Friday, January 31, 2014

ගරු සභාවෙන් අවසරයි...මම දේශපාලකයෙක්මි.

ගරු පුජ්‍ය හා පූජක පක්ෂයෙන් අවසරයි... මා ඉදිරියේ  හිදින ඔබ සැමගෙන්ද අවසරයි. ගරු මහත්වරුනි, නෝනාවරුනි, මේ මොහොතේ මේ අයුරින් ඔබ අමතන්නට ලැබීම මා ලද භාග්‍ය ලෙස සළකන්නට කැමතියි. එනිසා මා ඔබ සියලු දෙනා වෙත පළමුව මාගේ ස්තුතිය පිරිනමනවා. ඉතාම උතුම් රටක ඉතාම උතුම් පිරිසක් මැද ඉතාම උතුම් කතාවක් කිරීමට ඔබ මා තෝරාගෙන තිබීම ගැන මා උදක්ම  සන්තෝෂ වෙනවා. බලන්න මේ මූණු, සුන්දර සමාජයක සුන්දර මිනිසුන්ගේ සුන්දර මුහුණු. උදේ  හවා ආගම දහම සිහිකරන, පිනට ලැදි, පවට අකැමැති මේ ජීවිත ගැන මුහුණ බැලුවාම මට කියන්න පුළුවන්. මිනිහා යනු ජීව විද්‍යාත්මක ලෙස සත්වයෙක් සහ බුද්ධිය යනු ඒ මිනිහාගේ පැවැත‍්මේ එකම සාධකය කියාත් ඉන් ඔබ්බේ සිතිවිලි යනු  හුදු මනෝමය අවක්ෂේපයන් කියා නොසළකන ප්‍රඥාවත් සුපිෂ්පිත මුහුණු, අනේ දකින්නට වාසනාවන්. කිසි විටකත් අපට ඔබට බෙදන්නට දෙයක් නැහැ. ඔබ පො‍හොසත් ගුණයෙන්, නැණයෙන් ඒ වගේම ධනය, සෞභාග්‍ය සොයා ඔබ නොඅලස්ව වෙ‍හෙසෙනවා. ඔබ කපටි නැහැ. උදයේ පිපුණු මලක් වගේ ඔබ පින්බරයි. පිනි බරයි. ඉතිං ඔබ වැනි පිරිසක් ඉදිරියේ කතාවක් කරන්නට ලැබුනු මා කෙතරම් නම් පින්වන්තයෙක්ද කියා මට සිතෙනවා. අහෝ දෙවියනි, මෙය නම් ආශ්චර්යයක්!

කෙසේ වුනත් මා ඔබට කතා කළ යුතුයි. මාගේ ප්‍රතිපත්ති පිළිබදව. පළමුව කිව යුත්තේ ඔබ අතරින්ම මෙතැනට ආ මා ද ඔබ සේම ඔබේම ගති ගුණයෙන් පුහුණු වූ  පුරවැසියෙක්, ඉතිං මා ‍ඔබෙන් කෙලෙස වෙනස් වන්නද, එනිසා මා ඔබේ නියෝජනයක් කරනවා පමණකි. ඔබේ අදහස්, අවශ්‍යතා තේරුම් ගෙන එහි සැකසුම් ක්‍රියාවලිය කෙරෙහි දායක වන්නෙක් පමණකි. මට ලැබෙන වැටුපක් වෙත්ද මා සද්භාවයෙන් එයින් සෑ‍හෙමි. මෙය මගේ යුතුකමක් කොට සළකමි. මා ඔබ නියෝජනය කරන්නට සිතත් නම් ඔබ වෙනුවෙන් සාධාරණ  හා යුක්ති සහගත ලෙස කැපවීම මගේ යුතුකමක් බව දනිමි. ඒ වෙනුවෙන් වෙනත් වරදාන පිළිබද සිත් පහළ වීම පවා මෙවැනි සමාජයකින් මා පිටමන් කිරීමට තරම් බරපතළ වරදක් බව අදහමි. ස්ථිරසාර බවකින් හා නිවැරදි අවංක කමකින් යපහත්ව ක්‍රියා කිරීම ඔබ අප සැමගේ අපේක්ෂාව මෙන්ම මාගේද ප්‍රතිපත්තිය‍ කොට ගනිමි. මෙය මෙසේ කීමක් වත් ඔබ අපේක්ෂා නොකරන බව මම දනිමි. එතරටම ඔබ ඔබේ සත්‍යවාදී බව පසක් කොට ඇති කල කවර කතාද? නමුත් යුතුකම සළකා කියමි‍‍.

ඉතිං මට කියන්නට ඇත්තේ අප සතුටින් තවත් කලක් වෙසෙමු කියා පමණි. ධර්මය තමන් විසින්ම රකින්නා වූ එකා බැගින් වෙසෙන අප වැනි සමාජයක තවත් කතා කුමට ද කියා කියන්නටත් මට සිත්වේ.

නමුත් මම කතා කරමි, සුන්දරතාවය ගැන කතා කරමි. ප්‍රීතිය ගැන කතා කරමි. ඒ ප්‍රීතියෙන් ඔබද මමද සතුටට පත්වෙමු. පාලක පාලිත භේදයක් අප අතර කවර ක‍ලෙකවත් නොවිණි. ස්ත්‍රී පුරුෂ ලිංග භේදය මිස අසම බෙදීමක් අප අතර කවර කලෙකවත් නොවිණි. කුල මල අප කිසිදා කිසිවෙකුගෙන් විමසා නැත. නින්දා පරිභවයක් මගතොටකදීවත් ඇසෙද්ද? එසේ විමසීමම ලජ්ජාවට කරුණකි. අසභ්‍ය කියා දෙයක් වෙත්ද?  හැම දනා මනා සේ පිරුණු හැසිරීමකින් දිවි ගත කරති. සැමදා එසේ වේවා...මෙහෙව් රටක දේශපාලකයෙකු වීම කොතරම් නම් භාග්‍යක්ද. මතු භවයේත් එසේම වේවා.

ආදරය, කරුණාව දෝරෙ ගලා යනවා ඔබටත් නොදැනෙත්ද? හැමදෙනා තමාගේ යුතුකම් වගකීම් ඉටු කරත්. ඒ පිළිබද කතාවත් ලජ්ජාවක් ලෙසින් මට දැනෙන්නේ. මේ නින්ද මනරම් නිසාම හෙට උදෑසණ වන තුරු සුව නින්දක් වේවා...

No comments: