Wednesday, March 22, 2023

J R හොඳයි Ranil හොඳා..යි! (මේ පොලිටිකල් නො වේ)

වැඩියෙන්ම රනිල්ට බෑ කියපු මිනිස්සු දැන් එයාටම විතරයි පුළුවන් කියනවා !
රටේ ප්‍රශ්නේ ~ පොළේ බඩු විකුණන විදිහට ඒ ඒ වෙලාවට විකුණ ගන්න පුළුවන් දේශපාලන ගැජමැටික්ස් වගකීමක් නැතිව විකුණමින් ලාබ උපයන ජඩ දේශපාලනය නිසා රට හිඟමනෙන් හිඟමනට වැටුණු එක.
ඒ ජඩ දේශපාලනය නැවත රට ගොඩනැඟීම වෙනුවෙන් ඇප වෙනවා. කැප වෙන්නේ නෑ. යථාර්තය ඒක. මේ විදිහෙන් අපි හදන්නෙ දෙයියන් වහන්සේවත් රවට්ටලා සුගතියට යන්න. නැත්නම් කෙටි මාර්ගයෙන් නිවනක් ලබන්න. 
විවෘත ආර්ථිකේ හොඳයි කියනවා ~ අපිට හොඳක් කර ගන්න පුළුවන් වුණා ද ~ මේක ව්‍යවස්ථාව තරමටම වේදිකාවේ පට්ට ගහපු දේශපාලන මාතෘකාවක්
ණය ආර්ථිකේ නැතුව බෑ කියනවා ~ 17 පාරක් ගියා කියනවා අල්ලගෙන ඉන්න බැරුව. මේකත් පතුරු ගහනවා.
කෝක පතුරු ගැහුවත් අපි රටට ගැලපෙන ක්‍රමයක් හදා ගැනීමට අසමත් මිනිස්සු කොට්ඨාශයක් බව ව්‍යවස්ථා සංශෝධන ගණනින් පේනවා. වම් අත උස්සලා සම්මත කරන දේ ඒ මිනිහාම දකුණ උස්සලා පරාජය කරනවා. එහෙම දේශපාලනයක් අවස්ථාවාදී ව අනුමත කරමින් දශක ගණනාවක් ඇවිත් රටේ ජනතාව ලබා ගත් ජයග්‍රහණ මොනවාද?
එකම දේ තාම රටත් වැසියාත් භෞතිකව සමස්ථයක් හැටියට පවතිනවා. එහෙම හිටි පමණින් රටක් ශක්තිමත් වීමක් හෝ ගොඩනැඟීමක් වෙන්නේ නෑ. නොමැරී ඉන්නවා කියන්නේ ජීවත් වෙනවා කියන අර්ථය අංග සම්පූර්ණ වීමක් නොවෙයි. 
මනුස්සයෙක් ගෙ පුද්ගලික ජීවිතයක් වගේ නෙවෙයි රටක ජීවිතය. කොටස් හැටියට පංති හැටියට පැළැන්ති හැටියට එක එක් කොට්ඨාශයට එක එක අයට රටේ රාජ්‍යයේ සැළකීම එක එක විදිහ වෙන්න බෑ. සමානාත්මතාවයක් සාධාරණයක් යුක්තියක් රටක ජනයාට එක ලෙස විය යුතුයි. ජනතාවගෙන් රටට පූර්ණ ශක්තිය උකහා ගෙන ජවයෙන් නැගිටින්න පුළුවන් එතනදි. එහෙම නැති ව කාලෙන් කාලෙට එක එක නායකත්ව ප්‍රතිරූප උත්කර්ශයට නංවා යැපෙන්නේ මජර දේශපාලනයේ පැවැත්ම පමණයි. අපි අද දක්වාත් කරන්නේ එහෙව් දේශපාලනයක් උදෙසා රටක් නඩත්තු කරනවා මිස රට වෙනුවෙන් යහපත් දේශපාලනයක් ගොඩනඟා ගැනීම නොවේ.
ඉඳින් විවෘත ආර්ථිකය හොඳයි කියූ ලෙසම අපි ණය ආර්ථිකයට හොඳා..යි කියා අවස්ථාවාදී වීම හැර මේ අවස්ථාවාදය නඩත්තු කරන මජර දේශපාලනයට බායි කීමට තවමත් සුදානම් නැතිද?
අලුත් අලුත් දෑ නොතනන, නොතකන, එයට ගරහන, ඊට බිය, කැප විය නොහැකි, ෂේප් න්‍යායෙන්ම යැපෙන, විලි ලජ්ජාවෙන් තොර හා කෙටි කාලීන මතකය හැර වෙනත් අනන්‍යතා නැති ජාතියක් ලොව නොනගී. නැගීම තබා ණය බරකින් වත් එවැනි ජාතියක් අත්මිදෙනු නැති.

Tuesday, March 21, 2023

දැඩි දඬුවම් ! ( ගහන්ට ගහන්ට වැන්දේ නැත්නම්)

පාලකයා ඔබේ අයිතිය නැවත නැවතත් කෙළෙසුවද ඔබ පාලකයාගේ හිරි ඔතප් නොබිඳීමට වග බලා ගත යුතුය. එය ඔවුන්ගේ පරම පවිත්‍ර වරප්‍රසාදයකි.

ණය බස පෝෂණය කරන අයුරු ~(ණයාලංකාරයෙන් ණයට)

සුබ ණය වසරක් වේවා
සුබ ණය අවුරුද්දක් වේවා
ණය බෝ වේවා
ණය සරණයි

ණයපති / ණයාධිපති
ණයාභිමාන / ණයාභිමානී
ණයබන්ධු
ණයපුත්‍ර

ණයපාර
ණයග්‍රාම
ණයනගර
ණයභූමි

ණයෝත්පාදක / ණයෝත්පාදන
ණයමංගල්‍ය
ණයවාදී
ණයචාරී

Repeat🔄

හරි අමාරුවෙන් එතුමලා මාතෘ භූමිය ලෝකෙට උගස් කළා, සින්න කළා ~ ඔවුන්ට අපි සදා ණය ගැතියි ද ? ඔවුන් අපිට සදා ණය ගැතියි ද ? ඇන්ටිගනී වගේ කතාවක් ද ? දන්නෙ නෑ, වැඩකුත් නෑ, කොහොම වුණත් අදින් පස්සෙ අපිට ප්‍රීති වෙසක්!

Sunday, March 19, 2023

ස්වදේශික රජ උරුමය ~ (වැද්දන් රට ෴ රාජකීය කළු සුද්දන්ගේ හිරිඔතප් බිඳී)

ස්වදේශික රජ උරුමය සේ වැද්දා 
අපි කියෙව්ව ස්පිට්ල් ගෙ සුදු වැද්දා
ආපහු අදී වැද්දා ගැන කළු සුද්දා
සුද්දට වුනත් දඩමං කීවේ වැද්දා 

ලොක්කා කියන්නෙත් වැදි බණ උදේ හවා
සොක්කන් අහන්නෙත් වැදි බණ උදේ හවා
ගොරකා කරන්නෙත් දඩ මස උදේ හවා
වැද්ද ද නොහොඳ කළු සුද්ද ද හුරේ හුරා

හැත්තෑ ගණන් ඇද බැඳ ගෙන හිටියාට
සුද්දා තරම් වත් කෙරුවද මතුදාට
හතළිහ පනහ බල සැමරුම කෙරුවාට
වැද්ද ද නොහොඳ කළු සුද්ද ද මේ රැහැට

හිංගල දෙමළ බර්ගර් වැදි මරක්කලේ
ඒකද පුරවන්ට බැරි වුණෙ රන් කොතලේ
කරපු හරිය බංකොලොත්ය නල්ල මලේ
වැද්දද වැරදි කලු සුද්දද නඟේ මලේ

සූප්පු / බැලුම් / දුනු හී

දැන දැන වැරදි කරන්නවුන් හුරතල් කරන සමාජයක් කිසි දින අලුත් අවුරුද්දක් උදා කර නොගනී. පරණ වැරදි කරපින්නා ගෙන හැමදා බණ කතා කරමින් විනාශ කරන රටකි මේ. 

දුෂිතයින්ට ගජ මිතුරු හොරුන්ට නිදහසේ සරන්නට වායු බැලුන් සපයන පාලකයෝ වංචාවට දූෂණයට තවත් කාලය හා ඉඩ අවකාශය සළසා දී තිබේ. මේ පිළිබඳවත් තමන්ගේ දුක්ඛ දෝමනස්සයන් පිළිබඳවත් මහජනයාගේ සැබෑ අදෝනාව වළක්වනු පිණිස ඔවුන්ගේ මුවට බලහත්කාරයෙන් සූප්පු ඔබ්බවමින් සිටිති. 

ඔබ ඒ දුෂිත බැලුන් වලට ඉලක්කය ගත යුතුය. ඒ එල්ලය බැරි බව හැඟවීම දුර්වල ආණ්ඩු වල කාර්යය වුවත් ඒ නොහැකියාව හැකියාව බවට පෙරළීම රට වැසියාගේ පරම යුතුකමකි. ඒ බලය ඔබ සතුය. එළැඹෙන අලුත් අවුරුද්දේ එය ක්‍රීඩාවක් විය යුතුය. රටට හානිකර මිනිසුන් පිටු දකින්නට ඔබ ක්‍රියාකරනවා යනු ඔබෙන් රටට හානි වීමට ඇති ඉඩකඩද ඇහිරීමකි. එසේ නොමැතිව කිසිවකු විසින් ඔබේ යුතුකම ඉටු කරන තුරු බලා හිඳීම ම යුක්ති භංග මජර සමාජයට, ආණ්ඩු වලට ඔබ යට කර දමා යාමට ඉඩ දීමකි.

මේ බැලුන් සිදුරු කර දුෂිතයින් බිම හෙලන්නට අසමත් ජනතාවකට සූප්පුවක් කටේ ගසා ගෙන ව්‍යාජ නැළවීමක් තුළ සදාකාලික නින්දක් දක්වා වුව ගමන් කළ හැක. ඒ නින්ද ගජ මිතුරු දූෂිතයින් සමඟ එක්ව සවාරි යන්නට හීන දකින මජරයින්ගේ පරම පැතුමකි.

අවුරුදු කෑම වෙසක්, පොසොන් සැමරීම, නත්තල් සංස්කෘතික උත්සව අස්සේ හැමදාම ඉදිරියට ගොස් ඇත්තේ පාලකයින් විසින් පෝෂණය කළ රට බංකොලොත්භාවය දක්වා දක්කා ගෙන ගිය වත්මන් මජර දේශපාලන සංස්කෘතිය පමණි.

(දූෂිත ගජමිතුරු හොරුන් යනු අදින් කල් ඉකුත් වන ගම් සබාවක සිට ඉහළ මන්ත්‍රී මණ්ඩල, විධායකය දක්වා ඔවුන් හා එක්ව හෝ පසු පසින් හිඳිමින් තමන්ගේ ව්‍යාපාර, ව්‍යාපෘතීන් සඳහා විවිධ අනීතික සහයෝග ලබා ගනිමින් විශේෂ වරප්‍රසාද ලබා ගනිමින් රටේ යහ පැවැත්මට හානිකරමින් රට බංකොලොත් භාවයට පත් කිරීම සඳහා දීර්ඝ කාලීනව දායක වෙමින් රටේ සාමාන්‍ය ජනතා අයිතීන් අභිබවමින් සමාජයේ අති විශේෂ සමාජිකයින්, පුද්ගලයින් ලෙස ක්‍රියාත්මක වෙමින් ගොට්ටන් එහෙයියන් ආදී පිරිසක් සමාජය තුළ ස්ථාපිත කිරීමේ මෙන්ම මේ මජර සමාජ සංස්කෘතිය නිර්මාණයේද මූලික ම තැරැව්කරු, සාධකය සේම සමාජයේ ඉදිරි ගමන හරහා ඇති මහා බාධක සජීවීකරණයයි.)

Friday, March 17, 2023

විකල්ප අල අපට එපා ~ පල නොකියම බෙදනව අපි පලා : හුදී ජනතාව, ජාතිය අමතන්නා අමතයි !(වියරණ නැත)

දේශපාලුවො පින් රැස් කරන්නෙ වයසට යන කොටද
කැරට් වෙනුවට ජන විශ්වාසෙට දැන් දේශීය අලද
මේ හෝද හෝද මඩේ දාන්නෙ ඉල්ලම් පස් ගොඩද
කාපු තරමට දුන් ලණු ආපහු නොකා ඉද්දි දුකද

ක්‍රමයක් මිස විකල්ප අල අපේ පතට එපා
විශ්වාසය නැති කළ අය එදා පටන් මෙදා
දවසක් එයි සළකන්නම් එපා කියන්නෙපා
අපි දන්නව බෙදන විදිහ පල නොකියා පලා

වාර ගාණ මතක නැද්ද හිඟමන් බඩ ගාපු
ලැජ්ජ නැද්ද කල කී දේ ඡන්ද ගෝරනාඩු
කාල බීල බඩ පිරුණ ම බුදිය ගත්ත යාලු
ආපහු හිඟමනේ ගිහින් ඒ පාරෙම වාලු

ඔලුව කඳ බඩත් තියනව රටකට දෑවැද්ද
හිටගන්න කකුල් දෙක තවමත් අපගේ පණ නැද්ද
දෑත දෙපා බැඳ දමලා පණ ඇපයට ගත්ත
රේස් දුවන්නට තුවක්කු හඬ විතරක් ඇද්ද

Friday, March 10, 2023

by එහෙයියා (එහෙයියා~ව)

මෙරට විසූ සහ අදටත් වෙසෙන සත්ගුණවත් යුක්ති ගරුක සාධාරණ පාලකයින්ට එදා මෙදා බාධා කරන උන් නොවන්නට අද අප සියල්ලෝ කේතුමතියක වසන ප්‍රීතිමත් මිනිසුන්ය. 
ඉතා යහපත් පාලකයින් අදූරදර්ශී අයහපත් තීරණයන්ට පොළඹවා ඇත්තේ මේ බාධා කරුවන් ය. ඉතා යහපත්ව පැවති දේශපාලනය අයහපත් මාර්ගයට ඇද දමා ඇත්තේ මේ බාධාකාරී ජනතාවය. ඇත්තෙන්ම ඔවුන් පහර දී එලවා දමා සත්ගුණවත් දේශපාලන ප්‍රභූන් රැක ගැනීම රාජ්‍යයේ ආරක්‍ෂකයින්ගේ වගකීමය. රටක වැදගත්ම පිරිස රටේ පාලනාධිකාරිය හොබවන දේශපාලකයා ය. ජනතාව විශේෂයෙන් අරගලකාරී ජනතාවක් නොව රටක දියුණුවට ඇවසි රටේ පාලනාධිකාරිය ප්‍රශ්න නොකරන ජනතාවකි. කොටින්ම කීවොත් එහෙයියන් පිරිසකි. පාලකයාගේ යහපත් සිත මුදු මෙලෙක් වන්නේ එවිටය. 
ගත සිත නොරිදවා , කී දේ කර දෙවා , බැති පෙම් උපදවා , වැඩ කර ගනිව් රජුට වැඳලා යනුවෙන් අතීතයේ ප්‍රබුද්ධ කවියෙක් පවසා තිබුනේ නිකම් නොවේ. නමුත් මෝඩ ජනතාවකට එය නොවැටහීම රටේ ඛේදයකි. 
විධායක බලයක් හොබවන ආන්ඩුවකට ව්‍යවස්ථාදායකය බලයත් තමන්ට අවශ්‍ය ආකාරයකට හැසිරවිය හැකි නම් ඔවුන්ට අති මහත් බහුතර ජනතාවක් මෝඩ අරගල කළ ද 
එලක් නැත. එබඳු විටෙක විචක්සන පාලකයින් කෙසේ හෝ අප රට තව කලකින් ලෝකයේ ඉහළම තැනකට ගන්නා බව අවිශ්වාස නොකර හිඳීම ප්‍රමාණවත් ය. ඊට හේතු උවමනා නැත. ජනතාවගේ වගකීම ඔවුන්ට ඉඩ දී බාධාවකින් තොරව ඔවුන්ගේ කටයුතු කිරීමට ඉඩ හැරීම ය. ප්‍රශ්න නොකර ඔවුන්ට සහයෝගය දීමය. එහිදී තම ජීවිත පැවැත්මට මුල් තැන දීම වැරදිය. රාජ්‍ය පාලකයා පළමු තැන තැබිය යුතුය. මතක තබා ගත යුතු වැදගත්ම කරුණ නම් බලවත් ඔවුන් යන්නය. එබැවින් තමාගේ දුර්වලතාව තේරුම් ගෙන අරගල නොකොට පාලකයා කරන සියල්ල ගුණ යහපත්කම් ලෙස දකින්නට හුරු වීම රටක පොදු ජනයා බුද්ධිමත් වීමක් ලෙස අර්ථ විග්‍රහ කොට ගැනීම කිසියම්ම ලෙසකින් ලජ්ජා වීමට හේතුවක් ඇති දෙයක් නොවේ.
ඔබ කිසියම්ම ලෙසකින් පාලකයාගේ සදොස් බව ප්‍රශ්න කළ ද තමා සතුව බලය පවතින තෙක් ඔහුට උවමනා පරිදි එය නොසළකා ක්‍රියා කළ හැකිය. එබැවින් මෝඩයෙක් වෙන්නට එපා! විවිධ අයියන් මැද ඔබ අඩු තරමින් එහෙයියන් ගොඩවත් නියෝජනය කළ යුතුමය. මේ සත්ගුණවත් රාජ්‍යයේ පරම සේවකයෙකු නම් ඔබට ඒ සඳහා බාධා තවත් අවමය. 

Thursday, March 9, 2023

ජන අරගලයකින් පසු හදිසියේ ... මල්වර වූ තුරුණු, වියපත්, සියලු රාජ්‍ය පාලකයින් පණ මෙන් රැකිය යුතු, 🌹🌺🌸💮🌻🌼💐

මුර බල්ලනි පෙළ සැදෙව්! මුරකාවල් තර කරවි!
ඊයේ පෙරේදා වැඩිවිය පැමිණි රාජ්‍ය පාලකයින්ගේ පාරිශුද්ධත්වය රැකීම රාජ්‍යයේ පළමු හා එකම වගකීමය. දිවි පුදා හෝ ඒ සුපිපි මල් ආරක්ෂා කළ යුතු ය!

Wednesday, March 8, 2023

විදුලිය සැරය ~

මනුස්සකම මරා හදන රුපියල්
බණ කියනා හොරුත් මාර පොරවල්
වින කළ උන්ට සැප දී මෙහි හැම කල්
හදනා රටක් වැජඹේවිද දිගුකල් !!!!!!!

by හාමු ~ දිව්‍ය ලෝක ගමන 1

හාමු අලියාගේ වල්ගය තදින් අල්ලා ගත්තේ ය. ඉන්දියානු ඉන්ධනය. චීන ඇංජිමය. ඇමරිකානු මෙහෙයුමය. මෙහෙන් හාමු හා පිරිසය. මේ තෝරාගැනීම ගැනම අප රටක් වශයෙන් ලෝකයට ණය ගැතිය. මින් පෙර අලියාගේ වල්ගයේ එල්ලී දිව්‍ය ලෝකයට ගොස් තිබුණේ මේ හාමුගේ මී මුත්තා ය. එබැවින් පරම්පරාවේ නම්බුව මී මුණුපුරා තබනු ඇතැයි කව්රුත් විශ්වාස කළෝය. මීට පෙර හාමු සමඟ අමනාපයෙන් හිටි බොහෝ දෙනා මෙවර හාමු සමඟ දිව්‍ය ලෝක ගමනට එක්වී සිටීම ඇතැමුන් සිහිසුන් කරවන තරමේ පුදුම සහගත තත්වයක් විය. ඇත්තෙන්ම එහෙම නොවුණා නම් පුදුමය. හාමු සමඟ ජන්මාන්තර වෛරයෙන් පසු වූ ඇතැමුන්ගේ වෙනස ගම්මුන් උමතු කරන තරමේ එකක් විය. කෙසේ නමුත් හාමු සිටියේ සතුටිනි. දිව්‍ය ලෝක ගමනට කලක් තිස්සේ උත්සාහ කළ ද "පූරුවේ පින ඵල දෙන්නේ දැන් තමා" ඔහු හාමිනේටත් තමන්ගේ අත වැස්සන්ටත් කීවේ දැනට දින කීපයකට කලින් මේ ප්‍රීතිය සැමරීමට සාදයක් පැවැත් වූ හවසකය. මධුවිත තොළඟා බටහිර විලාසිතාවට හාමිනේ ගේ නළලට හාදුවක් දුන් ඔහු "මුන් මට ඒ දවස් වල කීවේ හාමුට බෑ කියලා" යයි ඔලොක්කු සිනාවක් නැගුවේ ය. කොහොම වුණත් දිව්‍ය ලෝක ගමනට රටේ සබාවෙන් තමා තෝරා ගැනීමටත් වඩා ලෝකයේ රටවල් වලින් ගමනට ආධාර ලැබීම හාමුට ගෙන ආවේ සතුට කි. "අපේ උන්ට වඩා මට උන් එක්ක ගනුදෙනුව ලේසියි" අලියාගේ වලිගය අතගාන අතර හාමු තොල මැතිරුවේ ඒ හෙයිනි. ඉන්දියාව ඉන්ධන දුන්නත් චීනය එංජිම දුන්නත් ඇමරිකාව ගමනේ සැලසුම ඇන්දත් දිව්‍යලෝකයට යා යුත්තේ වලව්වේ ගහේ බැඳ ඉන්න අලියාගේ වලිගේ එල්ලිලා ය. අලියා වලව්වට ආ ගමන හාමු ඉපදෙන්නටත් පෙර කතාවකි. අලියාගේ හොඳ කාලයෙන් හොඳටම වැඩ ගත්තේ මී මුත්තා ය. "මගේ හොඳ කාලෙදි මූත් වයස වුණා නොවෙන්න මං නවතින්නේ දිව්‍ය ලෝකෙ නෙවේ. බ්‍රහ්ම ලෝකෙට ගිහින් " 
ඒත් ඉතිං මක් කරන්නද මේ වෙලාවෙ රාජා මුදලාලි තමයි හැම දේටම කියල හාමු ගෙ දකුණු අත වගේ හිටියෙ. කොටින්ම දිව්‍ය ලෝක ගමනට වෙන සුදුස්සෙක් නැත ය කියල හාමුටම වැඩේ පoගාතු කළේ උන්නැහැ තමා. එක පැත්තකින් රාජ මුදලාලිට තිඋන අවස්ථාවක් මේක. නමුත් හාමුගෙ වෙලාවට අලිය විකුණල නොතිබ්බ එකයි වසනාව, ඊටත් වඩා හෙන්ඩුව. හාමුගේ හිත ගර්වයෙන් රත් වුණා. "මගේ හිතේ විශ්වාසෙ හොඳයි" හාමු ඉංග්‍රීසියෙන් තමන්ගෙ ගර්වය ගැන සෑහෙන උද්දාමයකින් තමන්ට ම කතා කර ගත්ත.
වලිගෙ තදින් අල්ලගත්ත හාමු ගෙ සෙට් එක හාමුගෙ ඉණ වටෙන් අත දාල එක එක්කෙනා පෝළිමට එල්ලුනා දිව්‍ය ලෝක ගමනට. ඔය ඔක්කොමත් හරි හාමුට විතරක් නෙවෙයි රාජ මුදලාලිටත් ඉහිලුම් නොදෙන දෙයක් තිබුණා. ඒ තමයි ගමේ කොල්ලො කුරුට්ටො මේ වැඩේට දාන පල් එක. උන් කියන්නෙම මෙහෙම දිව්‍ය ලෝකෙ යන්ට බෑ ය. වයසට ගියාම කොහොමත් බෑය. අඩු තරමෙ දිව්‍ය ලෝකෙ යනව නම් හැට පිරෙන්නට වත් පෙර යා යුතු බවය. අනික උන් මෙහෙම ගමන පිළිගන්නේ ද නැත. වලිගේ එල්ලී දිව්‍ය ලෝකේ යා නොහැකි බව ද උන් කියති. විශේෂයෙන් ම රාජාගේ මුදලාලි කමටවත් තමන්ගේ හාමු කමටවත් උන් ගරු නොකරති. රාජා මුදලාලි සමඟ විරසක ව හිටි කාලයේ නම් ඔහුත් කොල්ලන්ගේ පැත්ත ගෙන මුදලාලිට වෙට්ටු දැමූ මුත් මුදලාලි මිතුරු වෙස් ගෙන කළ උපකාරයෙන් පසු තමා ගිරයේ ලෑ පුවක මෙන් හිරවුණු බව හාමු දනී. දැන් කොල්ලන්ගේ වැඩ හාමුට සුළු පටු වදයක් නොවේ. වත්තේ මුරකරුවන් ලවා ලයිසොන් තුවක්කු බයිනෙත්තු පෙන්නුවාට ඉස්සර මෙන් කොල්ලන් ඒවාට බය වෙන්නේ ද නැත. රට්ටුන්ගේ අවධානය නිසා මුන්ගේ රැස් බැස්සවීමට ඔයින් එකක් දෙකක් පත්තු කිරීමට හිතුනත් එය ලේසියට කළ නොහැකි ය. ඒ මදිවාට කොල්ලන් වලව්වට ගල් ගසනවා යැයි ළඟදී මුරකරුවන් කීප දෙනෙක්ම වග පල කියනවාද හාමුට ඇසී තිබේ. හාමු මුරකාර දීමනාව සියයට විස්සකින් වැඩි කළේ උන්ගේ යටි හිතේ ඔය වලව් ගර්වය මෝරන්නටත් එක්කලාය. වත්ත මායිමේ කරක් ගැසූ කොල්ලන් වැට පොලු උගුල්ලා බය කොට පැන්නූ බව මුරකරුවෙකු කියනු ඇසුනු හාමු ඔහුට ප්‍රසංශා කළේ මුත්තා හා ඊට පසු කලක තමන්ගේ කෙරුම් සිහියට නඟමින් "ඔය වගේ දහයක් හිටියනම් මට ඇති ගමකට" කියමිනි.
මේ හිතිවිලි එක්ක හාමුට අල්ලගෙන හිටි වලිගය මිරිකුණා විතරක් නෙවෙයි. තව ටිකෙන් විකෙනවා ඒක. ඒ තරමකට එන කේන්තියක්. චීන  ඇංජිමට ඉන්දියන් ඉන්ධන යොදා ඇමරිකන් සැලැස්මට තමයි අලියට උඩ යන්න රොකට් පවර් එක දෙන්නේ. අලියගෙ වල්ගෙ එල්ලිල තමයි සෙට් එක දිව්‍ය ලෝකෙ යන්නෙ. එහෙම ගිහිල්ල මී මුත්තගෙ මතකෙ අලුත් කරල නම්බුවයි ගරුත්වෙයි බේරගෙන ආපහු එන්න බැරි වුණොත් එහෙමම නවතින්නයි හාමු හිතාන උන්නෙ. යන යන තැන හාමිනේව එක්කන් යන්න හිතුවෙත් ඒකමයි.
මතු ~

අදත් ලජ්ජා නැති දවසක් !

විදේශ විනිම
කාන්තා ඉනිම
හූරා කෑම
හොරා කෑම

Thursday, March 2, 2023

' මම '

 shut up get sit 

(get sit for my ride) 

රට හදන්න අපිට උවමනා නෑ උවමනාව තිබ්බත් අපි රට හදන්නෙත් නෑ 

~ සබාවේ සිනා