මිනිස් ශ්‍රමය ශක්තිය රාජ්‍ය ලේබලය යටතේ රස්තියාදු කෙරෙයි. රස්තියාදුව නීති විරෝධයක් ලෙස අර්ථ දක්වා මිනිසුන් සිරගත කෙරෙයි. අතකොලු රාජකාරී මුහුණෙන් අනාථව රහසේ සුසුම් හෙලති. දෛවය නොව ඒ ක්‍රමයේ සරදමකි. ඒ ක්‍රමයේ පිළිතුරු සියයට වැඩි ප්‍රතිශතයකින් සාධාරණ විය හැකි නොවේ. එය රටේ බොහෝ සාමාන්‍ය මිනිසුන්ගේ අද්දැකීමකි.
ඒ බඳු අසාධාරණ පිළිතුරු හැදූ චින්තනයන් නිසාම විනාශයේ මගට ඇද දමාගත් රටක ඒ මාන්නක්කාර උද්දච්ඡ පැළැන්තිය උනුන් අතරේ සූදුවකට තවමත් රට ඔට්ටු තබති. එය ඉවසිය යුතු කවර නම් පිරිසක් ද? නොඑසේ නම් එවැනි දෑ තවදුරටත් ඉවසන්නේ රටේ කවර නම් පිරිසක් ද? ඊට සාධාරණ පිළිතුරු මොනවාද?
තනි මහලේ ගෙයට දැමූ අත්තිවාරමක් මත දෙමහල් තෙමහල් බරටත් එහා ගිය සිවු මහල් ගොඩනැගිලි තනන්නට ගොස් තිබු තනි මහලේ නිවෙස පමණක් නොව අත්තිවාරමත් අහිමි කරගත් රාජ්‍යය යක් දැන් අත්තිවාරම් නැතිවම ගෙවල් හදන්නට යන්නේ හිතේ තිබෙන පරණ අත්තිවාරම මතකයට අරගෙන ය.
ප්‍රශ්නය මුලටම විග්‍රහ නොකර අපි අපවම නොහොත් රාජ්‍ය රාජ්‍ය රවටා ගැනීමෙන් වන්නේ ඉතා නුදුරු දිනක විනාශ වූ අත්තිවාරම පිහිටි මහපොළවත් අපට අහිමි වී යාම පමණකි.
මේ රටේ සාමාන්‍ය මිනිසෙක් හැටියට කල්පනා නොකොට යාන්ත්‍රික ලෙස දත්ත විශ්ලේෂණයකින් පමණක් මහජනතාවකගේ හෝ රටක හද ගැස්ම විශ්ලේෂණය කර ගැනීම අපහසුය. මහජනතාවගේ සද්භාවික සහාය දිනා ගැනීමකින් තොරව රටක් රාජ්‍යයක් කෙසේ නම් ස්ථාවර වේවි ද?
ස්වභාවික සම්පතින් අනූන රටක වුව එක් පිරිසිදු දිය බිඳක වටිනාකම රාජ්‍යයක් ලෙස අපි තවමත් නොතකන්නෙමු. මිනිසුන් හැර වනාන්තර සතා සීපාවා ගැන අපි කතා නොකර ඉමු. මන්ද ජලය පිළිබඳ ආකල්පය රාජ්‍යයේ දැක්ම තේරුම් ගැනීමට හොඳටම ප්‍රමාණවත් වන හෙයින්ය.
යුක්තිය, ඉදිරිය උදෙසා අන් කවරදාටත් වඩා සාධාරණය, සාමුහිකත්වය අවැසි අද වන් අවදියක පුද්ගල පාපෝච්ඡාරණ තරමටත් අවංක නැති ඉහළ සංගීත පුටු තරඟ බඳු හුදු ආත්ම භාෂණ පොලිටිකල් ~ නොඑසේ නම් මෙලෝ රහක් නැති කලටිපොල් වලින් තවදුරටත් රටට කවර නම් ඵලක් වේද?