Friday, March 9, 2018

මුත්තාගේ අඹ පැළය-මගේ මහ මොළය

මුත්තා මුණුපුරා දෙස බලා යුතුකම ඉටුකිරීම අපි කුඩා කළ බෙහෙවින් රසවිඳි ''මොනවද මුත්තේ” ගීතමය පද්‍ය පංතියෙන් උගත්තෙමු. ඒත් ඒ යුතුකම වෙනුවට අප දුටු දේ කුමක්ද? බලය, නිලය, ආත්මාර්ථය උදෙසා කට දෙකොනින්ම කෙළ වගුරුවන කා කොටා ගන්නා මුත්තන් රොත්තකි. ඒ මුත්තන්ගේ දෑත් ශක්තිමත් කළ ගොට්ටන් රොත්තකි.
අපිට හැබෑවටම පාර වැරදී බොහෝ කල්ය. දැන් ඇත්තටම සිදුවන්නේ කටු අකුල් වලට පැටලීමේදී සිදුවන බෙරිහන් දීම පමණය.
නමුත් බොහෝ දෙනා ඒ සරල වැටහීමට අනුගත වීමට කැමති නැත. ඒ ඔවුන්ගේ දැනුම අප්රමාණ නිසා වෙන්නට ඇත. නැත්නම් බොර දියේ මාලු බෑමට ඇති හැකියාව නිසා වන්නට ඇත. දැන් දැන් දශසීලයම අරගන්නා සමහරුන්ට තමන් අතීතයේ වැපිරූ වැපිරීම මතකයේද නැත.
එදා සිට ජාතික දේශපාලනය කියා තමන්ගේ ජාතියත්, ආගමත්, පවුලත්, පරම්පරාවත්, පක්ෂයත් තනතුරුත් බදාගෙන තමන්ගේ ආත්මාර්ථය උදෙසා ඔවුහු රට බෙදුවෝය. රටේ සාමාන්ය මිනිහාට තම අසැල්වැසියා සමඟ හැමදාම තිබුණේ සරල ප්‍රශ්න ටිකකි. ඒ ප්‍රශ්න රටේ ප්‍රශ්න බවට පත්කොට ඒවා ජාති, ආගම්, කුලමල, පක්ෂ ප්‍රශ්න බවට පත් කළේ කවුරුන්ද?
එය දවසකින් දෙකකින් හෝ දශකයකින් සිදුවූවක් නොවේ.
එහෙව් යුතුකම් නොදන්නා අයිතිවාසිකම් ගැන පමණක් සිතූ මුත්තන්ගෙන් බිහිවූ වූ මුණුපුරන් දැන් හොඳින්ම බුරන වයසේය. එකිනෙකා බුරා ගන්නා විට අහල පහළ රටවල උන් බල්ලෝ එලවන්නට කියා ගල් ගසන්නටද පුළුවන. මන්ද ඔවුන් මෙහේ ඉන්නා වල් බල්ලන්ට වඩා තවත් රටවල දඩෝරියන්ට බයක් දක්වන නිසාය. ඒ බල්ලන්ට ඉන්ජෙක්ෂන් ගසා තිබෙන නිසා ප්‍රශ්නයක්ද නැත.
ඉතිං වල් බල්ලන් ගානට වැටුනත් අපිට දැන් කමක් නැත. ඒවා හුරුය. මගේ අයිතිවාසිකම් මිස මට දැන් යුතුකම් කියා දෙයක් නැත. අඹ සිටුවන්නට ඉඩක්, වෙලාවක් හෝ උවමනාවක්ද නැත. බැරිම තැනක් ආවොත් දඩෝරියන් ඉන්න හෝ සත්තුන්ට බලපත්ර නොදෙන රටකට පනිමි මම. ඉතිං ඒ සඳහා දැන් සිට යොදවමි මගේ මහ මොළය. එහෙමද?

No comments: