Saturday, September 22, 2012

සතුට

මේක සිද්ධවුනේ මාස කීපයකට කලින්.

 මම මගේ යාළුවෙක් සමඟ වාඩිලාගෙන හිටි‍යෙ ගල් පඩියක් මත. අර දාඩියත් නිවාගෙන කලින් ආ ගමනෙ එක්තරා නැවතුමක. හිටයෙ එළිමහන් වේදිකාවක් තියන හරිම නිදහස් පරිසරයක. මෙතන අපි නිතර කතාබහට මුණගැහෙන තැනක්.

එදා උදේ බලපු සිනමාවක වගතුග මං කියමින් හිටියෙ මිත්තරයට.

මෙතනට බොහෝ දෙනා එනවා, යනවා. මෙතනින් අනෙක් පස තියෙන්නෙ පුංචි ගෘහස්ථ ක්කිරීඩාගාරයක් කියමුකෝ. ඒ නිසාම,

                                                             ක්කිරීඩක/ඩිකාවෝ මෙතනට එනවා යනවා.

අනිත් කණ්ඩායම ළා පෙම්වතුන්. ඔවුන්ට ඉතිං එළිමහනේ කියල යන්න වෙන තැන් කොහෙන් හොයන්නද? නිකන් කතාවට මේ විස්තර කිව්වේ පරිසරයෙ ස්වභාවය තේරුම් යන්න.

අර්ධ කවාකාර ආසන බැමි ඉහළට ඉහළට පේළි හත අටක් ඇති. මේ මැද්දෙයි තියෙන්නෙ එළිමහන් වේදිකාව.

 ඔන්න අපේ කතාබහ බරටම ඇදී යද්දී අපිට පරිසරයෙ අලුත් දසුනක් නිර්මාණය වෙනව කියල දැනෙන්න ගත්ත. කෙනෙක් දෙන්නෙක් මෙතනට යනවට එනවට වඩා මේක වෙනස්. ආවෙ වෙඩින් කපල් එකක්. හැබැයි බලපු බැල්මටම අපිට මේකෙ පෙනුන විශේෂත්වයක්. මනමාලයයි. මානමාලියො දෙන්නයි.

දැන් මමයි මිත්තරයයි කතා කරනවා. හැබැයි අපේ හිත අර ඡායාරූප වලට පෙනී ඉන්න ජෝඩුව ගැන.

"මේ පත්තරේකට ගන්න වෙන්න ඇති නේද?"   මිත්තර කට අවදිකලා සිද්ධිය වෙනුවෙන්.

"එක මනමාලියෙක් එක්ක තියලනෙ ගන්නෙ, මට හිතෙන්නෙ වෙන සිද්ධියක්."         මම ආපහු ඒ පැත්තට ඇහැ දැම්මා.

එක මනමාලියක් උඩරට ක්කරමේ, අනෙක් තැනැත්තී බටහිර ක්කරමේ. බටහිර විදිහට ඇන්ද මනමාලයා පොටෝ ගන්නෙ උඩරට කෙනත් එක්ක විතරයි.

මෙතන වටපිටාව ගස්කොලන් ගැවසුන නිසංසල තැනක් නිසා. එක එක කැමරා කෝණ වලින් කැමරාමන් පොටෝ ගහනව.

අපිට මොටද අනුන්ගේ ගැටපොළොස් කියල හිතන්න ගියේ නැත්තෙ රස්ටාගෙ හිත ශුද්ධ නිසා. බැලුවෙ සිද්ධිය තේරුම් ගන්න අදහසින්මයි. මිත්තරයටයි මටයි පොඩි ප්පරශ්නයක්.

"ඇත්ත නේන්නම්, තුන්දෙනාම ආවේ පත්‍තරේක පොටෝ වැඩකට නම් එක්කෙනෙක් විතරක් මගඇරල පොටෝ ගහවියැ?"

මේ උදවිය එක්ක තව ගැහැණු ළමයෙක් හා පිරිමි ළමයෙකුත් හිටිය. නිකං හරියට යා‍ළුවො වගේ. ඒ මදිවට තව පොඩි ඉස්කෝල දරුවෙකුත් හිටිය. ඉස්කෝලෙ ඇරිල ගෙදර එකකන් යන්න යන ගානේ. මේ උදවිය පොටෝ ගහන අතරෙ අර ළමයා මේ පරිසරයෙ ඒ මේ අත ගැ‍වසෙමින් ‍එයාගෙ විනෝදෙ. මේක පත්තර වැඩක් වෙන්න කොහොමත් බෑ. අර කැමරාමන්ගෙ කෝණ අනුවත් මට නම් දැනුනෙ එහෙමයි.

ඔන්න දැන් අපි දෙන්නගෙ මාතෘකාව කෙළින්ම මේ සිද්ධියට ලඝු වුනා.

"මිත්තර මේක ද්වීභාර්යා විවාහයක්ද දන්නෙ නෑ. අද එහෙම දේවලුත් වෙන්න බැරි නෑ, මට නිකමට වගේ එහෙමත් හිතුන." මං මිත්තරට එහෙම කිව්වෙ කට කොනකට පොඩි හිනාවක් දාගෙන.

"ඔබ හරි. එහෙම වෙන්නත් බැරි කමක් ම නෑ."

ඔන්න මේ අතරෙ අර ජෝඩුව පොටෝ ගහල ඉවරයි වගේ. මනමාලය කෝට් එක ගලවනව. ඒ පාර මොනවද  මේ වෙන්නෙ,

                                        මනමාලය ළඟින් හිටිය යාළුව තම සාක්කුවෙන් ඇදල ගත්තු ටයි එකක් තමන්ගෙ බෙල්ලෙ එල්ල ගන්නව. මෙන්න මනමාලය ගලවපු කෝට් එක යාළුවට අන්දනව.

අපිට සිද්ධිය තේරුම් ගන්න තව ටිකක් වෙලා ගියා. අර බටහිට පන්නෙට ගවුමකින් හිටපු මනමාලි මේ අලුතෙන් දැන් සූදානම් වුන මනමාල‍යගෙ හිමිකාරි නොවැ. දැන් ඒ දෙන්න පොටෝ ගහනව.

මමයි මිත්තරයි ආපහු කතාවට වැටුනා. කොහො‍මත් අපි මේ සිද්දිය රස වින්දේ අපේ කතා‍ව අතරෙම තමයි. මොකද, මොනදේ කරත් විදිහක් තියනවනේ. ඒකයි.

"දැන් ‍එතකොට මෙයාල යාලුවො වෙන්න ඇති. එකම දවසෙ කාසාදෙ. ලොකුවට ගන්නෙ නැතිව යන්තම් සූට් එකෙන් ෂේප් වෙලා ලස්සන පොටෝ ටිකක් අනාගතේට අරන් යන්න එන්න ඇති."

ඔන්න අපි යන්තම් ඒ සිද්ධිය ඒ විදිහට පැහැදිලි කරගත්තා.

"බලන්නකෝ සමාජෙ දකින්න තියන දේවල්."

ලස්සනම දර්ශනේ තිබුනෙ අවසානෙට. ඒ ෂොට් එකනම් රස්ටාගෙ මතකයෙන් ජී‍විතේට අමතක වෙන එකක් නෑ.

මේ මානාල යුවල වල් තමන්ගෙ රාජකාරිය ඉවර කරගෙන ආපහු යන්න සැරසුනා. ඔන්න අපිට පසුපස හරවලා මේ පිරිස පිටත් වුනා. පිරිමි දෙන්නා මනාලයෝ එයාලත් එක්ක හිටිය ‍අනෙක් ගැහැණු ළමයා, ළමයා හා කැමරාමන්, මනාලියෝ..

බටහිර පන්නෙ මනාලිය‍ ආපහු යන්න තමන්ගෙ දිග ගවුම අත්දෙකෙන් අල්ලගෙන ටිකක් ඔසව ගත්තා පයට නොපෑගෙන්න.

එතැනදි මොකක්ද අපි දුටුවෙ,

                                  යටින් පෙනුන ඩෙනිම් කකුල් දෙක

                                                                                        තවත් දේවල් අපිට හිතන්න ඉඩ ඉතුරු කලා.

ඔවුන්ට අයිති විවාහය විතරයි. පොටෝ ටික මතකයට. එපමණයිද?

ලොකුම වෙඩින් ‍එකෙත්, මේ ක්කරමේත් (ටුයින් වන්) සතුට ගැන වෙනසක් නැතිව තේරුම් ගන්න මෙහේ අපිට මෙහෙම දෙයක් ඇත්තටම දකින්න ලැබුනු ‍එක ලොකු දෙයක්, අපේ විවාහෙත් තව ඉස්සරහට තියෙන එකේ.

මිත්තරටත් මටත්  හිතුනා.

මේ අපිට හිතුන දේවල්. හැබැයි නොදන්නා දේවල් තුළ අපි නොහිතනම දේවල් තියෙන්නත් බැරිකමක් නෑ. කොහොම වූ නමුත් මේක නම් පත්තර වැඩක් නොවේවා.. අප හිතුදේ මොන තරම් සුන්දරද, එය හිතලුවක් නොවේවා..

අපේ පරම පැතුම එයයි. එමගට අප විසි වෙත්වා..

එහෙනම් සමුගන්නට අවසරයි,   

මා ඉතිං යන්න යනනම්..

හමුවෙන තුරු  රස්තියාදුවේ යළි,                                                                                                                                                                                       

වේවා ජයෙන් ජය..

Thursday, September 20, 2012

දාඩිය ?

පාර දිගේ ඇවිදන් ඇවිදින්

පදමට ‍තිතට රත්වූ සිරුරින්

කමිසය පිටට ඇලෙමින්

ඇලෙමින්..

යන්නට ආ ගමන එපා වෙන තරමට ගත සේම සිතද රත් වී එන නමුත් දැන් මම කුමක් කරම්ද? කළ හැකි එකම දෙය සිත දැඩි කොට පාර දිගේ ඒම පමණි. ලේන්සුව ඇද මුහුණ පිස දමා ගතිමි. මං ලේසියෙන් පසු බසින්නෙක් නොවන බව සිතීමි. මේ දුර මට යෑමට ඇත්තේ පයින්මය. දැන් ඉතිං වෙන කුමක් සිතන්නද.. නැත ආටෝ සරණක්

කොහොම හරි නොසිතා

යන්තම් එමග පසුකරා

හති වැටුනෙ නැතත්

සෑහෙන දුරක් ගෙවාගෙන ප්පරධානම මහ මගට පිවිසුණා කියමුකෝ..

පවන් වේගෙන් යමින්

එකට පසු එක බැගින් දෙක බැගින්

සාක්කුවේ අත්රුවං මං

අහෝ දැනෙනා සුවක් දැන් නම්..

ඇදෙන වාහන එක පෙළට මේ පාර දිගේ

ගමන් මග මගෙ අ‍නෙක් අතටයි පාර දිගේ

මොටර් වේගෙ දෙන හුලගින් පාර දිගේ

වටපිට බලා යන විට දැන් මොන සැපයක් මේ පාර‍ දිගේ..

වංගුවකින් හැරී ගත් මම දහදියෙන් තෙත්ව තිබූ කමිසය වාහන හුළගින් වේළී ඇති බව දැන සතුටු සිතින් කය කෙළින් කොට ගෙන සැහැල්ලු රිද්මයකට පිවිසියෙමි. හුළං ඒසී විත් මොටෝ යැයි මේ අතර මට නිකමට නොසිතුනාද නොවේ. මගේ ගමනට දැන් සුදුසු පසුබිමක් මට තැනී ඇත. මග හොදට තිබේ නම්, යන්ට දෑසත් පෙනේ නම්,               කිම අන් දෙය..

දාඩිය ?  දැන් රස්ටාට ප්පරශ්නයක් නොවේ.

මේකයි අපේ රට, අපේ විදිහ ඒකයි මේ විදිහ. මං හිතන්නෙ ඒ විදිහ ශුද්ධයි,         දාඩිය ගැන කවි කතා බොහොමයි.

නියං රස්නෙ මේ දිනවල දහදිය බොහොමයි අපෙ පැත්තෙ. කොහොම වුනත් අදටත් හෙටටත් අපි කාටත් වලංගුයි මේ තත්වෙ,

දහඩිය මෙන් රස්තියාදුව ශුද්ධ කොට වාෂ්ප වෙන්නට අවසරයි.

හමුවෙන තුරු රස්තියාදුවේ යළි,                                                                                                                                                                                        

වේවා ජයෙන් ජය..

Tuesday, September 18, 2012

ඇරඹුම

ඕනම දෙයක් අරඹන්න ඕනම තැනක් තැනක් කරගන්නා රස්තියාදුවාට ඔබ අමතන්නට අවසරයි මෙතැන් සිට.                                                                                    

කාලයක් තිස්සෙ අතන මෙතන රස්තියාදු වෙද්දි නිතරම හිතුන දෙයක් රස්තියාදුව වචන සම්මතයෙන්ම රස්තියාදුවක් නොවේවා කියන එක. හැම තැනකදිම රටේ, කැමැත්තෙන් හරි නැතුව හරි ගහන්න සිද්ධවෙන වෙන රස්තියාදුව කාලයට දේශයට උරුම එකක් කියල දැනුනම ඒකට හැඩගැහෙන්න වෙනව කොහොමින් හරි. ඩාවින්තුමාගෙ න්‍යායට අනුවත් නූචිතයාට අවනතිය හිමිවෙන නිසා මේ රස්තියාදුව අපට උරුම වූ අපේ රටේ කරුමයක් නොවී ඒක ශුද්ධ රස්තියාදුවක් ම වේවා කියල ධනාත්මකව හිතන්න ගත්තම, 

කොයිතරම් නම් අපූරුද? 

කාලයක් තිස්සෙ අතන මෙතන වුනු හැම රස්තියාදුවක්ම ජීවිතයට පාඩම් කියල දෙන පොතක් බවට සිත්වුනේ එහෙමයි.

                   ඒ රස්තියාදුවේ පිටු එක එක පෙරළෙද්දි තාමත් තාරුණ්‍යයේ ජවය නොගිය ගතත් හිතත් කියන්නෙ ඒ රස්තියාදුවෙ සුන්දරකම නිදහස බෙදාගන්න පුලුවන් හැමදෙනා එක්කම බෙදාගන්න කියලයි. නොපිටට එපිට වචන දාගෙන කණවැල අල්ලන් යන ගමනක, අපිටම අපිට දැනෙන නොපිට වුනත් හිතට දෙයක් ගන්‍නයි දෙන්නයි මේ රස්ටා සූදානම්.

ප්රෙවේගකාරී ලොවේ ත්වරණයත් මන්දනයත් රස්ටාට දැනෙනවා. හලෝව් කියාගෙන ගමනක් යන්න හිතුවෙ ගතටත් හිතටත් තියන එකම සැහැල්ලුව ඒක නිසාමයි.

ඇරඹුමට පමණක් මෙතෙකින් තිත තබන්නම්.

හමුවන තුරු රස්තියාදුවේ යළි,                                                                                                                                                                                           

වේවා ජයෙන් ජය..