Saturday, March 14, 2026

නිරුත්තරද - අරුත්බරද

අපි ඉන්නෙ හුණ්ඩුවේ

තම්බල කන්නෙ වන්ඩුවේ

පිල් බෙදිල රණ්ඩුවේ

රවුමට වටේ වංගුවේ


කොළනිල්දම්රතුකහ

එක එකට පූට්ටුවේ

උන් බෙදිල රණ්ඩුවේ

තම්බයි අපිව වණ්ඩුවේ


එක දෙක තුන බණ ධර්මේ

නොදන්න මුත් සාර ධර්මේ

ගෙවන්නේම පාප කර්මේ

නොකර තවම ශාන්ති කර්මේ


මුරගලුත් රැක්කා වැඳගෙන

අරගලුත් දැක්කා බැඳගෙන

හොරගලුත් ඇහිඳ රහසෙම

ගහන්නෙම ඉක්ක ඒකද


විසඳුමට කපල ලජ්ජ නහර

බයට දමල වටෙන් පාර

හොර පාරෙන් බාර හාර

ඔහෙ ගියාම හරිද පාර



Thursday, January 8, 2026

ත්‍රිත්වා හෙටයි - (පාට/පක්ෂ/ජාති/ආගම්/කල්ලි/පන්ති නොසළකයි)

රටක ජනතාව එක මිටකට ගොනුවිය යුත්තේ කිසියම් දේශපාලනයක් උදෙසා නොවේ. මිනිස්සු එය දනිති. හැම ව්‍යසනයක් තුළම මෙරට ජනතාව අවිඥානිකවම සවිඥානිකව ක්‍රියාත්මක වන්නේ එබැවිනි. නමුත් ඒ සවිඥානික බව ව්‍යසනයන්ට පෙර සහ සෑම අවස්ථාවකදීම අවිඥානිකත්වයෙන් තොරව නොපවතින්නේ ඇයි?

සියලු තණ්හාවන්, ආශාවන්, වාද භේද, කුහකත්වයන්, අධමත්වයන් දලුලා එන පරිද්දෙන් ඉතිරි නිදහස් කාලය නිකරුණේ අපතේ යන්නට ඉඩ දෙන්නේ ඇයි? සාමුහිකව තම ශ්‍රමය ශක්තියෙන් ලබා දිය හැකි දායකත්වයන්ගෙන් හැකි උපරිමය ලබා දී තම රට ස්ථාවර හා ශක්තිමත් සුරක්ෂිත ස්ථානයක් හැටියට නිර්මාණය කර නොගෙන, එසේ කර ගත හැකි අන් මගක් කිසියම් රටක පුරවැසියන් සතුද? තම තම වගකීම් යුතුකම් පිළිබඳ රටවැසියාගේ හදවත ගැඹුරින් උපන් හැඟීම් දැනීම් සබුද්ධිකව රටේ සංවර්ධනය උදෙසා දායක කර ගැනීමට කිසියම් රාජ්‍යක් රාජ්‍ය පාලකයින් අසමත් නම් ඔවුන්ට ඒ සඳහා වෙනත් මගක් ඇතිද?

එසේ නැති නම් රටේ ජනතාව සහ රාජ්‍ය පාලකයා ගේ අත්වැල් බැඳ ගැනීම මෙතරම් කොට ඇයි???

හැමදා අප රටේ ජනතාව සහ පුරවැසියා ඒකාබද්ධ වීම වළකන කුමන්ත්‍රණයක් තිබුණි. ඒ කුමන්ත්‍රණ කරුවා වූයේ කිසිවෙකුත් නොව අවිශ්වාසය හා අවිචාරයයි. කිසියම්ම කලක කිසියම්ම වූ අර්බුධයක් මතු වූ තැන දේශපාලනික හෝ විවිධ අන්තවාදී අවිචාරයේ අවිශ්වාසයේ ඉන්ධන මඟින් මේ අර්බුදය අසීමාන්තිකව ඇවිළ වූයේය. අදටත් ඒ පුරුද්ද එසේමය.

පුළුස්සා හලු කොට පස පෙරලා සකසන නව දැලි හේනක් පරිද්දෙන් රටක් ගොඩනැගිය හැකිද? කාලය, අවකාශය, සැළසුම නිසි පරිදි නොතකා එසේ නොහැකි බැවින් හැමදා එහි අවාසිය, පාඩුව, අලාභය උරුම වූයේ සමස්ථ ජනතාවටමයි.

අදටත් ගතවන සෑම තත්පරයක්ම බොහෝ කොට ගතවන්නේ අවිචාරයේ සහ අවිශ්වාසයේ වචන වලින් ජන සමාජය අවුලුවමිනි.

ඒ ගිනි දැල්ලේ දැඟලිල්ලෙන් බොහෝ සේ කා බී ප්‍රීති වනු පිණිස සාද පැවැත්විය හැකි නමුත් මේ ගිනි ගන්නේ අනාගතයේ අපේක්ෂාවේ මොහොතක් බව වැටහෙන විට එසේ ප්‍රීතිවන බොහෝ අය තමන්ට ඒ අවබෝධය ලැබීම සඳහා ජීවත් වෙමින් සිටීමට හැකිවේද යන්න පවා දැන් තියා සිතීම වටී.

ද්විත්වා නිමා වූයේ අපට ස්වභාව ධර්මය ඉගැන්වූ පළමු පාඩම එය වශයෙන් නොවේ. නමුත් නූගත් තවත් පාඩමක් වශයෙන් එය අවසන් වුවහොත් එය නැවත උදාකරන්නේ කිසිදා නොනැගිටින මුත් වහසි බස් දොඩන රටක ජාතියක ඛේදවාචකයක් පමණක් වීම වැළැක්විය නොහැකි වනු ඇති.

ත්‍රිත්වා හෙටයි! අප සූදානම් වුවත් නුවූවත්! 

Wednesday, December 24, 2025

ඒ ගිනි නිවන්න - (දරුවන් බැටකන්නේ කණාමැදිරියන්ගෙන් නොව ගිනිපෙනෙල්ලෙනි)


රටේ බහුතර දරුවන්ගේ ඇත්ත ප්‍රශ්නය තමාට සම්මාන හිමි නොවීම නොවේ. තම දෙමාපියන්ගේ සවි ශක්තියේ ඌනතාය, දුබලතාය. ඒ නිසා තමාට අහිමි වූ අවස්ථාය. ඒ නිසා ඇතිවූ පීඩාවන්ය, විඩාවන්ය. දුගියන් ලෙස අන්‍යන්ගේ අනුකම්පාව මත යැපෙන්නට සිදුවීමය. එවැන්නෙකුට වේදිකාවක කතා කිරීමට දහසකුත් සමාජ අසාධාරණකම් ඇත.  හඳගමයන්ගේ විදූ චිත්‍රපටය ඇතුළේ තිබුණේ එවැනි කතාවක් බව මට මතක නම් ඔබටද අමතකව ගොස් නැතිව ඇති .

ඒ වැනි කතා කිසිවෙකු විසින් අවදි කළහොත් මිස කිසිදා අවදි වන්නේද නැත.

ඒ ගම්බද පාසල් කිසිවෙකු දන්නේද නැත. නගරයේ වුව බහුතර දරුවෝ සම්මාන වලට මෙහා සැබෑවටම විඳවන්නේ කලින් හැදූ තරඟයකට අහඹුව වැටීමේ ප්‍රතිඵලය සහ ඒ තරඟය සැපතක් කොට ගන්නට යෑමේ දරුණු ආතතියය. බොහෝ විට නිතර ගිනි පූපුරු නංවන මේ නූතන සමාජය ළඟ ළඟම ඇවිළෙන්නේද වැඩිහිටියන් ද ඒ ආතතියෙන් ම පෙළෙන හෙයිනි. ඇවිලෙන ගිනි වලට පිදුරු දමමින් මහා සමාජය තවදුරටත් අවුලා ගැනීමට නොයා අනුක්‍රමයෙන් සොබාදහමෙන් පවා දැඩිව පහර වැදුනු මිනිසුන් තමා විසින් තමා නිවා ගැනීම දැන් ඇරඹිය යුතුමය. කොතරම් දුෂ්කර වුවත් මහපොළවේ යථාර්තයේ පය ගසා මිස නැවත නැගිටීමක් සුපුරුදු සිල්ලර එකිනෙකා කුළල් කා ගන්නා ඉතිහාස ගත පුරුදු තුළින් ලැබෙන්නේ ම නැත. පාසල් දරුවන් නොව මේ වැඩිහිටියන් ජන්මගත දුෂ්ඨත්වය පසෙකලා දරුමුණුපුරන්ගේ නාමයෙන් හෝ සැබෑ වීරත්වයේ භූමිකාවට පණ පෙවිය යුතු කාලයයි. ආදර්ශයේ යුගය ඇරඹිය යුතු ඔබයි. ඔබ විය යුත්තේ පාලකයෙකු ඉදිරියේ හඬා වැටෙන වහලෙකු නොව පෙර ගමන් කරුවෙකුයි.

ඔබට මහන් සී ද?

 ඒ ජෙන් සී - ඔබ හාන් සී ද?