හතර රියන් සහ දෙරියන්
එකම ගමේ යහළුවන් ය
මේ දෙන්නා කලක පටන්
බොහොම එක මුතුයි
එක දෙවසක් මේ දෙන්නා
දෙමංසලේ මුණ ගැහිලා
හවුලෙ වැඩක් කරගන්නට
කතිකා කෙරුවා
අපි දෙන්නා හවුල් වෙලා
සම පමණට මුදල් යොදා
හොද කිරි එළ දෙනක් ගනිමු
දෙරියන් කිව්වා
පද්‍ය පංතියේ රචකයා මතක නැතිමුත් ප්‍රාථමික පංතියක සිංහල කියවීම් පොතක තිබුණා මතකයි, ඉහත සදහන් කළේ එයින් කොටසක්. මිතුරෝ දෙදෙනෙක් හවුලේ මිලට ගත් කිරි එළදෙනක් බෙදාගත් හැටි මෙයින් කියැවෙනවා. සරල පද්‍ය පංතියක් වුවත් මෙහි යටි අරුත හරි අපූරුයි. කපටි මිතුරන් හා ගනුදෙනු ගැන පමණක් නොව සමාජය විනිවිද දැකිය හැකි අපූරු දැක්මක් මෙතුළ අන්තර්ගතයි.
පද්‍යයේ හැටියට කපටි දෙරියන් ඔවුන් විසින් මිලදී ගැනුණු කිරි එළදෙනගේ පෙනුමැති ඉදිරිපස හතරරියන් මිතුරාට දෙන්නේ කරදරකාරී පසුපස කොටසේ වගකීම තමන් බාරගන්නා බව කියමිනි.
සමාජය තුළ පහසු මිතුරු බවෙන් යන වෙළදාමත් මෙයම නොවන්නේද? දිගුකාලීන වටිනාකම යටපත් කොට තබා මතුපිට කතාවෙන් හැඩයෙන් පෙනුමෙන් අපව ගොනාට අන්දන්නට හදන්නෝ බොහෝය. දේශපාලකයන්ගේ දේශපාලනයද මෙයාකාරය. අපට ප්‍රොජෙක්ට්ස් පෙන්වා කොමිස් ගහන්නේ එහෙමය. අපට පෙන්වන රට හරක්, රජ හරක් ගේ ඉදිරිපස දිලිසෙන අං තට්ටුවට අප ආකර්ශනය වූවාට ඔවුන්ගේ පසුපස්සේ සිටින අය හරක්ගේ ගොම පොහොර කොට ගන්නේ අපේ තණකොළ, පුන්නක්කු සැපයීමේ වෙහෙසෙන් බව අප තේරුම් ගන්නවාද? සතා අදින, බදින ලණුව ඡන්ද ලෙසින් අතට දුන් පමණින් හරකා හෝ එළදෙන අපේ කියා හිතුවත් ඔවුන් අපට දී ඇත්තේ පෝෂණයේ වගකීම ඇති ඉදිරි කොටස පමණයි. එළදෙන්ගේ කිරිටික, පැටවුන් ලබන්නේ ඔවුන්, එනිසා සතාගේ පැත්තේ අයිතිය බෙදාගන්නට අරගල කරනවාට වඩා වටින්නේ සත්වයාගේ සමස්ථ වගකීම බෙදාගැනීම බව හයේ හතේ පංතියේ සිංහල පාඩම් පොතේ මේ පද්‍ය පංතිය අපට කියා නොදෙන්නේද?
(අමතර කතාවක්ද මෙතැනදි මතක්වේ. පවුලද හවුලකි. පවුල් වුනු අයගේ පවුල් වගකීමත් එක් අයෙකුගේ කරපිට පමණක් තැබිය හැක්කක්ද? හවුලේ කැදත් එපා යැයි කියන්නට හේතු ඇතත්, හවුලක් නැත්නම් පැවැත්මක් නැතැයි කියන්නටද ඒඅනුව හේතු ඇත. ඒ අමතර කතාවකි)
නම අමතක නිසා මෙහි කතෘ සදහන් කිරීමට නොහැකිවීමේ මතක අඩුව කමන්න. හැකිනම් මතකයේ අඩුව නිවැරදිව පුරවන්න.