Saturday, May 27, 2023

ජාතිකාභිමානයට ~ විකල්පය එමමයි, එය ජාතිකාභිමානයයි (අවමානයෙන් බැහැර නොකළ යුතු රටක ජාතියක අභිමානය)

+  තියෙන්න ඕන එකක් බිංදුවෙනුත් පහළට වැටුණම  ඒ සමාජයේ තනි තනි මිහිහෙක් පවා ආතතියට ලක් වෙනවා. මොකද තනියෙන් අභිමානයක් නැති වුණත් රට ජාතිය සවිමත් නම් ජන මනසට ඒක අවියක්. අවුරුදු දෙක තුනක ඉඳන් ලාංකීය සමාජය ම ඉන්නෙ ඒ අවිය පත්තු වෙන්නෙ නැති තැනක. මේ කියන්නෙ ශ්‍රී ලාංකික බව මිස දේශපාලනික භාවිතා වේ එන ආරූඪ ජාති, දේශී හිතෛශී අව භාවිතයක් ගැන නොවෙයි. 

ඒ නිසාම මේ කඩා වැටීමේ හේතු සාධක සැලකීමේදී මජර දේශපාලනයට සෘජුව ඇඟිල්ල දිගු කරන අතරේ ඉතිරි ඇඟිලි එක එක  පාර්ශ්ව වලට දිගු වෙනව. හීනමානය දැඩිව ජාතිය වෙලා ගනිද්දි අපි හරි තැනට වගේම හිතෙන හිතෙන තැන්වලටත් බෝල පාස් කරන්නෙ දැනෙන පීඩනයෙන් ගැලවෙන්න. රැල්ලක කැරැල්ලක හැඩය ගත්ත අරගලයකිනුත් රට වැසි අපිට මේ පීඩනයෙන් ගොඩ එන්න දුන්නෙ නෑ. අපිව නැවත රාමුවටම ඇදල දැම්ම. මොකද්ද මේ රාමුවෙ තියෙන අවුල, සමහරෙක් අහනව. අපි අද ඇවිත් නතර වෙල ඉන්නෙ කොතනද කියල බැලුවොත් ඒකම තමයි ඒ අවුල. තව විදිහකින් කීවොත් කාලයට වගේම ශරීරයටත්  නොගැලපෙන ඇඳුමක් අපට අන්දල තියනව. ඒකෙ අපහසුව නිසා ගලවන්න හැදුවත් ඉඩක් නෑ. සමහර විට නිසි ඇඳුමක් හදා ගන්න තුරු ටික කලක් නිරුවතින් ඉන්න එක ඔය ඇඳුමට වඩා ජාතික දේහයට යෝග්‍ය වෙන්න පුළුවන්. නමුත් අපි තවමත් අණ්ඩ දමමින් ගොමස්කඩයක් ගත දවටා ගෙන පීඩනයකින් ජීවත් වෙනවා.
සමාජයකට අනවතරව ගලා එන පීඩන ප්‍රවාහයක් තුළ පවතින්න බෑ. මේ පීඩනය සමාජයට අවශෝෂණය කර ගන්න පුළුවන් කමක් නෑ. එතනදි ඇතැමෙක් ජීවිතය අතහරිනවා. ඇතැමෙක් සමාජය අත හරිනවා. තවත් අය පීඩන ප්‍රතිරෝධයන් හදා ගන්නවා. ආන්ඩුවට දක්වන දේශපාලන විරෝධය වගේම සමාජ කල්ලි, කාණ්ඩායම්, නායකත්ව දරණ විවිධ කොටස් වලට ඇති වන විරෝධයත් ඒ ආකාරයි. එහිදී ඒ ප්‍රතිරෝධයන් යුක්ති සහගත වෙන මෙන්ම නොවන අවස්ථා පවතිනවා. ජාතිය, ආගම, සංස්කෘතිය හැම එකක්ම කුල්ලට, පෙනේරෙට වැටෙන එක හොඳ වුණත් කුල්ලට දැමිය යුතු දේ පෙනේරයටත් පෙනේරයට දැමිය යුතු දේ කුල්ලටත් වැටුණොත් වෙන්නේ සමාජ වටිනාකම් තවත් ටිකක් වේගයෙන් විනාශයෙන් විනාශයට යාම පමණයි.
මෙතනදි මමත් ස්ටෑන්ඩ්අප් , සිට්ඩවුන් හෝ රයිට්ඩවුන් ලෙස ප්රකාශ කළ යුතු යමක් තිබෙනවා. එය විහිළුවක් හෝ යථාර්තයක් වන්නේ ජන සමාජයේ ප්‍රතිපෝෂණය අනුව.
එය යෝජනාවක් ලෙස ඉදිරිපත් කරන්නට මම කැමතියි.
ඒ තුළ මේ බොහෝ දේ සමබරව රැකගෙන සමාජයක් වශයෙන් ඒකරාශීව රට, ලෝකය ඉදිරියට තල්ලු කර ගන්නට දිය හැකි අලුත් යමක් තියනවා ද යන්න ඔබ තීරණය කළ යුතුයි. 😀
අපි නටමු, තුටින තුටින ගීත ගයාලා .. !
ජාතික අරගල වලින් සමහන් නොකළ ජන පීඩනයට දැන්වත් නිදහසක් දෙන්න. රටට ජාතික නර්තනයක් හඳුන්වා දෙන්න. ජාතික ගීයේ අරුත්බර වචන එක්ක හිතට එකඟව සීරුවෙන් හිර කරගෙන ඉන්න බැරි ජාතික හැඟුම් වලට නිදහස් වන්නට ඉඩක්. පිටකෙරෙන  පීඩනය හොඳම විදිහට උරා ගන්න ජාතියටම ඉඩක් දිය යුතුයි. ස්ට්‍රෙස් නැති කර ගන්න කාමර ශාලා අස්සෙ නටපු නටන මිනිස්සුන්ට ජාතියක් වශයෙන් නටන්නට ඉඩක් හැදිය යුතුයි. ඒක රටක ජාතියක භාව විශෝධනයක් වේවි. මානුෂීයව වගේම ධනාත්මකවත් රටක රාජ්‍ය මට්ටමේ කාර්ය බාරයක් ලෙස කතිකාවට ගත යුතු දෙයක්.
සීරුවෙන් කියන ජාතික ගීයට උපරිම ගෞරවයෙන් යුතුව එතැනට ජාතික නර්තනයක් ආදේශ කර බලන්න. ලාංකීය ජාතියක් වශයෙන් අපිට දිනපතා නිල වශයෙන් නැටිය හැකි නැටුමක්. පාසලේද, ආයතනයේද, උත්සවයක ද බේදයකින් තොරව එකට නටා ජවයෙන් අරඹන දවස, ඒ දවස කොතරම් ප්‍රීතිමත් වේවිද, සුන්දර හා ප්‍රබෝධමත් වේවිද, නිර්මාණශීලි වේවි ද ? ඒ හිතිවිල්ලත් කොතරම් ප්‍රීතියක්ද :! එහෙම නොවෙයි ද අලුත් ලොවේ අපේ අභිමානය අපි රැක ගත යුත්තේ. එය නොවෙද ජන විඥානයේ හැබෑ ප්‍රතිව්‍යුහගත කරණය. සිත ගත මනස ලෙස එක මිටකට ගෙන රටට හයිය හදන විදිහ.😀
අපි නටමු, තුටින තුටින ගීත ගයාලා .. !
මතක තියා ගන්න ජන අරගලයකින් පසු ජනයා ප්‍රතික්‍ෂේප කළ කෙනෙකුට ජනපති වෙන්නට හැකි රටක ජාතික නර්තනයකින් ජාතියක අහිමානය නැංවීම පමණක් නොව රටම වුව වෙනස් කළ හැකි බව !

No comments: