Tuesday, January 12, 2021

රාජ්‍යයේ බාසාව (කළු ඉත්තෝ සුදු කරන විරංජන කාරක නොහොත් "සිස්ටම් එක")


එදා මෙදා "රාජ්‍ය භාෂාව" නිසා මෙරට ඇතිවූ ප්‍රශ්න බොහෝය. මා කියන මේ රාජ්‍යයේ බස ඒ භාෂාව නොවේ. ඒක අමුතුම එකකි. එය තේරුම් ගැනීම ලේසි නොවේ. සිංහල දෙමළ මුස්ලිම් කාටත් ඒ බස එකක්මය. බලය ධනය සමඟ ඇති ගජ මිතුරු පන්නය එහි පදනමය. 

කෝවිඩ් කියා හෝ ඒ බාසාවේ නම් වෙනසක් නැත. මේකට බොහෝ අය කියන්නේ "සිස්ටම් එක" කියාය. 

රටේ හැම කොනකම වාචික හෝ ලිඛිත භාෂාව ට එහා බලපවත්වන්නේ සන්නිවේදනයට වචනයක්වත් උවමනා නැති ඒ බාසාවයි. බොහෝවිට දේසේ හැටියට බාසේ යැයි කියා ඇත්තේ මේ බාසාවට මිතුරු අනෙක් බසට විය හැකියි. 

ඒ බාසාව මැනවින් උගත්තෝ මෙරට දිනන්නෝය. පාසලේ හෝ මළපොතෙන් අකුරක් ඒ සඳහා ඕනෑ නැත. හතර විලිලජ්ජාවක් නොගෑවුණු කපටිකම මේ සඳහා හොඳටෝම ප්‍රමාණවත්ය. 

රටේ ඉහළම තනතුරට, පදවියට පත් කරන මිනිසා මහජන ඡන්දයෙන් වෙනස් කළ හැකි වුවත් දියුණු ලක්වාසියාට අදටත් රස විඳිනන්ට සිදුව ඇත්තේ ඒ බාසාවමය. 

ක්රමේ නොහොත් ඒ කරුමය වෙනස් කරගැනීම ලාබෙට කරගත නොහැකිය.  රන්ජන් ලාගේ බාසාව උපදින්නේ ඔතැනය. සමහර වචන හැර ඒ බාසාව නැතිව  මෙරට ජීවිතය ද විහිළුවක්මය.


No comments: