Thursday, December 4, 2014

ඡන්දය ඔබ ගන්න අයිතිය අපට දෙන්න

අපේ යෝජනාවන්ට ඇහුම් කන් දීමට ඔබ සූදානම්ද? මේ යෝජනා යනු අපේ සද්භාවික පුරවැසි අයිතිය බැව් සළකන්න.

එක එක පිලට චෝදනා කරනවාට වඩා මෙලෙස යෝජනා කිරීමට අප කැමතිය.

 

මෙහිදී හැමදෙනාගේම ප්‍රමුඛ අපේක්ෂාව හා ප්‍රාර්ථනය වන රට රැකිම ගැන අප අසන්නේ නැත. එය ඇසිය යුතු හෝ එකගවිය යුතු දෙයක් නොවේ. හැම පුරවැසියාගේම අනිවාර්ය යුතුකමකි. එම පරම යුතුකම පාට පක්ෂ අනුව විග්‍රහ වන එකක් නොව හැබෑවටම පොදු මහජනයාගේ යුතුකම හා වගකීමයි. එය වෙනුවෙන් පෙනී සිටිය යුත්තේ පාට පක්ෂ බදා නොව රට ජාතිය දෝතින් වැළද ගෙනයි. එබැවින් අප මෙහි සළකන්නේ ඉන් ඔබ්බෙහි ඇති අපේක්ෂාය.

 

මෙලෙස ඉදිරිපත් කෙරෙන සියලු කරුණු ප්‍රධාන කොටම දේශපාලකයන්ගේ යුතුකම්ය. අපගේ යුතුකම ඔවුන් වෙනුවෙන් ඡන්දය නම් මෙය සැළකිය යුත්තේ අපේ පොදු සද්භාවික අයිතිය ලෙසයි.

 

1.දේශපාලන භේද නොතකා සමානාත්මතාවයෙන් සියලු ජනතාවට එකසේ සළකන්න.
සියලු ජාතීන් ලාංකිකයන් ලෙස සමානය. ජාති ආගම් කුල භේද මත ඔවුන් පීඩාවට පත් කරන සුළුතරයක් හැරුණු විට නිරන්තරයෙන් අප කොයි කව්රුත් පීඩාවට පත්වන්නේ ප්‍රධාන වශයෙන් දේශපාලන භේද භින්නතාවයෙනි. ඒ ඒ පක්ෂ පාට ලබාගන්නා බලය මත පාක්ෂිකයන්ට සැළකීමත් අන්‍යන් නොසළකා හැරීමත් රටේ සාමාන්‍ය ස්වභාවයක් බවට පත්ව ඇත. සුදුස්සාට සුදුසු තැනත් දේශපාලකයන්ගේ ඇගිලි ගැසීම් වලින් තොරව පොදුවේ මහජනයාට සමානාත්මතාවයෙන් සැළකීම සියයට සියයකින් තහවුරු කිරීමට ඔබ එකග වනවාද?

 

2.දේශපාලන භේද නොතකා තරුණයා හා ඉදිරි පරපුර වෙනුවෙන් හැබෑ සංස්කෘතික හා සමාජීය චින්තනයක් බිහිකිරීමට මං සකසන්න.
තරුණයා හා කුඩා දරුවා නංවන්නට කටයුතු කරන්නේත් හුදු දේශපාලන අරමුණු ප්‍රමඛ කරගනිමින් බව අපි නිරන්තරයෙන් දකිමු. තරුණයන් වෙනුවෙන් ඇති ආයතන දේශපාලනික සටන් භූමි බවට පත් කරගෙන ඇත. දරුවන්ගේ සංස්කෘතික හා සමාජීය චින්තනය වර්ධනයට අවශ්‍ය දේට වඩා ඒ වැඩසටහන් තුළද ප්‍රමුඛ කරන්නේ දේශපාලන උවමනාවන්ය. ඒ අනුව ඔබ පිළිගන්නේ රටේ ඉදිරිය වෙනුවෙන් හැබෑ ජාතික සංස්කෘතික හා සාමාජීය චින්තනයක් අනවශ්‍ය බවද?..... එනිසා සරලව කියන අයුරෙන් දේශපාලනයන් උදෙසා කඩේ යන්නෙකු බවට තරුණයා පත් නොකළ යුතුය. ඔහුට රට වෙනුවෙන් පෙනී සිටින්නෙකු බවට පත්වීමට අවශ්‍ය නිවහල් භාවයත් ස්ථාවරයත් සකසා ගැනීමට උදව් කළ යුතුය. එ් අරමුණෙන් තරුණයා හා ඉදිරි පරපුර වෙනුවෙන් ක්‍රියාවට නංවන වැඩපිළිවෙලවල් සියල්ල දේශපාලන අරමුණු වලින් තොරව නිදහස් ජාතික ක්‍රියාවලියක් බවට පත්වීමට ඉඩ හසර විවර කළ යුතුය. සියයට සියයක් ඔබ ඒ සදහා එකග වනවාද?

 

3.දේශපාලන භේද නොසළකා නීතිය හා පුරවැසි අයිතිවාසිකම් සුරකින්න.
ඡන්දය මුල්කොට ගෙන පුරවැසියාගේ අයිතියාසිකම් ගැන සමහරවිට දේශපාලකයා කතා කළත් එය නිමාවන්නේ මේ කතාකරන අයිතිවාසිකම් තුට්ටුවකට මායිම් නොකරමින්. නීතිය මෙන්ම සාමාන්‍ය මිනිහාගේ සුරක්ෂිත භාවයත් දේශපාලකයන්ගේ බලපෑම් සහගත ක්‍රියාකාරීත්වයෙන් සපුරා මුදවා හල යුතුයි. යම් පක්ෂයක් හෝ පාටක් නියෝජනය කරන්නාවූ පමණින් කිසිවෙකුට සුවිශේෂ වරප්‍රසාද හිමි නොවිය යුතුයි. ඔබ ඒ සදහා පුර්ණ වශයෙන් අප හා එකගවනවාද?

 

4.රට ජාතිය පෙරටුව තබා දේශපාලනය ‍තවත් එක් ලාබදායී ව්‍යාපාරයක් වෙමින් යන ස්වභාවයෙන් එය මුදවා ලන්නට කටයුතු කරන්න.
දේශපාලකයාට තම පක්ෂ පාට අනුව දැක්මක් මෙන්ම අරමුණුද තිබිය හැකියි. නමුත් දේශපාලනය පවතින්නේ මහජනයා උදෙසා නම් ඒ අරමුණු කිසිවිටකත් මහජනයා වෙත අයුතු බලපෑම් හෝ අසාධාරණයන් කරපින්නන ඒවා විය නොහැකියි. එමෙන්ම දේශපාලනය හරහා මහජන නියෝජිතයන් වීම යනු ඔවුන්වෙත අමුතු අායුධ දීමක් හා ඒ ආයුධ රිසි සේ භාවිතයකට අවසර පතක් දීමක් විය නොහැකියි. ඔහුගේ කාර්ය භාරය රට පෙරට ගෙනයාමට අප වෙනුවෙන් රට නිරෝජනයයි. එනිසා දේශපාලනය තම ආර්ථිකයන් ගොඩනගා ගැනීමේ සහයෝගී ව්‍යාපාරයක් වීම සපුරා නැවැත්විය යුතුයි. ඔබ ඒ සදහා අප හා එකගවනවාද?

 

බෙහෝ කොට සමාන්‍ය මහජනයා ලෙස අපට දැනෙන හැගෙන සරලම අවස්ථා හා ඔබට අප සමග සපුරා එකගවන්නට හැකිනම් එය සිදුවන්නේ හැබෑ සද්භාවය ක්‍රියාවේ යෙදවීමේ අරමුණෙන් නම් අපට පිල හෝ පක්ෂ වටින්නේ නැත. නමුත් ගැටළුව... ඉතිහාසයේ සිට ඉදිරිපත් වූ මේ කිසිවකට කිසිදා ප්‍රමඛත්වයක් හිමි නොවීමයි. තව දුරටත් ඔබේ දේශපාලනයත් එවැන්නක් නම් මේ රටේ අනාගත ගැන සුරංගනා කතා වලින් කිසිදු ඵලක් සිදු නොවේවි. යථාර්තය එයයි.

 

මීට,
ස්වාධීන තරුණයා...
....................................................................................................................................................................................................................................

No comments: