ධර්මය දකින්නා තමා දකින්නේ යැයි කියූ බුදුරඳුන් දෙස විවිධ කෝණයෙන් බැලූවෝ එදත් අදත් බොහෝ වෙති. දිග් ගුටියක් උගත් පමණින් තම සටන් ගුරුවරයාද අභිබැවිය හැකියැයි සිතන මාන්නාධිකයින් හිඳින ලෝකයක අප කලබල විය යුත්තේ පොතක පතක ලියූවක් පිළිබඳව නොවේ. පොත පතක ලියූ පමණින් කිසිවෙකු ඒ ඉස්මුදුනින් පිළිගන්නේ නැතිවා මෙන්ම කාල්පනික සංකල්පීය ලෝකය හැමවිටම යථාර්ථය පිළිබිඹු කරන්නේද නැත. සමාජයේ දෑසට හසුවන, නීතියට, සාමයට, යුක්තියට එදිරි දින දසුන් කොපමණද? ජීවිත පරිඥානය තබා කහ ඉරේ දිවි බේරා ගැනීමට කළයුතු සටන නොතරම්ය. දේශපාලුවන්, රාජ්‍ය ආයතන අපව රස්තියාදු කරන තරම්.. රටේ කාර්යක්ෂමතාව බලු නොවටිද්දී අකාලයේ ජීවිත විනාශයට පමුණුවන ත්රස්තවාදයන් ක්‍රියාකාරිත්වයෙන් එළි දකිද්දී අපි රෙද්දේ තුත්තිරි සොයමු. ඊතලයක් වැදී තුවාලවූවෙකුට පළමුව කළ යුත්තේ ප්රතිකාර යයි බුදුන් වදාළ කරුණු කාරණා තුළින්ම අපට සිහිපත් වේ. අප දැන් කරන්නට යන්නේ ප්රමුඛ ගැටළු තබා සියලු දුනු ඊතල තහනම් කරන්නට යාමකි.
රටේ භෞතික වශයෙන් උගුල්ලා දැමිය යුතු මහා කටු පඳුරු රාශියක් අහස උසට වැඩෙමින් තිබියදී ඒ අතරින් මතුවන තුත්තිරි අල්ලා ගැනීම රටේ හැමදාම සිදුවූවකි. බණ පදේ යොදාගත හැකි දහසකුත් ඵල ගසේ තිබියදී ඒවා නෙළා නොගෙන ගසට ගලකින් ගැසූවෙකු උලතබා මරණයට කැපකළ යුතුද? ඔය ඵල මුක්තියකට නොයා සාධාරණ ලෙසින් භුක්තියට ඉඩ ලැබුණේ නම් සමහරවිට කිසිවෙකු ගසට ගල් ගසන්නේද නැත. ධර්මය පහුරක් කොට ගන්නට කරුණු කාරණා පිරිසිඳ සමථයෙන් මග සෙවූ මහා පන්ථක සිටියදී කුඩා පන්ථක ඝන අඳුරේ අකුණු සැරකින් වුව දැකිය යුතුදේ දකින පරිදි විදර්ශනීය මනසෙන් යමක් ග්‍රහණය කළේද අවබෝධයට මග කියන බුදු දහමේ ඒ හැම ද්වාරයක්ම විවෘතය. එව බලව කියුවේ එහෙයිනි. එබැවින් ජාතකයන් ඔස්සේ මිනිසා විග්‍රහ කිරීමට යාමේ අර්ථයක් නැත. වැදගත් වන්නේ කළ කියු දෑය. කුලය උත්පත්තියෙන් තීරණය වුවද සැබෑවටම මිනිසා වසලයෙක්ද නැතිද යන්න පැහැදිලි වන්නේ ක්‍රියා වෙනි. නූතන ලංකාවේ එනයින් බමුණු කුලක සොයන්නට යෑමද විහිළුවකි. ඉතිං රටේ ආදම් නොහොත් ආදි පියවරුන්ගේ සිට ගත්විට රටේ ජාතකයම මදිපුංචිකම් තුළ එද්දී පුරුෂ ශක්තිය ඇත්තෝ මහා පුරුෂයන්ගේ තබා අල්ලපුගෙදර අයගේ පුරුෂ ශක්තිය හොයන්නට යා යුතු නැත. ඒ පුරුෂ ශක්තිය, වඳභාවය හෝ මඳ සරු භාවය සැබවින්ම අපේ රටේ මන්දබුද්ධික භාවයේ ප්‍රශ්නයකි.
බුදු දහම වාසිය පිණිස උඩ දමන්නට කාසියක් කරගන්නට ආණ්ඩු උත්සාහ නො දැරිය යුතුය. සතට දහමින් අත්හැරීම ඔස්සේ නිවනට මග කියද්දී ඒ තාක් සියල්ල බදා අල්ලා ගෙන ඉන්නා දෙකෝටියක ට අධික මිනිසුන්ට දහසකුත් ප්රශ්න තිබේ. ඒවායින් බොහොමයටගම වගකිවයුතු ආණ්ඩු ඒ උදෙසා දාර්ශනික වන්නට උවමනා නැත. තමන් විසින් කළයුතු රාජ්‍යකාරිය සඳහා තාර්කික වීම ප්‍රමාණවත්ය. අප විසින් විප්ලවයක් කළ යුත්තේ ඒ රාජ්‍යයේ කාර්ය නොකර අයාලයේ පාදඩ කර්මයේ යෙදෙන මේ රාජ්‍ය මෙල්ල කරගනු පිණිසමය.