පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සැබෑ ජීවිත වල දුක්ඛ දෝමනස්සයන් මෙපමණ නම් ඔවුන් නියෝජනය කරන සාමාන්‍ය මිනිසාගේ දුක්ඛ දෝමනස්සයන් කෙබඳු වනු ඇතිද?
භෞතික දේපළට වඩා ජීවිතත් ඒ ජීවීත ජීවත් කරවා ගැනීම උදෙසා රටේ සාමාන්‍ය මිනිහා කොපමණ දුකක් දරන්නේද?
කිසිඳු අමතර බල වරප්‍රසාද නැති සාමාන්‍ය මිනිසා තමාගේ එදිනෙදා ජීවිතයේ විවිධ අවස්ථා වලදී නීතිය හා සාධරණත්වය ඉටු නොවීම තුළ කොතරම් පීඩාවකට ලක් වෙනවා ඇත්ද?
ඒ අසාධාරණයන්ට එරෙහිව හුදෙකලා සටන් කොපමණ වේදනාත්මක වනු ඇත්ද?
නඩුත් බඩුත් හාන්දුරුවන්ගේ වන නොවන කොයි විටත් සාධාරණය උදෙසා සාමාන්‍ය මිනිහාට කොපමණ මිලක් දැරිය හැකිද?
තමා සහ තම පවුල පීඩාවට පත් වෙද්දී දුක වේදනාව සමඟින් හැඟීම්බර වන මහජන නියෝජිතයන්ට ඒ බඳු කාරණා ගැන හැඟීමක් දැනීමක් අඩු තරමේ තමා නියෝජනය කරන්නේ එබඳු අවශ්‍යතා වලින් මිරිකෙමින් සිටින පීඩිත මහජනතාවක් බව බොහෝ විට මතකයේ නැති ය. නැත්නම්, අමතක කොට හැසිරීම බලය සමඟින් අවස්ථාව ලබා ගැනීමට මඟක් කොට ඇති හෙයින් තම දේශපාලනය උදෙසා ම මේ ක්‍රමය පවත්වා ගෙන යනවා ය. දෙන දේ අරගෙන වෙන දේ බලාගෙන ඉන්න පුරවැසියාට ඔවුන් හරි ආදරේ ඒකය.
ඡන්ද කාලයට මොන මොන මහප්‍රාණ කීවත් වැඩේ පිළිවෙල එහෙමය. සැළකිල්ල තමාගේ ළඟම පාක්‍ෂිකයාට මිස පොදු මහජනයාට නොවේ.
මේ ක්‍රමයම ප්‍රචණ්ඩය. නීතිය තුළින් වුව යුක්තිය ඉටු කර ගැනීමට අනවරතව සටන් කළ යුතුව ඇත. ඒත් සාධාරණය අවිනිශ්චිතය. ඇතැම් විට මිල අධිකය.
හැමෙකා බලය පසුපස දුවන්නේ බලයට මෙහෙවර කිරීමෙන් මිස සුව පහසු දිවි පැවැත්මට අදාළ නිදහස් නිවහල් ක්‍රමයක් රට තුළ නොවන නිසාය. නමුත් පිළිතුර පවතින්නේ බලය තුළ නොව සාධාරණ ක්‍රමයක් ඒ ක්‍රමය නඩත්තු කරන විනයක් / නීතියක් තුළ බව දැන් වඩාත් පැහැදිලිය. එසේ තිබියත් සාම්ප්‍රදායික වහල් මනස ආවඩන්නේ පවතින ක්‍රමයටම මුක්කු ගැසීමටය. දුර්වල විට හිස් සඟවා බලය සහිතව කවදා හෝ යළි ඒ ප්‍රචණ්ඩ හිස් එසවීමටය.
රටේ භාණ්ඩාගාරය හිස් වන තුරුත් කිසිවෙකුට කිසිවක් ගැන වගේ වගක් නොතිබුණි. පාර්ලිමේන්තුව විනෝද සමයක් විය. ප්‍රචණ්ඩත්වයට බිම් සකසා එහි බීජ වපුරා සුපුරුදු සම්ප්‍රදායෙන් අස්වැන්න නෙළීමට අසමත් වූ කළ ප්‍රචණ්ඩත්වයේ ඵල විපාක ගැන බණ කථා කිරීමේ ඵලය කිම.
දේශපාලනයේ ඉහ නිකට පැහැණු මොවුන්ගේ කටේ නිතර තිබුනේ හැත්තෑ අසූ ගණන් වල භීෂණ සහ ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය ගැන ආප්තෝපදේශම ය. ඉතින් ඔවුන් සාධාරණ ජන ආවේගයකට ගිනි තැබුවේ ඒ අතීතයෙන් ප්‍රචණ්ඩත්වය පිළිබඳ පාඩම් අමතක වූ නිසාද?
කුරුමානම වරද්දා ගෙන සමාජ වෛරයකට ගොදුරු වී අවස්ථාවාදීන්ට එහි අනිසි ඵල නෙළන්නට ඉඩ හැදුවේ මහජන මන්ත්‍රී කියා ගන්නා ඔවුන්ගේම කණ්ඩායමක් නොවේද?
ඔවුන්ගේ ඒ දේශපාලනික ආවේගය සමාජය පරණ තැනට ම තල්ලු කරන කාලකණ්ණි ප්‍රචණ්ඩ ක්‍රියාවක් පමණක් බව දැන් තව දුරටත් පැහැදිලි ය.
මිනිසෙකුගේ නොව සතෙකුගේ වුව පර පණ නැසීම, දේපළ විනාශය හෝ කොල්ල කෑමේ තිරශ්චීනත්වය ගැන අමුතුවෙන් කතා කිරීමට දෙයක් නැත.
එබැවින් යුක්ති සහගත සමාජයක්, යහපත් සාධරණ ක්‍රමයක් දක්වා රට තල්ලු වන තුරු අප විසින් පවත්නා ක්‍රමය වෙනස් කිරීමට සාධාරණ ආවේගයක් තව දුරටත් මුදා හළ යුතුමය. එය ප්‍රචණ්ඩත්වයක් නොව සමාජ ප්‍රගමනයට අවශ්‍ය මහජන දායකත්වයක් විය යුතු ය. එය විවිධ පැහැයෙන් යුතු මලින් පිරුණු මල් වට්ටියකි, ඊට අත ගැසීම පින්කමකි.
ප.ලි.
තුනෙන් දෙකක බලයක්, හැටනව ලක්‍ෂයක ජනපති කෙනෙක්, වික්ෂයක් ස්වාධී මන්ත්‍රී කණ්ඩායම් සියල්ල මැද රනිල් අගමැති අද අපට හිනා වෙයි. ඒ හිනාවෙන් පැවසෙන්නේ තමාගේ ස්ථාවරයයි. රටක අස්ථාවරයයි. අපි මෙතෙක් නඩත්තු කළ දේශපාලනයේ ස්වරූපයයි. අප උපයා ගෙන ඇති වත්කමයි.
අනෙක් අතට මිය යන හෝ ඝාතනය කෙරෙන හැම ජීවිතයක් හෝ ජීවිත පරිත්‍යාගයක් ලෙස සැළකෙන හැම මිනිසෙකුම සිහි කරන්නට මිනින්තුවක් නිහඬ වෙන අපි එබඳු ජීවිත දස දහස් ගණනක් වෙනුවෙනුත් එවැනිම මිනිත්තුවක් වැය කරනවා මිස වසර ගණනාවකට අප කථා කළ යුතු උගත යුතු කිසිවක් සමාජයක් වශයෙන් උගෙන නැති බවද අවධාරණයට ගත යුත්තේත් රටක් හැටියට ම ය. ඒ නිහඬ මිනිත්තු තුළ කියවන්නේ අපගේ රාජ්‍යයේ නිර්ලජ්ජිත ශෝකාන්තය ය. තවමත් අප මිනිස් ජීවිතයක් පිළිබඳ තබන අවම ලංසුවේ කතාවය.