තමන් කවුද නොදැන කැලෑ සතෙකුව සිට දණගා බඩගා කැලයෙන් එළියට විත් පසුව නොනවතින අරගලයක් කොට දෙමාපියන්ගෙන් දායද ඉල්ලන දරුවන් පරිද්දෙන් ස්වභාව ධර්මයා වෙතින් තම අවැසි කම් උදෙසා නොයෙක් දේ නොයෙක් විලසින් ලබාගෙන අද උජාරුවෙන් මුත් යන මං නොදැන මුළාවෙහි ඇදෙන හුදී අප වර්ගයා වෙත අනුකම්පාවෙනි,
අවසන් දේශනයක් කරන්නට සිදුවන්නේ යන විනාශයෙන් ගැලවෙන්නට වලිකන, දතකන, පමණක් නොව නොනවතින අරගලද කරන ප්‍රඥාවට ආවඩන ජනයා වෙනුවෙනි.
තිරසාර සංවර්ධනයන් තිරසාර භාවිතයන් ගැන කතා කරමින්ම අප යන්නේ ඒ මග ඔස්සේ නම් නොවේ. කතා කරන්නේ, තීරණ ගන්නේ, අවැසි දේ සදහා මුත් එදා සිට කටයුතු සිදුවන්නේ ඒ කතාවට හෝ තීරණයට අනුව නොව, බොහෝ තැන පටු චින්තනයෙන් මෙහෙයවෙන ගිජුකම කරණකොටම වීම නිසා අපේ විනාශය දිනෙන් දිනම වේගවත්වීම නොවැළැක්විය හැකිය. කාළය වර්ෂ ක්‍රමය ඔස්සේ අප ඉදිරියට යන බව පැවසුවත් හුදෙක් අපේ ගමන් මග වැටෙන්නේ මානසික ශක්තිය ඔස්සේ විග්රහ කරන විට කැලෑපාර ඔස්සේ කැලෑවටය.
එදා නූගත් කම හා නොදියුණු බව නිසාම වනචාරියා කළ දේ අද අපි දැනුවත් කමත් උගත් කමත් ඇති මුත් හීන මානසික ශක්තිය නිසාම කරන්නෙමු. එදා වෙදකම් නොමැති කමෙන් මිනිස්සු මිය ගියෝය. අද බෙහෙත් නිසා මිය යන මිනිස්සු සිටිති. වරද වෛද්‍යක්‍රමයේ නොව මානසික ශක්තියෙන් දුර්වල මිනිහා කැමැත්තෙන් රෝගියා වීමය. ඒ කැමැත්තද ඔහු දැනුවත්ව සිදුවන්නක් නොවේ. නොදැනුවත්වම සිදුවන්නකි. අපට නොතේරී කළදක් මොළය ඇත්තන්ට, පසුව තේරෙන ලෙසින් අද වැඩ කටයුතු සිදුවන්නේ ඒ අයුරෙනි.
ආර්ථීකයක්ම මිනිසා පෝෂණය කරන්නේ නැත. එසේ කරන්නේ නම් දියුණුයි කියනා රටවල කිසිදු ප්‍රශ්නයක් මිනිසුන්ට තිබිය හැකිද? මොන මිනුම් වලින් කෙලෙස මැන්නත් අප අසන දකින පෙනෙන දේ ඔස්සේ වටහා ගත හැකි සත්‍ය නම් ඔවුන් බොහොමයකට නිසි මගක් නොමැත යන්නයි.
අද අපි බොහෝ දේ දන්නෙමු. උගත් කම නිසා අපි බොහෝ දේ දන්නා බව මෙන්ම දැන ගැනීමේ උනන්දුවෙන්ද පෙළෙන්නෙමු. නමුත් මේ දැනීම හුදෙක් හිස් සහ පුස් දෙයක් බවට පත්වන්නේ යතාර්ථය නොදන්නා විටය. නොවටහා ගත් විටය. සකල විධ දැනුම ඔස්සේ පැමිනෙන්නට වන්නේ එකම යථාර්තයටය. සත්‍ය නම් එයයි.
අප දැනුමෙන් ගැටී බලන්නේ මේ සත්‍ය අපට අවැසි ආකාරයෙන් ගලපා ගන්නටය, ගලපා ලන්නටය. නමුත් සත්‍ය ගැලපිය හැක්කේ සත්‍ය මත පමනය. "මම" මා පවතිනවාට කැමතිය. නමුත් යථාර්තයේ මා කියා කෙනෙක් නැත්නම්, සත්‍ය එයයි. දැනුමෙන් පතුරු ගසා ගෙන ගොස් මේ බැව් තේරුම් ගත්තත් ඊලඟ මොහොතේ අපට ඇතිවන බඩගින්නේ දී මම මගේ බඩ පුරවා ගැනීමට කෑම කන්නෙමි. අප සම්බන්ධ යථාර්තය එයයි. එබැවින් දැන ගැනීමට ඔබ්බෙන් අවබෝධය පිණිස වෙහෙස විය යුත්තේ සතුට එතැන රැදෙන බැවිනි. මේ "සතුට" යන්නේ අර්ථය සුවයයි. ඇති දේ ඇති හැටියට දැකීමෙන් කණගාටු නොවී ඉදීමට ලැබෙන අවකාශයයි.
අපි භෞතික සම්පත් භාවිත කරන්නෙමු. එවිට පරිසරයේ සම්පත් ක්‍රමයෙන් හිඟවන්නට වන්නේ අපේ පාරිභෝජන වේගය අධික නිසාමය. ඊට පිළියම කුමක්ද? තිරසාර ලෙස සම්පත් භාවිතයයි. එනම් සම්පත් භාවිත කරන අතරම සම්පත් බිහිවන හා රැකෙන පරිදි කටයුතු කිරීම මෙහි සරල අර්ථයයි. අපි මේවා ගැන කතා කරන මුත් ක්රියාවේ නොයෙදෙන බැවින් සම්පත් හිඟකම දිනෙන් දින උග්‍ර අර්බුධයක් වෙයි.
අපි අපේ මානව සම්පත විවිධ කටයුතු උදෙසා භාවිත කරන්නෙමු. මානවයාගේ මානසික සම්පත මෙහිදී කොතරම් වැදගත්ද? ඒ මානසික ශක්තිය යහපත් කටයුතු කරන කලදී තව තවත් දියුණු වන්නේ, නිසි ව්‍යායාම ලැබෙන විට භෞතික ශරීරය දියුණු හා ශක්ති සම්පන්න වන අයුරිනි. එනම් මනසට හිතවාදී දේ කරන විට මනස දියුණු වනවා යන සරල අදහසයි. එමෙන්ම අයහපත් කටයුතුවලට යොදන කල අනිසි ශාරීරික ක්‍රියා(පැවතුම්) හේතුවෙන් සිරුරට හානි පීඩාවන් සිදුවන්නේ කවර ලෙසින්ද මනසටත් එබදුමය. එනම් මනස දුර්වල වීමටත් මානසික ආබාධ ඇතිවීමටත් එය හේතුවේ. මේ දෙතැන්හිදීම පිළියම් වශයෙන් "පෙති" අද නිපදවා ඇත. පෙත්තට ඇබ්බැහිය සැබෑ සුවයට මගක්ද? ලෝකයේ බොහෝ වශයෙන් අසන්නට ලැබෙනවා සේම මෙහිද අද පෙත්තට කැමැත්තෙන් ඇබ්බැහි වන්නන් බොහොමයක් බව අසන්නට ලැබේ. එය ඉදිරිය වෙනුවෙන් සුබදායීද?
ඔබ සරල නම් ඔබේ අවශ්‍යතා සීමිත නම් ඔබට පහසු දිවි පැවැත්මක් හා සුව පහසු ඉදිරියක් දෙස බැලිය නොහැකිද? නොහැක. අපිට වාණිජ ලෝකයේ ගත නොයුත්තක් නැත. එතරමට අපි වහල්ලුය. අමාරු දේ කිරීමට වඩා ලේසි දේ කර බකං නිලා සිටීම ජනප්‍රිය දේශනයයි. නැව ගිලුනත් බෑං චූන් කියන්නේ එහෙයින්මය.
මුහුද හත් ගව්වක් තියා අමුඩ ගසන්නට ඕනෑ සුනාමි නිතර එන බව දන්නවා නම්ය. නැත්නම් සුනාමි ආවත් බෑං චූන් කියා මැරෙන්නටත් නූතන මානවයා ගේ මනස සූදානම්ය. හේතුව, නිසි මගක් නැති හිස් කමයි. වරද අපේ සුපිරි ලෝකයේ අපි රජවරුන් වන්නට සිහින මවනවා මිස සැබෑ ලෝකයේ අපට හිමි තැන වටහා නොගන්නාකමයි.
නමුත් සිහිය තිබෙනවා නම් එබදු නොවැටහීමකින් අප ගැලවෙනු ඇත. සැබෑ සිහිය සැබවින්ම අපට දැන් තිබෙන්නා වූ සිහිය වැනි මොට්ට පිහියක් නොව, හිතා ගන්නට බැරි තරම් තියුණු එකකි. තියුණු කළ හැකි එකකි. පළමුව හොද දෙයක් හිතා හිත මුවත් තබන්නට පටන් ගත යුතුය. මනසේ මළ යන්නේ එවිටය. මනසේ මළ ගිය කළ සිහිය ඇතිවනු ඇත. ඇතිවූ සිහිය තියුණු කළ යුත්තේ නූතන ලෝකයේ තිබෙන්නා වූ අමුතු "වැල යන අතට මැස්ස" ප්‍රතිපදාවෙන් නොවේ. සුදුසු ලෙස "වැල හා මැස්ස" ගලපන මුත් පැහැදිලි ස්ථිර ප්රතිපදාවකිනි. එවිට "මගේ ලෝකයේ සිටින සිහිනැති රජුන්" කනෙන් ඇද දොට්ට දැමීමට හැකියාවක් ඔබට ලැබෙනු ඇත. නමුත් එය හුදු විජ්ජා පෙන්වා මුදල් ගැරීමේ මානසිකත්වයෙන් ගැලවිජ්ජාවක් කොට ගන්නට ගියහොත් නම් සිහිනැති වීරයින් වෙනුවට සිහිවිකල් වීරයින් ඔබේ සුපිරි ලෝකයේ පිනුම් ගසනු ඇත.
එබැවින් මගේ ලෝකයේ රජ විය යුත්තේ "මා" නම් ඒ'ද නිවැරදි ක්‍රමයෙන් රජ වීමක් මිස මොක කළත්, මොක වුනත්, මං රජයි කියා හිතා ගන්නා ඒකාධිපතිත්වයෙන් නම් නොවිය යුතුය. "මගේ සුපිරි ලොවේ සිහියක් නැති වීරයෙක් වීම" සකළ ලෝ වාසීන්ටත් පළමුව තමන් සමඟ වාසීන්ටත් පීඩාවක් මිස කළදක හෝ හොදක් නම් සිදු නොවේ. අකමැත්තෙන් වුව අප දැක්කෙන්නේ එදෙසටයි. ඒ අධිවේගී ගමනේ තමන්ගේ සත්‍ය මාර්ගය හොයා මරණ බයෙන් තොරව ගමන් රියෙන් බිමට පනින්නට හැකිනම් අඩුතරමේ අඬු කඩා ගෙන හෝ ඔබ සුවපත් වනු ඇත. නැත්නම් ඒකාන්තවම දිය සැළිය රත්වූ පසු කකුළුවාට අත්වන ඉරණම ඔබටත් ඒකාන්තය.
No comments:
Post a Comment