සිදුවූ යමක හේතුඵල සබදතාවය අතීතයට එක්වූයේ කෙලෙසකද, එය එ අයුරින්මය. උපත සිදුවූයේය, පැවැත්ම ගලා යයි, නැවැත්ම කොතැනකද? කෙලෙසකද?
ඒ දක්වා සියලු ව්‍යායාම අපේක්ෂිත ඵල ගෙනෙන්නේද නැත. දාමයක, ජාලයක විටෙක ජංජාලයක පුරුක් වූ අප,
වරෙක දඩයක්කරුවාය, වරෙක දඩයමය නැතහොත් ඇමය.
අපේ ජන්මය ලාභයක්, පාපයක් හෝ සාපයක් වන්නේ ජීවන ක්‍රියාකාරකම් අනුවද?
ඉපයීම, වත්කම, දායාද හෝ හිමිකම් අනුවද?
පැවැත්මේ හා නැවැත්මේ සාධකයත් එයමද?
කුමක්ද එහෙනම් ධර්මයේ කර්මය?
නිව්ටන්ගේ තෙවන නියමය චින්ත ක්‍රියාවන්ටත් වලංගුද? නැතිනම් චින්තනයට විලංගු දමන්නේ දහමද?
ඩාවින් අප නවතින්නට යන තැනක් ගැන ඔබට කීවාද?
ඉදින් අපේ ඉන්ද්‍රියන්ට ගෝචර පමණින් අප දක්නා ලෝකයද සැබෑව, ඉන් එහා යමක් දියුණු මනසකින් දැකිය නොහැකිද?
ඒ දියුණු මනසද, මනෝ ලෝකයක්ද? එවිට පය ගහන ලෝකය පමණක්ද ලෝකය.
අපි කව්රුත් සිහින නොදකින, මානසික ලෝකයක් නැති උන්ද?
ශරීරයකින් පටන් ගෙන ශරීරයෙන්ම අවසන් වන දෙයක් නම් ජීවිතය... මේ හැටි වෙනස් කම් මන්ද ගස් වැලුත් අපත් සංචරණ හැකියාවෙන් පමණක් වෙනස් ජීවීන් නම්..බුද්ධිමත්.
බුද්ධිය යනු ගැට ලිහාගැනීමේ හැකියාවක්, අලුත් ගැට ගැහීමේ හැකියාවක් , ඇයි ලොව පුරා මිනිසුන් මෙපමණ ගැටවල ගැසෙමින් විදවමින්..බුද්ධිමත් නොවීමද පරම හේතූන්?
විවිධත්වය, විෂමත්වය..විටෙක සාමූහිකත්වය, ඒකීයත්වය. අරාජිකත්වය, පරාජිකත්වය..ජරාජීර්ණත්වය...
ආර්ථික සමෘද්ධිය පමණක්ද මේ සියල්ලට ම පිළියම ..