Tuesday, June 26, 2018

අතුරු සිදුරු

මදුරුවෝ වගේ නොවන අලි කොටි වග වලසුන් අතින් තලා විනාශ කළ හැකි හෝ පරිසරයේ පිරිසිදු කමෙන් යාමනය කළ හැකි හෝ සත්ව කොටසක් නොවේ. සතුන් මරා දමා පරිසර සමතුලිතතාව බිඳ තිරසාර විසඳුම් ලද හැක්කේද නොවේ. ඩෙංගු මැලේරියා නොහැදුවද අලියා මිනිහා අතර ඇති අරගලය, ඉඳ හිට වාර්තා වන කොටි වලස් කතාවට වඩා සමාජයේ ගැඹුරට ගිය එකකි. වරද අලියාගේද මිනිසාගේද යනුවෙන් වදවීමට වඩා වග වීම සපුරා ඇත්තේ මිනිසා සතුව බව වටහාගෙන ක්‍රියා කිරීම නොවෙද කළ යුත්තේ.
බලය සහිත වූ පමණින්ම බලධාරී හෝ නිලය දැරූ පමණින් නිළධාරී බව දරන්නන් නොව මොළය සහිත මොළධාරීන් පිරිසක් රටේ මහජනයාට නිරන්තර බලපාන ගැටළු සඳහා දිගු කාලීන දේශපාලනමය නොවන සමාජමය ප්‍රතිපත්තිමය විසඳුම් ලබාදීමට තෝරාගත නොහැක්කේ ඇයි. පත් නොකරෙන්නේ ඇයි.
අණ සහ බණ පටලවාගත් එකතැන පල්වන සමාජයක් හිට්ලර් සොයා අතීතයෙන් අනාගතය දකින්නට හදන්නේ පල්වීමෙන් කුණුවන මොළගෙඩි වලට ඉන් එහා කල්පනාවක් ඇති නොවන්නේ මෙ බැවින්මයි.
වරද පෙනෙයි, දැනෙයි. ඒත් අපි එකතැනයි. උත්තර සරලයි. අපේ අමනෝඥකම ඉහළයි. එකඟතාවයන් හීනයි, මතවාදයන් බහුලයි. අවසන් ප්‍රතිඵලය උදාසීනයි, නිෂ්ක්‍රීයයි. බොහෝ ස්ඵෝටනයන්ගේ සද්දෙයි දුමයි විතරයි. මිනිසුන් අනෙකා නසා සතා සීපාවා මරා දමා හෝ තිරශ්චීනව විසඳුම් සෙවීමේ එක්තරා හේතුවක් එතැනයි.
අප රටක් හැටියට නිවැරදි කාල රාමුවකට පිවිසෙන්නේ කවදාද.. අප්පමාදෝ අමත පදං.. මතුබුදුවන බුදුන් දැක නිවනටත් ප්‍රමාදය පතන අපි අඩු තරමින් යහ ජීවනයක් උදෙසාවත් අප්‍රමාද නොවන්නේ මන්ද.. කාලකණ්ණි කම යනු එයයි.

No comments: