Saturday, April 27, 2019

භ්‍රාන්ති වාදයේ ඇත්ත කතාවක් (තාක්ෂණික පද හරඹයෙන් මොබ්බේ)

ත්‍රස්තවාදය ගමේද තිබේ. භුමියේ මෙන්ම බුකියේද තිබේ. සරල නොවන ත්‍රස්ත ක්‍රියා අපේ ඇස් පනාපිට දිනපතා සිදුවේ. අනිසි බලපුළුවන්කාරකම්, නොමනා තුප්පහි කඩාකප්පල්කාරී, කාලකණ්ණි නීතිවිරෝධී ක්‍රියා කරන්නෝ කොතැනත් සිටිති. ගම් මට්ටමේදී ඒවා කරන්නෝ ගමේ ත්‍රස්තයෝය. ඒවා මඬින්නට නීතියෙන් රීතියෙන් කටයුතු නොකොට එවැනි ක්‍රියාවන්ට උල්පන්දම් දෙන්නෝ ප්‍රාදේශීය බලධාරීත්වය නිලධාරීත්වය තුළද සිටිති. එසේ ගමේ ආණ්ඩුවෙන් අසාධාරණයට ලක්වීමේදී ජාති, ආගම්, පාට, පක්ෂ, කුල මළ, ඉඩ කඩම් බේදයක් නොසැළකේ යයි කියා කියූවොත් එය සපුරා බොරුවක් වෙයි. අත්දැකීමෙන්ම කිව යුත්තේ තමාගේ සමාජ පසුබිම මේ සියලු කාරණා තුළදී අදාළ පාර්ශ්වයන් වෙත නියමින් හෝ අනියමින් බලපෑම් කරනා බවයි. සමහර විට ජාතිය පරදා ආගම ඉස්මතුවන අවස්ථාද ආගම පරයා කුලය, ධනය ඉස්මතු වන අවස්ථාද ඒ සියල්ල පරදා දේශපාලන පැහැය ඉස්මතු වන අවස්ථාද කොතෙකුත් වෙයි. එනිසා මෙය හුදු වාර්ගිකතත්වය ඉක්මවා ගිය ජාතික ප්‍රශ්නයක් වෙයි. ගමක උදාහරණයක් ගනිමු. සමහරක් ගම්මු තම අසල්වැසි කොටස් කරන ලද ඉඩමක පදිංචියට පැමිණෙන්නා හඳුන්වා දෙන්නේ පිටගම්කාරයා, කොටස් ඉඩම් කාරයා යනුවෙනි. එහිදී ඉස්මතු වී ඇත්තේ ජාතිය ආගම නොව අදාළ තැනැත්තා පදිංචි ඉඩමේ ස්වභාවයයි. ඔහු බැහැරින් පැමිණි පදිංචිකරුවෙකු වීමයි. ඔහු හොඳ සාධාරණ කෙනෙක් යයි සිතමු. ගම් වැසියා දරදඬු මුග්ධ තැනැත්තකු යයි සිතමු. ඉඳින් යම් ගැටළුවකදී මේ සියල්ල නොසලකා ගමේ ආණ්ඩුව ගම් වැසියාගේ පැත්ත ගෙන සළකන්නට ගියොත් එකම ජාතියේ ආගමේ වුව ලංකා පුරවැසියෙකු ලෙස කොටස් ඉඩම් කරුවාට සිදුවන්නේ බලවත් අසාධාරණයකි. එවැනි විටෙක තම අසාධාරණය උදෙසා තවදුරටත් සටන් කරන්නට ගියහොත් අත්දැකීම් අනුව කියන්නට සිදුවන්නේ ගමේ ත්‍රස්තවාදය එවිට හොඳින්ම අත්විඳිය හැකි බවය. එය ලංකාවේ හෝ නොදියුණු රටක ස්වභාවයද? එසේ කියා පිට රට පදිංචියට යන අයත් නැතිද?
ඇති හැකි අය පිටරට සරණ සොයද්දී අසරණ ලාංකිකයා දේශපාලන හමට තඩි බබා විවිධ ආරයේ ත්‍රස්තවාදීන්ගෙන් සදාකල් බැටකන්නේය. දේශපාලන ත්රස්තවාදීන්ගෙන් පමණක් නොව ඔවුන්ගේ ඇම්බැට්ට ව්‍යාප්තවාදීන්ගෙන්ද අපමණව බැට කන අප ඒ ඒ මොහෙතේදී පමණක් මඳක් හිස ඔසවා ආපසු එය ගසා ගන්නේ දෙකකුල් අතරය.
එකම ජනවර්ගය ඇතුළත සිදුවන මෙවැනි ගැටුම් දහසක් අතර අපි රටක ලාංකීය ජාතිකත්වය ඇතුළේ ජන වර්ග අතර සාමය සමඟිය ගැනත් ගෝලීය ත්‍රස්තවාදයක් ගැනත් අද කතා කරමු.
අර මා කලින් කියූ ගමේ ත්‍රස්තවාදයෙන් බැට කන ජනයාට ගම තුළ සාධාරණය ඉටු කිරීමට අසමත් බලධාරීන් ලෝක ත්‍රස්තවාදයෙන් රට මුදා ගන්නට සමත් වේද?
ත්‍රස්තවාදය මිලේච්ඡ වීමට මිනී දහස් ගණනින් රට තුළ මිහිදන් විය යුතු නැත. ත්‍රස්තවාදයේ සළකුණු පෙනෙන තැනක් ඇත්නම් එතැන ත්‍රස්තවාදීන් සිටිය යුතුමය. අද හතර අත ඉව අල්ලා හොයන ත්‍රස්තවාදයේ නාමය කුමක් වුවත් හෙට රට යළි සැබෑවට ගොඩ නගන්නට නම් ඔය ඉව ඇල්ලිය යුත්තේ ජාති ආගම් බේදකයින් තොරව ගමේ ත්‍රස්තවාදය වෙතයි. ඒ පිටුපසද බුරුතු පිටින් සිටින්නේ ගම්බද දේශපාලකයන්ය. සමහර තැනක ගරු නම්බු පට්ටම් ගසාගත් කළු සුදු ව්‍යාපාරිකයින්ය. නගරයේද ඒ අයුරින්ම ත්‍රස්තවාදය තිබේ. ප්‍රදේශීය, නාගරික පොලිසි, ප්‍රාදේශීය, නාගරික සභා, ලේකම් කාර්යාල.. පළාත් පාලන ආයතන, ඒවායේ කොමසාරිස්වරු මේ ආශ්‍රිතව පවත්නා දේශපාලනමය හා නිලධාරී ත්‍රස්තවාදයන් ද පරාජය කිරීම රටට අවැසිය. හැම දෙනා අතරින් මේ සරල නොවන ත්‍රස්තවාදය තෝරා පරාජය නොකරන තාක් ලෝක ත්‍රස්තවාදයට නැවත වැඩෙන්නට මෙහි ඉඩ ඇත. නිදහසේ සිට ගත්තද ගමේ ත්‍රස්තවාදය භාවිත කරමින් රටේ බලය අල්ලන්නට වලිකෑවා මිස ගමේ ත්‍රස්තවාදය ගැන කතාකළ ශික්ෂිත දේශපාලකයන් සිටින්නට ඇත්තේ අල්ලක් පමණි. නමුත් මල්ලක අස්වැන්න අල්ලක අස්වැන්නට වඩා වැඩි හෙයින්ම ගමේ වර්ණනාවට යටින් වැඩුණු ත්‍රස්තවාදයක් අද දක්වාත් එයි. ඒ ත්‍රස්තවාදයට ත්‍රස්තවාදයකින් ම ප්‍රති උත්තර සෙවූ ලාංකිකයෝ කීප විටක් විනාශය අත් දැක්කේ කිනම් ත්‍රස්තවාදයේත් අවසන් ප්‍රතිඵලය අවි ගැන්ම නම් එය අවියෙන්ම නස්නා බව පසක් කරමින්ය. අවි දරණ ත්‍රස්තවාදය එසේ වුව අවිනොදරන ත්රස්තවාදය අද වන විට ගිනි තබා ඇත්තේ අපේ රටේ භෞතික දේපළ වලට නොවේ. මානව සම්පතටය. ලාංකීය චින්තනයටය. ඒ බව තේරුම් නොගත් බොහෝ උදවිය සිතන්නේ ත්රස්තවාදය අන්තවාදය හුදෙකලාවේ බිහිවූ බවක්ද? හුදෙකලාවේ නසා දැමිය හැකි දෙයක් බවද?
අපේ රටේ උගතුන් බුද්ධිමතුන් දන්නා කාලයක සිට කතා කළේ එකම දෙයකි. දැන් දැන් විවිධ නම් වලින් හෝදා හෝදා මඩේ දැමුවද අපට කතාකරන්නට ඇති අවසානය එතැනය. දෙකෝටියක් දෙසිය විසිපහක් මඟින් නැටවෙන යුගය අවසන් කළයුතු බවය. දෙකෝටියක් ප්‍රාණ ඇපයට ගෙන දෙසිය විසිපහකුත් එකක් භ්‍රන්ත ත්‍රස්තයන් නටන ජාතික නාඩගම අවියෙන් තොරව සවියෙන් නැසිය යුතු බවය. නැණ සවිය මිස  අන් මගක් නැත.
අප යහ සමාජයක් පැතුවේ පාසල් කාලයේදීමය. එබැවින් දැන් නැවත නැවත පතන්නට දෙයක් නැත.
ඇත්තේ වගකීම ඉටු කරන්නටය. කුඩා කළ සිටම නීතියට යුක්තියට ගරුසරු නැතිනම් ඒ ගම්බඳ ත්‍රස්තවාදය නවතින්නේ ලෝක මට්ටමිනි. ප්‍රභාකරන් තැනුනේද මේ රටේය. අද අයි එස් අයි එස්ය. ඊට අවශ්‍ය පිටුබලය සපයන්නේ ගමේ ත්‍රස්තවාදයයි. නීතියට අනුකූල වීම තමන්ගේ මහන්තත්වයට කැළලක් ලෙසින් සළකන ගමේ මන්ත්‍රී දැන නොදැන පෝෂණය කරන්නේ රටේ ත්‍රස්තවාදයයි. රටේ රාළ ලා ඉහටත් උඩින් නීතියට ගරුකරනා බැවින් රටටම නීති උණ හැදෙන්නේ මෙවැනි විටෙක යි. ඒ වන විට හාර පන්සීයක් මිනිස් ජීවිත උඩින් ත්‍රස්තවාදියා අන්තිම   කෝච්චිය දක්කා අවසානය.
ආගමෙන් තමන් වෙත පැවරෙන ශික්ෂාවට අකමැති වේවා කුඩා නීතියේ බලය සියල්ලන්ට සමානව ගමේ සිට පටන් ගන්න. අපට මෙසේ සමාජ ජාලයේ රිංගන්නට එවිට උවමනාවක් ඇතිකර යටිහිත කරදර කරන්නේද නැත.
මේ අවස්ථාවේදී බෝම්බ තැබූ ත්‍රස්තවාදින් මියගොස්ය. ඉතිරි පිරිස් අත්තඩංගුවට ගෙන ඇති අතර තව දුරටත් ඒ සඳහා මෙහෙයුම්ය. මේ හදිසි කාලය ගෙවීයාවී. ආයෙත් පගාව, ජරාව දේශපාලන බලය හිස ඔසවාවි?
ඊට පස්සේ අන්තවාදයත් ලෝක ත්‍රස්තවාදයත් අමතක වේවි? ගම නො හදා රට හැදේවිද? දෙකෝටියක ට නීති හදන්න තව මොන බල බෙදීම්ද, තියන බලයත් පරෙස්සමට අරන් තියන රටක මේ බල අරගල මනුෂ්‍යතත්වයේ සීමාවට ගෙනාවනම්, බොරු නොහොත් පච වෙනුවට සත්‍යවාදී වගකීමෙන් බැඳී වැඩ කරනවා නම්, ඊළඟ වෙසක් පෝය වෙද්දි අඩු තරමෙ රටේ මේක ලෝකයේ සුරක්ෂිතම රට වේවි. ඒකට තම වගකීම තව පුද්ගලයන්ගෙ කරේ නො දාන්න 225ට යි තව එකෙකුටයි  පමණක් නොව දෙකෝටියකටම හැකිවිය යුතුයි. අප ඔවුන්ව දිය බැඳි මාළිගාවේ ඒ අරමුණෙන් ප්රඥාතන්ත්රයෙන් යුතුව කොටු කළ යුතුමයි. නැත්නම් වෙන දේ බලා දෙන මේ පලා මළවා රස විඳිමු පෙරසේම.

No comments: