Showing posts with label ම'බස. Show all posts
Showing posts with label ම'බස. Show all posts

Monday, May 29, 2017

හිස් තැන් .. නැත පිරවී (අසාර්ථක තණකොළ පෙත්තෝ)


අධ්‍යාපනේ නිදහස් ප්‍රතිඵල
අවිදිල්ලා ගේ දොරත් යටකරන්
රටෙන්ම ගන්නයි හැමදා සටනේ
රටකට දුන් දේ දන්නේ නෑ අපිවත්

වසන්තයේ ගී කිව්වා නටමින්
වස්සානේ දැන් වියරුව ඇවිදින්
මෙතුවක් අප ලද උස් දේ පවසන්
උස් තැන් පිරවූවා මිස වහසින්

කළ යුතුදේ කළ යුතු බව නොදනිති
රන්මය වටිනාකම් නොම හඳුනති
අඬුව තබා අත පුච්චා ගන් නිති
ලක නොව අප නම් සිහිනැති උන් වැනි

හැමදා පෙර මග කිව් අය සිටියෝ
ලොව ජය ගත් අප මිනිසුන් සිටියෝ
පවට පිනක් දෙන්නට නම් බැරියෝ
දැන දැන ඉල්ලාගෙන කති වැසියෝ

එකම දෙයයි තව කෙරුමට ඇත්තේ
හැම තැන හිස්තැන් පමණයි දැක්කේ
පුරවාලන්නට ඒ තැන් මත්තේ
පුරදු කරමු පෙර පාසල් වත්තේ

Saturday, May 27, 2017

මානස පේශිය හිරිවැටීම (හිරිවට්ටන ඉන්ජෙක්ෂන්)



අධි කම්පන මානස පේශිය නිදි කරවයි. ඉච්ඡානුග ප්‍රතිචාර අනිච්ඡානුග කරවයි.  එලෙස මානස පේශිය හිරිවැටීම සමහරුන්ට ආශ්වාදජනකය. මත්පැන් මත්ද්‍රව්‍ය තුළ මානස පේශිය අන්ඩකොන්ට්‍රෝල් නොවීම එහෙව් සමහරෙකුට ආතල් එකක්මය. තවත් කෙනෙක් තවත් කෙනෙකුගේ මානස පේශිය කොනිත්තා සතුට ලබන අතර තවත් කෙනෙක් අනෙකුකෙගේ මානස පේශිය සම්බාහනය කිරීම අපූරු ධනාත්මක සංයෝජනයකි. කෙසේ නමුත් ඔය කවර කාරණා තුළත් මානසය හිරිවැටෙන අතුරු ආබාධ හෝ තහනම් උත්තේජක තිබිය හැක. ප්‍රකෘතියත් විකෘතියත් අතර තහනම් දොරටු එකිනෙකාට වෙනස්‍ ය. විවිධ සංස්කෘතීන් තුළ හැඩගැස්සූ විවිධ මානස පේශී හරි පුදුමාකාරය. ශරීරය හා සමබර වීම යනුද මානසයට බැලුනක සුළං හා සමානය. සමහර බැලුමක තුනී බවත් තවෙකක ඝණකමත් අනුව එකම වායු ප්‍රමාණයෙන් වුව බැලුම්  පිම්බෙන තරම වෙනස් වන්නේ යම් සේද ශරීර වල සමානත්මතාවය එකිනෙකාගේ මානසයට බල නොපායි. නිඹුල්ලුන්ගේ පවා මානසය කොතරම් වෙනසකින් යුතුවේද? තමාගේ ශාරීරික දුබලතා මානස පේශිය ආධාරයෙන් ජයගත්තෝ කොතරම් න අප දැක ඇද්ද? ඒ අතරම මානස පේශියේ දුර්වලතා සදහා ශාරීරික අභ්‍යාස උදව් කර ගැනීම වෙනුවට සමහරු තහනම් උත්තේජක භාවිතාවෙන් මනස හිරිවට්ටාගෙන ඇබ්බැහියෙන් ජීවිතයම විනාශමාර්ගයට දක්කාගන්නා අයුරුත් අප අනන්තවත් අසා දැක ඇත. සමහරෙකුට මව් බසත් තවකෙකුට පර බසත් සමහරවිට මානසය හිරිවට්ටන එන්නතකි. කෝපය මෙන්ම ශෝකයත් ලෝබය හෝ මෝහයත් බය සැක සංකා මෙන්ම ලාබ කීර්ති ප්‍රශංසාද විටෙක ප්‍රමාණය අනුව උත්තේජකයක් හෝ උභතෝකෝටිකයකි.  මෙවැනි ලියවිලි හා කියවිලි මගින්ද විටෙක මානසය හිරි වැට්ටිය හැක. මානසය කීරී ගැසීයාමද හිරි වැටීමෙන්ම ඇරඹෙන්නට පුළුවන. එනිසා සුරකි න්න ඔබේ මානස පේශිය උවදුරෙන්, නිතැතින්.. එය ඔබ වෙනුවෙන් පමණක් නොව අනෙකා වෙනුවෙන්ද ඔබේ යුතුකමකි. මන්ද, හිරිවැටුණු මානස පේශිය යනු හැගීම් විරහිත හදවතත් අවදිනොවූ බුද්ධියේත් අකූල සුසංයෝගයක් වන බැවින්මය.
කෙසේ නමුත් මේ දිනවල  මානස පේශී පමණක් නොව මාංශ පේශී සියල්ලද බොහෝ කොට බොහෝ දෙනගේ හිරි වැටී කීරී ගැහී ඇත්තේ ගංවතුරේ අධි කම්පනයෙන් බව අපි දනිමු. සියල්ල යථාවත් කර ගැන්මට කවුරුත් එකාවන්ව සියලු පේශි ශක්තිය මිටිකර යොදවා වැඩ කළ යුතුය. මර ගී ගයමින් අහසට පොළවට දෙස්දෙවොල් තබා ඵලක් නැත. දැන් ඇත්තේ කළ යුතුදේ කිරීමටය.

Wednesday, May 24, 2017

මානස පේශී හා අකල විකල (තව ටිකක් පද වැල් වට්ටාරමෙන් වන්දනාවට)


සමහරු අප මඩින්නට උත්සාහ කළෝය. සමහරෙක් නිසා අප මැඩවුණිද? ඒ කිසිවක් අප නොදැනම සිද්ද වූ කාරණාවන් නොවුණි. අපි ඒ පිළිබද දැනගෙන සිටියෙමු. ඉවසීමෙන් සිටියෙමු. අපේ මානස පේශිය ශක්තිමත් වීම එයින් තවත් ඔප වැටුණි. ශක්තිය ජනනය, විභවය මෙන්ම දීප්තියද මානස පේශිය කෙරෙහි අන්‍යන්ගේ ආසක්තභාවය වැඩි කරයි. තවදුරටත් ඉවසමි. එය හැබෑව, දුහුනන්ගේ එදිරිවාදී, පසුබානා, දුර්වල මානස පේශීන් පිළිබද අවබෝධයෙන් කෙරෙන ඉවසීමකි. එක් විභවයක් චාලකයක් බවට පත්වද්දී තවත් චාලකයක් විභවයක් බවට පත්වෙයි. ඒ විදුලියෙන් මෝටරයත්, මෝටරයෙන් විදුලියත් බල ගැන්වෙන්නාක් මෙනි. මානස පේශියේ විභවය වැවක, ජලාශයක මෙන් සපිරෙන තරමට ගැඹුරින්ද වැඩිවෙයි. එමෙන්ම කාළය හා අවකාශය අබිබැවීමේ හැකියාවක්ද මානස පේශියට ඇති බැවින් එහි භාවිත දිශානතිය යනු තම තමන්ගේ පමණක් නොව අවසන රටේම වර්ධනයේ දිශානතියයි. ලෝකය තුළ විවිධ රටවල්, ජාතීන් තම අනන්‍යතාවය පෙන්වීමට මොන තරම් මේ පේශිය භාවිතා කරත්ද? එතරමට ඔවුන් විවිධ කුසලතා තුළින් ලෝකයේ අන්‍ය ප්‍රජාවන් අභිවවා සිටී. එහිදී පෙනෙන වැදගත්ම ඉස්මතුවීම කවරක්ද යත්, මානස පේශියේ හැඩ තලය සිරුර හා දක්වන අන්තර් සබදතාවේ පමණයි. දරදඩු සිරුරක් මානස පේශියේ භාවිතාවෙන් පමණක් සුනම්‍ය කළ හැකිද? මේ වෙනුවෙන් දැක්විය හැකි පැනයකි. ජාන රටාවෙන්ම නම්‍ය සිරුරු සේම ව්‍යායාමය තුළ නම්‍ය කරගනු ලැබූ සිරුරුද එකම ස්වරූපද? උපන් හැකියාවෙන් ගයන්නෝත් නූපන් හැකියාවන් නිලීනව යා නොදී දැඩි පුහුණුවක් තුළ ගායනයන් ඉදිරිපත් කරන්නෝත් සිටිති. මේ කවර කාරණයේදීත් සිරුර හා මානසය එකිනෙකට සමබර වියයුතු බැව් සරලවම අප දන්නා වූ කාරණයක්.

එබැවින් මානස බිල්ඩින් යනු කායික බිල්ඩින් වලින් සපුරා බැහැර වීමක් නොවේ, සමබරවීමක අවශ්‍යතාව, වැදගත්කම කියාපාන්නකි. නිරෝගීතාවය වෙනුවෙන් තමන්ටම කරගත හැකි, කරගත යුතු කරුණු කාරණා එළි දැක්වීමකි. සාමාන්‍ය සරල විද්‍යාවේ ඉගැන්වෙන පේශිය සංකෝචනයෙන් හා ඉහිල්වීමෙන් සම්බදිත දෙකොන සමීප හා දුරස්ථ කරයි. මානස පේශිය සම්භන්ධ කරන්නේ මොළය හා හදවතයි. එනම් සිරුරක ප්‍රධානතම මර්මස්ථාන යි. ලේසි නැත, අදෘශ්‍යමාන මානස පේශියේ තරම! එය ඔබේ පාලනයට සපුරා නතු වීම කොතරම් වටිනවාද? යනු.. නමුත් ඒ ඔබේ පාලනයද යහ පාලනයක් නොවෙනවා නම්, ඇත්තෙන්ම ඔබ දිනක අදුරු රූකඩයක්ම වනු ඇත්තේ ඔබවත් නොදැනම වීමට ඇති හැකියාව උපරිමයි. එය ඔබ තරයේම මතක තබාගත යුතු...

Friday, May 19, 2017

මාංශ පේශී හා මානස පේශී



දෙකම අතිශයින් ම වැදගත්ය. පළමු එකට වඩා දෙවන එක සාතිශය වැදගත්ය. අප නොසිතන ශක්තියක් ඇති එහි ශක්තිය සීමිත දර්ශකයකින් දැක්විය නොහැකිය. සියුම් ලෙස අන්වේශණය කිරීමෙන් හැදිනගත හැකි සියුම් බව වටහාගන්නා තරමට මානස පේශියේ ශක්තියත් බලයත් උපරිමයෙන් සඵලදායී කරගත හැකිය. එබැවින් ජිම් යන්න මානස බිල්ඩින් සදහා!

Sunday, May 14, 2017

දිස් + පරණ කවි+ස්ටයිලේ... (තෝරන්)




ස රි ග ම ප ධ නි සා'
අතමිට සරුවෙලා
ලාබ ගැනම සිතා
බාල වැඩට ගියා

හද්ද ගමෙන් ආවේ මං
පට්ට නගරෙ කෑවේ මං
පොස් ගතියට වාසේ දැං
කිති සේරම ගොසින් නිවං

සල්ලි බෙදන අයියලාට
වාසි බෙදන මල්ලිලාට
හුරතල් වෙන නංගිලාට
ජීවිතයම විකිණිලාය

පවා දෙන්නෙත් හිටගෙන
අමතක කරමින් කන්දෙක
ලොකුකරගෙන ඔය අංදෙක
ඇනගන්නෙත් දියුණුවෙන්න

Thursday, May 11, 2017

හැදුනුම් පත (තෝරන්)





මා මළපසු
ලියනු පිණිස
දුක් ගීයක්
සොහොන් කොතේ
සටහන් කොට
තබමි කලින්
පරිගණකයෙ
නෝට් පොතේ
පාර්ස්වර්ඩ් එක
ඇත්තේ මගේ
පරණ නෝට් පොතේ
ඒක නැතිවුණොත්
හොයලා බලනු
මේස ලාච්චුවේ
ගාංචුවක් ඇත
දමලා පරණ පොකට්
එකට මගේ
ඒක ඇතුළේ
විසිටින් නම්
කාඩ් එකක
පිට පැත්තේ
තද අකුරින්
කළු පාටින්
පාර්ස්වර්ඩ්
එක ඇත්තේ
ඒ යතුරෙන්
පසු හඹන්න
මගේ දුක්ඛ
ගීය සොයන්
සොහොන් ඵලක
මස්තකයේ
ඒ පදවැල්
කොටා දමන්
මගේ දුක්ඛ
ගී පබැදුම
ඔබේ වෙහෙස
ගැනම තමයි
මරණෙන් පසු
සත් දිනකදි
සසර දුකත්
අමතක වෙයි
යළිත් මෙහේ
නොම ආවත්
ඔබේ මතක
මා සතුවෙයි
මගේ මතක
නොම ගත්තත්
හැදුනුම් පත
ඔබ සතුවෙයි

Wednesday, April 26, 2017

මීතොටමුල්ල මහබැංකුව කියා අපි කියමු. (ඉවවහා යන තවත් අභූත කුණු නොබෙදමු)

සිවුපාවා සැසදිය යුත්තේ සිවුපාවා සමගය, එතනත් බල්ලා බළලා වෙනස්‍ ය. නුවණැති මිනිසාට එය වැටහෙයි. කුණුගොඩකින් මිනිසුන් මිය යෑම නින්දිත නිර්ල්ජ්ජිත වූවාට ඒ කුණු ගොඩ ගැසුනේ රටේ මිනිසුන්ගේත්, එදා මෙදා මන්දෝත්සායී පාණ්ඩු ආණ්ඩුවලත් කරුම(ක්‍රියා) වලිනි. එබැවින් ඒ කුණු සැසදිය යුත්තේ තවත් වත්මන් කුණු ගොඩක් සමග මිස දහදියෙන් බිහිවූ අතීත උරුමයක් සමග නොවේ. අදටත් විදේශිකයන්ට විකුණමින් අප යැපෙන අතීතයේ හැම උරුමයක්ම වර්තමාන අපේ කරුම(ක්‍රියා) වලට මුවහම නොවේ, සැසදීමටවත්. පුහු රැඩිකල් / සමනළ චින්තනයකට එහා යන්නට නම් කුණු කන්ද බැස්සිය යුත්තේ මහ බැංකු ගොඩ නැගිල්ලකටය. උසෙන් දිගෙන් කියා කුසළෙන් කසළෙන් කියා නහය ගෙම්බාට ගත්තොත් දිනෙක සර්පයා ගෙම්බාව අල්ලාවි. පුහු ජනතාවාදී මෝඩකමට නොවැටහෙන සත්‍යත් ලෝකයේ පැවතීම හරි අපූරුය. මිනිස්සු තවම ඒ සත්‍ය දකින, පුදන බව අප මතක තබා ගත යුතුය.

නිසි තැන දිය යුතුමය

විශ්වාසයට නො ගත යුත්තන් හට
බලාපොරොත්තු නො තැබිය යුත්තන් හට


Monday, April 24, 2017

රැළි කොඩි වැඩක් නැත, දහඩිය හෙලනු නියම තැන...


අපේ මැයි රැළියටයි වැඩිම සෙනග
නෑ අපේ එකට
නෑ නෑ අපේ එකට
.......
..... පේ එකට වැඩියෙන් ආවයි කියල රටට වෙන්නෙ මොන සෙතක්ද?
මේ රටට තව මීහරක් කුමකටද?

Saturday, April 22, 2017

මිය යන්නට මොහොතකට පෙර (මරණය නියතයකි - අනියත ජීවිතයේ)


'මා විසින් ඉටු කළ යුතුව තිබූ යමක් වීද එය නොපිරිහෙලා ඉටු කළේය' ඒ බැව් ප්‍රත්‍යක්ෂ වේ නම් එපමණකි, මගේ පරම පැතුම.

Thursday, April 20, 2017

තරගයමයි...කුණු


සාපේක්ෂ. . මමයි, ඔබයි
ඉගෙන ගත්තෙ තරගයමයි
දියුණුවෙන්නෙ තරගයටයි
ජීවිතයම දුවගෙනමයි

ඇමරිකාව අප්‍රිකාව
අපි දැම්මා ආසියාව
මන්ද නාව කාරණාව
තරගයමයි වන්දනාව

බස් එකේදි කෝච්චියේ
කුණුමුල්ලේ හදිස්සියේ
තරගය මැද ලමිස්සියේ
දුවපන් උඹ හද්ස්සියේ

කොල්ලෝ බල්ලෝ මල්ලෝ
හදාගන්න දරුමල්ලෝ
වඩා ගන්න සුරතල්ලෝ
තරගයටම බැහැපන් ගෝ..

පොඩිවුන්හට පොතේ තරග
ලොක්කන් හට බඩේ තරග
හුස්මක් ගන්නේ කොතනද
සීරිස් එක තව නිම නැත

කුණු කණු මණු ඕන දෙයක්
කන බොන වහ ඕන දෙයක්
පෙරළන කොට බාල්දියක්
අපි දුන්නා ජන්ද ගොඩක්

රටේ වරද ආණ්ඩුවේ
අපි ඉන්නේ විපක්ෂයේ
තරගෙට එනු හදිස්සියේ
දිනනවන්නේ ඔබව ප්‍රියේ

එකට එකා තරග වැදෙයි
පොර පිටියෙදි සල්ලි ඇදෙයි
අන්න එතන නියම අගෙයි
රට නැගෙන්නෙ තරග මගෙයි

ගනුදෙනු හදලා පරහට
අයබදු ගහලා විගහට
තරගෙට වැටිලා අපහැම
ගේමම යමු දිග හරහට

අධ්‍යාපනේ හොල්ලා
ක්‍රීඩාවට ගල් පෙරළා
සවුක්කියට තෙල් ගහලා
තරග කරමු අපි බෙදිලා
...................
ඉන්නේ කන්නද නොදනී
කාලා උන්නෙද නොතැවී
අපිට වගේ වගක් නැතී
සැවොම කරන නිසා යමී

Sunday, April 16, 2017

__ Kg __ (කොලිටි ජපන් බඩු වලින් සදාකාලික ලාංකීය තකතීරුකමේ බර මනිමු)

කුණු ස්කන්ධයට
යට වූ
පංචස්කන්ධ
පින්වතුනි,
................
කොහිද
මීළග
පුණ්‍යානුමෝදනාව
............
හේතු දැන
අනුදැන
තටමමු
හිරකරන්
දේශපාලන
පරිපාලන
හිතුවක්කාර
මෝඩකම්
.................
පව්කාර
මිනිස්සු
පව්කාර
අපි
..........
වන්දි
බෙදමු
පිරුවට
අදිමු
කියවමු
ලියමු
ඉවසමු
හඩමු
මැරෙනකම්
(ධනස්කන්ධයෙන්ම විසදිය නොහැකි පංචස්කන්ධයේ දුක්ඛප්‍රාප්තියක්!!! ..... එදා, මෙදා, කවදා, උන් මොළවල ස්කන්ධයක් තිබුණා නම් පිට කොදුවල නාරැටි තිබුණා නම් කුණු වලටත් අද නැතිවද තිරසර විසදුම්?)

බම්බු + ..




Friday, April 14, 2017

රබන් තෙල්, කොකිස් මල්..

ගොරොක් නොවී
නොරොක් නොවී
රොක් වේවා
අවුරුද්දේ

හිතේ තියෙන
අලුත් පැතුම්
සමග කැවුම්
අවුරුද්දේ!!!

(නොකීවත් නොකෑවත් අව්ව සැරයි වැස්ස වැටෙයි ලංකාවේ අපේ එකසිය විස්සට දෙසිය විස්සක් ආයුබෝ හැමට)

Monday, April 10, 2017

Monday, April 3, 2017

A..E I....O U

අත් හරිමි
සිත් සේ
බොහෝ දේ
අත නොහැර

පික්පොකට්

ඔබගේ
සන්තකයට
තට්ටු කරන්නේ
ඔබගේ
කරට
දමාගත් අතේ
සහෝදර අතින්ම
විය හැක
ප්‍රවේශමෙන්

2500+ (රස කතාවකි)

අලුත් පහනක් අතින් ගෙන
මුවන් පස්සේ දුවමින
හණ මිටිය හිසින් ගෙන
පාරුවත් ඇති නදිය කොතැනද...

ඇලඩින්ට වාසනාව ගෙනාවේ පරණ පහනයි. ඕන වැඩක් කර දුන් භූතයා සිටියේ එහියි. නමුත් දිනක මන්ත්‍රාචාර්යාගේ උගුලේ අසුවුණු ඇල.මෑණියෝ පොෂ් පහනට පරණ පහන මාරු කළාය. එහෙයින් දැන් ඇය සතුව ඇත්තේ අලුත් පහනයි. ඒ බැව් නොදත් ඇලඩින් තවමත් පරණ මතකයෙන් අලුත් පහන අතුල්ලයි.
ඔවුහු දුවන මුවන් පස්සේ වැටී එතෙක් මහන්සියෙන් නෙලූ පලා මග විසිකොට දැම්මෝය. තවමත් ඔව්හු දුවමින් සිටින්නෝය. අහසින් ගොස් මුවන් දඩයමට පිඹුරුපත් දැන් සැකසෙමින්ලු. අභය භූමි සීමා නිර්ණයත් සිදු කෙරෙනවාලු.
හණ මිටියේ කතාව වෙනසයි. ඒ හණ මිටිය කිසිවකට හුවමාරු නොකර හණ ලෙසින්ම ගමනේ නිමාවට ආවේ කිසිදු නිෂ්පාදනයක් සිදු නොවෙමිනි. තවම එයින් නූල් පොටක් සාදා නැත. එය කෞතුකාගාරකට යැවෙන බවට ගොසිප් අඩවියක් අදත් අනාවැකි පල කර තිබිණි.
බුදුන්ගේ දහම පාරුවක් කොට ගන්නට කියූවකි. පාරුව ඔසවාගෙන මදාවියෝ පිරිසක් මේ ගම්ගොඩේ දැනුත් සරති. එබැවින් නදිය අසල මහ පිරිසක් තවම රැස්කති එතෙර විය නොහැකිව. පුලුවන්නම් පොලිස්පතිට පණිවිඩේ දෙන්න.

Thursday, March 23, 2017

කකුළුවන්ගෙන් බිහි නොවෙති කිකිළි පැටවුන්

වියුක්තව කරුණු කාරණා අරගෙන එක එක ප්‍රශ්න විසදන්න හදන ගොඩක් අයට නොපෙනෙන දේ අන්තර් සබදතාව. පාර්ලිමේන්තුවේ අකුරු දෙකෙන් තුනෙන් වට්ටක්කා ගැන කියන බමුණන් ඇතුළු සියල්ලෝ කැකිල්ලේ ක්‍රමයටම පාසල් ළමයින්ගේ ප්‍රචණ්ඩත්වයටත් අනිවාර්ය වගකිව යුතුයි. රටේ වගකිවයුතු තැන් විහිළු සහගත වෙන විට ඒ වගකීම් යටතේ පවතින විවිධ වූ ආයතන තුළ හැසිරීම් ටොකු ඇනලා පාලනය කරන්න බැරිවෙනවා. අර ටැලන්ට් තරගයක දුටු අනුකාරකයන්ගෙන් දේශපාලන චරිත කොතරම් උපහාසයට වගේම සියුම් අපහාසයකටත් ලක්වූවාද, ඒ උපහාසය තරුණ මනසට එන්නේ නිකම් නොවේ. විනය කියන කරුණ අපේ සමාජය තුළ කොපමණ තක්සේරුවක් තියන කාරණයක්ද? ඔය කාරණයෙදි සමාජයෙ විනය බරපතළව බිදවැටුණු සංක්‍රාන්ති සමයකයි ගතවුණේ අපේ පාසල් අවදිය. විසිවෙනි ශතවර්ෂයේ අගත් විසි එක්වන ශත්වර්ෂයේ මුලත් කියන කාල වකවානු දෙකම තුළ අපි පාසල් වල හිටියා, විනය ප්‍රශ්න විවිධාකාරයෙන් මතුවුනා. රටේ දේශපාලනයේ බරපතළම ළාමක තත්වයන් මතුවුනෙත් ඒ අවදියේ යැයි සිතෙනවා. ඒ දවස්වල අපේ නගරයෙත් වීරවංශ කටහඩ ඇහුණා. උගුර බැරැණ්ඩි වුණු හඩින් එදා ජේ වී පී දේශපාලන වේදිකාවේ ප්‍රචාරක ලේකම්ගෙන් නැගුණු හඩ තවම සිහිපත් කළ හැකියි. ඒ විතරක් නොවෙයි, බොහෝ දේශපාලකයන්ගෙ අසීමාන්තික පිමි වගේම සෝම හිමියන්ගෙන් ඇරඹුණු බොදුණු ප්‍රබෝධයත් එක්ක සමාජයෙ මතවාද පාසලටත් දැනුනා. භික්ෂුන්ගේ දේශපාලන ආගමනය අපි දැක්කා. යුද්ධයක් වගේම විරාමයක්, දේශපාලන ගිවිසුම් වගේම සාකච්ඡා, වීර විදහන වගේ සංවිධාන, ශාරුක් ලංකාවට ඇවිත් ප්‍රසංග වල බෝම්බ පිපිරීම, ආපහු යුද්දෙ විතරක් නොවෙයි නිමාවත් අපි දැක්කා. කාලයක් යුධ විරෝධය වගේම ජයගැනුමෙන් පස්සෙ යුධකාමී සටන්කාමී ප්‍රවේගයත් අපි දැක්කා. කවුරුත් කල්පනා කළාද මේ දේවල් පාසල් මනසට ගියෙ කොහොමද කියල. නිදහස වගේම අධ්‍යාපනයත් නිදහස් කරල දුන්න විතරක්ද? කුඹුරු කොටපු වගා කරපු සංස්කෘතියක තිබුණු පාසල් ඉංග්‍රිසියෙන් සිංහලේට හැරුන විතරක්ද? හැත්තෑව අසූව කාලෙ පාසල කොහොමද? අද විශ්ව විද්‍යාල සිසුවගෙ වටිනාකම කොතැනද? කොටින්ම එතැනින් එහා මෙහා ගොඩක් ගොඩක් කතා එක්ක සමාජයෙ වෙනස්වීම් පාසල තුළටත් ගොඩක් දේවල් ගෙනැවිත් නැතිද? සුපර්ස්ටාර් සංස්කෘතිය විතරක් නෙවෙයි පාර්ලිමේන්තුවේ බුෆේ ගිලීමත් පාසලට එන්න තරම් ජනමාධ්‍ය දියුණුව සීමාවෙන් එහා. ගුරු බලය ප්‍රබලතාවෙන් කොතරම් සිසුවාගේ යහගුණයට බලපෑම් සහගතද? ළමයා කියන්නෙ පොඩි වැඩිහිටියෙක් නොවේ යැයි කීවත් නූතන සමාජයේ ඒ වෙනස හරිම පුංචියි. ස්ටාර් වල සිට ළමයින් ගැටවරයන්, නව යෞවනයන් වෙත සියලුම උත්තේජකයන් දීලා ඔලුව අතගාලා සිල් ගත්ත විදිහට ඉන්න කීවත් අහාවිද? පාලනය යාමනය උවමනා තැනදි කනට දෙකක් දෙන්න තරම් ශක්තිමත් සමාජයක් වැඩිහිටියන්ට තිබෙනවද? නීතිය අනුව හදාගන්න කියා කාටවත් අත උස්සන්න කාටවත් බැහැ, ඒකට නීතියම එන්න ඕන. තේරුම් ගත යුතු කාරණය බලයන් සහිත බලවත් උදවිය හා ඔවුන්ගේ දූ දරු වන්, හිතවතුන්, බත් බැලයන් ආදීන්ගේ උවනමා මත පරම්පරා විසින් කාලයක් නඩත්තු කෙරුණ අසංස්කෘතික විනයක් ඇති රටක් බව මෙය. ඒ අනුකාරක සමාජයේ බහුතර මහ කකුළුවන්ගෙන් කිකිළි පැටවුන් පැතිය හැකිද? වගකීම වගකීමක් නැති සමාජයම මිස කවරෙක්ද? හැබෑ වෙනසකට නම් නිවැරදි පදනමක් තිබිය යුතුමය, සොයාගත යුතුමය. නමුත් සෙවිය යුත්තන් සොයන්නේ ඒවාද? අඩුම තරමේ මම මගේ අඩුපාඩු හදාගන්නටවත් කටයුතු කළ යුතුමය. එවිට මම මගේ අවම යුතුකමවත් සමාජීය සත්වයෙකු ලෙස සපුරා ඇත. හුදු සංකල්පීය පොෂ් බවකින් මහපොළොවේ පස සරුවන්නේ නැත.

Wednesday, March 22, 2017

රටේ අනාගතය කිසිවෙක් නොදනී...මේ මගේ රටයි!

සැබවින්ම මේ රටේ අනාගත සැළසුම් තිබෙනවා නම් ඒ මේ මොහොතේ තනි පුද්ගල හා පෞද්ගලික ආයතන වශයෙන්ම පමණක් බැව් සහතිකය. රටක් වශයෙන් තවම අපි අතීතයේය, වර්තමානයේ යම් යම් කාරණා අරඹයා තවමත් ඇත්තේ විචාර විවේචන හා හොස්ස පෙවීම් පමණකි. හැත්තෑ ගණන් වල අනාගතයක් දැකීමට ගොස් අසූ ගණන් වලද ඒ පසු පසම ගොස් ලැබුනේ සමූහ හෝ තනි වලවල් සෑයවල් වල උරුමයක් පමණි. මේ මොහොතේ රූපවාහිනිය ඉදිරියේ සිටිනා මට ජාතික නාළිකාවේ ජාතික සම්මානත්, මීට ටික වෙලාවකට පෙර බ්ලොග් සම්මාන උළෙලක් ඇසුරේ කතිකාවක්ද දක්නට ලැබිණි. ජාතික සම්මානයෙන් පෙනුනේ අතීත ක්‍රියා ඇගයුමකි. එතැනින් මා තවමත් දකින්නේ අතීතයක් පමණි. අතීතයෙන් පුද්ගලයන්ගෙන් ගත් උගත් පාඩම් මොනවාද? මහා ජාතිකත්ව කතා දමන මහා දේශපාලකයන් ජිල්බෝල ගසන නොකිය නොකළ වැඩකට නැති මතවාද වෙනුවෙන් රටක් ගිනි තියන්නට දහසක් ගෙනෙන රටක, අනාගතය ගැන දකින්නේ කව්ද? ඒ අතින් ඔය ජාතික සම්මාන පිටුපස ගොඩනැගුණු වටිනාකම් මහත් කොට හිතිය හැකි, එහෙත් එතනින් අනාගතයට පෙර ගමනක් නැත. බ්ලොග් අවකාශය ගැන කතාව වර්තමානයේ අතපය දිගහැරීමට නැගිටීමට දරන වෙරකි, පෙනුනේ එහෙමය. හැබැයි මේ සියල්ල අපට ගේන රූප මාධ්‍ය ආයතන නම් ආයතන ගොන්නට අයත් හා ජන ප්‍රසාදය රටේ ප්‍රසාදය මතම යැපෙන නිසා අන්‍ය කාටත් වඩා අනාගතය දකින බවනම් පෙනේ. ඔවුන්ව තේරිම ජනතාවට සල්ලි ලෙසින් එන්නේ එහෙමය(අපිව තේරුවොත් සල්ලි තමයි). තවත් ජන මාධ්‍ය නාළිකා තුළ මේ මොහොතේ යන්නේ කට වාචාල සූකර යන්ගේ දේශපාලන වන නොවන මුකරි කතාය. සේරම හිස් බවෙන් පිරී ඇත. පොදුවේ හිතෙන්නේ මෙහෙමය, වැඩි වයසේ හෝ වයසට වැඩියෙන් බරක් ඇද්දොත් හෝ තවත් හේතුන් මත ජාතික සම්මානයකට යා හැකි. බ්ලොගක් ලියාගෙන මගේ මතය හා ඔබේ මතය සමග ගනුදෙනුවෙන් පොඩි සන්තෝෂයක් ගත හැකි. නැත්නම් සූකර සැප මුකරි කමට කියා දේශපාලනයෙන් උපයා ගත හැකි. එහෙමත් නැත්නම් මාධ්‍යයෙන් ඕවා විචාරමින් ඇලුත් වැඩසටහනක් කළ හැකි. ඉන් එහාට මේ රටේ (කාළගුණය හැර )හෙට දවස ගැන අනාවැකි එන්නේ ජෝතිෂයෙන්ම පමණි. රටක් හැටියට අප යන්නේ කොහාටද? මේ නෞකාවේ සිටින අප දැන ගතම යුතු දේ එය නොවේද? නමුත් අපි තවමත් පහුකළ මාර්ගයේ ගමන් විස්තර මිස නැව ඇතුළේ විනෝදය මිස ගොඩබහින වරාය ගැන නිශ්චයක් නැත... අපි තවම නැවේ ගැස්සීමට ඔක්කාරය කරන ආධුනිකයන්ගේ තැනය. අපේ මැදි වයසේ දීවත් ඔක්කාරය නැවතී නැව දිශානු ගත කරගන්නට හැකි වේවායි සිතමින් මේ උත්ප්‍රාසජනක මොහොතේ මගේ කුටියට මම නික්මෙන්නම්, මිතුරනි මේ අපේ රටයි.