Thursday, October 18, 2012

රස්ට මංගලම්

මංගල්ලේ ලොකුවටම කාලා, ඒක ගමටම කියලා, රටටම පෙන්නලා, ගන්න ලොකු ආසවක්‍‍.

චාරිත්‍ර ‍කොරලා, වාරිත්‍ර නොකළා, කාටත් පෙන්නලා, ගන්න ලොකු ආසාවක්.

පෝරුවටත් නැගලා, මංගලම් කියලා, මුද්දකුත් දාලා, තැල්ලකුත් බැදලා, ඉන්න ලොකු ආසාවක්.

කාටත් මතක හිට්ටවලා, එකට පේළියේ හිට්ටවලා, පොටෝ ගස්සවලා, පෙන්නන්න ලොකු ආසාවක්.

කවුරුත් නොකළා, අපි කළා, වෙනස්ව කළා, කොහොමද වැඩේ, කියන්න ලොකු ආසවක්.

සේරම ඉවර වෙලා, බෝතලුත් ඉවර කළා, සතුටත් ඉවර වෙලා, පාටිත් ඉවර කළා, හැමෝම ගෙදර ගියා, සියල්ල සතුටින් නිමා වෙලා, දැනෙන්න ලොකු ආසවක්. ‍

මඟුලට කලින් රස්තියාදු ගැන අපිට වැඩක් නෑ. මඟුල් අස්සේ රස්තියාදු ගැන අපිට වගක් නෑ. දැන් මඟුල අවසානයි. පතන්නේ අවමඟුල් තුරාවට සතුටින් සිටින්නට ඔවුන්ට හැකිවේවා කියා. මේ මඟුල වටින්නේ එවිටයි. අවසන් ඵලය ඵල දරන්නේ එවිටයි. 

මඟුල් ගොඩක රස්තියාදුවී සතුට ගැන හතරපාරක් සිතා බැලූවිට මේ බැව් පසක් විය. 

එනිසා කියමි, විවාහ ජීවිතය ඇත්තේ විවාහයෙන් පස්සේ...

Monday, October 15, 2012

රස්ටා හලෝව්

හිතන ක්‍රම විවිධයි. ආරෝහණව වගේම අවරෝහණවත් හිතන්න පුළුවන් විදිහක් තියනවා.

සරලව ඉන් අදහස් කළේ පුංචි සිතිවිල්ලකින් පටන් ගෙන ඒ වටා ලොකු දෙයක් ගොඩනැංවීම වගේම, ලොකු දෙයකින් පටන් ගෙන ඒක විශ්ලේෂනය කරගෙන ඒක ඇතුළෙ හැංගුණු පුංචිම සිතිවිල්ලටත් එන්න පුළුවන් කියන එක. 

ලෝකෙ ගො‍්ලෙන් පටන් ගෙන ඒකෙ තියෙන රට හොයාගන්නත් පුළුවන්. රටෙන් පටන් ගෙන ලෝක ගෝලේ දිහා බලන්නත් පුළුවන්.

කොයි පිළිවෙලට හිතුවත් ගමන්කරන්නෙ එකම පාරක් ඔස්සේ නේද? වෙනස පටන් ගන්න තැන පමණයි. හරියට ප්‍රධාන පාරේ ඉදන් නිවසටත්, නිවසේ ඉදන් පාරටත් එනවා යනවා ‍වගේ.

 

සමහර විට අපිට එකිනෙකා ගැන තේරුම් ගන්න බැරිවෙන්නත් මේ දේවල් බලපානවා. සමහරු එක්ක කටයුතු කරද්දි ඒ දේවල් දිරවගන්න අපට බැරිවෙන්නෙත් මේ වගේ සරල දේවල් තේරුම් ගන්න තියෙන බැරිකම නිසා.

අපි මුල ඉදන් කතා කරනකොට සමහරු අග ඉදන් කතා කරන්න ගන්නවා. කතා‍ව අහගෙන ඉන්න තරම් ඉවසීමක් නැති නම්, අපි හිතනවා එයාට තේරෙන්නේ නෑ කියලා. එයා හිතනවා අපිට තේරෙන්නේ නෑ කියලා. නමුත් අවසානයක් දකිනකම්ම බැලුවොත් කතා කරන්නෙ එකම දේ. වෙනස පටන් ගන්න තැන පමණයි. 

එනිසා වචන මතම යම් කිසි කාර්යයක් හෝ දෙයක් ග්‍රහණය කරන්න බැරි බවත් තේරුම් ගන්න වෙනවා. වචන, වචන ගැලපීමේ අනුපිළිවෙල විතරක් නොවෙයි, සමස්ථයේ ව්‍යුහය මොකක්ද කියන ‍එකත් යමක අන්තර්ගතය තේරුම් ගැනීමට යාමේදී වැදගත් වෙනවා.

 

සරලව ගත්විට බොහෝ වාග්මය හෝ ලිඛිත සදහන් තුළදී උදාහරණ මගින් කෙරෙන්නේත්, චිත්‍ර භාවිතයෙන් කරන්නේත් මෙවැනි දෙයක් නොවේද?

උදාහරණ තුළින් සිත තුළ මවන්නේ චිත්‍රයකි. අදාළ කතාවෙන් කියූ දෙයෙහි අන්තර්ගතයේ ව්‍යුහයට ගැලපුමක් කළ හැකි චිත්‍රයකි. එබැවින් චිත්‍රයකින් පසක් කරන්නේ ව්‍යුහාත්මක දත්තයන්ය බව කිව හැකිය. 

 

මේ දෙක එක්ව භාවිතා කරන ශ්‍රව්‍ය දෘෂ්‍ය නිර්මාණයන්ගේ ඇති රසයට හේතුවත් එයම නොවේද? ඒ තුළ අපට ඇති වන්නේ ප්‍රබල සංවේදනයක් නොවේද?

භාෂා භාවිතය අතරම එයින් නූපන් හැඟුම් එකවර කැටි කොට දැක්වෙන චිත්‍රයකින් එම භාෂා අර්ථයේ ව්‍යුහය ඉදිරිපත් කෙරෙන්නේය. එය කනින් ඇසූ දේ ඇසින් දැකීමකි. නැතහොත් ඇසින්ම දුටු දේ තවදුරටත් පැහැදිලිව දැකීමකි. ඒ දර්ශන අතර ගැලපුම පැහැදිලි ග්‍රහණයයි.

ශ්‍රව්‍ය දෘෂ්‍ය නිර්මාණයක් වන සිනමාවේදී නම් අප දකින, අසන දෙය හා සබැදෙන හැඟුම උපදින්නට සැකසූ පහසු පසුතලයක්ද වෙයි. එබැවින් චලනය වීම ඔස්සේ වෙනස් වන රූප රාමු එකින්‍ එක ඔස්සේ සිතිවිලි පෙළ ගැසෙන්නේය. එනම් නූපන් හැඟුම්ද ඉපදෙන්නේය. යම් විටෙක එම හැඟුම් දෙබස් වී කියැවෙන්නේය. එමඟින් එම දසුනේ  ව්‍යුහය අපට තහවුරු වන්නේය. ඒ ඔස්සේ නිර්මාණය අපට ග්‍රහණය වන්නේය. එය සමබරව සිදු කෙරුණු තැනකදී අපි හොද රසවින්දනයක් ලබන්නෙමු.

 

මේ රස වින්දනය ලැබීමට නම් අපි ‍තුළ හොද ඉවසීමක් තිබිය යුතුය. හොද ඉවසීමක් තිබීමට නම් මනස සන්සුන් විය යුතුය. සිතේ පැහැදිලි බව මනස සන්සුන් කරයි නම්,.සිත පැහැදිලිව තබා ගැනීම අපේ වගකීමකි. සිත පැහැදිලිව තිබෙන්නේ අවුලෙන් තොරවූ විටය. අවුලෙන් නිරවුල් වීමට නම් ‍‍හි‍තේ එක එක දේ තියාගෙන බැරිය. හිතේ එක එක දේ රැදෙන්නේ, කසල ගොඩක් සේ උවනමා දේත් එපා දේත් එහි තිබූ විටය. එබැවින් කසල නිකලස විය යුතුය. සිතට එක එක දේ හිතෙන නිසා එතනට නුඋවමනා දේ පැමිණිය හැකිය. ඒවා ඉවත් කර ගත යුත්තේ ඒ හිතේ අයිතිකාරයාය. කසලෙන් වැඩ ගැනීමටත් සමහරු දන්නේය. එය පසෙක තිබුනාවේ... 

 

කසලෙන් නිකසල වීම ප්‍රථම කරුණයි. එය නිරන්තර අවශ්‍යතාවක් නිසා එ‍යට ක්‍රමවේදයක් තනා ගැනීම වටිනා වැඩකි. එවිට මට මතක් වන්නේ කම්පියුටරයයි. නිතර අනවශ්‍ය දේ ඩිලීට් කොට දැමීමට එහි තැනක් ඇත. එහි ඇති දේ ප්‍රතිචක්‍රීකරණයද අවශ්‍ය නම් සිදුකල හැක. බුද්ධිමත් මිනිසුන්ගේ වැඩක්,

 

රස්ටා වැඩ කළ හැකි කොම්පියුටරයක් නම් හලෝව් යනු රිසයිකල් බින් එකය. රිසයිකල් බින් එක නැවත පරීක්ෂා කොට කලබලයට ඩිලීට් වූ යමක් රිස්ටෝ කළ හැකිය.

පරිගනකයටත් වඩා කාර්යබහුල වෙමින් තිබෙනා එදිනෙදා දින දසුනේ අප නොදැන අපෙන් ගිලිහී යන වටිනා කම් බොහෝය. ඒවා ආසන්න කාලයකදී රිස්ටෝ කර නොගත හොත් පද්ධතියම රිස්ටෝ කර ගැනීමට දිනකදී ඔබට මට සිදුවනු ඇත. නමුත් අදාළ දිනක් දක්වා පද්ධතිය රිස්ටෝ කර ගැනීමට හැ‍කිවේදැයි මට නම් සැක සහිතය.

 

එම නිසා මගේ රස්ටාවට මා නිතර කියම්, හලෝව්..

Thursday, October 11, 2012

රස්ටා දකින රිfරැf(රස්ට) චක්‍රය

යථා ස්වභාවයට හිත හා බුද්ධිය ගලපා ගැනීම පහසු නැත. මේ දෙක අතර ගිවිසුම සදහා වීරිය නම් අවැසිමය. නැතිව අප කොතෙක් උත්සාහ කළද රිfරැf චක්‍රයෙන් මිදීම පහසු නැත.

යා දෙක නොරත රත, සමඟ පෑහීමක් නැත- කීවාසේ සමහර විට බුද්ධියේත් හද‍වතේත් එකඟතාවයට අදාළ හුදු කපටිකමෙන් තොර විග්‍රහය හදුනා ගැනීමට හෝ තේරුම් ගැනීමට නොහැකි නිසා ඒ දෙක නොපැහී මොළයේ අමාරුකමින් හෝ හදවතේ අමාරුකමින් පීඩා විදින රස්ටාවෝ නුතන හුදී ජනයා අතර බොහොමය. 

බොහෝ දෙනාගේ විග්‍රහය අනුව, බුද්ධිය හැඟීමට ලියාදීම හෝ හැඟීම සින්නක්කරයට බුද්ධියට පැවරීම රිසි දෙයක් වූවාට නිසි පිළියමක් නොවේ. හිතෙන දේ කිරීමේ උපරිම වීරියද බුද්ධිය හෝ හදවත නැති කල හුදු ව්‍යායාමයක් පමණක් බවද තේරුම් ගැනීම වටී.

 

කුමක්ද මේ චක්‍රේ?

සාමාන්‍ය සුප්‍රසිද්ධ පොතෙහි නැති රස්ටාගේ දැනුම් පොත පෙරළන කල දුටු චක්‍රයකි මෙය.

කුඩා කල සිට දැනුමත්, අධ්‍යාපනයත් ලබාගෙන සුදුසු වයසේදී අන්තඃ සාකච්ඡාවෙන් ගමන් දිශාව තේරුම් ගන්නා හදවත හා බුද්ධිය සාමාන්‍ය භාවිතාවේ යොදවාගන්නන්ට වඩා මේ අන්තඃ සාකච්ඡාවේදී බුද්ධියේ හෝ හදවතේ අංශය වැඩියෙන් ක්‍රියාත්මක වීම නිසා මේ එක් හෝ අංශයක වැඩි භාවිතාවක් ඇත්තෝ මේ රස්ට චක්‍රයට බොහෝ සෙයින් අසුවන්නෝය.

සරලව කීවොත් හැඟීම් බර හිතට අවංකයෝද, බුද්ධියට බර අහිංසකයෝද බොහෝ සෙයින් මේ ගොන්නේ සිටිති.

අවිහිංසකත්වය - බුද්ධිය - හැඟීම - හදවත ලෙසින් මේ චක්‍රය දෙපසටම කරකැවෙන්නේය. මේ චක්‍රයට වැටුණු විට රස්ටාව පමණක් සිදුවන්නේය. කෙළවරක් නොමැතිව කාලයක් ඉසව්වක් නොමැතිව ජීවිතය ඇදී යන්නේය. 

 

චක්‍රය බිදින්නේ කෙසේද?

අංගුලිමාල සිතු දෙයින් අඩක්වත් සිතිය යුතුය. මම දුවන්නේ ඇයි? කොහෙද? ගමනාන්තය කොහේද? 

සරල ලෙස කියන ශුද්ධ රස්තියාදුව නම් එයයි. දුවන්නේ කොහේද දැනගෙන දුවමු. දුවන්නේ ඇයි කියා දැනගෙන දුවමු. ගමනාන්තය දැනගෙන දුවමු.

තවත් දෙයක් එකතු කළ යුතුය. දිවීමේ වේගයද දැනගෙන දුවමු. 

රස්ටාගේ වැඩ පිළිවෙත

මෙය පාරිභාෂික යෙදුම් සහිත දර්ශන මාන උගත්තුන්ගේ පරිකල්පනයට අතිශයින් සරල සාමාන්‍ය රස්ටා යෙදුම් තුළ අවබෝධය පිණිස බැව් සැළකුව මනාය.

 

හදවතක් නොමැති කල මිනිසෙක් තවදුරටත් ඉතිරි නොවේ.

මොළයක් නොමැති කළ මිනිසෙකුට තවදුරටත් පැවැත්මක් නොවේ.

මව සහ පියා ලෙසින් හදවතත් මොළයත් අපව ඉදිරියට රැගෙන යනවා නොවේද? මේ දෙදෙනාගේ සමබරතාව කුටුම්බයක් යහපත් කරන්නේ යම් ලෙසකින්ද හදවතත් මොළයත් සමබර වූ විට ජීවිතයේ ප්‍රබලතාවය මිනිහා ඉදිරියට ඔසවන්නේය.

හදවත මරා මොළයෙන් ලොව ජගන්නට තනන මිනිසා ඉතා ඉක්මණින්ම විනාශයට එකතුවනු ඇත. බුද්ධියට පිටුපා හදවතින් පමණක් ලොව ජය ගත් මිනිසෙක්ද නැත.


එබැවින් හදවතෙහි ඵලය වූ හැඟීමද, මොළයෙහි ඵලය වූ බුද්ධියද සමබර කරගැනීම රස්ටාගේ පිළිවෙතයි. හිතේ රස්තියාදුවද, ගතේ රස්තියාදුවද එකට කලතා පෙරා ශුද්ධ කොට ගන්නේ එනිසාය.

තිත්ත වුවත් ඒ ශුද්ධ පානය අපහසුවෙන් වුව බොන්නට උත්සාහ ගන්නේ ජීවි‍තයේ රෝග නිවාරණය සළකාය.

Tuesday, October 9, 2012

රස්ටාගේ ලංකා විග්‍රහය හා කාල රාමුව

මෙය නූතන කිරුම් මිනුම් ලෝකයේ දශමයටම ගණනයන් සිදුකරන පඩිවරුන්ගේ විග්‍රහයකට අතිශයින්ම අනුකූල නොවන ඉතාම සරල මුත් රස්ටා මිනුම තුළ නිවැරදි විග්‍රහයක් බව සැලකුව මනාය.  

 

1933... , 1944... , 1955... ස් ගණන් වල අපේ සාමාන්‍ය මිනිස්සුන්ට තිබුණේ දැනුමේ අඩු කමකි?

1966... , 1977... , 1988... කාල වල ‍අපේ සාමාන්‍ය මිනිස්සුන්ට තිබුණේ අධ්‍යාපනයේ අඩු කමකි?

1999... , 2010... , (ඉදිරියට 2021...)  අපේ සාමාන්‍ය මිනිස්සුන්ට වනු ඇත්තේ සාකච්ඡාවේ අඩු කමකි?

මේ එක් එක් කාලයන්හිදී රටේ යම් යම් දැන උගත් හෝ බුද්ධිමත් ගුණවත් උදවිය සාමාන්‍ය ලාංකිකයාගේ  මේ අඩුපාඩු කම් සැපිරීම උදෙසා කටයුතු කළෝය.

 

මින් ඔබ්බට අපට අවශ්‍ය කුමක්ද? 

 

දැනුම අඩු කළ දැනුම සැපයුණු තැනදී අප ඉදිරියට ආ බව සත්‍යක් නොවේද?

දැනුම ලැබුණු විට අපි දැනුමෙන් වැඩ ගන්නට උගත්තෙමු. හරියට ඉඩමක් නැති අපට ඉඩමක් ලැබුනා බදුය.

 

අධ්‍යාපනය අඩු කළ අධ්‍යාපනය සැපයුණු තැනදී අප ඉදිරියට ආ බව සත්‍යක් නොවේද?

අධ්‍යාපනය ලැබූ කල අපි අධ්‍යාපනයෙන් වැඩ ගන්නට උගතිමු. ඒක හරියට ඉඩමක් තිබුණත් මුදල් නොමැති මිනිහාට ගොඩනැගිලි ද්රව්ය තොගයක් ලැබුනා බදුය.

 

සාකච්ඡාව අඩු කළ සාකච්ඡාව සැපයුණු තැනදී අප ඉදිරියට ආ බව සත්‍යක් නොවේද?

සාකච්ඡාව සිදුවුණු කල අපි විවිධ මති මතාන්තර තුළින් පෝෂණය වුනෙමු. හරියට ප්ලෑනක් ඇද ගන්නට නොලැබුනු කල ප්ලෑන් ගණනාවක් අතටම ලැබුනා බදුය.

 

 එසේනම් දැන් අපේ අඩු කම කුමක්ද?

අනුක්‍රමයෙන් ගත්විට දැනුම නැමති භූමය අපි සපයා ගෙන සිටිමු. අධ්‍යාපනය නැමති ‍ගොඩනැගිලි ද්රව්ය අපි සපයාගෙන සිටිමු. සාකච්ඡාව තුළින් සුදුසු නිවාස සැලසුමක් අප තනාගෙන යන්නෙමු.

දැනුමත් තිබේනම් , අධ්‍යාපනයත් තිබේනම් , සාකච්ඡාවත් සිදුකරන්නේ නම් , මා කියනා මේ සාමාන්‍ය මිනිසා ඉන් ඔබ්බේ පිය නගන්නේ කුමන ඉසව්වකටද?

 භූමියක් තිබූ පමණින්, අමුද්රව්ය තිබූ පමණින්, සැලැස්මක් තැනූ පමණින් සුදුසු නිවහනක් ඉදි නොවන බව ඔබට අමුතුවෙන් කීමට තරම් උවමනාවක් නැත. දැන් තිබෙන්නේ සුදුසු කාල රාමුවක් ගොඩ නැංවීමයි. ජීවිතය නැමති නිවහන ගොඩනැංවීමට සුදුසුම කාල රාමුවක් සකසා ගැනීමයි. 

 

නිවෙස වගේම ලෑන්ඩ්ස්කේපින් ගැනත් අමතක කරන්නට නොහැකිය. මන්ද ජීවිත නිවහනට සොදුරු වටපිටාවක් අවැසිමයි.

Monday, October 8, 2012

2012+

සාමය සමෘද්ධිය සතුට ජය සමඟ යහපත් සියළු දේ සදහා සැමට නොකො‍මා සුභ පැතුම්..

අදියරක් නිමා කොට රස්ටාගේ අලුත් ලිවීම අරඹන්නට අවසරයි මෙතැන් සිට..

බලමු ඉදිරිය... රස්තියාදුවේ හැබෑ ශුද්ධ හැඟුම් කියවන්නට රිසි සැමට ආරාධනා...

කතා

කතා ඇති කියන්න වෙන්නෙ වැඩ පටන් ගන්න ඇත්තටම ඕන වුනාම. පළමුවෙන්ම කතා කරල ටිකෙන් ටික හරි ඒ දේවල් ශුද්ධ බුද්ද කර ගත්තෙ නැත්‍නම් කිසිම ‍හරයක් ඉතිරි වෙන්නෙ නෑ. ඒ කියන්නෙ ගන්න දෙයක් නෑ. ගන්න දෙයක් නෑ කියන්නෙ ආපහු වැඩක් නෑ කියන ‍එකනේ. 

ඒ නිසා කතා කොට තේරුම් ගත් හරය වෙනුවෙන් දෙවනුව ලැහැස්ති වෙන්න ඕන ක්‍රියා කරන්න. එතකොට එන ප්‍රශ්නෙ තමයි කොහොමද ක්‍රියා කරන්නෙ කියන එක. ගොඩක් දෙනාට තියෙන ප්‍රශ්නයත් ඒක. අපිට අනුන්ගෙ කියුම් කෙරුම් වැඩක් නෑ, අපි මොනව හරි කරමු කීවට ආපහු එහෙම කියන අයගෙ වැඩත් ගොඩක් වෙලාවට ඔවුන් විවේචනාත්මකව හිතපු මුල් සාම්ප්‍රදායික ක්‍රමේටම වැටිලයි ආපහු නවතින්නෙ. එතකොට පටන් ගත්ත තැනමයි.

හැම දෙයක්ම චක්‍රකයට වැටෙන ලෝකේ ඒකෙන් මිදෙන්න පුළුවන් දේවල් නැතිද කරන්න?

සීයට සීයක් නැතත් කීප ගුණයකින් හරි එහෙම දේවල් නැත්තෙත් නෑ. ඒ මොනවද කියල හදුනගන්නත් ඒ ‍දේවල් ක්‍රියාත්මක කරන්නත් නිකම් බෑ. හිතන්න, මහන්සි වෙන්න ඕන. 

කතා ඇති කියල ඇත්තටම දෙයක් පටන් ගන්න පුළුවන් වෙන්නෙ එතනදි. හැබැයි ඒකත් අපි කියනවට වඩා වෙනසක් දනවන දෙයක් බව සැබෑවට සමාජයකට දනවන්න පුළුවන් නම්, එදාට අපි සාර්ථකයි. හැමදාම හැමදේම රැදෙන්නෙත් නෑ. ඒකත් ඒ අතරම මතක තියාගැනීමත් වටිනව.

විචාර සීමා කරගෙන බලමු ඉදිරිය, 

හමුවෙන තුරු රස්තියාදුවේ යළි, 

වේවා ජයෙන් ජය..

තාරුන්නිය

අපේ ඇස් වහලා

ඒක සැපයක් වීලා

නොදැක වස කලා

දිරවනු පිණිස පොවලා

 

මං වින් නම් මෝඩයා

ලෝ නම් රට ගිය පුතා

උන්ට ගිය ලෝකයා

ඌව රකිනා කෙරුම් දූතයා

 

කරනු කිම මල්ලී

ඇයි ඕවයේ එල්ලී

මෙහේ හැටි මල්ලී

බීපන් උණට කොත්තමල්ලී

 

ඕව මොන ජාතී

ලොක්කො නොවැ ජාතී

වැදගෙන හෑම ජාතී

පතමු පිහිටක් ජාති ජාතී

 

ලජජාව නැති රාළේ

කීවයි නොකීවයි කාලේ

රමණ වන තාලේ

අතුත් පොඩි දී නටන් රාලේ 

 

හමුවන තුරු රස්තියාදුවේ යළි, 

වේවා ජයෙන් ජය..

අනාග‍තේ

අනාග‍තේ අ‍පේ අ‍තේ යැයි කියන්නේ මත්තට ලොකු වන්නට සිටින පොඩි උන් නොව මෙහේ බලයේ සිටින කෙරුමෝයි. එබැවින්ම කවදා මුත් මෙහේ එහෙව් වූ අනාගතයක් නම් උදාවන්නේම නැත.

කේතුමතියේ නොව මෙහේ සැබෑ හෙටක් නිර්මාණය නොවන්නට හේතු කීපයක් රස්ටා දකින්නේ දශක දෙකකට මදක් වැඩිවූ නමුත් මේ ජීවිත රස්තියාදුව නිරන්තරව හොද හැටි ශුද්ධ කොට ගන්නා කෙනෙකු වීමේ හේතුවෙනි. 

ඒ අනුව, පළමුවැන්න නම්,,

මෙහේ කෙරුමෝ ආඩිහතේ කතාන්තරය නිරූපණය කිරීමයි. 

කෙරුමෝ රට කරවති. වටේ සිටින උපදේශකයෝ කලා කරුවෝ වේවා, වන්දි භට්ටයෝ වේවා, හිතවතුන් වේවා, කෙරුමෝත් සමඟ මේ උදවිය රඟන්නේ සාමන්‍ය ජනයා නොදකින ආඩි හතේ කතාන්දරයයි. 

මම විශ්වාස කරන ලෙසට නම් සැබෑ නායකයින් කියන්නවුන් ජීවිතයෙන් ම ආදර්ශ දුන් උදවියයි. එහෙව් කොට මීඩියා වල රඟන්නන් නොවේ. ආඩි හත රංගය යනු සියල්ලන්ටම පෙනෙන සේ හෙට අනාගතය වෙනුවෙන් තැනෙන කැද හැලියට දායක වන බව අතිශය තාත්වික ලෙස රඟා පෙන්වීමයි. කලා කරුවෝ ආදීන් උත්පත්ති හැකියාවත් සතත අභ්‍යාසයත් නිසා මේ රංගනය හොදින්ම කරති. ඒ අනුව කැද හැලිය වෙනුවෙන් හාල් නොදමන්නෙක් නොමැති තරම්ය. දර දිය නොඅදින්නෙක් නොමැති තරම්ය. එපමණකට දේශ ප්‍රේමය උතුරන්නේය. හැලියේ වතුර හොදට නටන්නේ හැලියට දර ඇද හොදට ගිනි පිබින නිසාය. දියද යහමින් දමා ඇත. එ‍හෙත් කවුරුන් අතරත් කුප්‍රකට සත්‍ය සැලියේ හාල් නොමැති බවය. නමුත් එහි වගක් නොදැනෙන පරිදි රංගය ඉදිරියටම යන්නේ යටිපෙළෙහි තම තමන් කෙරුමෝ ආශ්‍රයෙන් දිනා ගන්නා මාන්නය රැකෙන පරිදිය. කෙරුමෝ සියල්ලන්ටම රංගය උදෙසා හොදින් සළකන්නේය. දාන මාන දෙන්නේය. ඉදින් කෙදි‍නකවත් මේ කැද හැලිය තැනෙන්නේ නැත. මති මතාන්තර විවිධ වේවා අහිංසක හෝ එඩිතර කොල්ලන් යුද්ධය දිනා දුන්නෝය. එහි ගෞරවය ගැන තවමත් පූචානම් කෙළවර නැත. එය ඊළඟට අවසනාවකට හෝ මෙබන්දක් සිදුවන තෙක්ම නවතින්නක් නොවේ. මෙහේ එහෙමය. 

කැද හැලිය ගැන කතාව නම් අපි දන්නා කලක සිට මතුවටත් අනාගතයටත් සංවර්ධනය ම වෙමින් සිටින්නෙමු යන්නයි. අපේ උදවිය මේ රට වූ තරමක රස්තියාදුව අවංක සිතින් ශුද්ධ කරගැනීමට පෙළඹෙන දිනයක් තෙක්ම කැද හැලියක් තැනෙන්නේ නැත. කැද කියා පට්ට උණු වතුර බී හරි අපූරු කැද යයි කියනා පිරිසක්ද වෙති. දිව උණුවතුරට පිච්චුනත් ඒ කතා වෙනසක් වෙන්නේ නැති. ඔවුන් තවත් වසර 25 කට පසු තේරුම් ගන්නා දේ නම් අපි එදා කරේ කුමක්ද යන්නයි. එතකොට කොරන්නට වන්නේ තවත් 25 ඉදිරියට හිතා ළතවීම පමණි. අහේතුවක මහත. කවදා කාට මේ කැද උගුරක් බොන්නට ලැබේද යන්නයි.

අවසන් තරගයට එන අපිට ඒක ගහගෙන දිනන්නට බැරි අපගේ අවිනිශ්චිත මානසිකත්වයයි. ‍රටම සංවර්ධනය වෙමින් තිබෙනවා මිස ඉන් ගොඩ ඒමක් නැති සේම අපිද අවසන් වටයේම හිදීම මිස ඉන් ඔබ්බට පය නොඋස්සන්නේත් සැබවින්ම බුද්ධිමත් කොල්ලන් රැසක් සිටින ක්රීඩා කණ්ඩායම් වලටද ඔවුන්ටත් නොදැනීම මේ කැදහැලියේ මානසිකත්වය කාන්දු වී ඇති නිසා දැයි විටෙක සිතෙන්නේ මේ කැද ප්‍රශ්නය රටේ හෙට ගැන සැබෑම ප්‍රශ්නයක් වෙන නිසාය.

කෙසේ හෝ වේවා, අපේ උන්දැලෑ මැරෙන බව දන්නා මුත් ලැබුනොත් බලේ අත්හරින්ට නම් සූජානමක් නැත. අපිට අනෙක් රටවල් වැඩක් නැත. මෙහේ සිටින්නේ ලෝකයේ උතුම්ම ආගම් ඇදහීම් කොට ගත් පිරිස්ය. එබන්දන් බලය වෙනුවෙන් දිවි නොතකා නැ‍හෙනවාද? නමුත් එය මෙහේ සත්‍යයි‍‍. බලය භාවිතා කොට සැබෑ ගොඩ නැංවීමක් පිණිස නායකයා අමුඩය ඇන්දාත් ජනතාව හිනා නොවේ. ඔවුනුත් අමුඩය ඇදීමට සූදානම් වනු ඇත. නමුත් ප්‍රශ්නය ජනතාවට අමුඩ ගහන්නට කියා පාලකයින් බොටම් හැදීමය. පාලකයන් යනු අකාශයෙන් පැන නැගී අප මුදන්නට ආ පිරිසක් නොවේ. ඔවුනුත් බලය ලැබෙන්නට පෙර රටේ හුදී ජනයාය. කුල ගෝත්‍ර වාදයට යුගය මෙය නොවේ. එනිසා එය කල් ඉකුත්වී ඇති බව සැලකුව මනාය.‍ කුල ගොත, වගතුග අපට වැඩක් නැත. බලය ලැබුනද හුදී ජනයා නියෝජනය කරන්නා වූ නායකයා ඔවුන්ගන් මිදී නොයයි. අතේ ඇගිලි ගණනට හෝ ලෝකයේ පරම ආදර්ශන නොවුනත් ආදර්ශයට ගත හැකි නායකයින් ගැන අප අසා ඇත. ඔවුන් නම් ඉතිහාසයේ කැද හැලි තැනූ ආඩින්ගේ ගොන්නට වැටී නැත. 

කාවුරුත් දන්නා, කාටත් වැටහෙන සුපුරුදු සත්‍ය එක් එක් අර්ථ ගැන්වීම් තුළ දෙසාබානවා විනා තමන්ට තමන් අවංක නැති නිවටුන් බහුතරය නම්, ඔවුන් මෝඩයන් හැටියට අමතක කර දමා අපි අපේ යුතුකම නොපිරිහෙලා ඉටුකරනු වටී. එය කවුරුත් සැනසීම උදෙසා නොව අප සැනසීම පිණිස මැයි, යහපත පිණිස මැයි. ඉදින් මෝඩයෝ නම් 25 කින් පසු මෙය තේරුම් ගනු ඇත. 

මෝඩකම් අඩුවේවා, රංගන හැකියාව නළු වෘත්තිකයන්ට ලැබේවා.

ඕනෑම දෙයක් සැබෑවක් කිරීමට නම් ඒ ක්රියාවට අදාළ කැපවීමට ඉහළ සිට පහළටම නියම වූ වගකීමක් ඇත. එය කැදහැලි රංගනයකට සීමා කරගන්නේ නම් රැවටෙනු ඇත්තේ අනාගතයේ ඒ ආඩීන්මය. එයට වන්දි ගෙවීමට සසරේ කවදා හෝ සිදුවනු ඇත. 

අපරාධයට ද‍ඩුවම පෙනී හෝ නොපෙනී නියතය.

ගිහින් එන්නම්..

හමුවන තුරු රස්තියාදුවේ යළි,

වේවා ජයෙන් ජය..

Sunday, October 7, 2012

ස්කෝ..

මැච් එකක ස්කෝ කරන්නත් ඕන හා ලැබෙන වෙලාවක් තියනව. ඒ වෙලාව හරියට පාවිච්චි කරන්න බැරි වුනොත් කාටත් එකම සන්තෑසිය පැරදීම තමයි. ඒකෙන් බේරුණොත් පූරුවේ වාසනාව සීයට අනූනවයක් බලපාපු අවස්ථාවක විතරයි. ඉතිං නොදන්නා පූරුවේ වාසනාව ගැන නොහිතා ජීවිතේත් හරියට මැච් එකක් වගේ කියන්නත් සුදුසු මේ ‍වගේ වෙලාවක්ම තමයි. 

අපිට මේ අත්දැකීම් ගොඩක් තිබිලත් ඒ රස්තියාදු ශුද්ධ නොකරගන්න නිසාම හැමදාම ගොඩක් සමානම දේ භුක්ති විදින්න වෙනව ජීවිතේදි වගේම.

ස්කෝ කරන්න පුළුවන් මැච් එකෙත් ජීවිතෙත් මුල් කාලෙ. ඒ මුල් කාලෙ නිකම්ම ගතවෙලා ගියොත් අවසානෙ පීඩනෙ වැඩි වෙන එක ගැන ආයෙ කියන්න  උවමනා නැහැ. මුල් කාලෙ හොදට ස්කෝ කරන්න නම් ඉක්මණට පිටිය තුළ ස්ථාවර වෙන්න ඕන. එහෙම නැතිව නිකම්ම පිටියෙ රැදිල හිටියට විතරක් වැඩක් වෙන්නෙ නැහැ. අනික එහෙම රැදිල ඉන්නවනම් අවසාන මොහොතෙ, උචිතම වෙලාවට හොදට ස්කෝ කරන්න පුළුවන් වෙන්න ඕන. නැත්නම් මැච් එක වගේම ජීවිතෙත් පරදින්න වෙන්නෙ අවසාන මොහොතෙ එන ලොකු පීඩනයට මුහුණ දෙන්න බැරිව. 

ඒක නිසා හිතන්න අවස්ථාව මුලින් ගන්න ඕන. වැඩේ වුනාට පස්සෙ කරන්න පුළුවන් දෙයක් නැහැ. ජීවිතේ තරුණ අවදිය රස්තියාදුවේ විතරක් ගිහින් වයසට යනකොට ඒ රස්තියාදුව ශුද්ධ වෙයි කියල හිතුවොත් වෙන්නෙ අවසන් ඕවරේදි ගහල මැච් එක දිනන්න යනව වගේ අවදානමක් ගන්න එක විතරයි. හැබැයි මුලින්ම ඒ රස්තියාදුව ශුද්ධ කරගෙන ජීවිතේ හතර මායිම හොයාගෙන තිබ්බ නම් මැච් එකේ රන් රේට් එක ඇල්ලුව වගේ අව‍සානෙට ඊසි බැට් කරල දිනන්න පුළුවන්, සමහර විට වෙලාවටත් කලින්. ඒ කියන්නෙ නියමිත ඕවර ගානට පෙර.

හැබැයි අපි කවුරු මොනදේ කතා කලත් මෙහේ බොහෝ උදවියට (රස්ටා කලිනුත් කියා ඇති පරිදි) කියූ දේ පිළිබද සත්‍ය ඥාන, කෘත්‍ය හා කෘත ඥානය පහළ වන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 25 කට පසුව පමණ වන නිසා එබන්දන්ට මැච් එක සේම ජීවිතේද ගැන තේරුම් ගන්නට වෙන්නේ තවත් අවුරුදු විසි පහකින්. ඒ සදහාද හේතුවක් තිබේ. නිකම්ම අවබෝධ වෙන තුරු සිටිනවා මිස මෙහේ යමක් අවබෝධයට වීරිය කරන්නන් අඩුය. කෙසේ නමුත් රස්ටාගේ පැතුම මේ 25 අඩුවේවා යන්නයි. හැබැයි එය නිකම්ම නම් සිදු නොවනු ඇත. කොහොම නමුත් නැවතත් ප්පරාර්ථනය, 25 අඩුවේවා..

එතෙක්..

හමුවෙන තුරු රස්තියාදුවේ යළි, 

වේවා ජයෙන් ජය..

හුරේ..

අනාවැකි කීවා ඇති දැන්. 

කාලයක් තිස්සෙ අවසන් තරඟවලට වලට ආපු ක්රීඩකයින් ගැන අනාවැකි කීවා.. කණ්ඩායම් ගැන අනාවැකි කීවා..

ඇති.

තවදුරටත් අනාවැකි උවමනා නැහැ. 

කාරිය, 

වීරිය ඇති නම් රට පෙරටුවේ තබා දිනන්න. ජය ඔබටයි. සුභ පැතුම්..

 

එක බැගින් දෙක බැගින් අවසන්ම හතරක්ලු

අවසානෙ ජය ගන්න බැරි කමක් නැති වීලු

ඒත් එක පුරුද්දක් අනාවැකි වැඩිවීලු

ජය පතමු වීර කම හැකිකමෙන් දිනන්නලු..

 

රස්තියාදුවේ හයිය පරාජයෙන් ජය වෙත යාමයි.

එතෙක්..

හමුවෙන තුරු රස්තියාදුවේ යළි,

වේවා ජයෙන් ජය..

Saturday, October 6, 2012

ලෙඩ

ලෙඩ ගැන මා දරන්නේ වෙනස්ම ආකල්පයකි. ඊට පළමුව කිව යුත්තේ ආරෝග්‍ය පරම ලාබය බව මගේ ඇදහීම යන්නයි.

කෙසේ නමුත් හෙම්බිරිස්සාව වැනි දෙයක්, වැටීමක්, තැලීමක් ජීවිතයට අවශ්‍යම බව මාගේ විශ්වාසයයි. හංදියේ ෂොප් කලාවෙන් කෙටි කෑමට වඩා මල්ලිත් මමත් පමාවී හෝ ආ වැස්සට එදා තෙමුනේ නම් යහපති. රස්තියාදුවක් නැති නොතැලි ජීවිතේ හැදි නොගා හැදූ හොද්දක් සේ පමණක් නොවේ. එය පදම් නොවූ පිත්තකි. පිත්තක් පිතිකරුවාට හොදින්ම හැසිරවිය හැක්කේ එය අතටත් බෝලයටත් හොදින් පදම් වූ පසුවයි. 

වැස්සෙන් අව්වෙන් පදම් නොවී ඒසී , බිසී මැද ගතවෙන ජීවිත ඊ, ඕ සද්දෙන් ඉසෙඩ් වෙන තුරු යන්නේ ලෙඩ ගානේය. රුධිරයට පීඩනයයි, ලේ වලට සීනීයි, බඩට දාරයි කියල අපහසුව දැනෙන්න ගත්තම එක තැන කැරකෙන යන්තරයකින් ඒකට පිහිට පතන බොහෝ ලොක්කෝ රස්තියාදුවට කැමති නැත්තේ ඇයි? තරුණ ලොක්කන්ට මේක විශේෂිතය. එක තැනම වට රවුමක, චතුරස්‍රයක රවුම් දමා හැමදාම වගේ එක තැන රස්තියාදු කරගන්නා ජීවිතය ඉංග්‍රීසියෙන් බැස ‍‍සිංහලයෙන් පුස් බයිසිකලයක හතර අතේ රවුමක් ගස්වනු බැරි ඇයි?, මෙහේ එයට දුප්පතාගේ වාහනය ලෙසින් ගසා ඇති නාම තහඩුව නිසාද?

‍‍‍‍‍‍...................................................

 2035 ට වත් මේ පිළිබද සිත් පහළ‍ වේවා. සත්‍ය අවුරුදු 25කින් පසු ප්රත්‍යක්ෂ කොට ගන්නා අපේ රටේ එය සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන කොට ගන්නේ එවිටයි. එතකොට පෙරහැර ගිහින් හමාර මුත් එබදු කලකට හෝ වැටහීමේ නුවණ අපේ ර‍ටේ එදා අද මෙන් හෙටටත් ඉතිරිවේවා. රස්ටා පතන්නේ, සදය ලෙස නරක සහ හොද දෙපැත්තක දකිමින්.

දුප්පත් රස්ටා ඒ අතින් වාසනාවෙකි. ආරෝග්‍ය පරමා ලාබා ..

රස්ටාගේ හිතින් ගතින් නිරන්තර ගහන රස්තියාදුවෙන් දහදිය දමා නිරන්තර පිරිසිදු වන ලේ ගනයක් තිබීම පිළිබද සතුටුවෙමි. ඔබටත් දුප්පත් වන්නට ලැබේවා.. දුප්පත් කම බොහෝ දේ පිළිබද නුවණ සපයන බැවිනි ඒ. ඉන්පසු නැවතත් පොහොසත් වේවා.. 

එතකොට කෑම කන සල්ලිත්, අපිව කන සල්ලිත් ඔබ හදුනා ගෙන තිබේවි.  

 එතෙක්..

හමුවන තුරු රස්තියාදුවේ යළි,

වේවා ජයෙන් ජය.. 

මල්ලිත් මමත් නොතෙමුණි මේ වෙලාවේ..

ෂෝ..

කලින් මෙහේ හොද දේ තිබු බව සත්තයි

දැනුත් මෙහේ හොද දේ ඇති බව ඇත්තයි

පිළිගන්නේ පිට රට තියරියි සද්දයි

ඒක නිසා ෂෝ එක දැන් මෙහෙ උස්සයි

 

ෂෝ‍ පෙන්නීමට සැබවින්ම ලැජ්ජාවක් තිබුනේ සැබවින්ම ෂෝ එකක හැර ෂො‍් පෙන්වීමක් ගැන මෙහේ අපි අපේ අද්දියා‍පනේ හෝ සදාචාරයේ ඉගෙන ගෙන නොතිබූ බැවිනි.

 

ෂෝ එක ගණන් ගන්නේ නැති බව කියති

එනමුත් අඩ ෂෝම උස්සා ගෙන දුවති

කටින් කියන එක වගකීමක් නොවෙතී

ඒක නිසා අපටත් දැන් ෂෝ අවැසී

 

එබැවින් පට්ට ෂෝ එකක් දැමීමට හොද මොළයක් මෙන්ම අහිංසක හදවතක් ඇති මුත් රස්ටා තීරණය කළේ, සාමාන්‍ය ලෝකයේ වලංගුතා මැද ජීවිතය ජය ගැනීම උදෙසාම නොව බල්ලන් අප ස්වාමියන් වනු වළක්වාගනු පිණිසමැයි.

 

හමුවන තුරු රස්තියාදුවේ යළි,

වේවා ජයෙන් ජය..

මානේ..

හීන වූ මානය ගෙනේ අඩමානය

අධික වූ මානය ගෙනේ අවසානය

නොදැන මේ මානය වීය අවමානය

අවසනදි දැන ගත්තේ පරම මානය කෝණ මානය

 

සුළු කෝණ, මහා කෝණ, සියළු කෝණ මැනීම සදහා කෝණ මානය භාවිතයට ඒ අනුව මම තීරණය ක‍ළෙමි.

 

දැන ගතිමි ගණිතයක්

මැන ගතිමි කෝණයක්

ඊට අහුනොවන්නට

ලොවෙත් නැත කෝණයක්

 

අනතුරුව සුළු කෝණ කරුවන්ගේත් මහා කෝණ කරුවන්ගේත් වෙනස හොදින්ම ගණනය කරන්නට මට හැකිවිය. බොහෝ දෙනා ලොකු කෝණ පෙන්නුවාට සැබවින්ම සුළු < , මහා < , එකම වෘත්තයක් තුළ අඩංගු බැවින් වෘත්තය ගැන ඉගෙන ගන්නට අනතුරුව මම කල්පනා කළෙමි. වෘත්තය ගැන දැන ගතිමි. දැන් මානයේ ප්‍රශ්න විසදාගැනීම මට හරිම පහසුය.

 

හමුවන තුරු රස්තියාදුවේ යළි,

වේවා ජයෙන් ජය..                                                                 

Friday, October 5, 2012

ක්ලික්..

වෙනස් හවසක ‍වෙනස් දවසක

පාට නැති ‍අහස දෙස බලාගෙන මං

තරුත් නැති සදත් නැති පායයිද හිතෙන්‍නැති

බැහැල යන හිරු බිමට දමා යන රැස්

 

මා එදින සැදෑවේ වෙරළත ඇවිදිමින් සිටයදී දුටු දසුන වහා මගේ තෙවන ඇස මොහොතකට ක්‍රියාත්මක කළේය. 

 

එකිනෙකා එරීගෙන එරුණු පය ඔසවගෙන 

සුමුදු ලෙස අඩි තබන ගමන හතරැස්

රාමුවක දැවටුවේ තෙවැනි ඇස විවර කළ

කාචසිත උරාගත් සැදෑ අව්රැස්


එය අපූරු හතරැස් රාමුවක සිත් ගත වූයේය. මගේ හිත් කැමරාවේ වේගය හා ග්‍රහණය ගැන මට ඇති වූයේ තෘප්තියකි.

 

හමුවන තුරු රස්තියාදුවේ යළි, 

වේවා ජයෙන් ජය..

බය

අපි බය නෑ,  කාටවත්..

මෙහෙම කියන අය මෙහේ ඕන තරම්. හැබැයි ධනය, බලය, වර දාන ඉස්සරහ මෙයාල අහන්නෙ "අපි ඇත්තටම එහෙම කිව්වද?" කියල.

බය නොවෙයි මේ අපේ භක්තියයි කියල, දෙමාපියන්ටවත් ජීවිතේට නොවැදපු සමහර අය දේසපාලක‍යින් ඉස්සරහ ප්‍රසිද්ධියේ වැද වැටෙනවා. මේ ලගදිත් මේ වගේ බූරු නමස්කාරයක් ටීවී ‍එකේ දැක්කම මට හිතුනේ මෙහේ මිනිස්සු සම හරක් තවමත් හාන්ට විය ගහේ බදින්න පුළුවන් නේද කියල. ඇත්තටම ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. ඉන්ධන වියදම් කරන්නෙ නැතිව පොඩි ලියද්දක් හාගන්න. ඒ අදාල දේසපාලකයන් කිව්වොත් කොහොමත් ඒ උදවිය ඕන කුඹුරක් හාන්න විය ගහට බලෙන්ම බැදෙනව. ඒක සහතිකයි.

 දහමෙත් කියල තියෙන විදිහට බය කියන්නෙ මිනිස්සු අගතියට දක්කන කාරණා වලින් එකක්. ඇත්තටම මිනිස්සු බය ඇයි?

ලොකු සංවේදී කමක් තියෙන වයි කියන මිනිස්සු මෙහේ ඉන්න වයි කියන නිසාද, ඔවුන්ගේ හිත හොද කමද මේ අපි බය හැටියට දකින්නේ, එතකොට ඒකමද නිවට කම හැටියට පෙනෙන්නේ.

නෑ, ඇත්තටම බයත්, නිවට කමත් මෙහේ පිරිලා.. දවසෙන් දවස මිනිස්සු ඒකෙන් අගතියට යනවා. නැත්ත ඇත්ත හැටියටත් , ඇත්ත නැත්ත හැටියටත් ඒ උදවියට පේන්න ගන්නෙ මේ අගතියට ඇතුළු වෙන සීමාවෙ. දහමෙ කියවෙන හැටියටම එතකොට මිනිස්සුන්ට කිසිම සරු දියුණුවක් ලබන්න බැහැ. 

සරු දියුණුව කියන්නෙ මිනිහෙක් ශක්තිමත් වෙමින් ඉදිරියට යන එක. නිසරු විදිහෙ දියුණුව කියන්නෙ මිනිහ ඉදිරියට යන්ඩ යන්ඩ බොඩිගාඩ්ලා වැඩි කරගන්ඩ ඕන විදිහෙ දියුණුවක්. බොහෝ විට මෙහේ දේසපාලකයින් බොහෝ දෙනාට මොනදේ නැතත් ගාඩ් හතරවටේ දාගෙන යන්‍න වෙනවනම් පුද්ගලිකව හරි මොළේ තියෙන කෙනෙකුට ඒ උදවියගෙ දියුණුව මොන විදිහෙ එකක්ද කියල තේරුම් ගන්න පුළුවන්. හැබැයි අතරින් පතර වුනත් මෙහේ වෙනස් විදිහෙ දේසපාලකයොත් හොයා ගන්න පුළුවන් කමක් නැහැයි කියන්න මට උවමනාවක් නැහැ.

හැ‍මදේකදිම මෙහේ තවමත් දේසපාලකයො ගැන කතා නොකර මුකුත් කතා ඵලක් නොවන්නේ , ගෙබි නමස්කාරය, බූරු නමස් කාරය කියන එක මෙහේ පරම්පරාවෙන් උරුම කරල තියෙන තත්වයක් ඇති නිසා. දෙමාපියෝ ඒ වාරිත්‍ර අනුගමනය කළා නම් හොද චාරිත්‍ර වලට වඩා ජීවිතය ජය ගන්න මේ වාරිත්‍ර අනුගමනය කරන්‍න දරුවොත් පැකිළෙන්නෙ නැහැ පහුවෙලා හරි. රස්ටාගේ රස්තියාදු තුළ දැක ඇති සත්‍ය නම් එයයි. දේශපාලකයන් ගැන කියද්දී කී‍ සේම මෙයින් වෙනස්වන දූ දරුවන්ද මෙහේ නොසිටිනවා නොවේ. නමුත් සම්ප්රදාය අරකයි.

ඉදින් , මේ බය බලියක් ඇර හෝ නැති කරගන්ට පුළුවන් නම්, මෙහේ බොහෝ දියුණුවක් දකින්නට බැරි කමක් නම් නැත. නිකම් දියුණුවක් නොව වේගවත් දියුණුවකි එය. හැබැයි අනෙකාගේ බය දැක දැක තමනුත් ඒ බය රෝගයක් සේ බෝ වන්නට ඉඩ නොදී, බයට පයින් ගසා එක එකා ලෙස නැගිටියහොත් පමණි එය කළ හැක්කේ.

බොහෝ දෙනා එදිනෙදා දිවියේ රස්තියාදුව ශුද්ධ නොකරන්නේත් බය නිසාමය. මේ ගැන ගැඹුරට ගියහොත් සැබවින්ම මේක පුස් බියක් බව ඔබටද දැනෙනු ඇත. 

අවිද්‍යාව, හේතුව එයයි. 

දහමේ කියවෙන පරිදිම හේතුවක් නැතිවම බියවන්නේ දකින දේ විග්‍රහ නොකර ගැනීමෙනි. රස්තියාදුව ශුද්ධ නොකරගත්තා යනු ද එයයි.

අහස කඩා වැටෙනවා යැයි කියා අර කව්රුද සතෙක් දුවන්නට ගත් විට කැලේ හැම සතාම ඒ පස්සේ වැටුනේත් ඔය බය නිසාමය. ඇත්තටම තමන් බිය වන කාරණා ගැන නුවණින් විමසිය යුතුය.

අද කාලේ හැම දේකටම බේත් තිබෙනවා යැයි සාමාන්‍ය මිනිහා විශ්වාස කරන නිසා ලෙඩ හදා ගැනීම ගැන ඔහුට බියක් නැත. මොකද රජයේ රෝහල හැම විටම තමන් සදහා විවෘත යැයි මිනිහා සිතන නිසාය.  එවිට පරම ලාබය ආරෝග්‍ය යැයි කියා රෝග නොහදා ගෙන ඉන්ට හිතන හෝ ක්රියා කරන අය අඩුවේ.

එපරිද්දෙන්ම බිය ට හොද සංග්‍රහයක් සමාජයෙන් ලැබෙනවානම් බිය වීම ප්‍රශ්නයක් නොවේ. එමට බෝතල්ද, සල්ලිද, උසස්වීම්ද ඇතුළු නොයෙකුත් වරදාන බිය සදහා සංග්‍රහයක් වනවා නම් බිය යනු අගතිගාමී දෙයක් ලෙස සිතා නිර්භයව ක්රියා කරන්ට සිතන්නෝ අඩුවේ. සිදුවී ඇත්තේ එය නොවේද? 

හැබැයි නැත්ත ඇත්ත හැටියට ගත්විට මතුවන බරපතළ ප්‍රශ්නය පසුවටය.  

එනම් මේ බිය නිසා වගකීම් යුතුකම් හරි හැටි ඉටු නොවුනු සමාජයේ නිර්මාණය වන දහසකුත් ප්‍රශ්නයි. 

ඒවාට මුහුණ දිය යුත්තේ පොලිසිය නොවේ. අපිමයි. සමාජයේ අපිමයි. ඉදින් මෙනයින් බැලූ කල විවිධ සමාජ ප්‍රශ්න උදෙසා කොතනදී කාට කොහොම බැන්නත් ඒ ප්‍රශ්න නිර්මාණයේ අප කොතරම් දුරට දායක වනවාද යන්න සිතා බැලීම වටී. බිය නොවී නිර්භයව මිනිසෙක් ක්‍රියා කරන්නට සිතන්නේ එතැනදීය. කිසිදෙයකට බිය නැති මිනිස්සු මෙලොවේ සිටියත් නැතත් බිය නිසා අගතියට යන මිනිස්සුන් ලෙස අප නම් කිසිවිටකත් නම් නොවිය යුතුය. ක්‍රියා නොකළ යුතුය. රස්ටා හැමවිටම පතන්නේ එයයි.

ඔබේ රස්තියාදුවේ මළ ශුද්ධ වේවා..

එසේම මාගේත්.

නැවතත්,

හමුවෙන තුරු රස්තියාදුවේ යළි,

 

වේවා ජයෙන් ජය..

Wednesday, October 3, 2012

ලෝ

ලෝ කියා කියන්නේ නීතියටයි. බල ලෝ කියා කියන්නේ අනුන්ගේ ලෝ අපට බලන්නට සිදුවීමයි. 

වින් කියන්නේ දිනනවාටයි. මං වින් කියන්නේ මං දිනනවාටයි.

"මං වින් කියා කියන්නෙකුගේ ලෝ බලන්නට සිදුවීම" කාලයක් තිස්සේ මෙහේ අපට නම් මහා අමන කතාන්තරයකි. මෝඩයි කියා රටේ වගකිවයුතු බලයක් ඒ මෝඩයාට ලබාදී අමන ‍මෝඩයාගේ ලෝ දිගින් දිගටම බලා හා රසවිදින ජනතාවක් කුමන මානසිකත්වයක සිටිනවාදැයි මා නම් දන්නේ නැත. මෙය අනාගතයට සපයන්නේ මහා ඛේදවාචක අවාදර්ශයක් බව නම් කිව යුතුමය. (අපද තිත්ත වන තරමට මෙය දැක ඇති මුත් කාරිය කරවන්නන් ගෙන් මේකට පිළියමක් නැත. ඒ නිසා අද ‍එය මෙහේ කාටත් විහිළුවක්ව ඇත.)

අපි ලෝ දකින්නේ සමාජයේ ක්‍රියාත්මක ස්වභාවයෙනි. එය පොත් පත් වල කෙසේ සටහන් වුවත් අපට පොත් පෙරලා වැඩක් නැත. එහි වැදගත් කම ක්‍රියාකාරීත්වයයි.

මොකක් හරි කියූ විට පරණ යුගයේ උන්දලා සම හරක් කියන කතාවකි, ඉතිහාසයේත් ඕවා තිබූ බව. ඉතිහාසයේ තිබුණු නිසාම අනාගතයත් එලෙසින්ම අනාගත යුතුද?

අප දන්නා ලෝ වලින් පාඩමක් මේ අමන මානවයින්ට උගන්නන්නේ නැති නම් ඊට වෙන ක්‍රමයක් තිබිය යුතුය. පමණ ඉක්මවා අමන කම් ඉවසන්නේ නම් එවැනි ජාතියකට දේව පිහිටවත් ඉතිරි නොවනු ඇත. හැම ජඩ කමක්ම කොට අවසානයේ දේව පිහිට පතන උදවිය තවමත් මෙහේ හිඟ නොවේ.

කේතුමතියෙන් අපට පලක් නැත. දෙපා බිම ගසා නැගිටින කොන්දක් ඇති තරුණ පරපුරක් අවැසි බව මග තොට කොතනත් රස්තියාදුවේ දී පෙනෙන්නේ එහි ඌනතාවක් ඇති නිසාය. 

නිවට නියාලු ලෙස හැම ජඩ ගුණයක් ඉවසීමට කියා මොනම දහමකවත් කියන්නේ නැත. දෙමාපියන් දරුවන්ගේ යහපත තකා හැම ජඩ වැඩක්ම නොදැක්කා සේ තම කාරිය පමණක් කොරගන්ට කියා තරුණ දරුවන්ට කියනවා නම්, අපේ අනාගතයට ඉතිරිවන්නේ මිනිසුන් නොව ඩමි පමණකි. 

අපට ඇති සවිය කුමක්දැයි නුවණින් විමසිය යුත්තෝ තරුණ රස්තියාදුවෝය. එක එක සුලභ වර වලට ගිජු නොවී ස්වාධීන චින්තනයකින් දෙපා බිම ගසා දූවිලි මතින් නැගී සිටින්නට බැරි ඇයි?

සමාජයේ ඇත්තේ බරපතළ ප්‍රශ්න නොවේ. ඉතා සරල හැම කලකම තිබූ තිබෙන ඒවා යැයි සාමාන්‍ය පණ්ඩිතයෝ කියති. එය සැබෑවකි. නමුත් මොන සමාජයේත් සැම කලකම පෙරළි කළ ජව චින්තන තිබූ නිසා සමාජය රැකුනු බව කිසිවෙක් නොකියත්ද?

බල්ලෙකුගේ ස්වාමියෙකු විය හැක්කේ මිනිසෙකුටය. නමුත් බල්ලාගේ බලු ගෙරවුමට ඇති බිය නිසා අපි බල්ලා අපේ ස්වාමියා කර ගන්නවාද?

දස අත රස්තියාදුවන රස්ටා නම් දකින්නේ බල්ලන් ස්වාමියන් කරගන්නට දැන හෝ නොදැන පෙළ ගැහෙන බොහෝ දනාය. මෙය වෛරයෙන් කියන්නක් නොවේ. තාරුණ්‍යයේ ජවය තාක්ෂනයෙන් ලොල් කර දියාරු ක්ලේ ඩමි නිර්මාණයක් දැනෙන පෙනෙන දකින නිසා කියන්නකි.

කැලෑ කපාගෙන කැලෙන් එලියට විත් සැහැල්ලු ලෙස මද සු‍ළ‍ගේ පහස විදි මිනිසා, ඉන් ඔබ්බෙහි වැද්දන්ටත් නිගා දෙන විදිහේ කල වැද්දෙක් ලෙස ආපහු හැරෙන්නෙක්ද? බෝනික්කා ලීලාවෙන් හිදින පඩරැල් සතෙක් වන්නේද? 

නැතිනම් පිරිපුන් ජීවී ගුණයෙන් යුතු, නුවණින් හෙබි සත්වයෙක් වන්නේද? පාර දිගේ මති ‍මතාන්තර වෙනුවෙන් සටන් ම නොකළාට තමන් ගේ හිතත් හිසත් කෙළින් තබා හැම දේ ගැන සොයා බලා එඩිතරව ආත්මාර්ථයට ලඝු නොවී කටයුතු කළ යුත්තෙක් වන්නේද? එසේ මිස කෙලෙසකවත් බියෙන් අගතියට යා යුත්තෙක්ද?

අනුන් දුවන රැළේ ඒ පස්සෙම වැටී දුවන්නේ නැතිව, හේතුවක් යුක්තියක් සිතා තීරණයක් ගන්නට බැරි නම්, තමන්ට කළ හැකිදේ ආත්මාර්ථය තකා මගහරින්නේ නම්, ඒ නිවටයෙක් ම පමණි. ඉදින් එහෙව් වූ නිවටුන්ගේ හෙට ලෝකය සදහා සැලසුම බල්ලන් තමන්ගේ ස්වාමියන් කරවීමද? 

බාර් එකේ,  ක්ලබ් එකේ මත් හයියෙන් පිම්බෙන් නේ නැතිව අවංක කමේ, හිතේ හයියෙන් කෙලින් කටින් ඉන්නා තරුණයන් ටික හෝ වේවා.. උන්ගේ රස්තියාදුව ශුද්ධ වී අනාගතයට මනුස්සකම් ටිකක් හෝ ඉතිරිවේවා..

දැන් අපි දන්නෙ අරගන්නයි , විකුණන්නයි විතරයි. ‍මෙහේ අනෙක් බොහෝ හැඟීම් හංගන්නේ බල්ලන්ට බය නිසායි, වැඩිහිටි ගෞරවේ ආරස්සා කොරන්නයි.

ඇත්ත ඒ හැටියෙන් කතා කොරලා ගහගන්න ඕනෑ නෑ ආවේගෙන්. කොරන්න ඕනෑ තේරුම් ගෙන පිළියම් ලෙස වැඩ කිරීම. කාටද දෙයියනේ එහෙම ඕනෑ. මූණට හිනාවෙලා, වැස්සද ඒ පැත්තට කියලා ඇහුව පමණින් අනාගතේ නම් සුභ වෙන්නේ නෑ.

අමාරු දේ වෙනස් කිරීම නොවෙයි. වෙනසක් අවැසි බව තේරුම් ගැනීම. ලොකුම ප්‍රශ්නය ‍ඒකයි. 

දැනෙන සත්‍ය හංගංනේ ඇයි?

සදය ලෙස විචාරයට මං නොහොයන්නේ ඇයි? 

කතාවෙන් ක්‍රියාවට පය නොතියන්නේ ඇයි?

සංයමයත් එඩිතරකමත් තිබූ අතීතයක් ගැන මෙහේ නන්දොඩවනවා යැයි සිතෙන්නේ එවිටයි. දැන් නම් ඒ දෙඩවීමත් නැති තරම්,. ඔහේ දෙනදේ කාගෙන වෙනදේ බලාගෙන ඉමුද තවත්?

එහෙනම් සමුගන්නට අවසරයි,     

හමුවෙන තුරු රස්තියාදුවේ යළි,                                                                                                                                                                                        

 වේවා ජයෙන්‍ ජය..

සරල

ඔලුවෙ ගැඹුරටම දෙයක් වැදුනම ආපහු හොද හුස්මක් ඇරගෙන එලියට බැහැල හොද හුලඟක් වැදෙන්න හිටියොත් මිස මේ ජීවිත රස්තියාදුව හරිම නීරහ වෙන්න පුලුවන්.

මිනිස්සු සින්දු කියන්න කැමති ඒකයි. එකම හේතුව නූනත් සරල වචන ටිකකින් හිත හෑල්ලු වෙනව සංගීත‍යෙන් වගේම.‍

හුලග කොයි ‍තරම් සැහැල්ලුද, ඇගේ වදිනකොට අපි පාවෙන්නෙ ඒ නිසා. මද සුළගට මං ආසයි ඒ නිසාම. 

සිහිල් දිය ගැන වචන වලින් කියනවට වඩා දාහය ඇති වෙලාවක ඒක අත්හදා බලන්නම ඕන. බොන්න වගේම ඇගේ දා ගන්නත් අපූරුයි. 

ලස්සන වචනම කතා කරන්න පුලුවන් නම් මිනිස්සුන්ට හින්දි වගේ. තේරෙන්නෙ නැති නිසාම හින්දියෙන් බැනුම් ඇහුවත් සැපයි වගේ දැනෙන්නේ.. වචන වල තියෙන මිහිරියාව නිසා නේද,

ගිහින් එන්නම්,

‍එහෙනම්,

හමුවෙන තුරු රස්තියාදුවේ යළි,                                                                                                                                                                                         

වේවා ජයෙන් ජය..

ටික්.

ටික්.ටික්.ටික්.ටික්.

මේ විදි‍හට කියූ විට සැනෙකින් ඔබේ මතකයට එන්නේ කුමක්ද, ඔර්ලෝසුව මිසක.

ඔරලෝසුව යනු කාලය පෙන්වන යන්තරයයි. කාලය රන් හා සමාන යැයි අපි කලින්ම කීවෙමු. ඔය රන් වලට වඩා ජීවිතය වටිනා බව දැන් කියන්නෙමු. ජීවිතය වටින්නේ එය සැබෑවටම ජීවිතයක් වුව හොත් පමණි. සතාගේ ද අපේද ඇති වෙනස එයයි. 

සතාටද ජීවිතයක් ඇත. ඌට නැත්තේ ජීවිතය පිළිබද හැඟීම නොව දැනගැනීමය.

සතා රස්තියාදු වන්නේ කෑම හොයන්නටය. අපි රස්තියාදු වන්නේ කුමට?   අන්තිමේදී බැලුවොත් අප රස්තියාදු වන්නේත් බඩ කට පුරවා ගැනීම පිණිසම, තමා. එසේ නොමැති වුව හොත් සිදුවන්නේ මැරෙන්නටයි. 

හැබැයි, මිනිහා කියන සතාට කට බඩ පුරවා ‍ගැනීම පමණක් සෑහෙනවා නම් අදත් අපි කොල අතු එල්ලා ගෙන කැලේම සිටිය යුත්තෝ නොවෙමුද? මිනිහා කැලය කපා ගෙන කැලයෙන් එලියට ආවේ ඇයි?

කැ‍ලෑ කැපීම හැම විටම හොද නැති මුත්, එතනින් එලියට ආ අපි හද වෙතද ගොස් ඉන් ඔබ්බේ චක්‍රාවාට දෙස බලා ගෙන දැන් කුමක් කරමුද?

මේ එලියට යාමේ නිමක් නැත. අප චක්‍රාවාට තරණය කර යමුද?

ඒක පැත්තකින් තියමු. ඉස්සෙල්ලම කාල බීල ඉන්න සල්ලි තියෙන්න ඕන, නිකමට හිතන්න අතේ සතයක් නැතිව මොකුත් හිතන්න පුලුවන්ද?

ඇයි? හිතන්නෙ සල්ලි වලින්ද?

කාලය, හිතන්න කාලය ඕන. කාලය කියන්නෙ මුදල්.

කාලය කියන්නෙ මුදල් නම් මුදල් වලින් කාලය ගන්න පුලුවන්ද?

තර්කය කියන්නෙ මොකක්ද? වචනවල අර්ථ නිශ්චිත කොට ගන්න බැරි වුනහම වචනත් තර්කයත් බල රහිත වෙන්නේ නැද්ද? 

වචනෙට වඩා වැදගත් සමස්ථය තුළ දැ‍නවෙන දේ නොවේද? ආපහු කාලය වැ‍යවෙනවා..

වචන වලට එහායින් මට නම් වැදගත් හිතට දැනෙන දේ, ඒකට වචන වලින් දෙන විග්‍රහයම අවශ්‍ය නෑ.

රසවිදින්න ජීවිතේ, ඒක හොයාගන්න ඕන. හැංගිලා ති‍යන දෙයක් හොයා ගන්න බකං නිලං ඉදල බෑ. අපි හිතනවනම් වෙලාව කියන්නෙ ඔර්ලෝසුව කියල, අපි කාලය ගැන තේරුම් ‍අරගෙන නෑ. අපි හිතනවනම් වටිනාකම තියෙන්නෙ මුදල් වල කියල අපි වටිනාකම තේරුම් අරන් නෑ. අපි හිතනවනම් ජී‍විතේ කියන්නෙ මේ ගත වෙලා යන දෙයයි කියලා අපි ජීවිතේ තේරුම් අරන් ද?

මට නම් මගේ ජීවිතේ හතර මායිම හොයා ගැනීමට තිබේ. උපත මරණය අතර රස්තියාදු වෙන ජීවිතේ .. 

කාලය, මුදල්, ජීවිතේ ... වැය කළ යුත්තේ මොනවාද? ඉපයිය හැක්කේ මොනවාද? අවසන ඉතිරිය මොනවාද?

තීරණය කළ යුත්තේ ඔබයි. 

එතෙක්,

හමුවෙන තුරු රස්තියාදුවේ යළි,                                                                                                                                                                                         

වේවා ජයෙන් ජය..