Monday, December 31, 2012
Sunday, December 30, 2012
මෙය කුමන්ත්‍රණයක්
නැති කුමන්ත්‍රණ ගැන කතා නොකර,
ඇති කුමන්ත්‍රණ ගැන සම්මන්ත්රණ කරමු.
කතාවට නොව ක්‍රියාවට තැන දෙමු.
නව වසරේ බයිලා නොකියමු,
බයිලා ගී වලින් පමණක් බයිලා රස සොයමු.
සත්‍ය ට යි, යුක්තියට යි, ශක්තිය , බලය මේ එන වසරේ...ජයවේවා2013
Tuesday, December 25, 2012
අස්වැසිල්ලක්
ලොකු ගහක හෙවන යට ඉන්න පුළුවන් එක ලොකු අස්වැසිල්ලක්.
ඊයේ මගේ උපන් දවස, ඒ කියන්නෙ උපන් දිනේ.
ඉස්කෝලෙ කාලෙ ඉදලම මේක සමරන්න වෙන්නෙ තනිවම, මේ නිවාඩු කාළෙ නිසා, බොහෝ තැන්වල නිවාඩු. කොහොම වුනත් නත්තල සමරන අය පවුලෙ වගේම රටේ තොටේ කොතනත් ඉන්න හින්ද උපන්දිනේට පස්සෙ නත්තල් දවස සිහිකරගෙන සතුටු වෙන්න පුළුවන් එක ලොකු දෙයක්. උපන්දිනේ සැමරුනේ නැතත් නත්තල සමරනවනේ. ඒක හින්ද නිකන් හරියට ලොකු ගහක හෙවනක ඉන්නවා වගේ හිතන්න පුළුවන් මට.
ජාති, ආගම් බේද හදාගෙන ආගමික නායකයන් කිසිදිනෙක නොකී කතාන්දර හදාගෙන කුළල් කා ගන්න අර අදින මිනිස්සුත් සුළුතරයක් හරි ඉන්න සමාජෙක ඒ බේද භින්න කම් වලින් තොරව, මිනිස්සුන්ට හරි මග කියා දුන් කව්රුනුත් අපි ආදර භක්තියෙන් සිහිපත් කළ යුතුමයි. ඔවුන්ට ගරු කරනවා කියන්නෙ ඔවුන් කියා දුන් යහමග තමන් ගමන් කිරීම මිස ඒ මග උදෙසා අනුන් සමඟ සටන් වැදීම නම් නොවේ.
විනාශය විනාශ කොට අපි සමඟිව වෙසෙමු. යහමග ගමන් කරමු. නිදහස් වෙමු බේද වලින්...
Sunday, December 23, 2012
වගකිවයුත්තෝ
මෙහෙදී බොහෝ කරුණු කාරණා වලට අදාළව මේ අය සොයා ගන්න නෑ.
එයාගෙන් ඇහුවොත් එයා දන්නෙත් නෑ, මෙයාගෙන් ඇහුවට එයා දන්නෙත් නෑ. හරියට හැම දෙයක්ම නිකම්ම සිද්ධ වෙනවා වාගේ.
කැකිළ්ලේ රජ මේ අය හොයාගන්න වටේ ගියා වගේ මොනව හරි දෙයක් සිද්ධ වුනහම මෙහේ, අපිටත් බොහෝ විට වටේ යන්න වෙනව ඒ වගේ.
කරන්න චණ්ඩි ඉන්නවා, පිළිගන්න කිසිම බණ්ඩියෙක් නෑ. කට තියෙනවා කොන්දක් නෑ.
මෙහෙම වෙන්නෙ ඇයි? අයි ඩෝන්ට් නෝ වයි කියල සින්දු හැදෙන්නෙ ඒකයි. නමුත් හැමදාම ඒ සින්දු කියන්නම හිතනවනම්.... අනේ දෙව්දත් නොදිටි මොක්පුර
කරන දේට වගකියන්න පුරුදු වෙන්න. කරන්න පුළුවන් නම් තොත්ත බබාලා නොවී, පිළිගන්න වෙනකොට තොත්ත බබාලා වෙන්නෙ ඇයි?
වෙනත් දේවල් බදාගන්නම හදද්දී වගකීමෙන් නම් පැනලම නිදහස් වෙන්න බලන්නෙ ඇයි?
ඇත්තටම වගකීමෙන් නිදහස් වෙන්න නම් වගකියන්න 100%ක්. එතකොට ඔබ ඔබේ වගකීමෙන් නිදහස් වේවි.
ඒත් අමතක කරන්න එපා යුතුකම් කියලත් දෙයක් තියෙනවා වගකිවයුතු මිනිහෙකුට. ඔබත් මේ සමාජයේ පුරුකක්, ඒක අමතක කරන්න එපා. මගේ වගේම ඔබේ තැනුම් ඒකකයත් දූවිල්ලම තමයි.
Thursday, December 20, 2012
දුක තමා
කරන කලට පව් රස වුනත් වින්දනය කරනකොට ගින්දර වගේ නේද?
මේ දවස් වල වැස්සේ විනාශයෙන් ඉගෙන ගන්න පාඩම් ගොඩාරියයි. ඒත් ඉගෙන ගනීද මන්දා.
කාලයක් තිස්සෙ වගකිවයුත්තො දුර දිග බලන්නෙ නැතිව, හිතන්නෙ නැතිව කරන කියන දේවල් වල ඵල විපාක මේ දවස් වල බහුතරයා බුක්ති වින්දනය කරනවා. ඒකට බහුතරයාත් වගකිව යුතුමයි.
ලකුණු දාගන්න කරපු වැඩත්, කොමිස් සාක්කුවට වැටුනු වැඩත් එකෙන්ම මේ වැස්සට හේදුනා. වරද ස්වභාව ධර්මයේ නෙවෙයි. ධර්මයේ ස්වභාවය තේරුම් ගන්න බැරි වුනු ලාබ විදිහට හිතපු මිනිස්සුන්ගේ. වැඩක් කරනකොට හොයල බලල , හිතල මතල කරන්න ඕන. පනින්න පෙර හිතා බලනු කිව්වෙ නිකම්ම නෙවෙයි. දැන් අපේ අය බොහොමයක් හිතන්නෙ පැනල අතක් පයක් කඩාගත්තටත් පස්සෙ. ඒ නිසා හිතන්නත් කලින් පැන්න වගේම බේරෙන්න බැරි විදිහට ස්වභාව ධර්මයෙන් ඉල්ලාගෙනම දුක් වින්දනය කරනව.
මිනිස්සුන්ට හැම ස්වභාව ධර්ම විපතකටම මුහුණ දෙන්නත් ඒවයින් ගැලවෙන්නත් බැරි එක හැබැයි. ඒත් ගොඩක් දේවල් කාලයක් තිස්සෙ හිතල බලල කල්පනා නොකරපු එකේ ප්‍රතිඵල නොවෙයිද? චෝදනාව පරම්පරා ගානකට වෙන්න පුළුවන්. හැබැයි දැන් වත් හරි පාඩමක් ඉගෙන ගත්තොත් ඔය වෙනත් රටවලට බලපාන තරමට දරුණු නැති අපිට බලපාන මේ උවදුරු වලින් පහසුවෙන්ම බේරෙන්න පුළුවන්. අඩු තරමේ මිනිස් ජීවිතවත් බේරගන්න පුළුවන්.
මේහේ අපිට නිදහස් අධ්‍යාපනේ දුන්නා කිව්වට ඒවගේ ප්‍රායෝගික භාවිතයන් කියලා දෙයක් නොතිබීම හරිම ඛේදයක්. ලෝකේ කොහෙත් නැති තරමට දැනුමැති මිනිස්සු මෙහෙත් ඇති. ඒත් ප්‍රයෝගිකව හරි දේ කරන්නත් මුන්ට අල්ලස් දෙන්න ඕන. එතරමට ප්‍රායෝගික හා දුර දක්නා නුවණින් පිරිපුන්. මේවට අල්ලසට, නිවට කමට උඩගෙඩි දෙන දේසපාලුවෝ බදාගෙනම වගකියන්න ඕන.
ඇත්ත කියන දේ තේරුම් ගන්නෙ නැතිව අනුන්ගෙ සෝවාන්, රහත් කම් ගැන හොයන්නෙ නැතිව ඒ මේ කොයි කවුරුත් ගිරිය කඩාගෙන කියන කතාවල තියෙන ඇත්තක් ඇත්නම් ඒ ඇත්ත තේරුම් අරගෙන ඒකෙන් තොරව බොරුවෙන් ලෝකය ජය ගන්න බෑ කියන එක දැන්වත් අපේ බහුතර මිනිස්සුන්ට තේරුම් යන තත්වයක් උදා වෙනව නම්, අඩු තරමේ හොරය බොරුව හරි ටිකක් අඩුවේවි. බොරු රඟපෑම් අඩුවේවි. ප්‍රසිද්ධ වෙන්න බොරු කියන එක කරන එක අඩුවේවි. නැත්නම් අපිට මේ කතා කිය කියා ජීවත් වෙන්න වෙන්නෙ මිහිපිට දුකම තමා කියාගෙනමයි හැමදාටම.
මොනදේ විනාශ වුනත් ජීවිතේ විනාශ නොවුනනම් මේ ස්වභාව ධර්මයේ උවදුරු වලදී ඉගෙන ගන්න මතක හිටින පාඩමක්, එහෙම පාඩමකට පොඩි හරි නිමිත්තක් මේ දවස්වල කාටත් නොතිබෙන්න බැරි කමක් නෑ.
දුකම තමා කියන තැනින් වෙනස් වෙන්න ජීවිතේ ඇත්තම වෙනසක් ඇතිකරගන්න. නිදහස් වෙන්න හදාගෙන තියෙන හිස් බැමි වලින් , නිදහස් වෙන්න හොයා ගැනීම උදෙසා හැබෑම ජීවිතයක්.
Monday, December 17, 2012
Friday, December 14, 2012
අන්තවාදී
සත්‍යට භාෂාවක් නැත. ආගමක් නැත. ජාතියක් නැත. කුලයක් හෝ ගෝත්‍රයක් නැත. සත්‍ය යනු සත්‍යම පමණි.
එය අන්තයක් නොව චක්රයකි. චක්‍රයකට අන්තයක් නැත. චක්‍රය පැහැදිලි කරගන්නට අපි විවිධ ක්‍රම භාවිතා කරමු. හේතුව සහ ඵලය අනුව විග්රහ කිරීම පැහැදිලි සාර්ථකම විග්රයකි. එය අප බොහෝ දෙනෙකුට පහසුවෙන් ග්‍රහණය කර ගත හැකි විග්රහයකි.
නොයෙක් වාද බේද තුළ සිරවී සිටියද අපට හැමවිට මුහුණ දීමට සිදුවන්නේ එකම යථාර්තයට නොවේද?
අප කෙරෙහි බලපාන්නා වූ මූලික ධර්මතා එකමය. එවිට අපට කෙසේ නම් වෙනස් යථාර්තයන් හිමිවන්නද. ලෝකයේ වෙනස් රටවල වෙනස් ස්වභාවයන්ගේ වෙනස් නීති රීති පද්ධතීන් තුළ අපට භුක්තිය උදෙසා ලැබෙන ඵල සමහර විට විවිධ වන්නට පුළුවන, නමුත් එහි හේතුන් එකක් මය. තවදුරටත් විමසා බැලුවහොත් ඵලයේද මතුපිට ස්වභාවය එකම නොවූවත් අර්ථ යේ සමානත්වයක් නොතිබෙන්නේමද?
වී ගොවියා අස්වැන්න වශයෙන් ලබන්නේ 'වී'ය. තල වගා කල විට ලැබෙනුයේ 'තල'යි. අවස්ථා දෙකම ගොවිතැනය. ඵලයේ ස්වභාවය වෙනස් වූවාට දෙකම ආහාරයි.
අදහස් තුළ නිදහස් නොවී ඒවා නූවුමනා විලස කර පින්නා ගත් අන්තයට වැදුනා වූ අය සමාජයට වෛරී සහගත අදහස් මුදා හරින්නේ තමන්ගේ අදහසට ගැති වීමෙන් ම මිසක එතුළින් නිදහසක් ලබන්නට නොහැකි කමෙනි. නොදන්නා කමෙනි. හරය නොවිමසන්නා නිසාම එවැනි අදහසක මතුපිට තලයේ ප්‍රතිවිරුද්ධ භාවයන් දකිනා තවත් උදවිය ඒවාට උත්තර විලසින් වපුරන්නේ තවත් වෛරයක්මය. පසුව ගොඩනැගෙන්නේ ඒ අන්තයත් මේ අන්තයත් අතර වෛරී හටනකි.
ඒ සටනින් පරාජය මිස කිසිදු පැත්තකට කෙදිනකවත් ජයක් හිමි වන්නේ නැත.
අදහස් නිදහස් කිරීම එකකි. එතුළින් වෛරය වැපිරීම තවෙකකි. අවසනදී ලැබෙන්නේ එසේ වගා කරන්නා වූ බීජයේ ප්රතිඵලයයි.
නිදහස උදෙසා මිනිසා සටන් වැදිය යුත්තේ තමා තුළින්ම මිස අන්තයකට, අදහසකට ගැති වී නිදහස උදා කරගත නොහැකිය. කිසිවෙකුටත් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් තවකෙකුට සැබෑ නිදහසක් ලබා දීමක්ද කළ නොහැකිය.
ජය ඇරඹෙන්නේත්, පරාජය ඇරඹෙන්නේත් තමා තුළින්ම මිස හිස් අවකාශයෙන් නම් නොවේ.
Thursday, December 13, 2012
අන්ත...අනන්ත
12/12/12ත් පහුවෙලා. ලොකු පුදුමයක් නැතත් පොඩි පොඩි අංක ගැලපුම් මිනිසුන්ගෙ මනස හොල්ලනවා. 21/12/12ත් මේකම වේවි. තිගැස්සෙන්නත් දේවල් අපිට ඕනමයි. නැත්නම් කිසි ගතියක් නෑ නේ.
වයසක අයට දැනෙන දේවල් පොඩි අයට දැනෙන්නෙ නෑ. ඒ දෙගොල්ලටම දැනෙන්නෙ නැති දේවල් ගැන තරුණ අය හිතනවා. දැනුම හොයාගෙන යනවා. කෙළවරක් නෑ. හොයාගත්තට වඩා වැඩියෙන් දිනපතා හොයන්න දේවල් එකතුවෙනවා. අලුත් අලුත් දේවල් හැදෙනවා. අලුත් අලුත් විදිහට හිතනවා, කතාකරනවා. ෆැෂන්..
ඔය මොනවා මොන විදිහට සිද්ධ වුනත් ලෝකයේ තියෙන්නෙ එකම වේගයක්. අපි අලුතෙන් දැනගත්තත් සිද්ධ වෙන්නෙ එකම දේවල් ටිකක්. මොන මොන දේ කටට දාගත්තත් බඩට ගිහින් ඒව දිරවන සිස්ටම් එක එකක්මයි, ඒ වගේ..
නීතිය ගැන අවනීතිය ගැන හිටපු ගමන් තමන්ට අවාසි වෙනකොට කාටත් මතක් වෙනවා. එහෙම වුනාම ඒව ජනප්‍රිය මාතෘකා වෙනවා. පත්තර වලට හෙඩ් ලයින්ස්, මාස ගාණක් අදින්න පුළුවන්. ඔහොම කාලය ගතවෙනවා. පස්සෙ කාටත් නීතිය, අවනීතිය අමතකයි. ඔහොමයි මෙහේ.. කාලයක් තිස්සෙ මෙහේ එහෙමයි කිව්වට ටිකක් විමසිල්ලෙන් බලද්දි තේරෙන්නෙ අඩු වැඩි වශයෙන් වුනත් අවසානෙ කොහෙත් මෙහෙමයි. ඒක හින්දම මේවත් ලෝක ස්වභාවයට බාර දීල නිකම් ඉන්නව. ජනයාගේ ආධිපත්‍ය බොල්, බහුතර මතය පුස්, වැඩි දෙනා නින්දේ, ඔහොමයි ලෝක ස්වභාවේ..
වැරැද්ද වැරැද්දමයි. ගින්දරට පිච්චෙනව වගේ.. එහෙම දැනගෙනම අතීතයත්, වෙනත් රටවලුත් ගැන හුවා දක්වල වැරදි කරන්න කාටවත් අයිතියක් නෑ. පිච්චෙනවනම් ගින්දරට අතීතයේ පුච්චගත්ත කියල අනාගතයෙත් පුච්චගන්න ඕනද?
එහෙම නොකරන තරමට මිනිස්සු ඉන්න රටවලුයි බුද්ධිමත් කියන්න පුලුවන්. ඇහැ ඇරගෙන ඉන්නව කියන්න පුළුවන්. ජීවිතේ කියන්නෙ කන බනේම නෙවෙයි. කන්න තිබුන කියලම මිනිහෙකුට නොමැරී ඉන්න පුළුවන් වුනත් නොමැරී ජීවත්වෙන්න නම් බැරිවෙයි සැනසීමකින්. ඒකට හේතුව බඩේ ගින්නට විතරයි ආහාරයෙන් සැනසීමක් දෙන්න පුළුවන් වෙන්නෙ, ඒත් හිතේ ගින්නට ඒක වලංගු නෑ.. ගොඩක් අය බඩේ ගින්නෙන් නිදහස් වෙන්න හිතුවත්, පූර්ණ නිදහසක් ලබා ගන්න නම් හිතේ ගින්නෙන් නිදහස් වෙන්න වෙනවමයි.
ඒකට කරන්න ඕන බදාගන්න එකද, බෙදාගන්න එකද, අතාරින එකද කියලත් තවත් හිතන්න පුළුවන්.
බදාගෙන සතුටු වෙන්න පුළුවන්. ඒත් නිදහසක් තියේවිද? බෙදාගෙන සතුටු වෙන්න පුළුවන්. ඒත් නිදහසක් තියේවිද? අතෑරල සතුටු වෙන්න පුළුවන්ද? එහෙම නිදහසක් ගැන ඔබ හිතුවාද?
ගිහිගෙයින් නික්මෙන්න උවමනා නෑ අතාරින්න. ගිහි ගෙයි ඉදන් සැහැල්ලුවෙන් ජීවත්වෙන්න මිනිස්සුන්ට කොච්චර මහන්සි වෙන්න වෙයිද? අනාගත ලෝකය ඉල්ලා හිටින්නෙ එහෙම නිදහසක් හා නිදහස් මිනිසුන් කොටසක් නොවෙයිද?
Tuesday, December 11, 2012
එහෙම පුළුවන්ද?
ස්විච් එකක් ගානේ ගිහින් එකින් එක ඕෆ් කරනවට වඩා මේන් ස්විච් එකෙන් එකවර පද්ධතියේම විදුලිය විසන්ධි කරන්න පුළුවන්. එතකොට අපි කරන කියන වැඩ බොහොමයක් එකවර නවතිනව. ඊළඟට අපිට තවත් නවත්තන්න පුළුවන් මොනවද?
හුස්ම ගන්න එක, ඒකත් අමාරුවෙන් ටිකක් හරි වෙලා නතර කර ගෙන ඉන්න පුළුවන්, ඊළඟට?
අත පය හෙලවෙන එක නැවතෙන්න එක ඉරියව්වකට එන්නත් පුළුවන්, ඊළඟට?
හද ගැස්ම නවත්තන්න නම් අපිට බෑ, තව..
හිතන එක නවත්තන්න පුළුවන්ද? නවත්වයි, ඒත් ඊළඟට මොනවද හිතෙන්නෙ?
හිර කරගෙන හිටපු සියල්ලම එකවර මුදා හරින්න වෙනව මර බයෙන් හුස්ම හිරවෙද්දි.
මේ ජීවිතේ අපේ කරගන්න එක ලේසි නෑ. ලොකු කෙරුමෝ කියල හිතාගෙන හිටියට තමන්ට මොනවද පාලනය කරන්න පුළුවන්.
හිතන්න, එහෙම පුළුවන්ද? ෆ්‍රී වෙන්න
Sunday, December 9, 2012
මේ පාරෙන් එන්න
පාරක් හංදියක් ගානේ මේ පාරෙන් එන්න කියන උදවිය ඕන තරම්. පාර යන්නෙ කොහාටද, අපි යන්න ඕන කොහාටද?
අපි දන්නෙ නැත්නම් යන්න ඕන තැන පටන් ගන්න තැන ඉදන්ම හැම පාරකම අපිට යන්න වෙන්නෙ රස්තියාදුවක. එතනින් පස්සෙ තව දුරටත් ශක්තියක් ඉතුරුයි නම් පමණයි අපට අපේ පාර හොයාගන්න පුළුවන් වෙන්නෙ.
අහම්බෙන් වගේ කීප දෙනෙකුට හරි ඔය රස්තියාදුව අතරෙ තමන්ගෙ පාර හම්බවෙනව වාසනාවට. තවත් සමහරුන්ට මේ ජීවිතේට පාර හොයා ගන්න ලැබෙන්නෙ නැහැ. පව් අවාසනාව. තවත් බොහෝ දෙනෙක් මේ පාරෙන් එන්න කිව්වම ඒක තමන්ගෙ පාර කියල හිතාගෙන යනව. පාර කියල දෙන්න කෙනෙක් නැත්නම් වෙන මොනව කරන්නද?
හැබැයි, ඊලඟ මොහොතෙ අපි යන්නෙ කොහෙද කියල නොදන්න ගමන බොහොම අවදානම්. හිතට කිසිම නිදහසක් නෑ. මොකද ඒත් කරන්නෙ? මේ පාරෙන් එන්න කියනව මිසක් තමන්ගෙ පාර හොයාගන්න උදව් දෙන කිසිම කෙනෙක් හොයාගන්න නැත්නම්.
කල්පනා කරල බැලුවොත්, සමහර විට කලින් ඔය පාරවල් වල ගියපු අය ඇදපු සිතියම් තියෙන්න පුළුවන්. එහෙම සිතියමක් හම්බුනොත් තමන්ට තමන්ගෙ පාර හොයාගන්න අමාරු වෙන එකක් නැහැ කිසිවක් නොදන්න තරමට වඩා. ඒත් ප්‍රවේශමෙන් බොරු සිතියම් විකුණන අය ඕන තරම්.
හරි පාරෙන් හරි තැනට යන්න හරි අමාරු වෙන්න ඒකත් ලොකුම හේතුවක්. ඒත් හරිම පාර හොයාගන්නකම් උත්සාහය අතනාරින අයට නම් වරද්දන්න බෑ කාටවත්. කවදාවත්.
Saturday, December 8, 2012
ඔය රෙදි ගලවන්න
අන්දනව කියල මෙහෙමත් ඇන්දීමක්. පව් නොතේරෙන එක් අයෙක් වුවත් රැවටීම ඊලඟ භවයේ ගොනෙක් වෙලා වත් බේරෙන්න පුළුවන් පාපයක් නම් කරත්තයක් ඇදල ෂේප් වෙන්න පුළුවන් වෙයි. ඒත් හැබැයි දැන දැනම කරන කපටිකම් වලට රිටන් එක නම් ඊටත් වැඩිවෙනව සත්තයි.
ලියන්න, කියන්න පුළුවන් නිසාම හොර පාරෙන් හරි ඡන්ද ගත්ත නිසාම කව්රුවත් රවට්ටන්න කාටවත් අයිතියක් නෑ. ඒත් ඉතිං මෙහේ තවත් ඇන්දවීමේ නම් කෙළවරක් නෑ.
අන්දවන එකක් ගලවගන්න ගානට තව දෙක තුනක් අන්දනව. තුට්ටුවට, බත් පැකට් වලට විතරක් නෙවෙයි, මාරුවක් හදා ගන්න, ජරාවක් දෙන්න, ගන්න වගේම පුරුද්දටත් ඇදගන්න උදවිය තවත් ඉන්න එක හරි පව්.
මිනිස්සුන්ව මෙහෙම අන්දන උදවියට නම් මතු භවයේ රෙදි අදින්න වාසනාවක් ලැබෙන එකක් නැහැ. මොකද ලෝකය ගෝලාකාර වගේම අපි සැරිසරන චක්‍රයට වංචා කරල බේරෙන්න ඔය මොනම ජගතෙකුටවත් අංශුමාත්ර හැකියාවක් නැති නිසා.
ඒ නිසා මිනිස්සුන්ව අන්දන්න, ඒත් මතක තියාගන්න කවදා හෝ රෙදි ගැලවෙන්නෙ ඔබගෙමයි. එදාට ඔබ තනි වෙනවමයි. අපි ඒ වගේ උදවිය බොහොමයක් මෙහේ කාලෙන් කාලෙට දැක්ක. ඒත් ඒවයින් දෙයක් වටහාගන්න තරම් අංශුමාත්‍රයක යහ චිත්තයක් නැති මිනිස්සු ඉන්න එකත් ලෝක ස්වභාවයක් නම් ඒ අයට ඒවගෙ විපාකත් ලෝක ස්වභාවය අනුවම අනුභව කරන්න වෙයි.
ඔබට තේරෙනවනම් ඔබව අනුන් විසින් අන්දවල කියල, වහාම කිසි බයක් නැතිව ගලවන්න ඔය රෙදි, නිදහස් වෙන්න. ඇත්ත තේරුම් ගන්න.
මාධ්‍ය වැස්සේ, තොරතුරු සාගරයේ අන්දවන්න හදන රෙදි වංචාවෙන් මම නම් ගලවල දැම්මෙ සෑහෙන වලියක් දාගෙන, මොකද ඒ රෙදි ගලවල දාන එකත් සමහරුන්ට හරි භීතියක්. ඒත් තමන්ගෙ වස්ත්‍රයක් තියෙනවනම් අනුන් විසින් අන්දන රෙදි අපට ඕන කරන්නේ නැහැනේ.
ඒ නිසා, ඔය රෙදි ගලවන්න එච්චර බය වෙන්න එපා. මොකද ඇත්තෙන්ම ඔය රෙදි බොහොමයක් සීතාම්බර සළුම තමා. ඇඟට දමාගන්න තරමට සැබෑවටම පේන්නේ හෙළුව. හෙළුවෙන් ඉන්න ඇත්තටම අකමැති නම් ගලවන්න ඔය රෙදි කිසි බයක් නැතිව. ඔබගෙ සැබෑ වස්ත්‍රයේ හැඩය එතකොට පේන්න ගනීවි අපූරුවට. ඔබේ සැබෑ ලස්සනත් පේන්න ගනීවි එතැන් සිට.
Friday, December 7, 2012
තෝරන්නට කියන කවි
ඇහැට බොහෝ දේ පෙනෙනා විට, කනට බොහෝ දේ ඇසෙනා විට, හිතට බොහෝ දේ දැනෙනා විට, නොතේරෙන කවි තැනෙනු නොමැතිද? මේ පින්බිමේ ඇති නිදහස ගොන් ෆ්‍රී නොවේවා. යහපත දිනේවා.
ඇහැට දකිනා ඇත්තා
කනට ඇසෙනා ඇත්තා
සඟවා බොරුව හැමදා
බොරුවෙන්ම වල පතුලෙ වැටෙනා
ළපටි වස්සෝ උලා කති
මහ වස්සෝ වමාරා කතී
මී දෙන්නු කුලප්පු වෙතී
හාන්නට නොගනිතී
උගෙනුමට වලි කතී
මරාගෙන මරා ගතී
උගෙනුමෙන් පල නැතී
අවසානෙ ලත වෙතී
උයන රකිනා පල්ලා
කියනු දෙයියන් පල්ලා
උගේ දඩ බල්ලා
ඉන්නෙ හැම තැන ඉවම අල්ලා
කියනු ග්‍රහ චාරේ
එක එක අ වාරේ
යන්න ඔහෙ පාරේ
නින්දෙ වැදිලා වගෙයි රාළේ
රටක් ගැන කියවෙතී
පුන්නක්කු ගැලපෙතී
දුකක් නොව පව් සිතී
ජාමේ බේරා මේක තෝරතී
Tuesday, December 4, 2012
ෆ්‍රී
උඩ පැනලා, බිම හැපිලා, එහෙට මෙහෙට දුවලා ඇවිත් ආපහු හිටගත්තෙ පළමුවෙනි තැනමයි. හිමිතැන වගේම නිසි තැනත් එතැනමයි. අපි කොයි තරම් ඒ මේ අත දුවල, හැපිල හොයන්න හැදුවත් ඒ නිදහස හොයාගන්න වෙන්නෙ ඇතුළෙන්ම තමයි.
පොඩ්ඩක් ෆ්‍රී වෙන්න හිතුවෙ කමිසෙ බොත්තම් කීපයක් ඇරල දාල හොද හුළඟක් වදින්නමයි ඇඟට.
ඔන්න දැන් ලෝකෙ විනාශෙට සමහරු කවුන්ට්ඩවුන් කරනවා. මගේ ලෝකෙ නම් කොහොමත් විනාශ වෙන එකක් නිසා, ඒ විනාශය නවත්තන්න බැහැ කියල තේරුම් ගත්ත නිසා මගේ කවුන්ට්ඩවුන් එක නම් දැන් ඉවරයි.
ලෝකෙට උවමනා විදිහට මිසක් අපිට උවමනා විදිහට ලෝකය ස්වභාවිකව නම් විනාශ වෙන්නෙ නැහැ ලඟපාතකදි.
ඒක නිසා දැන් කල්පනාව මගෙ නම් ෆ්‍රී වෙන්න. රස්ටාව ශුද්ධ කරගෙන ශුද්ධ සිතින් නිදහසේ සැහැල්ලුවෙන් පියාඹන්න දැන් කාලෙ හරි.
හැබැයි කොහෙ පියෑඹුවත් මං වහන්නෙ ගෙදර ගහේ සුපුරුදු අත්තෙමයි. ඒකයි වේරම්භවාතෙ කරක් ගහල ආපහු ගෙදර එන්න කැමති මගේ ස්ථාවරේ.
Thursday, November 29, 2012
රොබොට් / ඩමි, නොවනු පිණිස
මිනිස් කුලේ එකෙකු වූ ඔබේ වටිනාකම අනන්තයි.
ජීවිතය තුට්ටුවට විකුණන්න එපා. ලෝකයේ ලොකුම ලංසුවට විකුණන්නත් එපා.
දක්ෂතාවයෙන් හැකියාවෙන් ඵල ගන්න.
ඔබ අත්හැරියොත් ඔබව, කිසිවෙකු නෑ ඔබව අල්ලා ගන්නට.
අවසානයේ ඔබටත් බෑ ඔබ අල්ලන්නට.
අල්ලා ගන්න ඔබ ඔබවම.
දැන්ම.
සටන් කරන්න ඔබ සමඟ.
මිනිසෙක් වනු පිණිස.
සැබෑ මිනිසෙක් වනු පිණිස.
එවිට යම් දිනෙක හැකිවනු ඇත, මිනිසෙක් විලස මියෙන්නට.
නාමික මිනිසෙක් නොව සැබෑ මිනිසෙක් ලෙසම.
ඔබ හදුනනවාද සැබෑ මිනිසා?
හදවතට කන්දී අසන්න.
නෑසේද ඔබට?
සොයන්න, බලන්න.
නිසැකවම ඔබ තුළ සිටිනු ඇත.
එන්න හැංඟුනු තැනින් එළියට.
එන්න පෙරට.
ඔබට බියේ, සැඟවුනු මිනිහා අවදිකොට.
වේදනාකාරී වර්තමානය(විභාග)
ඇත්තටම සුන්දර අතීතයක් ගැන මතකයේ තිබුණ නිසයි වර්තමානයේ වේදනාකාරී බවක් දැනෙන්න ගන්නෙ. ඒ නගරාසන්නය ගම තරම් නිදහස් නොවන නිසා. ඒ මතකය වර්තමානයෙන් ඒමත් මගේ වරදක් නම් නෙවෙයි.
හැඟීමට වඩා බුද්ධියට මුල්තැන දෙන සබදකම් දකින්න වෙන්නෙ නගරෙ කිට්ටුව. එහෙම කිව්වට මේ කියන සබදකම් හදවතින්ද බුද්ධියෙන්ද කියල ඉරි ගහල වෙන් කරන්න බෑ. නමුත් ඒ බව දැනෙනවා. මරණ ගෙයක්, ශ්‍රමදානයක් වගේ තැන්වල දකිනවා, පේනවා. ඉතින් සුන්දර මතකයකට වේදනාබර දේ එකතුවෙන්නෙ හදවත ගල් කරගෙන වැඩ කරන්න සිද්ධ එතකොට. ඒත් ඒක නම් මෙහේ පැවැත්මේ ක්‍රමය, දොස් කියනු කාට. සමහරවිට සමහර තැනක එහෙම හිතෙනවා. නමුත් තවත් ටිකක් හොදින්, මේ සිද්ධ වෙන දේවල් දිහා අවධානයෙන් බැලුවොත් දකින්න තියන ඇත්තම ප්රශ්නය ඒක නොවෙයි. පරණ ගමේ වගේ එකම තැනින් නොආපු විවිධ පැති වලින් ආපු අය අතරෙ විශ්වාසයක් ලෙහෙසියකට ඇති නොවනවා වගේම, බොරු ලොකුකම්.. තරඟය.. ඇත්තටම නගරයට සංක්‍රමණය වීම කියන සංකල්පය තුළම මිනිස්සු හදාගත්ත බොරු සංකල්ප ගණනාවක්ම නොදැනීම මේ පීඩාවන් ගෙනත් දෙනවා. උගත් කියා කියන සමාජ තුළ තියෙන ණයට ගත් සංකල්ප වලට බලෙන් රිංගන්න යෑම දැන හෝ නොදැන මහා ප්‍රශ්න ගණනාවක ඇරඹුමක් වෙනවා. ඊට පස්සෙ ජීවිත කාලෙම නොදැනම දා ගත්ත ඒ ප්‍රශ්න විසදගන්න කියල විදවගන්නවා.
බොරුවට පයින් ගහන්න තියෙන අකමැත්ත, බය වගේම අවිශ්වාසයත් නිසා නගරයේ බොහෝ දෙනාගේ වර්තමානය වේදනාකාරී වී තිබෙන බව පේනවා. එළියට නොපෙනෙන හිත් පොත් කොච්චර හංගන්න හැදුවත් ඒව සමාජයේ ශුද්ධ රස්තියාදු ගහන ඕනම කෙනෙකුට පෙනෙනවා.
ඉතින් අපේ වෙදමහත්තුරු වටිනා බෙහෙත් හොයන්න කැලේට රිංගනවා වගේ ඒ උදවිය තමන්ගෙම අතීතයට පොඩ්ඩක් රිංගලා බලන්නෙ නැත්තේ ඇයි? ඒ කැලේ හොද බේත් ඇති බවට විශ්වාස නැද්ද? තමන්ට තමන් විශ්වාස නැතිද? එහෙනම්, එහෙම වුනේ ඇයි? මෙහෙම ගියොත් නම් හැමදාම අනුන්ගෙන ටියුෂන් ගන්නවා මිස වර්තමානේ නැමැති විභාගේ ලියා ජය ගන්නට නම් නොහැකි වනු ඇත.
උත්තර තිබෙන්නේ තමන් තුළමය යන්න මගේ අදහසයි. එහෙම කියන්නේ තමන් මුහුණ දෙන ප්‍රශ්න තමන්ම හදාගත්ත ප්‍රශ්න නොවේදැයි දකින්නට ඇති නිසා. එහෙනම් මගේ ප්‍රශ්න වලට උත්තර තිබෙන්නේ මං ළඟ වගේම ඔබේ ප්‍රශ්න වලට උත්තර තිබෙන්නේ ඔබ ලඟ. ඒ හින්දා කියන්න වෙන්නේ අනුන් කොපි කිරීම අසාර්ථකයි කියන එක. හැබැයි තව කෙනෙකුගෙන් ඉගෙන ගැනීම නම් අසාර්ථක නෑ. ඒත් ඒ ඉගෙනීම කළ යුත්තේ ඔබයි. උත්තර දැනගත්තාම විභාගය වේදනාකාරී නොවේවි වර්තමානය සේම.
සුන්දර අතීතය(පාඩම්)
පොත පතේ කියවෙන හැටියටත් වියතුන් කියන හැටියටත් නම් ඕනෑම මිනිස් සමාජයක පරම්පරා අතරේදී සුන්දර අතීතකාමයකින් කතා කිරීමක් තිබෙනවාලු. වර්තමානයට හා අනාගත පරම්පරා වෙත දොස් පැවරීමක් සිදු කෙරෙනවාලු.
අපි තවම වයසක උදවිය නෙවෙයිනේ, නවසිය අග ගණන් වල අය. ඒ නිසා මෙතන පරම්පරා ප්‍රශ්න නෑ. හැබැයි තාක්ෂනයත් එක්ක ලෝකය මුහුවෙලා. වෙනස්වන වේගය වැඩිවෙලා. ඒක නිසා ඊයෙත් අදත් අතර සිදුවුන වෙනසකම් වගේම තත්පර දෙකක් අතරේ වෙන්න පුළුවන් වෙනසකම් ප්‍රමාණෙත් ගොඩක්ම වැඩි බව දැනෙනවා.
කියන්න යන්නෙ ඒ ගැන නෙවෙයි, ඒ නිසා පසෙක දමමු ඒ කතා, මේ කියන්නේ සුන්දර අතීතයක් ගැන. හැබැයි ඒ කතාව අතීතයෙන් එන එකක් වීම මගේ වරදක් නම් නොවෙයි.
සියලු සිදුවීම් පැයෙන් පැය වර්තාවෙන, තොරතුරු වලින් පිරුණු ලොවක් මෙහේ මීට අවුරුදු විස්සකට පෙර තිබුණේ නැහැ. මම හිටියෙ අපූරු ගමක ඒ කාලෙ. වයස අවුරුදු දහයක් නැති තරම් මට. අපේ අවට හිටිය තරුණ, ළමා රෑනක්. ඒ මේ කොයි කවුරුත් අපි යාළුවෝ. සෙල්ලම් කරන්න ගියාම ආපහු ගෙදර එන්නෙ නැති තරමට වත්තෙ පිටියෙ, කුඹුරු කපපු කාලෙට කුඹුරෙ. එහෙදි තමයි මම බොහොම පරණ සෙල්ලම් වගේම හිතේ හැටියට සෙල්ලම් කරන්න පුරුදු වුනේ.
අවුරුදු කාලෙට ගමේ අවුරුදු උත්සවේ කළේ තරුණ අය එකතු වෙලා. ළමා අපි එකතුවෙලා කරපු පොඩි පොඩි අපේම උත්සවත් නොතිබුනා නොවේ. ඒව කළේ සැබෑම සතුටෙන් මිස බලෙන් සතුටක් හදාගන්න නොවෙයි. සරුංගලේ වගේම උණබට තුවක්කුව හදන්නත් මම පුරුදු වුනේ එහෙදි. අපිට හදාගන්න බැරි තැනදි ඒවට උදව් වුන පොඩි ලොකු අයියල රෑනක් අපට හිටිය. තරගෙට ගමින් ගම තරඟ තිබ්බෙ ඔට්ටුවටම නෙමෙයි. දාම් අදින්න විතරක් නෙවෙයි, අපි නොදැන හිටිය ගුඩු චක්ගුඩු අපි කලේ කොහොමද, ඒ වගේ සමහර අය කජුත් ගැහුවා. ඔළිද පුවරු හදාගෙන ඒවයින් සෙල්ලම් කළේ ඇත්තෙන්ම හරිම නිදහසකින්. කොහොම වුනත් එහේ ස්ථිර පදිංචි කරුවෙක් නොවුන මම අපේ ගෙදර අයත් එක්ක එහෙන් ආවෙ මට වයස එකොළහක් දොළහක් වෙද්දි. එන්න කැමැත්තක් නොතිබුනත් එහෙන් එන්න වුනා. කාලය ගත වුනා අවුරුදු ගණනකින්. අවුරුදු පහළොවක් දහඅටක් විතර කාලය ගතවෙලා. දැන් ඒ ගම එතැන නෑ. නම පමණයි.
අතීතය පාඩමක් කියල හිතෙන්නෙ අපි ගොඩනැංවීම ඒ මත සිදුවන නිසා. ඒ පාඩම ගමක් වෙන්නත් නගරයක් වෙන්නත් නැත්නම් වෙන රටක් හරි තැනක් හරි වෙන්නත් පුළුවන්. ඒ කොහොම වුනත් ඒ අපේ ගතවුනු ජීවිතයේ කොටසක්. අපේ මතකයේ කොටසක්. ඒක සුන්දර එකක් නම් ඉගෙනගත්ත පාඩමුත් බොහොම සුන්දර වෙන්න පුළුවන්. එහෙම වුනාම අතීතය ගැන මතක් කරල සතුටු වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඒ අත්දැකීම් වලින් ගොඩක් වැඩ ගන්නත් පුළුවන්.
ඒත් හැම දෙනාගෙම අතීත මතක සුන්දර වෙන්නෙත් නෑ, ඒත් ඒ අතීත මතක ඇතුළෙ රස්තියාදුවක් ගහල ඒක ශුද්ධ කරන්න ගත්තොත් වැරදුනු තැන් හදාගන්නත් පාඩම් ගොඩක් ඒ මතකයේ නැතිවෙන්න නම් බෑ, නේද? මං හිතන්නෙ නම් හැම දෙනාටම හොදින්ම ඉගෙන ගන්න පුළුවන් තමන්ගෙන්මයි.
Wednesday, November 28, 2012
Tuesday, November 27, 2012
සුළඟට ළෙලෙනා(ස්ථාවරේ)
ස්ථාවරේ කියන්නේ හෙලවෙන්නෙම නැති දෙයක්ද? ඒක දෙදරන්න, කැළඹෙන්න බැරි දෙයක්ද?
මං ඒ ගැන තේරුම් ගත්ත සරල විදිහයි මේ,
මොන සුළං ආවත් මගේ ස්ථාවරේ - මොන කැළඹිල්ල ආවත් මගේ ස්ථාවරේ - බලලත් හා බලවත් අයගේ ලෙස මෙහේ - සුළඟටම ළෙලෙවනා අස්ථාවරේ නම් නොවේ. එබැවින් කබරගොයා කිසිවිටකත් තලගොයා නොවේ. තලගොයා කිසිවිටකත් කබරගොයාද නොවේ.
ඒ කන්ද දෙස මේ කන්දේ සිට බලන්නේ නැතිව, මේ කන්ද දෙස ඒ කන්දේ සිට බලන්නේ නැතිව අතරමැදින් සිට දෙපස බලා, අවට බලා, ඕනෑ නම් ඒ හැම තැනටම ගොස් බලා- ඒ කන්දත්, මේ කන්දත්, අර කන්දත් ගැන සමබරව දැනගන්නට හැකි නම්, මොකද්ද ඒ ගැන ඔබේ ස්ථාවරේ.. ඒක හොද වේවිද අපේ ස්ථාවරේට, රටේ ස්ථාවරේට.
Monday, November 26, 2012
Subscribe to:
Posts (Atom)