Showing posts with label අංහලෙන් උගත් සිපි. Show all posts
Showing posts with label අංහලෙන් උගත් සිපි. Show all posts

Wednesday, July 4, 2018

මුග්ධ කාම


පී..කේ...

මිනිස්සු කියන්නෙ එක්තරා දියුණු සත්ත්ව කොට්ඨාශයක්. ජීවත් වෙන මහද්වීප අනුව රටවල් අනුව මිනිසුන්ගේ බාහිර ස්වරූපයේ සුළු සුළු වෙනස් කම් තිබෙනවා. සමේ, පැහැයේ, ඇසේ, නාසයේ, උසේ, මහතේ එනම් ශරීර ප්රමාණය මත ආදී වශයෙන්. ඒවා බොහෝකොට පරිසර සාධක හා ආවේණිය ඔස්සේ ප්‍රවේණි ගත වූ සාධක. එමෙන්ම භාවිතයන් අතින්ද ඔවුන්ගේ වෙනස්කම් තිබෙනවා. එහිදී ප්‍රධාන වන්නේ භාෂාව. ඔවුන් එකිනෙකා සමඟ සන්නිවේදනය කරගන්නේ කට හඬ මුල් කරගෙන වැඩි දියුණු වී ඇති ඒ භාෂාව නැමති මාධ්‍ය ඔස්සේ. එවැනි වූ භාෂා සුවිශාල ප්‍රමාණයක් මිනිසුන් අතර තිබෙනවා. රටින් රටට මේ භාෂා වෙනස් වනවා සේම එකම භාෂාව විවිධ රටවල ප්‍රචලිත වී ඇති අවස්ථාව තිබෙනවා. ඊට අමතරව එකම රට තුළ එකම භාෂාවේ විවිධ ප්‍රභේද සේම එකිනෙකට වෙනස්ම භාෂාවන්ද භාවිත වෙනවා. ඉන් සමහර භාෂා ඉතා දියුණු තත්වයේ පවතින අතර භාෂාව කටහඩින් තොරව භාවිත කළ හැකි ක්‍රමවේදයන් මිනිසුන් අතර තිබෙනවා. එය භාෂාව සටහන් තබන ක්‍රමයක්. ඒ සඳහා ඒ ඒ භාෂාවට අදාළ නීති රීති පද්ධති තිබෙනවා. මේ භාෂාව මිනිසාගේ දියුණුවට සේම විනාශයටද බලපා තිබෙනවා. රටක රාජ්‍ය භාෂාව ලෙස භාෂාවක් නම් කිරීමේ සිට මේ බසෙන් රට ගැන කීමට තැනූ ගායනා විලාශයක් වන 'ජාතික ගී' ගායනයේදී පවා භාෂා ප්‍රශ්න මතුවිය හැකියි. විශේෂයෙන් භාෂා කීපයක් එකම රටක භාවිත වන විට එය මේ ගැටුමට හේතුවෙනවා. තවත් හේතුවක් වන්නේ මිනිසුන්ගේ ඇදහිලි විශ්වාස දැනුම සියළු දේ මේ භාෂාව ඔස්සේ සන්නිවේදනය වීමයි. එතුළ මේ සියල්ල ඒකාබද්ධව සැකසෙන සංස්කෘතිය නැමැති සමාජ පැවැත්මේ වැදගත් සාධකය ඉස්මතු වීමයි. එනිසා භාෂාවෙන් ඇතිවන අවහිරය නවතින්නේ සංස්කෘතියෙන්. ඒ අවහිරය ගැටුම් යුද්ධ දක්වා වර්ධනය වූ අවස්ථා තිබෙනවා. නමුත් දියුණු ලෝකයේ තාක්ෂණය නැමති සාධකය මත අද වන විට මිනිසා වඩාත් ප්‍රචලිත භාෂාවන් ඔස්සේ පුළුල් සන්නිවේදනයකට ප්‍රවේශය ලබා මිශ්‍ර සංස්කෘතීන්ට ගමන් කර තිබෙනවා. එහිදී දියුණු මිනිසා වටහාගෙන ඇත්තේ අනවබෝධය අවබෝධය තුළින් ජයගන්නටයි. ඒ සඳහා වන මෙවලමක් ලෙස උහු තාක්ෂණය භාවිත කරනවා. අන්‍ය සංස්කෘතික අවබෝධය මෙන්ම ඇගැයීමටත් රසවිඳීමත් ඔස්සේ එකිනෙකා සමීප වීම මෙතුළ සිදුවනවා. තමාට සමාන මූලික අවශ්‍යතා, සමාන හැඟීම් දැනීම් පද්ධතියක් අනෙකා සතු බවත් භාෂාව හෝ සංස්කෘතිය පරිසරමය සාධකයක් බවත් අද මිනිසා හොඳින්ම දන්නවා. නමුත් තවමත් ඈත එපිට රටවල විවිධ ජනකොටස් අතර මේ භේද පවතිනවා. ලෝකයේ දියුණුයැයි කියන රටවල පවා නොදියුණු මිනිස්සු සිටිනවා. නොදියුණු රටවල දියුණු මිනිස්සු සිටිනවා. ජානමය සාධක මත මිනිසුන්ගේ බුද්ධියේ අවබෝධයේ පවතින වෙනස්කම් සේම හැඟීම් දැනීම් පද්ධතියේ ඇති අසීමිත සංස්කෘතිමය බන්ධනයක්ද මේ නොදියුණු කමට හේතුවනවා. මේ නොදියුණු කම දැනුම හරහා යම් මට්ටමක් දක්වා දියුණු කළ හැකියි. ඒ සඳහා අද සමාජයේ බොහෝවිට භාවිත වන්නේ දැනුම අවබෝධය කරා සමාජගත කිරීමේ විධිමත් ක්‍රමවේදයක් වන අධ්‍යාපනය. මෙය විධිමත් ලෙසින් මෙන්ම අවිධිමත් අංශයකින්ද යුතු වනවා. අද අධ්‍යාපනය ආපසු අකුරට යන්නට උත්සාහ කරන විට අපට අධ්‍යාපනය සඳහා මෙවැනි අවිධිමත් අංශ භාවිත කිරීමට සිදුවෙනවා. මිනිසුන් තම පාලන කටයුතු වෙනුවෙන් පත්කර ගන්නා නියෝජිතයන් ඔවුන් කරනා දේශපාලනය ඒ උදෙසා පැවැත්වෙන ඡන්ද මේ සියල්ලට අධ්‍යාපනයෙන් දෙන අවබෝධය බලපෑම් කරනවා. එම නිසා ඒ හරහා මිනිසාගේ නොදියුණු ලක්ෂණ දියුණු තැනකට එසවීම රටවල සංස්කෘතීන්ගේ නොදියුණු ලක්ෂණ වලින් දේශපාලනය කරනා නියෝජිතයන්ට ගැටලුවක්. භාෂාවෙන් සන්නිවේදනයෙන් විසඳා ගත හැකි සරල ගැටළු වර්ණවත් කර සංස්කෘතිය දක්වාත් අවසන ජාතීන් වශයෙන් වෙන් වීම් දක්වාත් ගෙන යන්නට මේ දේශපාලකයන්ගේ දේශපාලනයට හැකියාව තිබෙනවා. ඒ සියල්ලට නොදියුණු මිනිස් ලක්ෂණ, සංස්කෘතිමය බන්ධන වල සිට නොයෙක් වර දාන ලබාදීම ඔස්සේ තමන්ම ගොඩනැංවූ විවිධ සමාජ කණ්ඩායම්ද ඔවුන් භාවිතයට ගන්නවා. මිනිසාගේ දියුණුව ආපසු හැරී ලෝකය විනාශය කරා පන්නන දක්කන තත්වය නිර්මාණය වන්නේ එතැනින්. මිනිස්සු කියන්නෙ 'එක්තරා' දියුණු සත්ත්ව කොට්ඨාශයක් කියා මුලින්ම සඳහන් කෙරුණේ මේ නිසා. ඒ 'එක්තරා' කොටසේ ඇති ගෝත්‍රිකත්වය අභිබැවෙන තත්වයේ සිහියකට එනතෙක් මිනිසා යනු ලෝකයේ දියුණුම සත්වයා නොවේ.

(වො ෝ ට්)ස්


Tuesday, July 3, 2018

වි කලා


ඔය වත වසා ගන්නට උවමනා නැත


පස් මහ බැලුම් - අතිශයින්ම සරල නැත

නිව්යෝක් ටයිම්ස් අපේ ටයිම්ස් වලින් වෙනස්ය. ටයිම්ස් කියන්නේ කාල යයි. බොසතාණෝ කල් බැලුවේ මිනිසුන්ගේ මනසට නැණස පාදා ගන්නට සුදුසු විවේකය සහිත කාලයක් උදාවන තෙක් ය. නිසි කාරණයට නිසි කාලය නොලැබීම අරගලයට කාරණයකි.

කොළඹ පදිංචිය දියුණුවට පහසුකම් සපයතියි අප රට වැස්සන් අතර අදහසක් වෙයි. බෝසතාණෝ තමාට සුදුසු පෙදෙස තෝරාගත්දේත් හොඳ ඉගෙනුමක් දියුණුවක් ලබාගන්නට විය යුතුය. සුදුසු පෙදෙසක නොවීමද අරගලයට කරුණකි.

අපේ රටේ බොහෝ දක්ෂයෝ සිටියත් අඩු තරමේ ඉංග්‍රීසියේ ප්‍රාගුණ්‍යයක් නැත්නම් ජාත්‍යන්තරය යනු අන්තර්ජාලය පමණක් වන්නේය. ජාත්‍යන්තරයේ පෘථුල ඇදහීමක් තබා පෘථුල ලෙස නම රැඳවීමත් අප වැනි චූල සංස්කෘතිකයන්ට අදද පහසු නැත. නමුත් ඒ අතින් ඉන්දියාව, ගැඹුරත් උසත් දිගත් පළලත් සරල සංකීර්ණ මෙන්ම සුන්දර අසුන්දර සීමා මායිම් වලින්ම මහා සංස්කෘතියකි. ඒ පිළිබිඹුවේ සුරක්ෂිතතාවය දැවැන්තය. පැතිරීමද විහිදීමද දැවැන්තය. බෝසතාණන්ට අවශ්‍ය හරබර ස්ථාවරත්වයට එය හොඳම තෝතැන්නක් නොවේද?.. සමහරු පදිංචියට එවැනි දේශ වෙත සංක්‍රමණය වන්නෝය. දේශය නොනැංවීමද නිරන්තර අරගලයට හේතුවකි.

කුල ගෝත්රයට අදට වඩා එදා තිබූ සමාජ පදනම නොකිවමනාය. හුදෙකලාව හෝ හිස ඔසවා ගන්නට, බත් මුඛය පාදා ගන්නට, විලිය තිබුණා වුව තමාට අවැසි ලෙස එය වසා නොවසා ඉන්නට අඩු කුලයන් ලෙසින් නම් දැරූවන්ට අවසර තිබුණේ නැත. බෝසතාණෝ මේ පදනමට පහර දෙන්නට සුදුසු තැන එතැන තෝරා ගති. කුල හීන නිහීන යටපෙළ අදද අරගලයකි.

මවගේ ඒඩ්ස් දරුවෙකුට නවීන සමාජයේද හදිකළ තරම්.මව් මතක් කිරීම නින්දිත ලෙස බුකියේද කෙරෙන්නක්. ගෙදර බුදුන් නම් අපේ ගෙදර ද අනෙක් ගෙදරද වෙනස්ව සිටින්නක. ඇගේ ගුණය දරුවාගේ ගුණය නංවන්නේය. මව අප සමාජයේ ප්රමුඛ ස්ථානයේ අදටත් වන්නේ එබැවිනි. ඉතිං බෝසතාණෝ ඒ ගුණයට සුදුසු තැනම ලබා දුන්නෝය. ජීවනය ලැබීම, කළලය නොමරා ගැනීමම නූතන අරගලයයි.

මේ බොහෝ අරගල වල මූලයන්ය. සසර පුරා මේ අරගලයේ නිමාවක් නැත්තේය.

බෝසතාණෝ උපතින්ම මේ සියළු අරගල වලින් මිදුණ නිසා නිවන වෙනුවෙන් අරගල කරන්නටත් බොහෝ දෙනා මේ අනවතර සසර අරගලයෙන් ගලවන්නටත් හැකිවිය. ඒ  තමන් විසින්ම සසරේ උපයාගත් ශක්තියේම ඥානයේම අනුහසිනි.

පදාර්ථයෙන් ශක්තියෙන් සපිරි ලෝකයක එයින්ම සුසැඳි මිනිසා සියල්ල වෙනුවෙන් සොයන භෞතිකවාදයේ විසඳුම් අදටත් විග්‍රහ නොවූ පදාර්ථ හා ශක්තීන් වෙනුවෙන් අකාලිකව නම් වලංගු නැත. එබැවින් සසරේ ප්රශ්න සදාකාලික අරගල තුළමය-කියන්නට සිදුවේ.

Saturday, June 30, 2018

යථාර්තය පිරිසිඳිමි

ජීවිතය ගෙවී යයි..
හිරු නැගී බැස යන්නා සේ..
බාල වියෙන් තුරුණු වූ සිත කතර මැදින් වියපත් බවට පා නගනා සැටි..
පාට උලා සායම් පොවා වසා ගත නොහැකි ලප කැළැල්ද රැළි පෙරළිද නොමැති කිසිවෙකුත් නැත මෙ මිහිපිට..
දහස් ගණනින් අප එකිනෙකා හමුවූ ලෝකයේ දීම අප එකිනෙකාගෙන් සමුගන්නට නියමිතය..
අප කුඩා කළ ඇසු දුටු බොහෝ දේ අද වියපත්ය..
එදා සජීවී ඇත්තෝ සමහරෙක් අද මළවුන් අතරය..
අප පියවර මැන ගිය නගර මංමාවත් අද නැවුම් සළුපිළිවලින් සැරසී නව ජීවයක් ලබලාය..
එහෙත් නැවුම් පිළියෙන් සැරසී නැවුම් ජීවයෙන් පිබිදෙන්නට අපට නොහැක..
අපි වියපත් වන ජීවීන් වන්නෙමු..
බාල වියේ එකිනෙකා හා සුරතලයෙන් කෙළිදෙළෙන් හුන් කාලය යළි නොලැබෙන්නේය..
බැක් ටු ස්කූල් වූවාට ජීවිතය යළි ආපසු නොහැරෙන්නේය..
අපි ජීවිතයේ එක් පරිච්ඡේදයක් අවසන් කළ බව හැඟේ..
කවර ලෙසින් කොතැන කොයි තරාතිරමෙන් සිටියත් සමකාලීනයන්ට ඒ මානසික පෙරළිය දැනේ..
තුරුණුවියට එළඹෙන්නන් සේම එයින් නික්මෙන්නන්ද ලබන්නේ අලුත් අත්දැකීමකි..
වටහා ගන්නේ ලෝකයේ තවත් ලෝකයකි..
එය ජීවිත ආලෝකය පිණිස වන්නේ නම්, ජීවිත අවබෝධය පිණිස වන්නේ නම්,
ස්තූති වේවා....!
සකළ ලෝක වාසීන් හා මෙතෙක් අප නිර්ලෝභීව පෝෂණය කළ ස්වභාව ධර්මයාට..
තවත් ලෝකයක් දකින තෙක් අප මේ ලොව අවබෝධයෙන් පියමං කළ යුතුය..
බොහෝකොට කතා නොකරන යථා බව හඳුනා අවසරයි එසේ නම් යන්න තව ඉදිරියට..

පොල්පිති...සහ පොල්ලෙලි


Friday, June 29, 2018

නුඹ....!

අහස යනු ඇගෙ හිත නම්
හඳ යනු සිසිල වේ එහි
හිරු යනු එළිය නම්
තරු යනු වරුණ වේ එහි

වැහි වළා යනු දුක නම්
නිල් ගගන සතුටම වේ මැයි
අකුණු ත්‍රාසය වේ නම්
ගිගිරුමද බිය දේ මැයි

වැසි බිඳුව කඳුළක් වේ නම්
සිනහ පවනේ රැළිමයි
තත්පරයකුත් පාසා
එක ලෙසට ඉන්නට බැරි ඇයි

සිතින් විඳ විඳ හුන්නත්
අතින් අල්ලනු බැරිවෙයි
දිනෙක නැළැවෙන නිළඹේ
සොරා ගනු රිසි නුබමැයි

පෞද්ගලීකකරණය

ඉර යි තරුයි
විතරයි තව
නොඇල්ලුවේ අප
හඳත් පයින්
පාගාලා
ඇත්තේ අපෙ අය
සිහිල් ජලය
ගුවන් තලය
උණුහුම් කළෙ අප
රළුව වදින
පවන් දහර
හැදුවේ අපෙ අය
සොබාදහම
ඔබට බැරිය
පාඩු විඳින්නට
ඔබෙ දේපළ
අපට දෙන්න
ලාභ ලබන්නට

Tuesday, June 26, 2018

අතුරු සිදුරු

මදුරුවෝ වගේ නොවන අලි කොටි වග වලසුන් අතින් තලා විනාශ කළ හැකි හෝ පරිසරයේ පිරිසිදු කමෙන් යාමනය කළ හැකි හෝ සත්ව කොටසක් නොවේ. සතුන් මරා දමා පරිසර සමතුලිතතාව බිඳ තිරසාර විසඳුම් ලද හැක්කේද නොවේ. ඩෙංගු මැලේරියා නොහැදුවද අලියා මිනිහා අතර ඇති අරගලය, ඉඳ හිට වාර්තා වන කොටි වලස් කතාවට වඩා සමාජයේ ගැඹුරට ගිය එකකි. වරද අලියාගේද මිනිසාගේද යනුවෙන් වදවීමට වඩා වග වීම සපුරා ඇත්තේ මිනිසා සතුව බව වටහාගෙන ක්‍රියා කිරීම නොවෙද කළ යුත්තේ.
බලය සහිත වූ පමණින්ම බලධාරී හෝ නිලය දැරූ පමණින් නිළධාරී බව දරන්නන් නොව මොළය සහිත මොළධාරීන් පිරිසක් රටේ මහජනයාට නිරන්තර බලපාන ගැටළු සඳහා දිගු කාලීන දේශපාලනමය නොවන සමාජමය ප්‍රතිපත්තිමය විසඳුම් ලබාදීමට තෝරාගත නොහැක්කේ ඇයි. පත් නොකරෙන්නේ ඇයි.
අණ සහ බණ පටලවාගත් එකතැන පල්වන සමාජයක් හිට්ලර් සොයා අතීතයෙන් අනාගතය දකින්නට හදන්නේ පල්වීමෙන් කුණුවන මොළගෙඩි වලට ඉන් එහා කල්පනාවක් ඇති නොවන්නේ මෙ බැවින්මයි.
වරද පෙනෙයි, දැනෙයි. ඒත් අපි එකතැනයි. උත්තර සරලයි. අපේ අමනෝඥකම ඉහළයි. එකඟතාවයන් හීනයි, මතවාදයන් බහුලයි. අවසන් ප්‍රතිඵලය උදාසීනයි, නිෂ්ක්‍රීයයි. බොහෝ ස්ඵෝටනයන්ගේ සද්දෙයි දුමයි විතරයි. මිනිසුන් අනෙකා නසා සතා සීපාවා මරා දමා හෝ තිරශ්චීනව විසඳුම් සෙවීමේ එක්තරා හේතුවක් එතැනයි.
අප රටක් හැටියට නිවැරදි කාල රාමුවකට පිවිසෙන්නේ කවදාද.. අප්පමාදෝ අමත පදං.. මතුබුදුවන බුදුන් දැක නිවනටත් ප්‍රමාදය පතන අපි අඩු තරමින් යහ ජීවනයක් උදෙසාවත් අප්‍රමාද නොවන්නේ මන්ද.. කාලකණ්ණි කම යනු එයයි.

අත බලා, පොත බලා, මූණ බලා, අහක බලා කියම්!

👳ඔබට අවශ්‍ය අද දවස කොහොමද දැනගන්න
👷නෑ, මම දන්නවා මට අද කරන්න තියෙන දේ
👳එහෙනම් ඔබ කැමතියි ඔබේ හෙට දවස ගැන දැනගන්න
👷ජීවිතේ අනියතයි හෙටයි කියල වෙනසක් නෑ මගෙ හිතේ
👳ඔබ ආසවෙයි ඔබේ වාසනාව හොයාගෙන යන්න
👷හොයාගෙන යන්න වෙන එක අවාසනාව නේද, ඕක උත්සාහය
👳සුදුසු රැකියාව ගැන දැනගමුද
👷සුදුසු දේ මම තීරණය කරොත් ඒක ප්රශ්නයක්ද
👳විවාහය ගැන, දරුඵල ගැන..
👷ඒක මට බලාගන්න පුළුවන්, වදවෙන්න එපා ඒ ගැන
👳අපල උපද්‍රව නොසළකන එක හොඳ දෙයක් නෙවෙයි නේද
👷මම කොහොමත් සිහි කල්පනාවෙන් ජීවත් වෙන්නෙ, ඒක හොඳයි නේද
👳එහෙනම් මම යන්නද
👷ස්තූතියි මං ගැන වද වුනාට, නැකතක් නැතුවම තේ එකක් බීල යන්න..