Monday, February 4, 2013

නිදහස හා පරිණතිය

කාගෙන් නිදහස් වූවාද කෙසේ නිදහස් වූවාද යන්න හැම නිදහස් දිනකම සිහිපත් කෙරෙන්නකි. කාගෙන් කෙසේ නිදහස් වූවාද යන්න දැන ගත් සේම හිස් අදහස් වලින්ද නිදහස් විය යුතු බව දැන නොගත්තේ නම් මේ නිදහස සැමදා එකසේ නොවනු ඇත. 

ඉංග්‍රීසි ජාතිකයාගෙන් අප නිදහස් වූවා, ත්‍රස්තවාදියාගෙන් අප නිදහස් වූවා කියා අප සිතනවානම් ඊළඟ කරුණ ඒ නිදහස රැක ගන්නේ කෙසේද යන්න කිසියම් වාද වලට ගැති නොවූ අදහස් තුළ වටහා ගැනීමයි. රටේ මිනිසුන් හැටියට අපට තනි තනිව ඇති වගකීමත් ඒ හා බැදෙන සාමුහික වගකීම කුමක්ද යන්නත් අප වටහා ගැනීමයි.

නිදහස භුක්ති විදින්නට ලැබෙන විට ඇතිවන චිත්තප්‍රීතිය නිසාම දොඩවන්නා වූ පුරසාරම් වල සීමාවක් තබා ගැනීම වැදගත්ය. කුඩා දරුවෙකු තමා කුඩා කල භුක්ති විදි නිදහස පරිණත වැඩිහිටියෙක් සේ භුක්ති විදින්නේ කෙසේද, එසේම අප නිදහසේත් පරිණතියක් තිබිය යුතුය. මේ සියල්ල කළ හැක්කේ කතාවෙන් නොව ක්‍රියාවෙනි. 

ක්‍රියාවක් ඇරඹෙන්නේ චිත්තයකිනි. එබැවින් නිදහස්, සාධාරණ, යහපත් ක්‍රියාකාරී සමාජයක් වෙත යන්නට නම් අප පළමුව ඇති කළ යුත්තේ ඒ පිළිබද යහපත් චින්තනයක් නොවේද? 

විශේෂයෙන් බාල පරම්පරාව වෙත යහපත් සිතිවිලි සදහා ආදර්ශ සැපයිය යුත්තේ කව්ද? එබදු ආදර්ශ තබා තමන්ගේ ක්‍රියාවෙන් බාලයා යමක් උගනිතියි සිතන වැඩිහිටි පිරිස කොපමණ වේද? තමන්ගේ නිදහස ගැන සිතනවා විනා දරුවෙකුට ආදර්ශයක් පිණිස ක්‍රියා කරන්නට සිතන්නේ ‍කුමන වැඩිහිටියාද? වැඩිහිටියා නොහිතන ඒ කරුණ කෙදිනක හෝ පුද්ගලිකවත් සාමුහිකවත් ඔහුට විදවන්නට සිදුවේවි. 

ඒ නිසා හිතන්න නිදහසේ පරිණතියක් ගැන. ඔබේ දෙස බලා හිදින ඊලඟ පරම්පරාවේ බාලයා දෙස, ඔහු අනුගමනය කරන්නේ ඔබව නම්.. ඔබ අනුගමනය කරන්නේ කව්ද? කුමන ප්‍රතිපදාවක්ද? නිදහසේ පරිණතිය ඒ ඔස්සේය.

No comments: