Monday, February 18, 2013

අඩුපාඩු අඩු සඵලත්වයක්

ජීවිතේ සඵලත්වය හොයන ඔබත් මමත් කල්පනා කළාද අඩුපාඩු ගැන කවදාවත්. මට හිතුනා දවසක් මේ අඩුපාඩු ගැන අපි නොහිතන්නෙම හිතන්න වෙලාවක් නැති නිසාද කියලත්. අනික හැම දෙයක්ම වෙළදපොළෙන් ගන්න පුරුදුවෙලා ඉන්න අපි, ලෙඩක් හැදුනම බේත් ගන්නවා වගේ අඩුපාඩු හැටියට දකින්නෙත් ගෙදර කන බොන දේ අඩුවෙන එක විතරයි. ගෙට අවශ්‍ය බඩු මුට්ටු ගැන විතරයි. හැබැයි ඔය මොන දේ තිබුනත් ජීවිතය සඵලත්වයකට ලඟා වුනා කියල කියන්න පුළුවන්ද? එහෙම පුළුවන්නම් හොදයි. නමුත් එහෙම කියන්න බැරි වෙන්නෙ ප්‍රශ්නයක් ඉවරවෙන කොට තවත් ප්‍රශ්නයක් පටන් ගන්න නිසා. ඒත් ප්‍රශ්න නවත්තන්න බැරි වුනත් ප්‍රශ්න වලට මුහුණදෙන අපේ හිතේ අඩුපාඩු, හෙලවීම්, විචිකිඡචා අඩු කරගන්න පුළුවන්වෙනව නම්.‍.. එතකොට ලොකු ශක්තියක් අපි ලඟ එකතුවෙන්නෙ නැතිද? ඒ ‍ඔස්සේ ලොකු වට එන ප්‍රශ්න අපිට කුඩාවට පෙනෙන්න ගන්නෙ නැතිද?

නමුත් පළමුවෙනි දෙය, අපි අපේ අඩුපාඩු දුර්වලතා හදුනා ගැනීමයි. අපේ සාමාන්‍ය භාවිතාවේ අපි දන්නෙ සම්පූර්ණ පුද්ගලයින් මෙලොවට බිහිවුනේ නැති සේම සඵලත්වයේ හිනිපෙත්තටම ගිය පුද්ගලයින් අතේ ඇඟිලි ගණනටත් අඩුවෙන්. අකාලික දහමක සදාතනික භාවය ගැන ඒ ගැන අහල තියෙන අයට මේ සඵලත්වයක් එක්කම මතක් වෙන්නත් පුළුවන්. කොහොම නමුත් හිනි පෙත්ත පසෙක තියා සාර්ථකත්වයේ යම් දුරකට යන්නට නම් ඊට සාපේක්ෂව අපේ අඩුපාඩු අවම විය යුතුමයි. ඒකෙ අර්ථය අඩුපාඩු අඩු වෙනව කියන්නෙ සඵලත්වය තුළත් අඩුපාඩු අවමයි කියන එක. 

ආයෙත් පළවෙනි දේ, සියල්ලටම කලින් නිවැරදිවම අඩුපාඩු හදුනා ගන්න වෙනව තම තමන්ගෙ. ඉතින් ශුද්ධ කරගන්න ඕන ජීවිත රස්තියාදුව ඒ නිසාමයි පුළුවන් හැම වෙලාවකම. රස්තියාදුවක් ගැහැවත් ශුද්ධ හිතකින් නම් වරදක් වෙන එකක් නෑ එතකොට. මොකද රස්තියාදුව අවසානෙ ඔබේ අඩුපාඩු ඔබම හිතාවි. 

හැබැයි, මේ සියලු අඩුපාඩු ඔබ සඵලත්වය පතන ඉසව්වේ. ඒ නිසා ජීවිතයේ හැම දෙයකම සඵලත්වය හිතන්න, එතකොට හැම අඩුපාඩුවක්ම ඔබට අහුවේවි. අඩු කරගන්න අඩුපාඩු. සඵලත්වය ඔබ ලඟටම ඒවි. මේ සියල්ල නිවැරදි උත්සාහයේ තරමටයි.

එහෙනම් නිවැරදිව උත්සාහ කිරීම ඔබේත් මගේත් කාරණයක්. වැරදි පාරේ නැතිව, මේ පාරෙන් එන්න කීවාට හරි පාර නොවේනම් ඒ පාරේ යන්නැතිව නිවැරදි පාරේ යාම ලේසි දෙයක් නම් නෙවෙයි. නමුත් සඵලත්වය එතැනයි.අඩුපාඩු ගැන නොහිතුවාට අඩුපාඩු නිසා වෙන පාඩු නම් අපට දැනෙනවා. ඉතින් එතනදිවත් පාඩු නිසාවත් අඩුපාඩු හදාගන්න අපි නොහිතුවොත් සහතිකයි, ජීවිතේම පාඩු කියල තමයි මට නම් හිතෙන්නේ. ඒ නිසා තේරුම් ගත්ත තැනදිම හදාගන්න ඕන දෙයක් අඩුපාඩු, පටන් ගන්න ඕන දැන්මමයි.

No comments: