Sunday, April 26, 2020

අපි නො මැරෙන මිනිස්සුද.. (මහප්රාණයෙන් තොරව - දේශ පාලනයේ අරුත)

රට රැකගැනීම සරලය, රට රැකුණොත් අප රැගෙන බව පැහැදිලිය. රටේ මහජනයාගේ රට පාලනය පිළිබඳ මතවාද විවිධය. එක අතක වුව ඇඟිලි එකිනෙකට වෙනස් වනවා වාගේය. ඒ වෙනස් ඇඟිලි විවිධ දේශපාලන පක්ෂ වැනිය (ජාති ආගම් වැනිය). ඉතින් රට කරන්නට රකින්නට තනි දේශපාලන මතවාදයක් තෝරනවා යනු (එක අතකට) අතක එක ඇඟිල්ලකින් වැඩ ගැනීමක් බඳුය.  ඇඟිල්ලක් දෙකක් එක්ව කටයුතු කළත් ඒ ගැලපීම් ජනනය කරන ශක්තිය විවිධාකාරය. ඒ ඇඟිලි වල ස්වභාවය පිහිටීම ශක්තිය ප්රමාණය අනුවය. සුළැඟිල්ලත් මහපටඟිල්ලත් අතර ශක්තියට වඩා දබරඟිල්ලත් සමඟ මහපටඟිල්ලේ ශක්තිය වැඩිය. නමුත් සුළැඟිල්ලට දමන තැනට දබරැඟිල්ල දරදඬු වැඩිය. මහජනයාට විනය ඉගැන්වීමට පෙර (ඇඟිල්ල දිගු කිරීමට ප්‍රථම) මේ ඇඟිලි පිළිබඳ සරල පාඩම රටේ පාලකයන් උගත යුතුමය. ලෝක මට්ටමෙන් ව්‍යාප්ත වන කෝවිඩ් බඳු ව්‍යයසනයකදී සියලු දේශපාලනික මතවාද වලින් තොරව දේශපාලන නායකයන් ඒකරාශි කිරීමේ වැදගත්කම ඔවුන් විවිධ මහජන කොට්ඨාශ නියෝජනය කරන රට නැමති සාමුහිකයේ ඇඟිලි නැමති ප්‍රධාන ධාරාවන් වීමයි. ජනයා එක මතයකට මගකට ගැනීමේ පහසුම හා සුදුසුම මග එයයි.
මේ ඇඟිලි මෙවන් මොහොතක එක මිටකට ගත නොහැකි කිසිඳු නායකයෙක් ජාතික නායකයෙක් වන්නේ නැත. එක් පසෙකින් බල තණ්හාවත් අනෙක් පසින් බල මාන්නයත් පොදි ගසන නායකයන් මහ වූවාට මහපටඟිල්ලෙන් පමණක් රට රැකීම කළ නොහැකි බවත් මේ අවස්ථාව දබරයට ඔසවන දබරැඟිල්ලෙන් විරුද්ධවාදියාට තග දමන අවස්ථාවක් නොවන බවත් දේශපාලනික ශ්‍රමය විභේදනය පමණක් නොව විශේෂීකරණය කර ගත යුතු අවස්ථාවක් බවත් වටහාගත යුතුය. ජාති ආගම් පක්ෂ ලෙස බෙදී එක අතේ ඇඟිලි විසුරුවා රට රකින නිවැරදි මග අතහැර දැමීම නොව දැන් සිදුකළ යුත්තේ සියලු ඇඟිලි ශක්තිය මිටට ගෙන රට රැක ගැනීම පමණයි. ඉතිහාසයේ වූ මෙවන් කවර අවස්ථාවකටත් වඩා ලෝකව්‍යාප්තයක් වූ අද මේ ටික නොතේරෙන පාලකයන් දේවාල පන්සල් කෝවිල් ගානේ බඩගානවා යනු අප තවමත් සමාජයක් ලෙස කොතරම් දිළිඳුදැයි, අසමත් දැයි සහ අසීමාන්තිකව සංස්කෘතික සීමාවන්ගේ සිරකරුවන්දැයි පෙන්වීම සනාථ කිරීමක් පමණක්මයි. 
අද අප නම් කරන සියළු විරුවන්ගේ අසීමිත කැපවීම උත්සාහය සියල්ල අවසන ගඟට කැපූ ඉනි බවට පත්වී අප කබලෙන් ලිපට ඇද වැටීමට මේ අවධානමේ අවධානය මොහොතකට ගිලිහීමම ඇති.
අවසන් පන්දුවට හයේ පහරක් ගසා තරඟ ජයගන්නේ වාසනාව ඇතිවිට පමණි. මේ පාලකයන්ගේ වාසනාව උරගා බැලීමට කාලයක්ද?

Thursday, April 2, 2020

උත්තර වෙනුවට තවත් ප්‍රශ්න එපා (මීටරය තබා එක්වෙනු මිස බෙදනු එපා)

ස්වභාවිකව එකම ආරේ උපතකින් හුස්ම ගැනීම අරඹන ලෝකයේ මිනිස්සු කවරාකාර ස්ථිර හුස්ම නැවතීමකිනුත් ලබන්නේ මරණයයි. නමුත් මිනිහාගේ ජාතික, ආගමික, සංස්කෘතික "උපත" සහ "මරණය" හුස්ම ගැනීමෙන් ඇරඹී හුස්ම නැවතීමෙන් අවසන් නොවේ. 

එහෙත් අද, කෝවිඩ් දහනවය මිනිසාගේ "මරණය" සියළු ධන, නිල, බල, පදවි, තනතුරු, ජාති, ආගම්,  සංස්කෘතික, දේශ, සීමා, මායිම් වලින් ඔබ්බට ගෙනගොස් ඇත. ඒ හමුවේ තව දුරටත් මිනිසාගේ මරණයේ නම්බුව විලි වසාගැනීමකට පමණක් සීමා වී ඇත. 

ස්වයං විනය හා නුවණට පමණක් ගරු කරන කෝවිඩ් ඒ දෙකම නැති මිනිසාට පහර දෙන්නේ අනුකම්පා විරහිතවය. නීතිය පමණක් ඔවුන්ගේ පිහිටට ඇත. ඒ නීතියටත් ගරු නොකරන තැන, එතැන කිසිවෙකුගේ නම්බුවක් තවත් කාලයකට බම්බුවක්ම වනු ඇත. 

නමුත් මේ සියල්ලටම වගකිවයුතු කෝවිඩ්ගේ පෙළපතේ (20'19')දහනවවැනි පරපුර පමණක්ම නොවේ. අපේ පසුගාමී, දුර්වල, නොහික්මුණු, ගති සිරිත්ද ඊට බලපා ඇත. දේශපාලනයේ සේ කල්ලි කණ්ඩායම් ඩීල් ක්‍රමයට ඒකාබද්ධ ප්‍රකාශ නිකුත් කරන්නට, එකට හිටගන්නට, කොටින්ම කෝවිඩ්ලා අප සමඟ ජොයින්ට් ස්ටේට්මන්ට් වලට එන්නේ නැත. 

එබැවින් මිනිස් ප්‍රජාව ලෙස ඒකාබද්ධව එකාවන්ව සෞඛ්‍ය අංශ හා නීතියේ උපයෝගීතාවයකින් තුළ ඉවසීමෙන් කැපවීමෙන් මේ කෝවිඩ් පරම්පරාව පැරදවිය යුතුය. ඒ සඳහා මීටරයක් දුරින් ළංවී, නිවසේ රැඳී, ස්වයං විනයෙන්, නුවණින් සටන් කළ යුතුය. එහිදී ඔබේ සුරක්ෂාව ඔබගේම තුළ පමණක් වන බව මතක තබා ගන්න. එනිසා ප්‍රශ්න වෙනුවට අපි මේ අවධානම් සමයේ උත්තර පමණක් සොයමු.

Thursday, March 26, 2020

සුදු ඇඳගෙන කළු එබෙමින් - (ඩබල් කොරෝනා extension)

(අන්තවාදී
ජාතිවාදී
වවුල්පාදී
කළු කඩ
මජර ,
දේශපාලන
අවිහිංසකත්ව
පිරුවට ...)

Tuesday, March 24, 2020

# ප්‍රාර්ථනා

#

දිව්‍ය ලෝක ඉඩ මදිවේවා
අපා ඉඩ ඇහිරේවා
දැන් ඇති!
නවතන්න
කියන්නට
සිදුවේවා

#

දිව්‍ය ලෝක
අපා
පිරිලා ඉතිරිලා
ආගමන නවතන්න
ඒ අයට සිදුවෙලා
තවත් වැඩි පිරිසකට
ඉඩක් නැත ඒ ලොවේ
ඒ නිසා ඒ අයත් රැදේවා
මේ ලොවේ..

Saturday, March 21, 2020

රටේ ඇඳිරිය - විවේක බුද්ධිය ට (හණ මිටි ප්‍රපාතයට හෙළන්න)

ලෝකය වෙනස් වෙනවා, පිළිගන්නවාද?

සියළු සංස්කාර අනිත්‍ය බව පිළිගන්නා බහුතරයට ඒ වෙනස්වීම පිළිබඳ අදහසක් නැත, එකඟද?

චි න් ත න ය ම  කුණු කරගෙන සත්‍යවාදයෙන් ප්‍රාතිහාර්ය පතන්නේ එනිසාද?

පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා (වගකීම් දරණ හැම දෙනා) නිදි මරාගෙන ජනමාධ්‍ය තුළ ඇඳරි නීතිය නිරෝධායනයක් ගෙයින් එළියට යන්න එපා කියනවා. ඒ ඇයි?

පිරිත් ඇහෙනවා, සත්ගුණවත් උපාසකයො පන්සල් යනවා, ඒ ඇයි?

ගමෙත් පොලිසියක් තියෙනවා. ගෙවල් දොරවල් වල ටීවී රේඩියෝ, මිනිස්සුන්ගෙ අතේ හෑන්ඩ් ෆෝන් තියෙනවා. ඒ ඇයි?

හඳුනා නොගත් කොරෝනා වාහකයින් කොතන හිටියත්, බෝම්බෙකට පශ්චාත් භාගයෙන් කෑල්ලක් ගියත් අතන මෙතන අපිට හිතෙන හිතෙන විදිහට හැසිරීම රටේ සාමාන්‍ය විදිහද? ඒ ඇයි?

එදත් එහෙමයි, අදත් එහෙමයි. ගමේ නීතිය රටේ නීතියෙන් බැහැර වෙලාද, එහෙම කෙරෙව්වෙ කව්ද? ඒ ඇයි?

තුන්සිය හැටපස් දවසෙම හොර නින්දේ සිට ගංවතුරකට නියඟයකට ආපදාවකට ණයට සහන මල්ලක් බෙදමින් රට කිරීමට ද අපට ආණ්ඩුවක් උවමනා?

කලක් තිස්සේ නීති රීති, අදාළ විද්‍යා, විද්‍යාර්ථින් නිෂ්ප්‍රභ කොට හැම දෙයක්ම දේශපාලනයට උවමනා ලෙස අර්ථකථනය කොට පවත්වන ක්‍රමවේදයකින් නොවෙද තවමත් අප පීඩා විඳින්නේ?

හැම ගෙදර දොරකම සාමාජිකයෙකු රජයේ කොහේ හෝ සේවයකට ගාවා හෝ පවතින ක්‍රමවේදය රැක ගන්නට නොවෙද අපේ ආණ්ඩු හැමදා ගේම් ගසන්නේ?

එබැවින්ම නොවෙද අද මැරුණත්, පතුරුගියත් කොටිවලිගය අල්ලාගත් එකා සේ මේ අපි ක්‍රමවේදය බදා ඉඳින්නේ?

එ නිසා නොවෙද බහුතරය දේශපාලන අතුවල ගැත්තන් සේ එල්ලෙන්නේ?

පැත්තක් අල්ලගෙන තව පැත්තකට බනින්නේ.. පැත්ත මාරු කළාට ඇත්ත මාරු නොවන නිසා නොවෙද අපි හැමදා දුක් විඳින්නේ..?

(බෙදන්න පුළුවන් මොන මොනව හරි - වැලි කැටේ හරි තියන තුරු, ජාති ආගම් ටික තියෙන තුරු අන්න ඒක බෙද බෙදා, බාර් ඇතිවුන් මත්වතුර ටික හෝ බෙද බෙදා) 
එහෙමයි අපෙ හාමුදුරුවනේ බහුතර සාමාන්‍ය මිනිහාගේ කරපිටින් අපේ ජාතිමාමක උන්නැහෙලා මේ ප්‍රජාතන්ත්රවාදී සමාජවාදී රාජ්‍යයේ .... සාම්ප්‍රදායික ජනතාවාදී දේශපාලනේ කරන්නේ..

ඔහොම ගිහින් අවසානෙට- උගතා, නූගතා, දුප්පතා, පෝසතා කාටත් පිළියම් හොයන්න බැරි, මීට එහා තවත් ප්‍රශ්න තුළ අපි හිර නොවේවිද? ද ව ස ක.. 
එදාට ආපහු කල්පනා කරන්න ඉඩක් ලැ බේ වි ද? අපට මේ ලෙස ..

ඒ නිසා මේ නිරෝධායනය..ඇඳිරි නීතිය අස්සෙ විවේක බුද්ධියෙන් සි ත න් න... දි යු ණු  චි න් ත න යෙ න්  අ ලු ත්  ර ට ක්... හදන්න.. - කාලය සීමිත යි. අතිශයින්ම සීමිතයි. අ ති ශ යි න් ම  සී මි ත යි.

Thursday, March 19, 2020

වැඩිවියට පත් අය ලෙස (වට්ටම් නැත)

පොරණ සිට මෙලක පැවතුණ සිරිත මෙනා
වැදි බණ දෙසති වැද්දන් හැර බොහෝ දෙනා
රට හා ක්‍රමය දැක්කූයේ අපම තමා
ගෙට වී වැඩිවියෙන් දැන්වත් සිතනු හොඳා

නීතිය රීතියට හැමදා දා වෙට්ටූ
එහි වටිනාකම පාගලා ගානට තුට්ටූ
මට්ටුව දැනෙන විට කාටත් වී තට්ටු
හෙළයගෙ හැටි පෙනේ ලැජ්ජා නැත රට්ටූ

දෙදාස් පන්සීයෙ වරුණය කියවනවා
රෙද්දක් නැතුව පුස් හණමිටි විකුණනවා
යුද්ධය සද්ද සමඟින් හැම වළඳනවා
නට්ටන් වූ තැනදි ධර්මය කලතනවා

කට්ට කකා හැමදා රට රැක්ක දනා
කොහො වැළලුණත් රටකට ණය නොවුන දනා
කළ කරුමයේ රඟ දන්නේ අපිම තමා
බොරු කළ හැමට දිනයක විඳවන්ට වෙනා 

Sunday, March 15, 2020

නොකරන් ඔරෝනා! ☺

මේක පෙරුම් පුරන්න මිස බුදු වෙන්න සුදුසු රටක් නොවේ. බුදුන් ඉන්දියාවේ පහළ වෙන්නෙ ඒකයි. කෙටියෙන් කීවොත් දන් දීලා බැනුම් අහන්න, සිල් අරගෙන ගුටිකන්න, නෙෙෂ්කර්මයෙන් අපවාද ලබන්න, ප්‍රාඥාවත්ව ජෝකර් වෙන්න, වීර්ය කරන තරමට කැපෙන්න, ක්ෂාන්තිය වඩා ප්‍රජා අයිතිය නැතිකර ගන්න, සත්‍ය වෙනුවෙන් මැරුම් කන්න, ඒ මොනවා වුනත් මෙත, මුදිතාව, උපේක්‍ෂාව වඩන්න... මේ තරම් වටින රටක් නැත බෝසතුන්ට! ඒ අයුරින් ජනතාව බෝසතුන් කරන්නයි අපේ දේශපාලන, දේශමාමක, ජාතිමාමක, ජාතිහිතෛෂීන් හැමවිට වෙහෙසෙන්නෙ. මේ ටික තේරුම් අරන් තුනෙන් තුනම පාලකයින් සතු කොට අපි බෝසත්වීමයි මෙවැනි රටක කළ යුත්තේ.. රට නොහදා අපි හැදෙමු මිතුරනි!