Thursday, April 23, 2015

ලොකු දෙයක්! වේවා...

රට හදන්න ඉන්න ඕන ලොකු ලොකු උදවිය විතරයි. ලොකු ලොකු බුද්ධිමත් මිනිස්සු, උගත්තු විතරක් හිටියම ඇති කියලයි සමහරුන්ගෙ අදහස.. මහා සෑයවල් හැදුවෙ, වැව් අමුණු හැදුවෙ, මහා යුද්ධ වල යුධ පිටියෙ හිටියෙ ‍වැඩියෙන්ම ඔය දෙකටම අතරමැදි සාමාන්‍ය මිනිස්සු කියල ඒ සමහරක්ට අමතකයි. රට හදනවනම් ඒක හැදෙන්නෙත් ඒ සාමාන්‍ය මිනිහ හරි විදිහට ක්‍රියාත්මක වෙන්න ගන්න තැනදි විතරයි. කොන්දක් තියෙන, අවංක හදවතක් තියෙන මිනිස්සුන්ට බුද්ධිය පාදගන්නත් අමාරුවක් නෑ නිසි තැන නිසි විදිහට, ඉතින් එහෙම මිනිස්සු යම් සාධාරණ, යුක්තිසහගත චින්තනක ඉදල ක්‍රියාත්මක වෙන්න ගත්තොත් ඒ ප්‍රතිපත්තියම ඇති රටක් හැදෙන්න.. ඉස්සෙල්ල හැදෙන්න ඕන මිනිස්සුන්ගෙ පණ නැති කොදු නාරැටි.. ඒක උගත්කමින්වත් බුද්ධියෙන්වත් විතරක් හැදෙන දෙයක් නොවෙයි.. සාධාරණ අවංක මනසකින් වෙන දෙයක්(බොහෝ විට අමාරු දෙය ඒ සාධාරණ අවංක මනස හදාගැනීමම තමයි), ඉන් පස්සෙයි රටක් හදන්න පාට පක්ෂ වාද භේද නැතිව හිතන්න මිනිස්සුන්ට පුළුවන් වෙන්නේ.. සීයට සීයක් නැතත් සීයට පනහකට වඩාවත් ඒ තත්වයේ උදවිය ඉන්නදාක පාලිමන්ට් එකේ ස්ට්‍රිපර්ස්ලා නොඉදීවි අඩුතරමින්. වැඩි දේවල් නැතිව මීලග පාර්ලිමේන්තුවක ඒ ටිකවත් කරගන්න හැකි වුනොත්.... ලොකු දෙයක්!

Monday, April 20, 2015

ස්ට්‍රිප්ටීසින් ඉන් ද පාර්ලිමන්ට් - ගොට්ටෝ සහ හොට්ටෝ පමණක්ද එහි?

අපිට නීති හදන තොපේ කෙරුවාව නොහොත් නිතර දැකීමෙන්ම එපාවූ හෙළුව...වැසේවා නැත්නම් නැසේවා...

Tuesday, March 31, 2015

ඇහැට, කනට ... පොකට්ටුවට, වින්දනීය බඩාලාට ලෂු නොවන්න (හරිමගක් එවිට අපට හමුවෙයි)

දේශපාලන පොත්තේ ගැත්තන් වී ඒකා කරොත් හරිය මේකා කරොත් වැරදිය හිතන ගැත්තෝ රැළක් තවම වෙත්, හනේ හපොයි... ඒකා මේකා කවරෙකු කළත් කරන දේ හරි වැරැද්දත්, යුක්තිය අයුක්තියත් තෝරා ගන්නට බැරි අප කාටත් හිමි හැමදා හිස් රස්තියාදුවක් විතරයි. කේන්දරේ කේන්ද්‍ර කරගෙන ජීවිතේවත් දේශපාලනේවත් ජයගන්න බැරි සේම පක්ෂ කේන්ද්‍ර කරගෙන රටේ දියුණුවක් ගැන හිතීමත් විහිළුවක්. වඩා වැදගත් වන්නේ පුද්ගලයින් හා ඔවුන්ගේ කැපවීමත්, නිවැරදි අවබෝධය තුළ සාධාරණ එකමුතුවත් නේද? මහපොළොවෙ සීයට සීයක් ඵලදරන්නෙ නැති වුනත් යමක් වෙන්න පුළුවන් මිනිස්සු හරි විදහට හිතන්න පටන් ගත් තැනින්, ඔවුන් තමන්ගේ නියෝජිතයන්ට දෙන තල්ලුවෙන් ... එතැනින් පටන් ගත‍්තොත් අවුලෙන් රස්තියාදුවෙන් කන කාලෙ තේරුමක් ඇති විදිහට ගතවේවි ඉදිරියට, ලොකු ලොකු කතා ගැන හිතන්න කලින් නිරවුල් ඇරඹුමක් වැදගත්.. ඒ ඇරඹුම කරන්න අවශ්‍ය හැමදා බහුතරයක් නොවුන මුත් බහුතර බලයක් උපද්දන නිරවුල් ජන මනස නොවෙයිද? අපිට හිතවත් හිතගත් ඇම්බැට්ටයින් වෙනුවෙන් අරින කට වහගෙන සාධාරණයක් යුක්තියක් හොයාගන්න පුළුවන් ඇහැට, කනට හා පොකට්ටුවට විතරක් කතා කරන එකැස් දේශපාලන සංස්කෘතිය අවසන් කරන්නට දායක වෙන්නට හැකිනම්... ඇහැට හොද රංගනයකුත්, කනට අහන්න කැමති දේත් පොකට්ටුවට හොද ගානකුත් ලබල දෙන පොරොන්දුගරුත්වයට කොමා දමා ප්‍රතිපත්තිගරුකත්වයකට කාලෙ හරි දැන්. වැදගත් දේශපාලනික ආයතන වල ඉන්න දේශපාලනය සේවයකටත් එහා බිස්නස් හදාගත් වින්දනීය බඩාලාට හෝ බඩීලාට ලෂු නොවන්න.. ඔවුන්ගේ කතා සාප්පු වහලා හැම තැන ක්‍රියා සාප්පු අරින්න නැකත හරි දැන්...මාකට් කරන කතා සංකල්ප ගෙනෙන දේශපාලන සාප්පු නම් වහලාම දැමිය යුතුයි. කිනම් ජාතියක් හෝ ආගමක් දේශපාලන අරමුණු වෙනුවෙන් විකිණීම තහනම් කළ යුතුයි. එනයින් ජාතික ආණ්ඩු හැදිය යුත්තේද ජනතාවයි, කවුරු ආණ්ඩු කළත් කවුරු විරුද්ධ පක්සේ වුවත් හැම ජනතාවම හැමදා සිටිය යුත්තේ රටේ පක්සේ. පුද්ගලික වාසිය රුචිය තකා නොනැහී කුමන ජාතියක වුව එක් රටක මිනිසුන් ලෙස තවදුරටත් ජාතිකකරණය විය යුත්තේ ජනතාවයි.

සාරධර්මයක් හෝ ආචාරධර්මයක් තුළ වඩා යහපත් තැනකට එසවෙන්නට තවදුරටත් අපට හැකිවන්නේ එතැනින් මිස පාට පක්ස බැකෝ බදාගෙන ඒ‍වායේ නගුටු අඩු වලින් එසැවී එක එකාට කොකම් පෑමෙන් නම් නොවේ. ඒ කොකම් පෑපෙන් හැමදා වීරයන් හා සූරයන් වූයේ දේශපාලනය බිස්නස් එකක් කරගත් උදවියයි. එය තේරුම් නොගන්නේ නම් අදමෙන් හෙටත් අප හැමගේ උරුම කරුමය එයමයි.  උරුමය අතහැරීමට තරම් නිර්ලෝභී වුනොත් යන්තම් අපේ කරුමය මගහැරෙයි. හරිමගක් එවිට අපට හමුවෙයි.

Wednesday, February 18, 2015

පෙත්ත එක නම් ඇයි පොත්තට වැඩිපුර නැහෙන්නේ.. ‍

දේශපාලනයේ පිල් බදාගෙන පොත්ත වෙනුවෙන් නැහෙන අපේ බොහෝ මිනිසුන් දැන දැනම ගිලින ලණුවකි,- මේ. පෙත්ත එකම බව බොහෝ දෙනා දනිත්. නමුත් වාණිජ නාමයත් ඖෂධ නාමත් ගැන කියමින් නැහෙන්නේ පොත්ත ගැන මිස පෙත්තේ අන්තර්ගතයත් ඊටත් වඩා අවබෝධයට ගත යුතු රොිගයේ ස්වභාවය හා රෝගියා ගැන නම් නොවේ. මේ වදවීම වැරදි ලෙස වීමේ හේතුවෙන්ම රටේ හැබෑ ප්‍රශ්නත් රට වැසියන්ගේ හැබෑ ප්‍රශ්නත් ගැන වගවීම හැමදා පසෙකට යයි. අනතුරුව පොත්ත වෙනුවෙන් එක එකාගේ කුණු අවුස්සා ගනිති. දේශපාලනය යනු එයයැයි ඒ දෙස බලා බොහෝ දෙනා සිතති. දේශපාලනය අදාළ පැළැන්තියක ක්‍රීඩාවක් බවටත් අප එහිදී පිල් වෙනුවෙන්, ක්‍රීඩකයින් වෙනුවෙන් හුරේ දමන ප්‍රේක්ෂක සමූහයා බවටත් පත්වන්නේ ඒ අනුවයි. අද සහ හෙටත් අලුතෙන් හා අලුත් ජීවයෙන් පිටියට බසින ක්‍රීඩකයන්ට අප හොද ප්‍රේක්ෂක පන්නරයක් ලබා දිය යුත්තේ මේ සම්ප්‍රදාය අනුවයි. එය එසේ විය යුත්තක්ද? ? මේ ඒ සම්ප්‍රදාය පොඩි පට්ටම් කර යථාර්තයට පය ගැසිය යුතු කාලය නොවෙද? ?.එළඹ ඇත්තේ ඒ කාලයයි. තව දුරටත් අපේ දේශපාලනයේ හුරතල් කළ යුතු බබාලා නැත. එනිසා පොත්තේ දේශපාලනයට තිතක් වැටිය යුතුමය. අපේ රටේ මිනිසුන්ගේ හදවතේ දැවෙන හැබෑ කාරණා කිසියම් භේදයකින් තොරව දේශපාලන කතිකාවේ පෙරමුණට ආ යුතුමය.

Thursday, February 5, 2015

කොටි හමට තඩි බෑමේ දේශපාලනය නොහොත් පිළිතුරු වෙනුවට ප්‍රශ්න වලට තඩි බෑම... :D

.........................................................................................................................
වැරදි පාර දෙසට යද්දි හරි පාරට අමාරුවෙන්
දමාගත්තු රථයේ දැන් ජියර් වැටෙන්නේ නැත්තම්
පාර වෙනස් කිරීමක්ද එතැනදි අප කළ යුත්තේ
හරි ප්‍රශ්නය පසෙක තබා යන්නේ ඇයි යළි බැද්දේ

Monday, February 2, 2015

වල් නෙළීම, පැල හිටවීම - සතෙන් සතේ රුපියලෙන් රුපියල ..

‍දේශපාලන කෙතේ වල් නෙළන්න කාලෙ හරි. ඒ නෙලුමට අඩගහලා කවි කියන්න කාලෙ හරි. එකිනෙකා එකතුවෙලා නෙලුමට තම සද්භාවය දායක කරලා නෙලන්න ගත්තොත් ඇත්තටම මේ කෙතේ වල් නෙළන්න අමාරුවක් තිබේවිද? යුතුකමත් වගකීමත් හිතට අරන් තම තමන්ට කරන්න පුලුවන් සොච්චම හරි අපි අපි කරනවනම්... සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතු කරා වගේ දවසක ඒකත් ලොකු ගිණුමක් වේවි. එතකොට දවසක හොද පොලියකුත් ලැබේවි. පුංචියි කියල කරන්න පුළුවන් හොද දේ කිසිවිට අතාරින්න එපා.. ඒ හින්දම නෙලුමට එන්න... මේ රටේ අපේ වැඩක් :)


Saturday, January 31, 2015

අස්පයාට බය අස්පාරෝහකයෝ

තවමත් අපේ මිනිස්සු දේසපාලකයාට බයයි. ඡන්දයකින් පසු එන කාට හෝ අස්සයා පවරා අසු පිටින් බිමට බහින්නේ ඒකයි. හැමවිටම දේශපාලකයා අස්සයා කරගනු විනා සමාජයේ සියලු වගකීම් පදවන තෝන් ලනුව ඔවුනටම බාර කිරීමෙන් කුමක් සිදුවේද? කුමන පාලනයක් වුවත් ඒ පැත්ත මේ පැත්ත පෙරළෙනවා විනා ඒ පැත්ත පෙරළීමෙන් සිදුවන ගමන සමාජ ප්‍රගමනයක් වෙන්නට නම් සිදුවිය යුත්තේ කුමක්ද? දේශපාලනයත් දේශපාලකයාත් බලැති අස්පයකු කර තෝන් ලනුව අතට ගන්නා අස්පාරෝහකයා අප වීම නොවේද ඒ විකල්පය. 




Sunday, January 4, 2015

වාද භේද මැද රජ ගැන නොව රට ගැන කතා කරන බුද්ධිමතුන් හමුවේවා...(දුරුතු පැතුම)

රට ජාතිය හෝ ආගම සෙල්ලමට ගෙන ලෙල්ලම් කරන්නේ දේශපාලුවෝය. අප අසා දැන ගෙන ඇති සැටියෙන් නම් සිංහල, දෙමළ පමණක් නොව ඉංගිරිසි ජාති වාදයත් ඇවිලූවෝ නම් දේශපාලකයෝ මය. අමුතුවෙන් කිව නොයුත්තේ මේ කොයි ජාති අාගම් වාද භේදයක් දක්වා ගෙන යාම වැරදි බවය. ඉතින් මේ වාද භේද අවුස්සා තම ආත්ම ලාභයන් තර කර ගැනීමට උල්පන්දම් දෙන නිර්මල ජාතිකත්ව ගැන කතා කිරීම අපි නවතමු. අවැසි අය කතා කරගත්තාවේ 

සාමය සමෘද්ධිය ඉදිරිය දියුණුව ආදී වශයෙන් අපි කතා කරමු. අර දූපත් වාසියාගේ සරල සැහැල්ලු මානසිකත්වයෙන් ජීවත් වන අපට එක ලංකාවක එක ලාංකිකයන් හැටියට අඩු වැඩි වශයෙන් පොහොසත් අපේ ඉතිහාසය හා වඩා පොහොසත් දහම රැකගෙන ඉන්නට ඇත්නම් කොතරම් අනගිද? එක් එක් ජාතියට අාගමට අයත් වූවාට එකි නෙකා හා ගනුදෙනුවේ විශ්වාසනීයත්වය තහවුරු වන දිනයක අප අතර තවදුරටත් වාද භේද පවතීවිද? ජනයා දේශපාලකයාව බලය හා සමග යාමනය කරන්නට අතරමැදියා විය යුත්තේ එනිසා නොවේද? සාමාන්‍ය පුරවැසියාගේ පාලකයා නොව නියෝජිතයා බවට දේශපාලකයන් පත් කර ගැනීමට හැකිනම් එදිනට සමාජයේ හැබෑ ප්‍රශ්න විසදා ගැනීමටත් දේශපාලනයේ වැදගත්කම මතුකරගන්නටත් හැකි නොවේවිද?

මිනිස්සු වගකීමක් අතට ගත යුත්තේ එනිසාය. මිනිසුන්ගේ නොනවතින මැදිහත්වීම පවත්වා ගනිමින් මිත්‍යා මානසික දුර්මත බිද ඉදිරියට යන්නට වෙරදැරිය යුත්තේ එනිසාය. දරුවාට ඒ හැටියටත් ගැටවරයාට ඒ හැටියටත් තරුණයාට ඒ හැටියටත් වැඩිහිටියාට ඒ හැටියටත් යුතුකම මෙන්ම වගකීමක් ලැබෙන සමාජයක් බිහි කරගත හැකිනම්.. හැමදා හැබෑ යහවෙනසකට යන මාවතක අද වෙනසක ඇරඹුම විය යුත්තේ එවැනි දිශාවකට නොවේද? 

යන දිශාව ගැන හැගීමකින් යන්නට රට වැසියා සමත් නොවේ නම් කිසිවිට රට නිවැරදි වන්නේ නැත. එලසෙින්ම ආපහු වැරදි වන තැනදී ගැති නැති කමින් ඊට විරුද්ධ වන්නට රට වැසියා සමත් නොවේ නම් එවිටද රට නිවැරදි වන්නේ නැත. වෙනස් වන ලෝකයේ අපේකමේ මුල් රැකගනිමින් වෙනස් වන්නට අපට නොහැකිද? 

එකම දේ බුද්ධිමතුන් ඇත්ත ඇති හැටියෙන් නැණවත්ව විග්‍රහ කරන තැනකට එළැඹීම පමණි. පක්ෂ භේදයෙන් තොරව රජ නොව රට වෙනුවෙන් ක්‍රියා කරන බුද්ධිමතුන්ගේ මණ්ඩපයක් රට වෙනුවෙන් රටේ ස්ථාපිත වේවා! මේ පෝදා පැතුම එයයි.

Wednesday, December 31, 2014

රටේ මනුෂ්‍යත්වයේ බලකාය දිනවමු.

පක්ෂ පාට වාද භේද අමතක කළ විට ලොකුම බලකාය අපේ බලකායයි. රටේ මනුෂ්‍යත්වයේ බලකාය දිනවමු.

මහසංඝයා බිදවන, ජාති ආගම් කුල මල අවුලුවන, කලාකරුවන්ට ගුටි බැට දෙන, අමන මරි මෝඩ ඉත්තන්ගෙන් දාම් අදින, කෂඩයින් ජඩයින් හෙලා දකිමු. ඔවුන්ට එරෙහි වෙමු. දිනවිය යුත්තේ කවරෙකුගේ හෝ අපේක්ෂා නොව මෙරටේ මහජනයාගේ උපේක්ෂාවේ අපේක්ෂාය. එ් මහජන අයිතිය සු‍රැකෙන්නට අපේ අයිතිය අපි රැක ගනිමු.

කිසිවෙකුට ඇති අධික ලැදියාව, ද්වේශය, බය හෝ මෝඩකම නිසාවත් කිසිවිට අගතියට පත්විය යුතුද? නැත.

Monday, December 29, 2014

හැබෑ වෙනසක්

පළමුවත් රට 

දෙවනුවත් රට

තෙවනුවත් රට

නම්...

පළමුවත් සතර අගතියෙන් මිදෙමු

දෙවනුවත් සතර අගතියෙන් මිදෙමු

තෙවනුවත් සතර අගතියෙන් මිදෙමු 

එසේ නම්....

කිසිවෙකුට හෝ කිසිවකට ඇති ලෝබය නිසාවත්

කිසිවෙකුට හෝ කිසිවකට ඇති ‍ද්වේශය නිසාවත්

කිසිවෙකුට හෝ කිසිවකට ඇති බය නිසාවත්

යුක්තිය දැකීමේ නුවණ මදකම හේතුවෙන්වත් 

යුක්තිය මග නොහරිමු.....

Thursday, December 25, 2014

එවිට ජනයා මායාවට වඩා යථාර්තයට ළංව සිතනු ඇත.

ප්‍රතිරූප - බැලුම් බෝල

පිමිබීම - පිපිරීම

පොහ් ::

කලාවෙන් ඥානනය යනු බැලුම් වනාහී පිපිරෙන දෙයක් බව ඒත්තු ගැන්වීම මිස පිම්බිය යුතු දෙයක් ‍බව ඒත්තු ගැන්වීම නොවේ. මිනිසෙකු ගැන හැබෑ කලාකරුවෙකුගේ වගකීමද එයමයි. තමා පිම්බෙන තරමට පිපිරීමට වඩා සමීප වන බව ඔවුන්ට කියාදීමයි.

Tuesday, December 23, 2014

කටවහන් හොම්බෙන් යන්න ඔබ

කටවහන් හොම්බෙන් යන්න ඔබ පා සිඹින රටපාලුවෝ...............

ආදරණීය අපේ වැඩිහිටියන්ට ජයවේවා!!!

සරම් ඇදන්
ඔලුවෙන් හිටන්
වැඩ පෙන්නන්න හදන
කොයි කවුරුත් පරෙස්සමෙන්
හුරේ එකටත් හූවටත් වඩා
ඔය මහත්තුරු කොයි
කවුරුත් වයසයි දැන්
අනාගතේට අපගේ
වැදගත් වැඩිහිටි
පරපුරක් ඕනෑ
හත්දෙයියනේ!
පෙන්නන්න එපා
ළමයින්ට වැඩියෙන්
වැඩිහිටියන්ට පමණයි
කියා මෙතරම් උණුවෙන
හදවත්, අපත් රට වෙනුවෙන්
ඇති කෑදරය ගෙන ආදරය සේ
උනුත් යාවී නොමගටම රැවටීමෙන්
පින්සිද්දවෙයි ඔය සද්ද නවතන් තවත්
වහගන්න බැරි නම් මහගන්නවත්
සිදුවෙයි මුසාබස් දෙසන ඔබලා
ගේ මුඛත් උම්බෑ වගත්
මණ්ඩුක කටත්

කටවහන් හොම්බෙන් යන්න ඔබ පා සිඹින රටපාලුවෝ...............

ආදරණීය අපේ වැඩිහිටියන්ට ජයවේවා!!!

Thursday, December 18, 2014

මගේ පර ම පැතුම එයයි... එම ගට මා විසි කරන්න...

අපේ  නායකතුමාට ජයවේවා!!!

බඩේ ගොයියන් දිනේවා
අපේ මහරජ දිනේවා
සදාකාලික නොවූ ලෝකේ
අමර ‍සුවසෙත සැදේවා

නීතියත් නුඹ නුඹම වේවා
රීතියත් නුඹ නුඹම වේවා
සදාචාරය කලාගාරය
මහාභාරය නුඹම වේවා

පිනත් මතු මතු ලැබේවා
කළගුණත් මතු ලැබේවා
මහදනා දණහිස් ගෙවෙන තෙක්
නූඹේ දෝලා යටින් යේවා

අපහටත් මතු ලැබේවා
දන්සලුත් තව තැබේවා
ධර්මයත් රකිනා තරම් ඔබ
ඒ ධර්මෙන්ම රැකේවා

දරු මුණුපුරන් දිනේවා
අප නුඹට කර දෙවත්වා
සදාකාලික නොවූ ලෝකේ
සදාකාලික රජෙක් වේවා

ප්‍රසිද්ධ ජනමාද්‍යයෙන් අවස්ථා නොලැබෙන අමූලික සැදහැති දනාගේ කෘතඥ්නඥතාව පළකිරීම පිණිස වේ.

Tuesday, December 16, 2014

මම ගමේ බයියෙක්!!!

මේ ගසේ බොහෝ පැණි දොඩම් තිබේ

පැහිල ඉදිල බිමට නැමිල බරවෙලා අතූ 

මල්ලිටයි මටයි ගෙඩි දෙකක් ඇතී 

වැඩිය කඩන නරක ළමයි හෙම නොවේ අපී

Sunday, December 14, 2014

කඩේ යන ගමන් ...ද

කඩේ යන ගමන් පල්ලි පන්සල් යන්නට අප කල්පනා කරන්නේ නැත. කඩේ යන්නේ බඩු ගන්නට බලාගෙනය. පන්සලට යන්නට වෙන්නේ ගන්නා දේ දෙන්නට බලාගෙනය. එනිසා අප සාමාන්‍යයෙන් නම් කඩේ යන ගමන් පල්ලි පන්සල් යන්නේ නැත.

නමුත් පන්සල් යන ගමනේ කඩේ යන එක වෙනම ගමනකි. හදුන්කූරු ටිකක්.. තෙල් ටිකක්..නැතිනම් පහන් තිරයක් ගැනීමට පන්සලට යන ගමන් කඩේ යෑමට අපට සිදුවේ.

පාට පක්ෂ වෙනුවෙන්ම රට යට නොකර රට වෙනුවෙන් පාට පක්ෂ හා සන්ධාන වීම යනු පන්සල් යන ගමන් කඩේ යෑමක් කොට ගත ‍යුත්තේ පොදු මහජනයාය. එය අවස්ථාව හා අවදිය අනුව විවිධ වශයෙන් විය හැකිය.

රටක ප්‍රතිපත්ති, නීතිය, සදාචාරය, සාධාරණත්වය ගැන මහජන හැගීම් නැවත නැවත අලුත් කොට ගත හැක්කේ ඒ හරහා පමණි. සළකන මොහොතේදී රටට ඒ කාරණා වල අවශ්‍යතාවයේ තරම කොතරම්ද ඔබටම හැගෙන්නේ නම්.. එවිට ඒ මොහොතේ පාලකයෝ හැකි පමණ රාජ්‍ය මැදිහත්කමෙන් පවා වරප්‍රසාද මුදාහැර සාමාන්‍ය මිනිසාගේ මතය දියාරු කරන්නටද සපුරා ප්‍රතිවිරෝධී මත හදන්නටද කරන කටයුතු අවබෝධ නොවී නොතිබෙනු ඇත. අද අප රට ගැන හොදින්ම දන්නේ මෙහි සජීවී ඔබත් මමත්ය. ප්‍රතිපත්ති පිළිබද මහජනයාගේ හැගීම් නිවට වූ කලට නැවත පාලකයන් බලයෙන් මත්වන්නෝය.

එබැවින් ප්‍රතිපත්තිමය බලපෑමට පාලකයා යටත් කොට ගන්නට ලැබෙන අවස්ථා ළාමක කරුණු මත අප කිසිවිට අත් හළ යුතුද?. එවැනි බල කිරීමකටවත් සූදානම් නොමැති ජනතාවක් කොතරම් කලක වත් රටකට බලපෑම් සහගත වන්නේත් නැති. ඉදින් එහෙව් ජනතාවක් නම් දෙන දේ කා වෙන දේ බලා හිදීමක් පමණකි හැමකල... එහෙව්වෙක් හරියට රාජකීය ජෝතීෂ අරට්ඨකීවෙණ්ඩු පරෙුමාල් කෙනුකුගේ ග්‍රහබල ගුණ්ඩු කතාවක මායාවට හසුවුනු අහිංසක මෝඩයෙක් වීම වැළැක්විය හැකිද? එසේ මෝඩයෙක් නොවී වරප්‍රසාදිත ගැත්තෙක් වීමටද සමහරු කැමතිය. නමුත් පරාජයටත් වඩා නිවට දුර්මත ගැනීම කොතැනත් අභිමානයක් නොව හීනමානයක්ද වන්නේය.

අන්දන්නට හදන තරමක් බොරු වපුරන කළක මුළාවේ නොවැටී අපි ඇත්ත වෙනුවෙන්ම පෙනී සිටිමු. ඇත්ත හදුනාගන්නට තරම් වත් ඉඩක් අප තුළ වෙත්නම් .. එතැනට යාමට හැකි කමක් අපට ඇත්නම් මත්තටද රටට වරදින්නට හේතුවක් ඇද්ද???.. පල්ලි පන්සල් කෝවිල් මස්ජිද වෙත යන ගමනේ විතරක් හැමදා කඩේ යමු..
ජය වේවා අප හැමට.

Friday, December 12, 2014

පුරුෂ තුනම හෙලුවෙන් මද???

 :)

ගල් මුල් අරන් - වදිති පන්සල්.......................................................................මැ‍රය‍ෝ

පොලු කඩු අරන් - මහපාර උඩසිල්.........................................................දෙසනපාලුවෝ

දන්සල් ගිහින් - පුදති පින්පෙත්.........................................................සැදති පොදු දනෝ

අපි හොරු අරන් - සමග හෙලුවෙන්.................................................අපි‍ නොදැන වී රටම

උත්තම, මධ්‍යම, ප්‍රථම වශයෙන් එන කිනම් පුරුෂයකට අයත් වන ස්ත්‍රියද ඇතුළුව සියල්ලෝ පාට කණ්නාඩි පැළද ඒ ඒ පාටින් පෙනෙන සමාජයට නම්බු දීම අද අප රට පිළිබද වන සරලම විග්‍රහයයි. කුමන පාටකින් බැලුවත් තමාගේ  හැර අනෙක් හැම දෙනාගේම නිරුවත අද හොදින්ම අනෙකාට පෙනෙන්නේය. එබැවින් හෙට දවසේ ජනතාව තේරුම් ගත යුත්තේ තමාගේ දේශපාලකයාට රෙදි ඇන්දවීමට පෙර තමන් රෙදි ඇද ගැනීමේ වටිනාකම නොවේද? එනම් අපගේ සුළු හෝ නිවැරදි ප්‍රතිපත්තිමය ස්ථාවරය රටකට කොතරම් නම් වටිනවාද යන්න ගැඹුරින්ම වටහා ගැනීම නොවෙද? නිතර පාට කන්නාඩිය මාරු කරනවාට වඩා බුද්ධිමත් ජනයාගේ වගකීම එයමයි සිතමි.

Wednesday, December 10, 2014

අසත්‍ය භංගවේවා...! පැතුම සත්‍ය වෙනුවෙනි...

බොරුකාර ‍දේශපාලන ත්‍රස්තවාදය භංගවේවා
වන්දනාකාර අමූලිකශ්‍රද්ධා මුග්ධවාදය භංගවේවා
අඩක් වහන සත්‍ය හංගන මුරකාවල් පුපුරාවා
යුක්තිය වෙත මගක් හැදෙන තැනකට රට එසවේවා.............................................................................................................!

Thursday, December 4, 2014

ඡන්දය ඔබ ගන්න අයිතිය අපට දෙන්න

අපේ යෝජනාවන්ට ඇහුම් කන් දීමට ඔබ සූදානම්ද? මේ යෝජනා යනු අපේ සද්භාවික පුරවැසි අයිතිය බැව් සළකන්න.

එක එක පිලට චෝදනා කරනවාට වඩා මෙලෙස යෝජනා කිරීමට අප කැමතිය.

 

මෙහිදී හැමදෙනාගේම ප්‍රමුඛ අපේක්ෂාව හා ප්‍රාර්ථනය වන රට රැකිම ගැන අප අසන්නේ නැත. එය ඇසිය යුතු හෝ එකගවිය යුතු දෙයක් නොවේ. හැම පුරවැසියාගේම අනිවාර්ය යුතුකමකි. එම පරම යුතුකම පාට පක්ෂ අනුව විග්‍රහ වන එකක් නොව හැබෑවටම පොදු මහජනයාගේ යුතුකම හා වගකීමයි. එය වෙනුවෙන් පෙනී සිටිය යුත්තේ පාට පක්ෂ බදා නොව රට ජාතිය දෝතින් වැළද ගෙනයි. එබැවින් අප මෙහි සළකන්නේ ඉන් ඔබ්බෙහි ඇති අපේක්ෂාය.

 

මෙලෙස ඉදිරිපත් කෙරෙන සියලු කරුණු ප්‍රධාන කොටම දේශපාලකයන්ගේ යුතුකම්ය. අපගේ යුතුකම ඔවුන් වෙනුවෙන් ඡන්දය නම් මෙය සැළකිය යුත්තේ අපේ පොදු සද්භාවික අයිතිය ලෙසයි.

 

1.දේශපාලන භේද නොතකා සමානාත්මතාවයෙන් සියලු ජනතාවට එකසේ සළකන්න.
සියලු ජාතීන් ලාංකිකයන් ලෙස සමානය. ජාති ආගම් කුල භේද මත ඔවුන් පීඩාවට පත් කරන සුළුතරයක් හැරුණු විට නිරන්තරයෙන් අප කොයි කව්රුත් පීඩාවට පත්වන්නේ ප්‍රධාන වශයෙන් දේශපාලන භේද භින්නතාවයෙනි. ඒ ඒ පක්ෂ පාට ලබාගන්නා බලය මත පාක්ෂිකයන්ට සැළකීමත් අන්‍යන් නොසළකා හැරීමත් රටේ සාමාන්‍ය ස්වභාවයක් බවට පත්ව ඇත. සුදුස්සාට සුදුසු තැනත් දේශපාලකයන්ගේ ඇගිලි ගැසීම් වලින් තොරව පොදුවේ මහජනයාට සමානාත්මතාවයෙන් සැළකීම සියයට සියයකින් තහවුරු කිරීමට ඔබ එකග වනවාද?

 

2.දේශපාලන භේද නොතකා තරුණයා හා ඉදිරි පරපුර වෙනුවෙන් හැබෑ සංස්කෘතික හා සමාජීය චින්තනයක් බිහිකිරීමට මං සකසන්න.
තරුණයා හා කුඩා දරුවා නංවන්නට කටයුතු කරන්නේත් හුදු දේශපාලන අරමුණු ප්‍රමඛ කරගනිමින් බව අපි නිරන්තරයෙන් දකිමු. තරුණයන් වෙනුවෙන් ඇති ආයතන දේශපාලනික සටන් භූමි බවට පත් කරගෙන ඇත. දරුවන්ගේ සංස්කෘතික හා සමාජීය චින්තනය වර්ධනයට අවශ්‍ය දේට වඩා ඒ වැඩසටහන් තුළද ප්‍රමුඛ කරන්නේ දේශපාලන උවමනාවන්ය. ඒ අනුව ඔබ පිළිගන්නේ රටේ ඉදිරිය වෙනුවෙන් හැබෑ ජාතික සංස්කෘතික හා සාමාජීය චින්තනයක් අනවශ්‍ය බවද?..... එනිසා සරලව කියන අයුරෙන් දේශපාලනයන් උදෙසා කඩේ යන්නෙකු බවට තරුණයා පත් නොකළ යුතුය. ඔහුට රට වෙනුවෙන් පෙනී සිටින්නෙකු බවට පත්වීමට අවශ්‍ය නිවහල් භාවයත් ස්ථාවරයත් සකසා ගැනීමට උදව් කළ යුතුය. එ් අරමුණෙන් තරුණයා හා ඉදිරි පරපුර වෙනුවෙන් ක්‍රියාවට නංවන වැඩපිළිවෙලවල් සියල්ල දේශපාලන අරමුණු වලින් තොරව නිදහස් ජාතික ක්‍රියාවලියක් බවට පත්වීමට ඉඩ හසර විවර කළ යුතුය. සියයට සියයක් ඔබ ඒ සදහා එකග වනවාද?

 

3.දේශපාලන භේද නොසළකා නීතිය හා පුරවැසි අයිතිවාසිකම් සුරකින්න.
ඡන්දය මුල්කොට ගෙන පුරවැසියාගේ අයිතියාසිකම් ගැන සමහරවිට දේශපාලකයා කතා කළත් එය නිමාවන්නේ මේ කතාකරන අයිතිවාසිකම් තුට්ටුවකට මායිම් නොකරමින්. නීතිය මෙන්ම සාමාන්‍ය මිනිහාගේ සුරක්ෂිත භාවයත් දේශපාලකයන්ගේ බලපෑම් සහගත ක්‍රියාකාරීත්වයෙන් සපුරා මුදවා හල යුතුයි. යම් පක්ෂයක් හෝ පාටක් නියෝජනය කරන්නාවූ පමණින් කිසිවෙකුට සුවිශේෂ වරප්‍රසාද හිමි නොවිය යුතුයි. ඔබ ඒ සදහා පුර්ණ වශයෙන් අප හා එකගවනවාද?

 

4.රට ජාතිය පෙරටුව තබා දේශපාලනය ‍තවත් එක් ලාබදායී ව්‍යාපාරයක් වෙමින් යන ස්වභාවයෙන් එය මුදවා ලන්නට කටයුතු කරන්න.
දේශපාලකයාට තම පක්ෂ පාට අනුව දැක්මක් මෙන්ම අරමුණුද තිබිය හැකියි. නමුත් දේශපාලනය පවතින්නේ මහජනයා උදෙසා නම් ඒ අරමුණු කිසිවිටකත් මහජනයා වෙත අයුතු බලපෑම් හෝ අසාධාරණයන් කරපින්නන ඒවා විය නොහැකියි. එමෙන්ම දේශපාලනය හරහා මහජන නියෝජිතයන් වීම යනු ඔවුන්වෙත අමුතු අායුධ දීමක් හා ඒ ආයුධ රිසි සේ භාවිතයකට අවසර පතක් දීමක් විය නොහැකියි. ඔහුගේ කාර්ය භාරය රට පෙරට ගෙනයාමට අප වෙනුවෙන් රට නිරෝජනයයි. එනිසා දේශපාලනය තම ආර්ථිකයන් ගොඩනගා ගැනීමේ සහයෝගී ව්‍යාපාරයක් වීම සපුරා නැවැත්විය යුතුයි. ඔබ ඒ සදහා අප හා එකගවනවාද?

 

බෙහෝ කොට සමාන්‍ය මහජනයා ලෙස අපට දැනෙන හැගෙන සරලම අවස්ථා හා ඔබට අප සමග සපුරා එකගවන්නට හැකිනම් එය සිදුවන්නේ හැබෑ සද්භාවය ක්‍රියාවේ යෙදවීමේ අරමුණෙන් නම් අපට පිල හෝ පක්ෂ වටින්නේ නැත. නමුත් ගැටළුව... ඉතිහාසයේ සිට ඉදිරිපත් වූ මේ කිසිවකට කිසිදා ප්‍රමඛත්වයක් හිමි නොවීමයි. තව දුරටත් ඔබේ දේශපාලනයත් එවැන්නක් නම් මේ රටේ අනාගත ගැන සුරංගනා කතා වලින් කිසිදු ඵලක් සිදු නොවේවි. යථාර්තය එයයි.

 

මීට,
ස්වාධීන තරුණයා...
....................................................................................................................................................................................................................................

Wednesday, December 3, 2014

අහිංසකයි... රටක් වටී

උවමනාවට වඩා අහිංසක වන අපේ උදවියව අයාලේ යැවීම පහසුය‍.

බුද්ධිමත් කපටියෙකුටත් හැගීම්බර අන්තවාදියෙකුටත් අපේ මිනිසුන් ඩැහැගැනීම සැබවින්ම පහසුය.

නමුත් ඒ මොහොතකටයි. ඊ්‍ළග මොහොතේ හරිදේ තේරුම් ගන්නට තරම් මොළයක් අපේ අයට ඇත. වැරදුනු තැනත් වැරදුනු හැටිත් මොහොතකින් තේරුම් ගැනීමට තරම් බොහෝ අය නුවණක්කාරය

එහෙත්,

ඉන් පසුව කුමක් කළ යුතුද?? එතැනදී අපේ අය බොහ‍ොමයක් අහිංසකය. රටක් වටින අපේ අය එතැනදී තීරණයක් ගැනීමට නොහැකිව බලා සිටී. හැගීම් බොහොමයක් හදවතේ සැරිසරන්නා වූ විටද තර්කයන් කිහිපයක් බුද්ධීය ආක්‍රමණය කරන්නා වූ විටද මිනිස්සු ගොළුවෙති. අපේ අයටත් එහෙම වෙති.

නමුත්,

තීරණ නම් ගත යුතුය. වරදින්නට පුළුවන, හරියන්නට පුළවන. හොදින් සිතා බලා තර්ක කර ගත යුතු හා හැකි හොදම තීරණය ගැනීමට තරම් කොන්දක් තිබිය යුතුය. එපමණක් නොවේ. ඒ තීරණයේ වගකීම දැරීමටත් ශක්තියක් එතැන්හිම ඇතිකර ගත යුතුය. මන්ද සමහර තැන අපේ අය ලකුණු වැටෙන දේ මිස කැපෙන දේ වගකීම දරන්නට අකමැති වන නිසාය. දියුණුව ඇත්තේ එතැනය. 

කවුරුන් හරි කියාදෙන දෙයක් මත හෝ තමන්ට වැ‍ටහෙන නිසා පමණක් හෝ කළ හැකි හෝ නොහැකි නිසා පමණක් අපි හරි දෙයක් පිළිබද අවබෝධයක් නොලබමු. වැටීම හා නැගිටීම අතිශය වැදගත්ය. නැගිටින්නට නම් වැටීමක් තිබිය යුතු සේම නැගිටීමක් නැති නම් වැටීමක්ද නැතිය. එබැවින් වැටි වැටී නැගිටීමක් ගැන කෙසේවෙතත් වැටුණු විට නැගිටීමක් පිළීබද හැගීමක් අපට තිබිය යුතුය.

රටක් ජාතියක් ‍නොව පුද්ගලයෙකු ඉදිරියට යන්නේත් එලෙස නොවේද? 

අහිංසක ලෙස රටක් වටින ලෙස ඉදිරියට යන්නට අප කොයි කාටත් සවිය ලැබේවා... දරුණු විය යුතු තැන රුදුරු නොවී නොසැලෙන ස්ථාවරයෙන් දරුණු වන්නටත් සවිය ලැබේවා...(සැළකිය යුතුයි.. මේ දරුණු වීම යනු නොසැලෙන ස්ථාව‍රයම, ආත්ම විශ්වාසයම මිස අනෙකක් නොවේ)

Sunday, November 30, 2014

දූපතක අපි - ............. පෙර කිවයුතුම ටිකකි.

දූපතක වැසියෝය අප. ඒ දූපත් වාසී කම ලජ්ජාවක් වගේ දැනෙන්නේ උපතින්ම හරි පස්සේ හරි ටිකක් ඉංගිරිස් වලින් කටදිව තෙමෙන්න ගත්තාමද? ඉංගිරිස් තුන්වේල ජීර්ණය නොකරන මට නම් නොතේරේ. දූපතක නිසා අතීතයේ සිට කොතරම් උවදුරු වලින් අප ආරක්සා වෙන්ට ඇතිද? ඒ දූපතේ අහුකොන් වල තිබූ දෙයින් අපි කොතරම් නම් පෝෂණය වෙන්ට ඇත්ද? අම්මා තාත්තා මට නම් සුඛෝපභෝගී විදිහට සුරක්ෂිතව කන්නට බොන්නට දුන් නිසා මට ඔය අහු කොන් වැඩක් නැතේ යයි කෙනෙකු කියන්නටද පුළුවන. අනේ මේ දූපත් රට අදටත් බොහෝ දෙයින් වටින්නේ අපටය. අපේ මෝඩ කමට අපි එහිම ලැග එහිම මියෙත්වා.. මෙහි උපන් නිසා කටදිවේ ගෑවී හදවතේත් බුද්ධියේත් ගැඹුරටම කතාකළ සද්ධර්මය උරුමයක් කොට ගත හැකි වීමම අප ලද වාසනාවක් වේවා. ඒ ධර්මයේ කොනක් හෝ අල්ලා ගත් නිසාම විශ්වය ගවේෂණය නොකොටම තමන් තුළින් විශ්වයම වටහා ගන්නා හැටි වටහා ගත් නිසාම මගේ මානසිකත්වය දූපත්ම වේවා.. ඒ මෝඩකම නිසාම පස්වලින් ගොඩ කර දූපත මහද්වීපයක් හෝ අර්ධද්වීපයක් කරනවාට අපේ කැමැත්තක් නැත. අප කීවේ අප වැනි තවත් ගණනකට ගතහැකි අය ඉන්නා නිසාය. 

කලිසම කමිසය ඇන්දාට ඉංගිරිස් වචන කීවාට අපි අපේ රටේ වැදගත්කම ඉහටත් උඩින් අවබෝධ කර ගෙන ඇත්තෙමු. කාට නොවටිතත් අපට අපේ රට වටින්නේය. ජාතියක් ආගමක් මුල්කොට ගෙන අන්තගාමීවන්නට අපට උවමනා නැති සේම පිට පොට පටලවා ගත් සරමත් නොඅදින හෝ රාත්‍රියට දවටා ගන්නා අයගේ කතා අපට උවමනා නොවෙති. පාලකයන්ගේ වරද නිසා අපේ කමත් අපේ දෙයත් අපේ රටත් කියන්නෙහි අර්ථය සාමාන්‍ය මිනිහාට විටෙක පැටලුනාට ඔහුට ජන විඥානය ඇත. ඔහුගේ හිතේ හෝ ජානවල කොනකින් අවතරණය වූ ඒ ආවේණියේ කොටස් ඇත. 

ලෝකෙන් උතුම් රට අපේ රටයැයි අප කියූවේ ආර්ථික විද්‍යාව වැනි තිරශ්චීන විද්‍යා දර්ශක වලින් නොවේ. සද්ධර්මය පිහිටි රට නිසාය. එහෙයින්ම පාලකයාගේ වැරදි හෝ පාලනයේ වැරදි හෝ කාළගුණ දේශගුණ විපර්යාස හෝ රටේ මිනිහාගේ යම් කොනක් අල්ලා ගෙන සමස්ථ රටේ ගලායාම හෝ පැවැත්ම ගැන ඒ අනුසාරයෙන් අගතියට දෙසන්නට අප සූදානම් නැත. වැරදි ඇත්නම් ඒවා නිවැරදි කර ගැනීමට අපේ ඇහැකින් බලනවා විනා තිරශ්චීන විද්‍යා ඇසෙන් බැලීම හෙනම ගොබ්බ වැඩකි. මන්ද ද‍හමෙන් පෝෂණය වූ මහ ඉතිහාසයක් ඇති රටක් තම අනාගතය දෙස බැලීමට රබර් ඇසක් භාවිතාව විහිළුවක් වන බැවිනි. 

ආරෝග්‍ය පරම ලාබය නම් සතුට පරම ධනය නම් පළමුව අප ලද යුත්තේ ඒ ආරෝග්‍ය හා ඒ සතුට නොවේද? සමහරුන්ට මේ දෙකම ගන්නට බටහිර විද්‍යාව හා ආර්ථික විජ්ජාව නැතුව බැරිය. මෙහෙම කිව්ව සැනින් සමහරු හාස්‍යට කට අරින්නේ සල්ලි නැතිව හුස්ම ගන්නේ වත් කොහොමද කියා දෙසමිනි. සල්ලි නැතිව තවමත් හුස්ම ගැනීමේ හැකියාව නිරෝගී අයට තවම මෙහේ තිබෙතත් මුදල් නැතිව ජීවත් වීමට නම් නොහැකි බව කොතැනටත් වගේම මෙතනටත් අදාළ වේ. ඉතින් මුදල් හොයන මග පළමුවට ගෙන අර දූපත් කියාගන්නා මානසිකත්වයට පයින් ගසා.. යන රැල්ලේ ගණිකා වෘත්තිය පවා නීතිගත කරමින් සූදු කැසිනෝ පමණක් නොව ආර්ථික වාසි ගෙනෙන ඕනෑ දෙයක් කර පින්නාගෙන අපි ‍යමුකෝ මරු ගමනක්... ධර්මයවත් අහවල් එකක්වත් මක්කෙටැයි.. ඔය දියුණුයි කියන රටවල් වගේ අපිත් යමු මහා ගමනක්..නිර්මාණය වේවි හොද සංස්කෘතියක්..අලුත් රස්සාත් නිර්මාණය කරන්නට තරමේ තවත් ප්‍රශ්නත්... විනාශ වේවි අපේ කියන හැම දෙයක්ම... ඒත් කමක් නැහැ අධිවේගී ගමනක්ම යමුකෝ හෙමින් නොයා. ආපස්ස බලන්නේ නැතිව.. අපේ මිනිස්සුන්ගේ ෆාස්ට් ෆෝවඩ් ගතිය අඩු නම් සියලු විලි ලජ්ජාව එකවිට නසා‍ගෙන අපි යමු අාර්ථිකයේ විතරක් නොවේ විනාශයේත් කෙළවරටම.. එනිසා...................................

කියන දේත් විග්‍රහත් උගත් බුද්ධිමත් භාවයෙන් අගතැන්පත් වූවත් විෂය හා පූර්ණව බද්ධ වූවත් අපේ ක්‍රමයේ වටිනා දේ අපි දැනුවත්ම මෙන්ම නොදැනුවත්වත් අපේ සංස්කෘතිය තුළ ව‍ාගේම අපේ ජාන ‍ව‍ාගේම හිතේත් හැංගී ඇති බවත් ඒවා සඵලදායී පමණට නිරවුල් කොට ගත හැකි හා යුතු බවත් අපි තේරුම් ගැනීම වැදගත්. අනුන් පෙන්වන පහසු හා සරල මාර්ග බුද්ධියට හොදට ගෝචර වූ පමණින් හිතට බොහෝ සේ සිත්ගත් පමණින්ම යපහතක් සපුරා උදා නොකරන බව අපේ දූපත් මානසිකත්වය  තුළ අප ඉගෙන ඇත. 

උගත් බුද්ධිමත්හු දෙසුවාට හැම දෙනාගේ කල්පනාව ඒ උගත්බුද්ධිමත් රටාව ‍නොවේ. එමෙන්ම හැගීම් බරවම දෙඩුවාට එයත් හැමගේ රටාව නොවේ. බොහෝ දෙනා මේ දෙතැනින්ම මධ්‍යස්ථ වූවන්.. ඔවුන්ගේ අදහස අප පරිණාමය වෙන්නට කලින් පරිණාමය අපි විසින් සිදුකර ගැනීම නොවේ. අකලට මේරීම යනු පරිණාමයක් නොවේ. ඩාවින්ගේ පරිණාම වාදයට අනුව උචිත උන්නතිය කියා කියන්නේද කාලයක් යන වැඩකි. එබැවින් අද උචිතයි කියා පේන දේ හෙට නූචිත වන්නටත් අද නූචිතයැයි පෙනෙන දේ හෙට උචිතවන්නටත් බලපාන පරිසරයත් ධර්මයට අනුව අප දන්නා නියාම ධර්මත් බලාහිදී. එබැවින් විද්‍යාවට වඩා එහා ගැඹුරු නියාමයන් දන්නා අප සරල විද්‍යාව හමුවේ වෙව්ලන්නේ ඇයි?? ධර්මය නොදන්නා කමින්ද?? එහි අදහස සරල විද්‍යාවට ගැරහීමක් නොවන බව උගත් බුද්ධීමත් මතධාරීහු තේරුම් ගනිත්වා.. එබැවින් ඒ විද්‍යාවට‍ අදාළවම වර්ධනය හා විකසනය සුදුසු තැන සුදුසු විට උනාවේ.. අප විසින් බලහත්කාරයෙන් සිදු කර ගැනීමට යා යුතු නැත. එයින් කියවෙන්නේ නිහඩව බකංනිලාගෙන සිටිමක් ගැන නොවන බව හැබෑ බුද්ධිමතුන් තේරුම් ගන්නවා ඇත. 

මේ එළඹ ඇත්තේ කාලයක් තිස්සේ රැස්වූ අවබෝධයකින් රටට ගැලපෙන මාර්ගය හදනා අපේ ගමන යාමේ කාලයක් මිස ලොකු හෝ බලවත් යැයි හංවඩු කොටා ගත් රටවල් දෙස බලා මගුල්ගමනේ හැඩ පෙන්වා දික්කසාදයවෙත යන ගමනක් නොවේ. 

එබැවින් රටට හැබෑ බුද්ධිමත්හු පහළවේවා. උගතුන් පිළිබද අංශමාත්‍ර වූ අනියම් හැගීමකින් තොරව මෙසේ ප්‍රකාශ කරන්නේ උගතුන්ගේ මහිම දකින විට උගත් පමණින් අර්ථයක් හැබෑවට ජීවිතයට ළංකර නොගත් බව දකින නිසා පමණි.‍ අපත් නන්නත්තාර නොවී රස්තියාදුවකින් ජීවිතයේ යම් හෝ යහපත් මාර්ගයක් තේරුම් ගත් හෙයින් මෙසේ කියන්නට ‍කරුණු යෙදී ඇත. නමුත් අපත් සමගත් ඉන් පසුවත් බිහිවූ පරම්පරාවේ කතාව බොහෝ සෙයින් උගත් පන්නයට බර වූවාට හරවත් පන්නය ඇමරිකන් හෝ බටහිර ෆෝමැට් රටාවෙන් නිවට කර ඔද්දල් කරවූ බව අපි දන්නෙමු. එයින් පෙන්වන්නේ බටහිර හෝ ඇමරිකන් විරෝධයක් නොව කරුණු සිදුවූ අයුරුය. එයට අපේ රටේ උගත්තුද බොහේ සෙයින් දායක වූහ. නමුත් හැබෑ බුද්ධිමතුන්ගේ වාසය තවමත් මේ රටේ ඇති බැවින් අපේ චින්තනයට යමක් එක්වුනි. ඔවුන් හැමට පින්සිදු වේවා. 

අමුඩය නොඇන්දත් සරමම පටලවාගෙන නොහිටියත් අප‍ේ කියන දේශපාලන හෝ විවිධ සමිති සමාගම් නියෝජනය නොකළත් අපේ කියා කෙරෙනා සියලු නරකත් හොද ලෙස දකන්නටත් මා සූදානම් නැත. එය වෙනමම දෙයකි. අපේ මිනිසුන් නිවරද වන්නට ඕනෑ එතැනින්ය. අපේ කියා කවුරුන් හෝ අපට පටලවා දුන් වැරැද්දත් අර උගත්කමෙන් වල්මත් වුනු අදහසුත් වෙනමම අප විසින් හදුනා ගත යුතුව ඇත. එය එතරම් පහසු දෙයක්ද නොවේ. අලුත් සංස්කෘතියක් නිර්මාණයට අපේ වැඩිහිටියන් පටන් ගත යුත්තේ ඒ නිවැරදි අවබෝධයට පාර කැපීමෙන් මිස කුඩා දරුවන්ට උගන්වන කවි කතාවක කොනක් අල්ලා නොගෙන බව ඉතා ‍වැඩිහිටියන් කෙරෙහි ගෞර‍වයෙන් මෙන්ම අවධාරණයෙනුත් කිව යුතුව ඇත. නැන්දාත් මාමාත් ගතවෙන කාලය ගැන වගකීම් සහගතව නොහිතා දුන්කොළ නැට්ටේ එල්ලුනොත් විදවීම යනු ඇත්තේ පඹගාලක පැටලෙන අනාගත පරපුරටය. ලංකා මාතා කියා මවකගේ දරුවන්සේ හැදෙන ඔවුන් එක වරම ලෝක අම්මා නොහොත් ලොකු අම්මා ගේ ඇසුරට යැවීම හිතනවාට වඩා පහසුවෙන් හා සරලව ගත්තොත් අපටත් ඇමරිකාවට සේම දෙවිපිහිටය. බටහිර බොහෝ රටවලට සේ දෙවිපිහිටමය. දෙවි පිහිටද සද්ධර්මයේ සරණද යන්න ජාති ආගම් වාද වලින් තොරව රටේ සමස්ථය සමග ඉදිරියට ගැඹුරෙන් හිතන්නට අවැසි අයට සිතිවිලි පහළවේවා...

යමක් කී පමණින් අප එක් කෙළවරක තබා නොසිතන්න. මමද ඔබද අපි සාමාන්‍ය වැසියෝම වෙමු. රජ හෝ බමුණෝත් එලෙසම වෙළෙන්දෝත්, ශුද්‍ර හෝ වෙනයම් කොට්ඨාශයකටත් ධර්මය එකමය. ප්‍රතිපත්තියෙන් අගතැන් නැතත් දැනෙන හැගෙන සත්‍ය කීමට එය බාධාවක්ද නොවේ. එබැවින්ම අප/ මා විසින් ..................... පෙර මෙසේ ලියන්නට අදහස් කරන ලදී.

මොන ආර්ථික මග ගත්තත් ධර්මය අමතක කළ තැන් සිට එ් දියුණුවේ පූර්ණත්වයක් නැති බව නම් අපටත් ඒ මග යෑමට සිදුවුවත් පළමුව කිව යුත්තකි. බුද්ධිය සමග ශ්‍රද්ධාව එක්ව ප්‍රඥාව ගැන අප තේරුම් ගත යුත්තේත් දෙසිය යුත්තේත් එනිසාය.