Thursday, January 8, 2026

ත්‍රිත්වා හෙටයි - (පාට/පක්ෂ/ජාති/ආගම්/කල්ලි/පන්ති නොසළකයි)

රටක ජනතාව එක මිටකට ගොනුවිය යුත්තේ කිසියම් දේශපාලනයක් උදෙසා නොවේ. මිනිස්සු එය දනිති. හැම ව්‍යසනයක් තුළම මෙරට ජනතාව අවිඥානිකවම සවිඥානිකව ක්‍රියාත්මක වන්නේ එබැවිනි. නමුත් ඒ සවිඥානික බව ව්‍යසනයන්ට පෙර සහ සෑම අවස්ථාවකදීම අවිඥානිකත්වයෙන් තොරව නොපවතින්නේ ඇයි?

සියලු තණ්හාවන්, ආශාවන්, වාද භේද, කුහකත්වයන්, අධමත්වයන් දලුලා එන පරිද්දෙන් ඉතිරි නිදහස් කාලය නිකරුණේ අපතේ යන්නට ඉඩ දෙන්නේ ඇයි? සාමුහිකව තම ශ්‍රමය ශක්තියෙන් ලබා දිය හැකි දායකත්වයන්ගෙන් හැකි උපරිමය ලබා දී තම රට ස්ථාවර හා ශක්තිමත් සුරක්ෂිත ස්ථානයක් හැටියට නිර්මාණය කර නොගෙන, එසේ කර ගත හැකි අන් මගක් කිසියම් රටක පුරවැසියන් සතුද? තම තම වගකීම් යුතුකම් පිළිබඳ රටවැසියාගේ හදවත ගැඹුරින් උපන් හැඟීම් දැනීම් සබුද්ධිකව රටේ සංවර්ධනය උදෙසා දායක කර ගැනීමට කිසියම් රාජ්‍යක් රාජ්‍ය පාලකයින් අසමත් නම් ඔවුන්ට ඒ සඳහා වෙනත් මගක් ඇතිද?

එසේ නැති නම් රටේ ජනතාව සහ රාජ්‍ය පාලකයා ගේ අත්වැල් බැඳ ගැනීම මෙතරම් කොට ඇයි???

හැමදා අප රටේ ජනතාව සහ පුරවැසියා ඒකාබද්ධ වීම වළකන කුමන්ත්‍රණයක් තිබුණි. ඒ කුමන්ත්‍රණ කරුවා වූයේ කිසිවෙකුත් නොව අවිශ්වාසය හා අවිචාරයයි. කිසියම්ම කලක කිසියම්ම වූ අර්බුධයක් මතු වූ තැන දේශපාලනික හෝ විවිධ අන්තවාදී අවිචාරයේ අවිශ්වාසයේ ඉන්ධන මඟින් මේ අර්බුදය අසීමාන්තිකව ඇවිළ වූයේය. අදටත් ඒ පුරුද්ද එසේමය.

පුළුස්සා හලු කොට පස පෙරලා සකසන නව දැලි හේනක් පරිද්දෙන් රටක් ගොඩනැගිය හැකිද? කාලය, අවකාශය, සැළසුම නිසි පරිදි නොතකා එසේ නොහැකි බැවින් හැමදා එහි අවාසිය, පාඩුව, අලාභය උරුම වූයේ සමස්ථ ජනතාවටමයි.

අදටත් ගතවන සෑම තත්පරයක්ම බොහෝ කොට ගතවන්නේ අවිචාරයේ සහ අවිශ්වාසයේ වචන වලින් ජන සමාජය අවුලුවමිනි.

ඒ ගිනි දැල්ලේ දැඟලිල්ලෙන් බොහෝ සේ කා බී ප්‍රීති වනු පිණිස සාද පැවැත්විය හැකි නමුත් මේ ගිනි ගන්නේ අනාගතයේ අපේක්ෂාවේ මොහොතක් බව වැටහෙන විට එසේ ප්‍රීතිවන බොහෝ අය තමන්ට ඒ අවබෝධය ලැබීම සඳහා ජීවත් වෙමින් සිටීමට හැකිවේද යන්න පවා දැන් තියා සිතීම වටී.

ද්විත්වා නිමා වූයේ අපට ස්වභාව ධර්මය ඉගැන්වූ පළමු පාඩම එය වශයෙන් නොවේ. නමුත් නූගත් තවත් පාඩමක් වශයෙන් එය අවසන් වුවහොත් එය නැවත උදාකරන්නේ කිසිදා නොනැගිටින මුත් වහසි බස් දොඩන රටක ජාතියක ඛේදවාචකයක් පමණක් වීම වැළැක්විය නොහැකි වනු ඇති.

ත්‍රිත්වා හෙටයි! අප සූදානම් වුවත් නුවූවත්! 

No comments: