Monday, April 30, 2018

ලෝකෝත්තරයෝ සිතක සතියට විදිති? (බඩගෝස්තර ලාබ බාල වෙසක් මැද)

වෙසක් තොරණේ පෙන්වන්නේ බණ කථාය. අපේ ප්‍රබුද්ධත්වය මත අපි සාධු.. සාධූ.. නොකීවත් කීවත් බණ කතාවෙන් සමාජය පිරිහෙන්නේ නැත. ජාතක කතාවේ සතුන් කටින් කතා කළත්, හිතෙන් කතා කළත් එයින් වන්නේ සමාජ සංස්කෘතික පෝෂණයකි. ආගමිකයාගේ පහන් ශ්‍රද්ධාව ඉහළ නැංවීමකි.
එතකොට ටී වී තොරණ්.. ඒවායේ පෙන්වන්නේ බණ කථාද? ඥාන කථාද? මාධ්‍ය ප්‍රවර්ධන කථාද? ලාබයි, ලාබයි අපෙන් ගන්න කියන කථාද?
වර්තමාන මාධ්‍ය ව්‍යාපාර මෙහෙවර අතකින් හරි වටිනවා සේම මුදල් බෙදා මිනිසුන්ගේ කටින් තමන්ගේ වෙළඳ දැන්වීම ප්‍රචාරය කර ගන්නා බොහෝ මාධ්‍ය හැබෑ ලෝකයේ ලෝකෝත්තර ගේමක් මේ දිනවල ප්‍රවර්ධනය නොකරයිද? යන්නත් විමසනු වටින්නේය.

කව්ද මේ ලෝකෝත්තරයා... සැබෑවටම නම් ලෝකය පිළිබඳව ආධ්‍යාත්මිකව උත්තර සොයායන්නා සරලවම ලෝකෝත්තර මාර්ගයක යන්නෙකු යැයි කිව හැකි. නමුත් අපේ ව්‍යවහාරයේ ලෝකෝත්තරයා යනුවෙන් හඳුන්වන්නේ එහි සැබෑ අර්ථයට ප්‍රතිවිරුද්ධ අර්ථය දරන්නාය. එවිට ලෝකෝත්තරයා යනු ශූර කපටියෙකි, කෛරාටිකයෙකි. ඒ අරුතින් බොහෝ මාධ්‍ය මේ දින දෙකේ ලෝකෝත්තරයාගේ භූමිකාව කරති. ඊටම සරිලන බඩගෝස්තරවාසීන් පිරිසක්ද මාධ්‍යට ආල වඩන සඳ බුද්ධාලම්බන ප්‍රීතිය ලාබ වී බාල වී අදට වඩා හෙටට අඳබාල වෙසඟක පෙර ලකුණු පෙනී පෙනී නොපෙනී යයි.
අර මහා ජාති මාමකයෝ, නායකයෝ මේ දින දෙක වෙසක් නිවාඩු පිට නොහිටියා නම් අදම ඔවැනි මාධ්‍ය විරෝධී තවත් සිංහල බොදු බලවේගයක් රටේ අනාගතය වෙනුවෙන් හදනවා නිසැකය.

ඒ සියල්ල පසෙක තිබේවා! මේ රටේ සියල්ල අර්ථයෙන් බැහැරට යන්නේය. අධ්‍යාපනයේ අරුත, අධ්‍යාපනයේ නැත. ආරෝග්‍යයේ අරුත සෞඛ්‍යයේ නැත. කලාවේ අරුත කලාවේ නැත. දේශපාලනයේ අරුත දේශපාලනයේ නැත. ඉතිං දහමේ අරුතත් එයින් ගිලිහුණු පසු කාට බැන්නත් ඵලක් ඇත්තේද නැත. එනිසා  වඳින්න, පුදන්න බුදුන් බුද්ධියෙන් ශ්‍රද්ධාවෙන්, මාධ්‍ය සරණං ගච්ඡාමි නොකියා. ඒ අදාළ දුරස්ථ පාලකය පාලනය කරන්නේ ටී වී එක පමණක් නොවේ. සමාජයක ඉරණමට බලපාන සිකුරු, සෙනසුරුත් ඔබේ අතයට, හිතයට බව තේරුම් ගන්න.

No comments: