Thursday, January 8, 2026

ත්‍රිත්වා හෙටයි - (පාට/පක්ෂ/ජාති/ආගම්/කල්ලි/පන්ති නොසළකයි)

රටක ජනතාව එක මිටකට ගොනුවිය යුත්තේ කිසියම් දේශපාලනයක් උදෙසා නොවේ. මිනිස්සු එය දනිති. හැම ව්‍යසනයක් තුළම මෙරට ජනතාව අවිඥානිකවම සවිඥානිකව ක්‍රියාත්මක වන්නේ එබැවිනි. නමුත් ඒ සවිඥානික බව ව්‍යසනයන්ට පෙර සහ සෑම අවස්ථාවකදීම අවිඥානිකත්වයෙන් තොරව නොපවතින්නේ ඇයි?

සියලු තණ්හාවන්, ආශාවන්, වාද භේද, කුහකත්වයන්, අධමත්වයන් දලුලා එන පරිද්දෙන් ඉතිරි නිදහස් කාලය නිකරුණේ අපතේ යන්නට ඉඩ දෙන්නේ ඇයි? සාමුහිකව තම ශ්‍රමය ශක්තියෙන් ලබා දිය හැකි දායකත්වයන්ගෙන් හැකි උපරිමය ලබා දී තම රට ස්ථාවර හා ශක්තිමත් සුරක්ෂිත ස්ථානයක් හැටියට නිර්මාණය කර නොගෙන, එසේ කර ගත හැකි අන් මගක් කිසියම් රටක පුරවැසියන් සතුද? තම තම වගකීම් යුතුකම් පිළිබඳ රටවැසියාගේ හදවත ගැඹුරින් උපන් හැඟීම් දැනීම් සබුද්ධිකව රටේ සංවර්ධනය උදෙසා දායක කර ගැනීමට කිසියම් රාජ්‍යක් රාජ්‍ය පාලකයින් අසමත් නම් ඔවුන්ට ඒ සඳහා වෙනත් මගක් ඇතිද?

එසේ නැති නම් රටේ ජනතාව සහ රාජ්‍ය පාලකයා ගේ අත්වැල් බැඳ ගැනීම මෙතරම් කොට ඇයි???

හැමදා අප රටේ ජනතාව සහ පුරවැසියා ඒකාබද්ධ වීම වළකන කුමන්ත්‍රණයක් තිබුණි. ඒ කුමන්ත්‍රණ කරුවා වූයේ කිසිවෙකුත් නොව අවිශ්වාසය හා අවිචාරයයි. කිසියම්ම කලක කිසියම්ම වූ අර්බුධයක් මතු වූ තැන දේශපාලනික හෝ විවිධ අන්තවාදී අවිචාරයේ අවිශ්වාසයේ ඉන්ධන මඟින් මේ අර්බුදය අසීමාන්තිකව ඇවිළ වූයේය. අදටත් ඒ පුරුද්ද එසේමය.

පුළුස්සා හලු කොට පස පෙරලා සකසන නව දැලි හේනක් පරිද්දෙන් රටක් ගොඩනැගිය හැකිද? කාලය, අවකාශය, සැළසුම නිසි පරිදි නොතකා එසේ නොහැකි බැවින් හැමදා එහි අවාසිය, පාඩුව, අලාභය උරුම වූයේ සමස්ථ ජනතාවටමයි.

අදටත් ගතවන සෑම තත්පරයක්ම බොහෝ කොට ගතවන්නේ අවිචාරයේ සහ අවිශ්වාසයේ වචන වලින් ජන සමාජය අවුලුවමිනි.

ඒ ගිනි දැල්ලේ දැඟලිල්ලෙන් බොහෝ සේ කා බී ප්‍රීති වනු පිණිස සාද පැවැත්විය හැකි නමුත් මේ ගිනි ගන්නේ අනාගතයේ අපේක්ෂාවේ මොහොතක් බව වැටහෙන විට එසේ ප්‍රීතිවන බොහෝ අය තමන්ට ඒ අවබෝධය ලැබීම සඳහා ජීවත් වෙමින් සිටීමට හැකිවේද යන්න පවා දැන් තියා සිතීම වටී.

ද්විත්වා නිමා වූයේ අපට ස්වභාව ධර්මය ඉගැන්වූ පළමු පාඩම එය වශයෙන් නොවේ. නමුත් නූගත් තවත් පාඩමක් වශයෙන් එය අවසන් වුවහොත් එය නැවත උදාකරන්නේ කිසිදා නොනැගිටින මුත් වහසි බස් දොඩන රටක ජාතියක ඛේදවාචකයක් පමණක් වීම වැළැක්විය නොහැකි වනු ඇති.

ත්‍රිත්වා හෙටයි! අප සූදානම් වුවත් නුවූවත්! 

Wednesday, December 24, 2025

ඒ ගිනි නිවන්න - (දරුවන් බැටකන්නේ කණාමැදිරියන්ගෙන් නොව ගිනිපෙනෙල්ලෙනි)


රටේ බහුතර දරුවන්ගේ ඇත්ත ප්‍රශ්නය තමාට සම්මාන හිමි නොවීම නොවේ. තම දෙමාපියන්ගේ සවි ශක්තියේ ඌනතාය, දුබලතාය. ඒ නිසා තමාට අහිමි වූ අවස්ථාය. ඒ නිසා ඇතිවූ පීඩාවන්ය, විඩාවන්ය. දුගියන් ලෙස අන්‍යන්ගේ අනුකම්පාව මත යැපෙන්නට සිදුවීමය. එවැන්නෙකුට වේදිකාවක කතා කිරීමට දහසකුත් සමාජ අසාධාරණකම් ඇත.  හඳගමයන්ගේ විදූ චිත්‍රපටය ඇතුළේ තිබුණේ එවැනි කතාවක් බව මට මතක නම් ඔබටද අමතකව ගොස් නැතිව ඇති .

ඒ වැනි කතා කිසිවෙකු විසින් අවදි කළහොත් මිස කිසිදා අවදි වන්නේද නැත.

ඒ ගම්බද පාසල් කිසිවෙකු දන්නේද නැත. නගරයේ වුව බහුතර දරුවෝ සම්මාන වලට මෙහා සැබෑවටම විඳවන්නේ කලින් හැදූ තරඟයකට අහඹුව වැටීමේ ප්‍රතිඵලය සහ ඒ තරඟය සැපතක් කොට ගන්නට යෑමේ දරුණු ආතතියය. බොහෝ විට නිතර ගිනි පූපුරු නංවන මේ නූතන සමාජය ළඟ ළඟම ඇවිළෙන්නේද වැඩිහිටියන් ද ඒ ආතතියෙන් ම පෙළෙන හෙයිනි. ඇවිලෙන ගිනි වලට පිදුරු දමමින් මහා සමාජය තවදුරටත් අවුලා ගැනීමට නොයා අනුක්‍රමයෙන් සොබාදහමෙන් පවා දැඩිව පහර වැදුනු මිනිසුන් තමා විසින් තමා නිවා ගැනීම දැන් ඇරඹිය යුතුමය. කොතරම් දුෂ්කර වුවත් මහපොළවේ යථාර්තයේ පය ගසා මිස නැවත නැගිටීමක් සුපුරුදු සිල්ලර එකිනෙකා කුළල් කා ගන්නා ඉතිහාස ගත පුරුදු තුළින් ලැබෙන්නේ ම නැත. පාසල් දරුවන් නොව මේ වැඩිහිටියන් ජන්මගත දුෂ්ඨත්වය පසෙකලා දරුමුණුපුරන්ගේ නාමයෙන් හෝ සැබෑ වීරත්වයේ භූමිකාවට පණ පෙවිය යුතු කාලයයි. ආදර්ශයේ යුගය ඇරඹිය යුතු ඔබයි. ඔබ විය යුත්තේ පාලකයෙකු ඉදිරියේ හඬා වැටෙන වහලෙකු නොව පෙර ගමන් කරුවෙකුයි.

ඔබට මහන් සී ද?

 ඒ ජෙන් සී - ඔබ හාන් සී ද?

නත්තල් තෑග්ග

ඉදිරිපත් වීම හොඳ ගුණයකි. සාධාරණය විමසිය යුතු දෙයකි. නොදන්නා සත්‍ය මත, පූර්ව විනිශ්චයන්/ නිගමනයන් මත, වීරවරයන්/ වීරවරියන් බිහි කිරීම තුළ, ජුදාස්ලා, පිලාත්ලා රටට ලෝකයට බිහි කිරීම නොකළ යුත්තකි!




Tuesday, December 23, 2025

ජෙන් සී ට බියේ/ගෞරවයෙන් හාන් සී වීමද? (වැඩිහිටි පරපුරක් නැත)

පූර්ව වශයෙන් අනතුරු ඇඟවූවේ නැති බවට දොස් කීම් නඩු අවනඩු මේ දිනවල බහුලය. මේ කියන්නට යන්නේ එහෙව් තත්පරෙන් වෙනස් වන කාළගුණය ගැන නොවේ. මේ රටේ නූතන වැඩිහිටියන් ගේ දුර පෙනීමට අදාළවය. 

ජෝන් සී නා ගේ පරපුරෙන්.... පණිවුඩයක් (විමසිලිමත් බව සඳහා කහ නිවේදනය) 

ජෙන් සී

ඉල්ලලා ගන්න පරපුර ද

ඊළඟට හාන් සී

ගහලා ගන්න පරපුර ද

ප්‍රවේශමෙන්

උඩදාන පරපුර ට

හාන් සී එනකොට

හාන්සිම පරපුර වෙත ට

මහ මිනිසුන් විසින් කළ යුතු කාර්යයන් දරුවන්ට පැවරීම හෝ දරුවන් හරහා එළි දැක්වීම අතිශය භයානකය. මෑත අතීතයේ අපගේ භෞතික මෙන්ම සමාජීය පාරිසරික විනය ඉතා පහත්ය. කලක ළමා සොල්දාදුවන් නිර්මාණය කොට තිබූ රටකි අප. අසාධාරණය සාධාරණය කරන මුවාවෙන් ජාති, ආගම්, පක්ෂ, ගුරු දෙගුරුන් හෝ පාසල් කෙරෙහි වෛරය වැපිරීම හරි පහසුය. තවදුරටත් දේශපාලනය අල්ලා ගිනි මතට පිදුරු හෙළීමත් පහසුය. එබඳු ලොව ගිනි ගන්නා සැටි අපට පෙනේ. ගස් කැපීම පහසු වුව කඳු නාය යන විට අතින් අල්ලා නැවැත්වීමටත් ඒ පහසුවෙන්ම හැකි නම් 'නැව ගිලුනත් බෑන්චූන්' කිසිඳු ගැටළුවක් නැත. ගංඟාවල් පිරුණේම අපි විසින් වර්ණනා කළ පුංචි පුංචි වැහි බිඳු අපට ඇහුම් කන් නොදී ඇළේ දොළේ වැවේ ධාරිතාවය අභිභවා දෙගොඩතලා ගිය බැවින් බව, සති කිහිපයක් තුළ අමතක වී යාමට ඉඩ නොදීම කාට කාටත් මතුවට වැදගත් වනු ඇත.

අනතුරුත්, තනතුරුත්, සම්මානත් එක  වැනි බව ඔබේ හය හතර නොදත් දරුවාට කියා දෙන පරිණත වැඩිහිටියෙක් වෙන්න!



Friday, December 19, 2025

ඇයි ප්‍රශ්නයක්ද?

 


දුක මැජික් ද ඇසුවාට සමාන ලෙසින් පහසුවෙන් අර්ථ ගැන්විය හැකි ප්‍රශ්නයකි, ඉහත ප්‍රශ්නය. නමුත් සරල උපහාසයකින් මඟනොහැර හොඳින් විශ්ලේෂණය කොට ගත් විට අප සමාජයේ අඳුරු පැතිකඩක් සපුරා ආලෝකමත් කළ හැකි ශක්ති ප්‍රභවයක් මෙතැන ඇත. 

එය මැජික් නොවන්නට නම් මේ කතාව පැහැදිලිව කියවා අවබෝධ කොට ගත යුතුය. 

දුක් උපදවන සිදුවීමක් දෙස කම්පිත ඇසකින් බලා හිඳින්නෙකු ගෙන් දිනපතා ඒ සිදුවීම් තුළ ගැටෙන හැපෙන අයෙකු දුක මැජික්ද? ඇයි ප්‍රශ්නයක්ද? වැනි දෙයක් අසන්නේ නම් අනෙකා වටහා ගත යුත්තේ අදාළ සිදුවීම අතිශය සාමාන්‍යකරණයෙන් ගත යුත්තක් බවද..? බොහෝ කොට සමාජයන්හි භාවිත තත්වය එයය. නමුත් ඇත්ත වශයෙන්ම සිදුවිය යුත්තේ අනිකකි. 

සිද්ධාර්ථ දුකට විසඳුම් සොයන්නේ ඒ සත්‍ය ගැඹුරින් හෙළි කරමිනි. ලෝකයේ බොහෝ නිර්මාණ, සොයා ගැනීම් ඒ මාර්ගය ඔස්සේ පැමිණි ඒවාය. ගහක් කොළක් නිරපරාදේ විනාශ කිරීම ප්‍රශ්නයක් කොට ගත් මිනිසුන් කිසිදා ගහකොළෙන් පරිසර ප්‍රශ්න හදන්නේ නැත. ඇළ දොළෙන් සතා සීපාවා ගෙන්ද එලෙසමය. මිනිසා තවත් මිනිසෙකුට හිංසා පීඩා කිරීමද ප්‍රශ්නයක් කරගන්නා මිනිස්සු කිසිදා ගහමරා ගෙන ප්‍රශ්න විසඳා ගන්නට යන්නේ නැත. ඔවුන්ට ඒ සඳහා අමුතු නීති උවමනා නැත. 

අනුන්ගේ ගෙවල් දොරවල් අස්සට එබී බලන්නට ඒවායේ ප්‍රශ්න හොයන්නට කිසිවෙකුටත් රාජකාරිමය වශයෙන් තොරව අයිතියක් නැත. එයින් තොරව පොදු වශයෙන් දකින පෙනෙන ඇහෙන ඕනෑම දෙයක් තුළ අපට ප්‍රශ්න තිබෙන්නට පුළුවන. ඒවා නොදුටුවා නොදැක්කා සේ සිටීමටද කිසිවෙකුගෙන් තහනමක් නැත. නමුත් එසේ හිඳීම හේතුවක් වීම නිසා නිර්මාණය වන ගැටළු මතු දිනෙක ඔබට බරපතළ ප්‍රශ්නයක් නිර්මාණය කළ හොත්, එවිට ඔබේ ස්ථාවරය කවරාකාර වේවිද? ඔබ ඔබටම චෝදනා පත්‍ර ලබා දෙනවාද?

මෙය අප සමාජය මේතාක් පිරිහෙලන්නට බරපතළ ලෙස දායක වූ එක් ප්‍රධාන සාධකයකි. අපට අදාළ නැතැයි සිතමින් ප්‍රශ්න මඟ හැර ජීවත් වෙන්නට ගොස් මහා පාඩුවක් සිදුකරගත් රටක් ජාතියක් බවට අප අද පත්ව ඇත්තේ එනිසාය. 

නිදහසේ දුකෙන් තොර සැපතක් භාවිත ලෝකයේ නැත. සිද්ධාර්ථ දුකෙන් ගැලවීම උදෙසා සියල්ල අතහැර ගියේය. දුකට හේතුව නසා මිස දුක සදා ජය ගත හැකි අන්‍ය මාර්ගයක් අප සොයාගෙන තිබෙනවාද?

දුක සදා ජයගැනීම තිබියදී අපට ඇත්තේ සැනසිල්ලේ ජීවත් වීම පිළිබඳ අවශ්‍යතාවයකි. එවිට එතැනට බාධා කරන සියල්ල හැමදා අපට ගැටලුය. මේ ගැටලු ඇතැම් විට ස්වභාවිකය. ඒවාට පිළියම්  යෙදීමත් ඒ පිළියම් තවත් ප්‍රශ්න බවට පත් වීමත් අපට ඇතිකරන්නේ තවත් ගැටලුය. අපට පමණක් නොවේ, අපේ සමහර පිළියම් සමස්ථ පරිසර පද්ධතියටම විනාශකාරී ගැටළුය. ඉතිහාසයම එලෙසය. 

ප්‍රශ්න ප්‍රශ්න හැටියට පළමුව නිවැරදිව නොදැකීමේ ප්‍රතිඵලයන් සංකීර්ණය. තිරසර බවකින් ප්‍රශ්න වලට පිළිතුරු සෙවීම වැදගත් වන්නේ එවිටය. 

සදාකාලික පන්නයේ පිළිතුරු නැතත් දීර්ඝකාලීන යහ පැවැත්මක් වෙනුවෙන් පිළිතුරු සොයාගත යුතු ප්‍රශ්න ඇත. ඒ අනුව, 

ඇයි ප්‍රශ්නයක්ද? 

උත්තරය, 

ඔව් ප්‍රශ්නයක්.

විය යුතුමය. 

වඩා වැදගත්ම අවධාරණය එන්නේ මීළඟටය. එනම් මේ සියල්ල අතරේ හේතුවක් නිමිත්තක් නැතිවම මිටියට ඇණය පරිද්දෙන් සියල්ල ප්‍රශ්න කරගැනීමේ අවස්ථාවය. නැති ප්‍රශ්න හදන පිළිතුරු නැතිව ප්‍රශ්න පමණක්ම දකින පෙනෙන එකය. 

මේ කිසිවිටකත් එවැනි කොරහේ කිඹුල්ලු දකින හෝ වලිගයෙන් අල්ලා ප්‍රශ්න පටලවා ගැනීම යන අවුල් ගැන නොවේ. ප්‍රශ්න වගාකොට මුදල් සෙවීම නොහොත් වවාගෙන කෑම ගැනද නොවේ. 

නිවැරදි පදනමෙන් ප්‍රශ්න දැකීම ගැනය. ගත යුතු ප්‍රශ්න මඟහැර යාමේ ප්‍රශ්නය ගැනය. ඉදිරියේ නිර්මාණය වන ප්‍රශ්නය කල් තියා නොදැකීම ගැනය. ප්‍රශ්න අසා පරීක්ෂණ කරමින් නිරීක්ෂණ ඒ ඔස්සේ නිගමන ගෙනෙන විද්‍යාත්මක ක්‍රමය ගැනය. ප්‍රශ්න වටහාගෙන ප්‍රතිඵලයට හේතු කරුණු හොයා හේතුවෙන් ඵලය බිඳින වෙනස් කරණ හේතුඵල ධර්මය ගැනය. ඒ තුළින් අප සමාජයේ අඳුරු පැතිකඩක් සපුරා ආලෝකමත් කළ හැකි ශක්ති ප්‍රභවයක් ගැනය.

එසේ නම්, ප්‍රශ්නය විදුලි පන්දමක් කරගන්න. අවියක් නොව සවියක් කරගන්න.