Tuesday, February 19, 2013
Monday, February 18, 2013
අඩුපාඩු අඩු සඵලත්වයක්
ජීවිතේ සඵලත්වය හොයන ඔබත් මමත් කල්පනා කළාද අඩුපාඩු ගැන කවදාවත්. මට හිතුනා දවසක් මේ අඩුපාඩු ගැන අපි නොහිතන්නෙම හිතන්න වෙලාවක් නැති නිසාද කියලත්. අනික හැම දෙයක්ම වෙළදපොළෙන් ගන්න පුරුදුවෙලා ඉන්න අපි, ලෙඩක් හැදුනම බේත් ගන්නවා වගේ අඩුපාඩු හැටියට දකින්නෙත් ගෙදර කන බොන දේ අඩුවෙන එක විතරයි. ගෙට අවශ්‍ය බඩු මුට්ටු ගැන විතරයි. හැබැයි ඔය මොන දේ තිබුනත් ජීවිතය සඵලත්වයකට ලඟා වුනා කියල කියන්න පුළුවන්ද? එහෙම පුළුවන්නම් හොදයි. නමුත් එහෙම කියන්න බැරි වෙන්නෙ ප්‍රශ්නයක් ඉවරවෙන කොට තවත් ප්‍රශ්නයක් පටන් ගන්න නිසා. ඒත් ප්‍රශ්න නවත්තන්න බැරි වුනත් ප්‍රශ්න වලට මුහුණදෙන අපේ හිතේ අඩුපාඩු, හෙලවීම්, විචිකිඡචා අඩු කරගන්න පුළුවන්වෙනව නම්... එතකොට ලොකු ශක්තියක් අපි ලඟ එකතුවෙන්නෙ නැතිද? ඒ ඔස්සේ ලොකු වට එන ප්‍රශ්න අපිට කුඩාවට පෙනෙන්න ගන්නෙ නැතිද?
නමුත් පළමුවෙනි දෙය, අපි අපේ අඩුපාඩු දුර්වලතා හදුනා ගැනීමයි. අපේ සාමාන්‍ය භාවිතාවේ අපි දන්නෙ සම්පූර්ණ පුද්ගලයින් මෙලොවට බිහිවුනේ නැති සේම සඵලත්වයේ හිනිපෙත්තටම ගිය පුද්ගලයින් අතේ ඇඟිලි ගණනටත් අඩුවෙන්. අකාලික දහමක සදාතනික භාවය ගැන ඒ ගැන අහල තියෙන අයට මේ සඵලත්වයක් එක්කම මතක් වෙන්නත් පුළුවන්. කොහොම නමුත් හිනි පෙත්ත පසෙක තියා සාර්ථකත්වයේ යම් දුරකට යන්නට නම් ඊට සාපේක්ෂව අපේ අඩුපාඩු අවම විය යුතුමයි. ඒකෙ අර්ථය අඩුපාඩු අඩු වෙනව කියන්නෙ සඵලත්වය තුළත් අඩුපාඩු අවමයි කියන එක.
ආයෙත් පළවෙනි දේ, සියල්ලටම කලින් නිවැරදිවම අඩුපාඩු හදුනා ගන්න වෙනව තම තමන්ගෙ. ඉතින් ශුද්ධ කරගන්න ඕන ජීවිත රස්තියාදුව ඒ නිසාමයි පුළුවන් හැම වෙලාවකම. රස්තියාදුවක් ගැහැවත් ශුද්ධ හිතකින් නම් වරදක් වෙන එකක් නෑ එතකොට. මොකද රස්තියාදුව අවසානෙ ඔබේ අඩුපාඩු ඔබම හිතාවි.
හැබැයි, මේ සියලු අඩුපාඩු ඔබ සඵලත්වය පතන ඉසව්වේ. ඒ නිසා ජීවිතයේ හැම දෙයකම සඵලත්වය හිතන්න, එතකොට හැම අඩුපාඩුවක්ම ඔබට අහුවේවි. අඩු කරගන්න අඩුපාඩු. සඵලත්වය ඔබ ලඟටම ඒවි. මේ සියල්ල නිවැරදි උත්සාහයේ තරමටයි.
එහෙනම් නිවැරදිව උත්සාහ කිරීම ඔබේත් මගේත් කාරණයක්. වැරදි පාරේ නැතිව, මේ පාරෙන් එන්න කීවාට හරි පාර නොවේනම් ඒ පාරේ යන්නැතිව නිවැරදි පාරේ යාම ලේසි දෙයක් නම් නෙවෙයි. නමුත් සඵලත්වය එතැනයි.
Monday, February 4, 2013
නිදහස හා පරිණතිය
කාගෙන් නිදහස් වූවාද කෙසේ නිදහස් වූවාද යන්න හැම නිදහස් දිනකම සිහිපත් කෙරෙන්නකි. කාගෙන් කෙසේ නිදහස් වූවාද යන්න දැන ගත් සේම හිස් අදහස් වලින්ද නිදහස් විය යුතු බව දැන නොගත්තේ නම් මේ නිදහස සැමදා එකසේ නොවනු ඇත.
ඉංග්‍රීසි ජාතිකයාගෙන් අප නිදහස් වූවා, ත්රස්තවාදියාගෙන් අප නිදහස් වූවා කියා අප සිතනවානම් ඊළඟ කරුණ ඒ නිදහස රැක ගන්නේ කෙසේද යන්න කිසියම් වාද වලට ගැති නොවූ අදහස් තුළ වටහා ගැනීමයි. රටේ මිනිසුන් හැටියට අපට තනි තනිව ඇති වගකීමත් ඒ හා බැදෙන සාමුහික වගකීම කුමක්ද යන්නත් අප වටහා ගැනීමයි.
නිදහස භුක්ති විදින්නට ලැබෙන විට ඇතිවන චිත්තප්‍රීතිය නිසාම දොඩවන්නා වූ පුරසාරම් වල සීමාවක් තබා ගැනීම වැදගත්ය. කුඩා දරුවෙකු තමා කුඩා කල භුක්ති විදි නිදහස පරිණත වැඩිහිටියෙක් සේ භුක්ති විදින්නේ කෙසේද, එසේම අප නිදහසේත් පරිණතියක් තිබිය යුතුය. මේ සියල්ල කළ හැක්කේ කතාවෙන් නොව ක්‍රියාවෙනි.
ක්‍රියාවක් ඇරඹෙන්නේ චිත්තයකිනි. එබැවින් නිදහස්, සාධාරණ, යහපත් ක්‍රියාකාරී සමාජයක් වෙත යන්නට නම් අප පළමුව ඇති කළ යුත්තේ ඒ පිළිබද යහපත් චින්තනයක් නොවේද?
විශේෂයෙන් බාල පරම්පරාව වෙත යහපත් සිතිවිලි සදහා ආදර්ශ සැපයිය යුත්තේ කව්ද? එබදු ආදර්ශ තබා තමන්ගේ ක්‍රියාවෙන් බාලයා යමක් උගනිතියි සිතන වැඩිහිටි පිරිස කොපමණ වේද? තමන්ගේ නිදහස ගැන සිතනවා විනා දරුවෙකුට ආදර්ශයක් පිණිස ක්‍රියා කරන්නට සිතන්නේ කුමන වැඩිහිටියාද? වැඩිහිටියා නොහිතන ඒ කරුණ කෙදිනක හෝ පුද්ගලිකවත් සාමුහිකවත් ඔහුට විදවන්නට සිදුවේවි.
ඒ නිසා හිතන්න නිදහසේ පරිණතියක් ගැන. ඔබේ දෙස බලා හිදින ඊලඟ පරම්පරාවේ බාලයා දෙස, ඔහු අනුගමනය කරන්නේ ඔබව නම්.. ඔබ අනුගමනය කරන්නේ කව්ද? කුමන ප්‍රතිපදාවක්ද? නිදහසේ පරිණතිය ඒ ඔස්සේය.
Subscribe to:
Posts (Atom)