Monday, February 20, 2017

මිල්ටේරිකාරයෝ (පුංචි විකිපීඩියා පොත්)

95 දී මනුක ජයතුංගගෙන් (පාසල් මිතුරෙකි) ලබාගෙන කියවූ රසවත් පොතකි. මෑත කාලීනව අප අත්විදි 30 ස් අවුරුදු යුධ මානසිකත්වයට පෙර ලෝකයම කදවුරු කල දෙවන ලෝක යුධ සමය පාදක කොට සැකසුණු ගැටවරයන්ගේ කතාවක් වූ එය, එදා සේම මෙදාද මතකයේ පිටුවක තදකුරු සටහනක්ව තිබේ.
පොලාරිස් .. කතාවේ කථකයා ඔහුයි, මගේ මතකය නිවැරදි නම්.... අවසනාවට මෙහි රචකයා මතකයෙන් ගිලිහී ඇත. කෙසේ නමුත් ඔහුට පින් සිදුවන්නට දෙවනලෝක යුධ සමයේ ලංකාවේ ගැටවරයෙක්ව හිදින්නටත් අපට පුලුවන් විය.
සල්ලි කොලය දෙකට ඉරා වටිනාකමෙන් අඩක් භාවිත කළ හැටි, දිය යටින් ගිය අමුතු කාරය, ප්‍රතිඋපකාරයට අපේ උදවියට ලැබුණු සිගරට් පැකැට්ටු, මිනීමස් කතැයි බිය ගෙනදුන් කාපිරි සොල්දාදුවෝ, පාසැල් භූමියේ යුධ අභ්‍යාස, කොළඹ වරායට ඉහළින් අපේ ගුවන් සීමාව බිදගෙන ගිය ජපන් ගුවන් යානා.... ගැන මගේ මතකය නිවැරදි නම් මේ පොතේ සදහන්ව තිබුණාමය.
තවත් බොහෝ විස්තර එහි තිබුණි. මිල්ටේරිකාරයෝ නාමයෙන් හැදින්වූයේ මිත්‍ර පාර්ශ්විකව අප රටට පැමිණි පාර්ශ්වික හමුදා කණ්ඩාම්‍ ය. සුදු සහ කලු දෙපිරිසම ඒ අතර විය. ගම් වල කදවුරු ගසා ගත් ඔවුන් ඒ යුධ සමයේ අපේ පහර ලැබීමේ අවධානම පහවන තුරු මෙහි රැදී සිටියෝය. බෝම්බ වැටෙන විට ලී කැබැල්ලක් කටේ ගසාගෙන අගලකට පල්ලම් බහින්නට අප මුලින්ම පුරුදු වී ඇත්තේ ඒ සමයේද?
ඒ අයුරින් එකල තතු නිර්මිත කාතාවක් හා ගලපා දුන් ඒ පොත අද වෙළදපොලේ තිබෙනවාදැයි මා දන්නේ නැත. දත්ත විස්තර වලට එහා යන රසවත් කතා පොත් නිමක් නැතිව කියවන්නට ඉඩ දුන් අයටද එබදු පොත් කියවන්නට දුන් අයටද ඒ පොත් රචකයන්ටද අපි වෙළදපොළ පොත් වටිනාකම නොතකාම බොහෝ කොට ණය ගැතිය.

No comments: