මෙගොඩ සිට එගොඩට යාමේදී වැදගත් වන්නේ දෙගොඩ අතර අතරමැදි ප්‍රමාණයයි. ගංගාවේ පළල, වගේම දිය ගැඹුරුද යන්නත් කිඹුලන් සැරිසරන්නේද යන්නත් වැදගත්. මේ තොරතුරු හරි හැටි නිරවුල් නම් යන්නේ පහුරෙන්ද පීනා එගොඩ වෙනවාද යන මූලික සරල තීරණයට එළැඹිය හැකිය.
අපි එගොඩ වෙන්නට විධි සොයමින් සිටින්නෙමු. දියුණුව, සංවර්ධනය ඇත්තේ එගොඩයි. තවමත් අපි මෙගොඩයි. හැබැයි ඔය දියුණුව සංවර්ධනය අපේක්ෂා කරන්නේ ආර්ථිකමය අංශයෙන්ම පමණක් නොවේ. මනුසත් කමද දියුණුව සංවර්ධනය කරා යා යුතුය. ඉදින් එහෙව් දියුණුවක් සංවර්ධනයක් නැමැති එගොඩක් කරා යාමේදී සමහරු ධනවාදී පහුරක් ගැන කියති. සමහරු සමාජවාදී පහුරක් ගැන කියති. ගගේ කිඹුල්ලු නැති නම් පීනා හෝ එගොඩ විය යුතුයි සිතනා අපට නම් ඔය ධනවාදී හෝ සමාජවාදී පහුර මත්තේ නැහෙන්නට ඕනෑ නැත. පුළුවන් නම් දෙකම කඩා හෝ වඩා හොද පහුරක්, ලොකු පහුරක් හදා ගෙන වැඩි දෙනා එගොඩට යාම තැනට සුදුසු නුවණයි. ඵලදායී නුවණයි.
ආර්ථිකයම පතා ගොහින් විහින් නැහෙනවාද? සමානාත්මතාවම පතා ගොහින් නාස්ලනුවක් දමා ගන්නවාද? යන පැනවලදී නුවණැති පිළිතුර නම් ආර්ථිකය පමණටත් සමානාත්මතාව පමණටත් ගෙන යන ගමනට පෙරමුණ දීමයි. ආර්ථිකය මත සියලු දේ තීරණය නොවන්නා සේම සමානාත්මතාව උදෙසා ක්‍රියා කළ හැකි වුවත් කප්පාදුවෙන් හෝ වාත්තුවෙන් සර්ව සම්පූර්ණ සමානාත්මතාවක් රදාපැවැත්විය හැක්කේද නැත. එබැවින් වඩා වැදගත් වන්නේ කළ හැකි දේ හා කළ යුතු දේ කිරීම විනා අන්තගාමී වීම නොවේ. පහුර කරතබා ගෙන, අප එගොඩ වීමට වඩා පහුර එගොඩ කරවීමට තැත් දැරීම මෝඩ කමකි. එමෙන්ම අනෙකාගේ කකුලින් ඇද හෝ අනෙකාගේ ඇග මතින් හෝ තමා පමණක් එතෙර වුව හොත් සෑහේ යැයි සිතීම දුෂ්ට කමකි. එබැවින් අනෙකාටද සාධාරණ ඉඩක් තබා අප ගං තොටේ රැදිය යුතුය. පහුරකින් හෝ පිහිනා හෝ එගොඩ විය යුත්තේද අනෙකාගේ ඉඩ අහුරමින් නොවේ. මේ ගංගා තරණය තරගකාරී කරගත යුතුද නොවේ. මන්ද වඩා වැදගත් වන්නේ ගගින් සෑම දෙනාටම නිරුපද්‍රිතව එතෙර වීමට හැකි වීම මිස පළමුවෙනියා දෙවැනියා තේරීම නොවන හෙයිනි. නුවණක්කාරී බව යනුද එයමයි.
එබැවින් පහුරු කර තබා ගෙන යනවාට වඩා ගංගා තරණය ගැන වෙහෙසීම මැනවි. තමාගේ ශක්තියෙන් අවස්ථානුකූලව කළ යුතුදේ තමාම තීරණය කිරීම මැනවි. එහිදී ආර්ථිකය මෙන්ම සමානාත්මතාවද සැළකීම මැනවි.
ලොව ඉදිරියට යන්නේ තරගකාරිත්වය මතම නොවේ. තරගකාරිත්වය අත්කරදෙන්නේ දියුණුවක්ම ද නොවේ. ලොව නිවැරදි දියුණුව කරා යොමුවන්නේ පුද්ගලයා වශයෙන් එකිනෙකා තමා කළ යුත්ත කිරීමෙනි. කළ හැකිදේ කිරීමෙනි. නිවැරදිව කිරීමෙනි. එබැවින් වඩාත්ම සැළකිලිමත් විය යුත්තේ කළ යුතුදේ හා නොයුතු දේ හදුනා ගැනීමටයි. එහිදී වාද භේද හිසින් හිතින් ගැනීමට වඩා හැළීම වැදගත්ය. මන්ද ඒ නිදහස් භාවයම තමන්ගේ ගමනට අවැසි අවධානය එයටම යොදන්නටත් එනිසාම එගොඩ දක්වා ගමන සුන්දරව ඒ ඒ මොහොතේදී නිසි රිසි ලෙස ක්‍රියාකරමින් යන්නටත් අවස්ථාව පෑදෙන හෙයිනි.