හැඬීය. (මටත් කඩුවක් නෑ, මමත් හඬමි)

මේ රටේ සුදුස්සාට, සුදුසු තැන කවදා ලැබේවිද? බලෙන් ගත්තොත් මිස කවදාවත් නොලැබේ වි...මේ බලෙන් ගැනීම ත්‍රස්තවාදය නම් ඒ ත්‍රස්තවාදයට උඩගෙඩිදෙන්නේ කව්ද? මේ රටේ ඒ චින්තනය වඩන්නේ නගන්නේ පැලකරන්නේ කව්ද? බලය ගත්තු ඉහළම පුරවැස්සා අප ඉදිරියේම නහයෙන් අඬනවා නම්...
මෙෙත්රී බලය ගත්තේ නහයෙන් අඬන්නටද? බලය ක්, විධායක බලයක් නුඹ සතුව ඇත්තේම නැතිද, මහත්තයෝ... කඩුව වනනවා කීවා, අවිචිය නරකාදිය ගැන කිවා..තව බොහෝ දේ ඔබම කීවා...ඒව සියල්ල අර මහින්දගේ වගේ "අපෙ  හාමුදුරුවනේ" කථාද? සිංහයෙක් පරිදි සටනට ආවා නම් කුක්කෙකු පරිදි කෙඳිරි ගෑ යුතුද? අපි විශ්වාස කළ යුත්තේ නුඹලා බලය ගන්නට  පෙර දාන ගර්ජනාද? පසුව දමන කල්පනාද? මහින්දගේ මග හරවන්නට නුඹට දුන් බලය රනිල්ගේ බලයට යට බවද නුඹ නොකියා කියන්නේ.. කව්රුන් හෝ නිසා වේවා නුඹලාගේ නාඩගම් තව දුරටත් විනාශ කරන්නේ මේ රටේ යහ ජනතාවගේ හදවතේ විශ්වාසයයි. මේ රටේ හදවතේ සාක්ෂියට කොලොප්පම් කරන පාර්ලිමේන්තුවත් සමයං දේශපාලන උගුඩුවෝ රැළත් ඊටම සරිලන ඒ පස්සේ වැටෙන ඉඳුල් බත් කන බත්බැලයින් රැසත් දැන් සිටින්නේ එකම වැසිකිළි පෝච්චියකය. මට නම් පෙනෙන්නේ එපමණයි. එතැනින් එන කවරෙකුගෙන් එන්නේත් එකම ගඳ නොවන්නට නම් පරණ වළෙන් නාලා ඇවිත් බැරිය. ඒ වළ දැන් අසුචි වලකි.

අලුත් අලුත් දෑ නොතකා, නොතනා නූල් සූත්‍ර වලින් ජනතාව නටවා යන්නට ගියෝතින් නුඹලා හැම ඔය පෝච්චියෙන් වළට යන්නට ඉක්මන් සුදුස්සන් වනු ඇත.

කණගාටුව නුඹලා ගැන නොව අප ගැනමය. රට ගැනමය. හැමෙකා අවංකව හිතන්නේ රට ගැන නම් නැත්තේ ක්රමයක්ද? වතුර බිඳක් නැති, සාර බිඳක් නැති පොළව ඇති රටවල් සිය ඉරණම් කණපිට ගහද්දී.. අපි පාපෝච්චාරණය කරමින් හඬා වැටෙමු බලය හා බලවතුන් ඉදිරියේ..

වැටි සියයක්! ම දල්වමු..

ඕනෑ කුමක්ද
වැටියක්ද
දුමක්ද
දල්වන්න
එනවාද
එයින්
තව
වැටියක්ම
එහෙනම්
දල්වන්න
වැටියක්ම
පහන්
දල්වන්න
තව
එයින්
වැටියක්ම
පහන්..

Tuesday, May 29, 2018

අධි පොසොන් දා අධි න්‍යායන් නැති අධික ඇත්ත අධිකව කියමි (එහෙම යකෙක් වෙයන්)

පාදමක් නැතිව ගෙයක් හදන්නට බැරිය. හැදුවත් එය පවත්වාගෙන යන්නට බැරිය. මුළක් නැතිව ගසක් නැති සේම මූල පද්ධතිය කුණුවූදා ගස ඇද වැටෙන බවද සත්‍යය. එසේනම් අසම්පූර්ණ පාදමක්, කුණු වූ මූල පද්ධතියක් ඇති රටකට තවදුරටත් ඒමත පැවැත්මක් නැති බව නොකිවමනාය. පැහැදිලිවම මුක්කු ගසා රට නොවැටී තබාගන්නට තවදුරටත් කිසිවෙකු සමත් වන්නේද නැත. එසේ හැකි උන් සෙවීම වත්මන් දේශපාලනය නඩත්තු කරන එක් සර්වාංග කුපාඩිකමක් පමණි.

යුද්ධයක් නිමා කළේය. එය ශරීරයේ කොටසක් වණවී කුණුවී ගැලවී යන්නට ගොස් යන්නම් නොකපා බේරා ගත්තා හා සමානය. නමුත් නොසෑහෙන වියදමක් දරා ගොඩදමාගත් ශරීරය ප්‍රකෘතිමත් කර වැඩක් ගන්නවා වෙනුවට අපි ඒක සමරන්නට ඇඟ පුරා පච්ච කොටා ගතිමු. වැදගත් විදිහට අතේ පයේ වශයෙන් පටන්ගත් ටැටූ නැටුම ජය බෙදාගැනීමේ තණ්හාව මත කටේ, පිටේ, මුහුණේ පමණක් නොව බඩේ, පපුවේ, පශ්චාත් භාගයේද ටැටූ ගසා ගතිමු. දැන් ඇත්තටම තවත් වණයක් හැදෙන තරමටම ඒ ටැටූ කෙළිය අවකෙළියක් වී ඇත.

මේ සියල්ල අස්සේ ගතවූ කාලය පුරාවට සිදුවූයේ ලාවට ලාවට අටවාගෙන තිබූ රටේ පාදම බිඳී හැලීමයි. ඇද වැටීමයි. අවුරුදු ගණනාවක් තිස්සේ ඒ ගරාවැටීමේ හේතුප්‍රත්‍යය සම්පාදනය වූයේ උතුරු නැගෙනහිර යුද්ධය නාමයෙනි. ඊළඟට දකුණේ භීෂණය නාමයෙනි. සියල්ල ගිණුම්කරණයෙන් විසඳා බැලූ විට එක එකාගේ නමට ලියා ගත් හර බැර හැරුණුකොට අද රටට ඉතිරි වී ඇත්තේ පාසල් පෙළ පොත්වල ඇති දැනුමත්, පරිගණක වල ඇති ඩේටා, දවස් හතරක් කඩින් කඩ වැස්සත් නාසයෙන් ඉහළට වතුර නගින හා ගිලාබහින පොළොවක්, දවස් පහක් තවදුරටත් ගොඩ ගැසීමෙන් ගිනි ගන්නට අරඅදින කුණු කඳු හා ජාතිවාදයේ, ආගම්වාදයේ ආස්වාදයෙන් මනදොළ සපුරන ඇල්මැරුණු මුත් බඩගෝස්තරයේ අයිතිය වෙනුවෙන් නම් මරාගෙන මැරෙන, කැපවීමෙන් තොරව කේතුමතියක් පතන, කඳ ඊස්ටන් ඔළුව වෙස්ටන් කකුල් ලතින් ඇමරිකන්, නන් දොඩවන හුදී ජනතාවක් පමණි.

දැන් අපට ඇත්තේ පැහැදිලි විකල්ප දෙකකි. උපන් බිම ගෙඩිය පිටින්ම කුණු කොල්ලයට විකුණා දෙකෝටියටම කීය කීය හරි බෙදා ගැනීම එකකි.
නැත්නම් මේ අභියෝගයෙන් ගොඩ ඒමට ත්‍රස්තවාදයෙන් සමඟ කළ යුද්ධයට එහා යුද්ධයකට යා යුතුය. අනාගතය උදෙසා වාදබේදයෙන් තොරව අති දරුණු කැපකිරීමක් කළ යුතුය.

නමුත් ඊට පෙර මේ ටික නම් නිරාකරණය කර ගෙන සිටිය යුතුමය.

අපි පෙර යුද්ධයක් දිනුවා තමා. එහෙත් ඒ ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය දිනුවේ මහින්දවත්, ගෝඨාභයවත්, ෆොන්සේකාවත් ද? එසේ නැත. ඔවුන් කළේ වගකීමක් ඉටු කිරීමකි. ඒ වෙනුවෙන් කැපවීම් කළේ මහජනයාය. දිවි දුන්නේ ද රටේ ජනතාවය. හමුදාව යනු ජනතාවගේ දරුවන්ය. සතුරන්ද ඒ ජනතාවගේ දරුවන්ය.  දිනුවේ යහපතය, පැරදුනේ අයහපතය. එපමණකි.
භිෂණ සමයේ සිදුවූයේ කුමක්ද? එයත් සටනකි. යම් අරමුණක් උදෙසා පෙළගැසුණු සමූහයක් හා රජයක් ගැටිණි. සමස්ථ රටේ ජනතාවටම විනාශය අත්විය. සටනක අරමුණ කවරක් වුවත් අවසන රටට ලැබුණු ජය කුමක්ද? කවර භීෂණයක වුව අවසන් ප්‍රතිඵලය රටක පරාජය යි. යුද්ධයේදී මෙන් බර අවි නොදැරුවත් ගිනි අවි ගන්නා කවර අරගලයකදීත් ප්‍රතිඵලයේ බර මැනෙන්නේ ජීවිත වන්දියෙනි. දේපළ හානි, පරිසර හානි පසෙක වේවා..
ඒ නිසා රට නගන්නට යුද්ධ කළයුත්තේ සැබෑවටම කවර අවි ගෙන දැයි ඔබම කල්පනා කළ යුතුය. කව්රුන් දිනවීම සඳහාද යන්න ඔබම තීරණය කළ යුතුය.

කලක පටන් අප පරිසරය හා කරන මුග්ධ යුද්ධය උදෙසාද අද අපි වන්දි ගෙවන්නේ  ජීවිත වලිනි. නමුත් හැමදේටම තාවකාලික පැලැස්තර ගසන අපි දැන් නහයට උඩින් වතුර යෑමද නොදැනෙන තරම් මළකඳන්ව සිටිමුද?
පරිසරය හා යුධවැදීම යන්න තරම් වන ගොන් කමක් තවත් වෙත්ද?
ඒ නිසා අපි අපේ විකල්පය, ශුද්ධ වූ යුද්ධය  පටන් ගත යුත්තේ පරිසරය නැමති පාදමෙනි. ඒ ගොඩනැගීම සඳහා කටයතු කළ යුත්තේ දුර දකින බුද්ධියෙනි. ඊට ප්‍රාග්ධනය හා ව්‍යවසාය විය යුත්තේ ද අපේ බුද්ධිය, කැපවීම හා පරිත්‍යාගයමයි. අප රට ගොඩ නගා ගත යුත්තේ අප සඳහාමයි.    ජීවිතයෙන් රට වෙනුවෙන් වන්දි ගෙවූ මිනිසුන් හිටි රටක අපට අපේ ජීවිත කාලයෙන් කොටසක් රට වෙනුවෙන් පරිත්‍යාග කළ හැකිනම්.. රට නැඟුමේ විකල්පය එයමයි. නැවත කිව යුත්තේ අප  පළමුව හදාගත යුත්තේ පරිසරයයි. එතැනින් පටන්ගෙන රටම අලුතෙන් හැදිය යුතුය. අලුත් රටක් තැනිය යුතුය. අප ඒ අලුත් රටේ මිනිසුන් හැටියට අභිමානයෙන් ජීවත්වීම තබා මිය යාමටවත් සිතන්නේ නම් අධිකව ඇත්ත කතා කරන්නට පටන් ගත යුතුමය. නිවට කම හෝ ගැතිකම නිසා මහින්දගේ, ගෝඨාභයගේ, රනිල් හෝ මෙෙත්රිගේ, අනුරගේ තබා සම්බන්ධන් හෝ විග්නේශ්වරන්, හකීම්, තොණ්ඩමන් හෝ දිගම්බරන් ගේ වත් පාට පක්ෂ වලිග වල එල්ලෙන්නට නොයා යුතුය. මේ රටට දැන් අවශ්‍ය වැඩපිළිවෙළකි. අද ඊයේ නොවේ, යුද්ධය නිමාවේදීම අපිට අවශ්‍ය වූයේ ඒ වැඩපිළිවෙළයි.  මහින්ද ඒ පිළිවෙළට නොපිළිපන්නේය. මෙෙත්රී රනිල් දැන් ඕසෙ අදින්නේය. මිනිස්සු පිල් බෙදී වල් වැදී දැන් බඩගෝස්තරය නගාගැනීමේ පිස්සුවෙන් ය. රට භෞතික ගුණයෙන්ද  මිනිසුන්ගේ මිනිස් ගුණයෙන්ද සීග්රව පිරිහේ. වෘද්ධයෝ නන් දොඩති. උගත්හු තර්ක දමති. අවශේෂ දේශපාලුවෝ සිය අනාගතය සොයති. දුර්වලයෝ පලා යති. ආත්මාර්ථී නැණත්තෝ කැපවීමට නොහැක්කේ පලා යති. දිළින්ඳෝ මිහිපිට දෙවියන් යදිති. ජන මාධ්‍යය දේව දූතයාගේ සිට දෙවියන්වහන්සේටම අඳිති.

දැන් අප කළයුත්තේ අපට කළහැකි දේ කිරීමය. නිවැරදිවම කළ යුත්ත නිවැරදි කිරීමය. බොරදියේ මාළු බාන්නට හදන අඳ බාලයන් දැන්වත් තේරුම් ගත යුත්තේ බොර දියේ තමන්ට බා ගන්නට මාළු කිසිවෙකුත් දැන් නොමැති බවය. දිය බොර වීමෙන් තව දුරටත් වන්නේ අපට ගෙඩිය පිටින්ම මඩේ ගිලී  මියැදීමට ඉඩ සැලසීම පමණි.

ඒ නිසා දැන් කාලය නසන න්‍යාය ශාස්ත්‍ර මත්තේ නැහීමද අත්හැරිය යුතුය. මොන නැටුම නටන්නටත් ගිලෙන නැවක් මත්තේ අවකාශ නැත. අරක මේක කියා තම තමන්ගේ කොටස බේරාගන්නට සමස්ථය ගිලෙන නැවක ඉඳන් බැරිය. ගල්පරයකට හෝ හේත්තුවක් දමා වරායකට ඇදගෙන යන්නට කටයුතු සලසාගතහොත් නැව අලුතෙන් හදාගත්ත හැක. එච්චර හරියක් බැරි නම් නැව අතහැර ඉතිං පැනපන් මුහුදට තමා..

සද්භාවයෙන්ම ඔළමොලයින්ගේ කණට ගසා හිස් බිමට ඔබා නැගිටිය යුත්තෝ දෙපයින්ම කොඳු කෙළින් කොට නැගිටිත්වා!

මේ රට හැදෙන්නට නම් වැඩ කරන කරවන යකුන් මිස තමන් හැදෙන තම පරපුර හදවන උන්ගෙන් වැඩක් නැත.
කාගේත් දැනගැනීමට උවමනාව ඇතුවා නැතුවා, අභිමානයට කියා, කරපන්.. මම එහෙම යකුන්ගේ ගොඩට එක්වෙමියි, කියා.

Thursday, May 24, 2018

එ..නිසා....උපන් නාද

අසීමිත ආශාවන්
සීමිත ඉඩ කඩ
පරාද වනු අකැමැතිය
නිති පැරදුම හිමිය
එය මුදු වෙද
රළු වෙද
සුදුමුදුව නොපවතිනු ඇත
අබිමුව සලිතවද දුර්මුඛවද හඬා වැටෙත්
දෑත් විදා වැළඳගනිත්
කළ දේ මෙතෙක් තබා යත්
රැස්කළ දේ දමා යත්
හය හතර ගැබ තුළ
සැතපෙත් ගොළුවෙත් දැවී හළු වෙත්
එහෙත්...
ඊට මොහොතක් කලින්
අවසන් සුසුම් අග්ගිස්සෙන්
නැගෙනා වු විත්තක්ෂණයක්
ඇසිල්ලකටත් කලින් පියඹා
මතුවී තවත් තැනකින්
පැමිණෙන්නේලු ආපසු
නැවුම් නෑඹුල් වෙසකින්
අසීමිත ආශාවෙන්
සොයා සීමිත ඉඩකඩක වාසයක්
අත්හරිනු නොහැකිව
සසර බැමි
බැඳි වීණා හඬවමින්..

Tuesday, May 22, 2018

වැස්ස, අකුණු, ආපදා - ඔව් - ස්වභාවිකයි තමයි..

ස්වභාවය බොහෝ දේ කර තිබේ. අදත් බොහෝ දේ කර තිබේ. අපත් බොහෝ දේ කර තිබේ. කඳු නාය යද්දී රට සමතලා වෙද්දී වතුර දෙගොඩ තලද්දී ... අවුරුදු කීපයක් ආපස්සට යද්දී, අවුරුදු කීපයක් ඉදිරියට හිතද්දී... මිනිස්සුන්ගේ දිරිය එදිරිය සමඟ නොනවතින අරගල මැද... තවමත් වාසි සොයන්නේ කව්ද? යුගයෙන් යුගයට කරුමය උරුමය කොට ගන්නා, එතැනම ලගින වරද කාගේද? වැස්ස වසී, අව්ව පායයි, පායන කළ ගී ගයා තුටින් වෙසෙන තණකනපෙත්තෝ අපි වම්හ.. එක අතකට එය වැරදිය. පායන කළ අප මර ගී ගයන්නේ වැඩි පංගුව දිනා ගන්නටය. වැඩි පංගුව නැති ජීවිතය තිත්තය. ඒ අනුව අපි එක එකා හැටියටත් ලක්ෂ ලක්ෂ ගණනින් ලෝකෙට ණයකරුවෝය. වැසි සමය වෙනස්ය. බාධා වැඩිය. ඒත් ආධාරයේ වුව වැඩි පංගුව අපට ඕනෑමය. එනිසා අහස ට දෑත පා මුහුද දෙස බලා මාධ්‍ය චැනල් වීරයන් අප ගලවා ගන්නට එන මෙහෙයුමට වසරක් පාසා අපි දැන් හොඳින්ම සූදානම්! සුදුපිරුවට අඳින අයත් පව් මඩ වතුරෙන් හෝදාගන්න සූදානම්!
මේ ආපදා සමයයි! ස්වභාවයේ ස්වභාවයට නිගරුකොට ඇනගන්නා සමයයි.
කාළගුණය හරි ස්වභාවිකයි තමයි. ඒත් අපේ ජීවිත දැන් හරිම අස්වාභාවිකයි.
(මේ අපේ රට නොව ඈත රටක ස්වභාවයක් නිසා අපිට අපි ගැන හිතා හැම කලකම කොතරම් නම් සොමිබරව සිටිය හැකිද, ප්‍රීති බොහෝ වේවා!)

Sunday, May 20, 2018

මැරෙන්න පැලෙන්න ගොඩ ගොඩාක් ආදරේ... යි (අන්ධ භක්තිය නොහොත් ප්‍රණාමේ සමඟ හෙලුවෙන්)

අපි රණවිරුවන්ට පුදුම විදිහට ආදරෙයි, ඒ නිසයි උතුර ගැන ආඩපාලි කිය කියා දකුණෙදි බෙදි බෙදී දේශපාලන වාසි හොයන්නෙ.. ඒ වාසිය අරගෙන උතුරට තවත් දුර්මත වපුරන්න ඉඩ හදල දෙන්නෙ.. එහෙම වුනාම රටක හමුදාවක් කරපු අතිශය කැපවීමෙන් රැකුණු රට තව දුරටත් ඉදිරියටම යනව.. යුද්ධය ඉවර කරපු තැන ඉඳලම දකුණ වාසි තකා පිල් බෙදුණ, ඒකයි අපේ ඉහළම රණවිරු ප්‍රණාමේ. ඒ බෙදීම් අතින් කොයි කවදත් අපි හරි ඉහළයි. ඒ බෙදීම් සඳහාම පහළ වුණු දකුණ බෙදීමේ පාරමිථා පුරන වීරයො මෙහෙ ඉන්නව. මෙහෙ බෙදි බෙදී රට බෙදන්න දෙන්න බෑ කියල පාරට බැහැල සටන් කරන්න තරම් අපි මාර නුවණක්කාරයි.. දකුණෙ අපි පුහු වාද භේද මත නොබෙදෙන තරමට අපේ රට ශක්තිමත් රටක් වෙනව කියන මතයට එන්න, රණවිරුවන්ට නිසි ඇගයීම ලැබෙනව කියල හිතන්න බැරි තරමට අපි නම්බුකාරයි. ඒක තමයි හැමදාම රට ගැන අපිට තියෙන ආඩම්බරේ. ඒ බෙරේ ගහන් තව තවත් බෙදි බෙදී දකුණෙන් වාසි ගන්න ගිහින් අපි විහින්ම උතුරේ දුරාබෝධ තවතවත් ශක්තිමත් කරත්වා! ඔය බෙදීම් දැක දකුණේ නින්දිත අවස්ථාවාදයන් දැක රට වෙනුවෙන් දිවි දුන් රණවිරුවෝ ආසිරි සෙමර සලාවි අපි හිතනව... තවදුරටත් ඒ මියගිය සියලුදෙනා වර්ග බේදයකින් තොරව එකම කොටසක් ලෙස අපට නොපෙනෙන මානයක උපදින්නට පැතුම් පතා වි.. මට හිතෙනව.
තෙල් පහන් දහසක් දල්වන තැන එක නැණ පහනක් දල්වාගන්නට අසමත් ජාතියක් වෙනුවෙන්, දිවි දුන් මියගිය සියලු දෙනා පමණක් නොවේ ජීවත්වන අපත් අනේ අනිච්චං!
දෙවියන්වහන්සේ අප රැක ගනිත්වා!
බුදුදමින් නම් අශ්වයන් පුහුණු කරන්නා අතරැ දමන නොහික්මෙන අශ්වයන් සේ අප සළකනු ඇත්තේ නොරකින සිල් නැවත නැවතත් ගන්නා අප සරණේ වරුණ ගැන කීමට ඇති උදාරම නිසාම වනු ඇති. එනිසා මම බුදුසරණ ම කියමි.
(පොසොන් සඳහා සූදානම් කළ ඥාන කතා දන්සලේ පස්සා දොරෙන් කලින්ම උස්සා මේ විසිකරන්නේ කාගේ හෝ චිරස්ථිතියක් උදෙසාය, වැටෙන්ට පෙර බිමට අල්ලා දමා ගන්න සුදුසුම තැනට)

Friday, May 18, 2018

ඔපරේෂන් බයිපාස්-ෆො ජෙනරේෂන් නෙක්ස්ට් (full fun & fun full)

ජීවිතය විඳින්න ඕනේ..හැමදේම ලස්සනට වෙන්න ඕනේ.. අපි තේරුම් ගන්න ඕන මෙච්චරයි, කවුරුත් වැරදි නෑ එච්චරයි..
ටියුෂන් ගුරුවරුත් හරි, රජයේ ගුරුවරුත් හරි, වෙෙද්‍යවරුත් හරි, හෙදියොත් හරි,  දේශපාලකරොත් හරි, දේශමාමකයොත් හරි, ප්‍රයිවට් බස්, සී ටී බී, පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි, මල්වතු, අස්ගිරි, සීගිරි ගියෙ නැති, කොටින්ම ප්‍රභාකරන් විතරක් නෙමෙයි, හිට්ලර් වුනත් වැරදියි කියල අපි කියන්නෙ කොහොමද?
අතීතය පැත්තකින් තියලා ආපහු අපි ඉන්න තැනට එමු. මේ ඉන්න ටික කාලෙ ජොලියෙන් ෆුල් ෆන් එකේ ඉන්න නෙමෙයිද කොයි කව්රුත් කැමති, ඉතිං හැම දෙනාටම තම තමන් කැමති විදිහට ජීවත්වෙන්න ඉඩදෙන්න බැරි ඇයි?
රට යන්ට, රට කන්ට, හොරා කන්ට, හම්බ කරන්ට, දූෂණයට, වංචාවට, උද්ඝෝෂණවලට, මැරකම්වලට ඇයි මේ නොයෙකුත් බාධා.. මොකටද රටේ නැති නීති, ඕව තියෙන එකෙන් වෙන්නෙ මිනිස්සුන්ට ජීවිතේ විඳින්ට තියෙන කාලෙ නිකං හාන්සිවෙලා නැති නාස්තිවෙලා යන එක විතරයි. පගාවක් දීල වැඩක් කර ගත්තම මක් වෙනවද? ජාතීන් හැටියට ආගම අනුව බෙදිල ගහ ගත්තම, පක්ෂ හැටියට බෙදිල මරා ගත්තම ඒක කොච්චර නම් කික් ද? ඉපදුණු දා ඉඳන් අපි ගන්න මේ ආතල් එක තව තවත් වැඩි කරන්නයි අපි ජනතා නියෝජිතයො පත් කරන්නෙ.. මම කියන්නෙ මිනිස්සුන්ව මිනිස්කමෙන් බඳින්නෙ නැතුව ඔය නීතිය කියන දම්වැලෙන් ලෙහල අරින්න.. ඒක හොරාට කරන්නෙ නැතිව ප්‍රසිද්ධියෙ කරන්න.. අපි අත් දෙකම උස්සල කාල බීල මැරෙන්න ලෑස්තියි.. මම කියන්නෙ ඒකයි, හිතට හොරා මඟුලක් කතා නොකර අපි අර ළඟදි නම වෙනස් කරපු රට ස්වාසිලන්තෙටත් වඩා කොර කරමු මෙහේ.. රාජපක්ෂද, මෙෙත්රිද, රනිල්ටත් පුළුවන්, නැත්තම් අනුර හරි.. මොකා හරි.. අපි මේ ගේම එළිපිට ගහ මු.. මොකෙක් වත් කැප වෙන්න ලෑස්තිත් නෑ, කැප වෙන්න ඕනත් නෑ, කැපවෙන්න ගිහිල්ල කැපිල යන්න ඕනෙත් නෑ, හැබැයි හැම දෙනාටම, රටටම අාතල් පිට ඉන්න තියෙන්න ඕනා.. ඒක කරන එක රට කරවන උන්ගෙ වගකීම, හැබැයි එහෙම නොකරයි කියල අපි උන්ව මරාගෙන මැරෙන්නෙ නෑ.. සද්දයක් දානව, එතකොට උන් අපිට ආතල් එකක් දෙනව, පට්ට.. ඒක හරහා අපි පොර වෙනව, බොක්කෙ ෆිට් එක තමා, උන් හරියට කරන්නෙත් නෑ, අපි කරන්නෙත් නෑ, දෙගොල්ලම එක එකාට හොරා දාන ලව් සීන් තමා.. නමුත් කට්ට ලව් එක.. මං කියන්නෙ දැන් තාක්ෂණයත් දියුණු නිසා හංගලා ගහන එක එළිපිට ගහ මු කියල.. යටින් දෙන ගේම නෝ රූල්ස් ෆ්රීස්ටයිල් කියල ඒක ලිංගික, සම ලිංගික බැරිනම් ව්‍යභිචාරී කියල සත්තු දාල හරි එළියෙ ගහමු.. කාලයක් දැකපු එක්ස් කණ්ඩායම් වෙනුවට විකල්ප වයි කණ්ඩායම් හරි හැදිල, ප්‍රභාකරණ් වෙනුවට තවත් කව්රු හරි හැදිල, දකුණෙන් දියසෙන්ල නැවත හැදිල, 71,88 බැරි වුණ දේ 2020,21හරි අාපිට ගහල රටම හොට් කරල රොක් කරල රත්කරල ගිනිහල් කරල හරි මේක හොට් ඇන් ස්පයිසි ෆුල් ෆන් රටවල් අතර කූට ප්‍රරාප්තියට ඇවිත් ගිනි ගොඩවල් මැද්දෙ ෆුල් ආතල් පිට මැරිල යන්න අපි බලාන ඉන්නව... අපිට වඩා වැඩිහිටියන් ගෙන් කරන්න තියෙන ඉල්ලීම ඔබලාගේ නහින දෙහින කාලේ උපරිම ෆන් එකේ ෆුල් ඔප්ෂන් විගඩන් ටික කරපල්ලා.. පුළුවන් තරම් මේක කාපල්ලා...අපිට මාර සතුටුයි, කවද හරි ඉතිරියක් තිබුණොත් ඒ ටික අපි කන්නෝ...
අපෙ හාමුදුරුවනේ අපිත් කලින් පරපුර වගේ තනිව කන් නෑ.. මුල් පංගුවෙන් කොටහක් හරි, කාට නැතත් මල් වත්තට හරි, අස්ගිරියේ හරි දීලයි අපි කන්නේ...
මොකද, බුදු හාමුදුරුවන්ටත් වැඩිය ඔබ වහන්සේලා ගැන අපි අපමණ පැහැදීමෙන් ඉන්නේ...
කාටකාටත් දෙවි පිහිටයි, කවදාවත් නැතිව අද මං ටිකක් විතර වැඩිපුර බිව්වා
(alwater-non asanic label)

Tuesday, May 15, 2018

Scrap


විලි තේර...ඉල්ලෙෙ

පොත් පිරෙන්න ලකුණු දමාගෙන
සේප්පු පිරෙන්න සල්ලි දමාගෙන
ලිපිගොනු මිටියක් සල්ලි මිටියක් මවිල්
එනකම් කිහිල්ලෙ ගසාගෙන
කව්දැයි බොලේ යන්නේ මේ වටේ රට?

අපි ගත්තා අපි දුන්නා ලකුණුත් අපිටම ලැබුනා
චෝදනාද යෝජනාද නඩු අවනඩු බඩුම තමා
කළු සල්ලියි අපෙ මල්ලියෙ පිහිට තමා පිනම තමා පෙර කරුමය තොපට තමා
එන්නම් මල්ලි ආයෙ පාරක් යමුකො වටේ වැඩම තමා

Saturday, May 12, 2018

තරමට

නිවැරදි කමට එකඟවිය යුත්තේ ලකුණු දමා ගැනීමට නොවේ.
වැරැද්දට එරෙහි විය යුත්තේ වාසි තකා ද නොවේ.
එසේ කරන්නවුන් ඉන්නා තැන අපත් පිරිහේ, රටත් පිරිහේ.
අද සිදුවන්නේ එයයි. සිදුවෙමින් පවතින්නේ එයයි.
කිසිදා කිසි විට පගාව නොදුන්නවුන් අත් ඔසවන්න..
කිසිදා කිසිවිට පගාව නොගත්තවුන් අත් ඔසවන්න..
ඔවුන්ගේ පුරවැසි පොතට එක් ලකුණක් හිමිවේ.
තව කරුණු විමසන්න.. පුද්ගල, පක්ෂ, පාට, පිල් වාසි තකා කරුණු නොවිමසන්න. තමන් රවටා ගන්නට උත්තර නොදෙන්න, මම දන්නා හැටියට හෘදය සාක්ෂිය අවැසි කෝටු පහර ලබන පාසල් වයසේ නොව වමතට නොදැනෙන්නට දකුණෙන් මිනීමරණ මහ වැඩිහිටි වයසටය.
කරුණු කරළියට එන විට අවසන තම තම පුරවැසි පොතේ ඉතිරිවන ලකුණ ඔබ රට වෙනුවෙන් කළ ආයෝජනය බව තේරුම් ගන්න, අපගේ වයස අනුව ඒ ඒ පමණට අප මේ භුක්ති විඳින්නේ ඒ ආයෝජන ප්‍රතිලාභ බව වටහා ගන්න. ඡන්දය යනු ඒ පොතේ සටහන් වන තවත් එක් ලකුණක් පමණක් බවද සිහියට ගන්න.

Wednesday, May 9, 2018

මෙහෙව් රටක නපුංසක අඩව් (කාලකණ්ණින් කවුරුද)

මීඩියා රට හදති
රට හරක් ගොම දමති
ගොම ගොඩෙන් දේශපාලුවෝ නැගෙති
රටට වින හෙණ දෙවා තම පක්ෂ උන් නගති...
කැළණි විහාරය නොවැඳම විපක්ෂයෙ වාඩිලා සියළු පව් උන් නසති
හුරේ ලා කරේ ලා ඇරගනිව් උන් ලවා
කේතුමතියේ වැසිකිළි දොරක්වත්...
දනා දද දම දමා
හපා ගනිති තම තමා
කළ යුත්ත නොතකනා
තෙක් තාන තම් දෙනා

Saturday, May 5, 2018

මම ඉගැන්වීමටම උපන්නෙමි (පළමු දිනය නොමිළේ, ශාලාවේ ඒ සී ඇත.)

මගේම කියා දෙයක් ඇත්ද?
මගේම කියා මම හිතනා සිතිවිලි මගේමද?
මගේ කාය මනෝ කාය කියා මා ආත්මය කොට ගන්නේ කිමෙක්ද?
මගේ ඇලීම ඇලීමක් කොට ගැනීමක් පමණක් නොවෙද එය...
සුළඟෙන් හුස්ම උරාබොන්නේ කෙසේද? පසෙන් ගසත් ගසෙන් සත්වයාත්, සත්වයාගෙන් සත්වයාත් පෝෂණය වන්නේ යම්සේද මොළයේ ස්නායු සංජානනය කරන ඉන්ද්‍රිය ගෝචරයන්ගේ පිළිබිඹු මොළයේ ඉන්ද්‍රියන්ගේ හෝ මගේ වන්නේ කෙසේද? නැතිනම් ඉන්ද්‍රිය ගෝචරයන්ගේද ඒවා?
මේ සියල්ල ගැන දැනගන්න
ජීවිතය ජයගන්න
එන්න මගේ පාසලට