එදා මෙදා මිනිස් ඝාතන සංස්කෘතියක් මේ ධර්මද්වීපයේ වීද ඊට වඩා මිනී කාක්කන්ගේ සංස්කෘතිය අද වඩා සාමාන්‍යකරණය වී ඇත. දේශපාලනික අර්බුධ, සමාජ අර්බුධ ඊටත් මෙහා පුද්ගලික අර්බුධ මත සිදු වන ඝාතන ආදී වශයෙන් පවා මරණ විකුණමින් යැපෙන මිනීකාක සංස්කෘතිය අද හරි සරලය.
මිනිස් ජීවිතයක වටිනාකම මෙපමණට හෑල්ලු වූ මාර සංස්කෘතියක් මේ ධර්මද්වීපය තුළ වැඩුනේ කාගේ කාගේ වරදින්ද?
මහජන විරෝධතාවයකට ගිනි තබා දේශපාලන වෛරයන් අවුලුවා අනිසි භීෂණයක් නිර්මාණයට මුල පුරා තමන් විසින්ම කැපූ වලේ ඇද වැටුණු සහෝදර මිනිසෙකුගේ මාංශය කිඹුල් කඳුළු සමඟින් අදටත් අනුභවයේ යෙදෙනුයේ නම් ඒ නියම මජර දේශපාලන කපුටන් ය.
මෙයින් ගැලවෙන්නට දරණ යම් උත්සාහයක, අරගලයක දිශාව පවා නැවත සිය සුපුරුදු මජර දේශපාලනය වෙත යොමු කරවා ගන්නට තරම් ඔඋන් දුෂ්ඨත්වයෙන් හා මුග්ධත්වයෙන් සවිමත් නම් අද රටට වින කරන සැබෑ ත්‍රස්තවාදය කුමක්ද, එය පවතින්නේ කොතැන ද, කවරාකාරයෙන්ද යන්න වඩා පැහැදිලිය.
රාජ්‍ය කරවන උන් විසින් නැවත නැවතත් සකසන පෙර මංපෙත් තුළ යළි යළිත් පෙනෙනුයේ මෙරට ජන සමාජය ගිල ගත් මජර දේශපාලනය මුල් කොට ගත් නරුම සංස්කෘතිය ඔසවාලන විනාශකාරී ගමන හා එහි තරම නොවේද?
රටෙහි විනාශය උදාවී ඇත්තේ ආර්ථිකයක පමණක් නොවේ. සියළු සමාජ සංස්කෘතික අධ්‍යාපනික පද්ධතීන්ම දෙදරා නාය යමින් පවතී.
තවමත් සිය මජර බවට එරෙහි අරගලයේ පිළිබිඹුවට බුරන, නන් දොඩවන මුග්ධ දේශපාලක ප්‍රතිරූපධාරියෝ මීලඟ බල දඩයම පිළිබඳ සිහින මවමින් සිටිති. බල ගේමට පාර කපති, තාර දමති.
ආත්මාර්ථී දේශපාලන මජරත්වයෙන් අත් දුටු විනාශයේ මීළඟ අදියර අත් විඳින්නට සිදුවන්නේ ආත්මාර්ථී පුරවැසි මජරත්වය මතයි.
රට ගලවා ගැනීම සබුද්ධික පමණක් නොව එකමුතු, සවිමත්, සක්‍රීය ක්‍රියාවලියක් විය යුතු වන්නේ එබැවින්ය. වාද බේද විරහිතව පළමුව මේ මජර සංස්කෘතිය මෙරටින් තුරන් කළ යුතු ය. එසේ නොකොට කිසියම් සරු බීජයක් මේ නිසරු පසෙහි ඵල දරන්නට යළි ඉඩක් ඇත්තේම නැත. තවදුරටත් සරු බීජ පවා බිහි නොවනු ඇත! හිස් කාන්තාරයක මිරිඟුවක් පසු පස ලුහුබඳින්නන් බවට අප පත් වනු ඇත.