Sunday, December 14, 2014

කඩේ යන ගමන් ...ද

කඩේ යන ගමන් පල්ලි පන්සල් යන්නට අප කල්පනා කරන්නේ නැත. කඩේ යන්නේ බඩු ගන්නට බලාගෙනය. පන්සලට යන්නට වෙන්නේ ගන්නා දේ දෙන්නට බලාගෙනය. එනිසා අප සාමාන්‍යයෙන් නම් කඩේ යන ගමන් පල්ලි පන්සල් යන්නේ නැත.

නමුත් පන්සල් යන ගමනේ කඩේ යන එක වෙනම ගමනකි. හදුන්කූරු ටිකක්.. තෙල් ටිකක්..නැතිනම් පහන් තිරයක් ගැනීමට පන්සලට යන ගමන් කඩේ යෑමට අපට සිදුවේ.

පාට පක්ෂ වෙනුවෙන්ම රට යට නොකර රට වෙනුවෙන් පාට පක්ෂ හා සන්ධාන වීම යනු පන්සල් යන ගමන් කඩේ යෑමක් කොට ගත ‍යුත්තේ පොදු මහජනයාය. එය අවස්ථාව හා අවදිය අනුව විවිධ වශයෙන් විය හැකිය.

රටක ප්‍රතිපත්ති, නීතිය, සදාචාරය, සාධාරණත්වය ගැන මහජන හැගීම් නැවත නැවත අලුත් කොට ගත හැක්කේ ඒ හරහා පමණි. සළකන මොහොතේදී රටට ඒ කාරණා වල අවශ්‍යතාවයේ තරම කොතරම්ද ඔබටම හැගෙන්නේ නම්.. එවිට ඒ මොහොතේ පාලකයෝ හැකි පමණ රාජ්‍ය මැදිහත්කමෙන් පවා වරප්‍රසාද මුදාහැර සාමාන්‍ය මිනිසාගේ මතය දියාරු කරන්නටද සපුරා ප්‍රතිවිරෝධී මත හදන්නටද කරන කටයුතු අවබෝධ නොවී නොතිබෙනු ඇත. අද අප රට ගැන හොදින්ම දන්නේ මෙහි සජීවී ඔබත් මමත්ය. ප්‍රතිපත්ති පිළිබද මහජනයාගේ හැගීම් නිවට වූ කලට නැවත පාලකයන් බලයෙන් මත්වන්නෝය.

එබැවින් ප්‍රතිපත්තිමය බලපෑමට පාලකයා යටත් කොට ගන්නට ලැබෙන අවස්ථා ළාමක කරුණු මත අප කිසිවිට අත් හළ යුතුද?. එවැනි බල කිරීමකටවත් සූදානම් නොමැති ජනතාවක් කොතරම් කලක වත් රටකට බලපෑම් සහගත වන්නේත් නැති. ඉදින් එහෙව් ජනතාවක් නම් දෙන දේ කා වෙන දේ බලා හිදීමක් පමණකි හැමකල... එහෙව්වෙක් හරියට රාජකීය ජෝතීෂ අරට්ඨකීවෙණ්ඩු පරෙුමාල් කෙනුකුගේ ග්‍රහබල ගුණ්ඩු කතාවක මායාවට හසුවුනු අහිංසක මෝඩයෙක් වීම වැළැක්විය හැකිද? එසේ මෝඩයෙක් නොවී වරප්‍රසාදිත ගැත්තෙක් වීමටද සමහරු කැමතිය. නමුත් පරාජයටත් වඩා නිවට දුර්මත ගැනීම කොතැනත් අභිමානයක් නොව හීනමානයක්ද වන්නේය.

අන්දන්නට හදන තරමක් බොරු වපුරන කළක මුළාවේ නොවැටී අපි ඇත්ත වෙනුවෙන්ම පෙනී සිටිමු. ඇත්ත හදුනාගන්නට තරම් වත් ඉඩක් අප තුළ වෙත්නම් .. එතැනට යාමට හැකි කමක් අපට ඇත්නම් මත්තටද රටට වරදින්නට හේතුවක් ඇද්ද???.. පල්ලි පන්සල් කෝවිල් මස්ජිද වෙත යන ගමනේ විතරක් හැමදා කඩේ යමු..
ජය වේවා අප හැමට.

No comments: