සුන්දර අතීතය(පාඩම්)
පොත පතේ කියවෙන හැටියටත් වියතුන් කියන හැටියටත් නම් ඕනෑම මිනිස් සමාජයක පරම්පරා අතරේදී සුන්දර අතීතකාමයකින් කතා කිරීමක් තිබෙනවාලු. වර්තමානයට හා අනාගත පරම්පරා වෙත දොස් පැවරීමක් සිදු කෙරෙනවාලු.
අපි තවම වයසක උදවිය නෙවෙයිනේ, නවසිය අග ගණන් වල අය. ඒ නිසා මෙතන පරම්පරා ප්‍රශ්න නෑ. හැබැයි තාක්ෂනයත් එක්ක ලෝකය මුහුවෙලා. වෙනස්වන වේගය වැඩිවෙලා. ඒක නිසා ඊයෙත් අදත් අතර සිදුවුන වෙනසකම් වගේම තත්පර දෙකක් අතරේ වෙන්න පුළුවන් වෙනසකම් ප්‍රමාණෙත් ගොඩක්ම වැඩි බව දැනෙනවා.
කියන්න යන්නෙ ඒ ගැන නෙවෙයි, ඒ නිසා පසෙක දමමු ඒ කතා, මේ කියන්නේ සුන්දර අතීතයක් ගැන. හැබැයි ඒ කතාව අතීතයෙන් එන එකක් වීම මගේ වරදක් නම් නොවෙයි.
සියලු සිදුවීම් පැයෙන් පැය වර්තාවෙන, තොරතුරු වලින් පිරුණු ලොවක් මෙහේ මීට අවුරුදු විස්සකට පෙර තිබුණේ නැහැ. මම හිටියෙ අපූරු ගමක ඒ කාලෙ. වයස අවුරුදු දහයක් නැති තරම් මට. අපේ අවට හිටිය තරුණ, ළමා රෑනක්. ඒ මේ කොයි කවුරුත් අපි යාළුවෝ. සෙල්ලම් කරන්න ගියාම ආපහු ගෙදර එන්නෙ නැති තරමට වත්තෙ පිටියෙ, කුඹුරු කපපු කාලෙට කුඹුරෙ. එහෙදි තමයි මම බොහොම පරණ සෙල්ලම් වගේම හිතේ හැටියට සෙල්ලම් කරන්න පුරුදු වුනේ.
අවුරුදු කාලෙට ගමේ අවුරුදු උත්සවේ කළේ තරුණ අය එකතු වෙලා. ළමා අපි එකතුවෙලා කරපු පොඩි පොඩි අපේම උත්සවත් නොතිබුනා නොවේ. ඒව කළේ සැබෑම සතුටෙන් මිස බලෙන් සතුටක් හදාගන්න නොවෙයි. සරුංගලේ වගේම උණබට තුවක්කුව හදන්නත් මම පුරුදු වුනේ එහෙදි. අපිට හදාගන්න බැරි තැනදි ඒවට උදව් වුන පොඩි ලොකු අයියල රෑනක් අපට හිටිය. තරගෙට ගමින් ගම තරඟ තිබ්බෙ ඔට්ටුවටම නෙමෙයි. දාම් අදින්න විතරක් නෙවෙයි, අපි නොදැන හිටිය ගුඩු චක්ගුඩු අපි කලේ කොහොමද, ඒ වගේ සමහර අය කජුත් ගැහුවා. ඔළිද පුවරු හදාගෙන ඒවයින් සෙල්ලම් කළේ ඇත්තෙන්ම හරිම නිදහසකින්. කොහොම වුනත් එහේ ස්ථිර පදිංචි කරුවෙක් නොවුන මම අපේ ගෙදර අයත් එක්ක එහෙන් ආවෙ මට වයස එකොළහක් දොළහක් වෙද්දි. එන්න කැමැත්තක් නොතිබුනත් එහෙන් එන්න වුනා. කාලය ගත වුනා අවුරුදු ගණනකින්. අවුරුදු පහළොවක් දහඅටක් විතර කාලය ගතවෙලා. දැන් ඒ ගම එතැන නෑ. නම පමණයි.
අතීතය පාඩමක් කියල හිතෙන්නෙ අපි ගොඩනැංවීම ඒ මත සිදුවන නිසා. ඒ පාඩම ගමක් වෙන්නත් නගරයක් වෙන්නත් නැත්නම් වෙන රටක් හරි තැනක් හරි වෙන්නත් පුළුවන්. ඒ කොහොම වුනත් ඒ අපේ ගතවුනු ජීවිතයේ කොටසක්. අපේ මතකයේ කොටසක්. ඒක සුන්දර එකක් නම් ඉගෙනගත්ත පාඩමුත් බොහොම සුන්දර වෙන්න පුළුවන්. එහෙම වුනාම අතීතය ගැන මතක් කරල සතුටු වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඒ අත්දැකීම් වලින් ගොඩක් වැඩ ගන්නත් පුළුවන්.
ඒත් හැම දෙනාගෙම අතීත මතක සුන්දර වෙන්නෙත් නෑ, ඒත් ඒ අතීත මතක ඇතුළෙ රස්තියාදුවක් ගහල ඒක ශුද්ධ කරන්න ගත්තොත් වැරදුනු තැන් හදාගන්නත් පාඩම් ගොඩක් ඒ මතකයේ නැතිවෙන්න නම් බෑ, නේද? මං හිතන්නෙ නම් හැම දෙනාටම හොදින්ම ඉගෙන ගන්න පුළුවන් තමන්ගෙන්මයි.
No comments:
Post a Comment