Thursday, April 2, 2020

උත්තර වෙනුවට තවත් ප්‍රශ්න එපා (මීටරය තබා එක්වෙනු මිස බෙදනු එපා)

ස්වභාවිකව එකම ආරේ උපතකින් හුස්ම ගැනීම අරඹන ලෝකයේ මිනිස්සු කවරාකාර ස්ථිර හුස්ම නැවතීමකිනුත් ලබන්නේ මරණයයි. නමුත් මිනිහාගේ ජාතික, ආගමික, සංස්කෘතික "උපත" සහ "මරණය" හුස්ම ගැනීමෙන් ඇරඹී හුස්ම නැවතීමෙන් අවසන් නොවේ. 

එහෙත් අද, කෝවිඩ් දහනවය මිනිසාගේ "මරණය" සියළු ධන, නිල, බල, පදවි, තනතුරු, ජාති, ආගම්,  සංස්කෘතික, දේශ, සීමා, මායිම් වලින් ඔබ්බට ගෙනගොස් ඇත. ඒ හමුවේ තව දුරටත් මිනිසාගේ මරණයේ නම්බුව විලි වසාගැනීමකට පමණක් සීමා වී ඇත. 

ස්වයං විනය හා නුවණට පමණක් ගරු කරන කෝවිඩ් ඒ දෙකම නැති මිනිසාට පහර දෙන්නේ අනුකම්පා විරහිතවය. නීතිය පමණක් ඔවුන්ගේ පිහිටට ඇත. ඒ නීතියටත් ගරු නොකරන තැන, එතැන කිසිවෙකුගේ නම්බුවක් තවත් කාලයකට බම්බුවක්ම වනු ඇත. 

නමුත් මේ සියල්ලටම වගකිවයුතු කෝවිඩ්ගේ පෙළපතේ (20'19')දහනවවැනි පරපුර පමණක්ම නොවේ. අපේ පසුගාමී, දුර්වල, නොහික්මුණු, ගති සිරිත්ද ඊට බලපා ඇත. දේශපාලනයේ සේ කල්ලි කණ්ඩායම් ඩීල් ක්‍රමයට ඒකාබද්ධ ප්‍රකාශ නිකුත් කරන්නට, එකට හිටගන්නට, කොටින්ම කෝවිඩ්ලා අප සමඟ ජොයින්ට් ස්ටේට්මන්ට් වලට එන්නේ නැත. 

එබැවින් මිනිස් ප්‍රජාව ලෙස ඒකාබද්ධව එකාවන්ව සෞඛ්‍ය අංශ හා නීතියේ උපයෝගීතාවයකින් තුළ ඉවසීමෙන් කැපවීමෙන් මේ කෝවිඩ් පරම්පරාව පැරදවිය යුතුය. ඒ සඳහා මීටරයක් දුරින් ළංවී, නිවසේ රැඳී, ස්වයං විනයෙන්, නුවණින් සටන් කළ යුතුය. එහිදී ඔබේ සුරක්ෂාව ඔබගේම තුළ පමණක් වන බව මතක තබා ගන්න. එනිසා ප්‍රශ්න වෙනුවට අපි මේ අවධානම් සමයේ උත්තර පමණක් සොයමු.

Thursday, March 26, 2020

සුදු ඇඳගෙන කළු එබෙමින් - (ඩබල් කොරෝනා extension)

(අන්තවාදී
ජාතිවාදී
වවුල්පාදී
කළු කඩ
මජර ,
දේශපාලන
අවිහිංසකත්ව
පිරුවට ...)

Tuesday, March 24, 2020

# ප්‍රාර්ථනා

#

දිව්‍ය ලෝක ඉඩ මදිවේවා
අපා ඉඩ ඇහිරේවා
දැන් ඇති!
නවතන්න
කියන්නට
සිදුවේවා

#

දිව්‍ය ලෝක
අපා
පිරිලා ඉතිරිලා
ආගමන නවතන්න
ඒ අයට සිදුවෙලා
තවත් වැඩි පිරිසකට
ඉඩක් නැත ඒ ලොවේ
ඒ නිසා ඒ අයත් රැදේවා
මේ ලොවේ..

Saturday, March 21, 2020

රටේ ඇඳිරිය - විවේක බුද්ධිය ට (හණ මිටි ප්‍රපාතයට හෙළන්න)

ලෝකය වෙනස් වෙනවා, පිළිගන්නවාද?

සියළු සංස්කාර අනිත්‍ය බව පිළිගන්නා බහුතරයට ඒ වෙනස්වීම පිළිබඳ අදහසක් නැත, එකඟද?

චි න් ත න ය ම  කුණු කරගෙන සත්‍යවාදයෙන් ප්‍රාතිහාර්ය පතන්නේ එනිසාද?

පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා (වගකීම් දරණ හැම දෙනා) නිදි මරාගෙන ජනමාධ්‍ය තුළ ඇඳරි නීතිය නිරෝධායනයක් ගෙයින් එළියට යන්න එපා කියනවා. ඒ ඇයි?

පිරිත් ඇහෙනවා, සත්ගුණවත් උපාසකයො පන්සල් යනවා, ඒ ඇයි?

ගමෙත් පොලිසියක් තියෙනවා. ගෙවල් දොරවල් වල ටීවී රේඩියෝ, මිනිස්සුන්ගෙ අතේ හෑන්ඩ් ෆෝන් තියෙනවා. ඒ ඇයි?

හඳුනා නොගත් කොරෝනා වාහකයින් කොතන හිටියත්, බෝම්බෙකට පශ්චාත් භාගයෙන් කෑල්ලක් ගියත් අතන මෙතන අපිට හිතෙන හිතෙන විදිහට හැසිරීම රටේ සාමාන්‍ය විදිහද? ඒ ඇයි?

එදත් එහෙමයි, අදත් එහෙමයි. ගමේ නීතිය රටේ නීතියෙන් බැහැර වෙලාද, එහෙම කෙරෙව්වෙ කව්ද? ඒ ඇයි?

තුන්සිය හැටපස් දවසෙම හොර නින්දේ සිට ගංවතුරකට නියඟයකට ආපදාවකට ණයට සහන මල්ලක් බෙදමින් රට කිරීමට ද අපට ආණ්ඩුවක් උවමනා?

කලක් තිස්සේ නීති රීති, අදාළ විද්‍යා, විද්‍යාර්ථින් නිෂ්ප්‍රභ කොට හැම දෙයක්ම දේශපාලනයට උවමනා ලෙස අර්ථකථනය කොට පවත්වන ක්‍රමවේදයකින් නොවෙද තවමත් අප පීඩා විඳින්නේ?

හැම ගෙදර දොරකම සාමාජිකයෙකු රජයේ කොහේ හෝ සේවයකට ගාවා හෝ පවතින ක්‍රමවේදය රැක ගන්නට නොවෙද අපේ ආණ්ඩු හැමදා ගේම් ගසන්නේ?

එබැවින්ම නොවෙද අද මැරුණත්, පතුරුගියත් කොටිවලිගය අල්ලාගත් එකා සේ මේ අපි ක්‍රමවේදය බදා ඉඳින්නේ?

එ නිසා නොවෙද බහුතරය දේශපාලන අතුවල ගැත්තන් සේ එල්ලෙන්නේ?

පැත්තක් අල්ලගෙන තව පැත්තකට බනින්නේ.. පැත්ත මාරු කළාට ඇත්ත මාරු නොවන නිසා නොවෙද අපි හැමදා දුක් විඳින්නේ..?

(බෙදන්න පුළුවන් මොන මොනව හරි - වැලි කැටේ හරි තියන තුරු, ජාති ආගම් ටික තියෙන තුරු අන්න ඒක බෙද බෙදා, බාර් ඇතිවුන් මත්වතුර ටික හෝ බෙද බෙදා) 
එහෙමයි අපෙ හාමුදුරුවනේ බහුතර සාමාන්‍ය මිනිහාගේ කරපිටින් අපේ ජාතිමාමක උන්නැහෙලා මේ ප්‍රජාතන්ත්රවාදී සමාජවාදී රාජ්‍යයේ .... සාම්ප්‍රදායික ජනතාවාදී දේශපාලනේ කරන්නේ..

ඔහොම ගිහින් අවසානෙට- උගතා, නූගතා, දුප්පතා, පෝසතා කාටත් පිළියම් හොයන්න බැරි, මීට එහා තවත් ප්‍රශ්න තුළ අපි හිර නොවේවිද? ද ව ස ක.. 
එදාට ආපහු කල්පනා කරන්න ඉඩක් ලැ බේ වි ද? අපට මේ ලෙස ..

ඒ නිසා මේ නිරෝධායනය..ඇඳිරි නීතිය අස්සෙ විවේක බුද්ධියෙන් සි ත න් න... දි යු ණු  චි න් ත න යෙ න්  අ ලු ත්  ර ට ක්... හදන්න.. - කාලය සීමිත යි. අතිශයින්ම සීමිතයි. අ ති ශ යි න් ම  සී මි ත යි.

Thursday, March 19, 2020

වැඩිවියට පත් අය ලෙස (වට්ටම් නැත)

පොරණ සිට මෙලක පැවතුණ සිරිත මෙනා
වැදි බණ දෙසති වැද්දන් හැර බොහෝ දෙනා
රට හා ක්‍රමය දැක්කූයේ අපම තමා
ගෙට වී වැඩිවියෙන් දැන්වත් සිතනු හොඳා

නීතිය රීතියට හැමදා දා වෙට්ටූ
එහි වටිනාකම පාගලා ගානට තුට්ටූ
මට්ටුව දැනෙන විට කාටත් වී තට්ටු
හෙළයගෙ හැටි පෙනේ ලැජ්ජා නැත රට්ටූ

දෙදාස් පන්සීයෙ වරුණය කියවනවා
රෙද්දක් නැතුව පුස් හණමිටි විකුණනවා
යුද්ධය සද්ද සමඟින් හැම වළඳනවා
නට්ටන් වූ තැනදි ධර්මය කලතනවා

කට්ට කකා හැමදා රට රැක්ක දනා
කොහො වැළලුණත් රටකට ණය නොවුන දනා
කළ කරුමයේ රඟ දන්නේ අපිම තමා
බොරු කළ හැමට දිනයක විඳවන්ට වෙනා 

Sunday, March 15, 2020

නොකරන් ඔරෝනා! ☺

මේක පෙරුම් පුරන්න මිස බුදු වෙන්න සුදුසු රටක් නොවේ. බුදුන් ඉන්දියාවේ පහළ වෙන්නෙ ඒකයි. කෙටියෙන් කීවොත් දන් දීලා බැනුම් අහන්න, සිල් අරගෙන ගුටිකන්න, නෙෙෂ්කර්මයෙන් අපවාද ලබන්න, ප්‍රාඥාවත්ව ජෝකර් වෙන්න, වීර්ය කරන තරමට කැපෙන්න, ක්ෂාන්තිය වඩා ප්‍රජා අයිතිය නැතිකර ගන්න, සත්‍ය වෙනුවෙන් මැරුම් කන්න, ඒ මොනවා වුනත් මෙත, මුදිතාව, උපේක්‍ෂාව වඩන්න... මේ තරම් වටින රටක් නැත බෝසතුන්ට! ඒ අයුරින් ජනතාව බෝසතුන් කරන්නයි අපේ දේශපාලන, දේශමාමක, ජාතිමාමක, ජාතිහිතෛෂීන් හැමවිට වෙහෙසෙන්නෙ. මේ ටික තේරුම් අරන් තුනෙන් තුනම පාලකයින් සතු කොට අපි බෝසත්වීමයි මෙවැනි රටක කළ යුත්තේ.. රට නොහදා අපි හැදෙමු මිතුරනි!

Wednesday, March 11, 2020

බටහිරින් හිරු පායයි! (සමහර විට ආයෙ ඉර පායන එකක්ම නැහැ)

සැප වාහන එපා! විශේෂ වරප්‍රසාද එපා, මේක දුප්පත් රටක්. ත්‍රීරෝද රථයක් අපට ඇති. ණය බරෙන් රට මුදවා සංවර්ධන දිශානතියට යොමු කිරීමට අප රැඩිකල් තීරණ ගත යුතුයි. වසර කීපයකින් රටේ ගමන් මග වෙනස් කළ හැක්කේ එබඳු වූ දැවැන්ත කැප කිරීම් වලින් පමණයි. ජනතාව සැබෑ ලෙසම අප වටා එකතුවී රටේ සංවර්ධනයේ හවුල් කරුවන් වන්නේ එවිටයි. පළමුවත් රට, දෙවනුවත් රට තෙවනුවත් රට කියා පපුවට ගසාගත් පමණට රටකට ඉදිරියක් ඇතිවන්නේ නැහැ. බොරු තර්ක කරමින් නාස්ති කිරීමට අපට කාලයක් නැහැ. අප හැමට ඕනෑ යහපත්, සාර්ථක රාජ්‍යක් නම් පාලකයන් වන අප ඒ සඳහා නායකත්වය ගන්නවා යනු දෝලාවේ ගමන් කරමින් අට පයක් මත්තේ කුඹුර වැපිරීම නොවෙයි. දෙපයින් ගොස් නිසි වැපිරවීමකින් වැඩි අස්වැන්නක් ලැබීමයි. පෙර වැරදි සියල්ලට පව් කමාවෙන තරමට අද පටන් අප රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කැපවෙනවා.. ලාංකීය දේශපාලකයෝ එක හඬින් කියන දා ...☺

කොරෝනා

Tuesday, March 10, 2020

අපේ අනන්‍යතාව,

හැමදා උගත් පාඩම් කොළ කැබලිවල, ලිපිගොනු තුළ සිර කළ අප සමස්ථයක් ලෙස රටක් ලෙස සාක්ෂරතාවයෙන් යුතු අසමතුන් පිරිසකි. නිදහස් අධ්‍යාපනයක් ලද සිරකරුවන් පිරිසකි. මරණයට ආධාර සපයමින් ජීවත්වන පිරිසකි. දැන දැනම රැවටෙනා පිරිසකි. ධර්මය හිස මුදුණේ තබා ගැලවිජ්ජාවෙන් විලිලජ්ජාවක් නොමැතිව ජීවත් වන පිරිසකි. සාධාරණ යහපත් මිනිසා බිල්ලට ගෙන අමනයන් රකින නිවටුන් පිරිසකි. අෂ්ඨලෝක ධර්මයේ නාමයෙන් සියළු නොපනත්කම් කර්මයේ නියාමයට යට කරන කැනහිලුන් පිරිසකි.

Monday, March 9, 2020

උපහැරණ ...

අපහරණය .. 

බුදුන් වැඩහුන්
බුදුන්ටත් වැඩි උන්
උන්ගේ බුදු වදන් 
වී අද බණ දහම්

සාද..

කොල්ලන්ද කෙල්ලන්
අල්ල අල්ලා සෙල්ලම්
වූ තැනදි සල්ලන්
උපත රැඩිකල් ප්‍රැක්ටිසින් දෙන්

ධ්‍යාපන..

කොණ්ඩ රැවුලෙන් බමුණා
සංස්කෘතියම විකුණා
නොවී යන් හනුමා
ගිනි තැබූ තැන රටම අවුලා

ආචාරි..

වවුලා වගේ වා සේ
බාසයෙන් නම් දේසේ
පොර වෙන්නට පිපාසේ
දිසාපාමොක් වගෙයි වේසේ

මත..

ගොඩක් අය පල්ලා
නොදත් අය ගිල්ලා
කව්ද මේ බිල්ලා
ළමයිනේ ප්‍රවේසම් වෙයල්ලා

Sunday, March 8, 2020

පොළවේ ඇද - (හොරු, දූෂකයින්, වංචාකරුවන්ට හෙට-බබා පොලිටික්ස්)

සරත් ෆොන්සේකාගෙන් පසුව "සැබෑම" වැරදිකරුවෙකු ඔසවාගෙන හෝ ඇදගෙන ගොස් නඩු අසා සිපිරිගෙට ලෑමට නොහැකි වූ රට!(සහරාන් සහ මහ බැංකුව තවම විකුණති)

Saturday, March 7, 2020

හීන දීන ආකල්ප (එල්ලා මැරිය යුතු ජාතික අපරාධ)

සෑම රාජ්‍ය සේවාවක්ම ආණ්ඩු විසින් පවත්වාගෙන යන ජනතා සුභසාධන සේවාවන්ද? එසේ නොවේ. රාජ්‍ය පරිපාලනය මෙන්ම තම පුරවැසියන් වෙත රාජ්‍යයේ ඇති වගකීම කුමන ආණ්ඩු යටතේත් ජනතාවගේ නීතිමය අයිතිවාසිකමකි. එය ඉටුකිරීමට රාජ්‍යට ආයතන පද්ධතියක් ඇත. විවිධ අණ පනත් සම්මත කොට ඇත. ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් ඒ ක්‍රියාවලි උදෙසා  ජනතා නියෝජිතයන්ට බලය ලබා දී ඇත්තේත් අපමය. එනමුත් අදටත් බොහෝ අවස්ථාවන්හීදී ප්‍රාදේශීය මට්ටමේ සිට ඉහළම රාජ්‍ය ආයතන දක්වා ඒ තුළින් ජනතාව වෙත ඉටුවිය යුතු වගකීම් සහිත කාර්යභාරයන් ඉටුකෙරෙන්නේ ජනතා සුබ සාධනය සඳහා ආණ්ඩුවෙන්, ඇමතිවරුන්ගෙන් කෙරෙනා සුබ සාධනයක් පරිද්දෙනි. ඒ තුළ දේශපාලකයා සේම නිලධාරීන්ද අනිසි අධිකාරිවාදී මානසිකත්වයකින් ජනතාව පෙළන, රස්තියාදු කරන අවස්ථා බොහොමයකි. සමහර පොලිසි, ප්‍රාදේශීය ආයතනවල කටයුතු පිංපිණිස පවත්වන්නාක් මෙනි. 
විශේෂයෙන් සාම්ප්‍රදායිකව රාජ්‍ය මාධ්‍ය ඒවා අර්ථකථනය කරන්නේද මහා දේශපාලකයෝ ඡන්ද වේදිකාවල තම කෙරුවාවල් ලෙසට පාරම්බාන්නේද මේ සියල්ල වගකීම් නොව සුභසාධනයන් ලෙසින් පෙන්වමිනි. ඒ නිසාම ජනතාවද නිකන් දෙන දේ ගන්නට හුරු මනසින්ම රාජ්‍ය ආයතන වල වගකීම වෙනුවෙන්ද යදින්නන් පුලන්නන් බවට පත් කර ඇත. 
වෙනසක් විය යුතු මේ හීන දීන ආකල්පයි, මේවායින් පොර වෙන දේශපාලකයායි, ඒ තුට්ටු දෙකේ මහා අව ජාතික දේශපාලනයයි. 
ඒ සඳහා නීතිය, යුතුකම, වගකීම මෙන්ම අයිතිවාසිකම් ගැන හිතන කතාකරන ජනයාගේ අවදි වීම විද්වත් මහප්‍රාණයේ සිට සාමාන්‍ය ජන මනසේ අල්පප්‍රාණයටම සන්නිවේදනය විය යුතුයි. ඒ සන්නිවේදනය තවත් දේශපාලනයක් වීමට එහා ඥානනයක් විය යුතුයි. ඒ ඥානනය අත්පත් කර ගැනීම හා ඒ උදෙසා තම පරමාධිපත්‍ය මෙහෙයවීම අද රටේ සාමාන්‍ය පුරවැසියන් වන අප කොයිකාගේත් පළමු පුරවැසි වගකීමයි.