ගොඩක් දේවල් ගැන නිවැරදි අර්ථ කථන අපේ මිනිස්සු නොදන්නවාද? නැත. වචනයෙන් ආපිට කිව නොහැකි වුවත් බොහෝ දේ ගැන නිවැරදි අවබෝධයක් හා විග්‍රහයක් අප සමාජයේ ඇත. නමුත් එළිපිට ඒ ඇත්ත කතා කරන්නටත් ඒ අනුව ක්‍රියා කරන්නටත් අපේ මිනිස්සු බිය වෙති. ඒ මරණ බිය නිසාමද යන්න වෙනමම සොයා බැලිය යුත්තකි. නැත්නම් බටහිරින් ආ මහත්මා වෙස පලුදු වේයැයි යන බිය නිසා වන්නටත් පිළිවන්. තවත් සරල ආකාරයක් නම් ගලන අතටම ගසා ගෙන යන්නට හැරීම ආයාසකර නැති ලෙහෙසි මගක් වීමයි. නමුත් ප්‍රශ්නය ඇත්තේ ඇල්ලේදී ඇද වැටී සුනුවිසුනු වන්නට සිදුවන බව තේරුම් ගැනීමට නොහැකි වීමයි.
කෙසේ හෝ ප්‍රජාතන්ත්‍ර වාදය ගැන මෙන්ම විශේෂයෙන් ඡන්ද ළං වද්දී පවත්වන දේශපාලන කතා වලදීත් දැන් බොහෝ දෙනා තරගයට ඇගිලි උරුක් කරනු පෙනේ. ඉස්සර කතා පැවැත්වුවේත් එහෙමද, දැන් මෙහෙමද යන කාරණයක් ගැන වාදයක් නොවේ මේ. කාතාවෙන් කියවෙන සම්පප්‍රලාප මෙන්ම තම විරුද්ධ පාක්ෂිකයන් ගැන කතා කරන විටදී මුහුණෙහි ඇතිවන බිහිසුණු පෙනුම මෙන්ම මුග්ධ ගතිය ගැනත් පාදඩ කම ගැනත් කතාවකි.
දේශපාලුවෝ වෙනුවෙන් කඩේ යාම බඩ රස්සාව කරගත් මාධ්‍ය වේදියෝ කියා ගන්නෝත් බිස්නස් එකක් ලෙස ජයටම දේසය පාලු කරන්නෝත් මෙහිදී විශේෂය. ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදය, නීතිය මෙන්ම දේශපාලනේ ගැන කතාකරන්නේ පාදඩ ගතියෙන් ඇගිලි දිගු කරමිනි. එතරම් ආවේගශීලී බවකින් හා ජඩ විලසින් මේ දේවල් කතාකරන්නට තරම් ඔවුන් සුදුස්සෝ කළේ කවුරුන්ද? සාධාරණත්වය, යුක්තිය ගැන නීතිය, ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්නට තරම් වන මහජන නියෝජිතයෝද මොවුන්, එ් ගැන ඔවුන්ට ඡන්දය දෙන ජනයා තේරුම් ගෙන ඇත්ද. රටේ පාලනය වෙනුවෙන් අපේ නියෝජිතයන් පත් කරනවා කියන්නේ තවත් බිස්නස් එකක කොටස් මිලදී ගෙන කොටස් වෙළදපළ හරහා ආදයම් හොයන වැඩක්ද?
ලෝකය රගමඩලක්, ලෝකය තනි යායක් කියනවාට වඩා ලෝකයම වෙළදපොළක් යැයි හිතන චින්තනය නම් එ් හා ගැලපෙනු ඇත. ලෝකයම වෙළදපොළක්, අපි එහි ගනුදෙනු කරුවන්, ඉතිං රටත්, අනෙකුත් ජනයාත්, සියලු බැදියාවන් හා හැදියාවනුත් ආදයම් මාර්ගම පමණයි. මිතුදම පමණක් නොවේ. සහෝදර කම, නෑදෑ කම මෙන්ම දෙමාපිය සබදතාව පවා අදායම් මගක්.. විකුණාගෙන කෑ හැකි හැමදේ විකුණා කන්නට හැකිනම්, මිනිස්සු සනසන්නට අරුතක් නැති රස්සා හැදීමත් ණයට කවා දේශපාලනයෙන් හම්බ කිරීමත් මහජනයා ගොනාට අන්දවා සැප සෙවීමත් යෙහෙකි.
ඉදින් එහෙව් බූරු දේශපාලුවන් ඇගිලි උරුක් කරමින් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනු අසා රජයේ මෙන්ම රජයේ නොවන සේවකයන්ද, ඡන්ද දායකයන්ද උඩ පැන පැන අත්පොඩි තැළිය යුතුය. එවිට හැමදා මෙලෙස අපහට ජීවත් විය හැකිය.
විලි ලජ්ජාව කියන එකට දැන් වලංගුතාවයක් නැත. වලංගුතාවය ඇත්තේ මර බියට ආසන්න බියකටම පමණි. අර්ථ කථන විහිළුවකි. හොදම විනාශකාරයන් හොදින්ම අර්ථකථන දන්නන්ය. දන්නා කම වැඩිවීම නිසාම උන් කට්ට කපටියන් වී ඇත. දැනුම තිබුනාට ආත්ම ශක්තියක් එන්නේ නැත. එවිට ප්‍රතිපත්තියක් නැති නම් හැම අතටම දිව නැමෙන්නේය. නිවට ගතිය, බිය දොරේ ගලන්නේය. ඉදින් තැන තැන අල්ලාප සල්ලාප සම්පප්‍රලාප මිස වෙන මොනවාද? සංවාදයට නම් ධර්මයම පමණයි. එහෙත් එයට බොහෝ දෙනාගේ කැමැත්තක් නැත. කෑම, බීම හා ජොලිය එහිදී කතා නොවීම ප්‍රධාන හේතුවයි. එබදු දේ ඒ යටතේ කතා කළ නොහැකි බව සිතීම ඊලග හේතුවයි. තුන් වන හේතුව නම් එබදු දේ ධර්මය හා ගලපා එ්වායේ අනුකූලතාවයන් කිරා මැන බැලීමට ඇති අකමැත්තයි, නොදන්නාකමයි. දැන ගැනීමට උවමනාවක් නොමැති කමයි. කෙසේ නමුත් එය අමතර කතාවකි.
ඉතිං මහ ලොකු ඔලුබක්කන් බදු සාඩම්බර මහජන නියෝජිතයින් විසින් ඔය එහෙට මෙහෙට දික්කෙරෙන ඇගිලි වක් කරන්නට සමත් මහජන ශක්තියක් ඇති වූ දාට රටක් හැදේවි. එතකන් කිසිත් සිදුවන්නේ නැත. එබදු මහජන ශක්තියක් ඇතිවන්නට මහජනයා ප්‍රතිපත්ති ගරුක වන්නේ කවදාද? තමන්ගේ බිය හා නිවට ගතිය හදුනාගත් දිනකදි එය සිදුවේවි, සමහර විට ඊට මං කපන්නට තරම් සමාජය උස්සා පොළොවේ ගසන සිදුවීමක් මෑතක නොවුනා විය හැකිය. හැබැයි එය කොයි මොහොතේ හෝ සිදුවනු ඇත. සුනාමියත් දෙවැනි වන්නා වූ මහා පිපුරුමකින් හෝ නිවටව බිහිරි වූ හා අන්ධ වූ උන්ගේත් ගොළු වූ උන්ගේත් කන්, ඇස්, හා කටවල් ඇරේවා.. තවදුරටත් දෙසන්නට අර්ථ කතන දෙන්නට නොව ක්‍රියාත්මක වන්නට...
අන්තනෝමතිකව අසාධාරණව අයුක්තිසහගත ලෙස සිය බලය හෝ පාදඩ කම පෙන්වීම උදෙසා දික්කෙරෙන ඇගිලි සාධාරණය හා යුක්තිය උදෙසා වක් කිරීම පිණිස සමාජයේ කිසිවකුත් සිටිය නොයුතුද? නීතිය ඉදිරියට නොඑන තැන කැලෑ නීතිය නැතත් ශක්තිමත් දෑත්, හිස් හා හදවත් තිබෙන මිනිසුන් ඒ වෙනුවෙන් සිටිය යුතුය.
1 comment:
අර්ථ කථන වලංගු වන්නේ පාදඩයන්ට නොවේ. සමස්ථ සමාජයට වඩා දේශපාලනයේ පාදඩයන් භයානකය. මන්ද ඔවුන් මහජන නියෝජිත ලේබලය අලවා ගෙන ජඩ කමේ යෙදෙන බැවිනි. ඔවුන් මඩින්නට ශක්තිය විය යුත්තේද මහ ජනයාගේම දෑත් මිස අන් කවරක්ද?
Post a Comment