Thursday, October 30, 2014

a වර්ගයේ ස්නායු ඇත්තේ අපට විතරද?

ඊයේ කදුකරයේ නාය ගියේය. තුන්සියයක් පමණ පොළවයට සැගවෙන්නට ඇතැයි ආරංචි මාර්ග සදහන් කළේය. මෙහේ ඉඩම් වලින් වතුර ගලනවාට විරුද්ධව කුඹුරු වල සේ මාර්ග හරහා වතුර බදින්නෝය. වැට මායිම් කණුවට නැහෙන්නෝය. ආණ්ඩුවෙන් දෙනවා නම් දමිළ පුවත්පත වුව ගන්නට හදන්නේ දෙමළ අකුරක් වත් නොදන්න උන්ය. තවමත් මේ කිසිදෙයක සැළකිය යුතු වෙනසක් ඇති බවක් නොපෙනේ. තේරෙන සිංහලයෙන් කීවොත් ස්නායු පද්ධතියක් තියෙන්නේ අපට විතරය කියා හිතන තරමට අනෙකා ගැන තමන් උපමාවට ගෙන සිතීමේ ධර්ම උගනීම මෙහේ සමහරෙක් තවම උගෙන නැත. එනිසා රටේ නායකයාගේ ස්නායු පද්ධතියත්, මැති ඇමතිලාගේ ස්නායු පද්ධතියත්, ඉහළ පන්තියේ ධනවතුන්ගේ ස්නායු පද්ධතියත්, මධ්‍යම වෙළද ප්‍රජාවගේ ස්නායු පද්ධතියත්, මධ්‍යම පාන්තිකයාගේ ස්නායු පද්ධතියත්, ගම් බලවතුන්ගේ ස්නායු පද්ධතියත්, සාමාන්‍ය වැසියාගේ ස්නායු පද්ධතියත්, සෘණ ගණනින් සාමාන්‍ය වැසියන් වන අයගේ ස්නායු පද්ධතියත්.. ආදී වශයෙන් රෝග නැතිවත් පංති භේද අැති ස්නායු පද්ධති වර්ගකිරීමක් සමහර තැන්වල තවමත් අපට නැතිද???? a වර්ගයේ ස්නායු...

අවධානම එන්නේ අඩ‍බෙර ගසමින් නොවේ. ඉතින් අවධානම් හදුනා ගන්නා තැන්වලදී ඒවාට කල්තබා විකල්ප සෙවිය යතු සේම ඒවා ක්‍රියාත්මක කළ යුතුය‍. ඒ තන්හිදී අර අදාළ  ස්නායු පද්ධතීන්ට දැනෙන පරිදි කරනු ලබන සන්නිවේදනයද වැදගත්ය. තවමත් එකම භාෂාවෙන් කරන සන්නිවේදනය වුව ඒ භාෂාව කතාකරන ජනයාටත් එක ලෙසින් ග්‍රහණය නොවන තැන මේ සන්නිවේදන ක්‍රමය ගැනත් දෙවරක් සිතිය යුතු නැතිද. ආපදාවන් හීදී පමණක් නොව ඕනෑම කටයුත්තකදී තවත් විධිමත් හා ක්‍රියාශීලී වීමක් අපට අවශ්‍ය නැතිද? එහිදී බඩගින්න සේම ස්නායු පද්ධතියත් රෝගී නැති තැන කාගේත් එකාකාර බව ගැඹුරෙන් තේරුම් ගැනීම අපට වඩා නිවැරදි ඉසව්වකට පියනැගීමට හේතුවක් වනු ඇත.

රටකට අවශ්‍ය මියගිය ‍මිනිසුන් වෙනුවෙන් ශෝක වන්නට පිරිසක්ද, මියෙන්නට පෙර මිනිසුන් ජීවත් කරවිය හැකි ශක්තිවන්තයින් හා වීරිය වන්තයින්ද? එනිසා විනාශයක් වෙන්නට පෙර කෙසේ හෝ බේරාගත හැකි දේවල් කල්ඇතිවම බේරා ගැනීමට උපරිම වෙහෙස නොදා විනාශයට පසු හේතු පෙන්නා වුනු දේ සාධාරණීකරනය කරන කැත පුරුද්ද දැන්වත් නතර කර ගැනීමට කාලය පැමිණ ඇත.

Thursday, October 23, 2014

කාලය අභිබැවීම

කාලය අභිබැවිය හැකිද? 

 යා යුතු වේගය

කාලයේ වේගයෙන්

කාලයේ වේගය කොපමණද?

හොයාගන්න

හොයාගන්න..., කොහොමද?

හිට්ටවගන්න

හිට්ටවගන්න...., මොකද්ද?

හිත

මොකක්?

නවත්තන්න හිත

ඒ කොහොමද?

අංගුලිමාල නවතගත් විදිහට

මං මිනී මරුවෙක් නෙවෙයි!

මං බුදුරජුනුත් නොවෙයි.!

.......................................!

ඔබ මොන මරුවෙක්ද?

මට තේරුනේ නෑ..

තේරුම්ගන්න 

බෑ...

අල්ලගන්න

බෑ...

අතාරින්න

?...?...?.....මට තේරුනා!..... කාලය මරන්නෙක්.. කල්මරන්නෙක්

තවත් කල් මරනවද?

නෑ.. මං පටන්ගන්නවා

මොකක්ද?

කාලය අභිබවන්න..

Tuesday, October 21, 2014

සත්‍ය

උගන්නන

ඉගැන්නෙන

දැකුම් සත්‍ය

ඔලුවට ‍ඔබා ගෙන

කතා කරති අ සත්‍ය

නූගෑන්වූ 

ඉගැන් විය නොහෙන

පරම සත්‍ය

තමා තුළින් වැටහී

අවබෝධ කරත් 

නොකියති අ සත්‍ය

කාගේ වත් වලිගය අල්ලා ගෙන දෙව්ලොව යා නොහේ. දෙව්ලොව ගැන අවිශ්වාසයෙන් දෙව් ලොව යා ද නොහේ. නමුත් වැදගත්ම දේ දෙව්ලොව තබා  මෙලොව දී අනුන්ගේ වලිග අල්ලාගෙන නොමග නොයාමයි. සියලු මුග්ධත්වයන් ශුද්ධ කරගෙන ලෝකය දෙස බැලීමට තමාම උගෙනීමයි. තැන නොතැන රස්තියාදු ගැසූවද නන්නත්තාර නොවී රස්තියාදුව ශුද්ධ කරගත්තෙක් වීමයි. නිරවුල් රට වැසියෙක් වීමයි.


කණකොකා ගී කියන අපේ සාදයට එන්න

ඇත්ත ගැන හිතමින් 

බොරු කිව්ව අය

කිව්ව බොරු වහගන්න 

ඇත්ත කිව්ව අය

දැන්? සත්‍ය කතාකරයි 

කණකොකා ගී කියයි

ඡන්දයක් අත ලගයි

අපි හෙට දිනනවමයි

Sunday, October 19, 2014

අපේ ක්‍රමයට කතා නොකර සිස්ටම් එක වෙස්ටන් කරා නම් හරිම ෂෝක්


අර සිස්ටම් එක

ඒකට වඩා හොද වෙස්ටන් එක

වෙනස් කරානම්

සිස්ටම් එක

අනේ හරිම ෂෝක් අපේ සිවිල් සොසයිටි එක..

හෙන හිතක් .. හරි පොරක් .. මාර කතාවක් .. එ්ත්

හෙන හිතක්

හරි පොරක්

මාර කතාවක්

මාරයි

මා..රයි

මා....රයි

අවුරුදු කීපයකට පස්සේ

අමාරුයි..

තවත් කාලයකට පස්සේ

හමාරයි.

එතකොට 

සමහරුන්ගෙ හිතට අමාරුයි

කොරන්න

ඉතිරිවෙලා නෑ

හොයා ගන්න 

ඇති දේකුත් නෑ

හොයාගෙන

වැඩකුත් නෑ

වැරැද්ද 

ලැබුනෙම නෑ අපිට

උගන්නලා තිබුනෙම නෑ

අපිට

ගරුත්වයක්

දැන් විදවන කොට

වෙලාව ඉවරයි

ගරුත්වය කියන දේ හිත ඇතුළෙන් එන්නෙ නැත්නම් ‍වලේ වැටිල හරි ඉගෙන ගන්න ඕන දෙයක්. ඒක මේ මහත්මා සමාජයෙන් උගන්වන දේ තුළ තියෙන්නෙ බාගෙට. එහෙම පොෂ් ලකුණු වලින් නොලැබෙන ඉතිරි ටික ගන්නෙ වෙන්නෙ හදවත හාරල විතරයි. ඒ හැරීම අපි අපිට ඕන විදිහට කරගන්න අතරෙ.. තවත් දශමයක ඉවසීමක් හදාගන්න පුළුවන්නම්.. ඔය හෙන හිත් හරි පොරවල්  මාර කතා නිර්මාණය කරාවි ගරුත්වයෙන් යුතුව. බලෙන් හරි දෙන්න ඕන අයට ඒක එහෙමම දෙන්න. අද එපා කීවත් හෙට ඒකෙ වටිනාකම එයාට දැනේවි.

බුද්ධියෙන් හැගීමත් හැගීමෙන් බුද්ධියත් පණ පෙවීම

ප්‍රඥා වන්තයා හොද බුද්ධියක් කල්පනාවක් ඇත්තෙකි. ශ්‍රද්ධා වන්තයා හොද හදවතක් හැගීමක් ඇත්තෙකි. වීර්ය වන්තයා හැගීමෙන් බුද්ධියත් බුද්ධියෙන් හැගීමත් පණ පොවා ගන්නට ශක්තියමත්භාවය ඇත්තෙකි.

හොද කල්පනාවත් ‍හොද හැගීමත් හොද ශක්තියකුත් ඇත්නම් එබදු මිනිසෙක් සැබවින්ම වටිනා මිනිසෙකි. දියුණුවට යන්නෙකි. හොද කල්පනාවත් හොද හැගීමත් ඒ දෙකම තුළ කාර්ය සාධනයෙහි අවශ්‍ය ශක්තිමත් භාවයත් නැත්නම් මිනිසා දුර්වලයෙකි. වහ වහා නිවැරදි නොවුනොත් වහා පිරිහෙන්නෙකි.

බුද්ධිමත් කල්පනාව ඇත්තා බොහෝ තැන්හිදී බො‍ෙහෝ විට පළමු තැන ගනී. කරුණු කාරණා ඔහුට හොදින් වැටහෙන බැවින් භෞතික ක්‍රියාකාරීත්වයන් තුළ ඔහුගේ කල්පනාව වඩා ඉක්මන් ප්‍රතිඵල දෙයි. ඉක්මන් ප්‍රතිචාර දැක්වීමේ ඉක්මන් ක්‍රියාකාරීත්වය නිසා සමස්ථ කාර්යයක් තුළ මේ ප්‍රඥාවන්තයා වේගවත්ය. බුද්ධිමත්භාවයෙන් යුතු කල්පනාව නිසා ආවේගශීලීත්වය මෙන්ම කලබලය අඩුය.

හොද හැගීමක් අැති තැනැත්තා බොහෝ විට මේ මගෙහි දෙවන තැන හිදී. කරුණු වටහා ගැනීමේදී වඩා හොද හැගීමකින් කටයුතු කරන්නට වෙහෙසෙන බැවින් කරුණු වඩාත් විග්‍රහකොට වටහා ගන්නට මෙබන්දෝ කැමතිය. එනිසා කල්පනාකාරීත්වය ඉක්මනට වඩා හෙමින් ස්ථාවරව සිදුවේ. අරමුණ කෙරෙහි හොද හැගීමක් තබා ගෙන, දරා ගෙන කටයුතු කරන්නට හැකියාවක් ඇති බැවින් ශ්‍රද්ධා වන්තයාගේ ප්‍රභාව වැඩිය. හොද හැගීම් නිසා යහපත් ආවේගයන් ප්‍රබලය. ජව සම්පන්න බව වැඩිය.

නිවැරදි කල්පනාවත් නිවැරදි හැගීමත් දෙක අතර නිරන්තර දෝලනය වන්නෝද සිටිත්. ඔවුන් හැගීම හෝ කල්පනාව තෝරා බේරා ගෙන කාර්යය සාධනයට වීර්ය කරන්නෝය. එබැවින් ඔවුන් ඉතා ශක්තිමත්ය, සූක්ෂමය. නමුත් කල්පනාවත් හැගීමත් අතර දෝලනය හා තර්කය නිසා ඔවුන් සමස්ථ කාර්ය සදහා වැඩි කාලයක් ගත කළ හැකිය. නමුත් වඩා පූර්ණත්වයකින් කටයුතු කරන්නෝය. ස්ථාවරය හා ශක්තිමත් බව වැඩි නිසා ප්‍රභාවේ පැවැත්ම ද දීර්ඝකාලීනය. බුද්ධිමය හා භාවමය සම්මිශ්‍රනය නිසා ආවේගයේ ප්‍රබල බවේ හා ජව සම්පන්න කමේ තියුණු භාවය වැඩිය.

අද අප ජීවත් වන සංකීර්ණ සමාජයේ සමස්ථ කාර්යාවලියේ දී රටක් ජනතාවක් හැටියට අපට වැදගත් ඔය තුනෙන් කවරක්ද? ඔය තුනම පොදුවේ අවශ්‍ය වුවත් එකෙන් දෙකෙන් දැනටමත් ලබා ඇති දේවල් තුන්වන මට්ටමේ එසවීමකට ගෙන ඒම පළමු වගකීමක් නොවන්නේද. ලබාගත් දිනාගත් දේ දිගු කාලයකට පවත්වා ගැනීම සදහා වීරිය කරවන බල ගැන්වුමක් අපට අවශ්‍ය නොවන්නේද?

තැන නොතැන රස්තියාදුවීම නිසා මලකෑ එංජින් අලුත් කර සවිමත් කර බල ගන්වා ගැනීමට නම්.......................................බුද්ධියෙන් හැගීමත් හැගීමෙන් බුද්ධියත් පණ පොවන්න.

Saturday, October 18, 2014

රජ කතා බැලුවා දැන් මදිද?

මෑතක සිට අපේ රටේ විවිධ රූපවාහිනී නාළිකා වල මෙන්ම පුළුල් තිරයටත් ප්‍රධාන හා ජනප්‍රිය තේමාව වූයේ රජ කතාය. මෙරට ඒවාටත් වඩා පුංචි තිරයේ නම් තිබුනේ වෙනත් රටවල රජකතාය. එහෙත් ඒ කතා වලත් තේමාවේ හිටියේ කොහේ හෝ රජවරුමය. පුළුල් තිරයේ අපේ රජ කතා බොහෝ ගණනක් අාකර්ශනීය ලෙස විකිණිනි. එයින් හොදක් වූවා වෙන්නට ඇත. සමහරක් බලා අපද සන්තෝෂ වී ඇත්තෙමු. විචාරයකට ගැඹුර නොබලන ම‍ගේ අදහස රජ කතාවෙන් පැරණි ජන කතාවට ගම කතාවට යන්නට අපට නොහැකිද? යන්නයි. ඒවායේ වටිනාකම් ඇති පුවත් කතා නිර්මාණයන්ට නොසෑහේද.. රජ කතා පිය‍වරේම ඉදිරියක් තබා මහජනයාගේ කතා වල වැදගත් ඉතිහාස අවධීන් නිර්මාණයට ඇති බාධාව කවරේද? රැල්ලක් හා රැල්ළට කරනවා යන මෙහේ අදහස යල් පැන ගිය එකකි. නමුත් රැල්ලට ඇති බය නිසාම පසුබා හිටියත් අපේ ඉතිහාසයේ රජයෙන් ඈත්වූ ගම කතා බලන්නටත් පුංචි තිරයේ නම් හොදින්ම ඉල්ලුම පෙනේ. මාකටින් හෝ රේටිං වල තතු කෙසේ වෙතත් මිනිසුන්ගේ හදවතේ නම් ඔය රජ ගෙන් මෙහාට ඇති ජනතා කතා වලට ඉඩක් හොදින්ම ඇත. අවශ්‍ය එතැන ස්පර්ශ කරන නිර්මාණය.

අනාගතය හා බද්ධ වෙන්නට වෙනස් වෙන්නට හින්දි කොනක් හෝ රජ පුවත් කොනක් අල්ලා ගෙන සිටියාටම හැකිවෙද්ද.. ප්‍රශ්න බොහෝ කොට තිබෙනවා යයි කියත් තවමත් අපහසුවෙන් හෝ නිර්මාණ කරන ප්‍රවීණයන්ද වෙසෙන සද මිනිසුන්ගේ ඇසින් බලා හිතින් හිතා ස්පර්ශ කොට වත්මන් සමාජයේ ගැඹුරු නාඩි අල්ලා ගත හොත් ඒ නාඩි වැටෙනු ඇත්තේ කෙසේද? අධිපති වාද ගැනම අසා හෙම්බත් වූ ජන මනසට අපේ අගයත් සොබාවේ සැහැල්ලුවේ අපේ වින්දනයත් දෙන නිර්මාණ බිහිවේවා.. එලසෙම අනාගතය ස්පර්ශ කරන බටහිර හා පෙරදිග දෙකොන අල්ලා ගත් අපේ කොනත් යා කොට ගන්නා ප්‍රබල වාණිජමය හෝ සිනමා රූප මෙන්ම ටෙලි රූපත් බිහි වේවා... නිර්මාණය හා රසවින්දනය යන දෙපැත්තේම හිද සරලව මෙන්ම ගැඹුරුවද රස විදින්නට අප සූදානම් .. තවත් බොහෝ අය ඇති. 

කලාවට කාලයක් ‍උදාවේවා.. මේ හැල හැප්පිලි කොයිකත් මැද


අභුත රූපය කියවීම විකාර රූපීය නොකර ගන්නා විලසින් ඉදිරියට ගියවිට

අපි හරි පිළිවෙලයි කීවාට ආපහු ලෝකයේ හතරවෙනි යුද්ධයක් තවම නූවූවාට පළවෙනි එකෙන් පස්සේ වූවායින් පසුව වගෙයි සමහර තැන්වල ඇසනේනේත් පෙනෙන දෙයින් දකින්දෙයින් හැගෙන අයුරින් මුලකින් මැදකින් අල්ලාගෙන කියවන්නට වූවත් කෙසේ හෝ අවබෝධ කරගතය යුතු වන කාරණා සේම දැනෙන හැගීම් මිනිසුන් නිදහස් කරන පමණටම නොතේරෙන තත්වයන් කියවා මෙන්ම නරඹා වටහා ගැනීමේත් තලයක් විවෘත විය යුත්තේ වියුක්තිය සංයුක්තයකට ගෙන ඒම ‍එදා තරම් පහසු නොවනවා සේම අතීතයට වඩා සංකීර්ණ තාක්ෂනික භාවිතයන් සරල වූවාට අර්ථ දැක්වීම්ද එකිනෙකට සංකීර්ණ වන නිසා එකට පෑහූ කල නොපෙනෙනා අර්ථ සේම නොහැගෙනා කරුණුත් සිතියමක් කියවන්නා සේ තැන තැන අමුනා පාර සොයා ගන්නවා සේ ඒ ගැලපීම උගත හොත් සංකීර්ණ සමාජයේ සංකීර්ණ මෙන්ම වියුක්ත කරුණු අපහසු තලයක ගලපා යම් රූපයක් ඇද ගත හැකිවේය යන්නෙන් ඒ අභූත රූපයෙන් කියවෙන දේ ගලපා අවබෝධයට ගත හැකි අතරම එසේ කළ යුතු වන්නේ ස්වභාවික තලයේ සාමාන්‍ය භාවිතාව එන, යන, කන, බොන දේට සීමා වන නිසාමත් නොව ස්වභාවිකත්වය කලක පටන්ම තාක්ෂනික සංස්කෘතිය තුළ දියවී ඇති තරමට ඒ සංස්කෘතිය ස්වභාවික වී ඇති බැවිනුත් ඒ ස්වභාවිකත් වය තුළ සොබා ස්වභාවිකත්වය නොදැනෙනා නොවිදිනා පසුබිමක ආදී වශයෙන් ගත්කල.................................................................................... විකාර රූපයද කියවා ගත යුතුමය, ජීවත් වීම පිණිස සබුද්ධිකව, සවිඥානිකව.


Friday, October 17, 2014

ඉට්ස් මයි ඕන් බිස්නස් - ෆිල් ඉන් ද බ්ලෑන්ක්ස් ... ම්හ්හ හහ්හ හහ්.. කැස්ස

යන්නේ කොහෙද

මල්ලේ පොල්ය

සිහියෙන්ද

සිහිනයෙන්ය

???????????????????????????????????????????????????????????????????

ඇහැරෙමුද

කව්ද නිදි

උදව් කරන්නද

ඒක මගේ වැඩක් 

පාරෙ වලවල්

උදේට කෑවෙ නෑ තවම

අපි යන්නද

මේ දවස් වල වැස්ස

මල් හතයි ආ..

ඩයස්පෝරාව

බුදියගන්න

ජය වේවා

1960 හැත්තෑ ගණන්වල

ඔහෙ කරගෙන යනවා

ලගදි බැන්දේ


0000000000000000000000000000000000000000000000000000000000000000000

සීනි නැතුව තේ එකක් බොමු

ඒක තමා බලන්න මේ රටේ මිනිස්සු හරි වැරදියි 

මාර විදිහට හම්බකරන්න පුළුවන්.........................................................................නිමි 

Thursday, October 16, 2014

නිදහස හා හරහට යාම :-) සිනහවකි.

මේ රස්තියාදු කාර ලෝකයේ සත්‍ය වටහා ගැනීම බෙහෙවින්ම අසීරුය. කටේ දිවේ යම් යම් දේ ගාගත් පමණට හෝ කරදඩු උස් මහත් වූ පමණට සත්‍ය වැ‍ටහෙන්නේද නැත. අඩුම තරමේ එක් අයෙකුගේවත් උදව්වකින් තොරව කිසිවෙකුට සත්‍ය පිළිබද ඉසව්වක් හෝ සොයාගත නොහැකිය. එහෙව් අවදියක සත්‍ය වෙත බිංදු මාත්‍රයකින් හෝ අපව ගෙන යන්නට උදව් වූවෙකු වෙත වචනයකින් හෝ අපේ පරිභවය අතිශය ගුණමකු කමකි. ඔවුන්ගේ ඇතැම් කියුම් කෙරුම් අපට රුචි නොවන්නට පිළිවන. සමහර දේ තමන්ට තේරෙන්නේ නැති වන්නට පිළිවන. ‍නමුත් ඒ නොතේරීම තමන්ගේ ප්‍රශ්නයක් මිස වෙනත් කෙනෙකුගේ ප්‍රශ්නයක් නොවේ. සමහර විට එය කාලයාගේ ඇවෑමෙන් තේරෙන දෙයක් වන්නට පිළිවන. අනෙක් අතට එකක දෙකක අඩුපාඩු තිබූ පමණින් සියල්ලක් ඒ ‍එකට දෙකට යටකළ යුතුද නැත. ඔවුන්වෙත විචාරයක් දෙන්නේ නම් බොහොම විවෘත ලෙස මිස ගුණමකු ලෙස නොවිය යුතුය.

කට හැකර ලෙස කුණුකතා දෙසීම මහ ලොකු කෙරුම්කාර කම්ද?

පවතින නිදහස භුක්ති විදිමින් හරහට යන කක්කුටු වැඩිහිටියෝත් ඔවුන්ට ජාතක නොවූවද එ් මග ගන්නා ගොබ්බ දුවා දරුවෝත් සිටින බව විවිධ තැන්වල විවිධ කටයුතු දකින ‍විට පෙනේ. ඒ සමාජයක හැටිය. නමුත් කිව යුත්තේ පවතින නිදහස කාලකන්නි ලෙස භාවිතා කරමින් තමනුත් හරහට යමින් ඊට රුචි දරුවෝත් ඒ මග දැක්කුවාට ධර්මයෙන් ඔවුන් වෙත නිසි සැළකීම ලැබෙනු ඇති බවය. ඒ ධර්මයට ක්‍රියාත්මක වීමට පෙරත් ඔවුන්ට තමන්ගේ ගොබ්බ මොළ ශුද්ධ කරගැනීමට තවමත් අවස්ථාව ඇත. 

ලොව පරිපූර්ණ මිනිසුන් සොයන්නට ඕනෑ නැත. අඩු වැඩි වශයෙන් අඩුපාඩු අප කොයි කාටත් ඇත. එනිසා කටත් බෙල්ලත් පරෙස්සම් කර ගැනීම කාටත් යහපත්ය.

මේ ටික කීවේ අප පවා යමක් උකහාගත් සමාජයේ සැබවින්ම වටිනා භූමිකා නිරූපණය කරන උදවියගේ කනක් කොනක් අල්ලා ගෙන පාදඩ ලෙස මඩ තලන උෟරන් සමාජයට කරන විනය දැකීමෙන් හටගත් කණගාටුව‍ෙනි. රටත් ජනතාවත් දැනුවත්ව මෙන්ම නොදැනුවත් සමාජය ඉදිරියට ගමන් කරන්නට දායකත්වය දෙන ගෞරවනීය පුද්ගලයන් කොතෙක් වෙතත් මේ සයිබර් අවකාශය ආදිය භාවිත ‍කරමින් මඩ තලන අමනයෝද හිග නොවෙත්. තමාට කරන්නට බැරි කෙන්දක් තිබියදී කදු ගණන් වැඩ කළ මහ මිනිසුන්ට එලෙස නිගා දීම බලු නොවටිනා ගුණයකි. බල්ලෝත් ඊට වැඩිය ගුණ දන්නෝය. 

එහෙයින් දේශපාලනය ආදී නාටක වල වචනයක් කොනක් ගෑවුන පමණට එකහෙලා එබන්දන් වෙත මඩ හලන්නට බලු නොවටින නිර්භීත කම් හදාගන්නට එපා. එ් නිර්භීත කම් සැබවින්ම නම් ඒවා එලියට පෙන්වන්නට ඕනෑ නම් නිවැරදි ක්‍රමයක් සොයා ගනිල්ලා.

අද ඊයේ මේවාට එබෙන අනාගත පරපුර වෙත මේ ක්‍රම තුළ උඹලා දෙන්නේ මොනවාද? කාලකන්නි කම පමණයි.

ඒ නිසා අනාගතය වෙනුවෙන් ලැබී ඇති නිදහස භාවිත කරමින් අපේ අයිතිය යැයි කියමින් කක්කුට්ටාටත් නිගා දෙන මට්ටමේ හරහකට නොයා කෙළින් යන්න බලපන්..

සමාජ වටිනාකම් විනාශ ක‍රන්න කරන පිප්පීම හකුලා හරි යමක් කරන්න අඩු තරමේ කෙන්දක දෙයක් කරන්න උත්සහ කරපන්.

මේක උඹල විතරක් නොවේ අපත් උපන්න රට. අපි දෙ‍ගොල්ලම එන්නෙත් යන්නෙත් එකම විදිහට. හැබැයි ජීවත් වෙන කාලෙ උෟරෙක් නොවී උන්ටත් නිගා දෙන තරමෙ ඌරු වැඩ කරමින් උෟරු චරිතවලට නොඇද මිනිහෙක් වෙන්න බලපන්.

තමන් කාලකන්නි වෙමින් අනුන්වත් එතැනට ගන්න හදනවනම් උඹ කවදාවත් මිනිහෙක් නොවෙයි.

නිදොස් ඔබට,

අදාළ තැන්වල මේ දේවල් ලිවීමෙන් වඩාත් මඩ තැලීමක් වන නිසා කියෙව්වත් නොකිව්වත් උෟරන් වෙත ලිවිය යුතුදේත් මෙතනම ලියන්නම වෙනව. යුගයේ තරම.. අනාගතයේ අඩන්නට වෙන මේ දේවල් සිනහවකින් විදදරා ගන්නට අපත් දැන්ම පුරුදූ නූනොත් අනාගතයේ ජීවත් වන්නට නීතියෙන් තොරව නම් අපට බැරිවේවි.

Wednesday, October 15, 2014

නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී රටක තම හිමිකම් ගැන පෙත්තෙක් කතා කරයි

 මෙ පුවත මෙපරිදිය.

දන්නා අය සදහන් කළ පරිද්දට මිනිසුන් විසින් ඇති කළද මේ පෙත්තා නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී හිමිකම්  ලැබූවෙකි. උදෑසණ සිට සවස් වෙන තෙක් තමන් කැමති තැනකට ගොස් ලැබනෙ දෙයක් කා බී එන්නට පුරුදු වී සිටියෙකි. මිනිස් ඇසුර හුරු නිසා හිතවත් වූ නිවෙස් වෙත නිර්භයව එන්නෙකි. එසේ එන අතර තමාට හිතවත් කම් පෑ නිවැසියෙක් වෙත සමීප වූ නිසාවෙන් අද උදෑසණ කොටු කිරීමකට ලක්වූවෙකි. තව ටික දිනකින් සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය භුක්ති විදීමට උගනිමින් සිටි මේ පෝතකයාගේ  ප්‍රජා අයිතිය ද අහෝසි වන තැනට මේ වන විටත් කරුණු සම්පාදනය වෙමින් පවතී. බුද්ධිමත් විචාරකයන් මේ ගැන එබදු උපකල්පනයක් දක්වතත් තවමත් ඒ තීරණය පමණක් අදාළ පුද්ගලයින් විසින් එළිදක්වා නැත.

මේ ඒ ගිරා පෝතක විසින් දක්වන්ට යෙදුන අදහස් සංක්ෂිප්ත පරිවර්තනයෙනි.

වැඩියෙන් කතා කරන්නට මම උගෙන නැත. නාද කරන්නට හැර කතාකරන්නට යමක් උගත්තානම් ඒ මිනිසුන්ගේ ඇසුර නිසාය. ඒ අනුව මට කීමට වඩා ඇත්තේ ඇසීමට ප්‍රශ්න කීපයකි. 

ඔබේ ඇසුරට කැමත්තෙන් නොවුනත් කලකදී මා එයට හුරුකළ හේතුවෙන් ඔබ අතරට පැමිණි මා මෙසේ සිරකළේ ඇයි?

කූඩුවක දමන්නට මා කළ වරද කුමක්ද?

කෑමත්, කලක සිට හුරුවූ ඇසුරත් පැතුවා මිස මා වෙතින් නොදන්නා කමින් හෝ සිදූ වූ හානියක් වෙත්ද?

ඔබේ කැමැත්ත නිසා මෙහි රැදුනා විනා කපටිකමෙන් මා මුළාකොට රදවාගන්නට ඔබට ඇති අයිතිය කුමක්ද?

අවසන් වශයෙන් ඔබලා බොහෝ සේ පීඩාවට කරදරයට හිරිහැරයට පත්වූ තැන දී ඔබ කියන වචන කිහිපයක් මා අසා ඇත. ඒවායේ ප්‍රබල තේරුම් ඇතැයි මම සිතමි. එහෙයින්ම අසමි. නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, හිමිකම්...කරුණාකර මේවායේ අර්ථය මට කියාදෙන්න. එය කියාදීමට නොදන්නේ නම් ඔබලා ඒ වචන භාවිතයට සුදුස්සෝ නොවෙති. මට ඇසී ඇති පරිදිත් මා තේරුම් ගත් පරිදිත් ඔබලාට සුදුසු තහංචි, අධිපතිවාද, කඩකිරිම් යන වචනයි.

නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම හිමිකම් ගැන කියූ කතා විශ්වාසයෙන් අසා ඔබ වෙතට පැමිණි මා කූඩුවක දමා සිරකළ ඔබට, මට ලබාදිය නොහැකි මේ වචනවල අර්ථ භුක්ති විදීමට අයිතියක් වෙත්ද? මාගේ අවසන් ප්‍රශ්නය එයයි.

 ඔබේ නිරාමිස කරුණාව අපට දෙන්න. ඒ අපට ප්‍රමාණවත්ය. අපේ කූඩු වීමේ අයිතිය ඔබේ කූඩුවට නොගන්න. එය ම‍ාගේ අවසන් ඉල්ලීමය.

මීට 

මෙතෙක්, නිදහසේ සැරූ පෙත්තා... 

වෙනුවෙන්, 

භාෂා පරිවර්තක

 

ප.ලි. පුංචි අතිශෝක්තියක් ඇතත් මෙය සත්‍ය සිදුවීමක් ඔස්සේ ලියවෙන්නක් බව සැළකුව මනාය. අද හරි අපූරු දවසක් ;)   

පෙත්තා ගේ අදහස ඔස්සේ මට හැගුණු දෙය නම් සුපිරි බව පසෙක තියෙද්දී ප්‍රජාතන්ත්‍රවාදයක් තබා නිදහස ගැනවත් අපට තේරෙනවාද යන්නය. තව කාලයක් යනකම්වත් අපට නිදහස ගැන අවබෝධයක් ලැබෙනු ඇතද යන්නය. එහෙව් මිනිසුන් විසින් අනුන් ගැන තබා තමන් ගැනවත් නිදහස් තීරණ කෙසේ නම් ගනු ඇත්ද?..‍‍‍‍.. තවම අපට ගැලපෙන්නේ කූඩුව ඇතුළේ ලැබෙන නිදහස පමණක්මය. අප විසින්ම කූඩුව ඇර අවංකවම තව කෙනෙකුට නිදහස දෙන්නට සිතන්නට නම් අප කූඩු කළ හොත් දැනෙන හැගීම පිළිබද ගැඹුරු අවබෝධයක් ලැබිය යුතුමය. තරහට හරහට යෑමේ තේරුමක් නැතිසේම කුඩා දරුවන් මෙන් ගැඹුරු අවබෝධයක් නැති මිනිසුන්ට ‍ලැබෙන නිදහසින්ද ඔවුන් තවමත් යන්නේ හරහටම නම්..?.

Tuesday, October 14, 2014

ලාංකීය ‍දේශපාලනයේ තදාත්මීය රංගය හා තදාත්ම විඝටන රංග කාර්ය - නළුවෙකුගේ ඇසින් සරලව

මෙතඩ් ඇක්ටින් යනු රුසියානු ජාතික ස්ටැනිස්ලාවුස්කි විසින් හදුන්වා දෙන්නට යෙදුනු රංග විලාසයකි. නළුවා සීයයට වැඩි ගණනකින් බාහිර හා අභ්‍යන්තරික වශයෙන් චරිතයට ආරෝපණය වී මිනිස් හදවතට සමීප රංගයක් ඉදිරිපත් කිරීම මෙහි සරල අර්ථයයි. ඇදුම පැළදුම, චරිතයේ සියුම් හැසිරීම් මෙන්ම අභ්‍යන්තරික වශයෙන් ගන්නා භාවයන් හෝ මානසික ස්වභායන් මෙහිදී වඩාත් වැදගත්ය. මෙය ප්‍රේක්ෂකයාගේ හදවතට, ආත්මයට තදින් බැදෙන රංගයක් යන අරුතින් තදාත්මීය ලෙසින් හදුන්වතියි අප උගෙන ඇත.

දුරස්ථිකරණ රංග රීතිය කරළියට ගෙන ආවේ බර්ටෝල් බ්‍රෙක්ට්ය. මතක ඇති හැටියට ඔහු ජර්මන් ජාතිකයෙකි. නාටකයක චරිත කෙරෙහි ඇති වන තද බැදීම මිනිසාගේ බුද්ධිය වසා දැමනවා යන හේතුමත ඔහු තදාත්මය විඝටනය කරන කරුණු සොයයි. ඒ අනුව මේ රංගයක් බවත් රගන්නා නළුවකු බවත් සිහිපත් වන ලෙසට අභ්‍යන්තරයටත් වඩා බාහිර සමාරෝපයට අදාළ රංග වස්ත්‍ර, වේශ නිරූපණය ආදිය සාමාන්‍ය භාවිත‍ාවෙන් විශේෂ කරයි. එවිට ප්‍රේක්ෂකයා නළුවා හෝ නාටකය කෙරෙහි බුද්ධිමය ඇස යොමන්නට කල්පනා කරතියි තදාත්මයක් ඇති නොවෙතියි සැළකෙයි. ඒ අරුතින් මේ දුරස්ථිකරණය තදාත්ම විඝටනයක් ලෙසින් හදුන්වතියි අපට උගන්වා ඇත.

ගැඹුරෙහි නොගොස් වුව ඉගෙනගත් දෙය ඔස්සේ  නිවැරදි නාටකීය කෝණයකින් දේශපාලන වේදිකා‍ව දෙස බලද්දී ඒ ඒ පක්ෂත් ඒ ඒ පුද්ගලයාත් ප්‍රේක්ෂකයා හෙවත් මහජනයා වෙත ළංවන්නට මේ ක්‍රම භාවිත කරන අයුරු මට පෙනෙන්නට විය. ස්ටැනිස්ලාව්ස්කිටත් බ්‍රෙක්ටත් තවත් එවැනි රංග භාවිතාවන් තැනූ අයටත් පිං සිදුවන්නට මේ දේශපාලන නාටකය විස්තර කරගන්නටත් පැහැදිලි කරගන්නටත් මාවතක් සපයා ගැනීමට මට හැකිවිය.

ඒ අනුව බලන කල අපේ මිනිසුන්ගෙන් සියයට පනහකටත් වැඩි ප්‍රමාණයක් තවමත් මෙතඩ් ඇක්ටින් ප්‍රිය කරන බව පෙනේ. හදවතට දැනෙන ලෙසින් දෙඇසට අසුවන්නා වූ රංගයට ඔවුන් කැමති බවයි එහි අදහස. ඒ අනුව ස්ටැනිස්ලාව්ස්කි ගේ ක්‍රමය තවමත් ඉදිරියෙනි. බ්‍රෙක්ට් ගේ ක්‍රමයට කැමැත්තෝ ඊට අඩු ප්‍රමාණයක් බව පෙනේ. එනම් මේ නාටකයක් බවත් රගන්නේ නළුවන් බවත් සළකා බුද්ධියෙන් මෙය තේරුම් ගැනීමට හිතන පිරිස තවමත් අඩු බවයි එහි අදහස. මීට අමතරව මේ දෙක අතරමැදි ස්වභාවයක්ද තිබේ. එය හැදින්විය හැක්කේ අභූත රූපී නොහොත් විකාර රුපී නැතිනම් ඇබ්සර්ඩ් යනුවෙන් හැදින්වෙන නාටක විලාසයටයි. 

ඒ ඇබ්සර්ඩ් අනුව මුලක් මැදක් අගක් දැකිය නොහැකි ස්වභාවික බවක් දැකිය නොහැකි අප විසින් ගලපාගත යුතු නාටකත් දේශපාලනයේ එයි. එ් නළුවන්ගේ හැසිරීම් සාමාන්‍ය භාවිතාවෙන් එහිදී මැනිය නොහැකිය. එ් නිසාම එබදු දේශපාලන භාවිතාවේ සැබෑ වටිනාමක් තිබූවත් එය මහජනයා නොහොත් ප්‍රේක්ෂකයාට වැඩිමනක් සමීප නොවේ. 

කෙසේ වෙතත් මේ තදාත්මීය ලෙසින් රගන්නේ කව්ද? තදාත්ම විඝටනයෙහි සමත් කව්ද? අභූත රූපී දේශපාලනය කාගේද?  වඩා වැදගත් තදාත්මයද, එය විඝටනයද, අභූත රූපයද යන්න මේ පිළිබදව වටහා ගැන්මකින් පසු ඔබ තීරණය කළ යුතු දෙයකි. සමහර විට ස්ථානයට හා වේලාවට අනුව නාටකය රැගිය යුත්තේ කෙසේදැයි තීරණය කළ යුතු වනවා වන්නට පිළිවන. වඩා වැදගත් දේශපාලකයා මේ සියල්ල උගෙන ප්‍රේක්ෂකයා ‍ඥානනය උදෙසා සුදුසු තන්හි සුදුසු ලෙසින් රංග කාර්ය සිදුකිරීමය. ප්‍රේක්ෂකයාටද මෙහිදී යුතුකමක් ඇත. එනම් මේ නාටකීය ස්වභාවයන් උගෙන දේශපාලන වේදිකාව කෙරේ බැදෙන අතරම ඒ නාටකයන් මොනවාදැයි වටහා ගැනීමය.

එහෙයින් ලාංකීය දේශපාල‍නයේ යෙදෙන්නන් ඒ ගැන වඩාත් සැළකා බැලීම වැදගත්යැයි මම සිතමි. විශේෂයෙන් ලාංකීය දේශපාලන පක්ෂ හා නියෝජිතයන්හට රංගකලාව පිළිබද ප්‍රවීණයින් තම උපදේශකයින් හැටියට පත් කරගන්නේ නම් ‍ක්ෂේත්‍රය තුළ විශාල ප්‍රගතියක් අත්කරගත හැකි බවද මාගේ අදහසයි. :D විශේෂයෙන්ම තමාගේ දේශපාල‍න මතවාදයේ පමණක් නොසිටිමින් ඒ මතවාදය ප්‍රේක්ෂකයා නොහොත් මහජනයා වෙත ගෙන යන නාටකීය භාවිතාව ඔවුන් හදාරන්නේ නම් තදාත්මීය හෝ දුරස්ථීකරණ හෝ අභූත රූපී ලෙසින් සීමා වලට කොටු නොවී ‍ඒ සියල්ල ආශ්‍රයේ තමාගේ මතවාදය සුදුසු ලෙස රගදැක්වීමේ අවස්ථාව උදා වනු ඇත. එයට ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමිවනු ඇත. දේශපාලන වේදිකාවේ තරගය උණුසුම් වනු ඇති අතරම වේදිකාවේ විනයක්ද හැදෙනු ඇත. නළුවන්ට අධ්‍යක්ෂක වරුන්ට මෙන්ම ප්‍රේක්ෂකයාගේ ප්‍රේක්ෂාවටත් හොද වටිනාකමක් හිමිවනු ඇත. එබැවින් කරුණාකර දේශපාලයත් නාටකයක් කර ගන්න. එවිට රංග කලාවටද එ් ඔස්සේ වටිනාකමක් හිමි වනු ඇත.;D දේශපාලනය හරි ලෙසින් ගෑවුන තැන නැගීමත් වැරදි ලෙසින් ගෑවුන තැන වණවීමත් යනු තවමත් අපේ ර‍ටේ වලංගු රීතියකි. අපි එයට එකග නැතත් මහජනයා තවමත් තදාත්මික ලෙසින් දේශපාලන වේදිකාවට බැදීම මෙහි සැගවුන අර්ථය නොවේද?

මීට,

 නළුවා...

ප.ලි. - ආධුනික නළුවකු බැවින් ප්‍රවීණ රංගධරයන‍්ගේ ඇස ගැටෙන අභාග්‍ය සම්පන්න වැරදි වෙතොත් කමත්වා!

Sunday, October 12, 2014

බෙල්ල

මිනිස් ඉතිහාසයේ සිටම බෙල්ලට ඇත්තේ ඉතා සුවිශේෂී ස්ථානයකි. සෘජු කයක් දරණ මිනිසා පරිණාමවාදයට අනුව යම් තාක් සෘජු වූයේද බිමට නැවුනු හිසත් ඔසවාගෙනය. එබැවින් හිස කෙළින් තබා ගැනීම මිනිසාගේ ස්වභායේ අභිමානයක් ලෙසද සළකති. විශේෂයෙන්ම එංගලන්තය මුල්කොට ගත් යුරෝපයේ අය එහෙම හිතන්නේලු යනුවෙන් අප අසා ඇති කතාවක්ද වෙයි. මේ සියල්ලෙන් කියවෙන්නේ බෙල්ලේ ඇති වටිනාකමයි. එපමණක් නොවේ. හිස තම ක්‍රියාවලියේ මෙහෙයුම් කේන්ද්‍රය කොටගත් මිනිසාගේද ආහාර මාර්ගයත් හුස්ම මාර්ගයත් වැටෙන්නේ බෙල්ල හරහාය. එබැවින්ම දඩුවම් දීම සදහාද අතීතයේ සිටම බෙල්ල අතිශයින්ම භාවිතාවට ලක් කොට තිබේ. ජීවිතය නැති කිරීමේ අවස්ථාව එහිදී සුවිශේෂීය. හුස්ම හිර කිරීමටත් එක්වරම ශ්වසන මාර්ගය ජේදනය කිරීමටත් වශයෙන් තොණ්ඩුවටත් දංගෙඩියටත් ලංකරන්නට මිනිසාට තිබූයේ තමන්ගේ මේ එකම ගෙල පමණයි.

මෙතනින් පහළට හුස්ම සේම ආහාර ද බොහෝ කොට යවා පෝෂණය කරගන්නා වූ සිරුරක්ද සහිත මිනිහාට අවසන මේ සිරුර යම් කිසි චරිතයක් මෙන්ම භූමිකා ගණනාවක් සදහා වේශ නිරූපණය කිරීමට සිදුවෙයි. අපේ රටේ ක්‍රමයට නම් සුදු කමිසයක් සහ සරමක් හෝ නැතිනම් සාමාන්‍ය ක්‍රමයට කලිසමක් හා කමිසයක් දමා ගන්නා ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු යැයි හදුන්වන සමාජයේ පවතින පාලන ක්‍රමයට අදාළව විශේෂයෙන් මහජන ඡන්දයෙන් පත්වන වගකීම් දරණ චරිත නිරූපණය කරන්නෝද ගෙලක් මත හිසක් තිබෙන අප වැනිම වූ මනුෂ්‍යයෝය. ‍

අධ්‍යාපනය පිළිබද ඇමති කම දරන්නාත් එබන්දෙක්මය. ඔහුගේ හෝ ඇයගේ ද ගෙල හිස සෘජුව තබා ගැනීමට අතිශය වැදගත්ය. තමාගේ ක්ෂේත්‍රයේ විශේෂයෙන් ඉගෙනුම ලබන තරුණ දුවා දරුවන් හා ගනුදෙනුවේදී මේ කාරණය තවත් ඉස්මතුවේය. තමාත් අධ්‍යාපනය ලැබූවෙක් නම් බෙල්ලෙහි කාර්ය භාරය තවත් වැදගත් වන්නකි. හුස්මත් අහරත් දෙකම සංසරණය වන බෙල්ල සෘජුව තබාගෙන තම අභාමානය නඩත්තු කරමින් තරුණ දුවා දරුවන් එනම් අපද ඇතුළු අයට කතා කළ යුතු වන්නේය. අපි ඔවුන්ට පසුව උපන් අය බැවින් ඉවසීමෙන් ආදර්ශය සැපයීම ඔවුන්ගේ පළමු අභිමානයය. අධ්‍යාපනයේ හොදින් යෙදුනු අය නම් සෘජු කයේ වැදගත් කමට බෙල්ලේ ඇති අගය හොදින්ම දන්නේය. එබැවින් හිස සෘජුව තබාගෙන නිවැරදිව අවංකව තමන්ද තරුණකල සිට යෙදුනා වූ දේශපාලන ක්‍රියාකාරීත්වයන්ද සිහිකර හිස භාවිත කළ යුතුය. එහිදී බෙල්ල නැවතත් වැදගත් වන්නේ හිස භාවිතාවෙන් හිතේ කල්පනාවේ ඇති‍දේ එලියට දෙන කටටත් ප්‍රධාන සැපයුම දෙන්නේ බෙල්ල හරහා වන බැවිනි. 

මේ සියල්ල සැළකීමේදී බෙල්ල අතිශයින් ආරක්ෂා කරගත යුතු ශරීර කොටසක් බව නොකියා සිටියද ඉවෙන් මෙන් අප කාටත් පැහැදිලි වන්නේය. හිසත් හිතත් කෙළින් කර ගැනීමට සෘජු විය යුතු බෙල්ල විශේෂ රෝගාබාධ තත්වයක් යටතේ නොවේ නම් කෙළින්ම තබා ගැනීමට හිසේ ඇති දේවලුත් හිතේ සහ කල්පනාවේ ඇති දේවලුත් වැදගත් වන බවද නොකිව්වාට අපට ඉවෙන් මෙන් තේරෙන්නේය. අනුන්ගේ බෙල්ල ගැන හිත්නට පළමුව අපි අපේ බෙල්ල ගැන සිතිය යුතු බව නොකිව්වාට අප හොදින්ම දන්නේය. ඒ අතර සත්‍ය වෙනුවෙන් හිස දීමට බිය නොවූ උදවිය හිස දංගෙඩියේ හෝ තොණ්ඩුවේ බෙල්ලෙන් කැපී හෝ කඩා වැටෙද්දීත් ජීවිතය නැතිවත් සමාජයේදී හිස කෙළින් කොට ගත් වූවන් වූ හැටිත් මතකයේ තබා ගැනීම වැදගත්ය‍.

එනිසා තමන්ගේ දුර්වලකම් වහගන්න අනුන්ගේ බෙලි වාචිකව හෝ කැපීම නවතමු. නින්දිත ලෙස වාචාල කමට කට භාවිත නොකට බෙල්ලෙන් හිස කෙළින් ඇති පමණට නොව පිවිතුරු සද්භාවයෙන්ම අවංක නීර්භීත කමෙන්ම හිතත් හිසත් කෙළින් කොටගෙන හැබෑ මිනිසුන්ගේ පිය  මගට  වැටෙමු.


Friday, October 10, 2014

දේශ පාලුවෙක් නොවෙමි, හැකිනම් කඹය කපමි

බලය අපි ගන්නෙමු

විපක්සය කඹ අදී

බලය අපි නොදෙන්නෙමු

ආණ්ඩුව යළි අදී

කඹේ දෙපසට අැදෙයි

අපිට කිසිවක් ‍නොවෙයි

කඹ ඇදිලි බලාගෙන 

අප සිටිත්..

අප සිටිත්..

බලය අපි ගන්නවා

කඹය අපි අදිනවා

අපි බලය රකිනවා

කඹය අපි නොදෙනවා

කතා තව අස අසා

දෙපසටම ඇස ගසා

අත් පොඩිත් තලා තලා

ලග සිටිත්..

ලග සිටිත්..

බලය ගැන කියන්නේ

කඹය මුන් අදින්නේ

බලය ගෙන කරන දේ 

එකෙක් නෑ කියන්නේ

අනිකාට විරුද්ධව

ගතු පමණි ගොතන්නේ

ජල්ලි අල්ලනු බලා

තව සිටිත්..

තව සිටිත්..

අම්මපා දිනෙක මට

බලයටම නැහෙන තොප

රජ වෙන්න අදින කඹ

අපත් රට දෙකඩ ලන

හරි තැනින් අල්ලන්න

අහුවුනොත් සිහිනෙවත්

පස්ස බිම ඇනෙන්නට 

කඹ කපත්..

කඹ කපත්..

 

මන්ද රටවැසියාට වැදගත් දේශයට පාලනයක් මිස පාලනයට දේශයක් පතන උන් නොවන නිසා.

නළුවෙක්මි

එළුවෙක් නොවෙමි

බෑ බෑ නොකියමි

මම මම නොවෙමි

චරිතයක් වෙමි

රගමි

එහෙයින්

නළුවෙක්මි

 


හැබෑ මිනිස්සු(හැබෑ චරිත)

හැබෑ මිනිස්සු යනු සැබෑවටම මිනිසුන් ලෙසින් දියුණු කරගත හැකි උපරිම ගුණාංග දැරූවන්ය. අපි කවුරුත් මිනිසුන් වුවත් මගේ අර්ථකතනය තුළ හැබෑ මිනිසුන් වන්නේ නැත. මුදලට මිනිය නොහැකි හැබෑ මිනිස් ගුණ දරා හැබෑ මිනිසකු වීම එතරම් පහසු කටයුත්තක් නොවන හෙයිනි ඒ.

ලැබුනු ජීවිතය ආතල් පිට ගතකරන්නට හිතනවාට වඩා දියුණු අරමුණු හෙවීමත් ඒ ඔස්සේ තමා පමණක් ‍නොව සකල මිනිස් සමාජයටම හැබෑ අරුතක් එක් කරන්නට සිතන්නෝ ලෝකයම සැළකූ කල ගණනින් මැනිය හැකි වුවත් හැබෑවටම ඒ අරමුණු සාක්ෂාත් කරගත්තෝ බෙහෙවින් අල්පය. සම්මාන හෝ මුදල යන සීමා ඉක්මවා ගිය ඔවුන් මිනිසත් බව දියුණු කර ගන්නා මග තුළ මිස අප ගන්නා මග තුළ නොසිටිත්. එහෙයින්ම අප ඔවුන් ගැන චරිත ලෙසින් අසා තිබෙනවා මිස දැක නැත. අප දකින පරිසරයේ බොහෝ කොටම එවැනි චරිත දැකීම දුර්ලබය. කාලයට සා‍පේක්ෂව එය තවත් දුර්ලබය.  කෙසේ නමුත් දුර්ලබ වූ පමණින්ම නොව හැබෑ අර්ථයෙන්ම උතුමෝ නම් සමාජයකට අවැසිමය. එවැනි උතුමන් ගැන ඇසීමට හෝ නැති සමාජයක් කෙබදු වේද? අප සමාජයේ එබන්දන් ගැන අසා කියවා ඇති බැවින් එසේ නොවන සමාජ ගැන කීමට මට නම් අත්දැකීම් නැති. 

හැබෑ චරිත කියවීමෙන් පවා අප ලබන මානුෂීය තෘප්තිමත් භාවය ඉමහත්ය. ඔවුන්ගේ ප්‍රතිපදා ගැන ඇසීම පවා අපේ සිත් වල ඇතිකරන්නේ පහන් හැගීම්ය. අප කොතරම් විද්‍යා තාක්ෂණික දියුුනුවක් තුළ ඉහළට ගියත් එබන්දෝ නොසිටින්නට අප ලෝකය කෙබදු තැනක් වේදැයි අපට සිතිය නොහැකිය. මග නොමග යනුවෙන් දෙමගක් හැදුනේ ඔවුන් නිසාය. මිනිසා නොමිනිසා යනුවෙන් දෙදෙනෙකු ගැන අප තේරුම් ගන්නේ ඔවුන් නිසාය. අවසන අපේ ජීවිත කෙසේ වුවත් උතුම් මිනිසත් බවක් ගැන හිතා සතුටු වන්නටවත් ඔවුන් අප වෙත යමක් දායාද කර ඇත. ඒ ඔවන්ගේ ගුණ කදම්භයයි. ප්‍රතිපදා තුළ තිබූ ආලෝකයයි. නිවැරදි බව තුළ තිබූ ශක්තියයි.

මම මෙසේ කියමි. හැබෑ මිනිසුන් හැදින ගත හැක්කේ ඔවුන්ගේ දෙස බලා නොව ඔවුන‍ේගේ පියවර මග දෙස බැලීමෙන් බවයි. අපිද ඔවන්ගේ පියවර මං ලකුණු බලමින් ඒ ඔස්සේ ඇදෙමු. යහපත් මිනිසුන් වෙමු. හැකි පමණින් ගුණවත් ‍හා නැණවත් වෙමු.

කන් හැන්දක බෙහෙත් වුව නොවටින්නේ නොවේ...

මහ පොළව ඉරිතලා වියළී යන කලට දෙතොලට දිය බිදත් මහ මෙරකි.

රෝගයට ගුණ දෙන්නේ නම් කන් හැන්දක බෙහෙත් වුව නොවටින්නේ නොවේ‍.

අතරින් පතර පැටලුනු නූල් බෝලයෙන් හෝ ඉරුනු වස්ත්‍රය මසා ගැනීමට තරම් නූලක් පාදා ගත නොහැකි නොවනු ඇත.

පට්ටපල් රස්තියාදු  පල් හෑල්ලක, අපභ්‍රංශ අස්සේ  හරි අගිස්සේ කොණක දැවටී හරි රන් වටිනා අරුත් ගුලිගැහී සැගවී තිබිය හැකිය.

තේරෙන් නැති එක නොවෙයි ප්‍රශ්නය.. තෝරාගන්නට වෙහෙසක් නොදරන එකයි.. වටිනා යමක් හොයාගන්න.. වටිනා දේ එකවර පහසුවට නැත..

ශු  ද්  ධ    වූ    ර  ස්  ති  යා  දු  ව  

 බිදක් මේ මත රස්තියාදු වන්න. යහපතෙන් බිදක්වත් අසුවේවි ඔබට.

ලියන්නේ 

රුපියල්(ඩොලර්/පවුම්/ආදී..) බිලියන ගණනින්වත් මැනිය නොහැකි 

හැබෑ මිනිසුන්(චරිත) අතරේ

ශත 1/2 ක් වටනා

මං විසින්

Thursday, October 9, 2014

හොරු (සමග අපි) - දෘෂ්ටිආබාධ, ශ්‍රවණාබාධ හා ගොළුවතැති චරිත

ධනවාදයට හිතැත්තෝ සමාජවාදයට දෙස් දෙත්

සමාජවාදියෝ ධනවාදීන්ට පෙරළාම දොස් දෙත්

අරවාදියෝ මේ වාදීන්ට හිනැහෙත්

මේ වාදියා අරවාදියාට රවත්

වඩා වටිනා සම්මතයත්

වෙනසක් කළ හැකි අසම්මතයත්

තර්කාන්විතයත් දැනුම්වාදයත්

සියල්ල පාරම් බාත්

අවසන සියල්ලෝ දෙසා බාත්

මේ අතර

හොරු-

ධනවාදීන්ගේ ඇස වසා සමාජවාදීන්ගේ කණෙන් රිංගා

සම්මතවාදියාට හිනැහී

අසම්මතවාදීයා වෙනුවෙන් අත්පොළසන්දී

අරවාදියා ගේ පෙළපාලියේ

මේවාදියා ගේ විරෝධයේ 

සියල්ල අතරේ 

සුපුරුදු හොර කමේ යෙදෙත්

අපි-

ඇස් කන් ඇරන්  කටවල් අයන් බලා හිදිත්

ධනවාදී දෙසුම පට්ට නම්

සමාජවාදී දෙසුම පට්ට පල් ම වේ

අර වාදය නම් එහෙමය

මේ වාදය නම් මෙහෙමය

සම්මතය වටින්නේය

අසම්මතයට ඔරවන්නේය

මේ අතර 

හොරු-

හොරකම් කරත් 

අපේ ඇස් කන් ඉදිරියේ අැරුනු මුඛ ඉදිරියේ

අප-

කිසිත් නොදත්

විසදුම ධනවාදයෙන් හෝ සමාජවාදයෙන් ගන්නට කල්පනා කරත්

සම්මතය හා අසම්මතය ගැන වද නොවී 

අර වාදයත් මේ වාදයත් ගැන ඕපා දූපයෙන්

ලුණු පොල්කට්ටේ සිට  සියල්ල අස්ථාන ගත වී ඇත දැන්

කාලය සමග හොරු අපූරුවට කර ඇත ගනුදෙනු

මෝල්ගහත් නැත වංගෙඩියත් කුල්ලත් නැත 

ග්රයින්ඩරය පමණක් නදදේ 

ටීවී එකේ බණය වෙලාවකට වණය

මෙගාය ඩෙගාය 

හොට්හොට්ය පට්පට්ය

පස්සෙන් දුවන්නේ අපය

අපේ වේගය උන් සොරාගෙනය

තවමත් ධනවාදයත් සමාජවාදයත් භෞතිකවාදයත් පාරභෞතිකවාදයත් පශ්චාත්නූතනවාදයත් සම්මුතිවාදයත් අසම්මුතිවාදයත් පරිණාමවාදයත් මහාසම්මත වාදයත්...... වාදයේ සංවාදය තවම ඇරඹී නැතිය

මේ අතර

හොරු-

අපේ දේත්

දරුවන්ගේ දේත් 

රටේ දේත් 

තව ගොඩක් දේත් 

කොල්ලකා

ගොඩගසා

ගොඩ පිටින්ම

අරන් ගිහින්ය...

අපි-

නොදන්නෙමු

හොරු-

සියල්ල දත්...

Wednesday, October 8, 2014

විළිය හා රුදාවට නිසි චරිත දෙන්න

ල සුන්දරය. මළ අසුන්දරය. සමහරු මලෙන් උපන් සේ ජීවත් වද්දී තවකෙකුට ජීවත් වන්නට සිදුවන්නේ මළෙන් උපන් හැටියටයි. ඒ ජීවිතේ හැටිය. මලෙන් උපන් ‍චරිත දෙස බලා සමහරු සිහින මවද්දී සමහරු තමාගේ උපත ගැන වදවෙති. තමා මළෙන් උපන්නා යැයි සමාජයකටම වෙර වඩන ඇත්තෝද වෙති. කෙසේ නමුත් උපත සිදුවී හමාර හෙයින් එය මලෙන් වුවත් මළෙන් වුවත් කම් නැත. ඇත්තේ ජීවත් වීමටය.

සමහර විට ජීවිත ලේබල් වන්නේය. මලින් උපන් මිනිස්සු , මළින් උපන් මිනිස්සු.. කලකදි ඉන්දියාවේ බමුණන් මලින් උපන් නැත්නම් මහබඹාගේ මුවින් උපන් මිනිස්සු යැයි නම් ලබද්දී ශුද්‍රයන් මළින් නැත්නම් මහබඹාගේ දෙපතුළින් ඉපදුනායැයි සැ‍ළකුවේ කාලයේ බලවතුන්ගේ බලයේ ආධිපත්‍ය පතුරවමිනි. සද්ධර්මයෙන් ඊට නිසි පිළිතුරු ලැබුනේය. බලවතුන්ගේ හිත් රිදුනේය. පෙළපතින් කෙසේ කියවුනත් මිනිහා මැනිය හැක්කේ ක්‍රියාවෙන් පමණකි.

ක්‍රියාවෙන් චරිතය මැනෙන කලාවක්ද අප අතර ඇත්තේය. එහිදී චරිතයක ක්‍රියාවන් රංගනයකි. චරිතය මැනෙන්නේ ඒ රංගන ක්‍රියාවෙනි. මලින් උපන් චරිතත් මළින් උපන් චරිතත් මෙහිදී එකක්මය. ඔය හැම වර්ගයේම චරිත  රංගනය මත මෙහිදී සම්මානයටද පාත්‍ර වන්නේය. සම්මාන උළෙලවල විනිවදභාවය හෝ ඒවායේ සාධාරණත්වය හෝ වාණිජමය ස්වභාවයන් කෙසේ වුවත් මලින් උපන් චරිතයක් වුව මළින් උපන් චරිතයක් වුව හිමිවන සම්මානයේ භෞතික වටිනාකම එකක්මය.

එසේ වුවද ජනසමාජයක සම්මානය නම් සීයට ගණනකින්ම මීට සපුරා වෙනස්ය. සැබෑ ජීවිත වේදිකාවේ දී ක්‍රියාවන් රංගනයක් බවට පත් කරගතහොත් කෙටි කාලීනව සම්මාන ලැබිය හැකි වුවත් දිගු කාලීනව ලැබෙන්නේ නිග්‍රහ පමණකි. අත්වන්නේ විනාශය පමණකි. එබදු අත්විදීම් අපේ සමාජය ඉතා මැතදීත් හොදින්ම ලැබූ බව තවමත් මතකය ඇත්තන්ගේ මත‍කයේ ඇතුවාට සැක නැත.

ඒ කෙසේ වෙතත් කාර්ය බහුල මිනිසාට සමාජය දෙස හැරී බලන්නට, එහි අවශ්‍යතාවය ග්‍රහණය කරන්නට වෙලාවක් නැත්නම් මේ රංගන කලාවන් තුළින් හෝ යථාර්තය ගැඹුරේ මෙන්ම නොගැඹරේද ඥානනය කරගන්නට මගක් හැදිය නොහැකිද, පොතපතින් එහා ඒ භාවිතාවට අප විධිමත්ව යන්නේ කවදාද? සමාජයේ මළින් නොමළින් උපන් කොයි කාටත් උපතට වඩා ජීවිතය ගැන කියවා ගන්නට, තම තමන්ගේ චරිත දැක ගන්නට කැඩපතක් වනවා නම් ඔය කොයි චරිතත් ඇති රංගකලාවත් නූතනයේ හරි වටිනා එකක් වනු නැද්ද. 

ඒ බැල්මෙන් බලන කල අද මෙහේ ප්‍රශ්නයක් පෙනේ. අද නොවේ, හරිනම් කලක සිට ඇති ප්‍රශ්නයේ පිටක් පෙරළෙන්නටත් දැන් නම් කාලය හරි තරමය.  

අපිට අද අපේම සංස්කෘතියේ අපේම නව නිර්මාණ නැතිද? 

 මලින් හෝ මළින් වේවා මේ එළඹ ඇත්තේ අපේ සංස්කෘතියට විළිරුදා ඇතිවිය යුතු කාලය නොවෙද. උපන්නට පෙරම ගබ්සා කළ බොහෝ දරුවන්ගේ අතීත උරුමය සේම නිදහසේ අයිතිය අහිමි නොකොට ඒ විළිරුදාවට හේතුවන දරු ගැබ හදන්නට අප විසින්ම සංස්කෘතියට දුන් දායකත්වයේ වගකීම දරමින් ඒ දරුවා මලෙන් උපන්නද මළින් උපනන් ද යනුවෙන් ප්‍රශ්න නොකොට උගේ ජීවිතය නගාගන්නට අත මෙන්ම හිත දීමක්ද කළ යුතුව ඇත. මලත් මළත් දෙමග අතර දියුණු සංකල්පයකට බුද්ධියට මෙන්ම හදවතට යන්නට බලයත් සවියත් දෙන්න.. චරිත නගන්න, ගොඩ නගන්න. විළිය හා රුදාවට නිසි චරිත දී සමාජයට මගක් දෙන්න.