Showing posts with label කලියුගය හා යුගාන්තය කියවීම.... Show all posts
Showing posts with label කලියුගය හා යුගාන්තය කියවීම.... Show all posts

Friday, October 10, 2014

නළුවෙක්මි

එළුවෙක් නොවෙමි

බෑ බෑ නොකියමි

මම මම නොවෙමි

චරිතයක් වෙමි

රගමි

එහෙයින්

නළුවෙක්මි

 


හැබෑ මිනිස්සු(හැබෑ චරිත)

හැබෑ මිනිස්සු යනු සැබෑවටම මිනිසුන් ලෙසින් දියුණු කරගත හැකි උපරිම ගුණාංග දැරූවන්ය. අපි කවුරුත් මිනිසුන් වුවත් මගේ අර්ථකතනය තුළ හැබෑ මිනිසුන් වන්නේ නැත. මුදලට මිනිය නොහැකි හැබෑ මිනිස් ගුණ දරා හැබෑ මිනිසකු වීම එතරම් පහසු කටයුත්තක් නොවන හෙයිනි ඒ.

ලැබුනු ජීවිතය ආතල් පිට ගතකරන්නට හිතනවාට වඩා දියුණු අරමුණු හෙවීමත් ඒ ඔස්සේ තමා පමණක් ‍නොව සකල මිනිස් සමාජයටම හැබෑ අරුතක් එක් කරන්නට සිතන්නෝ ලෝකයම සැළකූ කල ගණනින් මැනිය හැකි වුවත් හැබෑවටම ඒ අරමුණු සාක්ෂාත් කරගත්තෝ බෙහෙවින් අල්පය. සම්මාන හෝ මුදල යන සීමා ඉක්මවා ගිය ඔවුන් මිනිසත් බව දියුණු කර ගන්නා මග තුළ මිස අප ගන්නා මග තුළ නොසිටිත්. එහෙයින්ම අප ඔවුන් ගැන චරිත ලෙසින් අසා තිබෙනවා මිස දැක නැත. අප දකින පරිසරයේ බොහෝ කොටම එවැනි චරිත දැකීම දුර්ලබය. කාලයට සා‍පේක්ෂව එය තවත් දුර්ලබය.  කෙසේ නමුත් දුර්ලබ වූ පමණින්ම නොව හැබෑ අර්ථයෙන්ම උතුමෝ නම් සමාජයකට අවැසිමය. එවැනි උතුමන් ගැන ඇසීමට හෝ නැති සමාජයක් කෙබදු වේද? අප සමාජයේ එබන්දන් ගැන අසා කියවා ඇති බැවින් එසේ නොවන සමාජ ගැන කීමට මට නම් අත්දැකීම් නැති. 

හැබෑ චරිත කියවීමෙන් පවා අප ලබන මානුෂීය තෘප්තිමත් භාවය ඉමහත්ය. ඔවුන්ගේ ප්‍රතිපදා ගැන ඇසීම පවා අපේ සිත් වල ඇතිකරන්නේ පහන් හැගීම්ය. අප කොතරම් විද්‍යා තාක්ෂණික දියුුනුවක් තුළ ඉහළට ගියත් එබන්දෝ නොසිටින්නට අප ලෝකය කෙබදු තැනක් වේදැයි අපට සිතිය නොහැකිය. මග නොමග යනුවෙන් දෙමගක් හැදුනේ ඔවුන් නිසාය. මිනිසා නොමිනිසා යනුවෙන් දෙදෙනෙකු ගැන අප තේරුම් ගන්නේ ඔවුන් නිසාය. අවසන අපේ ජීවිත කෙසේ වුවත් උතුම් මිනිසත් බවක් ගැන හිතා සතුටු වන්නටවත් ඔවුන් අප වෙත යමක් දායාද කර ඇත. ඒ ඔවන්ගේ ගුණ කදම්භයයි. ප්‍රතිපදා තුළ තිබූ ආලෝකයයි. නිවැරදි බව තුළ තිබූ ශක්තියයි.

මම මෙසේ කියමි. හැබෑ මිනිසුන් හැදින ගත හැක්කේ ඔවුන්ගේ දෙස බලා නොව ඔවුන‍ේගේ පියවර මග දෙස බැලීමෙන් බවයි. අපිද ඔවන්ගේ පියවර මං ලකුණු බලමින් ඒ ඔස්සේ ඇදෙමු. යහපත් මිනිසුන් වෙමු. හැකි පමණින් ගුණවත් ‍හා නැණවත් වෙමු.

කන් හැන්දක බෙහෙත් වුව නොවටින්නේ නොවේ...

මහ පොළව ඉරිතලා වියළී යන කලට දෙතොලට දිය බිදත් මහ මෙරකි.

රෝගයට ගුණ දෙන්නේ නම් කන් හැන්දක බෙහෙත් වුව නොවටින්නේ නොවේ‍.

අතරින් පතර පැටලුනු නූල් බෝලයෙන් හෝ ඉරුනු වස්ත්‍රය මසා ගැනීමට තරම් නූලක් පාදා ගත නොහැකි නොවනු ඇත.

පට්ටපල් රස්තියාදු  පල් හෑල්ලක, අපභ්‍රංශ අස්සේ  හරි අගිස්සේ කොණක දැවටී හරි රන් වටිනා අරුත් ගුලිගැහී සැගවී තිබිය හැකිය.

තේරෙන් නැති එක නොවෙයි ප්‍රශ්නය.. තෝරාගන්නට වෙහෙසක් නොදරන එකයි.. වටිනා යමක් හොයාගන්න.. වටිනා දේ එකවර පහසුවට නැත..

ශු  ද්  ධ    වූ    ර  ස්  ති  යා  දු  ව  

 බිදක් මේ මත රස්තියාදු වන්න. යහපතෙන් බිදක්වත් අසුවේවි ඔබට.

ලියන්නේ 

රුපියල්(ඩොලර්/පවුම්/ආදී..) බිලියන ගණනින්වත් මැනිය නොහැකි 

හැබෑ මිනිසුන්(චරිත) අතරේ

ශත 1/2 ක් වටනා

මං විසින්

Wednesday, October 8, 2014

විළිය හා රුදාවට නිසි චරිත දෙන්න

ල සුන්දරය. මළ අසුන්දරය. සමහරු මලෙන් උපන් සේ ජීවත් වද්දී තවකෙකුට ජීවත් වන්නට සිදුවන්නේ මළෙන් උපන් හැටියටයි. ඒ ජීවිතේ හැටිය. මලෙන් උපන් ‍චරිත දෙස බලා සමහරු සිහින මවද්දී සමහරු තමාගේ උපත ගැන වදවෙති. තමා මළෙන් උපන්නා යැයි සමාජයකටම වෙර වඩන ඇත්තෝද වෙති. කෙසේ නමුත් උපත සිදුවී හමාර හෙයින් එය මලෙන් වුවත් මළෙන් වුවත් කම් නැත. ඇත්තේ ජීවත් වීමටය.

සමහර විට ජීවිත ලේබල් වන්නේය. මලින් උපන් මිනිස්සු , මළින් උපන් මිනිස්සු.. කලකදි ඉන්දියාවේ බමුණන් මලින් උපන් නැත්නම් මහබඹාගේ මුවින් උපන් මිනිස්සු යැයි නම් ලබද්දී ශුද්‍රයන් මළින් නැත්නම් මහබඹාගේ දෙපතුළින් ඉපදුනායැයි සැ‍ළකුවේ කාලයේ බලවතුන්ගේ බලයේ ආධිපත්‍ය පතුරවමිනි. සද්ධර්මයෙන් ඊට නිසි පිළිතුරු ලැබුනේය. බලවතුන්ගේ හිත් රිදුනේය. පෙළපතින් කෙසේ කියවුනත් මිනිහා මැනිය හැක්කේ ක්‍රියාවෙන් පමණකි.

ක්‍රියාවෙන් චරිතය මැනෙන කලාවක්ද අප අතර ඇත්තේය. එහිදී චරිතයක ක්‍රියාවන් රංගනයකි. චරිතය මැනෙන්නේ ඒ රංගන ක්‍රියාවෙනි. මලින් උපන් චරිතත් මළින් උපන් චරිතත් මෙහිදී එකක්මය. ඔය හැම වර්ගයේම චරිත  රංගනය මත මෙහිදී සම්මානයටද පාත්‍ර වන්නේය. සම්මාන උළෙලවල විනිවදභාවය හෝ ඒවායේ සාධාරණත්වය හෝ වාණිජමය ස්වභාවයන් කෙසේ වුවත් මලින් උපන් චරිතයක් වුව මළින් උපන් චරිතයක් වුව හිමිවන සම්මානයේ භෞතික වටිනාකම එකක්මය.

එසේ වුවද ජනසමාජයක සම්මානය නම් සීයට ගණනකින්ම මීට සපුරා වෙනස්ය. සැබෑ ජීවිත වේදිකාවේ දී ක්‍රියාවන් රංගනයක් බවට පත් කරගතහොත් කෙටි කාලීනව සම්මාන ලැබිය හැකි වුවත් දිගු කාලීනව ලැබෙන්නේ නිග්‍රහ පමණකි. අත්වන්නේ විනාශය පමණකි. එබදු අත්විදීම් අපේ සමාජය ඉතා මැතදීත් හොදින්ම ලැබූ බව තවමත් මතකය ඇත්තන්ගේ මත‍කයේ ඇතුවාට සැක නැත.

ඒ කෙසේ වෙතත් කාර්ය බහුල මිනිසාට සමාජය දෙස හැරී බලන්නට, එහි අවශ්‍යතාවය ග්‍රහණය කරන්නට වෙලාවක් නැත්නම් මේ රංගන කලාවන් තුළින් හෝ යථාර්තය ගැඹුරේ මෙන්ම නොගැඹරේද ඥානනය කරගන්නට මගක් හැදිය නොහැකිද, පොතපතින් එහා ඒ භාවිතාවට අප විධිමත්ව යන්නේ කවදාද? සමාජයේ මළින් නොමළින් උපන් කොයි කාටත් උපතට වඩා ජීවිතය ගැන කියවා ගන්නට, තම තමන්ගේ චරිත දැක ගන්නට කැඩපතක් වනවා නම් ඔය කොයි චරිතත් ඇති රංගකලාවත් නූතනයේ හරි වටිනා එකක් වනු නැද්ද. 

ඒ බැල්මෙන් බලන කල අද මෙහේ ප්‍රශ්නයක් පෙනේ. අද නොවේ, හරිනම් කලක සිට ඇති ප්‍රශ්නයේ පිටක් පෙරළෙන්නටත් දැන් නම් කාලය හරි තරමය.  

අපිට අද අපේම සංස්කෘතියේ අපේම නව නිර්මාණ නැතිද? 

 මලින් හෝ මළින් වේවා මේ එළඹ ඇත්තේ අපේ සංස්කෘතියට විළිරුදා ඇතිවිය යුතු කාලය නොවෙද. උපන්නට පෙරම ගබ්සා කළ බොහෝ දරුවන්ගේ අතීත උරුමය සේම නිදහසේ අයිතිය අහිමි නොකොට ඒ විළිරුදාවට හේතුවන දරු ගැබ හදන්නට අප විසින්ම සංස්කෘතියට දුන් දායකත්වයේ වගකීම දරමින් ඒ දරුවා මලෙන් උපන්නද මළින් උපනන් ද යනුවෙන් ප්‍රශ්න නොකොට උගේ ජීවිතය නගාගන්නට අත මෙන්ම හිත දීමක්ද කළ යුතුව ඇත. මලත් මළත් දෙමග අතර දියුණු සංකල්පයකට බුද්ධියට මෙන්ම හදවතට යන්නට බලයත් සවියත් දෙන්න.. චරිත නගන්න, ගොඩ නගන්න. විළිය හා රුදාවට නිසි චරිත දී සමාජයට මගක් දෙන්න.

Tuesday, September 2, 2014

මම නම් ආසයි අහන්න නයනා :)

මම නම් ආසයි 

අහන්න නයනා

මම කීවෙමි

නයනා මා දෙස බැලුවාය

කතා බැහැ 

ඇය කීවාය

හේතුවක් ඇති

මම කීවෙමි

අපි යමු හංසි, ඇය යෙහෙළිය වෙතට හැරුණි

මා කුමක් කරන්නද

නයනා සමග සල්ලාපයට මා රුචිය

නයනා සමග සංවාදයට මා බෙහෙවින් රුචිය

එහෙත් නයනා 

මොහොතක් පමණක් මා වෙත දෙ නයන රදවා

ආපසු හැරිණි

මා කුමක් කරන්නද

ඇයට නොරිසිය

කිසිදු කතාවක් මා සමග

එතැන්හි මම ඇරඹුවෙමි

ආත්ම භාෂණයක්

ප්‍රිය සම්භාෂණයක් 

තනියම 

තට්ට තනියම

Monday, September 1, 2014

කලකදි සතුටු තැන කලකදි දුක දුටුවෙමි...

සතුට -බ්ලොග් එක ඇරඹුමෙන් පසු තුන්වෙනුවට ලියූ ලිපිය. ඊට අවුරුදු දෙක තුනකට පස්සේ එ් සතුටට සමාන අමුතුම දුකක් එතැනදිම මෝදුවුනා. ඊට හේතු වුනු සිදුවීමක් තිබෙනවා. පූර්ව රූපගත කිරීම්ද සිදුකර මංගල්‍ය සිනමා සිත්තම් ලෙසින් ගෙත්තම් කරන්නට හදන මෙහේ අඩු වියදමෙන් මංගල්ල පොටෝ ගත්තු හැටි එදා අපි දුටුවා. ඊට පස්සෙත් අපි නිතර යන එන එ් එළිමහන් පරිශ්‍රයේ විවිධ දර්ශන දුටුවා. තවත් මංගල දර්ශන වගේම පෙම්වතුනුත් මෙතනට සාමාන්‍යයයි. ඊට අමතරව තව මෙතනට යන එන ක්‍රීඩාශීලී වගේම විවේකය, ‍විනෝදය සොයන විවිධ උදවිය, වෙනස් වුනත් එක වාගෙයි බොහෝවිට.

අද පහක් හයක් වූ අපේ පිරිසක් මෙතනට රැස් වෙන්න නියමිත වුනේ අපි කරන්න යන අලුත්ම වේදිකා නිර්මාණයක් ගැන හා ගීතයක් සදහා කරන්නට යන රූප රචනාවක් ගැන කතාවක් දමන්න. කොහොමත් අපේ ර‍ටේ අනිකුත් බොහෝ දෙනාට මෙන් අපේ උදවියටත් වෙලාවට වැඩක් ඇරඹීමේ හීන මානය තියෙනවා. විශේෂයෙන් අපේ-අපේ වැඩ වලදි, මොකද මේවගෙදි අපි තකන්නේ මුදලට වඩා කැපවීමනේ. 

ඔන්න ඉතිං අපේ සගයෙක් මම එතනට එන්න කලින්ම ඇවිත් මට ඇමතුමක් දුන්න. පරිගණක මුද්‍රිත පිටපත් කීපයක් ලබා ගන්නට වෙළදහලක ප්‍රමාද වුන මම නියමිත වෙලාවට මිනිත්තු දහයක් පහලවක් ප්‍රමාද වුනේ අද මෙහේ පාසල් වාරේ අලුතින් ඇරඹෙන නිසා වගේම අමතර පන්ති යන ළමයින්ගෙන් වෙළදහල තදබද වී තිබූ නිසා.  

ඔන්න මම එළිමහන් පරිශ්‍රයට එනකොට සගයා එතන. අපි කතා බහ කරමින් ඉන්න අතරේ දුරකථන ඇමතුමක් දුන් තවත් සගයෙක් මිනිත්තු ගණනක් ඇතුළත එතනට පැමි‍ණියේ මොහොතකින් එතනට එකතු වීමට නියමිත අනෙක් සගයන් වෙනුවෙන් කෙටි කෑම හා මෙගා පැණි බීමක්ද රැගෙන. මේ අතර අපට මදක් එහායින් පෙම් යුවලක් යැයි කියා සිතිය හැකි අපට වඩා තරමක් ළාබාල ‍ජෝඩුවක් ඉදගෙන හිටිය. ඉතිං අපි කතා බහ කර කර හිටියෙ අපේ වැඩකටයුතු ගැන, ඒ අතර ප්‍රමාද වෙන අපේ අනෙකුත් සගයන්ගෙ ප්‍රමාදයට වන්දි වශයෙන් ඔවුන් වෙනුවෙන් වුනු ආහාර ප්‍රමාණයක්ද ගිල දමන්නට අපි අමතක කළේ නෑ. මොකද ප්‍රමාදය පසු තැවීමට හේතුවක් බව ඔවුන්ට වටහා දෙන්නටත් ඕන නිසා. කොහොම වුනත් කාලෙ ගතවුනා. ටිකෙන් ටික අපේ සගයො එකා දෙන්නා පැය කීපයක් ඇතුළත අසනීපයි කිව්ව අන්තිම කෙනත් ඇවිත්. ඔන්න ඉතිං අපි අපේ සාකච්ඡාව ගැඹුරින්ම අරඹන්න හැදුවයි කියමුකෝ. මතක තියාගන්න මේ පැය කීපයේම අර කලින් කිව්ව ජෝ‍ඩුව ඔවුන් මුලින් හිටි තැනම හිටි බව, ඒ දිහා නොබැලුවත් අැස් වලට අංශක එකසිය අසූවක් පේනවනේ. 

ඔන්න අපි කතාව පටන් ගන්න හදනකොටම එක පාරටම දඩස් බඩස් ගාල සද්ද ඇහෙන්න ගත්ත. අපි යමක් හිතන්නත් කලින් අපේ සගයෙක් අත දිගු කරල කීව අන්න කොල්ලට ගහනවා කියල. වැරදිවට තේරුම් ගන්න එපා...සිද්ධිය කියනකම් ඉන්න. සිද්ද වුනේ ඔයාල හිතපු සිද්දියක් නෙවෙයි.

අපි බැලුව ඒ දිහාවෙ, අර ගෑනු ළමය හිටි තැනින් නැගිටල සමීපයෙ හිටි පිරිමි ළමය පේන්න හිටියෙ නෑ. ඒ වෙනුවට කොල්ලො දෙන්නෙක් තමන්ට යටවෙලා ඉන්න අපිට නොපෙනෙන කෙනෙකුට හොදින්ම තලනවා. ‍තත්පරයෙන් තේරුනා යටවෙලා ඉන්නෙ එතන හිටි කොල්ල බව. සිද්දිය විග්‍රහ කරගන්නට අපි කාලෙ ගත්තෙ නෑ. කෙළින්ම හිටි තැන්වලින් නැගිට්ට අපි සද්ද බද්දයක් දාගෙන එතන්ට ගියේ පහර තැළීම නවත්වන්න. පහර තැළීම නැවතුව කොල්ලො අපිට කීවෙ අර ගුටි කාපු කොල්ල ගෑනු හොරෙක් කියල. එහෙම කියල ආයෙ ගහන්න ගත්ත. අපි ටිකක් වැඩියෙන් සද්දෙ පාවිච්චි කරල වැඩේ සම්පූර්ණයෙන්ම නැවැත්තුව. මේක මිනී මරා ගන්න තැනක් නොවන බවත් අපිට ඒ වෙනුවෙන් ඉඩදිය නොහැකි බවත් තව වග උත්තර බැදීමට සාක්කි කරුවන් විය නොහැකි බවත් දැඩි ස්වරයකින් දැම්මෙ අවස්ථාවෙ විදිහට. ඒ කතාවට සාක්කි වශයෙන් මට පෙන්නන්න කට්ටියකුත් රැස්වෙල හිටිය. ඒ යාබද නගර සබා ගොඩනැගිල්ලෙ කාර්යාලීය සේවක පිරිස, උඩ තට්ටුවෙ සදලුතලයෙ වගේම පාත කෙළවරටත් ඇවිල්ල සද්‍ද බද්ද නිසාම. ඒ උදවිය ගොඩනැල්ල සීමාවෙ ඉදන් සිද්දිය නරඹනව. අපේ පිරිස්බලය හා දැඩි ස්වරයට මට්ටු වුනත් පහර දෙන්න ආපු කොල්ලන්ගෙ ආවෙගෙනම් තවම සන්සිදිල නෑ. ඉන් ‍කෙනෙක් කිව්වෙ තමන් සමග අවුරුදු හතක් යාළුවෙලා හිටපු ගෑනු ළමය අද උදෙත් ගෙදර ඉන්නව කියල තමන්ට බොරු කියල තමන්ගෙම හොදම යාලුවෙක් එක්ක රවුම් ගහන්න ඇවිත්ලු. (එ් වෙලාවෙ මටනම් ඔවුන් ඒ කිව් දේවල් එතරම් මතකෙ රැදුනෙ නෑ, නමුත් අපේ සගයෙක් කිව්වෙ ඒ විදිහට) කොල්ලන්ගෙ වයසෙ හැටියට ආවේගෙ සාධාරණ වුනත් මේ කතාවෙ අගමුල දන්නෙ නැති අපිට නොනිල වශයෙන්වත් මේවට අතදැමීමට අයිතියක්වත් හැකියාවක් නැති නිසා අපේ යුතුකම එපමණකින් අපි නැවතුවා. වෙන්න ගිය මිනිමරා ගැනීමක් එ් අවධානමෙන් ඉවත් කළා. පස්සෙ මේ ස්ථානයෙ යම් වගකීම් දරණ කීප දෙනෙක් මේ ගැන විමසන්න එතනට ආවත් එතකොට බොහෝ වැඩ ඉවරයි. මේ සිදුවීම මෙතනින් එහාට කොතැන නවතීවිදැයි අපි දන්නෙ නෑ. ඉතින් ඒ උදවිය එතනින් පිට වෙද්දි අපි ආයෙත් අපේ වැඩේට අත ගැහුවා. 

අපේ වැඩේ ධනාත්මක කොමාවක් යොදල ගෙදර ආවට පස්සෙ මතකෙට අ‍ාවෙ කලකදි අමුතු සතුටක් දැකපු තැන අද අමුතුම දුකක් දැක්ක බව. නමුත් ඒ තරුණගැටයන්ගෙ ආවේගය ඉන් එහා එතනදි පිට නොවෙන්න නොදුන්නනම් (වෙන්න දුන්නනම්) තවත් දුක් වෙන්න දෙයක් එතන දකින්න සිදුවෙන්නත් තිබුන. 

එතනදි උන්ට කියූ විදිහටම ආවේගයෙන් මරා ගන්නෙ නැතිව කතා කරල දේවල් විසදගන්න මොන වයසෙ තරුණ අයත් පුරුදු වෙන්න ඕන නේද. සේරම නින්දාවට පත්වෙලා. තවත් දුරදිග යන ප්‍රශ්න නිර්මාණය කරගෙන. මොකද ඔය විදිහට පටලවාගත්ත ආදරයක් නිසා ඔහොම මැරෙන්න හැදීමෙන් ප්‍රතිඵලයක් ලැබෙනවද? එහෙම දෙයක් නැති සේම දුරදිග ගියාම පොලිසි උසාවි ගානෙ තමන්ගෙ වටිනාම ජීවිත කාලෙ රස්තියාදු වෙන්නත් සිද්ද වෙන නිසා. ජීවිතය කියන්නෙ චිත්‍රපටියක්වත් අපි එහි රගපාන න‍ළුවොවත් නොවෙයි. කතාවට අපි වේදිකාවක රගපාන නළුවො වගේ කීවත්, ඒක ටිකක් ගැඹුරෙන් ගන්න ඕන ‍එකක්. මොකද කතාව අනුවම වුනත් වේදිකාව කියන්නෙත් චිත්‍රපටිය කියන්නෙත් දෙකක්නේ. 

වාණිජ චිත්‍රපටයක තියෙන සරල බොළද බවට වඩා වේදිකාවක රංගනයක ගැඹුරක් හොයාගන්න පුළුවන්. ඉතිං ඒ අර්ථයෙන් ජීවිත රංගනය ගැන හොයාගන්න රස්තියාදු ගහනව මිසක, තරුණ ජීවිතය කෙල්ලක් හෝ කොල්ලෙක් වෙනුවෙන් විනාශ කර ගන්න පාර හදා ගැනීම සතුටු කලකදි දුකක් හොයාගන්න හදාගන්න උල්පතක් විතරයි. පුළුවන්නම් හොයා යන්න ජීවිත‍‍ේ ගැඹුර, ඒක කවදා හරි තමන්ට නොවැටී ඉන්නට උදව් වේවි. 

ඒකෙ අනික් කතාව තරුණ වයසෙ ආදරේ කරන්න එපා කියන එක නොවේ. ආදරේ කියන හුදු සංකල්පයක් වෙනුවෙන් රැවටිලා තමනුත් අනුනුත් විනාශ කරගන්න හදන්න එපා කියන එක.  

ඉතිං අද දවසෙ මගේ රස්තියාදුව සුද්ද වෙන්නෙ ඔන්න ඔය හිතිවිල්ල එලියට දැමීමත් එක්ක.