ළමයින් හෝ පරපුරක් තබා රටේ ජඩ සමාජ ක්‍රමයක් නිර්මාණයට දිගින් දිගටම දායක වූ කිසිවෙක් ඒ ජඩ ක්‍රමය නිසා පීඩාවන්ට විනාශයන්ට ගොදුරු වූ කිසිවෙකුගෙන් අදටත් සමාව ඉල්ලූයේ නැත. අඩු තරමේ තමන්ගේ වගකීමක වගකීමක් ගත්තේ නැත. ඔවුන්ට තිබුනේ ගැලවීමට හේතු පමණය. වචනයකටත් වටිනා කමක් ඇති සමාජ සංස්කෘතියක් අපට තිබුණා නම් අප අද ජීවත් වන්නේ කිසිදා බංකොලොත්භාවයක් සිහිනයකින් හෝ නොදකින තැනකය (ඊයේ පෙරේදා පදවිය හැර ගිය ජනපතිකෙනෙක් යන්නට ආසන්න කාලක සමාව ඉල්ලුවා මතකය). වැඩිදෙනෙක් යළි යළි පෙරළා පෙරළා ඉල්ලූ යේ ඡන්දයයි. රට බංකොලොත් වුවද ඔවුන් යළි යළි ඉල්ලන්නේ ඡන්දයයි. භෞතිකවද චින්තනමය වශයෙන්ද අසරණ කරනු ලබන මිනිසුන්ගෙන් හා බත්බැල කොටසකින් ලබාගන්නා ඡන්දය ගැන පාරම් බාන්නට තරම් ඔවුන්ගේ ලජ්ජාවද විලි වැසීමකට වැඩියෙන් නැත.
අලුත් රටක් හදමු කියා නිවැරදි හා සත්‍යවාදී දැක්මකින් කිසිදා අලුත් නොවන ඒ කිසිවෙක් උදෙසා, යුක්ති සහගත රාජකාරියක් රටේ ක්‍රියාත්මක වනු කිසිදා අපට දකින්නට තිබුනේ නැත, ලැබුනේ නැත. බලයේ මානය පෙන්නුවා පමණ ය.
හැම විට සොක්කන් තලා පෙළා කොක්සන් ලා ලොක්කන්ට නළා පිඹිමින් පෙරහර පැවැත්වීම ලොකුකමක් හා බලවත් කමක් වී ඇත. එකල අධිරාජ්‍යවාදීන් තමන්ට ගැති කම් කරන වුන්ට පඬුරු පාක්කුඩම් ලබාදී සමාජයේ වැජඹෙන්නට අවස්ථා ලබා දුන් ස්වරූපයේ අද වෙනස අධිරාජ්‍යයෙන් ගලවා දැමූ රාජ්‍යක් වී තිබීම පමණය. තමන්ගේ රටේ මහජනයාට දබරඟිලි දිගු කරන විධායකයන් මිස පාලක පැළැන්තිය තුළ හිඳිනා මජර ජඩයින් වෙත ඒ ඇඟිලි දිගු කරන පණැති අය අප දැක නැත. ඔවුන් වෙන රැකවරණයේ දෑත් දිගවනු අප දැක ඇත. බෙල්ලෙන් අල්ලා හෝ අවම බලයක් යොදා හෝ පාලක පක්ෂයක ජඩ දේශපාලකයෙකු පොලිස් රියක ඔබාගෙන යනු අප දැක නැත. අප දැක ඇත්තේම වෙනත් මිනිසුන් එසේ ඔබාගෙන යන වීර පොලිස් නිළදරුවන් ය. උස් තැන් දක හැකිලෙන මිටි තැන් වෙත පූප්පන මහජන සේවකයින්ය. තමන්ගේ ගජ මිතුරන් විසින් කොල්ලකා හිස් කළ භාණ්ඩාගාර පිරවීමට ජනතාවගේ බොටුව මිරිකා හූරාකන ෂෙරීෆ්ලා ව දකින මුත් ජනතාවගේ පැත්තේ හිට ගත් පාලක පක්ෂයක රොබින් හුඩ්ලා අප දැක නැත. රට සංවර්ධනය කරන සංඛ්‍යා ලේඛන පෙන්වන්නේ එහෙම ෂෙරීෆ්ලාය. සුරංගනා කතා තුළ වත් කූට ජඩ පාලකයන්ට පැවැත්මක් නැත. එහෙත් සැබෑ ලෝකයේ ජඩ පාලකයන් ප්‍රශ්නයක් වන්නේම සාමාන්‍ය ජනයාට සුරලෝ කතා නිර්මාණය කරන්නේ ඔවුන්ම වීම නිසාය. සුරඟන කතා වල සතුන්ට පමණක් නොව පිනෝකියෝලාට පවා නිවැරදි වීමට හැකියාවක් ඇත. නමුත් රටේ ලෝකයේ මිනිස්සු සමාව ගත්තත් සත්තු සමාව ගන්නේ නැති බව මෙහි අප තේරුම් ගත යුතුය. එවන් සතුන් කීප දෙනෙකුට සමාජයක් ගොදුරු වීමේ ඛේදවාචකයට හොඳම උදාහරණයද අපම මිස කවුරුන් ද!