අපට, ලොවට මේ නිදහස හැදූ වැඩූ කාටත් මිනිසත්කමේ නාමයෙන් පින්! එය අර්ථවත් කළ, පෝෂණය කළ හැමටත් එපින් ම වේවා...! තුති මිනිසුනේ!
Saturday, February 4, 2017
නිදහසේ මදහස
සාපේක්ෂ ද?
නිරපේක්ෂ ද?
හිතේ?
ගතේ?
පැලේ?
පිලේ?
වීදියේ?
කම් හලේ?
හෝටලේ?
ගමේ, නගරයේ, රටේ, කළාපයේ, ලෝකයේ? විශ්වයේ?
ප්‍රශ්නයක්ද?
පිළිතුරක්ද?
අරගලයක්ද?
කාගෙන්ද?
කාටද?
මිනිසාටද?
මිනිසාගෙන්ද?
අයිතිකරු?
තීරකයා?
..............?
ආරම්භය?
අවසානය?
කෙළවර?
ජාතකය?
ප්‍රශ්න සියල්ල හමුවේ නිදහසේ මදහස පමණක් ම දිස්විය.
Friday, February 3, 2017
එක්වෙන්න, එසවෙන්න, ධජයක සෙවණට එන්න
මා මෙතෙක් කළ කී දෙයින් රටේ පුරවැසි කිසිවෙකුට හෝ අගතියක් වීද, සුගතියක් වීද... මට අගතියක් වුවත් කිසිවෙකුට නම් අගතියක් නොවූ බව මට කිව හැකිය, එසේ නම් මටත් රට වැසි කිසිවෙකුටත් අගතිදායක නොවන වැඩසටහක් තුළ රට වෙනුවෙන් මටත් ඔබටත් යමක් කළ හැකිය. එය කළ යුතුය. රට වෙනුවෙන් අප හැමගේ යුතුකම නම් එයය.
අප කාගෙත් අරමුණ ඉපදුණු රට නැගුම නම් ඔබේත් මගේත් දියුණුව යනු එයම නොවේද? එබැවින් රට තුළ කිසිවෙකුට පැරදීමක් හෝ ජයක් තිබිය හැකිද? එසේ නම් එය රට පිළිබද නොව පුද්ගලික වූවක් විය යුතුය. එබදු පුද්ගලිකත්වයන් රටේ දියුණුව උදෙසාම දිය කරමු. කැප වෙමු. ධජය වෙමු. එසවෙමු. දිනකට නොව හැම දිනටම.
Thursday, February 2, 2017
ඩිප්ස් 💪 (69 ට පෙර වදනක්)
35, 40
අභිබවා යද්දී ම
දැනුණි
රට නැගුමේ
අපහසුව
ඒ නිසා
තව ගහන්න
ඩිප්ස්
වැටි
වැටී
දිනක නැගිටීවි
ඔබත්
මමත්
Sunday, January 29, 2017
Saturday, January 28, 2017
Friday, January 27, 2017
අවි - බර අවි
ප්‍රඥාව මිනිසෙකු සතු අද්විතීය ශක්තිය නොහොත් බලයයි. යුක්තිය ඔහුගේ අසිපතයි. සත්‍යය ඔහුගේ පළිහයි. 😀 පෙර පිනෙන් රජවූ බොහෝ අය පවා පසුව ගර්භාවට පත්වූයේ ඔවුන් සතුව එවැනි බලයක්, අසිපතක්, පළිහක් නොතිබූ නිසා යැයි මට සිතේ.
Thursday, January 26, 2017
ගොරක=/දඩමස්
ඇත්තටම ලංකාවේ කිසියම්ම තැනකදී බලපුලුවන්කාරකම රහිතව සත්‍යයට යම් තැනක් ලැබෙන්නේ නම් ඒ සත්‍යය අලෙවි කරන්නට පුලුවන් තැනක පමණය. 😆
Wednesday, January 25, 2017
Monday, January 23, 2017
අපි හරි පොහොසත් බ්‍රෝ 😅
සල්ලි පිටට පෙනෙන්නෙ නැතිනම්, පිට ඔපේට මුකුත්ම නැත්නම් තමන්ට බොහෝ සෙයින් උපකාරී වූ කෙනෙක් පවා පිරිසක් ඉදිරියේ නිසි ගෞරවයෙන් හදුන්වාදෙන්න බැරි තරම්, එහෙම හදුන්වාදෙන්න කොන්දක් නැති තරම් අපි හරිම පොහොසත් සහෝ, එන්න එන්නම අපි පොහොසත්.
නිහඩතාවය, ෂ්ෂ්........!
සිඹින්න
දළු දමනා තුරු ගහකොළ බලා
හිදින්න
කලු සුදු මතකය ඇතුළෙන් වර්ණ
දකින්න
දෑස පියන් මනසින් ලෝකය
නරඹන්න
එන්න
වචන කරපු සිතිවිලි දසතම
විසිරෙන්න
හුස්ම පොදක් මුසුකර පාවෙන්න
හරින්න
භවංගයේ හැංගුණු රශ්මිය
පැතිරෙන්න
දෑස පියා අරමුණටම සිත
යොදවන්න
එන්න
වේදනාව නාද නොදී විසිරුවා
තබා
නමා
චිත්ත චිත්ත පීරි ගගා මුවහත
තබලා
ජීවනයේ නිවන දකිමු සැනසුම
සොයලා
Saturday, January 21, 2017
ඇත්තම වෙනස් මිනිස්සු වෙනුවෙන්! (ස්ව ශක්තියෙන් අලුතෙන්ම නැගිටිමු දීනයන් පරදවා)
මෙහෙව් ආටක නාටක දෙපලු වෙනතෙක් මෙහෙ පන්නරේ රජ ආතල් පමණක් වේවි. ආයෙත් දියසෙන් ඇවිත් මෙහේ අපේම කේතුමතියක් හදාවි, බලාගෙන ඉන්න එතකන්.
නිර්මාණශීලි, අවංක, කටු කන්නැති, රැළි වලට බය නැති ස්වාධීනව හිතන මිනිසුනේ එක්වෙයල්ලා, තම ශක්‍යතාවයන් උර ගාන්නට තමන්ගේම කරළියක.
ඉවසුවා ඇති දැන් එළැඹ ඇත්තේ ඔබේ නැගිටීමේ කාලයයි. ඉතිං අපි නැගිටිමු, දීන කමත් බොරුවත් පරදවා! ඔබ සත්‍යවාදී නම් අවංක නම් ඔබ සතු ශක්තිය කිසිවෙකුටත් මැඩිය නොහැකියි.
Friday, January 20, 2017
රිසි හැමදේ නිසි නොවේ.
ජීවිතයට අතිශයින් ම ආදරය කරන මිනිස්සු පවා විටෙක විසින්ම සිය පණ නසා ගන්නට උත්සාහ ගනිති. එය පුද්ගලයාගේ කැමැත්ත ලෙස සළකා ඊට ඉඩදීම දියුණු සමාජයක ලක්ෂණයක්ද?
කැමැත්තේ මුල් කොහිද?
ඵලයේ හේතුව කොහෙද?
ආහාරයට බඩගින්න හේතුවේ. දිරවූ ආහාරය බැහැර කළ යුතුවේ. එවිට බඩගින්නට හේතු.. විවාහයට ආදරය, රාගය ... එහි ඵලය දරුවන්. සමස්ථ ප්‍රතිඵලය පරපුරක්.. පිළිකාවට හේතුව සමස්ථයට නොපෑහෙන සමස්ථයෙන් ප්‍රතික්ෂේප වන මූලයක්. සයිලයක්.. ප්‍රතිඵලය සමස්ථයේ පැවැත්ම ඇදවැටීමක් බිදවැටීමක්. පුද්ගලිකවත් සමාජීය වශයෙනුත් අප කැමති බොහෝ දේ ඇත. අවස්ථානුකූලව අප කැමති හෝ නතු වන බොහෝ දේ ඇත. නමුත් එහි නිසි බව ගැඹුරින්ම තීරණය වන්නේ අප සිතිවිලි නැමති එක් නියාමයකින් පමණක් නොවේ. නිසි කියා වරණයක් ස්වහාවයේ නැත්නම් මිනිහා මේ වන විටත් ලෝකය තමන් කැමති වේගයකින් කැමති චක්‍රාවාටයකට ගෙන හමාරය. අපට මිනිසුන් හැටියට සීමාකාරී සාධක බොහෝය. සමහර විට මිනිසා මේතාක් පැවත එන්නේද ඒ සීමාකාරී බව නිසාම වෙන්නටත් පුළුවන. මිනිහා මේතාක් ලබාගත් සියලු ආකාරයේ දියුණුව හා අප ජීවත්වන පරිසරය අදවන විට තුළනය වන්නේ කෙබදු ලෙසකින්ද, අපේ රිස්ස සොබාදමේ නිස්සෙන් ඈත්වන්නට ඈත්වන්නට අපේ පැවැත්ම නැවැත්මේ තිතද මතට තිත සේ නම් නොවනු ඇත.
Thursday, January 19, 2017
යන් එතකන් - ඇති වෙනකම්
අපි එනවා ගමේ ඉදන්
වරදින් නෑ මග නොමගින්
පරදනු බෑ අප සිතුමන්
ගග ගැඹුරුයි පුත නොබලන්
වැල් පාලම හොලවයි දැන්
ලෑලි හැලෙයි පය බුරුලෙන්
ගන්න එපා හිතට තදින්
දහවල් ඉර සැරට දවයි
රෑ වෙනකොට අදුර තදයි
අහස ඔබට පාර කියයි
හරි නිදහස අන්න එයයි
අල්ලා ගෙන විරිය තදින්
දමා පපුව පෙරට එඩින්
තබා දෙපය නිසිම තැනින්
හරි නිදහස දිගේ යමන
Wednesday, January 18, 2017
Hallucination
පණ පොවා ගෙන කඩුව සහ පිහිද කැති මන්න
කුපිත කර ගෙන ලෙයත් වපුරවා වයිරයත්
නිදහසක් ජයක් හෝ දිනවනා ලබ්ධියක්
යක්ෂයන් නමින් ඇති පරිගණක තරගයක්
Monday, January 16, 2017
ඉනික්බිති
පැරදුණු ඇස් වල කදුළු හංගගෙන
හිත හිරි වට්ටා නික්මී යමි මම
ආදර උරුමය නොලැබෙන භවයක
සසර සරා යමි නිදහස පෙම් බැද
කල්පිතයන් කළ සිහින මරා ගෙන
යළි උපදින්නෙමි දෙනෙත පුරෝගෙන
සිනහ මල් පොකුරු තුටින් නෙළාගෙන
විදිමි හුදෙකලා මිටින් මුදාහළ
වෙන්වෙන එක්වන බැමි දිවි අරණේ
මින්දද නංවන හී සර වරණේ
පෙමමද ගෙල වට මාලා තැනුවේ
මෙසසර යමි එඩියෙන් ගිරි තරණේ
Friday, January 13, 2017
විදුහල සන්තානා (ඒ පුරුදුම මතකයෙන් ඇබින්දක්...)
- පාසල කියන්නෙ හරි පුදුමාකාර තැනක්. අපි නොදන්න නොතේරෙන තැනකින් පටන්ගෙන හොදටම පුරුදු වුනාට පස්සෙ දාල යන තැනක්. දාල යන්න වෙන තැනක්. විශේෂයෙන්ම ජීවිතයම එකම පාසලක නම් ඒ බැදීම සුවිශේෂීයි. අපේ පාසල් කාලයට වඩා අපේ පාසල දැන් ගොඩක් වෙනස්. නමුත් මගෙ මනාපය අදටත් පරණ පාසලටයි. අවුරුදු එකසිය පනහකට වැඩි අපේ පාසල, අවදි කීපයකදි විවිධ විදිහට තියෙන්න ඇති. අපේ යුගයෙ වැඩිමහල් හා බාල සොයුරන්ට මතක නම් ඉස්කෝල පාර ප්‍රාථමික අංශයට පිවිසෙන තැන දකුණු පැත්තෙ තිබුණු කැප්තොප්පියක් පැළදි බාළදක්ෂ පිළිරුව, වම් පසින් තිබුණු චෙරි ගහ, එතනම තිබුණු ප්‍රාථමික අංශයේ ඔෆීසිය. යකඩ වැටකින් වෙන්නොවූ ප්‍රාථමිකය මැද ක්‍රීඩා පිටිය. කුඩා කාලෙ මහ දක්ෂයෙක් නොවුනත් ඒ අතීත රූප රාමු නම් බොහොම දක්ෂයෙක් ඇන්ද සිතුවම් ගාණට හරි අපූරුවට මතකයේ තියනව. එතැනින් ඇරඹුණු පාසැල් කාලයේ අදියරෙන් අදියර මතක බොහොමයි. පළමු පන්තියේ හිටි බොහෝ දෙනා මතක් කරනකොට අපිට උඩ වසර කිහිපයක වැඩිමහලු සොයුරන්ගෙ බාල අයගෙ මුහුණු මතක් වෙන්නෙ දැක හුරුවටමයි. එකම වර්ගයා නිසා අද මූණ වෙනස් වුනත් ඒ හැඩය පුරුදුයි. පාසල කෙළවරේම තිබුණු පිට්ටනිය උඩ මාරගස් දෙක රැස්වීම් කීයක කතා අහන්න ඇතිද? ඒ දවස් වල රැස්වීම් වල ජයසිංහ සර්ගෙ කතා මට හොදට මතකයි. ජාතික ඇදුම ඇදන් හිටි ප්රතාපවත් පුරුෂයා. අනිත් කරුණ පිහිටුමේ පරිසරයේ සිට අපේ පාසලේ තිබුණු අමුතුම වෙනස, ඒක හරි අපූරු එකක්. පාසල් දෙක්කට දෙපසින් මැදිවෙලා, හරි සුරක්ෂිත බවක් තිබුණු තැනක්. හැම දෙනාටම තමන්ගෙ පාසැල සුවිශේෂයි. ඒ මතකයන් ජීවිතයටම එක් වරයි. කොතරම් සිත් රිදුම් තිබුනත් නැතත් ආපහු හැරෙනකොට, ඒ අපේ ආදණීය රැකවරණයයි, සෙනෙහස බැදි තැනයි, අවධියක්ම, ඒ නිසා ඒ මතකයට හදවතේ නියමිත ඉඩක් හිමියි.