Thursday, June 13, 2024

බෑ ... බෑ ‍‍‍... උම් බෑ! (ආපහු හැරෙන්න බෑ - නායකතුමා අනුව යමු)

මමත් දුවනව හිතින් හරි
උඹත් දුවපන් පයින් හරි
නවතින්න බෑ කන්නෙ පොරි
ඔහොම දුවපන් කොහොම හරි
    පණ කඩාගෙන හති හලාගෙන
    හිත හදාගෙන කට වසාගෙන
    බැහැයි නොකියා එහෙයි කියලා
    පිම්මෙ දුවපන් නගුට වනලා
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අප ලුහුබඳිනවා
දිනන්නට බෑ හැරෙන්නට බෑ කෝටු පාරක් වදිනවා
නාස් ලණුවද වියගහද වැඩි පූරුවේ පව ගෙවනවා
කියන වේගෙට දුවගෙනම යමු අනේ වෙන මක් කොරනවා

Saturday, June 1, 2024

රටට ගැලපෙන ක්‍රමයක් ද ක්‍රමයකට ගලපන රටක් ද (කන් කන් බූරු - සිංගප්පූරු)

ඇමරිකානු රසයට ඉන්දියානු අච්චාරු සමඟ ලෝක පාලක දෙවියන්ගේ සහනාධාර සහලින් පිසූ කිරිබත් ද රන්වන් පැහැ වනතුරු ඉන්දියානු ගැඹුරු තෙලේ බදින ලද ලංකා හැඩ කොකිස් ද සිංගප්පූරු ගෑරුප්පුවක් භාවිතයෙන් නැකතට අනුභව කොට යා දෙක නොරත රත යා කොට හදන්නට යන මිත්‍රත්ව පාලමේ සිට බල්ටියක් ගසා ඉන්දියානු සාගරයට පැන රැළ්ළේ ගිලී හොඳින් නා පිරිසිදු වී 2048 අලුත් රටක් හදනු පිණිස එළඹෙන ජනපති වරණයේදී සුදුසු ඇඟිල්ලක කලින් ඉන්දියාවෙන් ගෙන්වූ තීන්ත ගා කතිරය බූරුවා ගසා අපේ නොවන අපේම රටේ අතපය බැද වැඩ ඇල්ලීමට හැකි නම්... සාතිශයින්ම මැනවී!

Monday, May 20, 2024

ඕනෑ නෑ අපිට පාරක්...(රටේ නායකත්වයට ටයරයක් ඕනෑ කර තිබේ)

ස්පෙයා වීලයෙන් යන ඕෆ්රෝඩ් ගමනක් 

නොහොත් කැමැත්තෙන් හොල්ල හොල්ලා ආතල් ගන්නා වැල් පාලමේ ඇඩ්වෙන්චරයක් 


ටයර් සමඟ බැඳුනු ඉතිහාසයක් 

ටයර් සමඟ බැඳෙන වර්තමානයක්

ටයර් සමඟ  පෑහෙන අනාගතයක් 


ඔබේ තේරීමට


අමතර ටයරයක් (ස්පෙයා වීල්)

නැවත පිරවූ ටයරයක් 

අලුත් ටයරයක් ?


පදින්න

බැරි නම් 

පළදින්න


මිත්‍රවරුනි, මේක ටයර් ආකරයක් 

නීරස දේශපාලන සාගරයක් 

Friday, May 10, 2024

හෙන පතිත නොවීමේ විද්‍යාත්මක හේතු! (රටට හෙන)

හැම ජඩ මජර දේශපාලනයක අඛණ්ඩ පැවැත්ම පිටුපස ප්‍රබල අකුණු සන්නායක ස්ථාපිත කොට තිබේ. ඒ අකුණු සන්නායක වල අඛණ්ඩ පැවැත්ම පිටුපස අනුග්‍රාහකත්ව පෝලිමක් ස්ථාපිත වී තිබේ. අකුණු සන්නායක සඳහා වන පිරිවැය මහ ජනතාවගෙන් ඍජුව හා වක්‍රව අයකර ගනු ලැබේ.